අඩේ ඩ්‍රයිවර් දිහා බලපන්! කපුටා කපුටා.................!!



මේක ටෙක් එකටත් අදාල කතන්දරයක්! මාධව හැමදාම ටෙක් ආවේ ගෙදර ඉදන්! මේ කියන්නෙ 2009 ජනවාරි මාසයේ ඉඳන් පැවත එන කතාන්දරයක් කියලත් මතක් කරලා දෙන්න මාධව කැමැතියි!
ඉතිං එකල උදේ 5ට නැගිටලා 6ට ටවුමෙන් නුවර බලා ඇදෙන බස් එක අල්ලන්න දුවගෙන ආපු හැටි තාමත් මතකයි! සෙනග මැද්දෙන් තෙරපි තෙරපි නුවරට එනකල්ම කකුල් ගෙවෙනකල් බස් එකේ හිටගෙන ආපු හැටි අමතක කරන්න බෑ!පොකට් එකට කොයි වෙලේද වදින්නේ කිය කිය හිතේ ගින්දර එක්ක මහන්සිය කාන්සිය එක්ක ගෙවන ගමනට ටික ටික පුරුදු වෙන්න උනා! ඔයින් මෙයින් මාසයක් යද්දි 5ට නැගිටපු එකා 6 වෙනකල් නිදාගෙන 6.45 බස් එකට එන්න පුරුදු උනා! ඒකෙදි හැමදාම නා****යේ ඉස්කෝලෙකට යන සුදු ලස්සන නංගි කෙනෙක්ගේ සීට් එකට ඇහැ ගහගෙන මගදි ඒක ඩැහැගන්න මාධව පුරුදු වෙලා හිටියා! ඒ ලස්සන නංගිත් (එක්ක මාධව කතා කරලා තියෙන්නේ වචන කීපයයි!)  නා****යේදී බහින්න ලං වෙද්දි මාධවට හිසින් සිග්නල් එකක් දෙන්නත් කාලයත් එක්ක පුරුදු උනා! ඔහොම ඔහොම ගිහින් අන්තිමට 6.45 බස් එකත් යනකල් නිදාගන්න පුරුදු උන මාධව අන්තිමට 7ට නැගිටලා උදේ 7.20ට කන්තලේ බලා යන එක්ස්ප්‍රස් එකේ යන්න පුරුදු උනා! මේ මොකේ ගියත් 8.30ට ගානට ටෙක් එකේ ඉන්නත් පුලුවන් උනා!

ඔහොම ගෙවෙන ටෙක් කේස් වල අන්තිම මාස කීපයේදී, ඒ කියන්නේ ඉවර වෙන්න මාස 3ක් විතර තියෙද්දි මාධව කන්තලේ බස් එකත් යනකල් නිදාගෙන ඉදලා මාධවලගෙ පැත්තේ ඉදන් කුරුණෑගල හරහා මහව දක්වා යන කපුටගෙ බස් එකේ යන්න පුරුදු උනා! අන්න දැන් තමයි නියම කතාවට ආවේ! මේ බස් එක ටවුමෙන් පිටත් උනේ 7.45ට! වැඩි සෙනගක් නැති දුර යන බස් එකක් නිසා පාඩුවේ ඉදගෙන නෝට් ටිකක් බල බල ( සමාවෙන්න ෆේස් බුක් එකේ වෝල් පෝස්ට් ගැනයි මාධව මේ අදහස් කලේ! ෆෝන් එකෙන් මූනු පොතට යාම! පැය එක හමාරක දෙකක දුර ගෙවෙන්නත් එපැයි! ) කොල්ලා ගමනේ යනවා! ඒ බස් එකේ ගිහිල්ලනම් 8.30ට ක්ලාස් එකේ ඉන්න බෑනේ! මාධවට දුර ඉදන් එන්න තියන බව මැඩම් දැන ගත්තට පස්සේ තමයි මාධව මේ විදියට පරක්කු වෙලා එන්න පුරුදු උනේ!!

ඉතිං ඔහොම ටෙක් එකට ආව වගේම යන්නත් එපැයි! මාධව ඉස්සෙල්ලම පුරුදු වෙලා හිටියේ නුවර ගුඩ්ෂෙඩ් එකටම ගිහින් ශ්‍රී එක්ස්ප්‍රස් ( නමට එක්ස්ප්‍රස් ) එකේ හවස ගෙදර යන්නයි! නමට එක්ස්ප්‍රස් එකේ පිටපස්සේ මුල්ලක ඉදගෙන පාඩුවේ යන්න තනියම පුරුදු වෙලා හිටියා! ඒත් ඌ මග දිගේ ලෙව කකා බඩ ගගා යද්දි වෙලාව 7ට 7.30ට කිට්ටු වෙනවා! ආයේ උදේට යන්න 5ට (මුල් දවස් ටිකේ) නැගිටින්නත් එපැයි! ඉතිං මාසයක් හමාරක් ඔහොම ශ්‍රී එකේ ඇදපු මාධවට මේක ඇති වෙලා! ඒත් කෝස් එක නැගලා යන නිසා ඒක දාලා ගෙදර ඉන්නත් බෑ! ඒ නිසා නුවර ඉස්පිරිතාලේ ලගින් මාධවලගෙ ටවුම පැත්තටම යන බස් එකක් බලලා ඒකේ එල්ලෙන්න මාධව තීරණය කලා!

ඉතිං ඒක කරන්න ඉන්න පළවෙනි දවසේ ඔන්න ඉස්පිරිතාලේ හෝල්ට් එකේ ඉන්න කල්හි මෙන්න බොලේ කපුටා බස් එක අරන් බ්රූම් ගාගෙන එනවා! වෙලාව 4.45ට විතර ඇති! ඉතිං දැන් තමයි දන්නේ කපුටා මහව ගිහින් ආපහු හවසට මාධවලගෙ පැත්තට යන ටයිම් මේකයි කියලා! ඒක නමට එක්ස්ප්‍රස් කට්ටට කලින් යනවා! නමට එක්ස්ප්‍රස් යන්නේ 5.15ට ‍නොවැ! ඉතිං කපුටගෙ බස් එකේ එල්ලිලා ගිහින් පැය භාගයක් කලින් ගෙදර ගියත් මදෑ! ඉතිං හරි! ඒ ටයිම් මතක තියා ගත්ත මාධව එදා ඉදන් බස් නැති උනොත් හෝ කලින් ටෙක් එක ඉවර උනු වෙලාවට ඇරෙන්න හැමදාම ගියේ මේ කපුටගෙ කුරුණෑගල බස් එකේ! ඉතිං පොරත් මාධවව නුවර - *** පාරේ කොහේදි දැක්කත් බස් එක ස්ලෝ කරලා එල්ලගෙනම තමයි යන්නේ! හැමදාම කෙලවරටම යන බව දන්න නිසා!

මූට කපුටා කියන්නේ ඇයි! ඒක අතුරු කතාවක්! මූ කට්ට කලුයි! ඒත් අඩු නැතුව බුලත් විට හපන දත් ටික සුදුම සුදුයි! රෑ වෙලා අදුරේ බස් එක එලවන ගමන් විට හපන කපුටගෙ මූන කවදාවත් පේන්නේ නෑ! ඒ තරම්ම මූණ කලුයි! ඒත් දත් ටික ෂෝක් එකට පේනවා! ඒ නිසාම ඩිපෝවේ එවුන් හදලා තිබ්බ නම කොහොම හරි මිනිස්සුත් දැනගෙන තිබ්බා! ඕක මාධවට කිව්වෙත් බස් එකේ කොන්දොස්තර අයියා! ඉතිං කපුටගෙ බස් එක කිව්වම මාධවලගෙ පැත්තේ ඕන යකෙක් දන්නවා මේ කියන්නේ අහවල් කුරුණෑගල යන බස් එක තමයි කියලා! මොකක් හරි හේතුවක් නිසාම, විශේෂ කේස් එකක් නැත්තන් මිසක් මේ බස් එක හැමදාම දිව්වේ කපුටගෙ හයියෙන් තමයි! ඒ කියන්නේ නිවාඩු නැත්තන් හැමදාම කපුටා තමයි බස් එක අරන් කුරුණෑගල ගියේ!

උදේට එච්චරම නැතත් හවසට නම් කපුටගෙ බස් එකේ පට්ට සෙනග! මාධවලට සමහර දවස් වලට ටවුමෙන් බහිනකල්ම අන්තිම පඩියේ ඇගිලි තුඩින් එල්ලිලා පැය එක හමාරක් දෙකක් ගෙවන්න වෙලා තියනවා! ඉතිං ඔහොම හැමදාම යන බස් වල නිකම්ම යාලු මිත්‍රකම් ඇතිවෙනවනේ! ඉතිං ඔහොම මාධවටත් සෙට් එකක්ම සෙට් වෙලා හිටියා! අංකල්ලා ඇන්ටිලා, අක්කලා(පස්ට ඈ!) ටිකක් එහෙම! ඉතිං ඔහොම තවත් දවසක යනකොට පට්ටම සෙනග! මාධව එක්ක අන්තිම පඩියේ එල්ලිලා හිටියේ යාලු අංකල් කෙනෙක්! එදා නම් උපරිම සෙනග බස් එකේ! ඒ මදිවට කරුමේ පින්න ගහනවා ලාවට! ඉතිං නිකං කතා නැතුව තෙමි තෙමී ඉන්න වෙලේ අර අකල්ටත් උපරිමේට මල! ඇයි මේ කාළකණ්නි ළග බහින සෙනග නිසා දුර කතර යන අපි අමාරුවෙන්නේ යන්නේ! ඇතුලට යන්නත් නෑ! ඉතිං ඌව හිනා ගස්සන්න හිතුනු මාධව පොරට සයිඩ් කන්නාඩියෙන් කපුටව පෙන්නලා මෙහෙම කිව්වා!

අඩේ ඩ්‍රයිවර් දිහා බලපන්! කපුටා දිහා කපුටා.................!!
ඒ පාර අර අංකල්-අයියා අහපි! ඇයි ඇයි මල්ලි මොකෝ? මොකෝ?
මාධවගේ උත්තරේ
අර බලපන්කෝ බං අපි විතරක් නෙමෙයි ! අද සෙනග නිසා කපුටත් හිටගෙන යන්නේ අයියා!

ඌට ඒක ටියුබ් ලයිට්! එක පාර වැටුනේ නෑ උගේ ඔලුවට! ඌට ගානක් නෑ කපුටා ඩ්‍රයිවර් කියලා!

ඉතිං ඌ කියනවා! ඒකනේ මල්ලි! ඒත් හිටගෙන හරි ඌ ඇතුලෙනේ!! අපිනෙ නාන්නේ!

ඒ කතාවට මාධවට හිනා ගිය විදියට මාධව වැටුනෙ නෑ බස් එකෙන් වෙලාවට! මාධව හිනා වෙද්දි තමයි පොරටත් කේස් එක තේරුනේ! කොච්චර සෙනග හිටියත් ඩ්‍රයිවර් බස් එකේ හිටගන්නේ නෑ කියලා!

 .    . . . . . . . . . . .    . . . . . . . . . . .    . . . . . . . . . . .    . . . . . . . . .

 .    . . . . . . . . . . .    . . . . . . . . . . .    . . . . . . . . . . .    . . . . . . . . .



පුංචි කතාවක් කාලෙකට පස්සේ ලියලා දාන්න හිතුනා! ඊටත් අමතරව අද සහ ඊයෙ කාලෙකට පස්සෙ මාධවට හම්බුනා ඉස්කෝලෙ සෙට් එක! ගලා, ඔව් ඔව් අර වවුලා ගලා තමා! ලලන්ත හීන්කෙන්ද බක චින්තක ඇතුලු කණ්ඩායමක්ම අපේ සුධීරගෙ හෝම් කමිං එකේදි!

ඊට අමතරව අද හම්බුනා (සෙනසුරාදා) ඇපල් චතුරංග, කුෂාන්, සහ දිලිප් ඇන්ඩ් සුපුන්(මෙයා පංතියේ ඉඳපු ගෑනු ලමයෙක්!) අපේ චමීරගෙ හෝම් කමිං එකේදී! කාලෙකට පස්සේ ඉස්සර ඉස්කෝලෙ කාලේ කතාන්දර කිය කිය මතකයන් අලුත් කරගෙන මාධවලා හොඳ කාලයක් ගෙව්වා! ඇත්තටම පුංචි නිල් කලිසං ඇදං ඉස්කෝලෙ ගිය මාධවලා දැන් වියපත් වෙලා! දැන් මාධවලා විවාපත් වෙන කාලෙට ඇවිත්!

කියන්න තියෙන්නෙ ............................

“ජීවිතෙ ගෙවෙන ඉක්මණ“ කියලා විතරයි!!

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form