වෙස්ට් හෝල් ගල් පතුරු - ක්‍රිස්ටල් අත් පළඳනාවේ කතාව.



 
අවුරුදු ගාණකට පස්සෙ 2024 වසරේ හිමිදිරිය උදා වෙන්න හෝරා දෙහෙකට විතර කලින් තෘණ භූමිය මැද්දට පුංචි නීල වර්ණ ආලෝක ධාරාවක් වැටුනා..මුලින්ම දඟරයක් වගේ  කැරකි කැරකි ආව ඒ ආලෝකය ඉන් පස්සෙ හරි කෙලින් ඉරක් වගේ ආහකේ ඉඳන් බිමට වැටිල තිබුනා. ටික වේලාවක් ස්පන්දනය වුනු, හරියට තරංගයක් වගේ ස්පන්දනය වුනු ඒ ආලෝක ධාරාවේ ස්පන්දනය නතර වෙලා ස්ථීර ආලෝක කදම්භයක් ස්ථාපනය උනා. ඒ ආලෝක ධාරාව දිහාවට හෙමින් හෙමින් ඇවිදගෙන යන කාන්තා රූපයක් හා ටික වෙලාවකින් නිල් පාට ආලෝකය තුල සදහටම අදෘශ්‍යමාන වෙලා ඒ කාන්තා රූපය නොපෙනී ගිය හැටි දකින්න කවුරුත් ඒ ප්‍රදේශයේ අවදියෙන් උන්නෙ නෑ.

කවදත් නොනිදන වෙස්ට් හෝල් තෘණ භූමිය මත හමන සුලඟට සදා සෙලවෙන තණකොල පමණක් ඒ සුළි සුලඟ මැද්දේ ඒ ආලෝක කදම්භය දිහාවට ඇදිලා නැමිලා නොසෙල්වී තිබුනා.


ඒ සිදුවීමෙන් අවුරුදු දෙකක් ගත වෙලත්, අවුරුදු සිය ගාණක් පැරණි වෙස්ට් හෝල් ගල් පතුරු තාම එහෙම්මමයි. සීතල පරිසරය. මීදුමට මැදි උන තෘණ භූමිය. ඒ මැද ඔහේ හිටවපු ගල් පතුරු. කවුරුත්  නොදන්න නොකිව්ව කතාන්දර හංගාගත්තු ගර්භාශයක් වගේ තැනක් වෙන වෙස්ට් හෝල් ගල් කුලුණු මතට තව සෞම්‍ය දවසක හිරු රැස් පතිත වෙද්දි ඒ සූර්‍ය ආලෝකයම මාධවගේ කාමරයේ ජනේලයෙන් ඔහුගේ මූණටම පතිත උනා..

2026 වර්ෂයේ මුල සතියේ උදාවීම සිදු උනේ එහෙමයි......

කෙටි පණිවුඩය

කේත කරණය කරපු දුරකතන ජාලය ඔවුනොවුන් අතර සන්නිවේදනය පවත්වා ගත්තේ කෙටි පණිවුඩ ක්‍රමයකින්. සයිබර් අපරාධ වැඩි උන ලෝකයේ අපරාධකාරයො විතරක් දියුණු වෙලා බෑ. ඒවා මැඩ පවත්වන්න නම් රාජ්‍යයයේ ආරක්ශාවද අංකිත ක්‍රම වලට ඉක්මනින් මාරු වෙන්න ඕනි. අපරාධකාරී මිනිස්සු කරන්නෙ මොනවද කියලා, එයාලගෙ ඊළඟ පියවර මොකක්ද කියලා දැනගන්න පුලුවන් වෙන්න ඕනි. අන්න ඒ නිසයි රටේ ඉහලම ආරක්ශාව පාලනය කරන තැන් තොරතුරු තාක්ශණයෙන් සන්නද්ධ වෙලා අපරාධකරුවන් ලුහුබඳින්නෙ.

එහෙම උනාම අපරාධකරුවන් විසිනුත් නීතියේ රැහැනින් මිදෙන්න යම් යම් ක්‍රමවේද හොයාගන්න ඕනි කම නිසා වෙන්නැති ඩුබායි රාජ්‍යයෙන් නිර්මාණය කරලා ගෙන්න ගත්තු මෙ දුරකථන ඒ  කල්ලිය අතරේ බෙදලා දීල තිබුනෙ.

ඒවා සන්නිවේදනය කලේ එස් එම් එස් ක්‍රමවේදයක් හෙවත් කෙටි පණිවුඩ ක්‍රමවේදයකට. ඒවා කේත කරණය වීම නිසා ලබන්නාට කියවාගන්න පුලුවන් උනත් අතරමැදි පාර්ශවයකට ඒ පණිවුඩයන් කියවාගන්න ක්‍රමයක් නෑ. යම් හෙයකින් හැකර් වරුන්ගේ ප්‍රහාරයකට ලක් වූ විට එම පණිවුඩය ලබනා සහ යවන්නා යන පාර්ශව දෙකෙන්ම අස්ථාන ගත වෙන්න තරම්ම ප්‍රභල තාක්ශණය ඒ දුරකතන වල තියනව.

දැන් අපරාධකාරයෝ හරි දියුණුයි.

ඉතින් එහෙම සම්බන්ධ වෙලා ඉඳපු ජාලයේ එක කෙලවරක පණිවුඩයක් නිකුත් කරල තිබුනා..

එය ලබාගෙන රටින් පිට කරන්න සියල්ල සූදානම්. මෙහෙයුමට අපේ තිදෙනෙක් ප්‍රමාණවත්. මෙහෙයුම ආරම්භ කරන්න. භාහිර සම්පත් දායකයාව කෙසේ හෝ රැගෙන යන්න.

.....................
දුරකථන ඇමතුම

දුරකථන ඇමතුම ලැබෙනකොට මාධව හිටියෙ කාර්‍යාලයේ දත්ත පද්ධතියක ශක්‍යතාවන් පරීක්ශා කරමින්. දිට්වා ඇවිදින් මුලු ලංකාවම සොලවාගෙන විනාශ කරගෙන ගියාට පසු, ආධාර ආපදා ලබා දීම් තොරතුරු ඇතුලත් කිරීමට විශේෂ දත්ත පධතියක් නිර්මාණය කරන්න අවශ්‍ය බව ආයතනයේ ප්‍රධානීන් මෙහෙයුම් කමිටුවේදි යෝජනා කරලා ඒක තොරතුරු තාක්ශණ අංශයේ මාධව නිලධාරීතුමාට භාර දුන්නා. කෘතීම බුද්ධිය භාවිතා කරමින් කේත ලියමින්, එම කේත අවශ්‍ය පරිදි සංස්කරණය කරමින් සහ දත්ත පද්ධතිය වෙනමම නිර්මාණය කරමින් මාධව බොහෝ සේ කාර්‍යය බහුල උනේ බොහොම කැමැත්තෙන්.

දිට්වා යන්න ගියේ තමන් අවුරුදු ගාණක් ගෙවපු තමන්ගේ ජීවිතේ සැනසිල්ලද උදුරගෙන සිය ජීවිතයම මහ කුණාටුවක අතරම‍ං කරමින්. ඒක හංගන්න පුලුවන් තත්වයක මාධව දැන් කොහෙත්ම නැහැ. එයාට මානසිකව ශක්තිමත් වෙන්න කුමක් හෝ ක්‍රමයක් ඕනි වෙද්දි තමා මේ දත්ත පද්ධති වැඩේ පැවරුනේ. ඔහු ඉතා කැමැත්තෙන් මේ වැඩේ පටන් ගත්තා. පලමුවැනි සංස්කරණය නිර්මාණය කිරීමෙන් පසු පරීක්ශණ ධාවන අවධිය ආරම්භ උනේ ගිය සතියෙ සඳුදා. ඒ කටයුතු වල ඉද්දි තමා දුරකථන ඇමතුම ආවෙ.


ඒක සම්පූර්ණයෙන් සිද්ධ උනේ ඉංග්‍රීසි භාශාවෙන්.

මාධව, මගේ නම ප්‍රසාද්. ඔයා වෙස්ට් හෝල් ගැන ලියපු බ්ලොග් ලියුම මම කියෙව්වා. ඒකෙ කතාව මට විශ්වාස කල හැකියි. ඒ සිදුවීම ගැන සහ වෙස් හෝල් ගැන පරීක්ශණ කරන්න කැමති මගේ උපදේශකයින් දෙන්නෙක්ට මඟ පෙන්වන්න ඔයාට පුලුවන් නම් මම ඔයාට හුඟක් කෘතවේදී වෙනවා....

............................................................
ව්‍යාපාරිකයා

ක්‍රිස්ටල් පලදනාවක් කියන්නෙ නිකන් ගල් කෑල්ලක් වගේ පෙනුනට ඒවගෙ අඩංගු බලශක්‍ති ප්‍රභවය ඉහල එකක්. සමහර විට ඒකෙන් බලශක්ති ලෝකයේ ඒකාධිකාරය පවත්වාගන්න අපිට පුලුවන් වෙයි.

ප්‍රසාද් නම් ව්‍යාපාරිකයාගේ අදහස උනේ ඒක.

ඔහුට ලැබිල තිබුන තොරතුරු අනුව ඒක නිකම්ම නිකම් ගල් කෑල්ලක් නෙමෙයි. ඒක බලශක්තිය පිරුණු බොහොම වටිනා වස්තුවක්. ඒකෙ පවතින මූලද්‍රව්‍ය බොහොමයක් යලි යලිත් සොභාවිකව ඉබේම වේගයෙන් ප්‍රතිනිර්මාණය වෙන ජාතියේ ඒව. මේ පෘතුවියට නම් ඒව සම්පූර්ණයෙන් ආගන්තුකයි. ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන වලින් තැනුනු න්‍යෂ්ටියකින් නෙමෙයි ඒ මූලද්‍රව්‍ය ගොඩනැඟිල තියෙන්නෙ අමුතුම පද්ධතියකින්. ආවර්ථිතා වගුවේ මූලද්‍රව්‍යයන් බොහොමයක් නාමිකව හඳුන්වලා දීලා තිබුනට මේ කියන මූලද්‍රව්‍යයන් මේ.මහ පොලවේ කොහේවත් නැති කිසි විද්‍යාවකට හසු නොවුනු ඒව.

ප්‍රසාද් වාඩි වෙලා උන්නු විධායක පුටුවෙන් නැගිටලා මහල් ගණනාවක් ඉහලින් පැවති සම්මන්ත්‍රණ ශාලාවේ විශාල ජනේලය අසබඩට ගිහින් ඈත බැලුවා. බැංගලෝරය විශාලයි. ඉතා ඉහලට ගොඩනැඟිලි ඉදි වෙලා. දහවල වන විට බැංගලෝරයේ රථ වාහන විශාල ලෙස තදබදයට ලක් වෙලා බව පෙනුනා. ඔහු වේලාව බැලුවා. ගමන පිටත් වෙන්න තව වෙලා තියනවා. මාර්ග තදබදය නිසා ගුවනින් පිටත් වෙන්න සූදානම් කරන්න කියලා ඉන්ටකොම් දුරකථන මාර්ගය ඔස්සේ සිය ලේකම්වරිය වෙත දැන්වූ ප්‍රසාද් ආපහු ගිහින් මේසය මත තිවුන ජායාරූපය දෙස බැලුවා.

ඒකෙ තිබුනෙ කෝවිලේ ශිව ලිංගයට පලඳවපු අමුතු විදියේ ගලක් අල්ලපු කුඩා පලඳනාවක රූපයක්. ඒක හරියට අත් පලඳනාවක් හෙවත් බ්‍රෙස්ලට් එකක් වගේ. ඒක නූල් කැබැල්ලකින් ශිව ලිංගයට තියලා බැඳලා තිබ්බා.

ඊලඟට මේ ජායාරූපය සහ මේ අමුතු පළඳනාව ගැන ඒ ගම්මානයට අහම්බෙන් ගිය රසායන විද්‍යාව පිලිබඳව දැනුමැති අයෙක් විසින් ලියූ "හානි නොමැති විකිරණ බලයක්" නම් පුවත්පත් වාර්තාව,  ප්‍රසාද් සහ එම සිරිල් ප්‍රනාන්දු නම් විද්‍යාඥයා අතර හුවමාරු වූ ලිපි කීපයක් සහ සිරිල් වෙත මුදල් ගෙවූ රිසිට් පත් අඩංගු ගොනුවක් මේසය මත තිබුනා. ප්‍රසාද්ගේ අවාසනාවට මෙම ව්‍යාපෘතියට කර අරගෙන ඉඳපු මේ විද්‍යාඥයා සහ ඔහුගේ පවුලේ සැමට ජීවිතය අහිමි වෙලා තිබුනේ දිට්වා ආව කාලයේ රටින් පිට සවාරියකට ගිහින් ඉද්දි. මාලදිවයිනේ දී බෝට්ටු සවාරියක ඉන්නකොට බෝට්ටුව පෙරලිලා ඔවුන්ගේ පවුලම අන්තරා උනා. ඒක ප්‍රසාද්ට සිදු උන බලවත් පාඩුවක්.

ඊලඟට විද්‍යාගාර කීපයකින් නිකුත් කරපු වාර්තා වගයක්. ඒව කියවන්න විද්‍යාත්මක දැනුමක්, ඉහල විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය නිසා විද්‍යාඥයන් විසින් ඒව සරලව පැහැදිලි කරපු ලිපි ගොනු කීපයක්ද ඒ අසලම තිබුනා.

ඊලඟට බලශක්ති ලෝකයේ අනාගතය ගැන නිර්මිත ව්‍යාපෘති වාර්තාවක් තිබුන. තව එහායින් තිබුනා "ලුමිනස් පවර්ස්" සමාගමේ වාර්ශික වාර්ථා කීපයක්.

ඒ දිහා ටිකක් වෙලා උනන්දුවෙන් බලන්  උන්නු ප්‍රසාද් හෙමින් හෙමින් ඇඟිලිතුඩු වලින් මේසය මත විසිරිලා තියන කඩදාසි සහ ලිපි ගොනු එහෙ මෙහෙ කරලා ඔහුට අවශ්‍ය සිතියම ඔහු හොයාගත්තා. ඇත්තටම ඒක මේසයක් නෙමෙයි.

විශේෂයෙන් නිර්මාණය කරන ලද විශාල ඩිජිටල් තිරයක්. මේසයක් මත තිබුනු වීදුරුවක නිර්මාණය කරපු ස්පර්ශක පහසුමක් සහිත පරිගණක තිරයක්. ඒක අවශ්‍ය විට ස්පර්ශක තිරයක් ලෙස සහ වාචික විධානවලට ස‍වේදී පරිගණක පද්ධතියක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. කෘතිම බුද්ධියෙන් බල ගැන්වුනු මෙහෙයුම් පද්ධතියක් ඒකෙ අන්තර්ගත කරලා තියනව. ඉතින් ඒ පරිගණක මේසය හෙවත් පරිගණක තිරය මත තිබුනු සිතියම් කඩදාසිය මතින් හෙමින් හෙමින් සිය ඇඟිල්ල ඒ සිතියමේ එක තැනකට අරන් ගිය ඔහු එහි සඳහන් ස්ථානයේ නම දෙස අවධානයෙන් බැලුවා..

"වෙස්ට් හෝල්"

සිතියමේ ඉංග්‍රීසි අකුරෙන් එහෙම සටහන් වෙලා තිබුනා.

Show me the information about the westhall in sri lanka.

එහෙම කියලා පරිගණකයට වාචිකව විධානයක් දුන් ඔහු ආපහු ගිහින් විශාල වීදුරුව ලඟ හිටගෙන බැංගලෝරය දිහා බලාගෙන කල්පනාවේ ගිලුනා.

ප්‍රසාද්... ඔහුට කල්පනා උනේ අතීතය.... ණය බරින් මිරිකෙන්න පෙර ඔහු ගෙවූ අතීතය. මේක පමණයි ඔහුට තියන එකම අවස්ථාව.

සිය ස්වාමියා කල්පනා ලෝකයේ අතරමං වෙද්දී පරිගණකයට වෙස්ට් හෝල් පිලිබඳව හොයාගන්න පුලුවන් උනේ එකම එක දෙයයි. එක්තරා අප්‍රසිද්ධ ස්ථානයක සිදු වූ සත්‍ය සිදුවීමක තොරතුරු අලලා 2023 වසරේදී මාධව ඔහුගේ බ්ලොග් අඩවියේ ලියූ ඔසෙල්මීසාගෙ කතාවට අදාල සබැඳිය පමණයි.

"වෙස්ට් හෝල් ගල් පතුරු" කතාවට අදාල සබැඳිය පමණයි.
...................................................

නික්ම යෑම

මාධව ඔයාගෙ බ්ලොග් ලියුම මම කියෙව්ව නිසානෙ ඔයා ගැන දන්නෙ. ඔසෙල්මීසා නමින් ඔයාගෙ කතාවෙ ඔයා හදුන්වලා දුන්නු මේරි අම්මා කියන කාන්තාව අතුරුදහන් වෙලා කියලා ඔයාට කියන්නයි මම කතා කලේ....

ග්‍රාම නිලධාරීතුමා එහෙම කිව්වම මාධවට අතීතය මතක් උනා.. එදා ඒ මුකුත් මාධව මුකුත් දන්නෙ නෑ.එක සැරේම නොදන්නා අංකෙකින් ආව ඇමතුමින් කියවුනේ ඔහුගේ කකුල සනීප කරපු ජීවියා අතුරුදහන් කියලා. හැබැයි ඒ කතාව අහපුවම මාධවට පුදුම වෙන්න හේතුවක් තිවුනෙත් නෑ එකාතකට. ඇය කෝම හරි යන්න විදියක් හොයාගන්න ඇති. මාධව කතාවට හූමිටි තිබ්බ..

ඉතින්....

ඉතින් ග්‍රාම නිලධාරීතුමා. මට කතා කලේ...?ඇයගේ අතුරුදහන් වීමට මගේ සම්බන්ධයක් තියනවා ද කියලා හොයන්නද? මාධව එහෙම ඇහුව..

නෑ.. ඇය අතුරුදහන් වීම ගැටලුවක් වෙන්නෙ නෑ. ඇය ඇය ගැන හොයන්න අවශ්‍ය නැති බව සටහනක් එක්ක අපූරු ගලක් අමුණපු අත් පළඳනාවක් වගේ එකක් තියලා ගිහිං තිබ්බා කෝවිලේ. ඇය වෙන දිහාවක පදිංචියට යනවා කියලා තමයි ඒකෙ තිබ්බෙ. ඉතින් පොලීසියත් පරීක්ශණයක් පැවැත්වීම අනවශ්‍යයි කියලා ගොනුව වසා දැම්ම. දැන් ඒක සිද්ධ වෙලා මාස කීපයක්.

ඇයගෙ කෙටි ලියුමේ ගම්වාසීන්ට ස්තුති කරල තිබ්බ. මේ වෙස්ට් හෝල් ප්‍රදේශයට සම්පුර්ණයෙන් ආගන්තුකයෙක් උන ඔබ ගැන ඒකෙ සඳහන් කරලා තිබුන ලොකු ගෞරවයක් ඇතිව. ලිපිය කියෙව්ව අපි කවුරුත් පුදුම උනා. විද්‍යාව සත්‍ය බවට පිලිගන්නා මාධව නම් සවන්දෙන්නාට කෘතවේදී වන්නෙමු කියලා..

අන්න ඒ නිසාමයි ඔබට මම මේ ඇමතුම ගන්නෙ. ඔබව හොයාගන්න උදව් උනේ ඔබගේ බ්ලොග් අඩවියේ කතාව අහම්බයෙන් මගේ ඇස ගැටුන නිසා.

එදා ග්‍රාම නිලධාරීතුමා ඒ කතාන්දරයන් ඒ විදියට එකින් එක කියද්දි මාධව තේරුන් ගත්තා ඔසෙල්මීසා යන්න ගිහින් කියලා. ඇය ගැන හැමදාම තියෙන කෘතවේදීත්වය මාධවගේ හිත සසල කලා. ඇයව හමුවී සත්‍යය සොයා යන්න තිබුනා නම්..

මාධව එහෙම හිතුවා.

ඉන්දියාවෙන් හදිසියේ ලැබුනු ඇමතුමෙන් මාධව වික්ශිප්ත උනා. අතීතය අමතක නැති මාධව කල්පනාවේ නිරත උනේ සිය අසුනේ ඉඳගෙනම.

ඉක්බිති අසුනෙන් නැගිටපු ඔහු කාමරයේ සක්මන් කරන්න පටන් ගත්තා.....

කවුද මේ ප්‍රසාද්? මොනවද මගෙන් ඔහුට අවශ්‍ය?
මොකක්ද මේ පරීක්ශණය...?
.................................................

මාධව සොයා ආ අමුත්තෝ....

මාධව අපි ප්‍රසාද් මහත්මයාගෙ පණිවුඩය වෙනුවෙන් ආව අය. ඔයාට පුලුවන් ද අපිට වෙස්ට් හෝල් ප්‍රදේශය පෙන්වන්න. ඒ ගැන දන්න කෙනෙක් අපිට උවමනයි. ඔබගේ කතාන්දරය කියෙව්වම අපි තේරුන් ගත්තෙ සියල්ල ඔබ දන්න බවයි.

අපිට යන්න ඕනි වෙස්ට් හෝල් ගම්මානයේ කෝවිලට....

ඒ ආපු අමුත්තො දෙන්නම ආවෙ උසස් යැයි සම්මත වාහනයකින්. ඔවුන් පැහැදිලි ඉංග්‍රීසියෙන් කතා කලා. ප්‍රධාන පුද්ගලයා තමන්ව හඳුන්වා දුන්නේ ඔලිවර් ලෙස.  ඔවුන් දෙන්නම ඇඳල හිටියෙ කලු ඇඳුම්. කලු පාවහන්. ඉරුකිරණින් ආරක්ශා වෙන්න උපැස් පැලඳලා හිටියා කියලා හිතුවට පස්සෙ තේරුනා මාධවට ඒව එක්තරා අන්දමක ඩ්ජිටල් උපැස් කියල..

එක් අයෙක් රියදුරු ලෙස කටයුතු කරද්දි අනික් කෙනා ඉදිරිපස අසුනට ගොඩ උනා. ඉතිරි කෙනා මාධවට එහායින් ඉඳගත්තා. ඔහුගේ අතේ මාර්ගය පෙන්වන සිතියමක් විවෘත කරගත්තා වූ ටැබ් උපකරණයක් තිබුනා. ඔවුන්ගේ ඉල්ලීමට අනුව මාධවත් සිය ඇඳුම් බෑග් එකයි කැමරාවයි අරගෙන පිටිපස්සෙ අසුනට ගොඩ උනා.

මාලිගාවක් වගේ අඳුරු කරපු වීදුරු වලින් සමන්විත දැවැන්ත ජීප් වර්ගයේ වාහනය කඩිනමින් ගමන් ආරම්භ කලා.  ඒ වෙද්දි වේලාව දහවල් දෙකයි. හත වෙද්දි ඒ පාරේ ඒ ගම්මනයට යන්න පුලුවන්. පහුවදා යමු කිව්වට ඔවුන්ගේ කැමැත්ත උනේ එදාම පිටත් වෙන්න. ඔවුන්ගේ දැඩි බලකිරීම සහ ප්‍රසාද් නැමති පුද්ගලයා දුරකථනයෙන් සම්බන්ධ වී යලි යලිත් සිදු කල ඉල්ලීම නිසා අවසානයේ මාධව ඒ ගමනට කැමති උනා.

දහවල පිටත් වී රාත්‍රිය වන විට එහි ලඟාවීම හැරෙන්නට ගමනට විරුද්ධ වෙන්න වෙන කිසි හේතුවක් මාධවට තිබුනෙ නෑ. සැකයක් තිබුනෙත් නෑ. ඔවුන් පෙන්වූ විස්තර ඉතා ඉහල මට්ටමේ තැන් වලින් ලැබුනු රෙකමදාරුවන් බව පේන්න තිවුනා.  ඒ වගේම මාධව ප්‍රතික්ශේප කලා උනත්, ඔවුන් මේ ගමනට මාධවට ඉලක්කම් හයක ප්‍රමාණයක මුදලක් ඒ හැන්දෑව වෙනුවෙන් ගෙවන්න පොරොන්දු වීමත් ආකර්ශණීයයි.

ඉතින් වැඩිදුර කල්පනා කිරිම නැවැත්වූ මාධව සිය හිස අසුනට බර කලා. ඔහු නොදැනීම ඔහුට අතීතයේ මතකයන් යලිත් සිහි උනේ එවිටයි.

ඔසෙල්මීසාගේ මතක පොත හෙවත් වෙස්ට් හෝල් අතීතයේ කතාන්දරය....

එක්තරා කාලයකට පෙර මාධව සිය මෝටර් බයිසිකල් සවාරියක් කඩියන්ලෙන පැත්තට ගිය හැටිත්, ඉන් පස්සෙ එතන තිබ්බ පුවරුවක් දැකලා මොකක්ද මේ වෙස්ට් හෝල් ගල් පතුරු කියලා බලන්න කුතු හලේ නිසාම එහෙට ගිය හැටි මාධවට මතක් උනා.

ඉන් පස්සෙ තිත්ත පැටව් පීනන සීතල දොල පාරෙනුත් එගොඩ වෙලා තෘණ භූමියේ ගල් කුළුනු දිහාව බලාන ඉද්දි සහ එතනදි අනතුරට ලක්වෙලා සිය පාදය වේදනාකාරී ලෙස භග්න වීම මතක් වෙද්දි ඇස් පියන් තද උනේ ඒ වේදනාව මේ මොහොතෙත් මතක් වෙලා...

ඉන් පස්සෙ මීදුම මැද්දෙන් අද්භූත ලෙස මතු උන වියපත් කාන්තාවක් මාධවගෙ කකුල සනීප කරපු හැටිත් ඇයගේ අතීත කතාව පැවසූ හැටිත් මාධවට මතක් උනා.

ඔසෙල්මීසා!

එයා ඇවිදින් පෘතුවියේ දිගු කාලයක් ගත කරල අන්තිමට යන්නම ගිහින්.......

මාධව ඒ කාලයේ ඒ මතක වලින් මිදිලා ඇස් අරිනකොට කඩියන්ලෙන මාර්ගයෙන් වෙස්ට් හෝල් පාරට සැප පහසු වාහනය හරෝනවා දැක්කා. හැන්දෑවෙ අලු පාට අහස යට පොද වැස්සෙන් අඩුවක් නෑ. ඒ හරිම ලස්සන පරිසරය දැකලා මාධවගෙ හිතට සැනසීමක් ලැබුනා. කාලෙකින් හුරු පුරුදු දිහාවකට යන හැඟීම දැනුනා.
...............................................

පාට වෙනස්වෙන ගල ඇල්ලූ අත් පළඳනාව

පාට වෙනස් වෙන ගල් ඇල්ලූ පළඳනාව තිබුනෙ කෝවිලේ ඉහල ශිව ලිංගයේ පාමුල. මහ වැස්ස නිසාම හැන්දෑ වෙලාවෙ කෝවිලේ මිනිස්සු හිටියෙ නෑ.

එතනට ගිය අමුත්තො දෙන්නගෙන් එක්කෙනෙක් මහ වැස්සෙම කෝවිලට ගොඩ වෙලා ශිව ලිංගය වටේ තිබුන ඒ පළඳනාව අතට ගද්දීම මහ සද්දෙට අකුණු හඬින් ප්‍රදේශයම දෙදරලා ගියා.

මාධවගේ හිතේ තිබුනේ එකම එක අදහසක් විතරයි.

මේ හොරකම නවත්තන්න ඕනි......

වෙස්ට් හෝල් මාර්ගයේ ඉදිරියට යද්දි වෙස්ට් හෝල් ගමට කලින් හම්බවෙන්නෙ මාධවට ඔසෙල්මීසා හමු උනු නිම්නය. අදත් මේ වන විටත් විසල් අහස යට මහ ගල් දරාගෙන ඒ නිම්නයේ තෘණ පදුරු සෙමෙන් නැලවෙනව. ඒ ගුප්ත සුන්දර නිම්නය පහු කරලා ඉදිරියට යද්දි හම්බවෙනව පාසලත් ඒ අසල කෝවිලත්. ඒ කෝවිල තමා මේ අමුත්තොන් ගෙ ගමනාන්තය වෙලා තිබ්බෙ. කෝවිල පහු කරලා කි.මී එකක් පමණ කන්ද ඉහලට යනකොට තමා වෙස්ට් හෝල් ගම්මානය හමු වෙන්නෙ. එදා මහ වැස්ස නිසා කිසිවෙක් පාරෙ හිටියෙ නෑ.

කවුරුත් නොදන්නවා උනාට මහ වැස්සට ගමට යන පාරට ලොකු නුඟ අත්තක් කඩාගෙන වැටිලා පාර අවහිර වෙලා තිබ්බෙ. මිනිස්සු වැස්ස පායනකම් ගමට වෙලා බලාන ඉන්නෙ මේ අත්ත අයින් කරලා මහ පාර විවෘත කරගන්න. ඒවා මුකුත් නොදන්න අමුත්තො තුන්දෙනයි මාධවයි කෝවිල ගාව වාහනය නතර කලා.

වැදගත්ම දේ සිද්ධ උනේ ඊට මොහොතකට කලින්. වංගු හුරු නැති පාරේ විශාල වංගු වලදි රියදුරු තදින් තිරිංග යෙදීම නිසා වාහනයේ තිබුනු ගොනුවක් කීප සැරයක්ම බිමට වැටුනා. කීප සැරයක්ම ඒක අරගෙන අසුන උඩින් තියන්න මාධව කටයුතු කලත් අන්තිම පාරට ඒක අහුලන්න යද්දි ජායාරූප කීපයක් බිමට වැටුනා. වාහනය තුල මඳ ආලෝකය ඇතුව උනත් ඒවා අඳුනගන්න මාධවට පුලුවන් උනා වෙස්ට් හෝල් කෝවිල, ඊලඟට අර අමුතු පළඳනාව, මාධවට ග්‍රාම නිලධාරී විසින් පෙර දාක කිව්ව විදියෙම.. තව පුද්ගලයින් කීපදෙනෙක් එකට ඉන්න ජායාරූපයක්.. ඒව දකිද්දි මාධව කුතුහලයට හෙමීට ගොනුවම ඇවිස්සුවා. මාධවට එහායින් උන්නු පුද්ගලයා නිදි නිසා ඔහුට ඒක විශේෂ දෙයක් ලෙස දැනුනෙ නෑ.. ගොනුවෙ මඳක් පෙරලගෙන යද්දි මාධව දැක්කා කණ්නාඩියෙන් තමන් දිහා බලන් ඉන්න ඉදිරි අසුනේ පුද්ගලයා. ඔහු ආපස්සට හැරිලා මාධව වෙත  ටිකක් දරුණු බැල්මක් හෙලලා ගොනුව උදුරාගත්තා. අර සිව ලිංගයේ ඔතා තිබූ පළඳනාවේ ජායාරූප පමණක් මාධවගේ දෙපා මුල වැටුනා..

මාධවට සියල්ල පැහැදිලි උනා....
මේක අමු අමුවේ කෙරෙන බලලෝභී මිනිසෙකුගේ තන්හාකාරයෙකුගේ හස්තයෙන් කෙරෙන හොරකමක්...

කිසිසේත්ම සිදු නොවිය යුත්තක්....
------------------------------

ගැටුම

පලවෙනි පාර මාධවගෙ කම්බුල හරහා වැදෙනකොට මොලේට සංඥාව නිකුත් උනා ඇඬ්‍රිනලින් ශ්‍රාවය කරවන්න. දෙවෙනි පාර වදිනකොටම මාධව උවමනාවෙන්ම බිමට ඇදගෙන වැටුනා. වැටෙන තැන තිබුනු කෝවිලේ දොර අඩේට තියන යකඩ බටේ අල්ලාගත්තු මාධව ඒකෙන් පාරවල් කීපයක් තක්කඩියාට වැරෙන් තෑගි කරලා ඔහු අතේ තිබුන මංජුසාවත් අරගෙන වැස්සෙම එලියට පැන්නා.

මේ හොරකම කරන්න එපා කියලා මාධව විරුද්ධ උනේ ඔහු ඒ මාලයාතට අරන් අර මංජුසාවට ඔබා ගද්දි. මාධව ඔහුගේ දෑතින්ම අල්ලලා බරපතල ගණයේ ආයාචනාවක් කලේ. මේ ගම්මානයේ අහිංසක මිනිස්සුන්ගෙ වන්දනාවට ලක් වෙන අහිංසක කාන්තාවක් ඉතුරු කරල ගිය එකම දේ කොහේ වත් ඉන්න තන්හාකාරයෙකුගේ ආසාවන් වලට හොරකම් කිරීම මාධවට ඉහිලුම් දුන්නෙ නෑ.

යලි යලිත් එයට විරුද්ධ වෙද්දි තමා  මාධව අසලින් ගමන පුරාවටම ඉඳගෙන ආව මිනිහා අත දිගෑරලා හස්ත ශක්තිය පෙන්නුවෙ. ඒ පාරේ සැරට මාධවගෙ ඔලුව හෙලවිලා කැරකෙන්න ගත්තා.. දෙවෙනි පාර වදින්න කලින් මාධව දැක්කා යකඩ පොල්ල. දෙදෙනි පාර වදිනකොටම මාධව බිමට ඇදගෙන වැටුනෙ යකඩ පොල්ල අල්ලාගෙනමයි. වාසනාවට උන් අතේ  ආයුධයක් තිබ්බෙ නෑ.. යකඩ පොල්ල ඉස්සෙල්ලම කාට වැදුනද කොහාට වැදුනද මාධවට අදහසක් නෑ.

කාගෙදෝ අර ස්මාට් කණ්නාඩිය ගැලවිලා විසි වෙනව මාධව දැක්ක. කොහොමෙන් හරි ක්ශණිකව යකඩ පොල්ල උන් තුන්දෙන දිහාට විසිකරද්දි උන් බිම ඇද වැටෙනව මාධව දැක්ක. ඒ තත්පරයට අඩියට දෙකට මහ වැස්සෙම කෝවිලේ පඩිපෙල බැහගෙන නොව පැනගෙන දුවගෙන වාහනේ ගාවට මාධව දුවගෙන ආවා.. මහ අකුණු හඬ මැද්දෙම වාහනේ රියදුරු දොර අරින්න අගුලට අත තිබ්බාම තමා මාධව දන්නෙ. ඒක ස්වයංක්‍රීයව අගුල් වැටිලා කියලා. ඊලඟට කුමක් කරන්නද කියලා හිතනකොට මාධව දැක්ක අරුන් තුන්දෙනා කෝවිලෙන් එලියට ඇවිල්ල වග..

දැන් තමා මරණීය සටනක් පටන් ගන්නෙ....

මාධවගෙ අදහස උනේ වාහනයත් අරගෙනම පැනල යන්න. ඒත් අවාසනාවට වාහනයෙන් එලියට එද්දි ඔවුන් විද්‍යුත් යතුරත් අරගෙනයි කෝවිලට ගිහින් තියෙන්නෙ. වැඩි වෙලා නැති නිසා මාධව වට පිට බැලුවා. ගමට යන්න උඩහට දුවන්න වෙනවා. ඊට වඩා ලේසියි පාරේ පහලට දුවලා උදේ වෙනකම් මීටර දෙසීයක් තුන්සීයක් පහලින් තියන වෙස්ට් හෝල් නිම්නයේ සැඟවෙන එක. මාධව තමන්ගේ හිත කියන දේ ක්‍රියාත්මක කලා. සතුරු කැල වාහනය ලඟට එද්දි මාධව අහස ගුගුරනා මහ වැස්සේම පාරේ පහලට දුවන්න ගත්තේ මොහොතක්වත් නොසිතා.

මීටර පනහක් හැටක් වගේ පාරේ පහලට දුවන් යද්දි වාහනය පණ ගැන්වෙන හඬත්, විදුලි ආලෝකය තමන් දිහාට එල්ල වෙන බවත් පෙනුනු මාධව වේගය වැඩි කරලා හනික පාර දිගේම පහලට දුවන් එනකොට මීදුම් පටලය ඉරාගෙන ඒ ජීප් රථයත් මාධව ව ලුහු බඳින්න පටන් ගත්තා..

මාධවට ඕනි උනේ නිම්නයට පැන ගන්න විතරයි. නිම්නයේ අස්සක් මුල්ලක් නෑර දන්න මාධවට උන් දෙන්නගෙන් බේරිලා ඉන්න හැටි සැලසුමක් තිබුනා. මහ රෑ වැහි මැද අඳුරේ කෙතරම් එය සාර්ථක වෙයිද කියලා අදහසක් ඒ වෙලේ නොතිබුනත් මාධවට විශ්වාසයක් තිබුන ගල් කුළුනු අතරේ අතුරුදහන් වෙලා ජීවිතේ බේරගන්න පුලුවන් වෙයි කියලා.

ඒ වෙද්දිත් වේගයෙන් පැමිණෙන රථය මාධවගේ දෙපා ආසන්නයට කිට්ටු වෙද්දිම ඉදිරියෙන් වූ විශාල වංගුව නිසා තිරිංග යොදන්න වීම වාසියක් කරගත්තු මාධව තවත් වේගයෙන් ඉදිරියට දුවන්න උනේ කලුවරේ වැස්සෙමයි. මහ සද්දෙට තිරිංග යොදපු වාහනේ පාරෙන් පිටට පැනලා නතර උනා.

තත්පර ගාණක වාසිය අරගෙන වේගයෙන් දුවගෙන ගිය මාධව එක වරම සුදු ඉර පෑගිලා ලිස්සලා ගිහින් බිම ඇද වැටුනු නිසා පාර දිගේ රෝල් වෙලා ගිහින් නතර වෙද්දි මැර රංචුව වංගුවෙන් පිට පනින්න ගිය වාහනේ ආපහු පාරට අරගන්න සමත් වෙලා තිබ්බ. පාරේ රලු බවට මාධවගෙ අත පය හීරිල. නලලෙන් ලේ ගලනවා. සේරටම වඩා වේදනයි හිතට මේ වගේ ජරා කටයුත්තකට හවුල් වෙන්න වීම ගැන. ඒව හිත හිතම බිම වැටිල ඉන්න මාධව දනි පනි ගාල නැගිටගෙන තෙත බරියමේම ආපහු පල්ලමේ හැල්මෙ දුවනකොට වාහනේ එනව පෙරටත් වඩා වේගයෙන්. ආයෙමත් මාධවව යට කරන්නැහේ ආපු වාහනෙන් බේරෙන්න මාධවට කරන්න තිබ්බෙ එක දෙයයි. පාර අයිනෙන් ගලන ඇල පාරට ඇස් පියාගෙන එක හුස්මට පනින්න මාධව තීරණය කලා.

තීරණය ක්‍රියාත්මක වෙද්දි මාධවගේ ශරීරය ඇල ඉවුරේ පඳුරු තලාගෙන කටු පඳුරු වලට හම ඉරාගෙන ඊලඟට සීතලම සීතල ජලය කපාගෙන දිය තුලට ගිලුනා. වේදනාවට මාධවට කෑ ගැහෙද්දි වතුර පෙවුනා. දනි පනි ගාලා අඳුරේම සාක්කුවේ තියෙන ඒ මංජුසාව රැකගැනීමේ උවමනාවෙන් පෙලෙමින් දිවි පරදුවට තියලා සීතලනෙ ගල් වූ අත් සහ දෙපා ගසමින් ජලයේ ස්ථාවර වෙන්න උත්සහ දරණ මාධවට පෙනුනෙ වාහන එලිය පාර අයිනෙ නතර වෙලා බව. වතුරෙන් උඩට ආව මාධවට මිනිස්සු කීප දෙනෙක් කෑ ගහන හඬ ඇහුන. උන් තුන් දෙනයි ඉන්නෙ. මාධවට ඒ තුන් දෙනාව වෙන් වෙන්ව හමු වුවහොත් බේරී පලා යාම කල හැකි දෙයක්. එකට හමු උනොත් උන් මාධවව මේ නිම්නයේ මිහිදන් කරාවි.. සීතල වතුරේ ඉවුරේ තිබූ පදුරු දිහාට පීනගෙන ගිය මාධව ඒ පඳුරු වලට මුවා වෙලා උත්සහ කලේ සීතලෙන් මිදී හෙමීට දිය පාරේම පහලට ගොස් වෙස්ට් හෝල් නිම්නයට ගොඩ වීමට. ඒත් එයට බාධාවන් රැසයි. ඒත් තවත් කල් මැරීම නවතා දමා හෙමින් හෙමින් පදුරු අස්සෙන්ම මාධව ඉදිරියට ඇදුනා. ආලෝකයක් රහිතවම. අනාරක්ෂිතව. සීතලේ වෙවුලමින්...

ඒත් ආත්ම ශක්තිය ඇතිව..

සතුරෝ තිදෙනා ඇල පෙදෙස පීරන්න වැඩි වෙලා ගන්නැති බව මාධවට පැහැදිලි උනේ ලඟ ලඟම ඇසුන ඔවුන්ගේ ශබ්ද වලින්....

ඊලඟට ඇහුනෙ වාහනේ පන ගන්වන හ‍ඬ. වාහනේ ගියාද කියලා සැනසුම් හුස්මක් හෙලද්දි මාධව දැක්කා වාහනේ හරවලා ඒකෙ ආලෝකය මාධව ඉන්න දිහාවටම වගේ හරෝන බව. මාධවට ඔවුන්ගෙ අරමුණ පැහැදිලියි. පිටිපස්සෙන් කවුදෝ වතුරට පනින හඬත් ඇහුන වගේ දැනුන. මායාවක්ද මන්දා. මාධව තවත් වෙලා නොගෙන පදුරු වලට හීරෙමින් ඇද වැටෙමින්, වතුරෙ ගිලෙමින් ඇල දිගේම මහ වැස්සෙ ඉස්සරහට ය්ද්දි මාධව දැක්කා තව එකෙක් වාහන ආලෝකය මැද්දෙන් තමන් දිහාට ආව විත්තිය. මීටර පනහකින් වගේ ඈතින් වෙඅට් හෝල් නිම්නය. මාධව පය ඉක්මන් කරා. එතකොටම පලවෙනි එකා මාධවගේ ඇඟට කඩාගෙන පැන්නෙ ගං ඉවුරෙන්. දෙන්නම වතුරට ඇදගෙන වැටුනා.

කොහොම හරි  එතනින් ගැලවුනු මාධව හිත හිත ඉන්න වේලාවක් නැති කම නිසාම ඇල ඉවුරට ගොඩ වෙලා වේගයෙන් නිම්නය දෙසට දුවන්න ගත්තා. වැටි වැටී දුවන මාධව කෝම හරි වෙස්ට් හෝල් නිම්නයට ඇතුල් වෙද්දිම අනික් උන් දෙන්නත් ඉස්සරහින් මතු උනේ මාධවට යන්න තැනක් හිතාගන්න නැති කරමින්.

තෙත බරියම් වූ වාහනයේ රියදුරු මාධවගේ පිටිපස්සෙන් හිටගත්තා. ඔහු අතේ තිබුනෙ අර කෝවිලෙන් ගෙනාව යකඩ බරුව.

මාධවට එයාගෙ අවසානය මැවිල පේද්දි ඉදිරියෙන් ආව කණ්ඩායම් ප්‍රධානියා කතා කරන්න ගත්තා.

ඇත්තටම ඌ කතා කලේ හින්දියෙන් සහ ඉංග්‍රීසියෙන්
මාධවට හින්දි ටිකක් තේරෙනව. ඒ වගේම උගේ ඉංග්‍රීසි පැහැදිලියි.

ඌ කතා කරන්න ගත්තා...

.................................
කණ්ඩායම් නායකයාගේ කතාව

මේරා නාම් ඔලිවර්, ඔලිවර් රාජ්. යේ හමාරා ඩ්‍රයිවර්....

ඔහු මාධවට රියදුරුව පෙන්නුවා...
හී ඊස් ශ්‍රී කරන්..

යේ මේරා ඇසිස්ටන්ට්, කුමාර්! කුමාර් යෝගී!

ඔලිවර් කලින් මාධවට තමන්ව හඳුන්වලා දුන්නට මෙතනදි කතා කලේ ඒම කලේ නෑ, එහෙම නැතිනම් මං කවුද කියලා ආපහු හොඳට මතක් කරගනින් කියන්න වගේ...

මාධව අමාරුවෙන් හති දාන ගමන් කිව්ව, අයි ඩෝන්ට් වෝන්ට් ටු නෝ අබවුට් යූ. අයි විල් කීප් දිස් ඉන්සිඩන්ට් ඇස් අ සීක්‍රට්. ප්ලීස් ඩෝන්ට් ඩූ දිස්. දිස් ඉස් සෝ ඉල්ලීගල් . යූ හෑව් නෝ රයිට්ස් ටු ස්ටෝල් දිස්. යූ හෑව් නෝ රයිට්ස් ටු ස්ටෝල් දිස් ෆ්‍රොම් දීස් ඉනසන්ට් විලේජර්ස්.

ඒ පාර ඔලිවර් ඉස්සරහට ඇවිත් මාධවගෙ බෙල්ලෙන් අල්ලලා බිම දනගස්සලා කම්බුලට එකක් ආයෙම ගැහුවා තරු විසිවෙන්න.

සුනෝ... අයි ඈම් ද පර්සන් හූ ස්පීක් හියර්. නොට් යූ ලූසර්!

එහෙම කියලා ඔලිවර් කතාව පටන් ගත්තා...

හමාරා බොස්, ප්‍රසාද්.....

අපේ ලොක්කා ප්‍රසාද් නම් වූ ව්‍යාපාරිකයා ඉන්දියාවෙ බැංගලෝර් වල නැගී එන තොරතුරු තාක්ශණවේදී සමාගමක් කරගෙන හිටපු කෙනෙක්. ලාභ හෙවීම සහ ව්‍යාපාරය පහසුවෙන් කිරීමට හිතලා ඔහු වෙනත් සමාගම් විසින් නිර්මාණය කරන  මෘදුකාංග වල කේත තමන්ගෙ චර පුරුෂයො ලව්වා හොරෙන් පිටපත් කරගෙන ඒවගේ අන්තර්ගතයන් වෙනස් කරලා තමන්ගෙ සමාගමේ නිර්මාණයන් ලෙස විකුණමින් කටයුතු කර කර ඉද්දි ඒ බවට චෝදනා ලබලා පාඩු ලබන්න පටන් අරං මදිවට වංචාවන් වලටත් නම පටලැවිලා. ඒකෙන් ගැලවෙන්න තියන අවශ්‍යතාවයන් නිසා තොරතුරු තාක්ශණ ක්ශේත්‍රයෙන්  ඉවත් වෙලා සූර්‍ය බලශක්තිය පැත්තට අවධානය යොමු කරලා ඒ පැත්තෙ ආයෝජන සිදු කරල තියනව. ඒත් නොසිතූ ලෙස ඒව පාඩු ලබන කොට ප්‍රසාද්ගෙ ලුමිනස් සමාගමට මුදල් යෙදවූ ආයෝජකයින්ගෙන් ගැලවෙන්න මාර්ගයක් හොයන කෙනෙක් විදියට ඉද්දි ඔලිවර්ගේ ඒජන්‍ත කෙනෙක් මාර්ගයෙන් ඔලිවර්ට හම්බෙලා තියනවා මේ ප්‍රසාද් ව. ප්‍රසාද්ගෙ කොන්තරාත්තුව උනේ වෙස්ට් හෝල් වල තියෙන මේ මාලය ඉන්දියාවට ගෙනැල්ල දීම විතරයි.

යේ කාම් බොහෝත් ආසන් හේ. බට් යූ මේඩිට් සෝ හාඩ් පැල්. නව් ඉට්ස් ටයිම් ටු ගෝ ටු හෙවන් මිස්ට මාධව.

ඒකෙන් ඔලිවර් කිව්වෙ ඒ කටයුත්ත බොහොම ලේසි එකක්, ඒත් උඹ ඒක මහ අමාරු එකක් කලා මාධව කියලයි.

ඔලිවර් වියරුවෙන් වගේ එහෙම කියද්දි මාධවට පෙනුනෙ පිටුපසින් තමන්ගෙ හිස දිහාවට එන යකඩ බරුව විතරයි.
.........................................................

සඳ එළිය යට බිහිසුණුය නිම්නය



වැස්ස පායලා. අඩ සඳ පැහැදිලිව ආකහේ බැබලෙනවා. ඒත් තැන තැන මීදුම් වලාවන් තියනවා.

මිනිස්සු හතර දෙනෙක් නිම්නයේ ඉන්නවා පාර දිහා ඉඳන් බලාන ඉන්න කෙනෙක්ට පේන්න තිබුන. ඇලෙන් එහා පාරෙ නවත්තලා තිබ්බෙ විශාල වාහනයක් ආලෝක ධාරා විහිදුවෝගෙන තවමත් පණ ගන්වලා. මීදුම කපාගෙන හඳ එලිය පරදවාගෙන ඒ එලිය ඒ මිනිස්සුන්ට ටිකක් එහායින් පඳුරු මත එල්ල වෙලා.

එක මිනිහෙක්  හිටියෙ දණ ගහගෙන. ඔහුට ඉස්සරහින් මිනිස්සු දෙන්නෙක් ඉන්නවා හිටගෙන. ඉන් එක්කෙනෙක් දණ ගහන් උන්නු කෙනා දිහාට ඇඟිල්ල දික් කරගෙන මොනාදෝ කියනවා වෙන්න ඇති......

දණ ගැසූ පුද්ගලයාට පිටිපස්සෙන් ඉන්න කෙනා අතේ තිබ්බෙ ලොකු යකඩ ඉන්නක්. ඔහු ඒක තත්පරෙන් පංගුවකදි ඉහලට ඔසවද්දි ඒ යකඩ ඉන්න හඳ එලියට දිලිසුනා..

යකඩ බරුව හිසේ ගැටුනොත් මැරෙන්න තත්පරයකින් දාහෙන් එකක් ඇති. සුක්කානම හුරු රියදුරා පලපුරුදු විදියට යකඩෙ ඔලුවට පාත් කරද්දි මාධව නොසිතාම පැන්නේ ඔලිවර් දිහාට. යකඩ ඉන්න ලාවට මාධවගෙ විලුඹෙ වදිනකොටම ඔලිවර් සහ මාධව එකට පෙරලිලා වැටුනෙ අසල තිබ්බ ඇලට. ඒ ක්ශණයකින් මාධව ඔලිවර්ට දැඩි මුෂ්ටි පහරක් දෙකක් දීගන්න සමත් උනා. ඔලිවර් කකුල උස්සල ගහපු පාරට මාධව උඩුබැලි අතට විසි වෙලා ගිහින් ඇලේ පහල තිවුන වලකට වැටුනා. ඔලිවර් නැගිට්ටවන්න අනික් දෙදෙනා ඇලට පැනලා උත්සහ කරද්දි මාධව තරමක් ගැ‍ඹුරු බව දැනුනු ඒ වලෙන් පීනගෙන ගිහින්  ඉවුරට ගොඩ වෙලා නිම්නය දිගේ දුවන්න පටන් ගත්තා. ඒත් යකඩ ඉන්න වැදුන තැන හරිම වේදනයි. හරියට අඩියක් තියාගන්න අමාරුයි. ඒ අස්සෙම සාක්කුව අත ගාපු මාධවට දැනුනා ඒ මංජුසාව තාම සාක්කුවේ කියලා.. මාධව වේගය වැඩි කලා. ප්‍රමාණවත් වේගයක් ජීවිතේ ආරක්ශා කරල දෙයි.....

නොන්ඩිය උඩින් උනත් දුවද්දි මාධවට ඇහුණා වතුරෙන් ගොඩට ආව ඔලිවර්ගෙ හඬ

පකඩෝ සාලා! (අල්ලපං ඌව!!)

ඔලිවර්ව ඉවුරෙ ඉන්දවපු රියදුරා සහ අනෙකා කුමාර් දුවගෙන එන්න ගත්තේ අඳුරේම. ටිකෛන් උන් විදුලි එලි දෙකක් පත්තු කරගත්තා. ජංගම දුරකථන වෙන්න ඇති.  අඩ සඳ ආකාසේ පායලා තිබ්බ නිසා පරිසරය තරමක් ආලෝකමත් වෙලා තිබ්බා. හැබැයි සීතල එහෙම්මයි. මාධව නිම්නයේ ඉහලට ඉහලට ඇදුනා. ඈත පේනවා ගල් කුළුණු. තැනින් තැන තියන වෙස්ට් හෝල් නිම්නයෙ ගල් කුළුණු.

මාධවට ඔනෑ උනේ ඒ අස්සෙ වහන් වෙන්න. කිසි ප්‍රාණියෙක් නැති මේ අජීවී ගල් කණු මාධවට උදව් වෙයි කියලා මාධව විශ්වාස කලා වෙන්නැති. ඔහු ජීවිතය හොයාගෙන දිව්වෙ ඒවා දිහාවට...

අරුන් දෙන්නාගේ විදුලි එලි මාධව දිහාට එල්ල වෙනවා. සීතල නිසා පපුවේ වේදනාව, තුවාල නිසා කකුලේ වේදනාව වැඩි උනා. මාධවට තවත් දුවාගන්න බැරිව ඉඳගත්තා. තව ටිකයි දුර ගල් කුළුණු වලට. ඒත් බෑ!


මාධව කොර ගගහා නිම්නයේ ඇතුලට මීටර හාර -  පන්සීයක්වත් දුවන්න ඇති.

හති දාන්න බිම ඉඳගත්ත මාධව ලඟට අඩියට දෙකට ආව රියදුරා "ශ්‍රී"  මිට මොලෝලා මාධවට පාරක් ගැහුව. ඔහුගේ අනෙක් සහචරයා හති දදා පහල තවම.  ඉස්සරහ දත් ගැලවෙන්න වගේ මාධවට වැදුනු ඒ පාරට.

දෙවෙනි එකත් ඒ වගේම වැදුනම නාස් පොල්ල බිඳුනු බව මාධවට දැනුන. කටට ලේ පිරෙන්න ගත්තා.
තුන්වෙනි පාරට අත ඔසෝනකොට මාධව මිට මොලෝලා රියදුරාගේ යටි බඩට පාරක් දුන්නම ඔහු වේදනාවෙන් නැමුන. ඒ තත්පරේට දෙකට අඳුරේම අවට අත ගාපු මාධවට අහු උනේ තරමක් දැඩි ගල් පතුරක්.

රියදුරාගෙ දත් කැඩෙන හඬ නිම්නයේ හුලඟේ අතුරුදහන් වෙනකොට මාධව ඒ ගල් පතුරෙන් රියදුරාගෙ මූණට ඇනල ඉවරයි. වේදනාවෙන් කෑගහගෙන බිම පෙරලුනු රියදුරුගෙ මූණටයි ඇලපතටයි මාධවගෙන් ගල් සාත්තු කීපයක්ම ලැබෙද්දි මාධවගෙ පිටිපස්සෙන් හති දාගෙන ආව සහකාර කුමාර් මාධවව අහකට ඇදල දැම්ම. එතකොට රියදුරු වේදනාවෙන් ගුලිවෙලා අහවරයි..

ඊලඟ ප්‍රතිවාදියා කුමාර් වැඩ පටන් ගත්තෙ අතින් නෙමෙයි කකුලෙන්..

පලවෙනි පාර බඩට. ඒකෙ දරුණු බවට බඩවැල් උණ්ඩුක පුච්චය පුපුරන්න ඇති. ඒ මරණීය වේදනාව මාධවගෙ ඉහටම ගැහුව. මාධවගෙ ඇස් නිලංකාර වෙලා ගියා. දෙවෙනි තුන්වෙනි සිවුවැනි පාරවල් පිලිවෙලින් වම් ඉලපතට, මූණට හා යටි බඩට පතිත වෙද්දි මාධවගෙ ඇඟ වේදනා දැනෙන මට්ටමින් ඔබ්බට ගියා වගේ..

ඇස් අඳුරු වෙද්දි මාධවගෙ අතේ තිබුන ගල් පතුර කොහෙන්දෝ  කොහොමදෝ ගිහින් කුමාර්ගෙ දනිස්සට වැදුනා අකුණක් වගේ. කුමාර්ගෙ සමබර බව බිඳුනා. ඒ අවසරයෙන් ඔහුව බිම පෙරලාගෙන ඔහුගේ මූණට මිට මොලවාගත් දෑතින් පහර පිට පහර දහයක් දොලහක් විතර එල්ල කරද්දි මාධවගෙ හිසට මොකක්දෝ හේත්තු උනා.

ස්ටොප් ඉට්. අදර්වයිස් අයි විල් කිල් යූ..

මාධව කුමාර්ගෙ ඇඟ උඩ ඉඳන්ම ඔලුව හරෝලා ඒ සද්දෙ ආව දිහා බලද්දි දැක්කෙ සයිලන්සරයක් සවි කරපු නවීන පෙනුමැති ගිනි අවියක් මාධවගේ හිසට ඉලක්ක කරලා අල්ලාගෙන ඉන්න ඔලිවර් ව!

ඔව්. එහෙනම් මාධවගේ අවසානය ඒකයි. මාධවගේ හිත තමන්ට කිව්වා..............

..........................................................

සම්ප්‍රාප්තිය

එතකොටයි ඒක සිද්ධ උනේ...........

හඳ එලිය යට මිනිසෙක් තෘණ භූමියේ තැනක බිම වැටිලා ඉන්නව සිහි නැතිව. තව එකෙක් බිම පෙරලිලා කෙඳිරි ගානව. ඔහුගෙ ඇඟ උඩ කෙනෙක් නැගගෙන. ඒ නැගගෙන ඉන්න මිනිසාගෙ ඔලුවට මොකක්දෝ වස්තුවක් හේත්තු කරගෙන තව මිනිහෙක් ඒ අසල හිටගෙන ඉන්නවා.

අන්න එහෙම ඉද්දියි ඒක සිද්ධ උනේ.

එක පාරට අහස විදුලි එලි විහිදුවන්න පටන් ගත්තා. හුලඟේ හෙලවුනු තෘණ පඳුරු එක සැරේම ඍජු වෙලා අහසට දික් උනා. ඉර පෑව්ව වගේ දීප්තිමත් ආලෝකයක් පැතිරෙන්න ගත්තා..

ඒ ආලෝකය පැතිරෙද්දී මීදුමකුත් ගලාගෙන හාත් පස වෙලාගත්තා. ලේ ගලන මුහුණින් යුතු මාධව අවට බැලුවේ ඔලිවර් එක්කමයි. එක සැරේම ඔලිවර්ගේ අත දැරූ ගිනි අවිය බිම වැටුනා.  ඔලිවර් සිය දෙකන් වසා ගත්තේ බිම දනගහමින්.

ඒ වෙද්දි දහවල් වගේ ආලෝකය පැතිරිලා...

අතීතයේ එක්තරා දවසක වගේම, ඒ ආලෝකය මැද මීදුම් පටලය මැද්දෙන් මාධව දිහාවට ඇවිදගෙන ආවේ  වෙන කවුරුත් නෙමෙයි. කාලයකට ඉහතදී අතරුදහන් උන මේරි අම්මා නොහොත් ඔසෙල්මීසා......

මාධව අපහසුවෙන් නැගිටින්න උත්සහ කලා. මාධවගේ හිතේ හැඟුම් රැසක්. ප්‍රශ්න රැසක්. පුදුමය සහ නව බලාපොරොත්තු එක වර නැගුනා. චර පුරුශයෝ සියලු දෙනා බිම සිහි විසඥ වෙලා. මාධවගේ ශරීරය පුරාම දැඩි වේදනාවක්  දිවයද්දිත් හෙතෙම නැගිටලා ඔසෙල්මීසා දෙස බලා උන්නා. ඔසෙල්මීසා ලඟට හෙමින් ගියපු මාධව සාක්කුවෙන් අර මංජුසාව අරගෙන ඇයගේ අතේ තිබ්බා.

ඇයගේ අදහස් මාධවට ඇහුනෙ ඒ වෙලාවෙ. දෙතොල් නොසෙල්වා ඇය පැවසූ අදහස් මාධවට පැහැදිලිව ශ්‍රවණය උනා.

ඔබට අයිති නැති දෙයක් උවත් මෙය රැක ගැනීමට ඔබ දැරූ උත්සහය අති විශිෂ්ඨයි මාධව. ඔබව මරා දැමීමට චේතනාව තිබූ ඔහු මම නවතා දැමුවා. ඒ සඳහා මා විශේෂ ආයුධයක් භාවිතා කලා. ඒ තරංගයක්. ඔහු සිහි විසංඥ උනේ  ඒ කම්පන තරඟයේ බලපෑමෙන්..

ඔබ කලේ අතිවිශිෂ්ඨ දෙයක්.

ඒ වෙනුවෙන්  ප්‍රති උපකාරයක් ලෙස මට කල හැක්කේ කුමක්ද?
ඔසෙල්මීසාගේ වචන මාධවට පැහැදිලිව ඇහුන..

මඳ වෙලාවක් කල්පනා කරපු මාධව මෙහෙම කිව්ව්..

මෙය ඔබගේ ලෝකයට රැගෙන යන්න.

ඇයගෙන් වෙන කිසිත් බලාපොරොත්තු නොවූ මාධව පිළිතුරු දුන්නා.

මේ සා වූ කෲර ලෝකයක, අනෙකුත් මිනිසුන්ගේ සිතුව්ලි වලට ගරු නොකරන ලෝකයක මේ වගේ වටිනා වස්තුවක් පරෙස්සම් කරන්න කාටවත් බැහැ. පරෙස්සම් කරන්න කාටවත් උවමනාත් නැහැ..
මෙය රැගෙන යන්න.  මෙවැනි දෙයක සැබෑ වටිනාකම මුදලට තීරණය කරන්න ලෝක යුද්ධයක් උනත් ඇති වෙන්න පුලුවන්.

ඒ නිසා මෙය පෘතුවියට අවශ්‍ය නොවන දෙයක්..

මාධව එහෙම කිව්වම ඔසෙල්මීසා ඉදිරියට පැමිණ මාධවගේ උරහිසට අත තැබුවා. එයින්ම මාධවගේ ශරීරයේ වේදනාවල් නැතිවී ගියා.

ඉන් පසු අත් පළදනාව සිය අත්ලේ තබාගත් ඔසෙල්මීසා සිය දෑස් පියාගත්තා. අතීතයේ එක්තරා දවසකදී සිදු වූ පරිදි ඇය විවිධ රූප වලට රූපාන්තරණය උනා.

වියපත් මේරි අම්මා..
පිටසක්වල යුද්ධ ඇඳුමින් කාන්තාව..
ලැයිමේ පුංචි දැරිවිය.

ආදී ලෙස බොහෝ රූප වලින් පෙනී සිටි ඇය යලිත් ඔසෙල්මීසාගේ රුව බවට පත්ව දෑස් විවෘත කර මාධවට සුභ පැතුවා...

එතකොටම තෘණ භූමිය මැද්දට පුංචි නීල වර්ණ ආලෝක ධාරාවක් වැටුනා..මුලින්ම දඟරයක් වගේ  කැරකි කැරකි ආව ඒ ආලෝකය ඉන් පස්සෙ හරි කෙලින් ඉරක් වගේ ආහකේ ඉඳන් බිමට වැටිල තිබුනා. ටික වේලාවක් ස්පන්දනය වුනු, හරියට තරංගයක් වගේ ස්පන්දනය වුනු ඒ ආලෝක ධාරාවේ ස්පන්දනය නතර වෙලා ස්ථීර ආලෝක කදම්භයක් ස්ථාපනය උනා. ඒ ආලෝක ධාරාව දිහාවට හෙමින් හෙමින් ඇවිදගෙන යන කාන්තා රූපයක් හා ටික වෙලාවකින් නිල් පාට ආලෝකය තුල සදහටම අදෘශ්‍යමාන වෙලා ඒ කාන්තා රූපය නොපෙනී ගිය හැටි දකින්න ඒ වෙලාවෙ වෙස්ට් හෝල් නිම්නයේ ඇහැරිලා හිටියෙ මාධව විතරයි.

වේදනා වලින් මිදුනු මාධව හෙමින් හෙමින් ඇල ඉවුරට ඇවිත් චෞරයින්ගේ රථ වාහනයට නැගලා ඉක්මනින් ආපසු පිටත් උනා.
---------------------------------------------

පසුවදන. ~

1 - ප්‍රසාද් නම් වූ ව්‍යාපාරිකයා CIB අත් අඩංගුවේ. මුදල් වංචා පිලිබඳව චෝදනා රැසක්. - Bangalor Times

2 - ඔලිවර් නම් ජාත්‍යන්තර අපරාධකරුවා  සහ ඔහුගේ සහචරයින් දෙදෙනෙක් නාවලපිටිය වෙස්ට් හෝල් ග්‍රාමයේදී හමුවේ. ඔවුන් පැමිණියා යැයි සැක කෙරෙන ජීප් රථය නාවලපිටියට ආසන්නයේ මහවැලි ගඟෙන් ගොඩ ගනී. -  ශ්‍රී ලංකා රූපවාහිනී ප්‍රවෘත්තියක්

3 - ඊයේ රෑ මහ කුණාටුව මැද ශිව ලිංගයට පළඳවා තිබූ අර පළඳනාව අතුරුදහන් වෙලා. පොලීසියට දැනුම් දුන්නා. සී සී ටී වී වලත් මුකුත් නෑ....-  ග්‍රාම නිලධාරී වෙස්ට් හෝල් වෙතින් මාධවට ලද කෙටි පණිවුඩය.
........................................................
තරු නිදන මහ රාත්‍රියක....

දැන් මේ දිගහැරුනු කලබගෑනිය සිද්ධ වෙලා මාස තුනක්, හමාරක්..මාධව තමන්ගෙ කුලී ගෙදර සැටිය මත හාන්සි වෙලා උන්නෙ තමන්ගෙ කරදර ගොන්න ගැන හිත හිතා. දිට්වා වලට පෙරදා සිටි සැහැල්ලු සනීප ජීවිතේ මාධවට මතක් උනා. දැන් තියෙන්නෙ ජීවිතයක් නෙමෙයි කුණාටුවක්. කල්පනා ලෝකයේ අතරමං වෙවී සිතුවිලි අතර පා වෙවී අඩ නින්දේ ඉන්න මාධවට එක පාරට මතක් උනේ මාස කීපෙකට ඉහතදි ආපහු දැක්ක ඔසෙල්මීසාගෙ රූපාන්තරණය.

වියපත් මේරි අම්මා..
පිටසක්වල යුද්ධ ඇඳුමින් කාන්තාව..
ලැයිමේ පුංචි දැරිවිය.

මේ ආකාරයට රූප ගොඩක් මැවුන ඔසෙල්මීසාගෙ එක රූපයක් මාධවට එවෙලෙ ඒ වේදනාකාරී අවස්ථාවේ ලොකුවට අදහසක් නැති උනත්........

මේ වෙලේ හොඳට මතකයේ රැඳුනා....

ඊලඟ තත්පරේදී මාධවට ඇහැරුනා. තමන් දැක්කෙ හීනයක්ද නැද්ද කියලා මාධව ටිකක් වෙලා කල්පනා කලා....

හීනයක් හෝ සැබෑවක් හෝ මාධව හැමදාම ඇත්ත හොයන කෙනෙක්...

ඔසෙල්මීසා ගැන මාධවගෙ හිතේ තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද කියලා මාධවට කියන්න තේරෙන්නෙ නෑ. නමුත්...... ඇය හමුවේ ගොලු උනත්, පස්සේ හිතන විදියට ඇයත් එක්ක  කතා කල යුතුයි කියලා හිතෙන දේවල් ගොඩයි. ඒ නිසා හනික සැරසුනු ඔහු සිය ගමන් මල්ලට ඇ‍‍ඳුම් කීපයක් දමාගෙන යතුරු පැදියේ නැගී සිය ගමන ආරම්භ කලා...

පමා වීම තවත් හොඳ නෑ කියලා හිතාගෙන...

ඇය ඉන්න තැන ගැන මාධවට අදහසක් තියනවා.....
ඒ නිසා මාධව පිටත් උනා..

සත්‍යය හොයාගෙන...

ඒ එක්තරා දවසක තරු නිදන මහ රාත්‍රියක.....

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form