ෆ්ලවර් හෝන්


ජීවිතේ කියන්නෙ පැටලුණ නූල් බෝලයක්.
ඒ කියන්නෙ ප්‍රශ්න සහ කරදර ගැන නෙමෙයි.
මොකක්දෝ විදියකින් එකිනෙකට ඈදිලා තියන නූල් ගොඩක්. සමහර නූල් වල සම්බන්ධය හමුවන්නෙ කාලයක් ගිහින්. ..

මේකත් එහෙම කතාවක්...

ඒ තමයි ෆ්ලවර් හෝන් අනාවැකිය


ෆ්ලවර් හෝන් කියන දෙමුහුන් මාලුවා කියන්නෙ කාලයක් සුරතල් මත්ස්‍ය ලෝකයේ උන්මාදයක් උනා. ජෑම් ගුරාමි කියපු යෝද ගුරාමියා, බිළාල මාලුවා, කිඹුල් කටා (දැන් ඇනයක් වෙලා ඉන්න ඇලිගේටර් ගාර්) සහ ඇරොවානා තමා සුරතල් මත්ස්‍ය ලෝකයේ ඉහලින් වැජබුනේ. එතනිනුත් ඉහල තලයේ උන්නු කෙනා තමා මේ ෆ්ලවර් හෝන් නම් මාලුවා.

අමුතු දීප්තිමත් වර්ණ වලින් හෙබි පැතිලි මාලුවෙක් වන මේ ෆ්ලවර්හෝන් මාලුවගේ හිසේ ඇඟේ ප්‍රමාණයට සාපේක්ශව බෝලයක් තියනව.හරියට මිනිහෙක්ගෙ මොලයක් වගේ. මේ මාලු උන්නැහේගෙ විශේෂත්වය තමා ඉතා ඉක්මණින් ඔහුගේ ස්වාමියාට අනුගත විම. හීලෑ වීම. බොහෝ මත්ස්‍ය වෙළඳුන් මේ මාලුවට කිව්වෙ දෙමූහුන් මාලුවෙක් කියලා..

ඉතින් 2013 වගේ අවුරුද්දෙ තරුණ අයියා මලෝ යුවලක් අලුතෙන්ම ගත්තු මෝටර් බයිසිකලේක  නැගලා ගම්පොලට පිටත් වුනේ බොහොම අඩු මිලට මේ කියන ෆ්ලවර් හෝන් මාලුවො විකුණනවා කියන ආරංචියට. උදෑසන හිරු රැස් මැද්දෙන් සීතල මඳ සුලගෙ කයි කතන්දර ඉගිල්ලෙද්දි බයිසිකලෙන් දෙන්නම ගම්පොල ආව. ගම්පොල කිව්වට ගම්පොලම නෙමෙයි.  

ගම්පොල ආසන්නයට....

පණිවුඩය අර්ධ සත්‍යයක්. ඒ මාලු කඩේ මාලුවො දෙන්නෙක් ඉන්නව. වීදුරු ටැංකියෙන් උන්දෙන්නා දිහා ආශාවෙන් බලා උන්නු දෙසොහොයුරෝ හැබැයි මිල සම්බන්ධව නම් අතිශයින්ම වික්ශිප්ත උනා. එම මුදලාලි මහතාගේ මිල දරන්නට අපහසු ගණනක්. කොච්චර කේවල් කලත් වැඩක් උනේ නෑ. ලස්සන උනත්, ආශා උනත් පුංචි මාලුවෙක් වෙනුවෙන් එවන් මුදලක් වැය කල නොහැකියි. දෙන්න නිහඬවම කඩෙන් එලියට බැස්ස.....

අන්න එතකොටයි ඒ අමුතු පහේ ගෙදර හරි අපූරුවට පෙනුනෙ. මීට කලින් බස් එකේ යද්දි එද්දි එතන පහුවෙනව දැකල තිවුනට නිවි හැනහිල්ලෙ ඒ ගෙදර අධ්‍යනය කරන්න අවස්ථාවක් ලැබුනේ එදා........

ඉතින් ඉස්සෙල්ලම පෙනුනෙ ඉහල තට්ටුව. ඉන් පස්සෙ පහල තට්ටුවේ අඩක්. පරණ යකඩ තහඩු ගේට්ටුව ඉන් පස්සෙ පෙනුන. ඒ වගේම ඉංගීරිසි හෝඩියේ එල් හැඩයට තමා පිහිටීම තියෙන්නෙ කියලා පෙනුනා ඒ නිවසෙ. එල් අකුරේ පාදමට අදාල කොටස ඉහල තට්ටුවේ ජනේලත් ගුරු පාට බිත්තිත්, යට තට්ටුවේ ගරාජයත් තිවුන. සරුසාර ගෙවත්ත්ක් තිවුන. 

නිවසෙ තත්වෙ දිහා බලාපුවම හිතෙනවා අනිවාර්‍යයෙන් ඇත්තෙ වංශවත් පවුලක්. ඒ නිවස්නය දිහා බලපුවම කියාගන්න බැරි අමුතු ගාම්භීර බවක් පේන්නට තියනවා. සැලසුම සරලයි  හැබැයි අමුතුයි.

ඒ ගේ දිහා අනිච්චානුගව බලා උන්නු දෙසොහොයුරොන්ගෙන් එක්කෙනෙක් හඬ අවදි කලා..

ඒහ්.. 

හුම්ම්හ්... අනෙකා හූ මිටි තිබ්බ.. දෙන්නගෙම ඇස් තිබ්බෙ අර ගෙදර ඉහල තට්ටුවේ ජනෙල් දිහා....

මේ ගෙදර අනිවාර්‍යයෙන් බොහොම ලස්සන ගෑල්ලමේක් ඉන්නවා. හුරතලේට හැදෙන ලස්සන ගෑනු ලමයෙක් ඉන්නවා. ඒක ඉර හඳ සේ විශ්වාසයි..

ඒ වගේම ඇය හරිම සො‍ඳුරුයි......

එහෙම කියපු එක් සහෝදරයෙක් තව එක පාරක් ෆ්ලවර් හෝන් මාලුවගෙ ටැංකිය දිහාවෙ නෙත් බැලුම් යොමාලා, ආයෙම අර එල් හැඩේ බලකොටුව දිහාත් එක පාරක් බලලා හිස් වැසුම පළඳාගෙන යතුරු පැදියට නැගලා ඒක පන ගන්වාගෙන අනෙකාවත් නංවාගෙන ආපහු නාවලපිටියට හැරුනා. ඔහු නොදන්නවා උනාට ආන්න අර කලින් කිව්ව සම්බන්ධතා කියන නූල් බෝලේ එක පොටක ඔහු පැටලුනා. මාලුවා ගැන කිව්වොත් ඉතින් දැන් ෆ්ලවර් හෝන් පිලිබඳව සිහිනය සිහිනයක්ම වෙලා ගියාවේ. 

යතුරු පැදියේ ආපහු එන ගමනුත් අතරින් පතර මාතෘකාව උනේ අර අමුතු පහේ එල් අකුරු ගෙදරයි ඒ ගෙදර ඉන්න පුලුවන් ගෑණු ලමයයි, ඒ ගෑණු ළමයගෙ සොභාවයයි....

එක්කො ඒ ගෑණු ලමය ඉගෙනගන්න දක්ශ ඇති. අර උඩ කාමරේට දාල වහල ටොකු ඇන ඇන උගන්වනවා ඇති. කටකාර කමට එහෙම කිව්වට මොකද මිනිත්තු කීපෙකින් ඒ කතාව යට ගියා.

ඔය සිද්ධියෙන් පස්සෙ අවුරුදු කීපයක්ම ගෙවිලා ගිහින් ගොඩක් දේවල් වෙනස් උනා. එකෙක් විවාහ වෙලා ඉතාලියට ගියා. අනේකා විවාහ වෙලා  තමන් කාලයක් තිස්සෙ රාජකාරී කරපු ලුණුවිල පොල් පර්‍යේශණ ආයතනයේ සේවයෙන් ඉවත් වෙලා ගම්පොල රාජ්‍ය ආයතනයක වැඩට ආව. හරියටම කොරෝනා වසංගතයෙන් පස්සෙ ඒ ආයතනයේ නිලධාරිනියක් ස්ථාන මාරු ගිහින් වෙන කාන්තාවක් එම තනතුරට පත් වෙලා ආවා.

මුල් කාලයේ ඒ කාන්තාව ගැන බහුතර මතය උනේ මහ අහංකාර  නිලධාරිනියක් කියලා විතරයි. කොයි වෙලෙත් මාස්කුව පලඳා උන්නු නිසා මූණ කොයි වගේද කියලා හිතාගන්න බැරි උනා. ගම ගම්පොල කිව්වට ගම්පොල කොහෙද කියලා දැනන් උන්නෙත් නෑ.

කාර්‍යාලයේ නිල වෙබ් අඩවියේ ජායාරූපයක් පල කරන්න ඕනි නිසා ලුණුවිලින් ගම්පොලට ආව සහෝදරයා ඉදිරියේ ඇයට සිදු උනා මාස්කුව ඉවත් කොරලා ජායාරූපයට පෙනී ඉන්න.

එදා තමා ඉස්සෙල්ලම ඇගේ මුහුණ දැක්කෙ. විශේෂයක් නැති සාමාන්‍ය මූණක්. හිනාවක් නම් තිවුනෙ නැහැ. 

කාලයත් සමඟ ඇගේ හිනාව කාර්‍යාලයට සාමාන්‍ය උනා. කාර්යාලයේ හැමෝටම ආදරණීය නිලධාරිනියක් බවට ඇය පත් උනා. කොහොමත් අලුත් තැනදි බිළාල පැටියෙක්වත් එක පාර හිතවත් වෙන්නෑ. කාලයත් එක්ක  ඇය අර ලුණුවිලින් ආ සොයුරා එක්කත් හිතවත් උනා. ඒක රාජකාරී මට්ටමින් පැමිණි හිතවත් කමක්. අදටත් ඒමම තමයි....

පොදු ප්‍රවාහනය හෙවත් පාරේ බස් රථයෙන් නාවලපිටිය ගම්පොල අතර දිනපතාම ගමන් බිමන් යන රාජ්‍ය සේවයට ආ සහෝදරයාට දවසක් දා හරිම අහම්බයකින් පුදුම වෙන්න අවස්ථාවක් ලැබුන...

අන්න පෙර කී නූලක කෙරවල මුලිච්චි උනා.... බස් රථයේ විඩාබර වෙලා උන්නු ඔහුට අතීතය මතක් වෙලා කට කොනට හිනා මතු උනා....ඔව්. කාලෙකට කලින් කිව්ව ෆ්ලවර් හෝන් අනාවැකිය.....

කාලයකට ඉහත සොහොයුරුට කී අනාවැකිය ඔහුට මතක් උනා. කාර්යාලයට අලුතින් ආව ඉහත කී නිලධාරිනිය කුඩා කල ඉඳලම ඉඳල තිවුනෙ අර ෆ්ලවර් හෝන් උන්නු මින් මැදුර ඉස්සරහ  එල් හැඩැති එක්ටැම් ගේ කියලා දැනගත්තෙ ඇය ගේට්ටුව අතින් තල්ලු කරගෙන ඇතුලට යන හැටි දැක්කම..

අර අවුරුදු ගාණක්  ගිහිල්ලත් කෙලවර නොදැක්ක පැටලුණ නූල් බෝලයේ අනික් කෙලවර කාලයත් එක්කම හමු උනා කියලා තේරුනාම අමුතු හැගීමක් දැනුනා. එදා ඒ සොහොයුරෝ දෙන්නගෙන් එකෙක් කට කහනවට හෝ නැතිව හෝ කී ඒ අනාවැකිය ඇත්තම ඇත්ත උනා.

ඇත්තටම ඒ ගෙදර ඉන්නෙ හරිම ලස්සන ගෑණු ලමයෙක්........!!!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form