වෙස්ට් හෝල් ගල් පතුරු!

සීතල වතුර ගලාගෙන යන ඇල පාර පැන්නම තැනිතලාව. එතනින් එහාට එහාට වෙන්න ගල් පතුරු වැතිරිලා හිටවිලා පෙරලිලා එකේක ආකාරයට තියනවා. මාධව වැටිලා  කකුල ඇමැට්ටි වෙලා නැගිට ගන්න බැරුව කෙඳිරි ගගා උන්නෙ ආන්න ඒ කිව්ව ගල් පතුරු කණු ගොඩ මැද්දෙ!

තෘණ පඳුරු ලෙල දෙන මීදුම පැතිරුණු සීතල උදෑසන අපූරුයි. ඉර එලිය වැටිලා ටිකක් වෙලා ගිහින් තිබුනට ඒක ඒ පැත්තට දැනිල වත් නෑ. උදෑසන සිසිලස එහෙම්මයි. අවට පරිසරය ලා කොල පාටින් සුළගත් එක්ක ලෙල දෙනවා. ඒ සුළගේ ගලා එන මීදුම වෙස්ට් හෝල් ගල් කණු වල හැපිලා බිඳෙනවා. සානුව වටේ දුර ඈත අවට හරිත වර්ණිත තේ පැලෑටි තිබුනේ අඩි දහයක් පහලවක් එහායින්.

මේ කියන වේලාවේ මාධව උන්නේ ආන්න ඒ වෙස්ට්හෝල් ගල් පතුරු මැද කකුල ඇමැට්ටි වෙලා. කකුල ඇදුම් දෙද්දි වටපිට බැලුව මාධවට දැක ගන්න කවුරුත් පේන මානෙක නෑ. උදව් ඉල්ලලා කෑ ගැහුවට කාට ඇහෙන්නද? සානුව අහලින් ගලන සීතල දිය පහරේ වතුර හඩ යටපත් කරන්න මාධවට මේ වේදනාවත් එක්ක බෑ. ඒත් එක්කම මීදුම මැද්දෙන් කවුදෝ මතු උනා. පහලට ගලන ඇල දිහාවෙන්. අවට පරිසරයේ සුලියක් කැරකෙන්නැහේ වාතය කැළඹිලා නිහඩ උනා.

වයසක අම්මා කෙනෙක් දර කෝටු මිටියක් බැරි බැරි ගානේ හිසේ තියාන මාධව  ඉස්සරහට එනවා. මාධව වේදනාබර දෑසින් ඇය දෙස බලන් ඉන්නවා. වෙස්ට්හෝල් තැන්නේ ගල්පතුරු මතින් මීදුම ගලා යද්දී මාධවගේ දෑස් හෙමින් පියවෙන්නේ බලාපොරොත්තු වුන කෙනා ආවාට පස්සෙ දැනෙන සැනසීම හිතට ගෙනෙමින්. දිගු හුස්මක් අරන් මාධව යලි දෑස් අරිද්දී අර අම්මා මාධවව පසු කරන් යනවා. මාධවව නොදැක්කා සේ! මාධව වේලාව බැලුවා. උදෑසන 9.45යි.

මාධවව නොදැක්කා සේ ඇය ගියා. ඇත්තටම මාධව දැකපු  අරුම පුදුම දේ තැන්නේ වැවුන අඩියක් උඩ තණකොල සියල්ලම ඇය යන දෙසට නැමීගෙන ඉන්නා වග විතරයි. හරියට ඉර පායන අතට යන බෝංචි වැලක් වගේ. ඒ අම්මා පසුපස්සෙ යන්ට උවමනාවෙන් ඉන්නවා වගේ සුලඟක් නැති නිම්නයේ තෘණ පඳුරු ඒ අම්මා දිහාට ඇදිලා තියනවා. මාධව ඒ අරුමය බලාන ඉන්න ගමන් ඇයට කතා කලා. අම්මෙ මට උදව්වක් කරන්න!

මං වැටිලා කකුල ඇනුනා. දැන් කැක්කුමයි. නැගිටගන්න බෑ. පුලුවන් උදව්වක් කරන්න. ගමෙන් කවුරුහරි අඩගහන් එන්න. මොකක් හරි උදව්වක්. අම්මට සිංහල තේරෙනවනම් මං කියන උදව්ව කරන්න.

මීදුම දැඩිව හමා එද්දී ආයෙමත් සුලියක හැඩේට පඳුරු කැලැතෙද්දී වෙස්ට්හෝල් ගල්පතුරු මැද ඒ අම්මා අතුරුදහන් වෙද්දී ආයෙම ඇය මතු වෙනවා මේන්. පහලට ගලන ඇල දිහාවෙන්......

මාධව දෙසට කලින් පැමිණි දිහාවෙන්ම. දර කෝටූ ඉහ මත්තෙ තියාගෙන. හති බිඳක් ලාගෙන. ආපහු පෙර වගේම. මාධව ආයෙම වේලාව බැලුවා. උදෑසන 9.45යි. 

ඔරලෝසුව කැඩිලද? ටිකකට කලියෙන් හොඳට තිබ්බ නෙව! මාධව ඒම හිතුවා....

-----------------------------

නාවලපිටිය පැත්තෙන් තලවකැලේ පාරේ දුර යනකොට හම්බෙන අතුරු පාරක ගියාම මේ කියන වෙස්ට්හෝල් ගල් පතුරු හම්බවෙනවා. නාවලපිටිය පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලස්සන පැත්තක් තමයි කඩියන්ලෙන කියන්නෙ. තට්ටු හතරකින් නිර්මාණය වී ඇති කඩියන්ලෙන දිය ඇල්ලට යන පාරේ කඩියන්ලෙන ගමට කලින් දකුණට තියෙන වංගුවෙන් හැරිලා ඉස්මත්තට ගිහායම වෙස්ට්හෝල් කියන ගමට යන්න ඇහැකි. එහෙන් ගොහිල්ලා වටවලටත් එන්න ඇහැකි. අපූරු ගමනක්.

වෙස්ට් හෝල් කියන්නෙ "බටහිර සිදුර" කියන සිංහල තේරුම දෙන අපූරු ලස්සන ගමක්. කෝම නම දැම්මද වැටුනද අහන්න කරන්න කෙනෙක් මාධවගෙ ඇඳුනුම් කං නෑ. කෝම වෙතත් ආන්න ඒ ගමේ මේ කියන ගල් පතුරු පිහිටලා තියනවා. කවුදෝ ගෙනැල්ල හිටෙව්ව වගේ. අපූරුවට. අපූරුවට තණකොල වැවෙන මේ වෙස්ට්හෝල් නිම්නයට මාධව තමංගෙ යතුරු පැදියේ නැගිලා යන්න ගියේ ඒ ලස්සන බලන්නමයි. කතාවට අහල තිබ්බට කවදාවත් ගිහිල්ල තිබ්බෙ නෑ නෙව.

නාවලපිටියෙන් පිටත් උනාම මාධව ඉස්සෙල්ලම ගියේ කඩියන්ලෙන ඇල්ල දිහාවට. එතනින් පාර අයිනට වෙලා ඇල්ල දිහා බලන් උන්නා. පෙණ නංවාගෙන, සුද්දගෙ නිර්මාණයක් උනු පරණ කලු ගල් පාලම, මත්තෙ පිණි වැහි වස්සමින් ඇල්ල කඩාන හැලෙනවා අපූරුවට. විනාඩි ගාණක් යනකම්ම ඒ අපූරු ඇල්ල සෝ ගාගෙන කඩා හැලෙන අපූර්ව දසුන උන්නු මාධව බයික්කේ ආපහු හරවාගෙන කඩියන්ලෙන ගම පහු කරලා ඇවිත් වෙස්ට් හෝල් පාරට හරවද්දීම බයිසිකලේ නැමුම් වේගය දනවන්නටම සිහින් සුලං රැල්ලක් ඇවිත් හෙල්මට්ටුව ඇතුලෙන්  දැවටිලා යන්න ගියා. මාධව හෙමින් හෙමින් අවට සිරි බලාගෙනම සුන්දර බව සිතට ඈඳ ගනිමින්ම කාපට් ඇතිරූ පාර දිගේ බයික්කය ඉහලට පදවාගෙන ගියා. 

ගල් පතුරු හමුවනතුරු!

-----------------------------

පලවෙනි පාර මාධව ළගින් ගිය හැරිලවත් නොබලපු ඒ කාලවර්ණ වියපත් අම්මා දෙවැනි පාර මාධවගේ ඇස් දිහා කෙලින් බැලුවා. ඒ ඇස් වල තිබුන අමුතු දේ මාධවව කුතුහලයට පත් කලා. වයසට වඩා හරිම තරුණ ඇස් දෙකක්. දර ගොඩ බිමට අතෑරපු ඒ වයසක අම්මා හෙමින් හෙමින් ගල් කුලක් මත වාඩි උනා. හරි පුරුදු කාරියක් බව පෙන්වමින් ඇගේ ඉනේ තිබුන මඩිස්සලේ අරන් බුලත් විටක් එදන්න උනා. කතාවක් නැති ඇගේ හෙවනැල්ල බිමට වැටිලා. සුදු කලු වයිරං වගේ තියන ඇගෙ නාකි හැඩපලු උන කොණ්ඩය සුලඟෙ යනවා. පුදුම දේ කියන්නෙ සානුවේ හැම තණකොල පඳුරක්ම ඇය දිහාවට ඇදිලා තියන එක. සුලග කොයි අතට හැමුවත් තණකොල වැනෙන්නෙ ඈ ඉන්න දිහාවට. ඒක තමා බලන් ඉන්න ඇහැකි දර්ශනේ.

පලවෙනි පාරට සානුවේ නිහඩ බව බිඳිමින් මාධවට ඒ හඩ ඇසුනා.

" හරි වේදනාවයි නේද?"

පලවෙනි පාරට ඒ හඩ ආවේ කොහෙන්ද කියලා හිතා ගන්න බැරිව මාධව ඇය දිහා බලද්දි ඇය රතු දෙතොලින් යුතුව බුලත් හපනවා. 

" හරි වේදනාවයි නේද?"

දෙතොල් නොසෙල්වී හඩ ඇහෙන්න කතා කරන ඇය කවුද? මාධවට මුකුත් හිතා ගන්න බැහැ. ඇය විට කන ගමන්ම කතා කරනවා. ඒ සැනින්ම මාධවගේ හිතේ නැගුන ප්‍රශ්නයට ඇය උත්තර දුන්නා.

මේ වත්තෙ අය මට දාපු නම තමයි මේරි අම්මා! 

හැබැයි ඇත්තටම මගේ නම "ඔසෙල්මීසා!"

තමන් හිතන දේට කොහෙන්දෝ ඇත්තරයක් පියඹලා කන් දෙක ඇතුලටම ලැබෙද්දි මාධව තුෂ්නිම්භූත උනා. හුලං සැර වැඩි වෙද්දී, මීදුම වේගයෙන් වෙස්ට්හෝල් ඉහල ඈත කන්ද දිහාට පා වෙද්දී තණ කොල පඳුරු විතරක් නොසෙල්වී ඈ දිහාවට උරුක් වෙලා ඉද්දී ඇය දෙතොල් නොසෙල්වා අන්තිම වැකියත් පිට කලා!

මං ආවේ මන්දාකිනියෙන්. දුර ඈත මන්දාකිණියේ කෙල කෝටි ගාණක් වූ තරුවකින්. තීටා සෙන්චූරි තමයි මගේ ගෙදර!

නිහඩව නැඟිටපු ඇය ආයෙමත් මීදුම අරන් යන්න ගියා. අහම්බෙන් වෙලාව බැලුව මාධව දැක්කේ වේලාව තවමත් උදෑසන 9.45 බව විතරයි. ඔහුගේ හිස බරවෙලා ගිහින් තණකොල ගොල්ලේ නිද්‍රාවට පත් වෙද්දී වෙලාව ඒකමයි.

-----------------------------

වෙස්ට් හෝල් ගල්පතුරු වලට ලං වෙද්දි මාධවට පරිසරයේ වෙනස දැනුනා. හරියට කාලෙකට කලින් රිවර්ස්ටන් ගියා වගේමයි. නුවර එලියෙ සීතලේ සම්මිශ්‍රණයකුත් මේ පරිසරයේ සීතල ඇතුලෙ තියනවා. වෙස්ට් හෝල් ගල් කුළුණු තියන සානුව අසලින් ගලන දිය පාර මාධවගේ සිත් ඇදගත්තා. නීල වර්ණ පැහැදිලි වතුර කඳ පිරිසිදුව ගලාගෙන පහලට යනවා. චූටි චූටි මාලුවෝ රිදී ඉරි වලින්රටා මවමින් වතුර නොකළඹා පීනාගෙන යනවා. උහු ලොකු රෑනක්. රිදී ඉරි ගොඩ දුටු මාධවට ඒම හිතුනා.

යතුරු පැදිය, පාර අයිනේ ලොකු මාර ගස අසබඩ නවතා දැමූ මාධව හෙමින් හෙමින් ඇල ඉවුරට ගොඩ වෙද්දීත් ඒ සිසිලස බාධාවකින් තොරව මාධවගේ මුහුණෙ ගැටුනා.  අපූරු පරිසරය. ඇලෙන් එගොඩ වෙලා පරිස්සමට සපත්තු නොතෙමාගෙන එහා ඉවුරට යන්න අපහසු නොවුනේ තැනින් තැන තිබුනු ගල් ගොඩවල් නිසා. වතුර ගලා යන නිසා වෙන්නැති ඒ ගල් මැදිලා අපූරුවට. ආන්න එතන එහා ඉවුරට ගොඩ උනාම අඩි දෙකක් තුනක් දුර නෑ වෙස්ට් හෝල් ගල් පතුරු ටික පේන්න තියනවා. හිරු එලියෙ නෑවීගෙන.

හරිම ලස්සන දර්ශනයක්.

සානුව පුරාම තෘණ පඳුරු. ඒ පඳුරු අතුරින් නැගී හිටින්නෙ පැරණි ගල් කුළුණු. ලයිකනයක් වත්, වෙන ජරාවත්වත් නැති අපූරු ගල් කුළුණු. ඒවා සිපගෙන වරින් වරට යන එන මීදුම් සලු. එතැනින් අඩි පහලවක් විස්සක් විතර එහායින් පටන් ගන්නා තේ වත්ත. ඒ සේරටම ඉහලින් නිල්ම නිල් පාට ආකාසේ. හිත නිවෙන, නිවන අපූරු පරිසරය.

හෙමින් හෙමින් ඒ දිහාවට පියවර තියමින් ඇදෙන මාධව වටපිට බැලුවාට පේන්න තියෙන්නේ සානුව විතරයි. ඒ සානුවේ තැනින් තැන මහ ගල් කුලුණු හිටෝලා වගේ පිහිටලා තියනවා. දුඹුරු පාට ගල් කුළුණු වල ලයිකනයකත්වත් නැති තරම් පිරිසිදුවට. වැස්සට තෙමිලා අවුවට වේලිලා ඛාදනයට ලක්වූ ලක්ෂණ තිබුනත් ඒවා ගැන මාධවට දැනුනු හැඟීම වෙනස් එකක්.

හරිම ගුප්තයි. මාධවට හිතුනේ පළවෙනි පාරට නෙමෙයි. බයිසිකලේ නවත්තලා බැහැල ඒ දිහා පලමු වරට බලපු සැනින්ම ඒ සිතුවිල්ල මාධවට දැනුනා. ඔහේ ඇවිදන් ආපු මාධව එතන තිබ්බ පලමුවැනි ගල් කුලුණ උඩට නැග්ගේ අවට ලස්සන හොඳට බලාගන්න හිතාන. ඒ ගල් කනුව ට ඉස්සරහින් තව පැතලි හිසක් ඇති ගල් කණුවක් තිබුනා. එතැනින් ඒ ගල් කනුව වටේට තව ගල් රටාවකට විසිරිලා තිබුනා. මේ රවුම මැද තිබුන ගල උඩට නගින්ට ආව ආසාව මැඩ නොගෙන මාධව හනික බැහැලා ගිහින්, ඒ ගල ගාවට දුවලා යද්දී සානුවේ පඳුරු අස්සෙ තිබුන වලක කකුල ගිහින් මාධවව බිමටම ඇදගෙන වැටුනා. කකුල පැත්තෙන් ටික් හඩ ඇහුනා. දැඩි හිරියක් එක්කම වලලුකර අගින් පුදුමාකාර වේදනාවක් ඇවිදින් ගිනි විදිනවා වාගේ දැවිල්ලක් දැනුනා උනත් මාධව ආයාසයෙන් කෑ ගැසුම නතර කර ගත්තා.

මීදුම පැතිරෙද්දී පුංචි හා ගුලකින් ඇමැට්ටි උනු කකුල එලියට ගත්තු මාධව බිම දිගේ ඇදි ඇදී ඇවිත් ගල් කුලකට පිට තියල හේත්තු වෙලා හෙමින් හෙමින් සපත්තුව ගලවලා වළලු කර පරීක්ෂා කරන්ට උනා. ආන්න එතකොට තමා අර ආච්චි ඉස්සෙල්ලම ආවේ එතනට.

-----------------------------

ආයෙම ඇහැරෙද්දි ඔසෙල්මීසා මාධව ලග ඉන්නවා. ඇගේ අතේ වතුර පුරවපු පොඩි බරණියක් වගේ අපූරු භාජනයක්. 

"මේක බොන්න"

හීනෙන් වගේ ඇහෙනවා මාධවට අපූරු මියුරු කටහඩකින්. වයසට නොගැලපෙන කඩහඩ! දෝතින්ම භාජනය අතට ගත්තු මාධව ඇඹුල් උනු මුහුණින් යුතුව ඒ වතුර ටික පානය කරන්නේ ඇයට ස්තූතිවත්න වෙමින්.

ඇත්තටම ඔයා කවුද? මාධව ඒම හිතන්නෙ වත්තෙ දළු කඩන පෙනුමෙන් ඉන්න, හැඩපලු උන කොන්ඩයක් ඇති, වැරහැලි නොවුනද දුර්වර්ණ වූ ඇඳුමක් ඇඳගත්තු, විට ගඳ ගහන කාලවර්ණ ගැහැණිය දිහා බලමින්.

ආයෙම ඇය කියනවා. 

මේ වත්තෙ අය මට දාපු නම තමයි මේරි අම්මා! 

හැබැයි ඇත්තටම මගේ නම "ඔසෙල්මීසා!"

මං ආවේ මන්දාකිනියෙන්. දුර ඈත මන්දාකිණියේ කෙල කෝටි ගාණක් වූ තරුවකින්. තීටා සෙන්චූරි මගේ ගෙදර.

විකාර!

කිසිදාක අද්භූත දේවල් පිටුපස්සෙ ඔනැවට වඩා නොගියපු, එව්ව විස්වාස නොකරන මාධව හිතින් හිනා වෙද්දි ඇය ඇගේ සීතල අතැඟිලි මාධවගේ වේදනාත්මක වළලුකර මත්තේ තියනවා.

විදුලිය වළලුකරින් ඇතුල් වී දනිස් දක්වා ඇදි ගොස් නැතිවී යද්දී මාධවගේ කකුලේ දරුණු වේදනාව නැත්තටම නැති වෙලා ගිහිල්ලා සැනසීම උදා වෙනවා. වේදනාව පලා ගිහින්.

ඇය දෑස් පියාන එහෙමම ඉන්නවා. මාධවට දැනෙන්නෙ සිහිනයක් වගේ සැහැල්ලුවක්!

"දැන් සනීපයි නේද?"

ඒ හඩ ඇසෙද්දී මාධව මවිත වෙලා ඇය දිහා බලනවා. තොලෙ නොසෙල්වෙන ඇස් පමණක් කතා කරන සිතුවිලි විඥානය ඔස්සේද මන්දා මාධවගේ කනට ඇහෙන වෙස්ට්හෝල් නිම්නයේ ගල් කුලු අතර හමුවූ දර කෝටු ඇහිඳින වියපත් ගැහැණිය ඇත්තටම කවුද?

මාධවගේ හිතේ සිතුවිලි කන්දරාවක් ගොඩ නැගෙද්දී ඇය මාධවගේ වළලුකර මත තැබූ ඇඟිලි ඉවතට ගන්නවා. මාධව අපහසුවකින් තොරව නැගිට ඔබ මොබ සැරිසරද්දී ඇය දරගොඩ අතට අරන් යන්න යද්දී මාධව ඇයව නවතාලනවා.

මොනාද මේ වෙන්නෙ? මොනාද කලේ? මට හරි සනීපයි. අම්මේ උඹට ස්තූතියි. මාධව වචන තෙපලනවා. ඇය මද සිනාහවක්වත් පාන්නෙ නෑ. 

මාධව වේලාව බලනවා. වේලාව 9.45යි. 

"මේ වෙස්ට්හෝල් නිම්නයේ මේ ගල් කණු අතර විතරක් වේලාව ගත වෙන්නෙ නැහැ. ආපහු මාධවගේ කනට ඇහනෙවා."

නිම්නයෙන් පිට වුන ගමන් නතර උනු කාලය ආපහු එකතු වී නියම වේලාව ඔබගේ ඔරලෝසුවේ පෙන්වනු ඇති.

මේරි අම්මා නොහොත් ඔසෙල්මීසාගේ හඩින් මාධවට ඒ බවත් පැවසෙද්දී මාධවට තේරුණේ තමන් ඉන්නෙ යම් කිසි කාල අවකාශයක බව. කාල අවකාශය ගැන මාධව පොත් වලින් කියවලා තියනවා. ඒත් කාලය නොගනින කාල අවකාශයක් ගැන මාධව ඇහුවමයි.

කාල අවකාශ ගැන මේ ලෝ වාසීන් දන්නෙ මොනාද? ඇබින්දක් විතරයි. කාල අවකාශ, පරිසර අවකාශ, ආලෝක වර්ෂ අතර ජීවය හට ගැනීම,මේ විශ්වයේ දැනුමින් ඇබින්දක්වත් දන්නෑ මේ පොලවේ උන්. 

ඒ හඩින් කියවෙද්දී මාධව ආයෙම බිම ඉඳගත්තා. දර මිටිය පරිස්සමින් පැත්තකින් ගොඩ ගහපු මේරි අම්මාත් මාධවට මුහුණලා ගල් පතුරක් මත්තෙ ඉඳ ගත්තා. තවත් විටක් ඒදමින් ඇය මාධවට කතා කලා.

මං දැං හරි වයසයි. මෙහෙට ඇවිල්ලත් මං අවුරුදු ගාණක්. මේ වත්තට මං එද්දි මං හරි පොඩියි. උඩහ ලැයිමෙ අය මාව හොයාගන්නකං මාව මේ ගල් පතුරු මැද්දෑවේ තියලා අතුරුදහන් වෙලා ගිය අය ගැන මං මුකුත් දන්නෑ. ඒ අයට මාව බැරි වෙලා දාලා ගිහින් වෙන්නැති. අපිට අම්මලා තාත්තලා නෑ. අපිව නිර්මාණය කරනු ලබන ජීවී විශේෂයක් පමණයි. මගේ දැනුම ගබඩාවේ ඒ බව තියනවා. ඒ ලෝකයේ දි මාව නිර්මාණය කරපු සතෙක් විතරයි. ස්වරූපයෙන් මං පෘතුවියේදී මානවයෙක්. හෝමෝ සේපියන්ස් කෙනෙක්. හැබැයි, අභ්‍යන්තරයෙන් මං වෙනත් ලෝකයක, වෙනත් කාලයක, වෙනත් ස්වරූපයක, වෙනත් මානසික තත්වයන් පවතින නිර්මාණයක් විතරයි.

මං සජීවී පරිගණකයක් වගේ.

වත්තෙ කවුරුත් මං කියන කතාන්දර ගණන් ගන්නෑ. ඒකට තරම් දැනුමක් ඒ මිනිස්සුන්ට නෑ. පුංචි කාලේ මං කටට ආවට කියපු කතාන්දර වලට ඒ මිනිස්සු හිනා උන නිසා මං නිහඩ උනා. ඇතැම් වෙලාවට කෝවිලට අරන් ගිහින් වේවැලෙන් පිට පුපුරනකම් මට පහර වැදුනා. යක්ෂ භූත බැල්මවල් කියලා. මාව බලාගත්තු වයසක සීයට මට අධ්‍යාපනය ලබා දෙන්න දැනුමක් නෑ. මෙහෙ පොඩි දරුවො උදේට පිටේ බෑගයක් එල්ලන් කොහේදෝ යද්දි මට සිද්ධ උනේ කිරි දොවන්න. පස්සෙ දන්නෙ ඒ ලමයි ගියේ අධ්‍යාපනය ලබා ගන්න කියලා. කාලයත් එක්කම මම නිහඩ වුනා. තොල් නොසෙල්වා කතා කරන ක්‍රමය භාවිතා කලා. ඒක ඇහෙන්නෙ මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට විතරයි.

ඔයා විද්‍යාව විශ්වාස කරන කෙනෙක්. අන් කිසි දේකට වඩා.

ඔව්! මාධව කිව්වා. 

මාධව දැඩිව විද්‍යාව විශ්වාස කරන කෙනෙක්. කොටින්ම කිව්වොත් විද්‍යාව සහ ගණිතය  නොමැතිව කෙනෙක් ඉඳගෙන ඉන්න පුටුවවත් පවතින්න බෑ නෙව. මාධව ඒක නිතර කියන කතාවක්.

ඉතින් මොකද උනේ? මාධව ආයෙම ඇහැව්වම ඈ ආයෙම දෙතොල් නොසෙල්වා කතාව පටන් ගත්තා.

පස්සෙ කාලෙක මට පිස්සු කියලා හිතපු නිසාම මාව දීග ගන්නත් අකමැති උනු, මාව තේරුම් නොගත්තු මිනිස්සු නිසා මං වත්තෙ තනි කරලා අර වයසක ඇත්තො පස් යටට යන්න ගියා. මං ලැයිමෙ කෙලෝර තනි උනා. අදටත් මං තනියම.

එක දාක රෑ මං තරුණ වේශයෙන් ඉන්න කාලේ කවුදෝ මනුස්සයෙක් මහ රෑක ඇවිත් මාව පෙරලාගෙන මගේ ඇඳුම් ඉරන්න ගත්තා. මට තේරුමක් නෑ ඒ කරන දේ ගැන. ඒත් මගේ ඇඳුම් සේරම ඉරලා දාලා මං දිහා බලපු ඒ මිනිහා ආයේ කවදාවත් මං මේ ගමේ දැක්කෙ නෑ!

ඒ කරදරේ නිසා පහුවදා උදේ වෙද්දි මං වියපත් රූපයකට වේශාන්තරණය උනා. දැන් මං වයසයි. කවුරුත් බලන්නෙ නෑ මං ගැන.

අන්තිමට මට ඉතුරු උනේ මගේ සැබෑ ගෙදරට යන්න පාර හොයාගෙන මෙතනට එන කටයුත්ත විතරයි.

හැමදාම උදේ මං මෙතනට එන්නෙ මගේ ලෝකෙට යන්න පාර හොයාන. ඒත් තවමත් මට ඒකට අවැසි ශක්ති ප්‍රභවයක් ලැබුනෙ නෑ. කවුරුත් මාව හොයාගෙන ආවෙත් නැහැ. හැබැයි මාත් පස් වලට යට වෙන්න කලින් මාව හොයාගෙන කවුරු හරි එන බව මට සංවේදනය වෙනවා. දැනෙනවා. කොහොමද කියන්න අදටත් තේරුම් ගන්න බෑ!

වත්තේ ලැයිමක ජීවත් වෙන කෙනෙක් ගාව නොතිබෙන වචන එලි බහිද්දී මාධව මේ කතාන්දර විශ්වාස කරනවාද අවිශ්වාස කරනවාද කියන රේඛාව උඩ අතරමං වෙලා ඉන්නෙ. මේ සේරම වැල් බයිලාවන් වැනි දේවල් ඔසෙල්මීසාගේ හඩින් මාධවගේ කණ ඇතුලෙ වාදනය වෙද්දී මාධව නිහඩව බලාන ඉන්නවා. මේක බොරුවක්ද? සිහිනයක්ද? ඒමහිතන්ට මාධවට අවකාශයක් තමන්ගේ හිතින් නම් ඉඩ දෙන්නෑ. බිඳුනු කකුල සනීප වීමම සත්‍යය කුමක් දැයි කියනවා නෙව!

ඔසෙල්මීසා තවත් කියනවා. මේ අහස හරි ලස්සනයි. වෙස්ට්හෝල් කියන්නෙ ලස්සන කන්දක්. මේ කන්දෙ මේ ගල් කණු මට මගේ ලෝකෙට පාර කියනවා. මං තවමත් මගේ ලෝකයට යන්න ආසාවෙන් මෙහි එනවා. පාරක් හොයනවා. මට උවමනයි අහස උසට නැගෙන ගිනි මැලයක් ගහන්න. මේ සානුවේ මේ සුලග ඒ ගින්න කොහේට අරන් යාවිද කියලා සිතා ගන්ට බැහැ. සානුවම ඇවිලේවි. විනාස වේවි. මේ සානුවට මං ආදරෙයි. අර දොල පාරේ නටන පුංචි ඉරි තියන පැටව් අපේ ලෝකෙ නැහැ. මං ගින්න ඇවිලුවොත් ඒ වතුර පාර උණුහුමටම වේලිලා යාවි. ඒ අසරණ සත්තු කොහි යන්නද? තණ කොල අස්සෙ ගෙවල් හදාන ඉන්න කන් දිග පුංචි හා පැටව් අම්මලා එක්කම අලු වෙලා යාවි. මගේ ගෙදර යන්න තියන උවමනාවට මං ගිනිගොඩක් ගහලා මගේ ශක්ති ප්‍රභවය නිර්මාණය කරගෙන මොකටද?  වෙන කෙනෙක්ගෙ ගෙයක් ගිනි තියලා මගේ ගෙට ගිහින් ඇති ප්‍රථිඵලය කුමක්ද?

මේ අපිලිවෙල කතාව මාධවගේ හිතේ ඇති කලේ අමුතු දෙයක්. ගින්නක්. උෂ්ණත්වය... ?

ඇය මාධවට පිලිතුර දුන්නා. 

මට අවශ්‍යයි තාපය. තාපය ජනනය කොට මෙහි ගල්කුලු වල එකතු වී ඇති සියලු ශක්තිය අවැසි රටාවටකට ගෙන එන්න පුලුවන්. හිරුගේ ඇති උෂ්ණත්වය වගේ කෝටියකින් එකක්වත් අවශ්‍යයයි. අඩුම කෙල්වින් 423ක් වත් උෂ්ණත්වය අවැසියි. ඒ උෂ්ණත්වය කියන්නේ වෙස්ට් හෝල් නිම්නය නෙමෙයි මේ කඩියන්ලෙන පලාතම අලු වෙන උෂ්ණත්වයක්. ඒත් අපි සෙන්චූරි වල ජීවත් වෙන්නෙ ආන් ඒ වගේ උණුසුම් නිම්නයක. දැවී අලු වෙන්න පුලුවන් මානවයාට කිසි සේත් ජීවත් වෙන්න නොහැකි පරිසරයක.

මාධවට හැම දේම අපැහැදිලියි. විකාරයක් වගේ.

මේවා ඔබලාට නුඹලාට තේරුම් ගන්න බැහැ. ඒම කිව්ව ඇය මාධව ඉදිරියේ දෙපයින් සිට ගත්තා. ඇය දිගු හුස්මක් අරන් යොගී භාවනා ඉරියව්වකට නතු වෙලා දෑස් පියාන සිය දෑත් ඉහලට එසෙව්වා. ඒ සැනින්ම ඇය පොලවින් ඉහලට අඟල් දෙකක් පමණ පාවෙලා එසවුනා. මාධව විස්මයෙන් බලන් ඉද්දී ඇය සෙමින් සෙමින් රූපාන්තරණය උනා. කාලවර්ණ දළු කඩන කාන්තාව යකඩින් ඇඳි ඇඳුමකින් යුතු මුහුණ නොපෙනෙන අපූරු සොල්දාදුවෙකුගේ රූපයට හැරවුනා. ඉන්පසු සාමාන්‍ය රුවත් ඇති තරුණ කාන්තාවක් ලෙසට මැවී ගොස් ඉන්පසු යලිත් දළු කඩන ගැහැණිය මතුවී පොලවේ පය තැබුනා.

තවම වෙලාව 9.45යි. දැන් ඔබට මෙතනින් යන්න පුලුවන්. ඒම කියලා ඇය මාධව දිහා බැලුවම ඔහු ඉබේම වාගේ අපහසුවකින් තොරව නැගිටලා ඇල දිහාවට යන්න පිටත් උනා. මෝහනය උනා වගේ. ඔහු සෙමෙන් සෙමෙන් ඇල දිහාවට එද්දී අවට ටිකෙන් ටික අඳුරු වෙන්න උනා. ඈත ගල් පතුරු මැද්දෑවෙ ඇය ඉන්නවා මාධවට තවමත් පේනවා. ඇය වටේට රැස් දහරාවක් වාගේ ආලෝකය විහිදෙනවා. මායාවක්ද මන්දා!

ඇල ඉවුර ආසන්නයට වන විට මුලු පරිසරයම අඳුරු වෙලා ගියා. මාධව වේලාව බැලුවා. 

වේලාව රෑ 7.45යි. ඒ කියන්නේ මාධව මෙහි පැය 10කට ආසන්න වේලාවක් කල් ගෙවලා. ජංගම දුරකථනයේ එලියෙන් ඇල තරණය කරද්දී එහි සිටින තිත්තයින් දිලිසෙනු මාධව දැක්කා. ඇලෙන් එගොඩ වුනු මාධව බයිසිකලය ලගට යද්දී අවට හොඳටම අඳුරුයි.

බයිසිකලය වෙතට ගොස් මාධව ආපසු හැරී වෙස්ට්හෝල් ගල් පතුරු දෙස බැලුවා. ඔසෙල්මීසා පේන්නට නැහැ. හඳ පායාගෙන එන පරිසරයේ ආකාශය නාවික නිල් පැහැ ගෙන පැහැදිලිව තිබුනා. සුදු වලාකුලු වේගයෙන් සැරිසරනවා. එක්වරම සඳ වලාකුලට වැසී යද්දී ඈත තරුවක් පෙනී නොපෙනී යනවා. තීටා සෙන්චූරි වලින් බොහෝ දුර ඈත වෙස්ට් හෝල් නිම්නයේ තනිවී සිටින කාත් කවුරුත් නැතිව ඉන්නා ඔසෙල්මීසාව මාධවට සිහියට එනවා.

නිවෙසින් දුරස්ව සිටීම වේදනාකාරී බව මාධව හොඳටම දන්නවා. ආදරය කරන්නට, සවන් දෙන්නට, දුක සැප බෙදා ගන්නට කිසිවෙක් නොමැතිව පිස්සු ගෑණියෙකුට සේ සැලකුම් ලබනා ඔසෙල්මීසා ගැන, අවුරුදු ගාණක් ඒ දුක විඳින ඇය ගැන මාධවට හිතෙන්නෙ දුකක්. මීදුම ගලන, තෘණ පඳුරු සැලෙන, නිහඩ සුන්දර වෙස්ට්හෝල් නිම්නයේ ඇය තනිවෙලා! ඇගේ කුටුම්භයේ සිට ආලෝක වර්ෂාවන් ගණනාවකට මෙහා ලෝකයේ තට්ට තනියම! සිතුවිලි රෑනක් එක්කම මීදුම කපාගෙන මාධව විසින් පැදවෙන යතුරු පැදියේ හඩ ඈතට ඈතට ඇදී නොඇසී යද්දී ආයෙමත් වෙස්ට් හෝල් ගල් පතුරු දරා සිටින සීතල නිම්නය මීදුම පතුරවමින් සඳ එලිය යට නිසල උනා. තෘණ  පඳුරු සැලෙන ශබ්දයවත් නැති තරම්. නිහඩ රංග ශාලාවක් වගේ.

බලාපොරොත්තු ඇබින්දක් පිරුණු පුංචි පැතුමක් විතරක් හිත පත්ලෙ දල්වාගෙන, වෙස්ට්හෝල් ගල් කුලුණු යට සිසිලස මැද්දෑවේ විටක් හපමින් උක්කුටියෙන් හිඳගෙන ඉන්නා, දුර ඈත අභිරහස් පිරුණු, සැඟවුනු ආකාශය දෙස බලාගෙන හිඳින, තමාට අකාරුණික වුනු වෙස්ට්හෝල් නිම්නයට හදවත පුරාම ආදරය කරනා, එම නිම්නයේම ජීවිතේ ගෙවමින් වියපත් වී සිටින, තනිකම නැමති දුක විතරක් දරාගෙන කිසිදාක සතුටක් නොලැබූ වෙස්ට් හෝල් ලැයිමේ මේරි අම්මා හෙවත්  තීටා සෙන්චූරි තාරකාවෙන් ආ ඔසෙල්මීසාගේ හදවත විතරක් පාලුවෙන් පීඩිතව ඉකිබිඳින හඩ හැමදාම වාගේ එදත් ඒ නිම්නයේ නිහඩ බව බින්දා.

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මට නම් හිතෙන්නේ..කඩියන්ලෙන ඇල්ල පැත්තේ වෙස්ට් හෝල් ගම පැත්තට ගිය ගමන නම් ඇත්ත ලෝකයේ සිද්ධ වෙච්චි දෙයක්....ඉතිරි කථාව නම් ඒ පරිසරයෙ අලංකාරයට , ගුප්ත බාවයට වශීකෘත උන මාධව ලේඛකයාගේ ලස්සන පරිකල්පනයක්...කථාවේ අවසානයක් නෑ...ඒ පරිසරය තේරූම් ගන්න පුලුවන් කෙනෙක් එනකං ඔසෙල්මීසා බලං ඉදීවී....තොල් නොසලවන හඩ පමනක් ඒ පරිසරයෙන් ඇසේවී.... MAYYA

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා! ඒ කමෙන්ටුවට මාරම සතුටක් දැනුනේ!!

      Delete
  2. මෙහි දැනෙන ගුප්ත, පාලු, හුදෙකලා හැඟීමට මම කැමතියි. ඡායාරූපයට stonehenge නැතිව ඇත්තටම මෙහි තියන දෙයක ඡායාරූපයක් යොදාගත්ත නම් තවත් හොඳයි කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේ පවා නැහැ මේ කියන වෙස්ට්හෝල් ගල් කනු ගැන කතාවක්. මාධව සතුව කලකට පෙරදී ලබා ගත් ජායාරූප රැසක් තිබුනත් අවාසනාවන්ත ලෙස ඒවා හානි වෙලා ගිහින්.

      ආයේ යන්න හිතන් ඉන්නවා! ඔසෙල්මීසාව හොයාගෙන.....

      ඔබේ කමෙන්ටුවට හුඟක් ස්තූතියි

      Delete
Previous Post Next Post

Contact Form