සපු මල් වල ඇත්තේ අමුතු ගඳකි. කොච්චර වෙන මල් අස්සේ හැංගූවද සපුමල් ගඳ හොයා ගත හැකිය. සපුමල් හිටපු කතානායක තුමාගේ වැඩත් එහෙම වාගේ පේන්නේය. මේ ලිපිය ලියන්නෙ ඔහුගේ ඉල්ලා අස්වීම බලාපොරොත්තුවෙන් ය.
මොකද මහජනයා පැතූ වෙනසට අනුකූල නොවන කිසවෙකු මේ ආණ්ඩුවේ සිටිය නොහැකි බව මාධව විශ්වාස කරන නිසා ය.
මහජනතාව ලබා දුන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක සෙවනේ පළමු වරට ආණ්ඩු කරන සුදෝ සුලු කිරි කලයක් වන් බඳුනකට ගොම ඇබිත්තක් දැම්මා සේ වැඩක් ඉස්සෙල්ලාම කලේ රන්වල ය. ඉන්පස්සේ ඒක අල්ලාගෙන විපක්ෂය ගහපු ගැහිල්ල කෙතරම්ද යත් අනුරට පියවරක් නොගෙනම බැරි විය. අන්තිමට රන්වල කථානයක පුටුවෙන් බැස ගියේ නැත. යන්න උනාය. ඒක හරියට ගෝටාභය ගියා නොව යැව්වා වාගේය.
හැබැයි හෙතෙම පැවසූ කෙහෙම්මල් ආචාර්ය උපාධිය තවමත් ජපානයේ විය යුතුය. තවමත් ඒක පෙන්වා නිර්දෝශී බව ඔප්පු කර ගත්තේ නැත. ඒ නිසා ඔහු ආණ්ඩුවට ලබා දුන් අපකීර්තිමත් බව පහ වුනේද නැත. අනෙක් අය කෙරෙහිද සැක සංකා උපදවන තත්වයට විපක්ෂය කටයුතු කරන්නට පටන් ගත්තේ වෙන සටන් පාඨ නැති නිසාය.
වර්තමානයේ චෝදනාව වන්නේ රිය අනතුරක් සිදු කිරීම ය. චෝදනාව වැඩිදුරටත් පත්තු වන්නේ හෙතෙම බීමතින් හිටියා කීම ය. ඒක ඔප්පු කිරීමට අවශ්‍ය දේ පොලීසිය විසින් සිදු කර නැත්තේ තවමත් පොලීසියේ කොඳු නාරටි කෙලින් වී නැති බව කියා පාමින් බව මාධව කියන්නේය. කෙසේ වෙතත් තත්වය නිසා වෙහෙස මහන්සි වී ආපදා තත්වයකින් ගොඩ ඒමට සහ ජනතාව ගොඩ ගැනීමට වෙර දරන ආණ්ඩුවට වැදෙනා පහර සුලුපටු නැත.
කල යුත්තේ එක්කෝ සේනාධිනායක ජනාධිපති පුම්රඛ ආණ්ඩුව එක්ව රන්වල හෙවත් සපුමල් හිටපු කතානායකවරයා ඉල්ලා අස්වන්නැයි බල කිරීම ය. ඒ සඳහා පාක්ෂිකයාට සහ රටේ මහජනතාවටද උවමනාවක් තිබිය යුතුය. තමාගේ එකා කියා වැරැද්දෙන් ආරක්ෂා කිරීම නොව කල යුත්තේ වැරැද්දට දඩුවම් දීම ය.
ඒ නිසා ආණ්ඩුවටත් රටටත් කොකා පෙන්නමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට නොගැලපෙන හැසිරීමක් පෙන්වීම සහ තමන්ගේ සුදුසකම් පිලිබඳව වංචා සහගත ලෙස කරුණු කියා මහජනතාව රැවටීම යන කාරණා නිසා සපුමල් උන්නැහේට ඉල්ලා අස්වීමට තවත් හේතු කරුණු කාරණා කිසිසේත්ම උවමනා නොවනු ඇත.
ඒ නිසා හිටපු කෙටි කාලීන කතානායක අසෝක සපුමල් රන්වල මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වී සුදුස්සාට තැන දිය යුතුය.
ආණ්ඩුවේ ඉදිරි කටයුතු පිලිබඳව ජනතාව නොනැවතී නිරීක්ෂණය කරනු ඇත. මේ ආණ්ඩුව නිසි මග යමින් සදාචාරවත් වැදගත් ආණ්ඩුවක් ලෙස තවදුරටත් නම ආරක්ෂා කිරීමට නම් විනය ආරක්ෂා කරමින් වැඩ කල යුතුය.
කෙටියෙන් කියහොත්,
විනය නැත්නම් ගෙදර යැවිය යුුතුය!!!
එසේ නැතිනම් ආණ්ඩුව දියවී යාම නැවතීමට කාටවත් බැරි වනු ඇත. ආණ්ඩුව නැමති ප්‍රාකාරය ශක්තිමත්ව පැවතීමට නම් නරක් වූ දිරාගිය ගල් ඉවත් කර රටක බර සහ වගකීම් දරාගත හැකි ශක්තිමත් කල් පවතින ගල් ප්රාකාරයට ඇතුල් කරගනිමින් අලුත් විය යුතුය.
------ ------- ------- ----- ------ --- ----- ----- - - - - - - - -
පසුව ලියමි - 15.54 පැය - මේ කියනා මොහොත වන විට කොලඹ ජාතික රෝහලේ 72 වාට්ටුවේ සිටි රන්වල මහතා අත්අඩංගුවට ගෙන ඇත. නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි රටේම ජනතාව දෑස් හැර පියා බලා සිටී ~
කථානායක ගැන ලියූ පෙර ලිපිය