කතානායක?

 

හාල් පොල් පරදවා කථානායකගේ අධ්‍යාපන සුදුසුකම් ගැන විවාදයක් හට ගෙන ඇත්තේය. මේ ඒ ගැන මාධවගේ අවංක සත දෙක ය.

මේ වාරයේදී හෝ මහජනතාව මේ වෙනුවෙන් පෙනී සීටම ඉතා වැදගත්ය. ඒ සඳහා සජබ උන්ගේ කැපවීම අග‌ේය. අනුරලාට සැබැවින්ම අභියෝගයක් ඇත්තේය. ඒ් කථානායක උන්නාන්සේට (ගෞරවයෙන්) කරනු ලබන චෝදනා විභාග කොට ඔහුව දොට්ට දැමීම හෝ වෙනයම් කිසි ක්‍රියාමාර්ගයක් ගෙන NPP කණ්ඩායම අනික් උන්ගෙන් වෙනස් වන බව කියා පෑමට සිදුවීමය.

හාල් ප්‍රශ්නය විසඳූවා යයි කීමට කල් වැඩි අතරම මේ ප්‍රශ්නයත් පැමිණීම යම් විදියක අභියෝගයක් තමයි ය. මක් නිසාද යත් මෙතෙක් කල් අමනයින්, තක්කඩියන්, මාල කඩන්නන් (මෙවරද යවා ඇත), මිනීමරු චෝදනා ඇති අයවලුන්, මූල්‍ය වංචා ඇති අයවලුන් ඉහල මනාප වලින් යැවූ මිනිසුන් මෙවර උනන්දු වන්නේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කර ගැනීම වෙනුවෙනි.

සැබැවින්ම ඒ වෙනස අගය කල යුතුය. 

මාලිමාවට ජන්දය දුන් නොදුන් සැම දෙනාම උනන්දු වන ලෝක ප්‍රශ්නයක් වී ඇති මෙම ගැටළුව සම්බන්ධයෙන් අනුර ජනාධිපතිවරයා, හරිනි අගමැතිනිය ඇතුළු ආණ්ඩුව වහාම විසඳුමක් ගත යුතුව ඇත. අතීතයේ ඇතැම් ජනාධිපති පුත්තු හොර ක්‍රමවේද වලින් විභාග ලියා හොර සහතික වලින් නීති උපාධි ගන්නා විට නිහඩව වූ පාක්ෂිකයා, අතීතයේ හොර උප්පැන්න සාදාගෙන වයස අඩු වැඩි කරගන්නා ඇමතිවරු උන්නු රටක නිහඩ වූ පාක්ෂිකයා යලිත් එසේ විය යුතු නැත. අනිවාර්යයෙන්ම ප්‍රශ්න කිරීම කල යුතුව ඇත.

අනිවාර්යයෙන්ම මෙම දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට අස්සක් මුල්ලක් නෑර ජන්ද ලැබුනු බහුතර බලයක් ඇති ආණ්ඩුව මෙම කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිලිබඳව සමාජයට පහදා දී ඔහු සිදු කල වංචාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම දඩුවමක් ලබා දිය යුතුය. එවිට අනුරලාගේ සුදු හුණු ගැලවී නොයනු ඇත.

මෙතෙක් කල් තිබුනේ අප්‍රසන්න පාර්ලිමේන්තුවක් ය. මරාගෙන ආයුධ රැගෙන එන මිරිස් කුඩු වලින් සහෝදර දේශපාලකයාට ගහන, කුජීත පාර්ලිමේන්තුවක් ය. ඒ් බවට ඔනෑ තරම් සාක්ෂි ඇත අන්තර්ජාල වීඩියෝ ලෙස. එසේම අධ්‍යාපන සුදුසුකම් වලින් අවම උන් පාලනයට අත ගැසුවෝය. නීතිය තුට්ටුවකට මායිම් නොකරන උන් මෙයි අරක් ගෙන උන්නෝය. පවුල් පිටින් පාර්ලිමේන්තුවේ අසුන් ගෙන උන්නෝය. රටේ ප්‍රශ්න යට ගසා දාන පාර්ලිමේන්තු සංස්කෘතියකි මෙච්චර කල් තිබුනේ. හොර අවුසද ගෙන්වූ එකාට පක්ෂව අත ඉස්සූ අමන පාර්ලිමේන්තුවකි තිබුනේ. ඒම නැහැ කියන්නට කාටවත්ම බැරි ය.

වර්තමාන ආණ්ඩුවට ජනතාව ජන්දය ලබා දුන්නේ ඒ අවලම් කුජීත පාර්ලිමේන්තු සංස්කෘතිය නිමා කොට යහපාලනයක්, මහජනතාවට වග කියන පාලනයක් ඇති කිරීම පිණිසය.

කෙසේ වෙතත් මේ ප්‍රශ්නය යට යනු නැතැයි මාධව විශ්වාස කරන්නේය. මාධව ඇතුළු මහජනතාව ජන්දය ලබා දුන්නේම විශ්වාසය කඩ නොකරනු ඇතැයි විශ්වාස කිරීමට යම් තරම් හෝ තත්වයක සිටි කණ්ඩායමකට ය. එය සංවේදී කාරණාවක් ය. ඒ අනුව අනුර ප්‍රමුඛ ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ කාරණාවට සංවේදී ලෙස බලා විසඳුමක් ලබා දිය යුතුය.

මක් නිසාද යත් ආණ්ඩුවක පැවැත්මට බලපාන්නේ හාල් මිල පොල් මිල නොව මහජනතාව එම පාලකයින් කෙරෙහි තබාගන්නා විශ්වාසයම වන නිසා ය. විශ්වාසය හොඳම නෑදෑයා බව බුදු හාමුදුරුවෝද පැවසූයේ ඒ නිසාය.

එනයින් විශ්වාසය රැකීම අනුරලාගේ දෑතේ වගකීමය. 

විශ්වාසය බිඳුනු කල මහින්දලා, රනිල්ලාට බලය මාරු වෙවී තිබුනද ඔවුන්ට බලය අහිමි වන්න සෑහෙන කාලයක් ගියේය. හැබැයි විශ්වාසය එක් වරක් අහිමි වීම ම NPP යේ පමණක් නොව JVP - ජනතා විමුක්ති පෙරමුණේද දේශපාලනයේ අවසානය වනු ඇත.

(ජායාරූපය - ගූගල් වෙතිනි)

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form