අතීතයේ පැවති දේශපාලන සංස්කෘතිය නිමා කල යුතු යැයි කීවේ ජවිපෙ ප්‍රමුඛ එන් පී පී නඩයයි. ඒ දැන් පවතින ආණ්ඩුව ගැනීමට පෙරාතුවයි. දැන් ජනතාව එම නඩයට ආණ්ඩු බලය විශාල එකක් ලෙසම බන්දේසියේ තබා ලියා දී ඇත.
ඒනම් පැරණි මජර සංස්කෘතිය නිමා කොට ආදර්ශමත් නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ඇතිකරන බව ක්‍රියාවෙන් පෙන්වීමට රජයට දැන් අවස්ථාව ලැබී ඇත.
අතීතයේ සටහන් ගොඩකි. ඒවා රනිල් ගෝනාවල සුනිල් ගෙන ඒමේ කුරිරු ඉතිහාසයේ සිට මහින්ද ගොස් ලංසා බදාගැනීම දක්වාද දිගහැරිය හැකිය. මාධවට මතක අපූරුම කතාන්දරය වනුයේ අපරාධකාරී මර්වින් සිල්වා සහ ජාතික රූපවාහිනියට අදාල වෘත්තාන්තයයි. එහිදී රූපවාහිනියේ සභාපතිට තග දැමූ මර්වින් සිල්වා නැමති තක්කඩියාට රූපවාහිනී සංස්ථාවේ පිරිස අමතක නොවන පාඩමක් ඉගැන්වූ දිනයයි. එහිදී මර්වින් සිල්වාගේ කන පැලීමට මහින්ද රාජපක්ෂ උත්සුක වනු ඇතැයි පාක්ෂිකයින් සිතුවද සිදු වූයේ මහින්ද රාජපක්ෂ සෙවනැල්ලේ හෙතෙම නීතියේ රැහැනට හසු නොවී පලිගැනීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම පමණකි.
ඒ ආදී වශයෙන් අතීතයේ පැවති තමාගේ සහචරයාව සුද්ධ කොට පිරිසිදු වතුරෙන් නාවා බෞතිස්ම කරනවා සේ කටයුතු කල, වැරදි පෙනි පෙනී අතේ මාට්ටු වන විටත් රටේ නැති පල් බොරු දෙසා බාමින් උනුන්ව ආරක්ෂා කරමින් මහජනතාවට කොකා පෙන්වූ අසූචි වලක් මෙන් ගඳ ගහන දේශපාලන සංස්කෘතිය නිමා කොට යුක්තිය අගයන සාධාරණත්වය සුරකින නීතිය සැමට එක සේ ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් සහ රාජ්‍යයක් ප්‍රාර්ථනා කරමින් ජන්දය දුන් සැමගේ වර්තමාන බලාපොරාත්තුව අනුර ප්‍රමුඛ රජයෙන් සිදුවන්නේ තවදුරටත් අර කී කලු රාජ්‍යයම පවත්වාගෙන යාමම දැයි සිතෙන්නේ රන්වලට නීතිය ක්‍රියාත්මක වන ආකාරය නිසාය.
පෙරදා හෙතෙම අධ්‍යාපන සහතික ගැටළුවේදීම ඉල්ලා අස් වූයේ නම් මේ සා වූ ප්‍රශ්න නැත. මහනුවර නගරාධිපතිගේ දියණිය මත්ද්‍රව්‍ය සමඟ අල්ලාගත්විට නීතිය තදින් ක්‍රියාත්මක වනු පෙනේ. එය හොඳය. අතීතයේ පොලීසිය මත්කුඩු මත්ද්‍රව්‍ය හමුනේ කඩාගෙන පැන්නේ පුංචි තැන් වලට පමණක්ය. දැන් ඒම නැත. ඒක හොඳ තත්වයකි. එසේ නම් රන්වලට පමණක් ඇයි විශේෂ?
මාධවගේ තර්කය වනුයේ රන්වල ඉල්ලා අස්වීම දැන්වත් ලබා දී පක්ෂයේ වැඩ වලට දායක වීම ය. පක්ෂයේ ලේකම් ටිල්වින්ට පුලුවන් නම් තනතුරු නොගෙන පාර්ලිමේන්තු නොගිහින් ඉන්නට, ඇයි බැරි රන්වල උන්නැහේට?
අනෙක් අතට සදාචාරවත් ගති පෙන්වීම, විනය සුරැකීම යන කරුණු ගැන බොහෝ කතාන්දර පැවසූ ආණ්ඩුවක උක්ත කී කරුණු යටතේ වත් මහජනතාවගෙන් පත් වූ මහජනතාවට වගකිවයුතු පුද්ගලයෙක් ලෙස රන්වල මහතා ජනාධිපති හෝ අගමැති පවසන තෙක් නොසිට සිය පාර්ලිමේන්තු ආසනයෙන් ඉල්ලා අස්වී එකල වේදිකාවන් මත කතාවෙන් කියූ දෑ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු නොවේද?