වෙසක් පුර පෝ දා
හඳපානෙ මං ගෙනා
කඩුපුල් මල්
නුඹේ හිස දවටලා
සුවඳ බැලුවා
මං එදා මත් වුනා
හොඳටෝම
උඹ ගාව
කවුලුවෙන්
ගලා ආ
සඳ කිරණ
පෙන්නුවා
අපිට මඟ
සුර ලෝකයක
දොරටු වෙත
තැලී පොඩි වී
පෙති ඉහිරුනු
හැඟුම් නිවුනු
කඩුපුල් පෙති
විසිරිලා තිබුනා
යහන මත ඔබ මොබ
කටරොලු මලක්
නෙලා අහවර උන විට
කඩුපුල් රේණු
තැවරිලා දාඩියට
අපේ ඇඟ හැමතැනම
පොඩි උනාට කම් නෑ
කඩුපුල් මල් කුමාරියේ
සුවඳයි මුලු කාමරේම
හිත් මඬල වගේම
එකෝමත් එක රටක ඉඳන්
රථයක ආ කුමාරයෙක්
ගොඩ බැස්ස දා ඉඳන්
කඩුපුල් පිපුණෙ නෑ
ආයෙමත් ගම්දොරේ
අමාවක හඳමයි
පීදුනේ
පොල් අතු පැලේ
පියස්සේ හිඩැස් මැද
එක දවසක මං යන විට
වලව් මිදුල ඉස්මත්තෙන්
ගිනියම් වූ මහ පාරේ
එහි මහ උළෙලක් තිබුනා
මල් හිස ලූ මනාලි ඇය
සුනිමාලී ශෝබන ලිය
සුදු හුණු ගෑ වලව් දොරෙන්
එලියට දුටු තත්පරේට
තිබුනේ නෑ එහි ආයෙත්
සුවඳ හමන පිපි කඩුපුල්
කඳුලු නොමැති දෑසින් මම
ඒ දෙස බලමින් එ දවස
හිතුවා සිත සනසන්නට
පිරුවට ගා පිරියම් කල
ඔය සුදු හුණුවට ඇහැකිද?
මකාලන්න ඒ සලකුණ
කඩුපුල් මල් පෙම් පුවතක
උච්චම ස්වරයක තාලෙට
හිත් කුටියේ තැන්පත් උන
නුඹෙ කුටියේ යහනේ කල
කෙලි සෙල්ලමෙ පෙම් සලකුණ!