ඉර බැහැලා ගිහින් හඳ පායලා තිබුනා. ඊට පහලින් දෙල්තොට ගලහා ෆයිනස් කන්දේ ෆයිනස් තුරු හිස් බැබලුනා. මීට කලින්දාක කිව්ව මතක ඇති මිත්‍රවරුණි එකෝමත් එක රටක කුමාරයා ගැන. ආන්න ඒ කුමාරයාගේ ගේ අතේ තිබුනා දිලිසෙන පොරව. ඒකේ කදිම මුවහත තියෙන නරක තලය හඳ එලියට බැබලුනා. අඳුරේ අත් සවලකින් පරිස්සමින් බිම හාරන පුද්ගලයෙකු ඔහුට ඉස්සරහින් පිස්සුවෙන් වගේ අවට පරිසරේ ගැන අනවබෝධයෙන් පොලව හාරමින් උන්නා.
නිවැරදි ඉලක්කය ලබා ගත් පොරෝ තලය තවත් කල් නොගෙන හනික ඉහලට එසවී හුලං කපාගෙන පහලට ආවා.
ඉලක්කය වෙතටම!
( පළමු කොටස - මෙතනින් පිවිසෙන්න )
හුලං කපාගෙන අම්බුලුවාවේ හෙවන යටින් ඇදෙන බයික්කෙ දොලුව පාරට හරවද්දි ඔහු හිටියේ තීරණය පිලිබඳව තවත් හිතමින් නෙමෙයි. කලින් දවසක හමුවුන ඉටිකොලයෙන් ආවරණය උනු ගඳ ගහන ගෑනු කෙනෙක්ගේ කතාව ගැන ආයෙම හිතලා හිතලා ගත්ත නිර්භීත තීරණය ගැන ඔහු පසුතැවුනෙ නෑ නෙව. ඉතිං සිතියම දිහා බලාගෙන පුංචි බයිකෙක නැගලා සරල ආම්පන්න ටිකක් අරන් ඔහු මේං පිටත් වෙලා ඈව හොයාගෙන යන්න.
ඇත්තටම එදා ගිනිමැලය යට තිබුන දේ බලන්න. කකුලෙන් තෙරපද්දි ඇයි මෙතරම් බුරුලට. එතන විතරක්ම.
ඔහු ඒ කියන්නෙ මාධව.
නිර්භීත කැත කොලුවා.....
මාධව කවදාවත් තමන්ගේ බයික්කයෙන් අනවශ්‍ය ලෙස වේගයෙන් ගමනක් ගිහින් නෑ. මාධව හැමදාව විශ්වාස කලේ සුදුසු වාහනයට සුදුසු වේගයක් පැවතිය යුතු බව. එසේම අධික වේගයක් කිසිදාක උවමනා නැති බව. ඉතිං හෙතෙම සෙමෙන් සෙමන් ඉදිරියට ඇදුනා. ගම්පොල හතරමං හන්දියෙන් දකුණට හරවලා පොලීසිය ඉස්සරහින් ගිහින් නුවරඑලිය පාරේ ලොකු පාලමෙන් හරවලා ඉන්පස්සේ දොලුව පාරෙන් දෙල්තොට බලා පිටත් උනා. ගෙදරට කිව්ව යාලුවෝ එකෙක්වත් උන්නෙ නෑ. මේක හොයාගෙන ගිහිං ලැබෙන දේකුත් නෑ.
ඒත් නිර්භීත මාධවයා ගමන පටන් අරන්. හෙමින් හෙමින්........
රෑ උදාවෙන තෙක්....
..............................................................................................................
අලුත් අවුරුදු පහුවෙලා එක්තරා සිතුරාදාවක රෑක මාධව තනියම ගෙදර එන්න පිටත් උනා. කාර්යාලයේ කටයුතු අහවර කරලා එද්දි ඇතැම් දාක හරි වෙහෙසයි. හෙමන් හෙමෙන් ඇදෙන බයිකකය වටා මීදුම එතුනේ සොබාවිකවමයි. මාධව ඉන්න සමනල අඩවිය පාමුල ඒම තමා. ඉර පායන්නෙම අවුරුද්දෙන් පුංචි කාලයයි. ඉතිරි කාලෙම චුරු චුරු වැස්ස. පිට පලාත් වන උන්ට නෙතට අඳුනක් උනාට මේ පලාතෙ උන්ට වැස්ස වෙලාවකට කරුමයක්. රට යට ඇඳුමක්වත් වේලගන්න බැරි හැටියක් මිත්‍රවරුණි.
ආන්න ඒම වැස්ස පායලා තිබුන මීදුම බාන අදුරු රෑක හෙමින් එද්දි තමා මාධව දැක්කෙ පාර අයිනේ වැටිල ඉන්න රෑපය. මාධව කවදත් රෑට පාරෙදි කෙනෙක්ව දැක්කම කතා නොකර හෝ නොබලා යන්නෑ. කරදර කාටවත් අද එනවාය දැන් එනවාය කියලා එන්නෙ නෑනේ. ආන්න ඒ නිසා. මාධව හෙමීට ලං වෙලා ඈ දිහා බැලුවා. එතකොට දැක්කේ ඇගේ කකුල තුවාල වෙලා. කොණ්ඩයෙන් මුහුණ වැහිලා. සාමාන්‍ය ගැමි යුවතියක්. ගවුමකින් හැඩ උන.
එකපාරට ඇස් ඇරිය ඇය හෙමින් කෙඳිරි ගෑවා.
කකුල කැක්කුමයි.
ඈ කෙඳිරි ගෑවා. ඒ කෙඳිරිය මැද්දෙන් පුරුදු කටහඩකින් “මට කලු ඉටිකොලයක් ඔනෑ තුවාලෙ වෙලා ගන්න“
ඈ කිව්වා.
මාධව තුෂ්නිම්භූත උනා. පුරුදු මාළු කුණු ගඳ අවට පැතිරෙද්දී තුවාලකාරිය පාලු මාවතේ හැරදමමින් මාධව කවදාවත් නොමැති වේගයෙන් මෝටර් බයිසිකලය හෙවත් බයික්කය පදවන්න උනා. ගෙදරට ලං වෙනකම් ආපසු හැරී බැලීමත් තිබුනේ බෑ. ඒ මීදුම මැද්දේ කුණු ගඳ පතුරවමින් පාර මැදට වී සිටගත් කාන්තාව මාධව දෙස සෘජුව බලා උන්නා.
මාධව වේගයෙන් මීදුම කපාන ඉදිරියට ඇදුනා. පැතිරුණ මීදුම ඈව ගිලගන්නා අයුරු මාධව දැක්කේ නෑ.
ගෙදර ආපු මාධව හතිලන්න උනා. බිරිඳ ඇගේ නිවසට ගිහින්. රෑට උයන්න බෑ. නිදිහයනට යැවුනු හෙතම හැඳ සිටි ඇඳුම් පිටින්ම නිදි දෙව් දූ තුරුලට උනා. රැය ගෙවුනා. ඉර පායා එනතුරුම නින්ද මාධව අසලකටවත් පැමිණියේ නෑ. උදෑසන වෙද්දි ඔහු තීරණයක් අරන් අහවරයි. මේ ගෑනි දෘශ්‍යමාන වෙන අවස්ථා ඇති. එදායින් පසු ගෙදර ආවාම, කීප සැරයක්ම මාධවට ඈව දර්ශනය උනා. ඈ සැමදෙයින්ම මාධවට ඒත්තු ගැන්නුවේ උඹ අවංකයි, උඹට මේක ඇත්ත නැත්ත රටට කිව්ව හැකි බව.
මාධව ඒ හැඟීමට වශී උනා. වීරයෙක් වෙන්න හිතේ හැමදාම තිබුන ආශාව ඉස්මතු උනා.
හනි හනිකට ගෙදර ගබඩාවට පියමං කල හෙතෙම විදුලි පන්දමක්, ගිනිපෙට්ටියක්, අත් සවලක් සහ පරිගණක කාමරෙන් වීඩීයෝ කැමරාවක් සමඟ ශීතකරණයේ තිබූ සීතල වතුර බෝතලයක් අරං බෑගයකට දමා ගත්තා. බයික්කය පණ ගන්වාගත් හෙතෙම බයික්කයට කෙටි පණිවුඩයක් බිරිඳට තියා ගමන පිටත් උනා.
“ගමනක් යනවා! ගිහිං එන්නං“
සීතල පවන මැද්දේ ඉර අවරට හැරෙද්දී බයිසිකලයේ මීටර කටුව පැයට කි. මී 35 ප්‍රමාණයට පෙන්නුවා.
...................................................................
මහ රෑක වැස්ස වහින්න වගේ අඳුරේ ඉන්න හැන්දෑවක ගෙදර කෑම මේසය උඩ පූසා ඉන්නවා මාධවට පේනවා. ඒ පූසාගේ කට වටේ රුධිරය වෑහෙනවා. කලු රුධිරය. මාධව දෙස බලා ඇස් පිල්ලම් නැටවූ පූසා එක් වරක් ඥාව් කිීමෙන් පසු කුස්සියෙන් නික්මී මාධවලාගේ ගෙදර පිලිකන්නට ඇදුනා. ඒ ඥාව් හඩ පිටිපස්සෙන් මාධවත් ඇදුනා. කුස්සියෙන් දර ගෙට. දර ගෙයින් පිලිකන්නට. පිලිකන්නෙන් පරණ කුණු වල පැත්තට. කුණු වල දිහාවෙන් එකවරම මාළු කුණු ගඳ ඇදිලා ඇවිල්ලා මාධවගේ නහඩ කඩාගෙන පපුවෙන් එකක් වෙන්න හුස්ම පිරුණා. කහිමින් අපහසුවෙන් උන් මාධව කුණු වල ආසන්නයට ගියා. කුණු වලේ පූසෝ රෑනක් එක්කාසු වෙලා මොනාදෝ හාර හාර අදිනවා. බල්ලෙකුත් ඉන්නවා. මාධව වතුර බාල්දියක් ගෙනැල්ලා පූස් රෑනට දීලා ඇද්දම උන් සීසීකඩ ගිහින් ඈත ඉඳන් මාධව දිහා බලන්න උන්නා. අජූත ගන්දස්කාරය අමතක කරපු මාධව ආයෙම කුණු වල දිහා බැලුවේ කලින් දවසේ සුද්ද කරපු මාලු බොකු පිරවූ බෑග් එක උන් ටික ඇදලා ඇති කියමින්.
කුණු වලෙන් උඩට මතුවෙච්ච කළු පාට බෑග් එක මාධවගේ දෑස් වලින්ම දැක්කා.
“අපොයි මුන් මාලු බෑග් එක ඇදලා. ඒක වලදාන්න උවමනයි“
එහෙම හිතපු මාධව බෑග් එක ඇදලා අතට ගන්නා. අතට ගත් බෑග් එක ඉරිලා නිසා ඇතුලේ තිබුන දේවල් බිමට වැටුනා. ඒ අතුනුබහන් අතුරින් මාධවට පැහැදිලිව පෙනුනේ කකුලේ ඇඟිලි වගයක්. කලු ගැහුණු, පනුවෝ ගහපු. මාපට ඇඟිල්ල හොඳට අදුනාගන්න මාධවට පුලුවන් උනා.
“ඒ මගේ කකුලේ ඇඟිලි“
ක්ෂණිකයෙන් ආන්න ඒ ගෑනු හඩ ඇහුනේ මාධවගේ පිටිපස්සෙන්! කන ගාවින්ම.
මාධව ගැස්සිලා ඇහැරුනා. දැක්ක දේ හීනයක් කියලා තේරුන් ගන්න ටිකක් වෙලා ගියා. ඇඳේ එහායින් බිරිඳ වැතිරිලා උන්නා. ඒත් බිය සංකාව සහ කම්පනය දැඩිව මාධවගේ හිතට දැනුනා. පපුව තදින් ගැහුනා.
ගෙදරදී උන සිදුවීම් එකිනෙක අපිලිවෙලට සිහිවෙද්දි ගමනේ යෙදී උන් මාධවට ඈතින් අම්බුලුවාවේ කොත පෙනුනා.
මෝටර් බයිසිකලයක නැගුනු උස කලු කැත මාධව ආපහු සැරයක් සාදයක් දාන්න කියලා හිතාන තට්ට තනියම ආපහු හන්තාන පැත්තට ඇදුනා. ඔහුගේ බෑගයේ මධුවිත, මස් හෝ අන්නාසි හෝ බීම තිබුනේ නෑ. වතුර බෝතලය, විදුලි පන්දම, ගිනිපෙට්ටිය, අත් සවල සහ වීඩීයෝ කැමරාව විතරක් තිබුනා....
එදත් ඔහු ගම්පොලින් යද්දී තැබිලි රතු මිශ්‍ර අහස යට අම්බුලුවාවේ කොත බැබලුනා.
...............................................................................................................
නිල්ලඹ ජලාශය පැත්තෙන් ගමන යද්දි පරිසරය අඳුරු කරගෙන එනවා. මිත්‍රවරුනි වෙලාවක ගිහින් බලන්න එ පැත්තට. අපූරු සුන්දරත්වයක්. කැලෑව මැද්දෑවෙන් යද්දි කොල පාටට හිත ඇදීලා යනවා. වඳුරන් උන්ගේ ශබ්ද දාගෙන ගස් උඩ ඒ මේ අත යනවා. අපූරුයි. ඒම පරිසරය සුන්දරත්වය විඳගෙන ඉස්සරහට ගිහින් දෙල්තොට පාරට වැටුනේ හවස පහත් පහුවෙද්දි.
ඒ පාරේ ඉස්සරහට මාධව ඇදෙද්දී ඈත දර්ශනය තැඹිළි පාටින් දිස්වුනා. අපූරු පරිසරය.
දුර කතර ගෙවාගෙන ෆයිනස් කැලය ළගට එද්දි මාධවට පෙනුනේ පරිසරය හරිම නිහඩ බව. හොරකමකට ආවා වගේ ලෑස්ති වෙලා උන් මාධවට හිත පතූලෙන්ම බය කියන ලක්ෂණය දැන් ටික ටික මතු වෙනවා නැති වෙනවා. එකාතකට මොකට බය වෙන්නද? හොල්මනකට කරන්න පුලුවන් කුණු ගද පතුරවන එක විතරයි නෙව. සතෙක්ගෙන් ඇරෙන්න වෙන කාගෙන්වත් අනතුරක් නෑ නෙව. ඒම හිතපු මාධව එක්තරා දවසක තමන් නතර වී උන්නු කබානාව පේන ඈත දුර තේ වත්තේ කෙලවරේ බයික්කය නතර කලා.
කලින් දාක වීදුරු කෑල්ලකට කකුල කැපුනෙත් එතනදි. එතන නුග ගහ මුවා වෙන්න කදිමයි.
අඳුර වැටිලා පිනි හැලුනා. රෑ සීතලයි. මාධව ජැකට්ටුව තවත් ඇඟට හිර වන සේ සිපරය දමාගෙන හෙල්මට්ටුව නොගලවා හිසේම තියාගත්තා.
පාලු තේවත්තේ කබානා වල දුර්වල ආලෝකය පමණක් මීදුම මැද්දෙන් ඈත පෙනුනා. නිර්භීත මාධව තේ වත්තේ මඳකට ඇනතියාගත්තා. ආලෝකයන් නිවී යනතුරු.
ඇය වෙනුවෙන් ආලෝකය දල්වන්න උවමනා අධිශ්ඨානයෙන්.
මීදුම බාගෙන එද්දි කබානාවේ ආලෝකය නිවුනා. ඈත පරිසරය විදගෙන කදු වලල්ල පැත්තෙන් හනික වාහන එලිය මතු උනා. ඈ දැන් ඒවි. මාධව දැනගත්තා. ඇගේ පැමිණීමට නම් ඈත කඳු වලල්ලේ වාහන එලිය නැතිවෙලා යන්න උවමනා වෙනවා. මාධව හිඳගෙන උන් තැනින් නැගිටලා ඈත මීදුවෙන් වැසුනු කඳු වලල්ල දිහා බලන් උනා. එක සැරේම කබානාවක ආලෝකය පත්තු උනා. කබානාවේ උන්නු ගැහැනියක් වට පිට බලා පරිස්සමින් කබානාවෙන් බිමට ඇවිල්ලා මාධවලා පෙරදාක ගිනිගොඩ ඇවිලූ තැන හාරන්නට උනා.
මේ සියල්ල මාධව දැන් තිගැස්සුමෙන් බලන් ඉන්නවා. අභිරහස දන්න තව ගෑනියක්. මේක අවුල් ජාලාවක් වෙන්න නියමිතයි වගේ.
මාධව හනික හිතුවා.
නැති ලෙඩ දාගෙන අවුල් ජාලාවක පැටලෙනවද ඒම නැතිනම් මේක විසඳාගෙනම නිවසට යනවද?
සිත ඇතුලේ මාධවලා දෙන්නෙක් තර්කයේ.
අවසානයේ දෙන්නාම එකම තීරණයකට ආවා. හොයාගමු රෙද්දේ අභිරහස.
ඒම හිතපු මාධව තේ පඳුරු මැද්දෑවෙන් හෙමීට ඉදිරියට ඇදුනේ පුදුම පරිස්සමකින්. වල් ඌරන්, සතා සරුපයන්, ගෝනුස්සන් බහුල මේ පැත්තේ පරිස්සම අතශවශ්‍යයි.
වරකට පියවර බැගින් හෙමින් හෙමින් තියමින් ඉස්සරහට ඇදෙන මාධව දැක්කෙ කාන්තාව දැන් අර වල වහන බව. මෙච්චර ඉක්මණට. මොනා?
මාධව එහෙම්ම ඇන තියාගත්තා. ඈ ආපහු කබානාවට නැග ආලෝකය නිවා දැම්මා. විනාඩි දහයක් . විතර උක්කුටියෙන් උන්නු මාධව හෙමින් හෙමින් නැගිටලා බොහොම පරිස්සමින් ඇගේ වසා දැමූ වල වෙතට ඇදුනා.
මේ තමයි අභිරහස විසඳෙන වේලාව. ඒම හිතපු මාධව අත් සවල බෑගයෙන් එලියට ගෙන සෙමෙන් සෙමෙන් වල කනින්න පටන් ගත්තා. පුංචිවත් සද්දයක් නැතිව වල හාරාගන්නටයි මාධවට උවමනා උනේ.
මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී යද්දී මාධවට කලු ඉටි බෑගයක කෙලවර හසු උනා. රුපියල් පහේ ෂොපිං බෑගයක්. මාධව හෙමින් හෙමින් ඒක උස්සලා අතට ගද්දිම ගඳ මතු උනා. කුණු ගඳ. මාධවට පෙරදා දුටු සිහිනය මතක් උනා. කුණු වලෙන් මතු වූ ඇඟිලි බෑගය.
ඒත් එක සැරේටම පිටුපසින් ඒ හඩ ඇසුනා.
ඇයි මේක හොයන්නෙ?
මාධව හැරිලා බලද්දි ඈ ඉන්නවා කබානාවේ පඩිපෙල ඉහල. පෙරදා වගේම සම්පූර්ණයෙන් ඉටිකොලෙන් එතිලා. ඇස් දෙක විතරක් පූසෙක්ගෙ වගේ දිලිසෙමින්.
ඒකිගේ කකුලේ ඇගිලි නෑ. ඒ කුණු වෙච්ච කලු ගැහුණු ටික මාධවගේ අතේ අල්ල උඩ.
කලබල උන මාධව ඇඟිලි ටික හැරදා තේ වත්ත මැද්දෙන් දුවන්නට උනා. ඈ හිනා උනා. හයියෙන්. කීරිගැහෙන වියරු හිනා හඩ මැද්දේ මාධව මීදුම තුලට දුවද්දීම එකසැරේම කකුලේ කට්ටක් ඇනෙන සේ වේදනාවක් දැනුනා. සරුපයෙක් දස්ට කලා වත්දෝ. දුවද්දී වේදනාව වැඩි උනා. සරුපයෙක්.
ඒ සිතුවිල්ලෙන් සිතට බිය ආ නිසාම ගැස්සිලා නින්දෙන් ඇහැරුන මාධව කකුල අතගා බලද්දී පුංචිම පුංචි කූඹි ගුලක් ඇවිස්සිලා.
තමන්ට මොහොතකට නින්ද ගිය බව මාධවට තේරුනා. මෙවැනි අවදානම් අනවසර ක්‍රියාවකට තමන් සූදානම් නැති බවත්, සැබෑ ලොව සිනමා සිත්තමක් නොවන බවත් මාධවට වැටහෙද්දී සිත ආයෙම යා යුතු බව කියද්දී මාධව කාර්යය කරන්නට සූදානම් උනා.
බෑගය බයික්කය මත තැබූ ඔහු කැමරාව පණ ගන්වා අතේ එල්ලා ගත්තා. අත් සවල අතට ගත්තා. නිහඩවම බෝතලයෙන් වතුර බිඳක් පානය කල හෙතෙම තේ වත්ත මැද්දෑවෙන් උක්ත කබානාව දෙසට ඇදුනා.
පියවි ලෝකය තුලත් සිහිනයේ මෙන්ම නිහඩබව රජ කරද්දී ඈ සොයා යන්නට මාධව නැමැත්තා ඉස්සරහට අඩියක් තිබ්බා. මීදුම හාත්පස පැතිරෙද්දී මාධවගේ ජංගම දුරකථනයේ විදුලි පන්දම් ආලෝකය විතරක් මලානිකව මාධවට පාර කිව්වා.
තේ පඳුරු මැද්දෑවෙන් හෙමීට පෙරදාක දැල්වූ ගිනිමැලය තිබුනු තැනට ආ මාධවට එම තැන අඳුනගන්න අපහසු උනේ නෑ. කකුලෙන් බිම තෙරපූ ඔහුට පෙර දිනය තරම්ම නොවුනත් ඇතුලට එබුනු මෘදු පස කකුලට දැනුනා. එතැන බිම ඈඳි ගත් මාධව ජංගම දුරකථනය නිවා දැම්මා. කැමරාව ඔහුට ඉදිරියෙන් තැබීමෙන් සියල්ල පටිගත වන සේ තබා ඉතා පරිස්සමින් බිම හාරන්න උනා. අවට සීතල පරයාගෙන මාධවගේ දහඩිය ගැලීම නිසා ගතම උණුසුම දැනුනා. සිතේ බිය ත්‍රාසය කදිමෙට පිරිලා. ඒ හැගීම මාරයි. පස් පිඩැල්ලක් ගානේ පපුව ගැස්සෙනවා. පස් පිඩැලි එකින් එක පසෙකින් ගොඩවෙද්දී ඈත හඳ පායාගෙන ආවා.වටපිට ගැන අවධානයෙන් මිදුනු මාධව දැන් ගඳ දැන් එයි, ඉටිකවරයක් දැන් මතුවෙයි බලාපොරොත්තුවෙන් මාධව පස් ඉවත් කරමින් අඩි දෙකක දෙකක පමණ කැබැල්ලක පස් හාරමින් උන්නා.
විටින් විට හිස ඔසවා ඈත කන්දෙන් ආලෝකය මතු වේ දැයි විමසිලිමත් වූ මාධවට එක් වරම ඒ ආලෝකය දිස් උනා. කාර්යය මදකට නතර කරපු මාධව දැන් ඒ දිහා බලන් ඉන්නවා. ආලෝකය ආවා. මීදුම මැද්දෑවෙන්. ඉන් පස්සේ නොපෙනී ගියා. ආයෙම මතු උනා. කඳුකරයේ වංගු මැද්දෑවෙන් වාහනය ඇදෙනවා.
මාධව ආයෙම කාර්යය වෙත යොමු උනා. දැන් ගඳ දැනේවි. ඈ එනවානම් ඒවි යන අභිප්‍රායෙන්.
දෙල්තොට ගලහා ෆයිනස් කන්දේ ෆයිනස් තුරු හිස් බැබලුනා. මීට කලින්දාක කිව්ව මතක ඇති මිත්‍රවරුණි එකෝමත් එක රටක කුමාරයා ගැන. ආන්න ඒ කුමාරයාගේ ගේ අතේ තිබුනා දිලිසෙන පොරව. ඒකේ කදිම මුවහත තියෙන නරක තලය හඳ එලියට බැබලුනා. අඳුරේ අත් සවලකින් පරිස්සමින් බිම හාරන පුද්ගලයෙකු ඔහුට ඉස්සරහින් පිස්සුවෙන් වගේ අවට පරිසරේ ගැන අනවබෝධයෙන් පොලව හාරමින් උන්නා.
නිවැරදි ඉලක්කය ලබා ගත් පොරෝ තලය තවත් කල් නොගෙන හනික ඉහලට එසවී හුලං කපාගෙන පහලට ආවා.
ඉලක්කය වෙතටම....................
එකවරම හෙනගහච්ච අකුණක් ගැහුවේ මාධවත් නොසිතූ විදියට. පරිසරය දෙදරවා ආව අකුණට හුළග කපාගෙන ආව තලයේ ඉලක්කය සහමුලින්ම වැරදුනත් හානිය සුලුපටු උනේ නෑ. එකමත් එක කුමාරයාගේ අතින් අතෑරුනු පැත්තට විසිවුනු පොරෝ තලයේ මිට මාධවගේ හිස් වැසුමේ පැත්තක වැදී උරහිසට පතබෑවුනා.
පොරව පැත්තට විසිවී ගියා.
වේදනාවෙන් කෑ ගැසුනු මාධව පැත්තට විසි උනා. නැගිටින්න හදද්දී කකුල මාධව විසින්ම හෑරූ වලට වැටිලා සාමාන්‍ය පෙල කාලේ උන ආකාරයටම වම් කකුල පෙරලුනා. උලුක්කු වේදනාව සහ අතේ වේදනාව ඉවසාගත නොහී මාධව කෑ ගසමින් සිදුවූයේ කුමක්දැයි වටහා ගන්නට සිහිය සෙව්වා. පිටුපා සිටි දිසාවට හැරුනු මාධව තව තවත් සිහිය සෙව්වා.
අභිරහස් තවත් උවමනා නෑ. පණ බේරාගන්න උවමනාව නං මාධවට තදින් දැනුනා.
ඒ ජරමර අස්සේ මාධවට ඉස්සරහින් කලු කබායක් ඇඳගතත්තු, සරම කැහැපොට ගහගත්තු, රෙදි තොප්පියක් පැලඳගත්තු, මූන කොටු ලේන්සුවෙන් වහගත්තු මිනිහෙක් ඉතා සන්සුන්ව වෘත්තීය ආකාරයට ආපහු පොරවත් ඇහිඳගෙන මාධව දිහාට එන්න පටන් ගත්තා.
අඩියෙන් අඩිය ඌ ලංවෙද්දී මාධව දනි පනි ගාලා නැගිට්ටා. අතේ තිබුන සවලෙන් ඔහුට දමා ගැසූ මාධව කොර ගසමින් කබානා හිමිකරුවන් ඉන්නා වූ නිවාසය දෙසට, එනම් පෙරදාක ඇපල් චතුරංග සමඟ නිදාගත් කාර් එක තිවුන දිහාට දුවන්න ගත්තා. ඈත කලබල වූ බල්ලෝ බුරනවා. හඳ මැකිලා ගිහින්. කබානා වල එලියක් නෑ. පරිසරයම මල මූලසයි. විනාසකාරීයි.
එදා වගේ නෙමේ මිත්‍රවරුණි. අද රෑ, ගඳ නෑ. ඉටිකොල පොරවාගත්තූ හොල්මන් ගෑනු නෑ. යාලුවෝ නෑ. කෑම බීම සිංදු නෑ. පොරවක් අතින් ගත්තු භයානක කාළකණ්නි මිනිහෙක් විතරක් මාධවත් එක්ක මේ හන්තාන අඩවියේ පාලු තේ වත්තක් මැද්දෑවේ තනිවෙලා.
ඝනම ඝන කලූරේ!
මාධව හැමදාම කිව්ව කතාව ඇත්ත වෙලා!
හොල්මනකට කරන්න පුලුවන් දෙයක් නෑ. මිනිස්සුන්ගෙන් තමා ප්‍රවේසම් වෙන්න ඕනි.
හතිදාමින් දුවලා දුවලා ගිය මාධව හිමිකරුවන්ගේ නිවාස දිහාට දිව්වත් කූඩුවේ උන්නු බල්ලා ඇරෙන්න ඒ ගෙදරත් කිසිවෙක් නැති පාටයි. දොරවල් වලට ගහන්න උත්සුක නොවී මාධව ගේ පිටිපස්සට දිව්වා. පිටිපස්සෙ බිම වැටිල තිබුන අඟලේ මලකඩ කාච්ච අඩි දෙකාමාරක් පමණ දිග යකඩ බටේ දෝතින් අල්ලාගත්තු මාධව අරූ එනකම් කල් මැරුවා.
උගේ ඔලුව දෙබෑ වෙන්න පතබානවාමයි. මාධව හිතා ගත්තා.
ඒත් ඌ නෑ. මාධව බිත්තියට හේත්තු වෙලා උන්නු නිසා ඌට එන්න පුලුවන් පැති තුනකින් විතරයි නෙව. දෙපැත්තෙන් හෝ ඉස්සරහින්.
පොරව අතින් ගත් ලේ පිපාසිත එකමත් එක රටේ ගමේ කුමාරයා නෑ. හෙමීට දුරකථනයෙන් වෙලාව බැලූ මාධව දැක්කේ වේලාව 00:00 බව. තව පැය පහක් අල්ලන් ඉන්න තිබුනා නම් එලිය වැටෙනවා. එලිය වැටුනාම සතුරාට මුහුන දීම ලේසියි. මාධව තමන්වම අභිප්‍රේරණය කරගන්නවා.
මුහුණ දෙන්නටවත් කෝ කුමාරයා නෑ. ඒත් එහෙම හිතද්දීම මාධව නොසිතූ පැත්තෙන් කුමාරයා මතු උනා. ගෙදර පාත වහලය උඩින් මාධවගේ ඉස්සරහටම. උඩින් බිමට පැන්න ඌ මාධවගේ බෙල්ල තද කරලා අල්ල ගත්තා. හෙල්මට් එක ගැලවිලා බිමට වැටුනා.
දඬු අඩුවක ග්‍රහණයට මාධව අහු වෙලා. එකාතකින් බෙල්ල. එකාතකින් යකඩ බටය අතැති මාධවගේ අත. ගැලවිල්ලක් නෑ. දැඟලීම පමණයි.
බල්ලාගේ බිරුම් හඬ ඈතට ඈතට යද්දි මාධවගේ දහඩියෙන් පෙඟුනු මුහුණේ දැස් පියවුනා. දඟලන්න තවත් ඔහුට ශක්තිමත් බවක් දැනුනෙ නෑ...
අන්ධකාර රාත්‍රියක් ඔහු වටා වෙලුනා.
..................................................................................................................
මාධව මංගල ශාලාවක් ඉස්සරහ ඉන්නවා. ඔහුගෙ අතෙ යකඩ බටයක් තිවුනා. තැනින් තැන මඩ තැවරිලා.
එක සැරේට මඟුල් ශාලාවෙන් මඟුල් බෙර ඇහෙන්න ගත්තා. ඒ අස්සේ කවුදෝ කතා කරනවා. අෂ්ටකය කියන කෙනාව එක්කන් එන්න. නැකත ලඟයිලූ..
යකඩ පොල්ල අරන් මාධව ශාලාව ඇතුලට ගිය. වෙස් මූණු පලඳාගත් කට්ට්ය මැද්දෙන්.....
එකමත් එක රටේ කුමාරයා මංගල පෝරුවක් උඩ නැඟලා.ඔහුගෙ දෑතෙ ඉටි කොලෙන් එතූ කාන්තාව එසවී ඉන්නවා හරහට. එ ක්ලේබරයේ දෑත් සහ හිස, කකුල් අප්‍රාණිකව බිමට එල්ලිලා. කකුලේ කිං කීං හඬින් මැස්සො වහනවා.
අෂ්ඨක කියන්න පුලුවන්ද.....
කව්දෝ මාධවගෙන් ඇහුවා..
පිස්සුද
මාධව උගෙන් ඇහුවා............
"උඹට බෑද" කියලා හයියෙන් ගෝරණාඩු කල එකමත් එක රටක කුමාරයා ඉනේ තිබ්බ කිණිස්ස අරන් මාධව දිහාවට පැන්නා..
උගෙන් බේරෙන්න අහකට දුවන්න ගිය මාධව ලිස්සලා ඉස්සරහට වැටෙද්දී පෝරුව ලග තිවුන පුන්කලසක් හිස වැදුනා..
බුදු අම්මොහ්. මාධව හිස අතගාගෙන අවදි උනා..............
...................................................................................................................
අවදි වෙද්දී ඔහු හිටියෙ ඔහුගෙ බයිසිකලය අසලම බිම. ඒ අසල ඔහුගෙ අනික් ආම්පන්නත් තිවුනා.
පොඩි කොල කැබැල්ලක් මාධවගෙ අතට අහු උනේ ජංගම දුරකතනය හොයන්නට සාක්කුව අතගාද්දි.
ඒක කොල කැබැල්ලක් උනාට ලියුමක්.....
ලියුම් කවරයක දමාපු!
එහි මෙහෙම තිවුනා
කෙටියෙන්.. ඍජුව....
නිල් පාට පෑනකින් ලියලා.....
" උඹට ආයේ මෙහෙ හොයන්න මුකුත් නෑ!"
ඔලුවේ අත ගසාගෙන අමාරුවෙන් නැගිටපු මාධව හෙමින් හෙමින් කබානාව පැත්තට ඇඳුනා.
ඔව්! නොන්ඩි ගසමින්, කෙඳිරි ගාමින්.
ඉදිරියට ගිය ඔහු දුටුවේ කලු ඉටිකොල ටිකක් පතුලට වෙන්නට විසිරිනු පුංචි අඩි හතරේ දෙකේ වලක්.
එහි තව කිසිත් තිවුනෙ නෑ.
අලුත් පස් ගොඩ විතරයි එහායින් තිවුනෙ.
ඇත දෙල්තොට කන්දේ හිරු පායාන ආවා.
එලි උනා.
හිසේ ඇම්ම වැඩි උන මාධවට මතක තමන් අර ඉටිකොල මතට ඇද වැටෙනවා විතරයි.
ඒ වැටෙද්දී අතේ තිවුන ලියමන පාවෙලා හුලගට එක්කාසු උනා. මාධව දිගු නින්දක් ලබන්නට උනා.
නින්දෙන් අවදි වෙද්දී ස්ප්‍රීතු ගඳ ඔහුට දැනුනා. හිසට ඉහලින් විදුලි පංකාව භ්‍රමණය වෙනව පෙනුනා.
විඩාබර මාධව දෑස් පියාගත්තා.
...................................................................................................................
වැහි වැටිලා කාපට් ඇතිරූ මහා මාර්ගය දිලිසෙනවා. අහස තවදුරටත් වැහිබරව ඉන්නවා. තුවාල හොඳ වෙමින් සුවපත් වෙමින් උන්නා වූ මාධව පුංචි මෝටර් සයිකලයේ ඉස්සරහට ඇදෙනවා. අවට තුරු වැල් සුළගින් නැලවෙද්දී ඒක දවසක් වාගේ තවත් හවසක පාලුවේ රාජකාරී ඉවර වෙලා මීදුම මැද්දෙන් එද්දී ඈ සම්මුඛ වේවි. මාධව හිතනවා. ඒ්ත් ඇය තවමත් කවදාවත් ආයේ ආවේ නැහැ. මීදුම මැද්දෙන් මාධව ඉදිරියට ඇදිලා අතුරුදන් වෙනවා. දවස අහවර වෙනවා.
තවත් දවසක් උදා වෙලා ඔය ටික ඔහොම්මම සිද්ධ වෙනවා.
ඉතින් මිත්‍රවරුණි, කිසිදාක කලු ඉටිකොල කාන්තාවක් ආයේ මාධවට සම්මුඛ උනේ නෑ.
සිහිනයෙන්වත් ආවෙ නෑ.... කතාව අසම්පූර්ණව අහවර වෙලා වෙන්න ඇති!
මාධවට මහන්සියි. හුඟක්! තවමත් ශාරීරිකව වෙහෙසයි. බලාපොරොත්තුව නොතිබුනත් තිබුනත් ආයේ කිසිමදාක කවදාවත් ආයෙම ඉටිකොල ගෑනියෙක් මාධවට මේ තාක් හමු වුනේ නෑ! ඒ් මූසල ගඳ දැනුනෙ නෑ. ඒ්ත් මාධව සතුව බලාපොරොත්තුව ශුන්‍ය නොවී යටි හිතේ ඇති. මේං ඇය ඇවිත් අභිරහස ගැන ඉඟියක් දෙනු ඇති!
ඒ්ත් ඒහෙම සිද්ධ නොවී දැන් කාලයක්ම ගෙවිලා ගිහින්. සමහර විට දෛවය මේ කටයුත්ත අතට ගන්න ඇති. සිද්ධ උන දේවල් පැටලුම් ලිහන ඒක දෛවය භාර අරන් වෙන්නැති.දෛවය නඩු අහන්න ගත්තු දාට කිසිම සමාවක් අපරාධ වලට ලැබෙන්නෑ.
ඉතිං මාධව බලන් ඉන්නවා. අභිරහස විසඳිලා යුක්තිය ඉටු වනු ඇති බව. දෛවය සහ කාලය විසින් සියල්ල විසඳනු ඇති බවට.
ඉතිං මිත්‍රවරුණි! මාධවත් වගේම උඹලාත් තවම බලන් ඉන්නවා ඇති. අහිංසක ජීවිතයක් වෙනුවෙන් යුක්තිය උදා වන තුරු................