වියරු කැසිල්ලක කතාන්දරය

 



ඒ නහය කැහිල්ල පටන් ගත්තෙ උදේම. මාධව බස් එකට නගිද්දිත් උගේ නහය කසනවා. කීප වරක්ම ලේන්සුවෙන් පිස දැම්මත් නහයේ කැසිල්ල අඩුවක් උනේ නෑ.

කැසිල්ල වදයක් වගේ උනත් හෙමීට නියපොතු තුඩින් කසනකොට දැනෙන සහනය අපමණයි.

එහෙම හිතමින් බස් එකේ අන්තිම අසුනේ ඈඳිගෙන ජනේලෙන් ඈත බලාගෙන නහය කසමින් උන් මාධව කටයුතු නොනවත්වාම ඉදිමින් සිය අසුනේ මගීන් දෙස බැලුවා! මාධව දැඩි විස්මයට පත් උනා.ඒ පෝලිමේ උන් අනෙක් පස් දෙනාම හුරු අතකින් ඔවුන්ගේ නාස් තුඩු පහුරු ගානවා. මාධව වගේම...


මේ ටිකේම මැයි මාසයේ උදෑහැනැක්කෙම වහින වැස්ස මහ මූසලයි. අඳුරු අහසේ වැහිබර වලාකුලු ඔක්කොම එකතු වෙලා මාධවට රාජකාරීයට යන ගමන ප්‍රමාද කරවනවා. මහ වැස්සේම බයික්කයට නැඟිලා හිඳගෙන බයික්කය පණ ගැන්වූවා විතරයි ඕන්, මාධවට පලමු පාරට ඔහුගෙ නාස් තුඩු මත කැසිල්ල දැනුනා. කුරුලෑවක් එන්නැහේ සනිප කැසිල්ල.   වැස්ස පායනකම් ඔහු නාසය හෙමින් කසන්නට උනා. වැහි තුරුලු වෙද්දී නාසය අග යන්තමින් රෝස පැහැයට ලං වෙලා තිවුනා. වැස්ස පෑව්වා කැසිල්ල එහෙම්මයි.  මන්දගාමී ආලෝක කදම්භයක් විසින් අහසත් ලාවට රෝස පාටින් සරසලා තිවුනා. නහය කැසිල්ල මඳකට අමතක කල මාධව යතුරු පැදිය හරවාගෙන වේගයෙන්, බසයක් අල්ලාගැනිම උදෙසා නගරය වෙත ඇදුනා.  ඒ යද්දීත් විටින් විට නාසයේ කැසුම් වලට අනිච්චානුගව ප්‍රතිචාරයක් දැක්වූයේ ඔහුත් නොදැනීම.  නගරයට ඇවිත් යතුරු පැදිය රථ ගාල තුල ආරක්ශා සහිතව නවතා දමා බස් නැවතුමට පැමිණ බසයක් වෙනුවෙන් කල් මැරුවා.  නාසය තවමත් කසනවා. නියපොත්තට මඳක් හීරිලා තිවුනත්.. එත් නාසය මත කූඹියෙක් ඇව්දින්නැහේ සිනිදු දැනිමක් එක්ක මේ කැසිල්ල එහෙම්මයි.

 ........................................................................................................

මහනුවර බලා යන ලංගම බසයේ සෙනඟ පිරිලා උන්නත් අසල පාසලකට යන දරු ගුරු පිරිසක් බැහැලා ගිය නිසා මඟදී අසුන් හිස් උනා. පිටුපස මුල්ලේ ජනේල අසුන හිස් වනු දුටු මාධව එහි ගොස් අසුන් ගත්තා හා එසැනින් ආපහු නාසය කසන්නට උනා.  දැන් නාසය වටේම රතු වෙලා. ජංගම දුරකථනයේ කැමරාවෙන් බැලුවම මාධවට පෙනුනා. නියපොතු විස නිසා වෙන්නැති. යකො ඉක්කා වැටෙනවා වගේ කසනවා. පුදුම කැසිල්ලක්. 

කැසිල්ල වදයක් වගේ උනත් හෙමීට නියපොතු තුඩින් කසනකොට දැනෙන සහනය අපමණයි. එහෙම හිතමින් බස් එකේ අන්තිම අසුනේ ඈඳිගෙන ජනේලෙන් ඈත බලාගෙන නහය කසමින් උන් මාධව කටයුතු නොනවත්වාම ඉදිමින් සිය අසුනේ මගීන් දෙස බැලුවා!  මාධව දැඩි විස්මයට පත් උනා.  ඒ පෝලිමේ උන් අනෙක් පස් දෙනාම හුරු අතකින් ඔවුන්ගේ නාස් තුඩු පහුරු ගානවා. මාධව වගේම. 

.......................................................................................................... 

පොල් ගස් වලින් වට වුනු වැලි පොලවක් උරුම රළු පුත්තලම හරිම ඌෂ්ණයි. හැබැයි පරිසරය ලස්සනයි.

ඈත සක්වලගල පේන වෙරලබඩ වැල්ලට මායිම්ව විද්‍යාගාරයක් බඳු ඒ පුංචි කාමරයේ පොල් දලඹුවෝ වීදුරු තුල ඔබ මොබ සැරි සැරුවා. රාක්ක වල විවිධ වූ රසායනිකයන් අවර්ණව සහ වර්ණවත්ව බෝතල් වල තිවුනා. බිම වැලි ඇතිරූ පොලවේ ප්‍රභල අම්ල අඳුරු බෝතල් වල තිවුනා.ඇසට නොපෙනෙන අන්වීක්ෂීය මයිටාවෝ පැකට්ටු තුල ගොනු වී පාන් කුඩු මත විවේකීව උන්නා. විදුලි බල්බයක් සවි කල අන්වීක්ශයක් ද එහි තිවුනා. නිවෙස අවට ඌෂ්ණවත් වුවත්, ඔහු වායු සමීකරණය කල කාමරයේ තනිවී, අන්වීක්ෂයේ කාච ගොන්නට යටින් තැබූ කදාවන් වෙත ඇස් නාභි ගත කරමින් ඒවායේ තිබූ දැ පරික්ෂා කරමින් උන්නා.

පොල් වගාවේ පලිබෝධ හානි මැඩලන්න කාලයක් පොල් වගාවට සම්බන්ධ පර්‍යේෂණාගාරේ උද්‍යෝගීව කටයුතු කල ඒ දක්ශ විද්‍යාඥයා අපකීර්තිමත් ලෙස සේවයෙන් පහ කලේ දේශපාලනික ඇඟිලි ගැහීම් වලට විරුද්ධ වීම නිසා. නැතිව ඔහුට එල්ල වූ චෝදනා සත්‍ය වීම් නිසා නෙමෙයි.  දේශපාලනේ එහෙමයි. රටට වැඩ කරනවාය,රස්සා දෙනවාය කියන මුවාවෙන් ජන්ද ගොඩ වැඩ වැඩි කරගන්න කිසි වටිනාකමක් නැති රස්සා තනතුරු ඇති කරමින් බත් බැලයින්ව පර්‍යේශණාගාරේට ඔබ්බවන එක පොදු දෙයක්! අනෙක් ආයතන වලට වගේම.

එහෙව් බත් බැලයෙක් විද්‍යාඥයා ගාවට වැටුනම, ආන්න ඒ බත් බැලයා දේශපාලන හයිය අරන් විද්‍යඥයාට පාඩම් උගන්වන්න ආවම, විද්‍යාගරයේ වැඩ නොකර අවිනීතව හැසිරෙන්න උනාම, ඒ වෙනුවෙන් විද්‍යාඥයා විසින් ඒ බත් බැල උන්නාන්නසේට අවවාදාත්මකව සැලකුවම, ඒ බත් බැලය ඒක ගිහින් ඇමතියගෙ ලේකමාට කිව්වම, පාක්ෂිකයෙක්ට කරදර බව ඇමතියාට දැනුම් දුන්නම , හැරෙන තැපෑලෙන් පලිගැනීම ඇරඹුනා.  හරි ඉක්මණට. 

ඉක්බිති මාස ගණනාවකින්,  ස්ත්‍රී පරාණෙකට කරදර කලායැයි සලකා විද්‍යාඥයාගේ රාජකාරී තහනම් කලා. ගෞරවණීය සේවයක් රටට ඉටු කිරීමෙන් පොල් වගාවෙ උන්නතියට කටයුතු කල ලංකාවේ උන් එකම සම්පත එහෙමම නැති කරලා දැම්මා.  අදටත් ඒ තනතුර හිස්. බත් බැලයා නිකන් ඉදන් පඩි ගන්නවා. ලාංකීය භූමියේ   පොල් වගාව විවිධ උවදුරු වලින් බැට කනවා. විසඳුම් නෑ. හෙටානිද්දට පොල් රටින් නොගෙනාවොත් පුදුමෙ.  

 ඉතින් රැකියාවෙන් අහක් වූ ඔහු පාලු ගෙදර පුංචි විද්‍යාගාරයක් අටවාගෙන තනි උනා. පර්‍යේශණ පමණක් ජීවිතය බවට පත් කරගත්තා.   හවසට හෙමින් හෙමින් ගිහින් වැල්ලේ හිඳගෙන, රැලි නඟන අයුරු භාවනාවක් සේ නරඹමින් ඉන්න පුද්ගලයාව වෙරලබඩ උන්දලාට නං අරුමයක් උනේ නෑ. ඒ ඇරෙන්න වෙන වෙලාවට ඔහු ගල් ගුහාවෙ උන්නු වලහෙක් වගේ හැංගිලා උන්නෙ.  සිය පර්‍යේෂණ එකින් එක සාර්ථක වෙන ලකුණු සැදෑ ඉරු එලියට බැබලෙන ඔහුගේ නෙත් යුගලේ සටහන් වෙලා තිවුනා.  හැමදාම වාගේ එකම වෙලාවට හිරු බැසයද්දී ඉරුට පිටුපා ඔහු සෙමෙන් සෙමෙන් ගෙදෙට්ට ආවා.

තෘප්තිමත්ව!

...............................................................................................................

බස් එක වෙනදට වඩා වේගෙන් ඉදිරියට ඇදෙන බව මාධවට දැනෙද්දී වැනි වැනි හේත්තු වීගෙන ආව කොන්දොස්තර මහත්මයා මාධවගේ ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ඉල්ලුවා.  අවුරුදු පහකට කලින් රුපියල් පනහකුත් උන ගාස්තුව දැන් තුන් ගුණයක් වීම ගැන කල්පනාවෙන් නාසය සෙමින් පිරිමදිනා මාධව පොකැට්ටුවෙන් එකසිය පනහක් අරන් කොන්දොස්තරවරයාට දුන්නා.  සල්ලි අතට ගත්තු කොන්දොස්තර තැන මාධවට ටිකට් පත ලබා දී බසයේ ඉදිරියට ගියේ නහය කසමින්. ඔහු ඉදිරියට යන දෙස කුතුහලයටත් විස්මයටත් පත්ව බලා ඉන්නා මාධව දුටුවේ බසයේ උන් අනික් මගියනුත් මේ නාසය කැසීමේ තරඟාවලියේ සාමාජිකයින් බවට පත්වි ඇති බව.

 එක් වරම වයෝවෘද්ධ පුද්ගලයෙක් නැගිට අසුනෙන්, ඉදිරියට ගොස් සීනුව නාද කරමින් බසය නවත්වාගෙන ඉන් බැස ගියා. ඉදිරියට යලි ඇදෙන බසයේ නාස් තුඩුව කසමින් ඉන්නා මාධව හැරි බැලූවිට දුටුවේ ඔහු මඟ නැවති දෑතින්ම නාසය කසමින් ඉන්නා බව. 

මේක මාර වැඩක්. නාසයේ කැසුම් වේගය වැඩි කරමින් මාධව හිතුවා. දැන් ඔහුගේ නාසය වේදනයි. ඒත් කැසිය යුතුයි. මේ පිස්සුව අධික වීගෙන එන බව මාධවට දැනුනා. වේදනාව ඉවසාගත නොහී අසුනෙන් නැගිට වටපිට බැලු මාධව දුටුවේ සිත කම්පාවෙන් දවන දසුනක්. 

අතදරුවෙක් උකුලේ තබාගෙන උන් අම්මා කෙනෙක් නාසය කසන්නේ ඇගේ ලදරුවාද ඇකයේ ප්‍රවේසම් කරගනිමින්. ඒ කෙසේ වෙතත් ලදරුවා දැඬිව හඬමින් සිය නාසය ස්පර්ෂ කරන්නට දඟලනවා. නියපොතු රහිත පොඩි දැඟිලිවල ඒ ලදරුවා සොයන සහනය නෑ.  වටපිට බැලූ මාධව දැන් දකින්නේ බසයේ මගීන් සියල්ලම නාසය කසන බව............. 

හනික නැඟිට ඉදිරියට ගොස් රියදුරු තැනට කතා කොට බස් රථය රෝහලක් වෙත රැගෙන යායුතුයි! මාධව සිතුවා. දැන් කූඩැල්ලෙක් එල්ලි ඉන්නැහෙ දැවිල්ලයි කැසිල්ලයි දෙකම එකට. ආඩාතඩේ බස් රථය එහෙ මෙහෙ පාර පුරා යන බව දැනෙද්දි මගින්ද එකා දෙන්නා මෙ නාසය කැසිල්ල ගැන අවධානයෙන් ඉන්නවා මිසක් සිද්ධ වෙන දේ ගැන අවබෝධයක් නෑ . හැබැයි බසයේ කවුරුත් මේකෙන් ගැලවිලත්  නෑ.  වැනි වැනී පොලු වල එල්ලෙමින්, ඇඳි වල එල්ලෙමින් ඉදිරියට ගිය මාධව තුෂ්නිම්භූත උනේ රියදුරු තැනගේ නාස් තුඩෙන් ගලන ලේ නිසා. නාසය කසලා තුවාල වෙලා!  කැසිල්ල ඉවසාගෙන ඔහු තවමත් බසය හසුරවගන්න උත්සහයක්. 

ත් ඔහුගේ බියපත් දෑසේ කතාව උනේ ඔහුට ඔහුවවත් පාලනයක් නැති බව!  එක වරම ඉදිරියට ආ කොන්දොස්තර තැන බෙරිහන් දීගෙන ගොරවන්නා සේ හඩ නගමින්  දැතින්ම නහය කසන්නට උනේ මාධවගේද නාස් කැසිල්ල උග්‍ර කරමින්. මිරිස් කෑවහේ බසයේ ඉන්නා හැමෝම සූස් බූස් ගාමින් නහයවල් කසනව. මාධවත් ඒ ගොන්නට වැටිලා.  සුක්කානම තනි අතින් හසුරවන රියදුරු තැන ද අනෙක් අතින් තමාගේ නාසය කසන්නට උනා. එක වරම මහ වැසි වහින්ට උනා. වැස්සේම බසය රෝහල වෙත ගෙනයන්නට මාධවත්, රියදුරු මහතාත් කොන්දොස්තර මහතාත් කතිකා කොට එයට සැරසුනා.  බස් එකම නහයවල් කසනව. ඉස්පිරිතාලයට හරවමු නේද?  එහෙම කියද්දී රියදුරු තැන එකඟ උනා. නහය කැසිල්ල මඳක් අමතක කල ඔහු බසය රෝහල දෙසට ඇති මාර්ගයකට හරවාගත්තේ වේදනාව පිරි දෑසින්. රුධිරය ගලන නාසයෙන් යුතුව!  කඳුලු පිරුණු දැස් ඔහුගේ වෙදනාව මොනවට පහදනවා යසට.

 

පිනි වැස්ස දැඩි වෙලා තද වැහි ආරම්භ උනා. ඒ වරුසාව මැද වේගයෙන් ගැස්සී ගැස්සී වැනි වැනී බසය රෝහල වෙත ඇදෙද්දී එක් වරම හාත්පස දෙදරවමින් අකුණු සැර පරිසරය දෙදරවා ගිය මොහොතේදී  රියදුරුට බසය පාලනය කර ගන්නට නොහැකිව පාලනයෙන් තොරව මාර්ගයේ පැත්තට ඇදී යද්දිත් හෙතෙම වියරුවෙන් සිය නාස් තුඩ පහුරු ගානවා. ඒක්වරම රියදුරුගේ අන්තය පාලමේ ඇන්දේ ගැටෙද්දී  මාධවගේ හාත්පස අඳුරු උනා. විලාප හඬ මැද්දෙන් මාධව ඉදිරි විදුරුව බිඳගෙන ඉවතට විසි වෙද්දි බසය කැරකී පාලම් ඇන්ද බිඳගෙන ගලායන සැඩ දිය මතට වැටුනා.  නහය කැසිල්ලට විරාමය ලබා දෙමින් මාධව වීදුරුකටු මත මාවතේ වැතිරිලා උන්නා............. 

මොහොතකින් තුවාල වේදනාවන් පරදා නහයේ කැසිල්ල ආයමත් දැනුනා.....

 ..................................................................... 

පොලීසියට ඒ බව දැනුම් දුන්නේ රෑට කෑම ගේන අක්කා.

පොල් වත්තේ කෙලෝර මුහුදු වැල්ල. ඒ වැල්ලට මායිම්ව ඉදි කොට තිවුනු පුංචි නිවසෙන් දැඩි ගන්ධයක් හමා එන බව කෑම ගේන අක්කා ඇයගේ සැමියාට කිව්වම සැමියා ඉක්මණින් ඒ බව පොලිසියට කිව්ව. කෑම ගේන අක්කා උනත් වැඩි යමක් මේ මනුස්සයා ගැන දන්නැති උනත් වෙලාවට කෑම කුලිය දුන්නු මේ මනුස්සයා ගැන මනුස්සකමින් බලන්න අක්කාත් ඇයගේ මනුස්සයාත් කටයුතු කලා.

ඒහේ පොලිසීයට තිවුන රාජකාරී එමට. ඒත් මැසිවිලි නඟමින් කම්මැලිකමෙන්ම ඔවුන් ඒ ගෙදෙට්ට ඇවිල්ලා බැලුවා. ප්‍රදේශය ටිකක් ගඳයි. මීයෙක් කුණු වෙලා වගේම ගඳයි. වටේ පරීක්ෂා කලා. කිසි හැල හොල්මනක් නෑ බැලුවම. කතා කලාට කිසි සද්දයක් නෑ කවුරුත්. ඉතිං කට්ටිය කතා වෙලා විද්‍යාඥයාගේ පුංචි විද්‍යාගාරයේ දොර කඩල බැලින්නම් මේං ඉන්නවා , අසරණ අගෞරයට පත් වූ විද්‍යාඥයා කාමරයේ මැද්දෙ බිම වැටිල.  මුනින්තලා වී සිටි ඔහුගේ බල නහරය දිහාට අත තිබ්බ පරීක්ෂකවරයාට මේ තියෙන්නෙ මල මිනියක් බව හිතන්න අමුතු දැනුමක් අවශ්‍ය උනේ නෑ.

පරිස්සමින්  මෘත කලේබරය අනෙක් පැත්ත හැරවූ පරීක්ශකවරයා තුශ්ණිම්භූත උනා. 

කිසිම හානියකින්, හඳුනාගැනීමට බැරි තරම් ක්ෂය වීමකින් හෝ කුණු වීමකින්  තොරව මඳක් ඉදිමී තිබු මල මිනියේ මුහුණෙ නාසය පමණක් රැල් වී   හිස්කබලේ නාස් කුහරය පෙනෙන සේ ඛාදනය වෙලා. වෙනත් තුවාල කිසිවක් නැහැ. ඒ්ත් ගලා ගිය රුධිරය කැටි ගැහිලා නාස් කුහරය වටේට.  විද්‍යාගාරයේද නැතින් තැන රුධිරය බිංදු වැටිලා කලු වෙලා තිබුනා. නියපොතු වල මස් තිබුනා. ඔහු නාසය කසාගෙන වගේ. කොහොම උනත් වෙනත් කිසි තුවාලයක් හෝ තැල්මක් හෝ ජීවිත හානියකට තුඩු දෙන කාරණාවක් නොපෙනෙන මෙම මල සිරුර නිසා විද්‍යාඥයාගේ මරණයට හේතුවක් හිතාගන්න අපහසුයි.

මරණ පරීක්ෂණය සඳහා පැමිණි පිරිසට ඉඩ ප්‍රස්ථාව සැලසූ පරීක්ෂකවරයා ව්‍යාකූල මනසින් යුතුව මිදුලට පැමිණ සන්ධ්‍යාවේ රක්ත වර්ණිත හිරු ගෝලයක් ගිල ගන්නා රැලි ගහන සයුර දෙස බලන් උන්නා. ඔහුගේ නාසය මත්තේ ඇති කුරුලෑවක් එන්නා විට දැනෙනාකාරයේ කැසිල්ලට අනිච්චානුගව ප්‍රතිචාර දක්වමින්. 

ඒ අතරේ  මයිටාවන් සුලඟේ ඔබමොබ සැරිසරමින් පැතිරෙමින් උන්නා!    

__________________________________________________

01 -  විද්‍යාගාර වල නිපදවන විලෝපික මයිටාවන් මගින් පොල් වලු වල සිටින හානිකර මයිටාවන් වනසා පොල් වගාවේ අස්වැන්න සරු කරන අතර ලංකාවේ විද්‍යාගාර කිහිපයක එම මයිටාවන් නිශ්පාදනය කර වගාකරුවන්ට නිකුත් කරනු ලැබේ.

 02 - මෙම ජායාරූපය නුගසෙවන වැඩසටහනේ මාධව සේවය ලබා දුන් විද්‍යාගාරය පිලිබදව සිදු කල කෙටි සටහනකින් ලබා ගත් එකකි.   

 ........................................................................................................

මේ කතාව කියවා අවසාන උන ඔබගේත් දැන් නාසය මැද කුරුලෑවක් එන්නා සේ කසන බව දැනෙනවා......සත්තයි!

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form