මාධවලාගේ සාදය.................

 


මේ කතාව එක විදියක්. කිසි කෙනෙක් විශ්වාස කරන්නෙ නැති කතාවක්. එත් මාධව මේ කතාව කියන්ට හිතුවා. ඒ කතාව කෙලවර උන විදිය ඇත්තටම, තවමත් මාධව විශ්වාසයත් අවිශ්වාසයත් අතර දෝලනය වෙනවා. සිදුවීම් ඇති පමණ මේ ජීවිතයේ සිද්ධ වෙනවා මිත්‍රවරුණි. සමහර දේවල් විශ්වාස කරන්න අපහසුයි.

එක්තරා හවසක, සාදය අවසානයේ රැයක් පුරා දිග හැරුනු කතාන්දරයක් දින වකවානු සහ නම් ගම් එක්කම!

 

2023-04-15 වැනිදා: සිංහල හින්දු අලුත් අවුරුද්දට පසුදා සවස 3 පසුවී. - ආරම්භය

මාධව තරමක් වේගයෙන් වැගන් ආර් රථය ධාවනය කරමින් මහනුවර සිට ඔහුගේ නිවස බලා ඇදෙමින් උන්නේ බිරිඳ සහ ඇගේ මව එක්ක. දවල්ට කාපු මහනුවර යුසූෆියා බිරියානියට පින් සිද්ද වෙන්න බිරිදගේ අම්මාගෙ බඩත් බුර් බුර් ගාන හින්දා ඈව කඩිනමින් නිවෙසට ඇරලන්න විතරක් නෙමෙයි, එදිනම හවස තමන්ගෙ ඉස්කොලේ මිත්‍රවරු කීප දෙනෙක් එක්කලා සතියකට උඩදි සැලසුම් කරපු රාත්‍රී සාදයට යන්නත් ඕන හින්දාමයි. මාධවගේ අදහස තිවුනේ බිරිද සහ ඇගේ මව හැකි තාක් දුරට ඇරලවලා එතනින් පසු ආපසු ඇවිත් මිතුරන් හා එක් වී ගමන යාම විතරයි.

මොකද කියනවානම්, කට්ටිය කතා වෙලා උන්නා හවස හතරවත් වෙද්දි ඒතැනට යමු යැයි කියලා. ඒ තැන යනුවෙන් මාධව අදහස් කලේ ඒ රාත්‍රිය ගත කරන ස්ථානය වෙත. මුහුණු පොතෙන් හොයාගත්තු තැන ගැන කතාන්දරය මැදදි විස්තර වේවි නෙව. එදාම පවුලේ ගමනත් යොදා ගත්ත නිසා මාධව යුහුසුලු උනේ කාටවත් පාඩුවක් නොවන සේ කටයුතු ඉටු කරගන්න. පාරේ වාහන තරමක් අඩු මෙන්ම රථ වාහන පොලීසීයේ නිලධාරීනුත් අඩු නිසා ඉරි කපාගෙන, කහඉරි වල ඉස්සර කරගෙන මාධව ඉදිරියට ඇදෙන්න උනා. වැස්ස නැති නිසා ලොකු බයකුත් නෑ.

කොහොම හෝ ඉර අවරට හැරෙද්දී මිතුරු කැල ගම්පොලට ඇවිදලා සුපිරි මාරකැට්ටුවේ බඩු ගන්නවා. මධු සාදය වර්ණවත් වෙන්න එපැයි. මාධවත් ගම්පොල රෝහල ගාවට ඇවිත් බිරිඳගේ අම්මාට රියදුරු පට්ටම භාර දීලා මිතුරු කැල හා එක් වුනා. උන් මාධවට පුංචිම පුංචි මැංගෝ නෙක්ටාර් එකක් විතරක් අරං තිබ්බා, ඒ ඇත්තොන්ට සුදුසු අවැසි පරිදි එකේක මධුවිත වර්ග සමඟ බීර කෑන් කීපෙකුත් ඇතුලුව.

බඩු අරගෙන හැමෝම සුපිරි මාරකැට්ටුවේ වාහන අංගනයේ නවතා තිබූ වාහන ලඟට එද්දි ඊට පසුබිමේ තැබිලි රතු මිශ්‍ර අහස යට අම්බුලුවාවේ කොත බැබලුනා අපූරුවට.

 

2023-04-15 වැනිදා: සිංහල හින්දු අලුත් අවුරුද්දට පසුදා සවස 5.30ට පමණ  - ගමනේ ඇරඹුම

අම්බුලුවාව සෙවනේ කඩ වීදි වල සැරිසරමින් මස්, පළතුරු, කළමණා ඒක්කාසු කරගත් නඩය ජංගම දුරකථන මගින් මාර්ගය පරීක්ෂාවෙන් පසු තීරණය කලා දොලුව පාරෙන් ගමන යන්ට. ගමන යන්න තිබුනේ ගම්පොල දොලුව මාර්ගයේ ගොස් දොලුව නගරය පසු කර නිල්ලඹ ජල විදුලි බලාගාරය සහ ජලාශය පසු කර දෙල්තොට පාරෙන් හන්තාන දිහාට. දෙල්තොට මහනුවර පාරේ දෙල්තොට පැත්තට. කදිම වනාන්තරයක් මැද්දෑවෙන් ගිහිල්ලා දෙල්තොට පාරේ ඉහලටත් ගිහින් ෆයිනස් කැලයෙන් ඇතුලට ගොස් දුෂ්කර මාර්ගයක මේ ගමන යා යුතු වෙලා තිබුනා. සිතියමේ හැටියට ලඟම පාර!

ඇපල් චතුරංග, බක චින්තක, ස්ටූඩියෝ චමීර, වයර් පෙට්ටියේ චානකයා සහ නිහඩ මුණයා සමඟ මාධව සතියක් පුරාවට සැලසුම් කරා වූ ගමන ඇත්තටම පටන් ගත්තා. ඇපල් චතුරංගගේ හොන්ඩා රාජයා ගමනේ පෙරමුණ ගත්තා. රියදුරු ඇපල් චතුරංග, අනෙක් පස බක චින්තක, පිටුපස්සේ  චානක සහ මුණයා ඒ රථයේ  උන්නා. මාධව සහ ස්ටූඩියෝ චමීරයා පසුපසින් සුසුකියේ උන් පස්සේ ඇදුනා. නිල්ලඹ ජලාශය පසු කර මහ කන්දක් නැත වඳුරන්ගෙන් ගැවසි අලංකාර වනය මැදින් මං සළකුනු පසු කර අවසානයේ දෙල්තොට මහනුවර මාර්ගයට වැටී ඉන් දෙල්තොට පැත්තට  පාරේ ඉදිරියට ඇදෙන විට ඈත කඳු වලල්ලම ඉර සඟවාගන්නට ලෑස්ති වෙලා. ඉක්බිති දෙල්තොට පාරේ ෆයිනස් වනය ළගින් ගුරු පාරේ මඳක් දුර ගොස් තේ වත්තක දුෂ්කර මාර්ගයට පිවිස ඉදිරියට ඇදුනේ ගල් මුල් වාහන වල අඩියේ ගැටේ දැයි හිතමින් හුඟක් කල්පනාවෙන් හෙමීට. ගමන ටික ටික දුෂ්කර වන බව, අමාරු වන බව  දැන් කට්ටියට හිතුනා.

මඳ දුරකදී ගල් මුල් වැඩි නිසා රියදුරු දෙපල පමණක් ඉතුරු වී අනෙක් අය වාහන වලින් ඉවත් වුනේ වැඩි පරිස්සමට. ඒ අතර මුණසිංහ තෙමේ සිය දෝතින්ම පපුවට තුරුළු කොට රට දියර බෝතලය ආරක්ෂා සහිතව තබා ගත්තේ, ගල් මුල් උඩින් යැමේදී ගැස්සී එය බිඳී ගියහොත් එය මරණයටත් වඩා අභාග්‍ය සම්පන්නම අවාසනාවක් වන නිසා නෙව. සාදයම විනාසයි.

චතුරංගගේ හොන්ඩා බිම සිඹීමකින් තොරව ගල් මතින් ධාවනයට ලක් කීරීමේ කටයුත්තට සහභාගී වීමේදී එක් වරම කඳු වලල්ල දෙදරවා අකුණක් පුපුරා ගියේත්, කවුදෝ අසමජ්ජාතියෙක් විසින් පාරේ කුඩු කර තිබූ ගල් අරක්කු බෝතල් කටුවකට මාධවගේ සෙරෙප්පුව ද පසා කරගෙන කකුලේ පුංචි ඇඟිල්ල යටින් කැපී ගීයේත් එක් පාරටමයි. කකුලෙන් ලේ ගලන්න පටන් ගත්තා. මුලින් කලුවට ටික වේලාවකින් රතුවට!

රුධිරය ගලන ඇඟිල්ල පිසදා ගත් මාධව චමීරයාගේ සුසුකියට හේත්තු උනේ දැඩි වේදනාවකින් උනත් ඒ බව නොපෙන්වා ගමනේ ඉදිරිය වෙනුවෙන් ඉවසං උන්නා. මේ අවු අස්සේ උණ වත් ගනීද? මොන විසක් ද මන්දා! මාධවට ඒම හිතුනත් හෙතෙම ඉවසන් උන්නා. කොහොමෙන් කොහොම හරි මඳ වේලාවකින් මාධවලා ඇතුලු නඩය සෙමෙන් සෙමෙන් අදාල ස්ථානය වෙත ආවා.

ඒ තැන තමා චමීරයා මුහුණු පොතෙන් හොයලා තෝරා ගත් “දුනාලි මවුන්ටන් වීව්, කියන රෙසෝට් එක!

මුහුනු පොතේ ඇති හොයලා බලන්ට! ඒ නමින්ම! කදිම ස්ථානයක්....

ආකහේ කලු කරන් වැසි වසින රැයක පටන් ගැනීම ඉහල අහසේ සටහන් වෙලා තිවුනා.

 

2023-04-15 වැනිදා: සිංහල හින්දු අලුත් අවුරුද්දට පසුදා රාත්‍රිය   - සාදය

මාධවලා රෑ පහන් කිරීමට සූදානම් වූ තැන කබානා වැනි කුඩා නිවාස තැනින් තැන හදලා තියෙන්නෙ. මාධවලාටත් තේ කෑල්ලේ පැත්තකට වෙන්න ගොඩ නඟා තිබූ එවැනි ස්ථානයකට තමා යන්න උනේ.  කුස්සියක්, නිදන කාමරයක් සහ බාහිරින් පිහිටි නාන තැනක් සහ වැසිකිලියක් තිබුනා. ලොකු සැපක් නං නෑ. විදුලියත් තිබුනා. අඩුපාඩුවකට තිබුනේ වතුර අඛණ්ඩව නොලැබීමේ පුරස්නෙ තමා. ඉතිං කට්ටිය එතන පැලපදියං වෙලා සාදයට සූදානම් උනා.  නිහඩ මුණයාගේ සහ චමීරයාගේ කටයුතු නිසා බාබකිව් සඳහා සියල්ල ඉක්මණට ලෑස්ති කෙරුන. චමීරයා ගෙදරදීම සකසා ගෙන ආ බාබකිව් සෝස් ආදියද නිසා කටයුතු තවත් ලේසි උනා. කඩිනමින්ම කලුවර වැටුනු නිසා බල්බ පත්තු කලා. සුදු පාට එල් ඊ ඩී බල්බ. ඒවා වටේ ආවා ගියෝ කැරකෙන්නත් මහ වේලාවක් ගියේ නෑ. මීදුම ගලලා හාත්පස පාලුයි. ඈත පේන කන්දේ වාහන එලි දුරට පේනවා මීදුම මැද්දෙන්. ඇතිවෙනවා නැති වෙනවා ආයේ ඇති වෙනවා! ඒක බලන්න ලස්සනයි. ගුප්තයි. අපූරුයි. මාධවගේ හැඟුම් මිශ්‍ර වෙලා.

සියල්ලෙන් පසු රාත්‍රී අටට පමණ බාබකිව් උදුන දල්වා සාදය ආරම්භ කරා ලද්දේ මුණයා සහ මාධව එකතු වෙලා. බාබකිව් සම්බන්ධ වගකීම මුණයා සහ මාධව අතරේ බෙදී ගියා. මුණයා ඇඟ සෝදන් එන තෙක් මාධව විසින් කුකුල් මස් කැබලි සහ සොසේජස් බාබකිව් කරන්නට උනා. කරබගෙන උදුන අසල ඇන තියාන. කරුම උදුන ඇවිලෙන්නෙත් නෑ. දුම විතරයි. ඒම හිතුවට ටිකකින් ගාණට රත් වෙලා මස් පිලිස්සෙන සුවඳ ආවා. අඹ යොදා හදන බාබකිව් සෝස් මස් කෑලි සහ සොසේජස් මත තැවරුවම කදිම සුවඳක් දසත පුරා පැතිරෙනවා ඉතිං......

ඒ අස්සේ වයර් චානක, තමා විසින්ම විසින් අටවාගත් කදිම ශබ්ද පරිපාලකයක් සහ ඔහුගේ ශබ්ද විකාශන පද්ධතියක් අරං ඇවිල්ලා තිවුනා.  ජංගම දුරකථනය ඒකට සම්බන්ධ කර ගීතවත් සන්ධ්‍යාවක් නිර්මාණය කිරීමත් කදිමයි මිත්‍රවරුණි. ඌ ඇත්තටම පිස්සෙක්. දක්ෂ පිස්සෙක්! ජායාරූප ගැනීම සඳහා අපූරු ට්‍රයිපොඩ් එකක් පවා අරං ඇවිල්ලා. සාදය අතිශයින්ම සාර්ථක බව හැමෝටම හිතුනා, අවැසි වන්නේ මධු විතෙන් සතුටු වීම සහ සිංදු කීම පටන් ගන්ට විතරයි.ඒකට සුදුසු වාතාවරණය හතර වටේටම තියෙනවා.

ඒ අස්සේ ගිනි මැලය සඳහා ද සියල්ල සූදානම් කල ද මද පින්න ඒ සඳහා බාධාවක් වෙලා තිබුනා. ඒ හින්දම  බක චින්තකයා වහාම ගොස් දර සියල්ල ගෙනැවිත් නොතෙමෙන්න සෙවනේ තබලා,  වැස්ස අනිවාර්යයෙන්ම පායනවා යකෝ, පස්සෙ පත්තු කරමු ඔය මඟුල කියලා කීවම ඒ කතාවත් එතනින් ඉවර උනා.

පුංචි ස්තූලය වටේට ඈඳි ගත් මිතුරන් සියලු දෙනා සිය වීදුරු වලට මදුවිත පුරවා ගත්තා. මාධව සහ චානක විසින් මැංගෝ නෙක්ටා පුරවාගත්තා. සියලුදෙනා ආදරයෙන් සුභපතා ගැනීමෙන් පස්සේ පලමු උගුර හමාර කොට සාදය පටන් ගත්තා.

සියල්ලම හොඳට සිද්ධ වෙනවා මාධවට හිතුනේ බාබකිව් උදුනේ මස් වල පාට පැහීගෙන එනවා දැක්කම. රසවත් මස් කෑල්ලක් කටට දාගන්න හැමෝටම දැඩි උවමනාව දැනිලා අහවරයි. ආන්න ඒමයි සාද තියෙන්න ඔනි. මාධව ඒම කියලා බාබකිව් උදුන වෙත ලං උනා.

සීතල ඉහල නැග්ගා! ඈත පේන කන්දේ මීදුම කපාගෙන තවත් වාහනයක් එනවා මාධවලා දැක්කා. ඒ අස්සේ දුම් වැටි දැල්වුනා. සුහද කතා පටන් ගත්තා. ළමා කාලයේ පටන් ඒවා මහ විශාල මාතෘකා දක්වා ඇදුනා. ලිංගික කරුණු ඇදිලා ආවා. පවුල් ජීවිත ගැන කතා උනා. අවුල් වියවුල් ගැන කතා උනා. දේශපාලනේ කරන උන්ට පලු පැලෙන්න බැන්නා. ඒ කතාන්දර මැද ඈත මීදුම් දුමාරයෙන් සිසිල් සුලං අරං ඇවිත් මාධවලාව සිපගෙන ආපසු යන්න ගියා! මත වැඩෙන්නේ ආන් ඒ සීතලට! පාසල් සමයේ ආගිය කතාන්දර සහ ඒ කාලේ උන් කෙල්ලොන්ගේ කැත සහ දැන් උන් ඉන්න තැන් සහ උන්ගේ සරාගීත්වය ගැන කවි නොලියවුනා විතරයි. සමහර කතාන්දර වලට නැගුනු සිනහවන් වලට අවට ශාන්ත දාන්ත බව බිඳුනා.  බැදුනු පිලිස්සුනු අන්නාසි කෑලි සහ සොසේජස් පලමු වට පිඟානට යැවුනා. ඒතනින් ඒවා ආමාශ ගත උනා. තෙල් සහ රස වෑහෙද්දි උණු උණුවෙම.....

මධුවිත බෝතල් සෙමෙන් සෙමෙන් හිස් වෙද්දී මහ රෑ  ගෙවුනා. බාබකිව් උදුනේ පිලිස්සෙන මස්, අන්නාසි කැබලි, සොසේජස් ආදිය පරීක්සාවෙන් පසු  යලි යලිත් මේසයට එන්නේ, ඒ සැනින් බඳුන් හිස් උනා.

මිතුරන්ගේ සිත් පිරුණා. මත වැඩුනා. කුසගිනි නිවුනා.

ඉක්බිති, සිසිල් කඳු බෑවුමේ තේ පදුරු මත පතබෑවි ඇති මිහිදුම කපාගෙන කැරෝකී සංගීතය මිශ්‍ර වූ මිතුරන්ගේ කටහඩවල් නින්නාද උනා! ඒ රෑ!

සාදය සැබැවින්ම ආරම්භ වෙලා....... කාලය වේගයෙන් ගෙවෙනවා. සතුටින්............

 

2023-04-15 වැනිදා: මධ්‍යම රාත්‍රිය -  ගිනිමැලය ලඟදී

සාදය අතරතුර සීතල පැවතුනා. නමුත් මහ වැස්ස ඇරඹුනා. ඉක්මණින්ම වැස්ස තුරුල් උනා. දැන් ගිනි මැලය ගැසීමේ අවශ්‍යාතාව දැඩිව මාධවට දැනුනා. අධික සීතල වෙන්නට පුලුවන්. සාදය ගීතවත්ව ගලා යනවා. ඒ අතර තුර බක චින්තක සමඟ පිරිස අසුන් ගෙන උන් තැනට ඉදිරියෙන් අලුත කැපූ ගෙපොල කැබැල්ලට පිවිස ගිනි මැලය සඳහා සූදානම් කර තිබූ ගල් වලින් වට කර තිබූ තැනට දර ටික අඩුක් කරා. මාධව විසින් ගිනි කූර ගසා ගිනි මැලයට දැම්මා. ගිනි මැලය ඉක්මණින් ඇවිලුනා. එයින් ලැබුන උණුසුම කට්ටියව තවත් උණුහුම් කලා. කදිමයි නේ! ගිනිමැලය වටේ යමින් ඒ ඇවිලෙන ගින්දර ආශ්වාදය ඇති වෙන්නම වින්දා. ඒක කදිම මානසික සැහැල්ලුවක් මිත්‍රවරුණි.

පිනි වැටෙන සීතල මීදුම මැද උනත් මහ සැරට ගිනි මැලය ඇවිලී ගියා. අතර ඉන් ලද උණුසුම සියල්ලන්ටම කෙමෙන් කෙමෙන් පෙර නොදැනුනු නිදිමත ද ලඟා කරවමින් තිබුනා. මධුවිත සහ මස් කැබලි ආමාශගත වෙද්දී, බුර බුරා නැගෙන ගිනි මැලය වටේ හිඳ උන් එකා දෙන්නා කාමරයට ගොනු වෙද්දී, අවසන නිදිමත නැති මාධව විතරක් චානකයාගේ ට්‍රයි පොඩ් එක අටවාගෙන බිම වාඩි උනා.

මේන්න මේ පොටෝ විදියට පොටෝ කීපයක් ගන්න උත්සුක උන මාධව ඊලගට ගිනි මැලයේ වීඩියෝවක් නිර්මාණය කරන්න ජංගම දුරකතන කැමරාව විවෘත කලා. ගිනිමැලය රූ ගත වෙනවා. අවට කිසිවක් නෑ. දැඩි සීතලේ පාලුවේ තනිවම මාධව ගිනි මැලය ලඟ ඉඳන් ඉන්නවා!

මීදුම ඈතින් ඇවිත් හාත්පස වැසුනා. මීදුම මැද ආයෙමත් පෙර රටාවටම කදුවැටියේ මහ රෑ මැද්දේ ඇදෙන වාහනය මොකක්ද මාධවට හිතුනා. ඇත්තනේ පැයෙන් පැයට එකක් යනවා වගේ! එකම විදියට. මාරයි.

ආන්න ඒතකොට මාධවට උගේ පිටිපස්සෙන් ඒ කතාන්දරයේ පටන්ගැනීම ඇහුනා මිත්‍රවරුණි. කදිමෙට! කණ ගාව ඉඳන් කිව්වා වගේ! තට්ට තනියම සීතලේ පාලු මූසල තැනක ඉන්නකොට ඇහෙන්න හොඳම නැති ජාතියේ ඇඟ සීතල වෙලා යන හඩකින්!

“මහ රෑ පේන වාහන එලිය සුන්දරයි නේද? ඒත් ඒ වාහනේ ඇතුලේ තියන දේවල් සුන්දර නෑ. මේ ගිනි ගොඩ වටේට ගැලෙව්ව වල් පැල වලට කතා කරන්න පුලුවන්නම් කතාන්දර තියනවා ඒවටත් කියන්න.”

සීතල යට කරන් මාධවට දාඩියක් දැම්මා. කොඳු නාරටිය දිගේ ආව සීතල හිරිවැටීම එක්කම කකුල් වලට පණ ඇවිල්ලා හිඳගෙන උන් මාධවව නැගිට්ටුනා. පපුවේ ශබ්දය දෝංකාර දුන්නා. වෙවුලන අතේ නොවැටී රැඳුනු දුරකථනයේ වීඩියෝව තාමත් පටිගත වෙනවා. මාධව ක්ෂණිකව කැමරාවේ ආලෝකය ඒ දෙසට හැරෙව්වා. තේ පදුරු කැලඹී මොකෙක්දෝ යනවා මාධව දැක්කා. වල් ඌරෙක් වෙන්නැති.මී මින්නෙක් වෙන්නත් පුලුවන්. හුලඟට නං නෙමෙයි. ඉත්තේරුවෙන්ම!

මොකෙක් උනත් ඌරෙක් කතා කරයිද මිත්‍රවරුණි මිනිහෙක් වගේ....

මල සමයං!

ඒ ඇහුන හඩ හිතලුවක්.

මල මිනී අතපත ගාලා තියන, මල මිනී ලඟ රැය පහන් කරමින් තනි රැක්ක, කිසිදා මේ වෙන තෙක් සිත නොසෙල්වී තිබෙන මාධව නිර්භීතව බලන් උන්නා. මොකෙක්වත් ආයේ ආවෙ නෑ! හඩක් ඇහුනෙත් නෑ! සීතල මීදුම සහ පාලු රෑ මැද ගිනි මැලය ලඟ මාධව හිටගෙන ඉන්නවා. ඇහුන ගෑනු හඩ අදාල නෑ. ගිහින් නිදාගන්නෝනි. ඒම හිතලා මාධව ගිනි මැලය පසු කරන් යද්දි ඇවිලෙන ගිනි මැලයේ තවත් එකම එක පොටෝවක් ගන්න ආයෙම හැරුනා.

ඒතකොටම අකුණක ආලෝකය පැතිරුනා. ඒ අකුණු ආලෝකය මැද ගිනි මැලය ඒහායින්  තැනින් තැන ඉරුණු පස් ගෑවුනු කලුම කලු ඉටිකොලයක් ඔතා ගත්තු මොකෙක්දෝ ඈතින් හිට‌ගෙන ඉන්නවා. ගෑනියෙක් කියන්න, හනික ඒ බව අඳුනගන්න ඒ ඇඟේ පෙන්න තිබ්බ නාරි හැඩයම ප්‍රමාණවත් උනා. ඉටිකොලේ අස්සෙන් උනත් ඉලිප්පිලා තිබුනා. කකුල් දෙකෙන් එකක ඇඟිලි පේන්න තිබුනා. අනික් කකුලේ ඇඟිලි කලු ගැහිලා වගේ පෙනුනේ. අත් දෙකම පේන්න තිබුනා. හැබැයි ඒවත් ඉටි කොලෙන් වැසිලා. එතිලා.  අවට පරිසරයම කුණු ගඳ බව මාධවට දැනුනේ ඒ වෙලේ. මාධවට ඔක්කාරයට ආවා. ඈත බල්ලෝ ද නරිද මන්දා මහ කාලකණ්නි විදියට උඩු බුරලන්න පටන් ගන්නවාත් එක්කම ඈ මීදුම පසුබිමේ ගිනි මැලයට ටිකක් එහා ඈත ඉඳන් බලා උන්නු විදියට මාධවගේ ඇඟේ හිරිගඩු පිපිලා ඔලුව විකාර වෙලා ගියා. කවදාවත් නොදැනුන මහ බයකින් හිත වෙලුනා.

 

ගිනිමැලේට ටික ටික ලංවෙන ඒ යස්සනීගේ ඔලුව පර්දාවකින් වැහිලා වාගේ ඉටිකොලයෙන් ආවරණය වෙලා තිබ්බට මොකද ඇත්තටම එතන ඔලුවක් තිබුනේ නෑ. බළලෙක්ගේ වගේ කලුවරේ දිලිසෙන ඇස් දෙකක් විතරයි තිබුනෙ.

ඒකි, ඇස් දෙක විතරක් තියන කුණු මිණී ගඳ ගහන කවන්දයක්! ඉටි කොල වලින් වෙලුනු කුණු වෙන ශරීරයක්!

 

2023-04-15 වැනිදා: මධ්‍යම රාත්‍රිය පසුවී -  නින්දට යෑම!

මාධව සිහි එලවා ගත්තා. ඈ දිසා යලිදු කිසිත් නොබලා හනික කාමරයට වැදුනා. කාමරයේ ඇඳ මුල්ලට උන් මාධව වෙව්ලමින් බිම වාඩි වෙලා ඇස් පියා ගත්තා. ඒත් අර කාළකණ්නි මූසල යස්සනී පේනවා. මාධවගේ පපුව ගිඩි ගිඩි ගාලා වැදෙනවා පපු කුහරේ. නහරයක්වත් පුපුරයිද මංදා. ඒම හිතද්දිම ඇස් ඇරුනා. ඒතකොටයි දැක්කේ!

චතුරංගයා මාධවට ඉස්සරහින් වාඩි වෙලා! උක්කුටියෙන් ඉඳගෙන ඉන්නවා

උඹට මොකද? ඌ ඇහුවා! නින්ද යන්නෑ නේද බං!

මාධව උත්තර දුන්නත් නුදුන්නත් කියලා ඌම කියවාගෙන යන්ට උනා.

මුං එක්ක නිදියන්න බෑ බං! බලපං ගෙරවිල්ල මේ උද්දිකයෝ! බලපං චින්තකයගේ දිවත් එලියේ. මැරිච්ච ඒකෙක් වගේ. යමං වාහනේ ඇතුලට වෙලා නිදියමු! ඒම කියලා ඇඳේ තිබුන කොට්ට දෙකකුත් කිහිල්ලේ ගහගත්තු ඌ ඉස්සර උනා. වෙවුලමින් උන් මාධව චතුරංගයා පස්සෙන් ඇදුනා. එහාහින් ගෙපල් මිදුලේ තාම ගිනි මැලය ඇවිලෙනවා.

මොකක්ද බං ඒ ගඳ? ආ චිකන් කටු ටික, අර දාතු මුණයා ගිනි මැලේට ඉතිරි චිකුන් කටු ටිකයි අඩුම කුඩුම ටික හැලුවනේ බං! ඇටකටු වල තියන මූලද්‍රව්‍ය වලින් පිච්චනකොට එක ඒක ගඳවල් එනවා බං! චතුරංගයා විද්‍යාත්මකව කියවනවා! ඌ වැඩකරන ප්‍රාදේශීය සභාවේ මිනී පුච්චන විෂයට අදාල පුහුණුවකට ගිහින් ආවේ ලඟදි. ඒ හින්දා මිනී පුච්චන එක ගැන පත්තියං වෙලා පොර ඉන්නේ. මූ අර මල යස්සනී ඉන්න වෙලාවෙම ඒකත් මතක් කරනවා. මිනී පිච්චිල්ල!

ඉතිං ඒක පිච්චෙන ගඳ මහ අජූතයි බං! චතුරංගයා කියවනවා!

කතාවෙන් කතාව නිහඩව මාධව වරදක් කරලා අහු උන එකෙක් විදුහල්පති පස්සෙ ඇදෙන්නා වාගේ ඌ පස්සේ ඇදෙනවා. වාහනය තිබුන දිහාට තව මීටර සීයක් යන්න තියනවා. තේ පාර මැද්දෙන්. මාධව මඳ දුරක් ගිහින් ආපහු ගිනි මැලය දිහා බලන්න ඒක පාරකට හිතට දිරිය ගත්තා.

යස්සනී නෑ! ගඳ විතරයි!

ඒකි නෑ! මාධව සැනසුම් සුසුම් හෙලුවා. නිර්භීතව ඇපල් චතුරංගයා පස්සේ ඇදුනා. ඒත් වෙවුලීම අඩු වෙලා නෑ! තාමත් ගඳ නහය කාරාගෙන යනවා! ආපසු යන මග දෙස බලාගෙන දෙන්නාම වාහනය ලගට ආවා. කාර් එක ඇතුලට වැදුන මාධව පිටිපස්සෙ අසුනේ දිගෑරුනා. රියදුරු ආසනයේ අයිතිකරු නිදියාගත්තා. රාත්‍රිය අඳුරු වෙලා නිදි දෙව් දුව මාධවලාව සොයං ආවා.

ඈත තවමත් බල්ලෙක් දෝ නරියෙක්දෝ මන්දා හූ තියනවා හීනෙන් වගේ ඇසුනා.

 

2023-04-16 වැනිදා: අඳුරුම උදෑසන - වෑන් රථයේ හිමිකරුවා

මීදුම බාලා තිබුනා. මීදුම මැද්දෙන් වාහනයක එලියක් මැවුනා. ටිකකින් නැති උනා. මීදුම ආයෙම වැඩි උනා. ආයෙමත් ඒ එලිය වේගයෙන් මතු උනා. වංගු පාරේ ඒ වාහනය හරිම වේගයෙන් එනවා මාධව හිතුවා. අර කලින් දුටුව රටාවටම හැබැයි සෑහෙන ඉක්මණට වාහනේ එනවා. තිරිංග හඩ ලග  ලග ඇහෙනවා. ඔව්. මාධව හරි! මේ වාහනේ වේගයෙන් කඳු පන්තියේ වංගු ගන්න විදියට තමා බලුප් එලිය නොපනී පෙනී යන්නෙ. ඉතින් ඒම ආව ජේ එල් කාණ්ඩයේ ඒවරි වෑන් රථය මාධව ගාව නතර කලා. හුරු පුරුදු වෑන් රථයක් දෝ මාධවට හිතුනා.

“ඒයි අඩෝ මේක බාන්න උදව් කරපන්”

 කවුදෝ කලුම කලු ඇඳගත්ත මිනිහෙක් හුරු පුරුදු කටහඩකින් මාධවට කෑ ගැහුවම මාධව දෙපාරක් හිතුවෙ නෑ ඉදිරියට ඇදිලා ගිහින් ඩිකියේ දොර ඇරියා! ඒ ඩිකි දොරේ තිබුනු නැමුම් පාර මාධවට හුරුවක් දැනුනා.

කලු මිනිහා මාධව දිහා බලාන ඉන්නවා. ඌ හිනා වෙන හඩ ඇහෙනවා එක්කම මාධවට මතක් උනා.

මාධව බැඳපු අලුත දංකොටුවේ කුලියට උන්නු නෙල්සන් අයියලාගේ ගෙදර ගැරේජ් ඒකේ කනුවකට දවසක් දා වාහනේ රිවස් කරද්දි හේත්තුවක් යාන්තමින් වැදිලා දොර තැලුනු  හැටි. මාධව ආයෙම වාහනය දිහා බැලුවා. මොනවා බොල! ඒ වාහනේ මාධවගේ කලින් වාහනේ නෙව. මොනාද මේ වෙන්නේ කියල මාධවට නිනව්වක් නෑ. පැති දොරවල් දෙකේම නිල් ඉරි ටික  එහෙම්ම තිබුනා. පූසා ඉරා දාපු පිටිපස්සේ අසුනේ රෙක්සීන් කෑල්ල තාම එදා වගේම එල්ලෙනවා. පිටිපස්සේ වීදුරු අඳුරු කරලා.

මාධව විස්මයෙන් ඒ රියදුරු දිහා බැලුවා. ඔහු වෙස් මුහුණ අයින් කලා

මාධවට තමන් කණ්නාඩියක් ඉස්සරහ ඉන්නවා වගේ දැනුනේ. යකෝ ඒ තමාමයි! මාධව ඉදිරියේ මාධව! මාධව හනික ඩිකියේ දිගට තිබුන පාර්සලය මොකක්ද බලන්න අතින් ඇද්දම කුණු ගද ආයෙම නහය කඩාගෙන ගියා. පිටුපස අසුන යටින් දිගට දිගේ එලියට ආව කලු ඉටි කොලෙන් එතුන මිනියේ කකුලේ කලු ගැහුණු ඇඟිලි මාධවට පෙනුනා.

දෙයියනේ යස්සණී!

පොලිතීන් වලින් ඔතපු මිනියක් මාධවගේ වාහනේ මාධව විසින්ම ප්‍රවාහනය කරනවා. මල මිනියේ ඔජස් වාහනය පුරාම ගලලා ගන්දස්කාරේ. කවුද කාගෙද කියන්න නොදන්නා මිනියක්!  මාධවට කෑ ගැහුනා. හැබැයි ශබ්දය පිට වුනේම නෑ. බයටම ඩිකියේ තිබුන ජැක් එකේ යකඩය දෝතින්ම අතට ගත් මාධව දෝත බදලා තමාගේම රූපකායට දීලා ඇරියා. ඌ ඔලුව නමද්දි වැදුනේ බෙල්ලෙ පැත්තකට. ‌ඒ වේදනාව දැනුනේ ගුටි කාපු එකාට නෙමෙයි. මාධවටමයි!

මාධව කෙඳිරිගාගෙන වාහනේ ලඟ බිමට වැටුනා. ඇත්තටම බෙල්ල පොල්ලකින් ගැහුවා වගේ කැක්කුමයි. වේදනාවෙන් මිරිකී උන් මාධවට ඒ කැක්කුම හොඳට දැනුනා. ඒත් මදකින් සුවයක් දැනුනා. අඩ නින්දේ වගේ කලන්ත හැඟීමෙන් වැටිලා ඉද්දි කොහෙන්දෝ ආව සුන්දර කාන්තාවක් මාධවගේ හිස ඔඩොක්කුවේ තියාගත්තා. මේං ඈ දැං මාධවගේ බෙල්ල අතගානවා. ඒ අතරේ කතාන්දරයකුත් කියනවා. ඒකෝමත් එක රටක.......................

 

2023-04-16 වැනිදා: හිමිදිරි උදෑසන - “ඒකෝමත් එක රටක.........................”

ඒකෝමත් එක රටක, දුර ඈත පොඩි ගමක ලස්සන ගෑල්ලමයෙක් උන්නා. දුර ඈත ගම හරි ලස්සනයි. උදේ හවස මීදුම ගලද්දි ඒ ගම මනස්කාන්තයි. ගමේ පිපුණු ඒ මල් කුමාරි හැඩට ලොකු මහත් උනා. ඒ ළමයා ගමට පිටින් ආව ලස්සන කුමාරයෙක් එක්ක යාලු වෙලා, දෙපැත්තෙම ගෙවල් වලට විරුද්ධව යමින් කසාදත් බැන්දා. ගමෙන් පිටට ගියේ නෑ හැබැයි. ගමේම කෙලෝරක පොඩි ගේක සතුටින් ජීවත් උනා. සතුට හැමදාම පවතින්නෑ නෙව. ඒ වාගේම  ප්‍රශ්න කියන දේවල් කෙනෙක්ව හොයාන එන්නේ අද එන්නං  කියලා නෙමෙයිනේ!

ඈ කියනවා. මල් වගේ උන්නු කෙල්ල මලානික උනේ කවුරුත් නොදන්නා විදියට. හරි සතුටින් චිත්‍රපටියක වගේ උන්නු ජෝඩුව විරසක උනේ ඇයි මන්දා? ගම්මුන්ගේ කැමතිම මාතෘකාවක්.

ඒක දවසක් රෑ වැස්සෙම කුමාරයා ගෙදර ආවා. මග එද්දි බයිසිකලෙන් ලිස්සලා වැටිලා. කුමාරයට තුවාල වෙලා. හැබැයි කුමාරයා ඒ වේදනාව කුමාරිගේ පිටින් යැව්වා.

කුමාරියට තිබ්බ දිග කොණ්ඩෙන් ඇදලා අරන් “ උඹ මහ කාළකණ්නි ගෑනියෙක්” කියලා කියද්දි කුමාරි ඇත්තටම ඇඩුවා. මේ ලෝකේ කවුරුත් ඒ කුමාරි වගේ අඩලා නැතුව ඇති. බෙල්ල අත ගාන ගමන් ඈ කියනවා. මාධව විස්මයෙන් අහන් ඉන්නවා. මාධවට ඒ මදිවට පොඩි සනීපයකුත් දැනෙනවා. මේ කතාව කියද්දි මාධවට හිතේ රූ මැවෙනවා. ඒ තරම් මිහිරියට ඈ කතාව කියනවා. නෙත් පියවුන මාධව සැපට සනීපෙට කතාන්දරයක් අහගෙන නින්දට යනවා. කදිමයි.

ඉතිං ඔං කොණ්ඩෙන් ඇදලා අරන් ඒ නරුම කුමාරයා, ඒම කියද්දි මාධවට මතකයි ඇගේ මූනේ වෛරය මතු උන හැටි. කොණ්ඩෙන් ඇදලා අරන් ඒ නරුම කුමාරයා කුමාරියගේ රෝස කම්මුල පුපුරන්නහේ අතින් පාරක් ගැහුවම ඈ විසිවෙලා ගිහින් බිම වැටුනා. ඒතකොටම අකුණක් ගහලා අහස ගොරවලා විදුලිය නැතිව ගියා. ඒත් මහ වැස්සේ විදුලි එලියෙන් හැම තැනම ඒලිය වෙනවා නේ. බිම වැටුනු ඒ සැනින්ම ඈ නැගිටලා ගිහින් කුස්සියේ හැංගෙන්න හැදුවට ඒ නරක කුමාරයා අනේ ඒ අසරණී පස්සෙම්ම කුස්සියට දුවන් ආවා. ඈ වැටි වැටී අකුණු එලියෙන් අඩ අඩා දුවද්දිත් ඒ කුමාරයාට කිසි දුකක් තිබුනෙ නෑ. කුස්සි මුල්ලේ තිබුන පොරව අතට ගත්ත කුමාරයා පොරව ඒ මේ අත වැනුවා. විදුලි එලියට පොරවේ මුවාත හොඳට පෙනුනා. ඉතිං කලුවරේම අඩියෙන් අඩිය ළගට ගිය නරුම කුමාරයා දෑත බදලා කුමාරියගේ ඔලුවටම පාර දුන්නා.

මොහොතක වාසනාවක් තිබුන නිසාම කුමාරිකාව පැත්තට පැන්න. පොරව ලිස්සලා ගිහින් වැදුනේ ඇගේ දකුණු කකුලේ ඇගිලි පසාරුකරගෙන. ඇඟිලි වෙන් නොවී  ලේ විදිමිං එල්ලුනා. මස්වැදලි. ලේ කුස්සිය පුරාම. කලු ලේ! කලුම කලු!

ඈ විලාප දුන්නට ගම්මානයේ කාටවත් ඒ ආයාචනා ඇහුනේ නෑ.

මේ බලන්න මගේ කකුලේ ඇඟිලි.... ඒම කියලා ඔලුව අත ගාන ගමන්ම ඈ මාධවට ඇඟිලි පෙන්නුවා. මාධව සනීපෙන් උන්න මත් ගතියෙන්ම ඇගේ මූන දිහා බැලුවා. ආයෙම ගඳ දැනුනා. පපුව කුණු උන හුස්මෙන් පිරුනා. පොලිතීන් වලින් එතුන යස්සනී මාධවගේ ඔලුව අත ගානවා. අර ලස්සන කෙල්ල වෙනුවට මාධව මේ පොලිතීන් හොල්මන උඩ හිස තියාන! මාධව හනික කකුල දිහා බැලුවා. ගිනි මැලේ ලඟ උන් යස්සනීගේ වගේම මේකිගෙත් කකුලේ ඇඟිලි කලු ගැහිලා කුණුවෙලා.

පොරෝ පාර වැදුන තැන.

මාධව ඇහැරුනේ උරහිසින් හොලවන කම්පනයකයට. නැගිටිද්දි ආයෙමත් චතුරංගයා මූණ දිහා බලාන!

උඹ මැරුන කියලා හිතුවෙ බං

ඌ කියාන යනවා!

උඹත් ගොරවනවා! හැබැයි ටිකකින් උඹට දාඩිය දාලා විනාඩියක් විතර උඹේ හුස්ම හිර උනා වගේ උනා! උඹ හුස්ම ගන්න දඟලන සද්දෙට මං ඇහැරුනේ.....

ඌ කියද්දි මාධවට උත්තර නෑ.

වෙලාව බැලුවා! උදේ පහයි. ජරමර අස්සේ නිදි නැති කරුම රැයක් ගෙව්වාද මාධව හිතුවා. ඉර පායන මොහොතේ දෙන්නම ආපහු පල්ලම් බැස්සා. ගිනි මැලය නිවිලා. තෙත් වෙලා පෙඟිලා! අරූට පහල කාමරයට යන්න ඇරලා මාධව හිමින් ගිහින් ගිනි මැලය තිවුන තැන අලුගොඩ උඩට කකුල තියලා තද කලා.

එතන පොලව බුරුලට ඇතුලට තෙරපුනා.

තුෂ්නිම්භූත වී සිටින මාධවට පිටුපසින් දෙල්තොට මහ කන්දේ ඉහලින් ඉරු පායා ආවා...................

 

 

2023-04-16 වැනිදා: උදෑසන අට පසුවී..........

මාධවලා උදෑසන ආහාර ගෙන සියල්ල අස් පස් කර ආපසු එන්න පිටත් උනා. මාධවගේ කල්පනාව වෙනස් උනේ නෑ. දැන් බය පහ වී ගිහින්. ඔවුන් වාහන වල නැගලා නවාතැන්පලේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට එද්දී මාධව යලි හිස හරවා පෙරදා නවාතැන දෙස බැලුවා.

හිමිකරුවන් දෙදෙන ගිනි මැලය අසල අට්ටාලයේ සිට මාධවලාට අත වනනවා මාධවලා දැක්කා. හැබැයි කවුරුත් නොදැක්ක කලු ඉටි රෙද්දක් වගේ එකක් ඒ වෙලාවේ අත වැනුවේ මාධවට විතරයි. ඊට පස්සේ ඒ ඉටි රෙද්ද දෙකට ඉරිලා කොටසක් ගිනි මැලය ගාවට වැටුනා. අනික් කෑල්ල සරුංගලයක් වගේ පා වෙලා කන්ද දිහාවට යන්න ගියාත. වාහනේ ආව කන්ද දිහාවට.

 

 

වර්තමානය -

එක්තරා හැන්දෑවක මෝටර් බයිසිකලයක නැගුනු උස කලු කැත හාදයෙක් ආපහු සැරයක් සාදයක් දාන්න කියලා හිතාන තට්ට තනියම ආපහු හන්තාන පැත්තට ඇදුනා. ඔහුගේ බෑගයේ මධුවිත, මස් හෝ අන්නාසි හෝ බීම තිබුනේ නෑ. වතුර බෝතලයක්, විදුලි පන්දමක්, ගිනිපෙට්ටියක්, අත් සවලක් සහ වීඩීයෝ කැමරාවක් විතරක් තිබුනා....

එදත් ඔහු ගම්පොලින් යද්දී තැබිලි රතු මිශ්‍ර අහස යට අම්බුලුවාවේ කොත බැබලුනා.

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ප්ලීස් මචං මේක බොරුවක් කියලා කියපන්..

    ReplyDelete
  2. කටගොන්නක් බීගෙන තව උජාරුවට ඒක කියවන්නේ ලැජ්ජා නැද්ද මිනිහෝ?

    ReplyDelete
  3. මාධව බිව්වෙ නෑ මිනිහෝ!

    ReplyDelete
  4. ඇත්ත කතාවක් ද ???

    ReplyDelete
Previous Post Next Post

Contact Form