බඹරා ඉන් අස්ලාම් මාරකැට්ටුව. පිටකොටුව!

කපුටෝ කලබලෙන් අහසටම ඉගිල්ලුනා. පෙටා වල අස්ලාම් මාකට් එක දෙදුරුම් කන සද්දෙන් ඒ් හඬ ඇහුනා. කවුදෝ කාන්තාවක් පරුෂ වචනයෙන් හරි අපූරුවට කදිමෙට බෙරිහන් දුන්න..

බැල්ලීඊ...හ්.. හ් හ් හ් හ් හ්............
( හ් හ් හ්. එකෝ එකහ් හොඳේ මිත්‍රවරුණි )

තුෂ්නිම්භූත වූ පිරිස බලා ඉද්දී ක්‍රියාදාම සටන පටන් ගත්තා...
බඹරාත් ඒ අසල ඉද්දී.....
අහස රෝසපාට වෙලා ගොඩනැඟිලි වලට ඉහලින් තිවුනා...........................


උදේම බඹරා ගම්මානේ ඉඳන් පියැඹුවේ කොලඹ රටට. බඹර ඇඹේණියට සාරි ගන්න ඔනෑම කොලඹින්ම කිවම උන් දිව කැපුවත් වෙනස් වෙන්නෙ නෑ කොලඹින්ම තමා ඕනි.

ඒක ගැහැණු ගතිය. දිව නැමෙන්නෙ නෑ නෙව..

ඉතින් අනේ උදේම නිදි වරාගෙන දෙන්න ජෝඩු දාලා කොඹල ආව. ආවා නෙමෙයි මිත්‍රවරුණි පියැඹුවා.

ගම් නියම් ගම් පහුකරමින් වායුසමනය කල ජනෙල් ඇරපු ඒ සී බස් එකේ දෙන්නා ඉන්නවා. ඇඹේණියට හම්බුනේ හොඳ අසුනක් උනාට බඹරට හම්බුනේ පැනුම් අසුන. ඒ කියන්නෙ ජංපිං සීට් එක. වංගු දෙක ගනිද්දි බඹර පිටට, බඹර පුකට සනීපයි. බඹරාට එහායින් උන්නු හොඳ අසුනේ බිරිඳත්, අනෙකේ - අනික් හොඳ අසුනේ තව සුදු කෙල්ලෙකුත් උන්නා. ඈ නිදි. ඒ් දෙක මැද්දේ බඹරා පුම්කට වැඳගෙන ඉඳගෙන දුක් විඳිනවා.


නෑ මිත්‍රවරුණි හැබැයි කුපාඩිකං උනේ නෑ බස් ඒකේදි අද. බස් එකේ යන ඒ් කුපාඩියා ගෙදර නතර උනා. ඒ වෙනුවට බිරිඳ ආවනේ. නැතිනම් ඊලඟ කොටස තව රස කරන්න තිවුන. ඉදහිට ඇගේ ඉනේ අත වැදුන ඇරෙන්න කිසි වරදක් උනේ නැ නෙව. ඒකම අවුල ඉතිම් බස් එක ඇබරෙන රටාවට කොඳු ඇට නාරටිය ඇඹරෙනවා බඹරාගේ, හරියට එලවලු ගෝනියේ තැලෙන ඇඹරෙන පතෝලෙ වගේ. වම් උකුල නං  ඉත්තේරුවෙන්ම කොළබින් බහිද්දි පුළුලුකුලක් වෙලා තියේවි

හිතාපියව්කො, එකක් පුරුෂුකුල. අනික පුළුලුකුල. යසයි.

ඕන්නෝම  කරෝනැල්ල දිහාට එද්දි සිහිල් සුලං ධාරාවක් ඇවිල්ල හිසේ දැවටෙද්දි දන්නෙ ආං බසය දැන් ජනෙල් වහල හෙම සිරාම සිරාවටම වායුසමනය කිරීම සිදු කරලා කියලා.

ඕන්නොහේ ඒ පාර සුලු සහනයක් ලැබුනා. බඹරාට නින්ද ගියා. බසය කොලඹට ඇදුනා.

උසට උසේ රෝසපාට ටොප් එකක් තියන කොලපාට බටයක් දෑස් ඉදිරියේ පේද්දි බඹරාට අවදි උනා. කණිසම නමයයි. ඉරු පායලා.
    
ලොකු වැවක් ගාව බස් එකෙන් බැහැපු යුවල ඉස්සෙල්ලම ගිහින් පුද්ගලික බස් නැවතුංපොලෙන් චූ චුට්ටක් දාලා හෙම ඒ බස් නැව්තුමේම අසුන් දෙහෙක වහලා හිටං බඹර වදෙං හදාන ආව සොසේජ් බැඳුම ගාපු ටෝස්ට්පාං ටික කිසි බිසි ගාලා ගිල දැම්මා. බොන්න මල් පැණි නෑ මිත්‍රවරුණි මේ කොලොම්තොට නගරයේ. ඒ හිංදා ගෙදරිං ගෙනාව වතුර ටික බිව්වා!    

හම්බූ ග්‍රීස්මේ.
ඉක්බිති දෙන්නාම මාරකැට්ටුවට පැත්තට තටු පටලාගෙන හෙමින් හෙමින් පියැඹුවා.
.................................................................................................................
අස්ලාම් මාරකැට්ටුව ප්‍රසිද්ද සාරි වලට. එක එක වීදි මැද්දෑවෙ අස්ලාම් මාරකැට්ටුව ඉහලට ඉහලට ඉදි වෙලා තිවුන. කඩවල් ඉහලින්  තිවුනා උනත් බඹරෙක් උනත් යන්නෝනි පහලින්. ඇතුල්වීම පහලින් සම්පූර්ණයෙන්ම නොමිලේ!

මාස ගාණක් ඉදන් ඔබ නලේ (youtube) බල බල එකේක තැන් වල මානසිකව පියඹෑපු බඹරහාමිනේ ඇත්තටම තෝරාගෙන තිවුන කඩේම හොයං ගියා නෙව. වසර ගාණකට පෙර විවාහ මංගල්ලෙ වැඩ වලට අස්ලාම් මාකට් එකට පියෑඹුව බඹර ආයෙ නම් පැත්තෙ පලාතෙ පියඹන්නෑ කියලා හිතන් හිටියත් නපුරු දෛවය හරස් උනා හොඳටම. ඒකයි අද මේ.

ඉතින්... දෙන්නාම මාරකැට්ටුවට ඇතුල් උනා.

ඇතුල වෛවර්ණ සාරි විමානෙ. කොම්පීටර් හුගක් දාලවත් ඒ වගේ වර්ණ විභේදනයක් කොරන්න අපහසු උනාට මොකද ස්ත්‍රී නයන යුගල උපතින්ම වර්ණාවලියටම අති සංවේදියි නෙව. ඉතිං සෑහෙන ලොකු කණිසම් ප්‍රමාණයක් විනාස කොරන්න සූජානම් වෙන්න ඔනි යන සුවාමිපුර්ෂයෝ සේරමලා. කණිසම් කියන්නෙ පැය මිත්‍රවරුණි. කලිසං නෙමෙයි. හෝරා පැය....

පැය ගාණක් හිටන් ඉන්න වෙන බව තේරුණු බඹර තොමෝ කඩෙ ඇතුලෙ තිවුන එකම දැව අසුනට බර උනා.
බඹර හාමිනේ ඇගේ කාර්‍ය්යට මුදලාලී එක්ක බජනෙට වැටුනා. 

"යැයි යැයි යැයි යැයි....."

ඒ් පුංචි කඩ කුටියේ තිවුන වායුසමීකරණයකින් සිහිල් සුලං ධාරා ගලාන විත් සාරි ගොඩ මැද්දෑවෙ උන් බඹරාගේ නෙතට ගතට සිසිල ගෙනාවා.

....................................................................................................................................


බඹරා උන්නේ සාරි කොල හුඟක් වැවෙන ගහක මුදුනෙ මලක වහලා. ඒ සාරි ගහෙන් සාරි ඉල්ලගන්න එකේක ජාතියේ කාන්තාවෝ එනම් කලු, සුදු, තලෙලු, උස මිටි, කෙට්ටු, හැඩැති, බතල සහ අධි බතල, මධ්‍යම බෝල, ලොකු බෝල, බෝල රහිත කරාඹු හෙම දාපු කාන්තාවෝ හැමදාම හැම පැයේම ගහ යටට ආවා.

බෝල කිව්වම එව්වම නෙමෙයි මිත්‍රවරුණි
කුප්ප කුපාඩි මිත්‍රවරු.

ඒ ඇවිල්ලා ගහට පැදකුණු කරලා හෙම ගීතයක් ගයන්නෝනි..
බුජු බුජු සද්දෙන් මුලු ඇඟේම කෑලි හෙලවෙන්න. වැහි නැටුම වගේ.

මේ ගසේ බොහෝ
සාරි කොල තිබේ
නේක වර්ණ හුගක් ඇතත්
වැඩ්ය කඩන්නෑ අපී

ඒම තුන් වරක් කියලා ගහට උම්ම එකක් දුන්නම එ ගෑනු කෙනාගෙ හිතේ ඇති ආකාරේ සාරි කොලයක් බිමටම වැටෙනවා. එ වවුචර් එක අරන් අස්ලාම් මරකැට්ටුවට ගියා නම් හරි. ඒක ගෑනු කෙනෙක්ට ඒක දවසට ඒක සාරියයි.

ඔම ඉද්දි, එක පාරටම දැකල පුරුදු ගෑනු කෙනෙක් ගහ ඉඹලා කොලයක් අරගෙන එනවා. වයසක තාලෙට පැද්දෙන හැටි දැක්කම බඹරාට හුරු ගතියක් දැනුන නිසා බඹරා ඒ ඇත්ති පස්සෙ පියෑඹුවා. කෞද බොලෙ මෙ නාකි කාලෙදිත් සාරි තන්හාව කියලා. ඒ ස්ත්‍රී පරාණෙ ඇව්දං ගිහින් අස්ලාම් මාරකැට්ටුවේ කඩෙකට රිංගුවා. එතනදි තව හුරු පුරුදු කොතල බට එකියක් වියපත් ඇත්තිගෙන් කොලේ ඉල්ලං බඹරාට දික් කලා.

අම්මගෙ කොලේ. අම්මගෙ කොලේ....

........................................................................................................................................


අනේ නිදි. සොරි මුදලාලි..හීන් හඩින් ලැජ්ජා ඇති ගෑනු හඬක් ඈතිං ඇහෙනවා. එකසැරේම හින් කොනිතිගසන වේදනාවක් එක්ක බඹර අවදි වෙද්දි එතුමගේ ඇඹේණිතුමිය මේම කියනවා.

පෝන් - දුර බනුවත් දික් කරන් බඹරාගේ මූන ගාවටම

අම්මට කෝල්... අම්මට කෝල්... නැගිටපන් අනේ. අම්මට කෝල්.....

බඹරා උඩ ගිහින් අවදි උන. අර සාරි ගස යට නටපු පැද්දෙන ගෝල දෙස ගැඹුරෙන්ම ගහ මුදුනේ සිට බලා සිටි (ඔව් මිත්‍රවරුණි උඹල ආස ඒව තමා) කදිම සිහිනය හොඳින් පිසදා අවදි උනා. අම්මට කෝල්.. ආයෙත් ගොරවද්දි බඹරා දනි පනි ගාලා නැගිටලා එලියට බැස්ස. මාරකැට්ටුව ඇතුලෙ සංඥා වැඩ නෑ නෙව. 

ඉතිං එලියට බැහැලා සංඥා හොයාන යද්දි එද්දි ඒකතැනකදි සංඥා හම්බුනාම බඹරා එතන ඉඳන් ඇමතුම ගන්න හැදුවා විතරයි ඔං ඒ මනරන් හඬ ඇසුනා... කණ ගාවින්ම...

කපුටෝ කලබලෙන් අහසටම ඉගිල්ලුනා. පෙටා වල අස්ලාම් මාකට් එක දෙදුරුම් කන සද්දෙන් එ හඬ ඇහුන. කවුදෝ කාන්තාවක් බෙරිහන් දුන්න..

බැල්ලීඊ...හ්.. හ් හ් හ් හ් හ්............

තුෂ්නිම්භූත වූ පිරිස බලා ඉද්දී ක්‍රියාදාම සටන පටන් ගත්තා...
බඹරාත් ඒ අසල ඉද්දී.....
අහස රෝසපාට වෙලා ගොඩනැඟිලි වලට ඉහලින් තිවුනා...

වල් බේසී ඊ ඊ............

ඊලඟට අනෙක් එකී ගායනා කරනවා.

එක සැරේටම ඇලුමිනියම් කූඩුවක් සහ වීදුරුවක් කඩාගෙන ගෑනු දෙන්නෙක් ආකහෙන් පතබෑවුනා වගේ බිඳෙන හඩවල් එක්ක තඩ් සද්දෙට පදික වේදිකාවටත්, එතනින් යකඩ පෙරලෙන සද්දෙ නංවාගෙන  ස්කූටර් දෙකකුයි අහල උන්නු හිඟන පුලන්නෙකුයි පෙරලාගෙන මහ පාරටත් වැටුනා. සද්ද ගොඩයි!

ලෝකෙ පෙරලෙනවා කියලා හිතලා සමාරු ඔලු හැරුණ අතේ දුවද්දි සමාරු දර දර ගාලා යකඩ දොරවල් පාතට දාලා කඩේ ඇතුලට රිංග ගත්තා. නැතිවෙන්න දෙයක් නැති ආතක් පාතක් නැති උන් සහ නිර්භීත ව්‍යාපාරික කට්ටිය දැන් උනන්දුවෙන් හුදෙක් ප්‍රීතිමත්ව සටන නරඹනවා.

ඉතිම් මිත්‍රවරුණි,
ඊළගට සටනේ වරුණාව.....
...................................................................

හිරු රැස් මැද තට්ට දිලේ
ඒ මැද්දේ කෙසුත් පෙනේ
ගැටුම් වලල්ලක් සෑදී
ඒ මැද්දෙන් ගැටුම් පෙනේ

හරි මිහිරියි වදන් ඇසේ
කවදාවත් අසා නැතේ
පුරුෂ ලිංග හින්දාදෝ
ගැටුම් මේසේ ඇතෙයි සිතේ

බඹර තොමෝ ලං වීලා
බැලුවා නෙත් විහිදාලා
ගෑනු දෙකක් ඇනගනිතී
හොදහැටි දැන් බිම වැටිලා

ඈ කොන්ඩෙන් අදීවි
වල් බේසී කියාවී
අනිකිත් දෙක වෙන්නෙ නෑ
තං මඩලම තලාවී

පලමු එකී සුදු තලෙලුයි.
ඇගෙ දෙකකුල් කිරිම සුදුයි
ඊට වඩා බැලුවේ නෑ
හොද බඹරිඳු ඒම තමයි.

අවාසනාවට වාගේ
දෙවැන්නිගේ ගවුම කොටයි
මල් වැටිලා හරිම ප්‍රියයි.
ඊට වඩා නොබල ඉඳියි

ගවුම් ඉරී වලි යද්දී
උන්ගේ පති එහි සිටිතී
පහක් දමා උන් දෙන්නා
බාර් එකට රිංගගතී.

ගැනුන් ඒ බව නොදැනා
ඇඳුම් ඉරා පොර කන්නා
කොන්ඩ කෑලි බ්‍රෙශියර් හෙම
මඳ සුලඟේ පා වෙන්නා.

රස වින්දා ඇති කලබල
සැර හින්දා ඒ කලබල
බඹර තෙමේ යයි ආපසු
පැමිණි කාරි අමතක කල

වලිය අහවර උනාද දන්නැ. හැබැයි අස්ලාම් මාරකැට්ටුවේ වට්සැප් සමූහයේ ඔවුන්ගේ මනරම් වලිබර සැන්දෑයාමය රසවත් කරමින් බෙදා හැරුනා.

ඒ කිසිත් නොදන්න බඹරා ආයෙම සාරි කුටියට රිංගුවා. ඒ එද්දි බඹර ඇඹේණි නෑ. ඒ්කිගෙ බඹර පෙන්දක් වත් නෑ.

එයා ගියානෙ බඹරාට මුදලාලි කිව්ව.

කිසිත් නොකී බඹරා ඇඹේණිය සොයා යද්දී වලිබර ගැහැණු දෙදෙනා එක්වරම කොහෙන්දෝ පැමිණ බඹරාවත් පෙරලාගෙන ඔහු මත්තේ වැටී පොරකන්න දඟලන්න පටන් ගත්තා.
වලිය ආයෙම ඇරඹුනා.

සිනමා සිත්තම උණුසුම් උනා.

බඹරා නලුවෙක් උනා.
....................................................................................................................................

වල් බේසී ඒක මගේ.

බඹරව ස්ත්‍රී ආම්පන්න වලින් තැලෙද්දි උනත් උගේ ශ්‍රවණය නිරුපද්‍රිතව තියනවා.

එකියක් කෑ ගහද්දි අනිකිත් ඒකිට දෙක වෙන්නෑ.

තොට දෙන්නෑ බැල්ලී ඊඊඊ....

මොන ඉලව්වක්ද කියලා බලන්න කලින් නැගිටින්න ඕනි.නැගිටින්න හිතද්දිම එකියක් ඒකිගෙ වැලමිට බඹරාගෙ දෙකකුල් මැද්දෙන් තිබ්බා. තව ඩිංගෙන් බඹර අංග ජාතෙ කුඩු! නැත්තං තැලෙනවා. අමාරුවෙන් බඹරා ඒ ආම්පන්න බෙරාගත්තා. මෙක හරියන්නෑ. බඹරා හිතුවා. සදාචාරය සහ විනය සහ කාන්තාවට දක්වන ගරුත්වය බල්ලටම දැම්මා. ගරුකරන්නම සුදුසු බඩු දෙක අපූරුයි! ස්ත්‍රි ලිංග දෙකක වලි අස්සේ හොදම තැන් තෝරාගනිමින් බඹරා හනික ක්‍රියාත්මක උනා. "බැල්ලි ඊගේ" තට්ටමයි "බේසී ඊගේ" තට්ටමයි වෙන් කරගත්තු බඹරා හොඳින් දෂ්ට කලා. එනං මිරිකුවා. රිදෙන්නම. නියපොතු පාර හිටින්නම. මස් හීරෙන්නම. නියපොතු වලින් හීරුනාම ආයේ ඇල් වතුර පොදක් වැටුනත් ඇති ආයේ මරු කතර පේනවා මිත්‍රවරුණි දෑස් අගින් බේරෙන්නම. කදිම දඩුවම.

හූරපු පාර කොච්චර උත්තමද කියේ නං කුණු මස් බඹරාගේ ඇගිලි දහයෙම නියපොතු අස්සෙ. ආයේ උන් නට්ටං තාවලා ඉවරයි!

 
ගවුම කොට දෙවැන්නීගේ තට්ටමේ සටහන් උනු රෝස දම් පාට ඇඟිලි පාරවල් නං අස්ලාම් මාකට් එකේ කෙලෝරේ කඩේටත් පෙනුනා. ඒ තරම් සාරවත් පාරවල් උන්ට බඹරාගෙන් ලැබුනා.  උන් වෙදනාවෙන් කෑගාද්දිම බඹරා අවස්ථාව අරන් එවුන්ව පෙරලාගෙන නැගිට්ටා. හොදවයින් හිරි යන්නම පයින් දෙකක් ඇන්න ඔහු වීදුරුව ගැලවුනු අහල කඩේ බිම වැටිල තිබ්බ මීටර එකේ රෙදි මනින දිග අඩි රූල අරං ඇවිත් උන්ට හොඳට තැලුව. පාර හිටින්නම. තට්ටම් සහ කකුල් දම් පාට වෙන්නම. පව්. ඒ්ත් ඉවසන්න සුදුසු නෑ මේ අවස්තාවේ! ලෙසට තැලුවා! හිතේ හැටියට.

ඊලඟට දේශනාව පටන් ගත්ත. රූල උන්ට දික් කරගෙනම.

"තොපි මරාගන්නෙ අහවල් දේකටද.? මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්. නීතිය අවනීතිය කරන් තොපිට පාරේ රඟන්න බැ! අනික හෙලුවෙන් කෝමත් බෑ!

බලාපිය තොගේ බ්‍රෙසියරේ මේ..
ආං අනිකිගෙ කකුලෙ පොල් වලල්ල...."

බිම තිවුන බ්‍රෙසියරේ ගැලවුනේ කොමද ගවුම නොගැල්වී කියල හිතුනත් බඹරා ඒක උපකල්පනය කිරීම පසුවට කල් තබා, මිටර රූලෙ කෙලොරෙන් බිලී කොක්ක වගේ කලු අලු වලින් වර්ණවත් උන තන පටය ඉහලට අරන් සමාජයටම පෙන්නුවා.....
 

පිටකොටුවටම පේන සේ.......... ඉහලින්... ! හරිම ඉහලින්... හරිම ගාම්භීර විදියට! පොන්සේකා ඒකාලේ කිව්ව සුදුකොඩිය වගේ පේන්නම!

මුළු වීදියම නිහඩව බ්‍රෙසියර්තුමීට ආචාර කරන්නැහේ සීරුවෙන් නිහඩව ඉන්නවා. කොළඹ සුළගේ ඒක ආකහේ ලෙල දෙනවා! හරි ඔන්න බඹරාට අවධානය ලැබුනා. බඹරා තවත් අභිප්‍රේරණය වෙලා දැන්!

කට කැඩෙනකම් හරි, හිතං හිතේ කේන්තියත් පිට වන්නටම, හුඟක් තදින් අකුරක් නෑර දෙසද්දි, ඒවා අධෝ වාතයක් තරම් ගණන් නොගත්ත අරුන්ගෙන් එකියක් එකසැරේට බඹරට කියපි.....

"ඒ සාරිය ඕනි මට..." කියලා හිටං.


මොන සාරියක්ද කියලා වටපිට බලන බඹරට අනිකි ඈත තිබ්බ සාරියක් අත දික් කරලා පෙන්නුවා. 

ඒක හරි ශෝබන සාරියක්. අවුවට දිලිසෙනවා. මැණික් දියමන්ති ඔබ්බවලා වගේ වැඩ දාලා ඇත්තටම සුන්දර කලු සාරියක්! කිසි ගරු සරුවක් නැතිව වීදරුව බිඳුනු කඩේ අස්සෙන් මේසය මත වැතිරිලා තියනවා.

කේන්තිය ඉහ වහා ගිහින් ඉන්න වටපිට බලන බඹරාට ඔං ඈත ඉඳන් බලන් ඉන්න තමන්ගෙ ඇඹේණිව පෙනුනා. අද නං ගෙදර යන්නත් කලින්ම ඈ නිර්භීත බඹරාව ඉහලින්ම අගයාවි යැයි, කිසිදාක කිසිදු පුංචි හෝ ඇගයීමකින් ඇයගෙන් සංග්‍රහ නොලද බඹරාට ඇත්තටම සිතුනා.

"අද පෙන්නමි ඈට. මේ බඹරා යනු කවුරුන්ද වග."

නිර්භීතව දමිළ සිනමා වීරයා සේ මන්දගාමීව (පියවරට අනුරූපී සංගීතේ බඹරාගේ හිතේ වැයෙනවා. ඩිඩිං ඩිංඩි ඩිං! ඩිඩිං ඩිංඩි ඩිං!)  පියවර තැබූ ඔහු සාරිය අතට ගත්තා. අසල තිබූ දොඩම් කරත්තේ තිබූ පිහිය අනෙක් අතට අරන් හිට ගත්තා. ඔය ඉන්නෙ ෆොටෝවෙ විදියට.

හරියටම SRK චෙන්නයි ඒක්ස්ප්‍රස් ඒකේ අන්තිම වලියේදී සවල තියාන ඉන්නවා වගේම. ඒකාතක පිහිය. අනික් අතේ සාරිය. හරිම ත්‍රාසජනකයි මිත්‍රවරුණි. හරිම උද්වේගකරයි.

දැන් මුලු වීදියම නිහඬයි. කාක්කො පවා නිහඬ වෙලා. හැමෝම ඊළඟ ජවනිකාව ගැන නොඉවසිල්ලෙන්..

ඒ මොහොත මවාගන්න මිත්‍රවරුණි, කැමරාව බඹරාගේ පිටිපස්සෙන් මන්දගාමී චලනයෙන් ඉදිරියට ඇදෙනවා. ඕකේ. හරි. කට් ඊලඟ දර්ශනය!

ඉතින් හනිකට සාරිය දෙකට නමපු බඹරා ඒක කෙහෙල් කොලයක් ඉරන්නැහේ, දෙකටම වෙන් වෙන්න කපලා රණ්ඩු නෝනලාගේ මූනවල් වලට දමලා ගැහුවා.

ඉදා උඹලෑ සාරිය.............. නවත්තපියව් තොපේ මරා ගැනිල්ල. ඒ්ම කියලා වලිය දැන් ඉවරයි කියන්නැහේ බඹර තොමෝ අර පිහියත් පැත්තකට විසි කරලා දැම්මා.

සුළග කපං ඉහලින් ආව සාරි කැබලි වලින්, අවුල් වියවුල් උනු කෙස් ඉදිරුණු තරුණ ඔලු ගෙඩි දෙක වැහිලා යද්දී එවුන් දෙන්නා මැද්දෙන් තට්ටය මැද්දෑවෙ කෙස් බිඳක් ඇති වයසක ඇත්තෙක් හිටගත්තා. 

බලාපොරොත්තු නොවුන නාකි මනුස්සයා කව්ද යකෝ!බඹරට වැඩි වේලාවක් හිතන්න අවකාශ ලැබුන් නෑ!

වියපත් ඔහු බෙරිහන් දුන්නා. හිසෙ අත ගහගෙන දෙයියන්ට කියමින් බඹරාට සාප කරමින්...

"අයියෝ ශාමී! යෙකො. පුණ්ඩා! යේක තමා බසාර් එකේ වටිනම ශාරිය යෙකෝ. උඹ නායි යෙකෝ. යේක ලස්ස පනායි තව පනාමාරයි. පුණ්ඩා!"

"හෑ.. ලස්ස හැත්තෑ පහක්...."

ගණිතය ට ඒ සාමාර්ථයක් ඇති බඹරාට එක හුස්මට හීල්ලුනා. ලඹ කැටයක් වගේ මූත්තරාශය පිරිලා එල්ලෙන්න උනා. මුලු ගතම දහඩියෙන්  නැවී කමිසය පෙඟී ගියා.

අපහසුවෙන් ඈත බැලූ බඹරා විරුවාට බඹර බිරිඳගේ රුව බොඳවී බොඳවී පෙනුනා...
පරම්පරා ගාණකට බේරන්න තියා හිතන්නවත් බැරි ගාණක්!

ලස්ස හැත්තෑ පාක් සීවරං හාංදුරුවනේ! යංතං රජේ වැටුපක් ඇති ඒ්කෙන් කන්ඩවත් මදි වෙද්දි ලස්ස හැත්තෑපාක් ගෙවන්න විදියක් නෑ නෙව ආයුබෝවන්ඩ.
සට සට ගාලා කඳුලු හැලෙද්දී ආදරණීය ඇඹේණිය දිහා බැලූ බඹරාට මේ කවුරුත් ඈව හඳුනන්නේ නැති බව සිහි උනා.

අස්ලාම් මාරකැට්ටුවටම ඇහෙන්ඩ

                                "සුදු නෝනා, ගෙදරදි හමුවෙන්ඩෝ.................."

යැයි කෑ ගාමින් තටු සැලූ බඹරා කොලඹ කොටුව දිහාවට වීදි මැද්දෑවෙන් වේගයෙන් පියාඹද්දී මහ සෙනඟ පෙරලාගෙන, ඔහුට පිටිපස්සෙන් අහක යන නාකි නයාගේ ගෝලයෝ රොත්තක් වීසින් මාරාන්තික ලුහුබැඳීම ඇරඹුනා.

ඉක්බිති............

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form