පරිගණක පාඩම 01 - DVD / CD තැටි ධාවකයයේ දෝශ පරීක්ෂා කිරීම සහ දෝශ නිරාකරණය කිරීම

 


මාධව පරිගණක ආශ්‍රිත කටයුතු සම්බන්ධ විවිධ ලිපි ලියා ඇත. ඒත් ලිපිවෙලකට ඇති ලිපි මාලාවක් ලෙසින් නොවන්නේය. ඒ නිසා මාධව සිතුවේ අන්තර්ජාලයේ ඔනෑ තරම් මූලාශු ඇති මුත් තමනුත් ඒ් ලිපි ගොඩට තමාගේ අදහස් සහිත ලිපි සිංහලෙන් එක්කාසු කල යුතු බවය.

ඒ දැනුම බෙදා ගැනීමට මාධව කැමති නිසාය

ලිපි මාලාවේ පළමුවැනි ලිපිය මගින් මාධව කියන්නේ පරිගණකයේ තැටි ධාවකයේ තොරතුරු සහ දෝශ නිරාකරණය කර ගන්නා ආකාර කීපයක් ය.

ඉතිං පලමුව සැමටම ආයුබෝවන් ය!

‍පරිගණකයේ තැටි ධාවකය වර්තමානයේදී නම් වැඩිපුර ගණන් ගන්නා උපකරණයක් වන අතර නූථන උකුල් පරිගණක නොහොත් LAPTOP වල මෙම තැටි ධාවකය අඩංගු නොවන තරම් ය. එහෙත් පැරණි උකුලු පරිගණක සහ බොහෝ පුද්ගලික පරිගණක හෙවත් Desktop Computer වල මෙම තැටි ධාවක අඩංගු වී තිබුනේය.

මාධවලා පරිගණක මිලදී ගත් මුල් කාලය හෙවත් 2004 වැනි කාලයේ පරිගණක වල තිබුනේ DVD ROM හෝ CD ROM / Writer ය. එනම් ඩීවීඩී තැටි ධාවක / සීඩී තැටි ධාවක හෝ සීඩී තැටි ලිවීම සඳහා භාවිතා කරන තැටි ධාවකයන් ය. ඒ් කාලයේ DVD Writer තිබුනේ සල්ලිකාරයෝ ගාවය.

ඉතා ඉක්මණින් සංවර්ධනය වූ පරිගණකයේ DVD ROM හෝ CD ROM / Writer උපකරණය DVD Writer දක්වා ඉක්මණින් වර්ධනය වූ අතර ඉන්පසු බාහිරින් සම්බන්ධ කල හැකි ආකාරයට Portable DVD Writer දක්වා සංවර්ධනය විය. දැන් අන්තිමට ඒ්වා නැත්තටම නැතිය. කවුරුත් ගණන් ගන්නේද නැත.

DVD Writer හි සීඩී මත ලිවීම සඳහා මුල් කාලයේ විවිධ මෘදුකාංග අවශ්‍ය වූ අතර පසුකාලීනව මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කෙරුනේ තැටි මත ලිවීමේ පහසුකම් ද ඇතුලත්ව ය. එනම් සී ඩී තැටි මත ලිවීමට හෙවත් Write කිරීමට විශේෂ මෘදුකාංග අවශ්‍ය නොවන ලෙසය.

තැටි මත ලිවීම සඳහා භාවිතා කරන මෘදුකාංග සම්බන්ධව මාධව ලියූ ලිපියට පිවිසීමට ක්ලික්! මත ක්ලික් කරන්න.

"ක්ලික්!"

ඉතිං කාලයක් අතිශය ප්‍රයෝජනවත් ලෙසින් පැමිණි මෙම DVD Writer හෙවත් තැටි ධාවක අභාවයට පත් වූයේ සරල හේතු ටිකක් නිසා යැයි මාධව විශ්වාස කරන්නේය. ඒ්වා මේවාය

එක - අන්තර්ජාලයේ දියුණුව

අන්තර්ජාලය මගින් වර්තමානයේ සියලූම පාහේ විනෝදාස්වාදයන් සපුරාගත හැකි වීම නිසා තැටි මත ලියා විකිණීම ඉක්මණින් අභාවයට ගියේ හරියට කැසට් පට අභාවයට ගියා මෙන්මය.

මිනිත්තු කීපයක් තුල අන්තර්ජාලයෙන් සම්භාව්‍ය සිනමාවේ සිට කල්ල කුජීත අසභ්‍ය සිනමාව දක්වා සිනමා සිත්තම් ද, ඉතා පැරණි අතීතයේ සිට වර්තමානය දක්වා බිහි වූ ගීත නිර්මාණ අවශ්‍ය පරිදි මිලදී ගැනීමට හැකිවීමද,  ක්‍රීඩාවන් මාර්ගගතව ලබා ගැනීමට හැකි වීම ද වැනි අවස්ථා විශාල ලෙස බිහිවී ඇති හෙයින් DVD Writer වැනි උපකරණ අභාවයට යෑමට ප්‍රධාන කාරණාව වී ඇත. ඒමෙන්ම ආකාශ දත්ත ගබඩා හෙවත් Cloud Spaces ඇති පදම් අන්තර්ජාලය හරහා පරිශීලනය කල හැකි නිසා දත්ත සුරැකීමට භාවිතා කල DVD Writer වැනි උපකරණ අභාවයට යවමින් පවතී. බොහෝ මෙහෙයුම් පද්ධති පවා වර්තමානයේ නිකුත් වන්නේ බාගත කර ගැනීම සඳහා වන අතර ඒවා සඳහා සබැඳි අදාල සමාගම් වල වෙබ් අඩවි වල දක්වා ඇත.

 

දෙක - PEN Drives / Memory Chips වැනි හුරුබුහුටි උපාංග නිර්මාණය වීම

PEN Drives / Memory Chips වැනි උපාංග වල සාමාන්‍යයෙන් ගබඩා කල හැකි දත්ත ප්‍රමාණය DVD තැටියකට වඩා වැඩි වන අතර එම PEN Drives / Memory Chips වැනි උපාංග වලට දත්ත ගබඩා කිරීම පෙට්ටියකට යමක් දමනවාක් මෙන් පහසු ය. එබැවින් දුක් විඳගෙන දත්ත තැටි මත ලියනවාට වඩා පහසුවෙන් ඉහත කී මතකයන්හි ගබඩා කිරීම පහසු බැවින් තැටි භාවිතය අභාවයට යන ලදී

 

තුන - තැටි හානි වීම

තැටිය පහසුවෙන් සීරීමට හා පුස්කෑමට ලක් වන බැවින් දත්ත හානි වීම සිදු වන නිසා වඩාත් ආරක්ෂිත ක්‍රම වෙත යොමු වීම ද (ආකාශ දත්ත ගබඩා, පෙන් ධාවක, මතක පත්, Portable දෘඩ තැටි) මේ ආකාරයට තැටි භාවිතය අභාවයට යාමට හේතු විය.‍‍

Pen Drives

ඉතින් මේ ආකාරයට තැටි භාවිතය අභාවටය ගියද, වර්තමානයේ මෙම තැටි ධාවක භාවිතය අඩු වුවද, තැටි ධාවක භාවිතා කරන්නන් පොදුවේ මුහුණ දෙන දෝශ වලට විසඳුම් අවශ්‍ය නිසා මාධව දැන් යන්නේ ඒ ගැන කියන්නට ය.

 

දෝශය - තැටියක් ධාවකයට ඇතුල් කල පසු පරිගණකයෙන් විවෘත කර ගත නොහැකි වීම, තැටිය විවෘත වීමට කල් ගත වීම හෝ තැටියක් ඇතුල් කල නැති බවට පහත රූපයේ පණිවුඩ පරිදි දිස්වීම ආදී දෝශ වලට පහත කාරණා බලපෑ හැකිය.

 

 

හේතු  එක -

අහයපත් වූ දත්ත රැහැන් - තැටි ධාවකය, මව් පුවරුව හා සම්බන්ධ වී දත්ත හුවමාරු කරන දත්ත රැහැන් හානි වීම සිදූ වි තිබිය හැකිය. නව රැහැනක් (IDE Or SATA) යොදා බැලිීමෙන් මෙම ගැටළුව විස‌‌ඳේ නම් දෝශය තිබී ඇත්තේ එතනය. ඒසේ නව රැහැනක් යෙදූ විටද දෝශය පවතී නම් තැටි ධාවකයේ සහ මව් පුවරුවට එම රැහැන් සම්බන්ධ වන (Ports)  ස්ථාන හානි වීම මෙයට මූළිකවම බලපෑ හැකිය. එවිට මව් පුවරුවේ සම්බන්ධක ස්ථානය වෙනස් කර බැලිය හැකිය. බොහෝ විට සම්බන්ධක ස්ථාන හානි වීම් ඉතා අවම වන අතර රැහැන් වලට හානී වීම සිදු විීම  සාමාන්‍ය බැවින් ඒ කෙරෙහි අවධානය යොමු කිරීම මැනවි.

IDE රැහැන
SATA රැහැන

 

  ------------------------------

හේතු දෙක -

ධාවකයට නිසි පරිදි විදුලිය නොලැබීම -  පරිගණක බල සැපයුමේ දෝශයක් නිසා නිසි පරිදි අවශ්‍ය විදුලිය නොලැබීමයද හේතු වන බැවින් බලය ලැබෙන වයරය ද වෙනස් කර බැලිය හැකිය. නැතිනම් ධාවකය ඉවත් කර වෙනත් පරිගණකයක් හෝ බල සැපයුමක් මගින් ක්‍රියා කරවා බැලිය හැකිය.

------------------------------

හේතු තුන -

තැටියට හානි වී තිබීම හෝ තැටිය ආශ්‍රිත ගැටළු -

පරිශීලකයා සතු තැටිය ට හානි වී ඇත්නම් හෝ එම තැටිය හිස් තැටියක් (Empty Disc) හෙවත් දත්ත ඇතුලත් නොකල තැටියක් වූ විටද ඇතැම් විට මෙම ලක්ෂණ ඇතිවේ. තවද තැටියට දත්ත ඇතුලත් කර ඇති වේගයන් හා ධාවකයේ දත්ත කියවිය හැකි වේගයන් අතර නොගැලපීම් ද මෙවැනි දෝශ වලට හේතු වේ.

 ------------------------------

දෝශය - තැටි ධාවකයක් සම්බන්ධ කර ඇති විට පරිගණකයේ තැටි ධාවකයක් සම්බන්ධ නොවූ සේ DVD ධාවකයේ ICON පරිගණකයේ දිස් නොවීම

------------------------------

හේතුව  - මෙහිදී බොහෝ විට බලපා ඇත්තේ නිසි පරිදි විදුලිය නොලැබී යාමයි. එබැවින් විදුලිය ලැබීම ගැන පරීක්ෂා කරන්න.

------------------------------

හේතුව දෙක - ඇතැම් ධාවක සඳහා පරිගණකයට හදුන්වා දීමේ මෘදුකාංග (Driver Software) අවශ්‍ය වේ. අන්තර්ජාලයෙන් බාගත කර හෝ ධාවකය සමඟ ලැබෙන මෘදුකාංග කට්ටලය ස්ථාපනය කිරීමෙන් ගැටලුව විසදෙනු ඇත.

------------------------------

හේතුව තුන - Device Manager තුලින් ධාවකය Disable කර තිබීමද හේතුවක් විය හැකිය. එහිදී My computer – Device Manager පිවිස අදාල ධාවකය සොයා තෝරා එය Enable කර බලන්න.

 ------------------------------

හේතුව හතර - ධාවකයේ අභ්‍යන්තර දෝශ. එනම් ධාවකයේ ඇති පරිපථ දෝශ සහිත වීම නිසාද මෙසේ විය හැකිය. එවිට කල හැක්කේ බොහෝ විට නව ධාවකයක් ස්ථාපනය කිරීම ය. බොහෝ විට මෙහිදී ධාවකයේ තැටි රඳවනය (DVD Tray) විවෘත වීම හා ඇතුලට යාම නිසි පරිදි ක්‍රියා කරයි. ඇතැම් ධාවක වල ඉබේම තැටි රඳවනය (DVD Tray) විවෘත වීම හා ඇතුල් වීම විධානයකින් තොරව පිට පිට කීපවරක් සිදු වේ. එවිට එම ධාවකය ඉවත් කිරීම සුදුසු වන්නේය.

 ------------------------------

උකුල් පරිගණක වල නම් බොහෝ විට වසර 03ක් පමණ ගත වූ පසු යම් කිසි දෙදරීමකින් ඇතැම් තැටි ධාවක ක්‍රියා කරනු පෙනී යයි. එයට හේතුව අභ්‍යන්තරයේ දූවිලි තට්ටු හෝ වෙනත් අපද්‍රව්‍ය රැඳී තිබීම විය හැකිය. නිසි පරිදි සේවා කිරීමකින් පසු දෝශය පහව යනු ඇත.

------------------------------

උකුල් පරිගණක වල සහ අනෙකුත් පරිගණක තැටි ධාවක වල තැටිය ඇතුල් කල පසු දෙදරීමක් හෝ නිතරම තැටි පිපිරීමට ලක් වන්නේ නම් එයින් අදහස් වන්නේ තැටි ධාවකයේ අභ්‍යන්තරයේ කොටස් යම් ගෙවීමක් හෝ බිඳ තිබීමක් විය හැකිය. ප්‍රවේසමින් පරීක්ෂා කිරීමෙන් අදාල දෝෂය සොයා ගත හැකි අතර පලපුරුදු තාක්ෂණවේදීන් සතුව ඒවා සඳහා විසඳුම් ඇත. නමුත් බහුතරයක් එම අවස්ථා වලදී නව ධාවක ස්ථාපනය කර ගැටලුව විසඳා ගනී. 

------------------------------

ඉතිං දැන් මාධව විශ්වාස කරන්නේ කියවූ අයට යම් කිසි හෝ ප්‍රයෝජනවත් යමක් මෙම ලිපියෙන් ලැබෙන්නට ඇති බවය. ඉදිරියේදීත් මෙවැනි සුලු කරුණු මාධව අතින් ලියවෙනු ඇති අතර ඒ්වා පරිගණක ලිපි මාලාව යටතේ ලියවෙනු ඇත. පරිගණක ක්ෂේත්‍රයේ විවිධ අත්දැකීම් සමග මෙම ලිපි ලියවෙන බැවින් ආධුනිකයින්ට වැදගත් වනු ඇතැයි මාධවගේ විශ්වාසය වන්නේය.

එසේනම් ජයම වේවාය!

------------------------------

පසුව ලියන වග නම් -  ඔබගේ පරිගණක ගැටලු ද මේ බ්ලොග් පිටුවේ කමෙන්ටු ලෙස හෝ වෙනත් සුදුසු ලෙස මාධව වෙත ඉදිරිපත් කල හැකිය. එසේම මාධවට මඟහැරුනු යමක් වේ නම් එයද සිහිපත් කරන ලෙස දන්වන්නේය.

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. ඉස්සර ෆ්ලොපි ඩිස්ක් වලට වෙච්ච් වැඩේ තමයි දැන් කාලෙක ඉඳල DVD වලට වෙලා තියෙන්නෙ. DVD කඩ කරන අයත් නැති වේගන යන්නෙ

    ReplyDelete
    Replies
    1. අතීතයේ ඉන්ටනෙට් කැෆේ තිබුනා! දැන් කැෆේ නෑ!
      අතීතයේ තිබුනු මතක ධාවක ක්‍රමයෙන් ඉවත්වේගන යනවා! තාක්ෂණය ඉදිරියට යන ලෝකයක් දැන් තියෙන්නෙ! හැබැයි තාමත් ඇතැම් නගරවල ඩීවීඩී සීඩී විකුණන්න තියනවා!

      Delete
  2. පරිගණක විද්‍යාවේ මහ ගෙදර

    ReplyDelete
    Replies
    1. ස්තූතියි! ඒහෙම වෙන්න උත්සහ දරනවා!

      Delete
Previous Post Next Post

Contact Form