ශිෂ්‍යයා , මාලුවා සහ මහනුවර.....

 


- එක ~ "මහනුවර"

මහනුවර කියන්නෙ මහ අපූර්ව නගරයක්.

ඒ නගරෙ හැමවෙලේම සැරිසරන දේශීය සහ විදේශීය මහ ජනතාවට පෑගෙන වැලි කැටයක් ගානෙම මහ පුදුම හිතෙන කතාන්දර තියනව.

ඒව මහනුවර ඉතිහාස පොත් වල නොලියවුනු එකිනෙකාගෙ හිත් අදුනන කතාන්දර විතරක්ම වෙලා.

ඒව මහ පුදුමාකාර ඒව වෙන්ඩ පුලුවන්. සාමාන්ය කතාන්දර වෙන්ඩත් පුලුවන්. හැමෝම දන්න කතාන්දර වෙන්නත් පුලුවන්. නොදන්න කතන්දර වෙන්නත් පුලුවන්.

කලු සුදු කතන්දර වෙන්නත් පුලුවන්. වර්ණවත් ඒව වෙන්නත් පුලුවන්. දුක හිතෙන සතුටු හිතෙන දුක සතුට දෙකම මිශ්ර වුන කතාන්දර වෙන්නත් පුලුවන්.

කොහොම උනත් කතන්දර නොවැ..

පුදුමෙනුත් පුදුමෙ කියන්නෙ ඒ එකක්වත් කවුරුවත් හිතල නිර්මාණය කරපු කතාන්දර නම් නෙමෙයි. ඒව නිර්මාණය උනේ සොබා දහමෙන්. මහනුවර රමණීය පරිසරයම කතාන්දර නිර්මාණය වෙන්ඩ තෝතැන්නක්.

මිනිස් දුවකට ආලෙ පාපු මහනුවර වැවේ තෙප්පිලියගෙ කතාව මහ නුවර කතා අතරින් ආන්න එහෙම වැලලිලා තියන එකම එක කතාවක් විතරයි.

මහ දහවල උදා වෙන්න හෝරාවකට කලින් රැජින හෝටලේ ඉදිරි පස ශ්රී දලදා මාලිගාවෙ පිවිසුම් දොරටුව කිට්ටුවේ වැව් බැම්ම ගාව වැව් සුලගට නටන කෙහෙරැල්ලක් එක්ක ඉදපු මේ මුලු මහනුවර රාජධානියේම ඉන්න හැඩකාරම කෙල්ලට ආලේ වඩපු මාලුවගෙ කතාව...

ලා නිල් පාට සල්වාර් එකක් ඇදං ගිනි මද්දහනෙ උණුසුම පරදවලා සෞම්ය පරිසරයක් ඇති කරපු ලස්සනම ලස්සන පුංචි කෙල්ලට ආදරේ කරපු මහ නුවර වැවේ ඉන්න මාලුවගෙ කතාව...

කිසිදාක නොලැබෙන මානවිකාවක් බව දැන දැනත් දුටු මනතින්ම ආලෙන් බැදුනු මාලුවෙකුගේ කතාව

එකමත් එක දවසක පටන් තවමත් ජීවත් වෙන රස්තියාදුකාර තෙප්පිලියාගෙ ජීවිතේ අමතකම නොවන අඩ හෝරාවක කතාන්දරය...

මහනුවර ඉතිහාසයේ කිසිදාක නොලියවුනු තවත් ජීවිත කීපයක පුංචි කතාන්දරය...

.................. .................. .................. .................. .................. .................. ..................

- දෙක ~ "තෙප්පිලියා සහ කෙටි පණිවුඩය"

මහනුවර වැව හරි විසාලයි. නැලවෙන ජල ගග සීතල ඇති. මාලිගාවේ තේවා හඩ අරගෙන එන ඒ සුලග මේ වැව් මත්තෙ සිසිල රැගෙන ආයෙම මාලිගාව පැත්තටම ඇදෙනවා.තෙප්පිලි මාලුවා ගගට වැටෙන පොරි කන්න බලාගෙන නම් උන්නෙ නෑ. ඒක කිසි ගතියක් නැති කෑමක්. දවසෙම එහෙට මෙහෙට පීන පීන උන්නට කිසි ජවයක් නැති දවසක්. පොරි රසයි. ඒත් ජීවිතේ නීරස බව, ඒකාකාරී බව නැති කරන්ඩ බෑ ඒවට. අතීතයේ එක දවසකදි නිලමෙ තුමාගෙ බිරින්දෑව ගිල්වලා දාපු දූව වටෙත් රවුමක් පීනලා පීනලා පනුවෙක් දෙන්නෙක් අහුලගෙන කන්ඩ කියල හිතාන තෙප්පිලිය තවත් දිය ගැබුරෙ කිමිදුනේ ආන් ඒකයි. ජීවිතේදි තමං සොයන "ගතිය" සොයාගෙන එන්ඩ.

කිමිදෙන මාලුවා වටේට ඇති වුනු දිය රැලි අතුරුදන් වෙද්දි පේරාදෙණියට නුදුරින් පරිගණක පන්තියක කාලේ කකා ඉදපු සිසුවෙක්ගේ NOKIA C3 ජංගම දුරකතනයට කෙටි පණිවුඩයක් ලැබුන.

"මම මාලිගාවට ආවා......"

එදා හරිම සෞම්ය දවසක්. ඒ ලැබුනු පණිවුඩය ඔහුගේ සිතේ හීනියට කැලඹිලි සහගත බවක් ඇති කලා....

පරිගණක තිරය වර්ණවත් වෙලා ඈගේ රූ ඔහු ඉදිරියේ ඒ තුලින් මැවී නොපෙනී ගියා.....

.................. .................. .................. .................. .................. .................. ..................

- තුන ~ "සෙලවෙන සෞම්‍යවන්ත තුරුපත්"

ජීවිතේ ගෙවෙද්දි එක එක විදියෙ සම්බන්ධතා ඇති වෙනව. සමහර ඒව මිතුදම් වලට සීමා වෙනව. හැබැයි හිත ඇතුලෙ ඒක පුදුමාකාර ආදරයක්. ඒ ආදරේ නිසාම මිතුදම් ඉවසා වදාරන්ට වෙන්නෙ මිතුදම් හෝ රැකගැනීමට වෙන්ට පුලුවන්. හැබැයි මිතුදම් ආලදම් වලට වඩා හොද වෙන්නෙත් කාගෙ හෝ වාසනාවකට තමයි.

ඒකට කියන්නෙ මිත්රවරුණි "දෛවයේ රචනාව" කියල....

ශිෂ්‍යයා  ඉක්මණින් පන්තියෙන් නික්මුනා. කාලෙකට පස්සෙ ආයෙමත් වැව් ඉස්මත්තෙ ලස්සනම ලස්සන මලක් පිපිලලු!!! ඒ මල දැකගන්න හරිම උවමනාවෙන් ශිෂ්‍යයා  පේරදෙණියෙන් නික්මුනේ ආපු පලවෙනි බස් එකටම අත දාල. ඒක හරිම මන්දගාමී බස් එකක් කියල දැන ගත්තෙ ගොඩ උනාට පස්සෙ. රියදුරු තැන ජංගම දුරකතනයත් කනේ ගහගෙන කාටදෝ සාප කරමින් අලුත් පාරට හරවන්නෙ නැතුව පරණ පාරෙ බඩගාන්න ගත්තම ශිෂ්‍යයාට අසූ හාරදාහට කේන්තියි.

ඔහු කෙටි පණිවුඩයක් යැව්ව.

"මේ බස් එක හරි පරක්කුයි අප්ප. ඔයා දැන්ම යනවද....?"

ආන්න ඒම යැව්ව කෙටි පණිවුඩේට පිලිතුරු එනකම් ශිෂ්‍යයා  සිය දකුණතේ නියපොතු සෙමෙන් සපන්නට උනා. ඔහුට එදා දවස් මතක් උනා. ඒක බයිස්කෝප් එකක්ම තමා. හීන් හිනාවක් ඔහුහේ මුවග පැතිරුනා..

බසය ඉදිරියට ඇදුනා..උදෑසන කාලය ගෙවෙමින් පැවතුනා..

ඒ අතරතුර තෙප්පිලි මාලුවා මහනුවර වැව් තලයේ මතුපිටට පිහිනා ආවා. දැන් මහ දවාල උවත් පරිසරය මේ තරම්ම සෞම්ය ඇයි දැයි මාලුවා කල්පනා කලා..

සිහින් සිලි සිලි හඩින් වැව් ඉස්මත්තේ තුරුපත් හරිම සෞම්‍යවන්ත ලෙස නැලවුනා..

.................. .................. .................. .................. .................. .................. ..................

- හතර ~ "ඒක පාර්ශවික මීන ප්‍රේමය "

බලාපොරොත්තුවක නෙත් සේයාවන් ඕන කෙනෙක්ට අදුනගන්න පුලුවන්. ඒකට මනුස්ස ආත්මයක්ම ලබාගත්ත කෙනෙක් වෙන්න ඕනි නෑ.

කෙනෙක්ව බලාපොරොත්තු වෙමින් කල් මරන දෑස්, කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න ආදරය සොයන හදවත් ගැන අපා දෙපා සිවුපා නෙමෙයි අංශු පරමාණූ වගේ අන්වීක්ශීය ප්‍රමාණයක ඒක සෛලික ඇමීබාවෙක්ට උනත් තේරෙන්ඩ මහ කාලයක් යන්නෙ නෑ.

හැගීම් කියන දේ එහෙව් දෙයක්. ඒව දැනෙන්නෙ තවත් ආදරණීය හිතකටම වෙන්ඩ පුලුවන්.

මාලුවට දැනුනෙ ආං ඒ ආදරණීය බලාපොරොත්තු රැසක විකිරණශීලී හැගුම් කදම්බයේ උණුසුම..

මාලුව ඒ දැකුමෙන්ම ඔකද උනා. තමාගෙ වටේට බුගු බුගු ගගා වතුරේ තියන ඔක්සිජන් පෙරමින් ඉන්න අන්තඃපුර මාලු බිරින්දෑවරු අමතකම උනා.

තවත් චූට්ටක් ජලයෙන් ඉවතට ඇහැ යැව්ව.

ගොඩබිමේ වැව් ඉස්මත්තෙ දිය රලට ඔබ්බෙන් ඈත වැව් තලාව දිහා බලාන ඉන්න ඒ නිවුන දෙනෙත වෙනුවෙන් මාලුවාගේ පුංචි හදවතේ ඉඩ සම්පූර්ණයෙන්ම වෙන්වුනා.

තෙප්පිලියා සැබෑ ආදරවන්තයෙක් උනා...

ඒක පාර්ශවිකව...

"නිවුනු දෙනෙතකට

සිත් වදින සැනසුමකට

සදා බැදෙමින් දිවි ගෙවන්නට

මනුසතෙකු වූවානම්

දලදාවට වදිමි සැමදා

යලිත් නොලබන්න මීන දිවියක්

සදා සැනසෙන්න එබදු නෙත් ලග

එතෙරෙ වනතෙක් සසර ගගුලෙන්....."

මාලුවෙකුට උනත් එහෙම ප්රාර්ථනා තිබෙන්නට පුලුවන්!

මහනුවර කියන්නෙ එහෙව් නගරයක්...

නිකම්ම නිකන් වැඩකට නැති මාලුවෙක් උනත් ආලයෙන් හැගුම්බර වෙන රාජධානියක්...

අමුතු පුරවරයක්........

.................. .................. .................. .................. .................. .................. ..................

- පහ ~ "වර්ග දෙකක පෙම්වත්තු"

"මේ අයිසෙ...."

ශිෂ්‍යයා  හනික තිගැස්සුනා.

ඉහත කී කතා සිදුවීම් වලින් වසර පහකට පසුව එක්තරා වර්ශයක මැයි මාසයේ දෛවය විසින් ලියනු ලැබූ එකමත් එක දවසක සද එලියේ තනිවෙලා මහනුවර වැව් සිරි මත්තෙ අතරමං වෙලා උන් ශිෂ්‍යයා ගෙ උදේ පටන් සසල වෙලා තිබිල දැන් දැන් යාප්පුවෙන් නිසල වෙවී තිබ්බ සිතුවිලි වලට වචන බෝම්බයක් වැදුන.

"තමුසෙ ඒකිට තවමත් ආදරෙයි නේ....!"

ශිෂ්‍යයා  ආයෙමත් වට පිට බැලුව. මහ රෑක පාලු වෙලා තිබ්බ වැව රවුමෙ හොල්මන් ඉන්නවද?

ශිෂ්‍යයා  හිතුව. යකෙක්ටවත් බය නැති ශිෂ්‍යයා  ආයෙම ඉස්සරහට එබිල බලනකොට දැක්ක ජලයෙන් උඩට ඉස්සුන මීන අවතාරෙ..

"තමුසෙ ඒකිට ආදරෙයි නම් කියන්ඩ තිබ්බ ඕයි. ගොන් වහන්සෙ. දැන් මෙතන වැලපිලා කල්පනා කරල වැඩක් නෑ.."

මාලුව මේ කියන්නෙ වෙන කාටවත් නෙමෙයි තමන්ට බව ශිෂ්‍යයා  ට තේරුනා..

"මේ ඕයි. මට රහට වැව් මාලු උයන්ඩ පුලුවන්. ඒ නිසා තමුසෙ කට පරෙස්සමින් තියාගෙන කතා කරනව"

ශිෂ්‍යයා ට කේන්තියි. මේක මහ කාලකණ්නි මාලුවෙක්. වැව් මාලු බෙහෙවින්ම ප්‍රිය කරන ශිෂ්‍යයා  හිතුව. මූව කෝමෙන් හරි අල්ලගෙන බැදල කන්න ලෑස්ති උනත් මුගේ මස් නැති මාලු කට්ට ඉත්තේරුවෙන්ම මේ වගේම මාත් එක්ක කතා කරාවි.

ශිෂ්‍යයා  ට හිතුනෙ "මාධව කියල පිස්සුලියන්නෙක් ලියපු මිනී ඔලුවක කතාන්දරය" මූනු පොතෙන් කියවලා තිබුන හින්දා..

උඹ මහ මෝඩයෙක්. වැව් මාලුව නොහොත් තිප්පිලියා ආයෙ දොඩන්ඩ උනා..

උඹ මොනාද යකෝ දන්නෙ. පල් මාලුව.

ශිෂ්‍යයා  අපහාසාත්මකව කතා කරන්න හද්ද්දි මේ මාලුවා මහ සද්දෙට හිනා උනා.

ඒ සද්දෙ කාටවත්ම ඇහුනෙ නෑ. හැබැයි ශිෂ්‍යයා  ට හොදට ඇහුන.

හැබැයි ශිෂ්‍යයා  ගෙ කන් අඩි පැලෙන තරම් සදෙට නෙමෙයි, ශිෂ්‍යයා  ගෙ හදවතේ කර්ණිකා කෝශිකා පුපුරණ තරම් කම්පනේට. හදවතේ ගැඹුරටම ඇහුන.

ජීවිතේදි තමන් ඒ තරම් ආදරේ කරපු කෙල්ලෙක්ව නැතිකර ගත්ත එකට කොහේවත් යන මාලුවෙක් අපහාසාත්මකව නින්දා කරමින් සමච්චල් කරන හැටි...

ඒකිට එක පාරක් ආදරෙයි කිව්ව නම් මේ සේරම හොදට හෝ නරකට සිද්ද වේවා කියල, යාලුකම බල්ලට දාල... මේ වගේ පල් මාලුවෙක් ඉස්සරහ පදිරි වෙන්න උවමනා නෑනෙ..

ශිෂ්‍යයා  වැව් ඉවුරෙ කණ්ඩියේ ඉදගත්ත. සපත්තු දෙක ගලවලා වැව් ඉවුරෙ තියල කකුල් දෙක වතුරට දාගත්ත.

මාලුවා වැව් කණ්ඩිය කිට්ටුවෙන්ම ශිෂ්‍යයා  ගෙ කකුල් ගාවින්ම තැන්පත් උනා..

හොදයි උඹ දැනගනින් තෙප්පිලියො.. ඒකිව නැති කරගත්තෙ නෑ මං. මේ පපුවෙ ඉන්නෙ ඒකි. ආත්මීය වශයෙන්.

මාලුව හිනා උන. බාර් වල නිතිපතා අඩියක් ගහන බේබද්දෙක්ටම උරුම උන පල් හිනාවකින් ඌ ශිෂ්‍යයා  ට සංග්‍රහ කලා.

ඕන්න ඕම ඒක පාර්ශවික පෙම්වතුන් දෙදෙනෙක් මහ රෑක වාද කරගනිමින් වැව් අද්දර නිහඩ බව බින්ද.

ශිෂ්‍යයා  ගෙ පපුවෙන් පිටවුනු ගැඹුරු සුසුම නිසාම මාලුවා තව එක වරලක්වත් නොසොල්වා නිහඩ උනා. ගෙවුනු උගේ ජීවිතේ පුරාවටම එකම එක මොහොතක අත්වින්ද ලස්සනම ලස්සන පැය භාගෙක කාලයක සිද්ද උනු කතාවක් කියන්ඩ ඌ හරි බරි ගැහිලා ලෑස්ති උනා..

ශිෂ්‍යයා  ට පිටුපසින් මල්වතු විහාරයත් ඉදිරිපසින් ශ්‍රී දළදා මාලිගාවත් එදා රෑ සද එලියෙන් බැබලී බැබලී තිබුනා..

.................. .................. .................. .................. .................. .................. ..................

- හය ~ "තෙප්පිලියාගේ ප්රේමය"

උඹ දන්නවද උඹට එයාව හම්බෙලා අවුරුදු ගානක් වෙන්නැති. මම එයාව දැක්ක මොහොතින්ම ආදරේ උනා..

ඒ මගේ ආදරෙයි උඹේ ආදරෙයි කිසි වෙනසක් නෑ සහෝදරයා!

තෙප්ප්ලි උන්නාන්සෙ කියවද්දි ශිෂ්‍යයා  පුදුම උනා. මාලුවා තවදුරටත් කතා කරගෙන ගියා.

මිත්රය, ආදරේ එහෙමයි. උඹේ හිත මට දැනෙනව. හැබැයි මට ගෑනු හිතක් තේරුං ගන්ඩ බෑ. උඹ ඒකිට හදවතේ ඉස්තරම් තැනක් දීල තියෙද්දි මමත් ඒ වගේම කොටහක් ඒ ඇත්තිට පාව දීල තියෙන්නෙ.

මානසිකව මනුස්සයෙක්ට ආදරේ කරන්ඩ පුලාන් උනාට මට බෑ ශාරීරික වශයෙන් ඈව සරණපාවාගන්ඩ. මම මාලුවෙක්. ඈ බොහොම සුන්දර යුවතියක්.

මුගේ මාලු කතා. ශිෂ්‍යයා  නිහඩව හිතුව.

ඉතින් කියපන්කෝ. මොකක්ද උඹට උනේ. තමන්ගෙ ආදරේට මාලුවෙකුත් ආලේ වඩලා කියලා හිතෙනකොට ඇතිවුන ඉරිසියාව සහ විනෝදය එකතු උන ස්වරූපයකින් ශිෂ්‍යයා  මාලුවගෙන් ඇහුව.

එදා මහ කම්මැලි දවසක්. පුරුද්දට වගේ මාලු රංචුවම පොරි කන්ඩ වැව් ඉස්මත්තට පීනලා ගොහින් උන්නෙ. මම ඒ අංශෙට නෑ. කොහේවත් යන පිංගුත්තරයො රැලක් විසි කරන පොරි ටිකකට පෙරේත කම් කරන්ඩ මට උවමනාවක් නෑ.. මම හෙවනට ආව. දවල් ඉර රැස් වතුර මත්තෙන් ගහගෙන එන වෙලාවෙ මන් ඈව දැක්කෙ.

නිල්පාට ඇදුමකින් සැරසිලා... ඈ හරි ලස්සනයි. ඒ ඇස් මාව වශී කලා. හිත නිවෙන ඇස් දෙකක් ජීවිතේ අද වෙනකම් මම තාම දැක්කෙ නෑ සහෝදරයා.

හැබැයි ඒ ඇස් වල මාර දෙයක් තිබ්බ. මොකක්දෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා වගේ එකක්.

සල්වාර් එකට ඒකි හරි හැඩයි.

මූ යකෝ.. ශිෂ්‍යයා  හිතුව. එක්තරා දවසක කෙටි පයිංඩෙට අනුව මාලිගාවට ආව දවස ශිෂ්‍යයා  ට මතක් උනා....

මාලුවා දිහා බැලුව ශිෂ්‍යයා  ට උගේ ඇස් වල තිබ්බ ආදරණීය හැගීම සද එලියෙන් මොනවට පෙනුන.

ඒ සද එලියෙන්ම පොලොන්නරුව පැත්තෙ දුර ඈතක ඇගේ මංගල රාත්‍රියත් ආලෝකවත් උනා...

.................. .................. .................. .................. .................. .................. ..................

- හත ~ "ආදරණීය හමුවක්"

කෙටි පයින්ඩෙට අනුව එයා රැජින හෝටලේ ගාව ඉන්ඩ ඕනි. ආ අර ඉන්නෙ. ශිෂ්‍යයා  ඈව දුර තියාම දුටුව.

සිත කැලඹුනා. එයා ලස්සන වෙලා නොවැ. ලා නිල් පාට සල්වාර් ඇදුමක් ඇන්දම ඉන්දියානු නිලියක් වගේ හැඩකාරයි..

ශිෂ්‍යයා  හිතුව.

ලගට ගිහින් කතා කරන්ඩ කලින් ඒ සුන්දරත්වය රස විදින්න උවමනා උනත් ශිෂ්‍යයා  එනව ඈ දැක්ක නිසාම පමා නොවී පාර පනින්ඩ ශිෂ්‍යයා  උත්සුක උනා.

ඈ සුපුරුදු මදහස පෑව.

ආන්න ඒ හිනාව ශිෂ්‍යයා  ගෙ හිතේ ආදරය තවත් වැඩි කලා. හුම්........

සිහින් නදින් නැලවුන තුරු පත් මිහිරි සංගීතමය මොහොතක් ඇති කලා.

ඒ නෙත් දිහා බලාගෙනම ශිෂ්‍යයා  අතරමං උනා.

                                "මගෙ සිහිනේ ඔබයි... ඌ.. ඌ....

                                            මගෙ සිහිනේ ඔබයි... ඌඌ.... ඌඌ....

                                තනි යහනේ මගේ.... ආදරයේ....

                                            හද උණුසුම්....."

දැහැනින් මිදුනු ශිෂ්‍යයා  ඇහුව ඇගෙන්...

අද ඇයි මාලිගාවෙ...?

ආව. හිත නිවාගන්න හදාගන්න... හැමදේටම. ඈ කිව්ව. හුම්ම්....

ඇගේ පියාගෙ වියෝව ඈව හුගක් වෙනස් කෙනෙක් කරල තිබ්බ. සාමාන්‍යයෙන් ශ්‍රී දළදා මාලිගාවෙ පරිසරයේ ඇවිදල වන්දනාමාන කරල සිත හදාගන්න ඈ පුරුදු වෙලා දැන් ටික කාලයක්....

ඇතුලට යමුද එහෙනම්.... ශිෂ්‍යයා  ඇහුව.

තව ටික වෙලාවක් ඉන්න වේවි. අයියලා එනව කිව්ව.

ශිෂ්‍යයා  ගෙ හිත චුට්ටක් සැලුන. ඈත් එක්ක තනියම දළදා වදින්න තිබුනු ආසාව සිතින් අයින් කරන්න උනා.

ඒ වෙනස ඈට තේරිලාද මන්ද ඈ ආයෙම මදහස පෑව.

ඔයා අද හරි ලස්සනයි පොඩි...!!!

ශිෂ්‍යයා  කිව්වම ඈ තවත් ලස්සනට හිනා උනා. ඒ හිනාව නම් අපූරුයි. ආදරේ වැඩි වෙනව. ඒ චූටි අත් පටලගන්න හිතුන කාලෙකට ඉහතදි වගේ..

අහන්න ප්රශ්නයක් නැතුව ගොලු වෙද්දි ශිෂ්‍යයා  ට මතක් උනා ඈ දුන්නු ඉගි කන්දරාවට තමන් ගොලුවෙක් වගේ උන්නු විත්තිය..

දැන් තාමත් පරක්කු නෑ ඕයි. ශිෂ්‍යයා  ට හිතුන. යාලු වෙලා ඉන්න එකීව අතෑරපන්. මේකිව උඹේ කරන් හැමදාම බලාගනින්..

ශිෂ්‍යයා  ගෙ සිතුවිලි තර්ක කරද්දි ඒ ඇස් නිහඩ වෙලා වැවේ ඈත කෙලවර දිහාම බලාන උන්න.

ඔහුත් වැව ඉස්මත්ත දිහාවට නෙත් යොමු කලා..

වැව් දිය මතින් හමා එන සුලග ඇගේ කෙහෙරැල්ල නලවන්න උත්සහ කරා.

ඈව තුරුල් කරගෙන තදින් සිපගෙන මං ඔයාට ආදරෙයි පොඩ්ඩි කියලා කියන්න තිබුනු දැඩි ආශාව ශිෂ්‍යයා  බලෙන්ම මැඩගෙන තිබුන.

ඒ අසබඩ වැව් දියේ මාලුවෝ වරල් ගසමින් ඒ මේ අත සැරිසැරුවා..

.............................................................................................

- අට ~ "මාලුවාගේ කථා"

තමුසෙ ඔය කෝලම් කරද්දි මම උන්නෙ ඒ දිහා බලාන.

මාලුව කිව්වම ශිෂ්‍යයා  ට හිනා.

උඹ එතකොට මං වගේම ඒ ඇත්තිට ආලෙ කරනවා එහෙනම් ඇත්තටම. උඹ දැක්ක අපි දෙන්න වැව රවුමෙ කතා කර කර ඉන්න හැටි..

ඔව්. ඒ ඇත්තිට උඹ පුදුම විදියට ආදරෙයි. දැන් අද ඒකිගෙ මගුලට ගිහින් ඇවිත් වැව ඉහ අද්දරට වෙලා කල්පනා කරන්නෙත් ඒ නිසා නෙ.

හැබැයි උඹේ හිතේ තරහක් ක්‍රොධයක් , දුකක් නෑ.. සතුටින් ඉන්නෙ උඹ. හුගක් සතුටින්...

කොහෙමෙන් උනත් ඇයි ඔයැයි මනාප බව නොකිව්වෙ එයැයිට.....?

දකුණේ මාලුවෙක් වගේනෙ යකෝ මූ..

ඒක අනේ මන්ද මිත්ර මාලූ.. ඒ ගැන හිතද්දි අමුතුයි. ඈ දිහා ආදරෙන් ඈත ඉදන් බලන් ඉද්දි දැනෙන හැගීම මාරයි. අයිති කරගත්තොත් ඒ හැගීම දැනෙන්නෙ නෑ. උඹට දැනෙනව නේද ඒක. අමුතු මිහිරක්. දකිද්දි, කෝල් එකක් එද්දි, කෙටි පණිවුඩ එද්දි...

මම මාලුවෙක් ඕයි. මට කොහෙද ඕව..

හැබෑව නේන්නම්. ශිෂ්‍යයා  එහෙම හිතුව. මීන උන්නැහේ තවත් කතා කරගෙන ගියා. මම ඒ ඇත්තිව රස වින්දෙ වෙන විදියකට.

ඒ කෝමද...? ශිෂ්‍යයා  බාධා කලා..

ඇයි මාලුන්ටත් තියනවා පරචිත්ත විංඦානය කියල එකක්. ඒකෙන් උඹලට වගේම මනෝ පාරක් ගහන්ඩ අපිටත් පුලුවන්.

ඒක පාවිච්චියට අරං ඇම නොකා ජීවිතේ ගෙවපල්ලකෝ... ශිෂ්‍යයා  අපහාස කරද්දි මාලුවා ඔහේ කියවගෙන ගියා.

මාලුවෙක් උනත් ඇගේ පියකරු බවට හිත ඇදුන. මිනිහෙක් උනා නම් ඒකි එක්ක කෑම කන්න පුලුවන්. ඩිනර් එහෙකට යන්ඩ පුලුවන්. ඕනැ උනාම හෙලුවැල්ලෙන් ඉන්න පුලුවන්. ලමයි හදාන්ඩ පුලුවන්.

එත් මාලුවෙක් උන මට පුලුවන් ආලෙ කරන්නම විතරයි.

ඒ ඇස් වල නිවුන ගතියට මම මත් උනා. මාලුවෙක් විදියට මට තියෙන්නෙ බොහොම පුංචි හදවතක්.

ඒ හදවතේ ගැඹූරුම තැන මම ඈට දුන්නම ඈ පිලිබද වූ සිතුවිලි සිත්තම් කවදාවත් මැකෙන්නෙ නෑ..

ශිෂ්‍යයා  ට තේරුනා. ඇයි තමන්ගෙ හිත මේ තරම් පාරවන්නෙ කියල.. තමනුත් ඒ ඇත්තිට මේ මාලුව වගේම මිටි කල අල්ල තරම් වූ හදවතේ ගැඹුරුම තැනක් ඈට දීල.

ඈ ඒක අරක්ගෙන ඉන්නව...

ඒ ඇත්ති අද ලස්සනයිද...? මාලුව ඇහුව...

කෝට් එක අස්සෙන් වෙඩිං කාඩ් එක අරගෙන මාලුවාට පේන්න ඇල්ලුව..

මාලුවගෙ වරල් බැබලෙන්න ගත්ත. සාමාන්‍යයෙන් වැව් මාලුවෝ උන්ගෙ සහකාරියෝ හොයන් යන කාලෙට අලංකාර රතු පැහැයක් ගන්නව.

මේන් මූත් ඒ වගේම බබලන්න ගත්ත.

ඈ හරිම ශාන්තයි කොල්ලො. ඒ කොල්ල හරි වාසනාවන්තයෙක්.

හුම්ම්... ශිෂ්‍යයා  හීල්ලුවා..

මම කතාවක් කියන්නම්. මේ දළදා ව දිහා බලාගෙන පොරොන්දු වෙලා ඕ ඇත්තිට හිතෙන් යන්න දීපන්..

ජීවිතේ හිමි අහිමි වීම් විතරයි තියෙන්නෙ.. බැලූ බැල්මට එහෙම උනාට හැමෝටම දෙයක් හැම තත්පරේම අහිමි වෙනව.

දැන් බලපන් ඒ කොල්ලට ඒ ඇත්තිව හිමි උනා..

උඹට හුලං...

මාලුව මහ දාර්ශනිකයා වගේ කියෝගෙන යනව...

එකාතකට ඒක හොදයි. මට මොනාද බන් තියෙනෙ. ඉගෙනගත්තුවගෙ සහතික ගොන්නක් නම් තියනව. පොඩි පඩියකට කොන්ත්රාත් රස්සාවක් කරනව. ඒකිව බැදගෙන ඒකිට දුක් දෙන්න උවමනාවක් නෑ.

මට කතා කරල දහ සැරේකට වඩා ඇහුවම මම ඒකිව පෙලඹෙව්වෙම ඒකයි. සල්ලි තියන ස්ථීර රස්සවක් තියන කොල්ලෙක් ගැන දෙපාරක් හිතන්නෙපා කියද්දි පපුව පිච්චුන හැටි උඹ දන්නෙ නෑ මාලුවො...

කැමැත්ත දුන්නට පස්සෙත් මට කතා කරල මම එයාට කැමති උනා කියල කිව්වම සතුටක් දැනුනට පොඩි දුකක් හිතේ කොනක තියන බව තේරුනාම හුගක් දුක හිතුන මාලුවො....

කාලෙකට ඉස්සර දවසක මුලු දවසම අත් පටලගෙන ඉදල හවස සමුගැනීම වෙලාවෙ මේ පපුවට තුරුල් වෙලා අඩල අඩල ඈත් වෙලා අර පේන ඔරලෝසු කනුව ගාවදි එයා යන්න ගියේ මගේ හදවත මගෙන් උදුරගෙන. ඒ ඇස් වල මම එදා දැක්කෙ ආදරේ...

ඕ ටික කියපු ශිෂ්‍යයා  ඈත හද එලියට දිලෙන මාලිගාව දිහා බැලුව.

ගැඹුරු හුස්මක් ගත්ත.. හුස්ම ටික වැව් ජල තලේ ජල වාශ්ප කාවද්දාගෙන පපුව සීතල කලා..

ඊට පස්සෙ දූවිලි ගසා බසා ගෙන නැගිට්ට. සපත්තු දෙක අතට ගත්ත.

මාලුව දිහාට හැරුන....

ඔව් මම පොරොන්දුවක් වෙන්නම්!

හැබැයි උඹ කියන කෙහෙම්මලක් නෙමෙයි!

මම ඒකිව කිසිදාක අමතක නොකරන පොරොන්දුව.

2009.01.22 ඉදන් අද වෙනකම් මම මැරෙනතුරා ඒ පොරොන්දුව හිතේ එක්තැන් වේවි..

ආයෙ අපි හමුවෙන එකක් නෑ මිත්රය. මගේ ජීවිතේදි මහ පුදුම සිද්දින් වෙලා තියනව. මේකත් එහෙම මතකයක් වේවි.

උඹ පරෙස්සම් වෙයං මාලුවො..

මාලුවා දුකෙන් ශිෂ්‍යයා  දිහා බලා උන්න...

ඈත ආකාශෙ තාරුකා ලාවට තැනින් තැන මරණීයව දිලෙමින් තිබුන. සද වලාකුලු වලට වැසී ගොස් තිබුන....

මාලුවට සුබ පතපු ශිෂ්‍යයා  තමන් සතු මතක ගොන්නත් පොදි බැදන් මහ නුවර බන්ධනාගාර ගොඩනැගිලි පැත්තට හැරිල අන්ධකාරය තුලට ඇතුල් උනා....

.............................................................................................

- නමය ~ "ඇගේ මධුසමය"

මාලුවෙකුත් මනුස්සයෙකුත් ආලය කරපු ඒ සුන්දර යුවතිය කිසිත් නොම දන්නා මුත් ඒ දා රෑ ආදරණීය පපුවක උණුසුමට මැදිවී නිදි සුව විදිමින් උන්නා.

ඇගේ ප්රථම සහ එකම ආදරයේ මිහිර විදගනිමින්...

පුලතිසි පුර ආකාශය පුරාම පුර හද සහ තාරුකා රෑන් එලි දල්වමින් ආදරණීය යුවලට නිර්ලෝභීව ආශිර්වාද කලා..

.............................................................................................

- දහය ~ "පසු කතාන්දර."

මාලුවාත් ශිෂ්‍යයා  ත් කිසි දිනෙක යලි හමු නොවනු ඇත.

ඇය ඇයගේ නව දිවියේ දිගු ගමනක් අරඹා ඇත. දැන් ඈ මවකි. සාර්ථක බිරිදකි.

ශිෂ්‍යයා  - අන්තයටම කාබාසිනියා වී ඇත...

මාලුවා - ආගිය තැනක් නැත.

මහනුවර - පෙරදා මෙන්ම අදත් හෙටත් මිනිසුන්ගේ සහ මාලුන්ගේ මතක ගොනු ගබඩා කරමින් වැජබෙන්නේය..

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form