වරුසාවේ ගීතය.....




මහත්තයා....

කරපු පව් ගැන වමාරන්න හැටියක් නැතුව මේ අමු සොහොනෙ විදවන ඔලු කටු බොහොමයි. ඒ අතින් මම වාසනාවන්තයි මහත්තය.

ජීවත් වෙලා ඉන්නකම් මහම මහ අලුගුත්තේරු කටයුතු හුගක් කොරල තියනව.

ඒ පව නිසා හරියට වැලලෙන්නවත් පිනක් නෑ..

මහත්තය අහනවද මේ කතාව...... 

මඩ වතුරට ගහගෙන ආව මං මේ කියන කතාව..
..............................................................................................
ගම්පොල කාර්‍යාලයෙන් ඩොට්ට බහිද්දි හතරයි තිස් හයයි. ඇගිල්ල තියන්න විතරක් විනාඩියක් ගෙහුං. ඒකෙ ඇතුලෙ ඉන්න ඉන්ග්‍රීසි නෝන විනාඩියක් පුරාවටම අගේන් අගේන් අගේන් ගාද්දි ආයෙ ආයෙ ආයෙ ඇගිල්ල ගහල ගහල ගහල තද කලා බැරිම තැන. ආන් එතකොට ඒ නෝනට සුරාන්තයක් කෝම හරි ලැබිල තැන්කිව් තැන්කිව් කියල දෙපාරක්ම කිව්ව.

මාධව පොතෙත් අත්සන් කරල ඩොට්ට බැස්ස.

වෙනදට බස් එකේ එන්නෙ. අද දුං සහතිකේ ගන්ඩ කියලා ඉටාන ආව බයික්කෙ. මේ එලැඹෙන්නෙ කොහාගෙ සමය නොවැ....

හවසට සංවහන වරුශා සමය..

මහ වැස්සක ලකුණු ආකාශෙ සනිටුහන් වෙද්දි වේගය හතළිහේ තියාන උලපනේ කිට්ටුවටම එද්දි අමන වැහි දෙයියො බාල්දියක් හලනවා වගේ වතුර දාන්ඩ ගත්ත...

ආන්න එතකොට උලපනේ උඩගම හරියෙදි ඇන්ටි කෙනෙක්ගෙ රෙදි කඩයක් මාධවට පිහිට උනා. ගුණ යහපත් ඇන්ටි කෙනෙක්.

බයික්කෙ පාර අයිනෙ දාල කඩේ ඇතුලට වෙලා ඉද්දි වැස්ස තවත් තද කලා මිසක් තඹේක අනුකම්පාවක් මේ වැහි දෙයියට තිබ්බෙ නෑ. ජීවිතේ ගැටගහන්න රෝද දෙකක් මත ජීවිතේ ඔට්ටු කරන මිනිස්සු මහවැස්සෙම අඹු දරුවො වෙනුවෙන් නිවෙස් කරා ඇදෙන හැටි මාධව දැක්ක. ඒ මිනිස්සුන්ට කිසි අතුරු ආන්තරාවක් නං වෙන්ඩෙපා මාධව හිතුව.ලාංකික දුප්පත් ජීවිත..

ඒ අස්සෙ වෙනමම කතාවක් සිද්ද උනා.හැම බයිස්කෝප් එකකම ප්‍රධාන චරිතෙට ඉන්නවා පෙම්වත් නිළියක්. මේන්න දැං එයා දර්ශන තලයට එන වෙලාව....

මහ වැස්සෙම අවට පරිසරය දීප්තිමත් උනා.ඉස්සෙල්ලම දර්ශන පථයට ආවෙ මල් මල් කුඩයක්.කුඩේ යටින් ඒ කැරලි ගැහුනු කෙහෙ රැලි පෙනුන. කොන්ඩෙ කඩාන උන්නෙ. සොදුරුයි.වැහිබිඳු කොන්ඩෙට වැටිල දිලීසුන. ඒ ඇස් කෙලින්ම කඩේ වාඩි වෙලා ඉන්න තෙමුණ කුකුළ දිහා බැලුව. ඒ සුන්දර මදහස හරි අව්‍යාජයි. ‍රෝස පාටට හුරු දණහිස් දෙක පේන්ඩ තියන කොට සායක්, අත් කොට උඩු ඇදුමක් ඈව ලස්සන කලා.. ඈ සුදුයි.. කොන්ඩෙ ගසද්දි අමුතුම සුන්දරත්වයක් මතු උනා. ඈ හෙමින් කොන්ඩෙ ගසද්දි ලාවට ඇගෙ තිසරුන් සෙලවුනා..ඒ තාලෙට කුකුලගෙ සිතත් සෙලවුනා..

රොමාන්තික් සංගීතයක් නං අහල ගව්වක නෑ. ඒ වෙනුවට නන නන නන නනක් නනක්, නනන නනන නනක් නනක්, නනාආක්... පීප් පීප් පීප්.. කියාගෙන ගුවන් විදුලි සංස්ථාවෙ පුවත් විකාශය පටන් ගන්න නාදය නම් වැදුන. වෙලාවෙ හැටියට ඒකත් මදෑ..

"මේ ගුවන් විදුලි සංස්ථාවයි......."

ඉතින් ඒ විදියට සංගීතෙ ඉවර වෙලා රේවියෝවේ පුවත් පටන් ගද්දි එක සැරේට සිත ගිය ඈ මෙහෙම කිව්ව.

අම්ම මම ඔයාව එක්කන් යන්න ආවෙ..මහ වැස්සනෙ.....

එයා අම්මට ආදරේ හැටියක්. හුම්ම්..ගුණ යහපත් රූපිකාවක් වෙන්නැති..

මාව එක්ක යන්නෙ නැද්ද තෙමුන කුකුළ ඇහුවෙ නෑ, හැබැයි හිතුව. කොහොම වෙතත් ප්‍රථම දැකුමේ ප්‍රේමය හෙවත් love in first sight කියන්නෙ වෙනම කතාවක්. ඒක සත්‍යක් වෙන්ඩත් පුලාන් නෙ..

එයා ආවෙ අම්ම එක්ක යන්න.කුඩේකුත් අරන්. කඩේ අසුං අරන් ඉන්න අමුත්තා දිහා ආයෙ බලල තව මදහසකුත් පෑව. කුකුළ වගේ ඉන්න මාධව ඔකද උනා..

වැස්ස තුරුල් වෙන පාටක් නෑ. දැන් නම් පායන එක ගැනත් උවමනාවක් නෑ. පායන්ඩෙපා..දුක හිතිල නවත්තගන්නැතෑ එයැයිලගෙ ගෙදර.

අපමණ සිතුවිලි......

ඉතින් ආයෙම කතාවට...

දන්නෝ දන්නවා මිත්‍රවරුණි, මේ උඩගම කිව්වට වඩා දන්නවා මිනිස්සු ඕක වෙන විදියකට. මතක ඇත්තෝ දන්නවා කාලෙකට ඉහත මේ නාවලපිටිය ගම්පොල පාර පළල් කරද්දි ඇත්ගාල, ලක්ශෙ වත්ත පහු කරල උලපනේ පැත්තට එද්දි පාර අයිනෙ වම් පැත්තෙ පාරටම අල්ලපු මිනී පිට්ටනියත් පාරට අහු උනාය කියන එක... ඒක ටික කවදත් හරිම අද්භූතයි නොවැ.. ඉතින් සංවර්ධන කටයුතුත් එක්ක මිනී පිට්ටනියේ පස හේදීගෙන ගොහින්..කාලයක් ඕකෙ පැති කන්ඩියෙන් එලියට මිනී පෙට්ටියකුත් මතු වෙලාම තිබ්බ. බාගයක් කන්ඩිය ඇතුලෙ. ඒ කියන්නෙ මිනී වලේ... ඉතිරි බාගෙ කන්ඩියෙන් එලියෙ. පාරට පේනවා.. .

ඕන්න ඔය කන්ඩිය හෝදාගෙන එන මහාම මහ ජල කදක්, මඩ වතුර පාරක් ඇවිත් ඕ කියන ඇන්ටිගෙ කඩේ ඉස්සරහින් වැටෙනවා කානුවට.

ඔය රූපෙ තියෙන්නෙ ආන්න ඒ හෝදන් එන මඩ වතුර පාර....


 ඒ කානුවට වැටෙන වතුර පාර මොන තුත්තුකුඩියෙ යනවද කියන එක නම් කිසි විශ්වාසයක් නෑ. හැබැයි  එකක් කිරි ගහට ඇන්න සේ කීව හැකි.

ඒ තමා ගම්පොල ඇත්තො සමහරු පානය කරන්නෙ ආන්න ආන්න ඒ මිනී වලවල් ටික හෝදගෙන එන වතුර කියන එක..

මේ වතුර පාර දිගේ පොල් ගෙඩියක් විතර අයිතමයක් ගහගෙන ඇවිත් කඩේ බැම්මෙ වැටුන.. ප්ලාස්ටික් දාදු කැට සෙලවෙන සද්දෙ තමා ඇහුනෙ..

ඒක වැස්සෙ ඇහෙන නෑහෙන තරම්. අර සුදු කෙලීට දපනෙ වැටුන මාධවට ඒක නෑහුනාම තමා..

ස්ස්ස්ස්ස්... මඅජ්ජය ස්ස්ස්ස්ස්....

මහ වැස්සෙ කවුරු කාට කතා කලත් මට මොකෝ.. සිත ගිය ඇත්ති එතන ඉන්නකොට. 

රෙදි මහන කඩේ පුන්චි රේඩියෝවේ එතකොටම අපූරු සිංදු පොඩ්ඩක් වාදනය උනා..

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්න්දාරං වැස්සේ...
දවසක් දා මල් වැස්සේ තෙමුනා...

මේක මහ මුරුගසං වරුසාවක්.. මල්වරුසාවේ තෙමෙන්න ඔයා එනවද..
ඓහෙම අහන්නත් හිතුන.. එහෙම හිතිල පුන්චි කෙල්ල දිහා බලද්දි එයා තුශ්නිම්භූත වෙලා..

එතකොටම ඒ ඇයි බලද්දි ආයෙම අර හඩ ඇහුන. හීන ලොව බිදී ගියා..

ස්ස්ස්ස්ස්... මඅජ්ජය ස්ස්ස්ස්ස්....

මොකද තරහෙන් උනත් ඒ දිහා නොබලම මාධව උත්තර දෙද්දි අර කෙල්ල පුටුවෙ ඉන්ද උනා. එයාගෙ මව් තුමී ට මැසිම පෑගෙනව. මහන රෙද්ද මැහිල බිම.. නිකම්ම පෑගෙනව..නුල් පැටලිලා. අර කෙල්ල සට සට ගාල ගැහෙනව. ඇදන් ඉදපු ජැකට්ටුවෙන් සුදුමැලීව පොරවන්නත් හිතුන. තෙත බරියං උලව්ව තියාන නිකන් ඉදපන්. මාධවගෙ යටි හිත ඌටම කිව්ව.

ස්ස්ස්ස්ස්... මඅජ්ජය ස්ස්ස්ස්ස්....

ආයෙම හොදට බලද්දිනෙ බොලේ දැක්කෙ අර හේත්තු වෙලා තිබ්බෙ පොල් ගෙඩියක් නෙමෙයි ඒ විතරම මහත යටි හනුව යන්තන් එල්ලුන මිනී ඔලුවක් කියල..වතුර අස්සෙන් බාගෙට ඉස්සිලා හිටන්. ඇස් අස්සෙ මොකුත් නෑ අපාය වගේ කලුවර ඇස් කුහර අස්සෙන් වතුර දානව.

ඒ අස්සෙ පැනපු හක්ක කෝමෙන් හරි අටෝගෙන මඅජ්ජයා මඅජ්ජයා කියල කතා කරනව.

මෙන්න බොලේ හැබෑවටම කතා කරන හක්ක පැනපු මිනී ඔලුවක්..............
................................................................................................

මිත්‍රවරුණි 

මේ ලෝකේ වෙන්ඩ බැරි දෙයක් නෑ. නොවෙන්ඩ බැරි දේකුත් නෑ. හැමදේම සීයට පනහ පනහ.

එහෙව් එකේ මාධවගෙ හිත හැමදාම ඔය මධ්‍යස්ථ තැන තියනවා. බය නොවෙන්නෙත් නෑ වෙන්නෙත් නෑ වෙලත් නෑ. ඉස්සරහ දවසක පලු පලෙන්න ඇදිවතේ චූ යන්න තරම් බය වෙයිද දන්නෙත් නෑ..

ඒත් නැගිටලා ගිහින් ඒ මිනී ඔලුව අතට ගන්ඩ තරම් නිර්භීත කමක් මාධවට තිබ්බ.

අර ඇත්තිලා කෑ ගහනව..

අනේ බුදු මහත්තයෝ ඕක විසික්ක කරන්ඩ..ඕක හූනියමක්.. මහත්තයට කරදරයක් වේවි..

අර සුකුමලී ළඟ වචන නෑ.. කඩේ ආන්ටි කීව දේවල අහන්ඩ වෙලාවක් නෑ මිත්‍රවරුණි. ඕන් මාධව හිස් කබල අතට ගත්ත. කෙස් ගහක් දෙකක් ඇරෙන්ඩ අනික් කිසිදෙයක් ඉතුරුවෙලා නෑ.. හොද සවිමත් බවක් තිබ්බ ඔලු කට්ටක්. යටි හනුව දුම් පයිප්පෙ උරන එකෙක්ගෙ වගේ ඇදයි. මාධව හිස් කබල දෝතින් ගත්ත. අරන් කඩේ පැත්තක තියන බැම්ම උඩින් තියල පැනපු හක්ක කෑල්ල ගානට තව්වට වැටෙන සේ තිබ්බ. දකුණතින් හිස් කබලට දුන්න කන රත් වෙන්ඩ එකක්. 

නිසි හඩ නංවමින් හක්ක නියම තැනට වැටුනා.

පොඩි කාලෙ හක්ක පැනපු අංකල් කෙනෙක්ගෙ හක්ක ආපහු දාන හැටි බලන් ඉදපු එකේ වටිනාකම ප්‍රායෝගිකව අද ඔප්පු උනා. කාලයේ ආපස්සට තිත් යා කලාම ස්ටීව් ජොබ්ස් නිවැරදි බව ඔප්පු උනා. මාධවට සතුටුයි. ඔලු කට්ටත් කට කට ගාල හිනාවක් දැම්මට මොකද කනේ පාර සැර වැඩි බවත් මූනෙන් පෙනුන..

ස්තූතිය මහත්තය.

තෝ කවුද.. කොහොමද ඕම කතා කරන්නෙ..

මාධව උගේ නාස් කුහරෙට බයික්කෙ යතුර එබුව. ඌට හචිමක් ගිය.

හෙම්බිරිස්සාවක් හැදෙන්නත් බැරි නෑ මහත්තය. ඌ කිව්ව.

ස්වාභාවික දේවල් සමහර විට අතීතයේදි අසාමාන්‍ය දේවල් වෙන්න පුලුවන්. ඒකට paranormal කියනවනෙ. අස්සවාභාවික. ඒ වගේම ස්වාභාවික දෙයක් අතිශය ස්වාභාවික වෙන්නත් පුලුවන්. අධි තාත්වික කියන්නෙ. Super natural කියල කියන්නෙ සිංහලෙන්. Super natural දෙයක් කාලයක් එක්ක යද්දි අස්සවාභාවික හෝ ස්වාභාවික වෙන්න පුලුවන්.

මේන්න මේ හිස් කබල කතා කරන එක ආන්න ඒ කාණ්ඩයට වැටීගෙන එන්නෙ. මොකද අර කෙල්ලත් අම්මත් දැන් මේක දිහා වශී වෙලා වගේ බලන් ඉන්නවා...

කතාව පටන් ගන්න තැනට තිබ්බ දෙබසට දැන් යන්ඩ පුලුවන්..

පණ පිටින් ඉන්න ජීවිත තුනක් කන්ඩ වගේ  ඌ දිහා බලන් ඉන්නවා දැකපු ඔලු කට්ට අන්තිමේදි මෙහෙම කිව්ව

"මහත්තයා....

කරපු පව් ගැන වමාරන්න හැටියක් නැතුව මේ අමු සොහොනෙ විදවන ඔලු කටු බොහොමයි. ඒ අතින් මම වාසනාවන්තයි මහත්තය.

ජීවත් වෙලා ඉන්නකම් මහම මහ අලුගුත්තේරු කටයුතු හුගක් කොරල තියනව.

ඒ පව නිසා හරියට වැලලෙන්නවත් පිනක් නෑ..

මහත්තය අහනවද මේ කතාව...... 

මඩ වතුරට ගහගෙන ආව මං මේ කියන කතාව.."

ඒ වෙද්දි වැස්ස තුරුල් කරමින්, අඳුර ගලා එමින් තිබ්බ......

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form