ලොලීටා................ 05 - වැහි බිංදු අතුරින්




ඉතින් මිත්‍රවරුනි ඔන්න මං මේ කතාවේ තවත් ටිකක් ලියන්න පටන් ගන්නම්!
මගේ පුංචි ලොලීටා හෙවත් සෙව්වන්දියකට කළ ප්‍රේමයේ කතාව. ඇත්ත ආදරයක කතාව.  එක හදවතක විතරක් ඇතිවෙච්ච ආදරයක කතාව. ඉතිං අහපල්ලා තවත් කොටසක්. එක් දවසක මහ මග යනෙන විට තවත් අහඹු හමුවීමක සිදුවීමක්, තවත් අහඹු හමුවීමක්. මේක තවත් පිස්සු විස්තරයක් කියලා හිතන්න එපා කරුණාකර. ඇත්ත ආදරයක තත්පර ගණනක සිදුවීම් ගැන අකුරු කරන රචනාව මේ. කියවපල්ලා. තේරුන් ගන්න බලපල්ලා මේ හිතේ කොච්චර ආදරයක් තිබ්බද කියලා ඈ ගැන.................

කලින් කී ඉරිදා සිද්ධවෙච්ච හමුවීමේදී ඇතිවෙච්ච දුක් සිතුවිලි මං ආයෙත් කියන්න යන්නේ නෑ. ඒත් මට ඒ සිතුවිලි අමතක කරන්න බැරි උනා. මං ඒ දුක් එක්ක ජීවත් උනා. බලාපොරොත්තු රහිත ආදරයක් වෙලා මගේ ලොලීටා. කිසි බලාපොරොත්තුවක් තියා ගන්න මට දැන් බෑ. ඇගේ ඇස් වලින් මට ඒ ඉගිය ඒකි එදා මට දුන්නා. ඉතිං මට තවත් ඒකි ගැන බලාපොරොත්තු මත්තෙ මැරෙන්න බෑ.ඒකි ගැන ආදරේ බලාපොරොත්තු මාව තවත් දුකකට ලං කරන එක විතරයි වෙන්නේ. මං වටහා ගත්තා. මං මේ සිහිනයෙන් මිදිය යුතුයි. ඒ සිතුවිල්ල, එනම් මං සිහින වලින් මිදිය යුතු වීම මාව සැනසුවා.එදා සිට මං සිහින දකින්නෙක් පමණයි. ඒ සිහින වල ජීවත් වෙන්නෙ නෑ. ඒ සිහින මත්තේ දුක් වෙන්නෙ නෑ. මගේ පළවෙනි ආදරය මට වැදගත් වෙන්නේ  අන්න ඒ නිසයි මිත්‍රවරුනි. මාධව සිහින දකින එහෙත් ඒ සිහිනයේ ජීවත් නොවන කෙනෙක් වුනේ අන්න එහෙමයි............

ඉතිං මිතුවරුනි, මෙන්න ආයෙත් කතාව පෙර සේම........

එක හවසක මං බස් එකක එල්ලිලා හිටියා. අපොයි සෙනග අතරින් බසයේ දොර පොල්ලක එල්ලී, පැය එක හමාරක ගමනක. මං ගෙදර යන්න තව පැයක් වත් මෙහෙම එල්ලිලා යන්න ඕනි.මට මහන්සියි. ගොඩක්. මං එක මොහොතකට හිතුවේ නෑ, ඒ ගමන ඉවර කරන්න පෙර මට සෙව්වන්දියකගේ ලස්සන නුවන් යුග දකින්න වරමක් ඇතැයි කියා. ඒත් මං එදින ඈ දුටුවා. ලස්සන පුංචි කෙල්ල දකින්න මං තවත් වරමක්. බලාපොරොත්තු නොවිය හැකි ආදරේ සුරංගනාවී. තවත් එක් හවසක. පුංචි පොද වැස්සක් එක්ක! සැදෑ අදුර එක්ක ලස්සන මොහොතක්! ඒ හමුව අපේ දෙවන හමුවීම තරම්ම ලස්සන නෑ. ඒත් මං ඒ හැන්දෑවට ගොඩක් ආසයි. උඹලා හිතන්නෙ නැති දෙයක් එදා සිද්ධ උනා. ඒක උඹලට පුංචි දෙයක් වේවි දැන ගත්තට පස්සේ.ඒත්  මට ඒක මහා ලොකු දෙයක් මිත්‍රවරුණි. ලෝකයක් වටින දෙයක්. ලෝකයක් වටින මොහොතක, ලෝකයක් වටින සිදුවීමක්...

ඒ සෙව්වන්දිය අවසන් වරට හමුවී ගොඩ කාලයක් ගත වෙලා. ඇත්තටම එය හමුවීමක් නොවේ. ඇත්තටම එය අහම්බයක, ඇසිල්ලක් තුල ඒ පුංචි ලොලීටව මගේ ඇස් වලට හසුවීමක් පමණකි. ඒක හමුවීමක් යැයි මා පැවසීම වැරදියි. ඇත්තටම  මේ කියන ලද්දා වූ සියලුම සිදුවීම් අප දෙදෙනාගේ හමුවීම් නොවේ මිතුරනි. මං එසේ කීම ගැන උඹලගෙන් සමා ගත යුතුයි. ඉතිං අසාපල්ලා කතාව. ඇත්ත ආදරයක අකුරු කල විස්තරය.....


ඉතිං මං බසයේ යකඩයේ දකුණතින් එල්ලී සිටියා. ඉදිරිපස පා පුවරුවේ. මහ සෙනගක් බසය තුල හිටියා. එකිනෙකා තෙරපී. බසය තව දුර යා යුතුයි. ගමනාත්තය තව දුරයි. ඉතිං බසය බස් නැවතුම තුල සෙමෙන් සෙමෙන්  ඉදිරියට ඇදෙමින් තිබුනා. හවස අදුරුයි. හීන් වැසි පොදක් වැටෙමින් තිබුනා. මං පින්නට අසුවී මදක් තෙත බරිත වූ සුදු කමිසයක් හා කලු කලිසමක් ඇද සිටියේ. අත් නමන ලද සුදු කමිසයක්. මං බසය තුලට වන්නට උත්සහ කලා. ඒක කරන්නට බෑ.බසය තුල මහා සෙනගක් පිරිලා. මම පින්නෙන් නොතෙමී ඉන්නට උත්සහ කලා. ඒත් මාව තෙමෙනවා. අකීකරු පින්න මාව තෙමා දමනවා. ඒත් මං ඒ ගැන වැස්සට බනින්නෙ නෑ. කමක් නෑ මාව තෙමාපල්ලා. ඕන තරම්...




ඉතිං මං තෙමිලා. මගේ පෙනුම දුක්බර වෙලා ඇති. නිකංම දියාරු පෙනුමක්.... ආහා! මාධව හිතුවා. වැස්ස එන්න එන්නම වැඩි වේවි. මාධව අහස දිහා බැලුවා. අහස අදුරුයි. මාධව එක් වරම බස් නැවතුමේ සිටි පාසල් කෙල්ලන් දිහා බැලුවේ ඇයි දන්නෙ නෑ. ඒත් මාධව බැලුවා. ඒ අතර බසය හෙමෙන් හෙමෙන් ඇදෙනවා. ඉදිරියටම. මාධව පින්නෙන් තෙමිලා. මාධවගේ ඇස් වලට වැටෙන වැහි බිංදු අතරින් මාධව බැලුවා. ඒ කෙල්ලන් රෑන දිහා. ඒ ඇයි කියලා මාධව දන්නේ නෑ. දැක්ක නිසා බලන්න ඇති.

ඒත් මං අදුන ගත්තා. ඒ කෙල්ලන් අතර සිටි ලස්සනම කෙල්ල. මේ මුලු ලෝකෙම ඉන්න ලස්සනම කෙල්ල. සෙව්වන්දිය එතන ඉන්නවා. මට බසයෙන් බහින්න හිතුනෙ නැත්තෙ ඇයි මංදා. මං ඒ දිහා බලං හිටියා විතරයි. ඇය තවත් ලස්සන වෙලා. ඇගේ තොල් වල ලස්සන මං දැක්කා. ඇය පාසල් මිතුරියන් සමග හිටියත් ඈ හිටියෙ පාට ඇදුමකින් සැරසිලා. ඈ සැබෑවටම හුගක් ලස්සන වෙලා. කලින් දුටු ලස්සන හැන්දෑවේ සිටියාට වඩා ලස්සන වෙලා.

ඇය කහ පාටට හුරු බ්ලවුස් එකකින් සැරසිලා හිටියා. ඩෙනිම් රෙද්දෙන් මහපු කලු නිල් පාටට හුරු සායක් ඇදන් හිටියා වගේ මතකයි. ඈ අතේ තිබ්බා‍ පොත් ටිකක්. අනෙක් අතේ මිතුරියටත් සෙවන දුන් කුඩයක් තිබ්බා. මට ඇගේ ලස්සන විදගන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඒත් ඒ තත්පරයක කාලයට මං විශ්වාස නොකළ දේ සිදුවුනා මිතුරනි. මං හිතුවේ නෑ මෙපමණ කල් ඇයට මං ගැන මතකයක් ඇතැයි කියා. ඇය අවසන් වරට දුටුවේ මාස ගණනාවකට පෙර. එනම් පෙර කී ඉරිදා දහම් පාසල් දිනයට පසු මං ඈව දුටුවේ අදයි. ඉතිං ඇයට මාව අමතක වී ඇතැයි මං හිතං සිටියා.



ඒත් මිතුවරුනි ඇයට මාව අමතක වී නැති බව මට දැනුනා. එනම් ඇයත් මා දෙස කෙලින් බැලුවා. ඇය මාව ක්ෂණිකව හදුනා ගත්තා. ඒ බව ඇගේ මුහුනේ හැගීම් වලින් මං වටහා ගත්තා. ඇත්තටම මිතුවරුනි මට ඒ හැගීම වටහා ගන්න පුලුවන් උනා. ඇගේ මුහුනේ තිබ්බා වූ ඒ හැගීම...

      "  මේ අර මාධව................ ඔව් මේ ඌ තමයි........... "

ඇය හිතුවේ එහෙම දෙයක් වෙන්න ඇති. කෙහොම උනත් ඒ බැල්ම මාව සසල කලා. මං හිතුව දේ වැරදියි. මගේ පුංචි ලොලීටට මාව අමතක නෑ. මගේ සෙව්වන්දිය තාම මාව අමතක කර නෑ. එය මට සුභ බලාපොරොත්තුවක් වේවි. මට සිතුනා. ඉතිං මිතුරනි සිතන්න. මං කොච්චර හැගීම් බර වෙන්න ඇද්ද? මං බසයේ එල්ලී සිටින විට තියන අවදානම පවා මට අමතක වුනා. මාව වැටිලා බසයට යට උනත් මට නොතේරෙන තත්වයකට මාව පත් වෙන්න ඇති.

 " ඒයි ඇතුලට වෙයං "

ඒ කොන්දොස්තර තැන ගිරිය කඩන් කෑ ගැහුවා. මාධවගේ සිහින ලෝකය ඉවරයි. මං ආයෙත් සෙව්වන්දියගෙන් ඈතට ගිහින්. මං ආපහු හැරී බැලුවා. මං දුටුවා ඒ කහපාට බ්ලවුසය. ඒ ලස්සන කෙල්ල. මගේ හිත, මාධවගේ හිත පාලුවේ තනි උනා. ආයෙත්. බලං ඉන්න ඇය දිහා. ඇය නොපෙනී යන තුරුම. මාධවගේ හිත කිව්වා. ඒත් මාධව බස් රථයේ ඇතුලට වී ඈ දෙසින් සිය නෙත් ඉවත් කර ගත්තා. දෙව් දුවක් බදු සෙව්වන්දිය ආයෙත් ඈතට යන වග මාධවගේ හිතට දැනුනා. මාධවගේ දිග සුසුම් ඒ දුක නිවන්න ප්‍රමාණවත් නෑ. ඒත් එක් කරුණක් මාධවට සතුට ඇති කලා. ඒ ඇගේ මුහුනේ තිබුන ඒ හැගීම. මාධව ගැන ඇය මොහොතකට හෝ කිසිවක් සිතා තිබුන බවක හැගීම. ආහ්! ඒක මට සැනසීම ඇති කලා.



ඉතිං මිතුරනි. ආදරයේ කතාවෙන් තවත් කොටසක් මං මෙතනින් ඉවර කරන්නම්.තව ටික කාලයක් මේ කතාව කියන්න වේවි. සෙව්වන්දියකගේ හෙවත් මගේ පුංචි ලොලීටා පිලීබද ඇත්ත ආදරයේ කතාව. තනි හදවතේ හුදකලාව ඇතිවූ ආදරයේ කතාව. ඉතින් මිතුරනි. අදත් තව එක් විරාමයක් තියමු. ආයෙත් හමුවෙන තුරු ලොලීටා එක්ක..... මාධවගේ ලොලීටා............

-----------------------------------------------------------------------------------
ලොලීටා....................... 01        ලොලීටා....................... 02
ලොලීටා....................... 03        ලොලීටා....................... 04

----------------------------------------------------------------------------------

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. කතාව ඇත්තටම ලස්සනයි යාළුවා... දිගටම ලියන්න....

    ReplyDelete
  2. thanKX dinesh! thawa episode tikak thiyanawa! :) thankX again!

    ReplyDelete
Previous Post Next Post

Contact Form