ඒක හරිම අලුත් ගෙදරක්,
ඔව්, ඒක අලුතෙන්ම ගොඩ නඟපු ගෙදරක්. අලුත් විදියට විශාල ජනෙල්. අලුත් ක්‍රමයට විදුලි ආලෝකයන්. සේරටමත් වඩා අලුත් ක්‍රමයකට තීන්ත ආලේප කරපු පෙට්ටි ආකාරයේ ගෙදරක්. සුදු පාට තීන්ත ආලේපිත උලුවහු.
පරණ වලව්වකට ඉස්සරහින් හැදුන තරු පන්තියේ නිවසක්. පුරාණ වලව්ව දිරා යන තරමට අලුත්වැඩියාවන් කරන්න පුලුවන් කම තිබුනට, මුදල් අඩුපාඩු නොවුනට පරණ වලව්වෙ ඉන්න අකමැති කමටම වලව්වෙ වර්තමාන හිමිකරුගේ සංකල්පයට ගොඩනැගුනු අලුත් පන්තියේ ගෙදරක්..…
එක්තරා නිහඩ රැයක ඒ මූසල නිහඩ තාවය බිඳිමින් පරණ තාලේ තුවක්කුවක වෙඩි සද්ද තුනක් ඇහුනම අවට බල්ලෝ බුරන්න ගත්තා. ඒ සද්දෙට ගමේම මිනිස්සු වලව්වට එක් රැස් උනාම දැක්කෙ එකම එක දර්ශනයයි.
ඒ දර්ශනයට අනුව,
වලව්වෙ වර්තමාන හිමිකරුවා හෙවත් අතීතයේ පුංචි හාමු කියලා ගමේ අය කතා කරපු ජෝ මහත්මයා සෝපාවෙ ඉඳගෙන ඉන්නවා. ඔහුගේ අතේ පරණ තාලේ තුවක්කුවක්, තුවක්කු කටින් දුම් දානවා.
සාලයේ මැද්දෑවට වෙන්න බිම වැටිලා ඉන්නවා කවුරුත් නොදන්න මනුස්සයෙක්. කවුද කියලා අදුනගන්න බැරි තරමට හිස් කබල කුඩේ කුඩු වෙලා ඉහේ මස් කෑලි සාලයේ පැත්තක විසිරිලා තිබුනා. ඉහෙන් ගලන රුහිරු කලු ලේ රතු පැහැ වෙන්න අරන් තිබුනේ අම්ලකර වායුවේ මිශ්‍ර වීමත් සමඟ. අලුත් සුදු බිත්තියේ පැත්තක ලොකු රතු පැල්ලම් තිබුනා.....
සාලයේ එහා මුල්ලේ බිම වාඩිවෙලා ඉන්නවා ජෝ මහත්තයාගේ තරුණ බිරිඳ නිවර්තනා. ඇයගේ හිස තිබුනෙ ඇයගේම දනහිස් අතර සැඟවිලා. අඳුරු කහ පාට ආලෝකය පැතිරිලා තිබුන සාලයේ පිපිරුණු වෙඩි හඩින් පස්සේ හෝරාවකට පමණ නිහඩ වෙලා තිබුන පරිසරයේ නිහඩ බව බිඳුනේ පොලීසියේ සයිරන් නාදයට.
පැය කීපයකින් නීති කටයුතු ඉටු වෙද්දි ජෝ මහතා විලංගු ලා රැගෙන ගියා. නන්නාදුනන මිනිසාගේ මල සිරුර තවත් රියකින් රෝහලට රැගෙන ගියා. වැඩටවත් කවුරුත් නැති ගෙදරක තනි උනේ නෑ කවුරුත්. නිවර්තනා නෝනාව ඇයගේ දෙමාපියන් ඇවිල්ලා එක්කගෙන ගියා. ඒ ඇයගේ මහ ගෙදරට.
පාලු වලව්වට ඉස්සරහින් පාලු මැකෙන්න හදපු අලුත් ගේ කාත් තවුරුත්වත් නැතිව පාලුවට යන්න පටන් අරන් දැන් සති දෙකක්. ගමේ මිනිස්සු අතර කසු කුසු පැතිරුනා. කතා කල නොහැකි අන්දමේ අසභ්‍ය කතාද නොතිබුනා නොවෙයි. ඒත් අභිරහසක් ඉතුරු උනා. වෙඩි කෑ මල මිනිසා කවුරුන්ද?
---------------------------------------------------------------
වසර පහලවකට පෙර ~
එක තරුණ මිනිහෙක් අම්පාර නගරයේ බයිසිකලයක නැගලා දාඩිය හෙලමින් ඒක ධාවනය කලේ ගම්මානය දිහාවට. බයිසිකලයේ තිබුනේ පාන් පෙට්ටියක්. හිරු යන්තමින් අවදි වන උදෑසනම ගම්මානයට පාන් සැපයීම මෙන්ම දෛනික ජීවිත ගැටගසා ගැනීම අරමුණු කොට ගත් මේ මනුස්සයා හැමදාම විඩාව නොබලා පාන් පෙට්ටිය බයිසිකලයේ බැඳගෙන ගමට ගියා. අම්පාර කියන්නෙ මේ කියන කාලයේ බොහොම දුෂ්කර වගේම යුද්ධයෙන් දැඩිව බැට කන කාලයක්. ඒ කාලයේ උනත් මේ මනුස්සයා අඛණ්ඩව මොන අසනීපය තිබුනත් ගම්මුන්ට පාන් සප්පායම් කලා. වැව් මණ්ඩි දිගේ බයිසිකලය පැදගෙන ගමට යන මේ තරුණයා ආපහු එන්නෙ පාන් සියල්ල විකුණුනාම.
ඒ පාරේ ගම්මාන වල මිනිස්සු ඒ මනුස්සයගේ පාන් මිලදී ගත්තෙ ඇත්තටම ඒ පාන් රසවත් නිසා.
දවසක්දා මිනිහා කැලේ මැදින් බයිසිකලය පාගද්දි උදෑසන පහට පමණ ඇති. එක සැරේට පාරට පැනපු කැලෑ ඇඳුම් ඇඳගත්තු මනුස්සයෙක් බයිසිකලය නතර කරලා හස්ත සංඥාවෙන් ඇහැව්ව, මොනාද කන්ඩ තියෙන්නෙ?
ඒ ඇඳුම අඳුනගත්තු පාන් මනුස්සයා මුකුත් නොකියා බයටම පාන් රාත්තලක් අරන් අර මනුස්සයා අතට දුන්නා. නිහඩව කෘතඥ බැල්මක් හෙලපු කැලෑ ඇඳුම් ඇඳපු තුවක්කුධාරියා ආපහු කැලේට වැදුනා. කවුරුත් මේක දැක්කද කියලා වට පිට බලපු පාන් මනුස්සයා නිහඩව දිග හුස්මක් හෙලලා ආපහු බයිසිකලය ගමට පාගන්න උනා.
හැම සතියකම මේ කටයුත්ත ඒමම සිද්ධ උනා. පාන් ගෙඩියක් වෙනම මේ කැලෑ මනුස්සයාට ඔතලා දෙන්න තියාගත්තා. අවුරුදු ගාණක් ගියා. යුද්ධය අහවර උනා. යුද්ධෙ නිමාව පටන් ගත්තු උච්චතම කාලේ පාන් විකිණිල්ලත් නතර උනා. පාන් මනුස්සයා අතුරුදහන් උනා. ගමේ අයටත් ගානක් නෑ. අම්පාරේ බේකරි අයිතිකාරයාටත් ගාණක් නෑ.
හරියට ගගේ මූදෙ දැම්ම වගේ අතුරුදහන් වෙච්ච පාන් විකුණන්නෙක් ගැන කවුරු කරදර වෙන්නද? යුද්ධෙ දිනපු ආද්ලාහයෙන් මුළු රටම ආනන්දයෙන් පිනා ගියපු සමයක, කවුරුත් මොකට කරදර වෙනවද?
කාත් කවුරුත් නැති පාන් වෙළෙන්දෙක් ගැන................…
ඒත් ඇත්තටම කරදර උන කෙනෙක් හිටියා. නව යොවුන් තරුණියක් ඇත්තටම ඔහු ගැන සිත පුරා වඳ වෙමින් නොකා නොබී කල් ගෙව්වා.. ඔහු ගෙනා සුවඳ නැතිව....................
--------------------------------------------------------------------------
තවත් වසර කීපයකට පෙර ~
සමහරුන්ට පොඩි දරුවො කාලෙම යම් යම් සිදුවීම් දැඩිව බලපානවා. දර පෝරණුවේ පාන් කෑල්ලක් කන්නවත් බැරි තරම් අහේනියක් තිබුනු ගමක උන්නු පුංචි ගෑනු ළමයෙක් දවසක් දා කඩ මන්ඩියේදි පුංචි තේ කඩේක වීදුරු අල්මාරියේ තිබුනු සුවඳ හමන දර පාන් කැබැල්ලකට ඉව අල්ල අල්ල ඉඳපු හැටි මතක් වෙද්දි ගෑනු ළමයගේ ඉහේ කැක්කුම අල්ලනවා. ඉන් පස්සේ බොඳ වෙලා පේනවා අම්මා ඇගේ අතින් ඇදගෙන යන හැටි. මුදලාලි උන්නැහේ උපහාසෙන් හිනා වෙන හැටි. ගමේ මිනිස්සු දාං ඇදිල්ල පැත්තක තියලා දර පාන් පෙරේති කියලා උසුලු විසුලු කරන හැටි. පුංචි දරුවෙක්ගෙ මානසික තත්ත්වය තේරුන් ගන්න තරම් ගම්මු දියුණු නැති උනත් සහකම්පනයක් නැති වෙන්න බැහැ.
ඒ පුංචි දරුවා එදා ඒ දැනුනු සුවඳ හැමදාම හෙව්වා. ඉන් පස්සේ කවදාවත් කොච්චර පාන් කෑවත් ඒ සුවඳ මතක් වෙලා ඉහේ කැක්කුමක් හදාගෙන බොහෝම දුකින් කල් ගෙව්වා. ආන්න ඒහෙම කාලෙක තමා අහම්බෙන් ගමට ආව දේහදාරී තරුණයාගෙන් ඒ සුවඳ ලැබුනෙ.
තමන්ගෙ ඉහ රුජාව සම්පූර්නයෙන් නැති කරපු ඒ මනුස්සයාගේ සුවදට ඇය ලෝබකමින් ආදරය කලා. ඒක දර පාන් සුවඳැති ආදරයක්......
-----------------------------------------------------------------------
වර්තමානය ~
මරණ පරීක්ෂණය අනුව වෙඩි දෙකක් වැදිලා තිබුනා. පළවෙනි වෙඩිල්ල වැදුනට මැරිලා නැහැ. පළවෙනි වෙඩිල්ලෙන් විනාඩි කීපයකට පස්සෙ අනික් වෙඩි දෙකම තියලා තිබ්බා. ඒත් තුන්වැනි වෙඩිල්ලක් මල මිනියේ කොහේවත් නැහැ. ඒක වැදිල තිබුනා නිකම්ම බිමට.
අනුමාන කලාම සිදු වෙලා තිබුනෙ පළවෙනි වෙඩිල්ල මඟ හැරිලා දෙවැනි තුන්වැනි වෙඩි උණ්ඩ වලින් තමා මේ මනුස්සයාට මරණය ගෙනැවිත් තිබුනෙ. මොකක්ද මේක? රහස් පරීක්ෂක කන්ඩායමට ලොකු ගැටලුවක් වෙලා තිබුනා. මැරුණ මනුස්සයා කවුද? ඇයි මෙච්චර වත්කමක් තියෙන ජෝ මහත්මයා මේ මනුස්සයට වෙඩි තිබ්බෙ?
එතකොට එච්චර දෙයක් වෙද්දි නිවර්තනාට සිද්ධ උනේ මොකක්ද? ඇය තවමත් අවසිහියෙන්. ඇත්තටම අවසිහියෙන්ද?
පොලීසිය ඇයගෙන් දැඩිව ප්‍රශ්න කරන්න තීරණය කලා.
හැබැයි පොලීසියේ අවාසනාවට ඇය පුංචි ලියුමක් ලියලා තමාගෙම කාමරය තුල සිය දිවි නසාගෙන තිබුනා.
"ජෝ අහිංසකයි. මේක අවාසනාවන්ත දර පාන් ගෙඩියක කතාවක්.......
මීට එයාගෙ නිවර්තනා!"
ලියුමේ තිබුනෙ එච්චරයි.
මෙතන මිනීමරුම සිදු වූයේ කෙසේද කියලා අවසානයේ ජෝ මහතා පොලීසියට කට උත්තරයක් ලබා දුන්නා. මෛාකද තවත් හංගන්න දෙයක් තිබුනෙ නෑ. ජෝ මහතා ඇගේ තත්ත්වය පැහැදිිලි කලා. ඇය මානසික අවපීඩනයට බේත් අරගත්තු කෙනෙක් බවත් ඔහු වෛද්‍ය වාර්තා පෙන්නමින් පැහැදිලි කලා. හදිසියේ පැමිණ මරණය ළගා කර ගත් අමුත්තා ගැන කිසිවක් ජෝ මහතා නොදන්නා බවයි පෙනී ගියේ. ඒ අනුව ඔහු නිදහස් කර දැමුනා.
අදාල කාරණා අනුව ඇයගේ ඔලුව විකල් වෙලා දිවිනහගෙන ඇති බව පොලීසිය තීරණය කලා. තරුණ ජෝ මහතා නිදහස් උනා. මැරුණ මිනිසාගේ අනන්‍යතාවය සොයාගෙන ඒ කටයුතු අහවර උනු සැනින් ගොනුව වහන්න පොලීසිය තීරණය කලා.
------------------------------------------------------------------------
පාන් වෙළෙන්දා අවුරුදු ගාණක් ගම්මානයට ගෑටුවට නිකම් හිටියෙ නැහැ. පාන් වෙළදාමේ යෙදෙනකොට හමුවුන තරුණියක් එක්ක හිතවත් උනා. පාන් වෙළෙන්දා හැමදාම ඇයට සීනි බනිස් ගෙඩියක් අරගෙන යන්න පුරුදු උනා. ඇය ඔහු පැමිණෙනකම් මඟ බැලුවා. පාන් වෙළෙන්දාගේ පිවිතුරු පෙමට, අපූරු කතා විලාශයට, පාන් වෙළෙන්දෙක් තුල නැති අපූරු පෞර්ශයට ඇය වශී උනා. දේහදාරී තරුණ පාන් වෙළෙන්දෙක්. ඇය අහිංසක පාසල් යුවතියක්. ඉඳහිට ඇයට ලැබුනු පුයර එකක්, කරාඹු අරුංගල් යුගලයක් ආදී වශයෙන් ලැබුනු තෑගි ඇයගේ පුංචි අල්මාරි කෑල්ලක කෙලවරක කාටත් හොරෙන් හැංගිලා තිබුනා. ඒ හැම එකම දර පාන් සුවඳයි.
ඉතින් ඇය දර පාන් සුවඳට දැඩි සේ ඇලුම් කරන්නට වුනා. ඒක දර පාන් සුවඳැති ආදරයක්.
අම්පාර නම් දුෂ්කර පැත්තකත් ප්‍රේ මයේ මල් කිනිති පිපෙන්නට පටන් අරන් තිබුනා. ඒ කරුණු එහෙම්ම තියෙද්දි යුද්ධයේ ගිනි දැල් ඇවිලුනා. එක දවසකින් පස්සේ පාන් වෙළෙන්දා සදහටම අතුරුදහන් උනා. චිත්ත පීඩා විඳපු සිසුවිය සිත එකලාසයක් කරගෙන ලස්සන තරුණියක් වෙලා විශ්ව විද්‍යාලයට ඇතුල් උනා. ඉගෙන ගත්තා. හොඳ තැනකින් කසාදයක් කර ගත්තා. හැබැයි දර පෝරණුවේ පිලිස්සූ පාන් අඩංගු පාන් පෙට්ටියේ ඒ අපූරු සුවඳ ඇයගේ හිත තුල කෙලවරක අමුතු විදියට හැමදාම සෙල්ලම් කලා.
ඇයගේ විවාහය තුල සුලු සුලු දෙදරීම් ඇති වුනේ පළමු දා ඉඳලාමයි. ඒ ඇය දර පාන් සුවඳට ඉමහත් ලෙස පෙම් කරපු නිසා වෙන්නැති.
-------------------------------------------------------------------------
ජෝ අලුත් ගෙදර හැදුවෙ නිවර්තනා වෙනුවෙන්මයි. වලව්වට ආපු දවසේ ඉඳලම හීනෙන් බය වෙන ඇය අඳුරු වලව්වෙ තනි වෙනවට කැමති උනේ නැහැ. විශ්ව විද්‍යාලේ නාට්‍යයක දුක්බරව ඇස් වලින් ඉඳි බිඟි පෑව පුංචි කෙල්ල නිවර්තනාව ජෝ දැක්කෙ එදාමයි. අවසන් වසර වෙද්දි කෝම හරි ඇයගේ අත ගන්න ජෝ සමත් උනා. ජෝ දර පාන් කන්න ආසයි. ඇයත් දර පාන් වලට පෙරේතයි. ඇයට හිතෙන්න ඇති දර පාන් කියන්නෙ ඇගේ ජීවන හිමිකරු හොයා දෙන ජීවන සුවඳ වගේ එකක් කියලා. පළවෙනි පාරට කැන්ටිමේ අන්තිම දර පාන් කෑල්ලකට පොර කාපු දෙන්නා අවසානයේ එකම කෑල්ල දෙකට ඉරාගෙන පරිප්පු නැති පරිප්පුවේ පොඟවාගෙන කද්දි ඇස් වලින් කතා කරන්න පුරුදු වෙලා.
ඒ විශ්ව විද්‍යාල පෙම නතර උනේ ජෝත් එක්ක ඇය අතිනත අරගෙන.
අතිනත ගත්තට මොකද මුල් දවසේ ඉඳලම ඇය උන්නු අමුතු සොභාවය නිසාම ජෝ තීරණය කලා වෙනම නිවසකට යන්න. ඒ වෙද්දි ජෝගෙ පවුලේ අනික් අය විදේශ ගත වෙලා. ජෝ ගේ මව පියා දෙදෙනාම අන්තරා උනා විවාහයෙන් කෙටි කලකින්. ඒ මරණ වලින් පස්සෙ නිවර්තනා තනියම ඉන්න කැමති උනේම නැහැ. රැකියාවට ගිහින් එන ජෝ හැමදාම දැක්කෙ බය උන ඇස් වලින් ඉන්න නිවර්තනාව. ඇයට මනෝ වෛද්‍ය සහය ලබා දුන්නත් ඇය ප්‍රකෘති තත්වයට පත් උනේ නැහැ.
අන්තිමට ජෝ සිය පුද්ගලික ධනය යොදවලා අපූරු මන්දිරයක් නිර්මාණය කරලා ඇයට එහෙට අරන් ආවෙ දැන් වත් ප්‍රශ්න අහවර වෙයි කියලා…
-----------------------------------------------------------------------------------
සුමංගල කියන්නෙ ආරක්ෂක ඔත්තු සේවයේ තරුණයෙක්. ත්‍රස්ථවාදී සංවිධානයේ ඔත්තු බලන්න පත් කරලා ඉඳපු ඔත්තු කණ්ඩායම සමඟ පනිවුඩ හුවමාරුවට ඔහුව පත් කරලා තිබුනා. ඒක හරිම අහිංසක රාජකාරියක්. හැමදාම පාන් වෙළෙන්දෙක් වගේ අම්පාර පැත්තේ ගමකට බයිසිකලයෙන් ගිහින් පාන් ගෙඩිය දීලා එන්නයි තිබුනෙ. හැබැයි පාන් ගෙඩියේ තිබුනෙ දේවල් මුකුත් සුමංගල දන්නෑ. ඔහුට ලැබෙන පාන් ගෙඩිය හැමදාම මාර්ගයේ මැද්දට පනින කැලෑ ඇඳුම් මිනිසාට දුන්නම ඔහුගෙ රාජකාරිය අහවරයි. ආයෙ ඊළග සතියෙ යනකම් ඔහු සාමාන්‍ය පාන් වෙළෙන්දෙක්. ඉදහිට පනිවුඩ දෙක තුන යැවෙන දවස් තියනවා. යුද්ධෙ අවසාන කාලය වෙද්දි ඔවුන්ගේ අරමුණු ඉටු උන නිසා සුමංගලට වේදනාවෙන් උනත් ආපහු මූලස්ථානයට එන්න වෙනවා.
ඒ හැන්දෑව ඔහුට තාම මතකයි. සමු ගන්නා බව නොකියාම සමුගැනීමට වීම හරිම අපහසු කාරණාවක්. ඇත්තටම වේදනාවට හේතු තියනවා. පුංචි අහිංසක පාසල් යන කෙල්ලෙක් උන නිවර්තනාව අමතක කල නොහැකි වේදනාව. ඇයට අවසානයට දුන් හාදුව ඒ වැව් කණ්ඩියේ මහ විශාල නුග ගස මුලදි...…
කිසිදාක අමතක නොවන අහිංසක ප්‍රේමයක්..…
මූලස්ථානයට අනුයුක්ත කර පැමිණි ඔත්තු සේවාවේ ඔවුන් විදේශ රටක පුහුණුව සහ සේවය සඳහා යොමු වෙනවා. සුමංගල ආයේ එන්නෙ අවුරුදු 15කට පස්සෙ.............…
ඒ වෙද්දි ගොඩක් දේවල් සිද්ධ වෙලා. වෙනස් නොවුනේ ආදරණීය හදවත් වල හැඟීම් විතරයි.
-----------------------------------------------------------------------------
ජෝගේ ඉවසීම හමුවේ නිවර්තනා ඇත්තටම ඔහුට ආදරය කරන්න ගත්තා. ප්‍රේමයක් අමතක කිරීම පහසු නැහැ. කාන්තාවක් කෙනෙක්ට ප්‍රේම කරන්න ගත්තාම ඒ හාමුදුරු කෙනෙක් උනත් අදාල නැහැ. ඒ හිඟන්නෙක් උනත් අදාල නැහැ. ඇය ප්‍රේම කරනවා. ඇය වෛර කරන්න ගත්තාම ඇය වෛර කරනවා තමන්ගෙ දරුවට උනත්. ඒකනේ ඇය කාන්තාවක් වෙන්නෙ.
ඒ නයින්, ජෝට ආදරේ කරන්න අරන් ටික දවසකින් ඒ මූසල දවස උදා වෙනවා...............…
--------------------------------------------------------------------------------
ලංකාවට ආපු සුමංගල අම්පාරට යනවා නිවර්තනාව හොයාගෙන. අවුරුදු පහලවකින් පස්සෙ උනත් ඔහුගේ හිතේ බලාපොරාත්තුවක් තියනවා. ඇයගේ ගම්මානයේ දෙමාපියන්ගේ තොරතුරු අනුව ඔහු බිඳුනු බලාපොරොත්තු ඇතිව කොළඹ පැමිණෙනවා. ඔහු සිය නිල නිවාසයේ කල් ගෙවන්නෙ අසීරුවෙන්. නිවර්තනා ඉන්නා තැන සොයාගත් ඔහු ඇයගේ නිවෙසට යන්නේ ඇයව පුදුමයට පත් කරමින්.
ඒක හරිම අලුත් ගෙදරක්,
ඔව්, ඒක අලුතෙන්ම ගොඩ නඟපු ගෙදරක්. අලුත් විදියට විශාල ජනෙල්. අලුත් ක්‍රමයට විදුලි ආලෝකයන්. සේරටමත් වඩා අලුත් ක්‍රමයකට තීන්ත ආලේප කරපු පෙට්ටි ආකාරයේ ගෙදරක්.
පරණ වලව්ව ට ඉස්සරහින් හැදුන තරු පන්තියේ නිවසක්. වලව්ව දිරා යන තරමට අලුත්වැඩියාවන් නොවුනට පරණ වලව්වෙ ඉන්න අකමැති කමට වලව්වෙ වර්තමාන හිමිකරුගේ සංකල්පයට ගොඩනැගුනු අලුත් පන්තියේ ගෙදරක්..…
ගෙට ඇතුලු උන පුද්ගලයාව හඳුනා ගත් නිවර්තනා එක් වරම සාලයේ සෝපාව උඩට කඩාගෙන වැටෙනවා. ඉන් පස්සෙ රත් පැහැති ඇස් ඇතිව නැඟිටින ඇය තමන්ගේම හිසකෙස් අවසිහියෙන් ඇදගෙන ගෙයින් පිටවෙලා වලව්වට දුවනවා. ඇය ආපහු එන්නේ පරණ කානු දෙකේ තුවක්කුවක් දෑතින්ම අරගෙන.....
ඒ රැයේ නිහඩතාවය බිඳිමින් පරණ තාලේ තුවක්කුවක වෙඩි සද්ද තුනක් ඇහුනා. ජෝ කාමරයේ ඉඳන් දුවගෙන එද්දි නිවර්තනා දුම් දමන පැරණි තුවක්කුව අතේ තියාගෙන ඉන්නවා. පළවෙනි වෙඩිල්ල අහක ගිහින් තිබුනා. දෙවැනි වෙඩිල්ල තියන්න කලින් ජෝ ඉස්සරහම ඔහු තුවක්කු කට අරගෙන හිස මත නිසි පරිදි තබාගත්තා. එතකොටම ඇය තුවක්කුව පත්තු කලා. ඔහු විසි වී බිමට ඇද වැටුනා. ඇය ඔහු ළගට ගොස් දෙවැනි වෙඩිල්ල පත්තු කරද්දී ඇය ඔහු දෙස ශාන්ත ලෙස බලාගෙන හිටියෙ. දෙවැනි වෙඩිල්ලට මුලු හිස් කබලම සීසී කඩ විසිරුනා.
"මං ආයේ කවදාවත් දර පාන් කන්නෙ නෑ.”
සන්සුන්ව එහෙම මුමුණපු නිවර්තනා සාලයේ කෙලරව බිම වාඩි වෙලා දනිස් අතරේ සිය හිස රුවාගෙන නිහඩ උනා.