නැගිටලා නොගියත් මං එදාට ඇවිදින් ඔයාව පෝරුව ලගට එක්කන් ගිහින් ලස්සනට එයාට භාර දීලා ආපහු ඇවිල්ල මේසයක වාඩි වෙලා සිසිල් බීම එකක් බොනවා. ඒ මනුස්සයා තරම් ඔයාව බලාගන්න කෙනෙක් තව නැතුව ඇති. හැබැයි මම එහෙම කෙනෙක් නෙමෙයි. මට තියෙන්නෙ ඔයා ගැන ලෝබකමක්.…
පෝරුව මත්තෙ අෂ්ඨක හඩ අතර ඔයාලා දෙන්නා රන් හුයෙන් බැඳෙනකොට මට ඒක හිනාවකින් විඳගන්න පුලුවන්. ඇයි බැරි?
සැරසිලි මල් අතරින් දැල්වෙන පහන් දැල්ලක් දිහා බලාගෙන හීන ලෝකෙක තනිවෙන්න පුලුවන් වෙයි. පුංචි ඇපල් කෑල්ලක් හපන ගමන් හීනියට..…
හැබැයි මට එක දෙයක් කරගන්න බැරිවෙයි.......…
කොච්චර උවමනා උනත් ඔය දුඹුරු දෙතොල් සිපගන්න බැරිඋන එකේ සිදුර වහගන්න බැරිවෙයි........
කොච්චර උවමනා උනත්.........…
ඔය ඇස් මා දිහා කෙලින්ම බලලා කියන්නෙ ඒ දෙතොල් සිපගන්න කියලා නෙමෙයි නේද?
දිල්!
එක්කෝ මූ ඔයාව අතෑරලා යයි!
ඊට පස්සෙ මට බැරි නෑ ඔයාව ඔයා ආසා උන ලිලී මල් පිපුණු සානුවක එක්කන් යන්න. ඒ මැද තෘණ භූමියේ වැතිරිලා ලානිල් පාට අහස දිහා බලාගෙන ඉන්න බැරි වෙන එකක් නෑ.
ඔයා දන්නවද දිල්?
මූට කොන්දක් නෑ.
කොන්දක් තියනවානම් මූට පුලුවන් වෙන්නෙපැයි කෙලින්ම මට කියන්න
උඹ මගේ කෙල්ලට ලං වෙන්නෙපා කියලා
ඌටත් ඔනි ඔයාව මගේ ඇඟේ ගහලා පැත්තකට වෙන්න නෙමෙයි කියලා ඔයාට ඉත්තේරුවෙන්ම කියන්න පුලුවන්ද?
හෙට අනිද්දා බඳින්න ඉන්න ඔයාට, මෙහෙම අනීවාරතේ නිකං පිස්සුවෙන් ඔයා ගැන ආසාවෙන් උවමනාවෙන් ඉන්න කෙනෙක්ව හම්බෙලා එන්න කියලා ඉඩක් දෙන්න?
ඌට පිස්සු!
ඔයාට පුලුවන්නම් මං එක්ක එන්න...........................................…
මං අද කියන්නම්! ඌ කවදාහරි ඔයාගෙ බෙල්ල මිරිකයි. නැතිනම් ඔයාටම බෙල්ල මිරිකගන්න තරම් වදයක් වෙයි.
මං කියනදේ අහපන් දිල්!!!
---------------------------------------------------------------------------
මාධව
එයා මට ආදරෙයි,
ඒ පෞර්ෂත්වය නිසා තමයි මම අද ආවේ ආයේ අපි හමුවෙන්නෙ නෑ කියලා කියල යන්න. ඒ මිනිසා තමයි කියලා දුන්නේ ආදරය කරන හැටි! ඔයා ඒක අහලාවත් නෑ. එයා හැමදේම කරන්නෙ මගේ පරිස්සමට.…
ඇයි තේරෙන්නැත්තෙ?
එදා "අරුන්ගෙ" වෙඩින් එකේ දි ඔයා මාව බලෙන් ළගට ඇදගෙන නටද්දි ඒ දිහා ඉවසීමෙන් බලා ඉඳපු ටිකම මට ඇති එයා කවුද කියන දේ තේරුම් ගන්න!!!
ටෙක් එකේ කොන්වකේශන් එකේදි ඔයා මා එක්ක පොටෝ ගහද්දි ඒක දිහා හිනාවෙවී බලාන ඉඳලා ඔයාට සුභ පතන ගමන් මගේ අතින් අල්ලගත්තු විදිය මතකද? ඒක හරියට මල් කැකුලක් වැස්සෙන් ආවරණය කරනවා වගේ පරිස්සමින්.
ගිය අවුරුද්දෙ කාත් කවුරුතවත් නැතිව මං අසනීපෙන් බෝඩිමේ ඉඳපු දවස් තුන මං ළගින් හෙලවුනේ නැති පැය ගාණ මට හොඳටම ඇති එයා කවුද කියලා තේරුන් ගන්න!!!
අසනීප හොඳ උනාම මට, පහුවදා උදේ බෝඩිමෙන් එයා යන්න යද්දි එයාගෙ ඇඟෙ ඇලිලා රාගයෙන් එයාව පුච්චන්න හදද්දි මං, අනේ මඟෙ නලල ඉඹලා මාව එක තත්පරෙන් නිවපු ඒ නිවුනු මනුස්සයා ගැන මං හොඳට තේරුම් ගත්තා! ඒ මිනිහට විතරයි ගෞරවයකින් මගේ සලු පිලි ලිහලා මාව බිරිඳ කරගන්න!
ඒක මාධව ඔයාට බෑ!
ඔයා කවදාවත් මගේ හැඟීම් ගැන තේරුම් ගත්තද?
ඔයා මට මල් ගෙනැල්ල දෙනවා. හැබැයි මට මල් ඔනිද කියලා ඔයා කවදාවත් අහලා නෑ නේද?
ඔයාගේ කතා කොච්චර වලත්තද? හැබැයි එයා කවදාවත් මං දිහා වලත්තකමකින් බලලා නෑ, ඒ පරෙස්සම ඔයා ගාව තියනවද? ඔයාට කරන්න පුලුවන් විහිලු කරන්න විතරයි. කිසි දෙයක් බරපතලකමක් නැත්තෙ ඇයි ඔයාට.....
එදා බස් එකේදි මගේ ඇඟේ ඇතිල්ලුන මිනිහට ඔයා කණ පැලෙන්න ගහයි කියලා මං හිතුවට ඔයා කලේ මාව ඇදගෙන බස් එකෙන් බැහැලා ටැක්සියක අරන් ගිහින් බෝඩිමට දාපු එක.
හැබැයි ඒකම එයා එක්ක උන දවසක එයා මං වෙනුවෙන් බස් එක දෙවනත් කලා.. මට කොටට ගවුමක් අඳින්න දෙන්නෙ නෑ.
ඔයාට මං වෙනුවෙන් හැප්පෙන්න බෑ කා එක්කවත්.
ඔයා මට තෑගි අරන් දෙනවා. හැබැයි එයා මං ගැන කවි ලියනවා. මට කවියක් කියන්නෙ දැනෙන දෙයක්. මං ගැන හැඟීමක් වචන කරන කෙනෙක්ට පුලුවන් මගේ ආත්මයම අවුලවලා දාන්න.
එයාට එක වාක්යයකින් ඒක කරන්න පුලුවන්.
ඔයා අතින් ඇල්ලුවත් මට ඒක දැනෙන් නැත්තෙ ඒකයි.
ඔයා අත අල්ලගත්තම මං බලන්නෙ ඔයා මාව අතාරින්නෙ කොයි වෙලේද කියලා!
හැබැයි එයා අත අල්ලගන්නකම් මං බලාන ඉන්නෙ පුදුම ලෝභ කමකින්.
මාධව ඔයා ආදරේ කරන්න දන්නෙ නෑ…..
ඔයා දන්නේ බදා ගන්න විතරයි.........................................…
ආදරේ කියන්නෙ අමුතු දෙයක්
ඒක පරිත්යාගයක් වෙන්න පුලුවන්
බදා ගැනිල්ලක් වෙන්න පුලුවන්
හැබැයි ඔයා කියනවා වගේ ශරීර දෙකක එකතුවක් නෙමෙයි
ඒක ආත්මයෙන් එන්න ඔනි දෙයක්.
ඒක හරියට දුඹුරුපාට කිරි තේ එකක් වගේ වෙන්න ඔනි
එක උගුරට බීලා නොදාන, උගුරු උගුරු රස නහර පිනා යන....................…
මං ආදරේ එයාට.................…
ඔයා කොච්චර කිව්වත්
මං ආදරේ එයාට...
හිතුවක්කාරයෙක් උන ඔයාට වඩා නිවුනු කෙනෙක් උන එයාට...............…
------------------------------------------------------------------------------------
මල් වැල් පිරිලා
එලිමහන් පෝරුව ලස්සනයි.
මඳ සුළග ඇවිල්ල මල් ලියකම් නලවනවා. අවට ඥාතීන් සහ ඇගේ ඔහුගේ මිතුරන් අතර මං තනිවෙලා..…
හැබැයි මේ අපූරු පෙරවරුවේ, සොඳුරු හිමිදිරියේදී එයා ළස්සන මනමාලියක් වෙලා මහනුවර සංස්කෘතියට අනුව හැඩවෙලා පුංචි පා පොඩි තිය තිය ඇවිදන් එන අපූර්ව බව!
එයාගෙම උන අපූරු ලාලිත්යයකින්......…
පසුබිමින් ඇහෙන මන්දගාමී සංගීතය කණට මිහිරියි. සෙනඟ මැද මේසයක මං තනිවම වාඩිවෙලා දම්පාට බීම වීදුරුව අත දරාගෙන ඇයට සවුදිය පුරන්නට!
නේක වර්ණ මැඳ කාල වර්ණ මම!!!
එයා නොදන්න දේ මොකක්ද?
එයා මේ මාධව ගැන නොදන්න දේ මොකක්ද?
එයා එයාට ඕන නැති මල් ගැන කියනවා! හැබැයි එයා මාධව මල් ගෙනැල්ල දෙන්නෙ ඇයි කියලා හිතලා නෑ නේද? එයාට ලැබුන තෑගි අනවශ්ය බව කියනවා. හැබැයි තෑගි දුන්න කෙනා ගැන හිතලා නෑ නේද? මගෙන් ලැබුන නිදහස අගයක් නෑ නේද?
කොටින්ම......…
මාධව ගැන කිසි වටිනාකමක් ඇය තුල නැහැ නේද?
ඉතින් ඇයි මේ තරම්?
කතාව මෙච්චරයි........…
වටිනාකමක් නොදෙන කෙනෙක්ට පණ ඇරලා ආදරේ කරන්නෙම ඒ කෙනා ගැන වටිනාකමක් දැනෙන නිසා මිසක අන් කුමකටද?
ඉර අවරට යාවී….
හැන්දෑව පාලුවෙන් පිරේවි….
ඇය ඔහු තුරුලේ තුටු වේවි…...
නොවටිනා මාධව..........................
නොවටිනා ලෝකයක..........................
නොවැටී ඉඳීවි..............................…
--------------------------------------------------------------------
ඒ අඳුරු වැසිබර හැන්දෑවේ පාර දෙපැත්තෙ සුදු කොඩි එල්ලලා තිබුනා. අවසන් කටයුතු සඳහා මෘත කලේබරය අරන් ගිහින් ගොඩක් වෙලා. දැන් හැමෝම ගෙවල් වලට ඇවිත්. පාරේ වීදි ලාම්පු දැල්වෙනවා. ඒ කොඩි වැල් යටින්, රැලි එල්ලපු පාර දිගේ මාධව ඇය සමඟ ඇවිදන් යනවා.
මාධවගේ හිත පුරාවම තියෙන්නෙ අමුතු පසුතැවිල්ලක්, දුකක්, තනිකමක්.........
පාලු පාරේ අවට ගස් වැල් සෙලවෙන සුළග රැලි සහ සුදු කොඩිත් අරන් හන්න හදනවා. අඳුරු ආකහේ අමාවක කියලා අමුතුවෙන් කියන්න බැරි තරම්ම කළුවරයි.
අන්තිමට එතනට ආවට පස්සෙ කාළකණ්නි නිහඩ හඩ බිදුනෙ මාධවගේම කටහඩින්...................
දිල්!
මෙච්චර අවුරුදු ගාණකට පස්සෙ ඔයා ඇයි මේ සේරම කතා පට්ට ගහගන්න කියලා මට ඔයාගේ කළු හෙවණැල්ල ඉතුරු කරලා යන්න ගියේ මේ ලෝකෙන්ම?
මොකක්ද මේ කතාවෙ තේරුම?
මාධව ඇගෙන් ඒම අහද්දිම හමපු සීතල සුළග මාධවගේ ඇඟ විනිවිද ගියා.
ඇගේ මෘත ශරීරය වලදාපු සොහොන් කොතේ ඉදිපන්දම් එලිය මාධව ඉදිරියේ නොනිවී දැල්වෙද්දි මාධව අසලින් ඇවිදන් ආව අත්භූත කළු හෙවනැල්ල මාධව දිහා මොහොතක් බලාන ඉඳලා ඉහලට ඇදිලා ආකාසේ අතුරුදන් උනා.....