මහින්ද රාජපක්ෂ හිටපු විධායක ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීමේ මුවාවෙන් වැනසී යන තමන්ගේ ජන්ද බලය රැක ගැනීමේ කුජීත අප්පිරියා සහගත දේශපාලනයක පොහොට්ටුවෝ මේ දින වල නිරත වේ.
පොහොට්ටුවෝ කියන්නේ කොහොමත් කසික්කාඩු උන්ය. උන් තවකෙකු වෙනුවෙන් සංවේදී නැත. අනුර දිනක් කීවා සේම අසංවේදී කිඹුල් හමක් ඇති රනිල් මෙන් නොවේ. රනිල් තමන්ගේ උන් වෙනුවෙන්ද සංවේදී නැති කාළකන්නියෙකි. හැබැයි මහින්දලා තමන්ගේ උන් වෙනුවෙන් ටිකක් හෝ සංවේදී වේ. ලංසාව බදාගෙන පෙන්නුවේ ආන්න ඒ සංවේදී බවය. ෆොන්සේකා එක්ක එකට කේක් කපා පසුව බල්ලෙකු සේ ඇදගෙන ගොස් හිරේ දැම්මේ තමන්ගේ නොවුනු විට සලකන ආකාරය නාට්‍යාකාරයෙන් පෙන්වීමට ය. මහින්දගේ අත පල්ලෙන් වැටෙන දේ කා බී හැදුනු කුට්ටිලා, කෙහෙලියලා, රෝහිතලා වගේ උනුත් මහින්දගේ අත පල්ලෙන් වැටෙන චූටි ටූචි දේ සම්බන්ධයෙන් සංවේදී වේ.
මොකද ආතක් පාතක් නැති උන්ගේ බඩ වියත රැකෙන්නේ ඒකෙන් නිසාය.
කොහොම වෙතත් මේ බඩු බැඳගෙන යන නාකි සිමයියෝ ටික ඇත්තෙන්ම මහින්ද නිසා යමක් කමක් කරගත්තා වූ උන් වෙන්න පුලුවන. හැබැයි උන් නොදන්න ටිකකුත් තියෙන්නේය. තමන්ගේ වහලයට ලැබුනු ටකරම් ටික දුන්නේ මහින්ද මහත්තයාගේ ප්‍රාදේශීය මන්ත්‍රී නිසා කලගුණ සැලකිය යුතුයැයි සිතා දින ගණන් සැලසුම් කර මහින්ද මහත්තයාව බලන්න එන නාකි ආච්චි සීයා නොදන්න දේ මේකය...
තමන්ට මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් සමහර විට දුන්නේ ලැට් පෝච්චිය, ටකරම් ටික නොව මුළු ගෙදරටම නිවාස ආධාරයක් විය හැකිය. මාධව කැට තියා දන්නා දේ බොහෝ පොහොට්ටු ප්‍රාදේශීය මන්ත්‍රීවරු අමු මැරයෝ බවය. අනික් උන් අමු හොරු බවය. නීතිය උන්ගේ යැයි හිතාගෙන කටයුතු කරපු උන්ය. ඒ ආච්චිලා නොදන්නේ ඒකය. උන්ට ලැබෙන දේවල් කඩාවඩා ගත්තේ මහින්ද කවා පොවා හැදූ ඔය අසමජ්ජාති පොහොට්ටුවේ ප්‍රාදේශීය මන්ත්‍රීලා බවය.
ඒවා පැත්තකට දමා බැලුවහොත් පසුගිය පෝලිම් යුගය මහින්ද සහ ගෝටාගේ යුගයයි. පෙට්‍රොල් සහ ගෑස් නැත. බෙහෙත් නැත. ඒ අස්සේ ටෙන්ඩර් මගඩි ගසා අවලංකම පෙන්වමින් ඇමතියා සහ හොර නිලධාරී නඩය එක්ව මහජනතාවට වතුර විද්දේ ඔය කියන උන්මය.
ඒවා ඒ ආච්චිලාට නොපෙනෙන්නේය. තවමත් උන් වද්නිභට්ටයෝ සේ මේ දේශපාලකයාගේ අසූචි සුවඳ බලන්නත් ඇතැමුන් ඒවා ලොවින්නටත් යන්නෝය. ඒක මේ රටේ තිබුනු 76 වසරක ශාපයෙන් කොටසක් මිසක් වෙන දෙයක් නොවේය.
පහුගියදා නාමල් බේබිට හිත රිදී තිබුනේ මංත්‍රී ලිපියට කෙලවීම නිසාය. මංත්‍රී ලිපිවලින් කරපුවා ඉන්පසු මුහුණු පොතේ බෙදාහදාගෙන තිබුනේය. මාධවටද කාලයක් මන්ත්‍රී ලිපි පස්සේ යන්ට විය. එක් රස්සාවක් කරන්නට සිදු උනේද මන්ත්‍රී ලිපියක බලපෑමෙන් ය. හැබැයි ඒක සාධාරණය ඉටු කල බව ඒ ආයතනයද සාක්ෂි දරනු ඇත. අනික් උන් වගේ නිකම් පඩි ගත්තේ නැත. වැඩ කරපු ආයතනයේ ඉතා හොඳින් ලාබ පෙන්වා ඉන් ඉවත් විය!
කෙසේ වෙතත් මන්ත්‍රී ලිපියට බොහෝ දේවල් සිදු වූ එවැනි පාදඩ යුගයක් ආයේ මේ රටට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ සාධාරණ ක්‍රම මගින් රැකියා ලබා දෙන ක්‍රමයක්ය. මන්ත්‍රී ලිපියට නොව සාධාරණ ක්‍රම වලින් ඉඩම් ලබා දීමය. හිතවතුන්ට කඩ කාමර ලබා දීම වෙනුවට සාධාරණ ක්‍රමයකින් ටෙන්ඩර් පදනම මත ඒවා ලබා දීමය.
විනිවිද භාවයකින් යුතුව ඒවා සිදුවීමේ අවශ්‍යතාව එදා සිටම රටට අවශ්‍යව තිබුනේය. ඉදිරියටත් මේ ලිපි නැති ක්‍රමවේදය පවත්වාගත යුතුය. අනුරට රෙස්පෙක්ට් කරන්නට එක හේතුවක් වනුයේ ද මේ ලිපියට රස්සා දෙන්නෑ යන කතාව නිසාය. ඔහු ඒක ක්‍රියාවට නංවනවා ඇති බව පෙනේ.
කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ ගමන මන්දගාමීය. ඉඳලා ඉඳලා එකෙක් නාගත්තාම අනුර ඇවිල්ලා එක වසරේ ගුරුතුමී මෙන් නාගත්තු කක්කා හෝදවා යලි පාර්ලිමේන්තුවේ ඉන්වන්නේය. ඒත් මේක හැමදාම කරන්නට බැරිය. ජන්දදායකයා බුද්ධිමත්ය. පැරණි ජන්දදායකයා තවදුරටත් මේ භූමියේ නොමැත. අතලොස්සක් බෙදී ගොස් ඇති නමුත් බහුතරය තාමත් අනුර නිසාම විශ්වාසයෙන් සිටී.
ඉතින් මහින්දලා නෑගම් ගියාට කම් නැත. අනුරලා තමන්ගේ ගැල ඉස්සරහට කරගෙන ඇදගෙන යා යුතුය.
කතාවේ මාතෘකාවට අනුව වැඩිහිටියන්ට විශ්‍රාමය අවශ්‍ය වේ. මහින්ද මහත්තයා මේ රටට කරපුවා අති මහත්ය. හොරා කෑවා වුවද උන්දෑ මේ රටේ මාර්ග පද්ධතිය උඩු යටිකුරු කල නායකයාය. මහ යුද්ධයක් කරන කාලයේ එය අවසන් කිරීමට දායක වූ රාජ්‍ය නායකයාය. දේශපාලනය කෙසේ වෙතත් ඒවා කිව යුතුය. අවාසනාවට ප්‍රභාකරන්ව පාලනය කල නායකයාට පවුල සහ සිය සහචරයන් රැල පාලනයට නතු කර ගැනීමට නොහැකි විය. මහින්දගේ විනාශය ඇති උනේ එතැනිනි.
ඉතින් මහින්ද මහත්තයාගේ මළකුණ උවද විකුණාගෙන කෑමට සූදානම් වූ නාමල් බේබි ඇතුළු පොහොට්ටු උන් වැඩිහිටියන්ට නොසලකන කාලකණ්නි රැලක් බව මාධව කියන්නේ නිකං නොවේ. අසරණ අසනීප විඩාපත් වූ අපේ මහින්ද මහත්තයාට තව චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්නට නම් කරුණාකර ඒ මනුස්සයාට ඇගේ 1922 උපන් බිරිඳගේ සෙවනැල්ලේ නිවි සැනසිල්ලේ දේශපාලනයෙන් තොරව ජීවත් වෙන්නට ඉඩ දීපල්ලාය.
රට වෙනුවෙන් ජීවිතය කැප කල ඔහුටද පුද්ගලික ජීවිතයක් අවශ්‍ය නිසාය.
අනික් දේ මහින්ද නාමයෙන් මළකුණ විකුණා හෝ ජන්ද කිරීමට හදන පොහොට්ටුවන්ට ආයේ මේ රටේ තැනක් නැති නිසාවෙන් ලැයිස්තුවෙන් ආ නාමල් බේබිට කිව යුත්තේ තාත්තාව ආදරයෙන් බලාගෙන ජීවිතයේ සැඳෑ සමය නිවිසැනසිල්ලේ ගෙවීමට ඉඩ දෙන ලෙසය. විවිධාකාරයේ පිම්මි කුට්ටිලා ගෙන්නාගෙන ජවුසම් නොනටන ලෙසය.
මහින්ද මහත්තයාට හුඟාක් ගෞරවයෙන් මේ ලිපිය ලියූ බව කාරුණිකව සලකන්න!