හෑලි තුනක්...

 

ඔහේ ඉන්නකොට ආයුබෝවන්ඩ නිකං කෙටිම කෙටි සිතුවිලි පහල වෙනවා. හෑලි විදියට එවා මූනු පොතේ පල වෙනවා. දැන් ඒ ටික එකතු වෙලා එකකට එකක් නොගැලපෙන කතාවක් විදියට බ්ලොග් අඩවියේ පල වෙනවා.

 සත්‍ය නං.... අපේ ජීවිතෙත් මේ වගේ එකකට එකක් නොගැලපෙන කතාවක් බලාන ගිහාම!

අඹ රසැති දෙතොල්

ගෑණු ළමයෙක් ලස්සන වෙන්න කියලා සොබා දහමින් දුන්න දේවල් වලින් එකක් තමා කෙහෙ රැලි. නිකන් කෙහෙ රැලි නෙමෙයි අර අඩ සඳ වගේ ලස්සන සිනිදු නලල් තලේ දෙපසින් කඩා වැටෙන හීන් කැරලි පොටවල් දෙක.
 
එයා එයාගෙ තලෙළු පාට පුංචි පුංචි අංගුලි වලින් ඩිජිටල් තිරය ආක්රමණය කොරලා කා එක්ක හරි දෙබස් හුවමාරු කරගන්න අතරෙම විටින් විට ඇගේ දෙතොල් අතර තබා අඹ බීම ඇබින්දක් තොලගෑවෙ එයාගෙ ඔඩොක්කුවේ තිවුන අඹ නෙක්ටා බෝතලේ අතට අරන්. ඒ අඹ බීම එක මතු උනේ ඔඩොක්කු කුඩේ ඇතුලෙන්.
 
ඔඩොක්කු කුඩේ ඇතුලෙ තියෙනවා ඇති අඹ වත්තක්. 
 
ඒක නිම නොවෙන අඹ බීම බෝතලයක්....
 
අනේ අප්පෝ නෙත් කළු ඒ දෙතොල්! තැඹිලි කහ මිත්ර වර්ණිත අඹ බීම එක රස පාටයි. ඒ අඹ බීම දැවටිලා පැණිබර වූ අඹ රසැති දෙතොල් ඊටත් එහා අනන්තයක රසයක් මවා පානවා.
 
මංගෝ දෙතොල්..... එව්වා මංගෝ ටේස්ට් ලිප්ස්.
 
දෙයියන් වහන්සේ සියල්ල මැව්ව සේක කියනවනෙ. එහෙව් එකේ උන්දැ වැඩියෙන්ම මහන්සි වෙන්න ඇත්තෙ ඔය තොල් සඟල නිසි සමමිතියෙන් මවා නිර්මාණය කරන්න.
 
අර්ධ ගෝලයක් ඉලිප්සයක් කොට එයින් ගණිත කර්ම ඉටු කොට විසඳා සිරස් රේඛා ගොන්නකින් රසවත් කොට මැවූ ඒ සාවූ කාන්තා අංගයක් වෙන නෑ...
 
කතාවක් තියනවානේ තොල් සලකුණු සහ ඇඟිලි සලකුණු අනන්යයි කියල. හැබැයි සරලව කෙටියෙන් කිව්වොත් ගෑල්ලමේක්ගෙ දෙතොල් තමා හැමදේම....
 
පැය හැට හුටාමාරකට කලින් භාර දුන්නු අයැදුමේ ලියාපු උප්පැන්නෙ පිටපත තාම ඇයි මෙච්චර ප්රමාද කියලා සැරින් සැරේ බෙල්ල හරෝල බලන ගෑණු දරුව දිහා බලන් හිටියම හිතුනෙ ඕං ඔච්චරයි.
 
අවසාන වශයෙන් කියන්ට කැමතී,
 
හැම ගෑල්ලමයම අනන්ය විදියට ලස්සනයි.
 
හැබැයි හැමෝටම "සුන්දර ගෑණු ලමිස්සියෙක්" වෙන්න බෑ.
 
මේ පොත්ත සුන්දරී ඇතුලාන්තෙන් ඇත්තටම කොයි වගේ යක්ශණියක්ද කියලා දෙයියොන්ටවත් හිතාගන්ට බෑ..
 
ඒ වගේම යස්සාවේස උනු බවලතීල ලඟ ඔය සර්වබලධාරී යැයි පම්පෝරි ගහන දෙයියන්ට කරන්න පුලුවන් දෙයකුත් නැහැ. 
 
අසරණව බුම්මට්ටෙක් වෙලා උකටලීව ඉන්නවා මිස!
එච්චරයි!

 -----------------------------------
 
බිරිඳගේ කිරි කෝප්පය.......!
 
හවස අනෝරා වැහි ඕසෙට වැටෙන හැටි කුස්සියේ කුකුළු දැල් ජනේලෙන් මාධවට පේනවා. ඒ වැහි බිඳු සද්දෙට අලකොලේකට වැටිලා බිමට රෝල් වෙලා වැටෙනවාත් පේනවා. කතාවට කියන්නේ අල කොලේ හිල් වෙන්න චූ දාන්න පුලුවන් කෙනා වීරයෙක් කියලනේ.
 
වැස්සත් එතනදි පරාජිතයි.
 
භාජනේ තියන කිරිපිටි වලින් පුරෝලා තේ හැඳි දෙකක් තේ හදන අඬු කෝප්පෙට දාලා සීනිත් තේ හැඳි දෙකක් සහ තව ඇබීන්දක් දාලා කුරු කුරු ගාන සද්දෙට කලවම් කරන්නේ වතුර කේතලේ ලිපේ නටන්න පටන් ගද්දි තමයි. එහෙම කරද්දිත් මාධවගේ ඇස් තියෙන්නෙ අර අල කොලේ දිහා.
 
ජීවිතෙත් අල කොලේ වගේ වෙනවනම්....
 
කවුරු මොන දේ කිව්වත් ඉරෙන්නැතුව ඉන්න......
 
ඒත් අපි ඉරෙනවා. ඒකට පොඩි දෙයක් උනත් ඇති...පොඩිම පොඩි දෙයක්....
 
මාධව හිතනවා. අනිච්ඡානුගවම කිරි පිටි එක්ක ඇලෙන සීනි තේ හැන්දෙන් පොඩි කරන්න පටන් ගන්නෙත් ඒ සිතුවිල්ල එක්කමයි. සීනි ඇට කුඩු වෙලා ක්රීම් පාට කිරි පිටි එක්ක යහමින් කලවම් වෙනකම් අඬුව දිග තේ හැන්දෙන් කෝප්පයේ බිත්තියට පොඩි කරලා රවුමට රවුමට කරකවන්න ඕනි. එතකොට තමා පදම එන්නෙ. 

ඒ වෙද්දි කේතලේ විසිල් ගහනවා. නටන වතුරේ හුමාලය කේතලේ කටින් නික්මෙන්නෙ හඬ දීගෙන. යහමින් කහට ගොට්ටට දමාගත්තු තලවකැලේ තේ කොල ටික උණු දිය දහරින් පෙඟිලා තැම්බිලා හොඳ කහට ටිකක් ලැබෙන්නැයි කියලා කේතලේ වතුර ටික තේ ගොට්ටට වක්කොරලා හෙම තැම්බෙන්න අරිනවා. තත්පර ගාණකින් මේන් කහට යසට... 
 
කහට සුවඳ කුස්සිය පුරාම පැතිරෙනවා..
 
ඊලඟට තේ ගොට්ටෙන්ම නැවුම් උණු තේ කහට ටික කිරිපිටි සීනි මිශ්රණේට වක්කරද්දි පිටි සීනි මිශ්රණේ දුඹුරුපාට මඩපාට ට ක්රීම් එකක් වගේ වෙද්දි හැන්දෙන් ආයෙම කලතනවා. යසයි. කිරි මිශ්ර තේ කහට කියන්නෙ නහයෙන් ඇදිලා දිව නලවන මිහිරි සුගන්දයක්.
 
සුදු කිරි කියන්නෙ එහෙම් පිටින්ම තහනම් කල යුතු පානයක්. ජරාවක්. 
 
ටී නම් මඩ පාට වෙන්නම ඕනි. ඒක තමා න්යාය. හැබැයි සම්පූර්ණයෙන් බොර මඩ පාට වෙන්න නම් තව වැඩක් තෘප්ත වෙන්න අවශ්යයි නෙව.
 
ඒ තමා යාර දැමීම.
 
ඕන් දැන් එහෙනම් මේක තමා යාර දාන වෙලාව.
 
මාධවට මතකයි, එයා පොඩි කාලේ ආනන්ද භවන් ඒක අයිති මාමා දාන කිරි යාරෙ ගැන. අත් ඔසෝලා හරි වේගෙන් තෙවරක් යාර දාන අතීතයේ මතක කැටි වූ කිරි තේ එක. මාධව ඒ කාලේ ඒ රසට හරි ආසයි. දැන් කඩවල් වල එහෙම නැවුම් එලකිරි දාල හදන කිරි තේ යාර නෑ. හරිම අඩුයි. එක්කො වතුර කලවම්. 
 
මාධව හිච්චි එකා කාලේ අත් දිගට, කකුල් දිගට කමිසෙ කලිසම අන්දලා හෙම අප්පච්චී එක්ක ටවුමට ගිහින් පොඩි බිත්තර රොටියක් කට්ට සම්බොලේ එක්ක ඔතාන කාලා ඉන්පස්සෙ මේ කිරි එකකුත් බීලා කොණ්ඩෙ කපාන ආපු සති අන්තයන් ගැන මතකයන් තාම මාධවට අමතක නෑ.
 
ඒත් දැන් ප්රතිපත්තියක් ලෙස මාධව කවුරුත් හදන කිරි බොන්නෑ. කිරි ඕනි නම් තමන්ම හදාගන්නෝනි.
 
අනික් දේ තමා ලංකාවෙ කිරි තේ සහ යාර දැමිල්ල අතර තියෙන්නෙ අනුපමේය සම්බන්ධයක්. එරොප්පෙ සුදු මහත්තුරු පවා ඒ රසට ඇබ්බැහි වෙනවා. මේ කුලී ගෙදරත් තියෙන්නෙ ආන්න එහෙම වෙච්ච ඇබ්බැහියක්.
හැබැයි දැන් අනුන් හදන කිරි නොබිව්වට ආන්න ඒ මඬ පාට දිය ඇල්ලක් වගේ කිරි යාරය නම් මාධවට අමතක වෙලා නෑ. ඒ යාර දාන මාමා ඔහුට වීරයෙක් උනේ ඇබින්දක්වත් නොහැලී අපූරුවට පෙන දාන කිරි කෝප්පෙ හදන ආකාරය නිසාමයි.
 
දැන් මාධවත් ගෙදරදි කිරි යාරයක් දානවා. හැබැයි ඔහු අතින් බින්දුවක් හරි හැලෙනවාමයි. ඒ නිසා ඔහුට වීරයෙක් වෙන්න බැරුව යනවා..
 
කෝම හරි වැහි වතුර වැටෙන හඬ පරයා මඬ පාර කිරි යාරයක් දෙකක් තුනක් කඩිනමින් උඩට පහලට යද්දි බිරිඳ එයාගෙ මේසෙ ගාව අඩුවැඩිය තියාන ලෑස්ති වෙලා. ඒ කියන්නෙ එක්කො මාලු රොටියක්. එක්කො බනිසක්. කොච්චර එපා කිව්වත් හවසට ගේන කෙටි අහර.
 
ප්රණීත සුවඳ හමන, හුමාල පාටින් දුම් දාන, මතුපිටින් බුබුළු පෙණ දාපු මැටි පාට කිරි එකක් කියන්නෙ ගෙදර උන්දැගෙ ප්රියතම අයිතම වලින් එකක්. උන්දැට ගෙදර වාහෙව අතෑරලා නොයන්න බැරි සාධාරණ හේතුවලින් එකක්. එහෙව් රස අමුර්තෙ එක්ක මාලු රොටියක රහ බලද්දි ඇගේ දිව රස නහර, කෑම ස්නායු සුරාන්තයකට පත් වීම අහන්න දෙයක් යැ.
 
බොරු නෙමෙයි ආයූබෝවන්ඩ, මාධවගෙ තේ එක බීපු හැම එකාම ඒ තේ එකට වහ වැටෙනවා....
ඉතින් තෙවරක් යාර දමන ලද කිරි කෝප්පෙ කට ගාවටම පුරෝලා උන්දැ ලඟින් තිබ්බම ඇති. දෝතින්ම කිරි කෝප්පය අල්ලාගෙන තෘප්තිමත් ලෙස ගුඩු ගුඩු ගාලා එක හුස්මට බොන හැටි දකින මාධවට මොකක්දෝ මන්දා දෙයක් දැනෙනවා. ඒක කියන්න තේරෙන්නෙ නෑ. 
 
එක හුස්මට එක උගුරට දෙකට ඇදලා දාන කිරි කෝප්පේ අන්තිම බිංඳුවත් බීලා කෝප්පෙත් මේසෙ උඩ තියලා පූස් නාම්බියක් වගේ තොල කට දිවෙන් තෙමාගෙන හෙම (තොල කට ලෙවකාල) උන්දෑ තෘප්තිමත් වූ හැඟීමෙන් උගුර පුරෝලා හොඳවයින් ගුඩුසක් අරිනවා. ඊලඟට මාධව දිහා බලනවා.
 
මාධවත් ආසම මොහොත ඒක....
 
උඩු තොලේ හරියටම පොඩි එකෙක්ගෙ දැලි රැවුල වැවෙන්නැහේ බිරින්දෑගෙත් කිරි දියර තැවරිලා තියනවා. පුංචි පහේ කිරි රැවුලක්!
 
ඊලඟට අර ගුඩුස් සද්දෙයි කෝප්පෙ මේසෙන් තියන සද්දෙටයි මාධව දැනගන්නවා කතා කරන්න දෙයක් නෑ කිරි එක ඇගේ රස නහර කෙලෝරවල් වලටම වැදුන බව!
 
මාධව මැරිල ගිය දාක උන්දැට නැති වෙන්නෙ සැමියෙක් විතරක් නෙමෙයි. කාටවත්ම හදන්න බැරි තරමේ ප්රණීත වූ තේ කෝප්පයක රසයත් එයාට අහිමි වේවි!
 
බලන් ගියාහම කසාද බඳින්න ඕනි නම් මේ කියන කොලිටියේ කිරි තේ යාරයක් දාන්න පුලුවන් වීම තමා ලොකුම සුදුසුකම. වෙන දෙයක් ඔතන නෑ...........

---------------------------------------------

 නදී සහ නගරාධිපතිගේ වඩය! ⏺️

අද නදී මේ රැස්වීමේ ඉන්න අන්තිම දවස. ආයේ කවදාවත් ඇගේ හිනාව ප්රාදේශීය සංවර්ධන කමිටුවේ දිලිසෙන්නෙ නෑ. ඒම හිතෙද්දි මගේ හිතට හරි පාලුවක් දැනුනා. මං ඇගේ කම්බුල් දිහා බලාගෙන උන්නා. එයා කඩිසරව ලියන දබරැඟිල්ලට රන් මුදුවම් දාපු ඇඟිලි එකතුව වේගෙන් කඩදාසි මත සැරිසරනවා. දකුණතේ තිවුන අත් පලඳනාව සටහන් පොතේ ඇතිල්ලෙනව. මං තවදුරටත් බලන් උන්නු නදීගෙ කම්බුල්, ඒවයේ තිවුනෙ ලප සහිත තලෙලු පාටක්. එයා මෙහෙන් ගියාහම ඒ ලප හොඳටම කලුවෙයි.
 
මොකද ඈට හිනාව ගේන්න මම එහෙ කාර්යාලයේ නැහැනේ. එහෙ ප්රා. ස. ක. රැස්වීම කරන කෙනා අහිංසක රෝස මලක් උනොත් හොඳයි. මං වගේම.....
 
නටුවෙ කටු තියන ලස්සනට පිපෙන රෝස මල මං....
🌼
ඇගේ කම්බුල දිහා බලන් ඉද්දි ටිකකින් මගේ ඇසට යොමු උනේ වෙන යමක්. මගේ ඇසෙන් නික්මුණු ආලෝක කදම්භය (ඒ ගැන දන්නෙ නැත්තන් උසස්පෙළ පන්තියේ ආලෝකය පාඩම බලන්න) නදීගෙ කම්බුලට එහායින් ගිහින් පතිත උනේ ඈ කඩිසරව ලිය ලිය ඉඳපු කොලේට එහායින් තිවුන වඩේ කෑල්ලක් මත්තෙ.
ඔව්.
 
ඒක එකාතකට රාජ්ය තාන්ත්රික වඩේ කෑල්ලක්!
 
ඒ තමයි නගරාධිපතිතුමා කාලා ඉතුරු වුන වඩේ කෑල්ල. 
 
දේශපාලනික වාද විවාද, රාජ්ය නිලධාරීන්ගෙ නීති තර්ක මැද මම අතර මං උනා. දෙයියන් වහන්සේත් අතරමං වෙන ප්රශ්නෙක. තෝරාගැනීමේ අවස්ථාවක....
 
තවදුරටත් නදීගෙ කම්බුල දිහා බලන් ඉන්නවද? නැතිනම් පරණ පුස්කාච්ච වඩේ කෑල්ල කනවද?
 
නදීගෙ කම්බුල දිහා බලන් ඉඳලා මට ලැබෙන්නෙ දුක විතරයි. ඉතින් මනුශ්ය සත්ව කොට්ඨාශය දිහා බලපුවහම අපි ඉපදිලා ඉන්නෙ මේ පංචස්කන්දය පිනවන්න. ඇයි දුක් විඳින්නෙ....
 
ඇස්, කණ්, නාසය, දිව සහ ස්පර්ෂය පිනවන්නමයි අපි ආස....!
 
මේ පාලු කම්මැලි රැස්වීමෙ අනික් අය සංවර්ධනයක් ගැන කතා බහ කරනව. ඒ අය උතුම් මිනිස්සු. වඩේ එකක් තේ එකක් කාලා රට තොට නගරය ගම දියුණු කරන්න හදන මිනිස්සු. ඒ ගැන විවාදයක් නෑ.
 
රට තොට ආගම ගැන කිසි හැඟීමක් නැති මට ඒව වැඩක් නෑ. ඒ මගේ අවංක වූ කාළකන්නි කම නේ. ඉතින් මං ස්පර්ෂය සහ දෙනෙත් පිනවීමඅමතක කරලා නදීගෙ කම්බුල් අමතකම කරලා දැම්ම. කොහොමත් හෙටානිද්දට මාරු වෙලා යන දැරිවි නෙව. අමතකම කරන්න ඔනි කම්බුල් ඒව.
 
ඒ අනුව දිව පිනවීම ඊලඟ ප්රමුඛ කාර්යය බවට පත් කරගත්තු මම මනා හැඟීමකින් යුතුව නගරාධිපතිතුමා කාල ඉතුරු කරපු වඩේ කෑල්ල හෙමීට අරන් කටේ දාගත්තා. 
 
යසයි!
 
කවුරුත් දන්නෑ. No Body Knows! 
 
එහෙම තමා දේශපාලනයත්. එකෙක් කන්නැති කොට වෙන කෙනෙක් කන එක තමා දේශපාලනය.
 
ඉතින් වඩේ එකකින් සංතෘප්තව හරිම තෘප්තිමත් හැඟීමක් දැනෙන මේ වෙලාවෙ මමත් ලාවට දේශපාලනය ගැන දන්නවා කියලා දතක රැඳුනු වඩේ කෑල්ලක් දිවගින් හාරන ගමන්ම හිතුවා.....

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form