පුල්ලි මාලු

 

තලාතුඔය හන්දියේ බෝ ගහ ඉස්සරහින් ගලාන යන දිය දහර දිහාවෙ බලාගෙන මම පාලමේ ඇන්දට හේත්තු වෙලා උන්නා. එහි වතුර යට වැටිල කුණු වෙන පොල් අත්තෙ ඇතිල්ලි ඇතිල්ලී වතුර කපාගෙන එහෙ මෙහෙ පීනන ඇලපතේ පුල්ලියක් තියන ලස්සන මාලුවෝ මගේ හිතත් මනසත් දෙකම පැහැරගත්ත නිසා තමා මම එහෙම කලේ. 
 
මන් උන් දිහාම බලන් උන්නෙ ඇස් පිය නොගහා. මාව අතීතයට අරන් යන්න ඒ මාළු රෑන සමත් උනා. පාලමේ ඇන්ද මත අතීතය හාර හාර ඇති නැති වෙන මතක අතරේ වහං වෙලා උන්නු මගේ දැහැන් කුඩු පට්ටම් කරමින් එක පාරට මං ලඟට ආව කුණු නාවර පෙරාගත්තු වයසක ගෑණු කෙනෙක් මෙහෙම කිව්ව.
 
මේ ජරා වතුරෙ තමා මගේ ආදරේ ගහගෙන ගියේ..
 
ඒම කිව්ව ඈ කාරලා කෙල පාරක් වතුරට ගහල සාප කරා. මගේ දරුවා!
 
ඒ අසරණයා එදා වගේම ඔහොම එබිලා වතුරට, මාලු බලාන ඉද්දි එක සැරේට වැස්ස පටන් ගත්ත. උඩහින් වතුර එද්දිම වගේ ගහපු අකුණට ගැස්සුන, වතුරට එබිල උන්නු එයා කිරි තේ පාට උනු ජල කඳට වැටිලා ගහගෙන යන්න ගියේ තත්පරයයි. මට මතක අන්තිමට එයාගෙ ඔලුව වැදුන හැටි පා වෙලා ආව කොස් කොටේකට. ඉන් පස්සෙ මං දැක්කෙ අඳුර, 
 
අදත් අඳුරුයි.
 
එහෙම කියලා ඇය මගේ ඇස් වල ගිලුනා.
 
හීනයක දෝ මන්දා දවසක් මහ සැඩ වතුර මැද්දක ගිලෙන්න යද්දි ජීවිතේ අල්ලගන්න පොරකාපු මගේ හිසෙත් කොස් කොටයක්දෝ මන්දා ගහනෙ ඇවිල්ලා වැදුන හැටිත්, ඒ සැනින්ම මගේ ඇසුත් අඳුරේ ගිලුණ හැටි මතක් වෙලා අකුණක් ගහන්නැහේ සැනෙන් මතක අතුරුදන් උනා. 
 
කීප සැරයක් ඇස්පිල්ලම් ගහපු මම ඇය දිහා බැලුව. හුඟාක් කල් ඉඳන් හුරු පුරුදු ඇස් දෙකක් තිබුන මනෝ විකාර වෙලා කඩමාලු ඇඳන් ඉන්න නාවර ගඳ ගහන ඈ හිස් බැල්මෙන් තව පාරක් බලපු මම ආපහු හැරිල වතුරට එබුන මතක අහුලන්න. 
 
එවෙලෙ  
පිස්සු ගෑණියෙක්........! කියලා මං කටින් කිව්වට, හිතින් මට මොකක්දෝම අමුත්තක් දැනුනා.
 
ඒ පිස්සු ගෑණියෙක් නෙමෙයි
මගේ හිත මට සහතිකේටම කිව්වා!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form