රාජ්‍ය සේවකයාට පහර දීම

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සංගම් නිසා පසුගිය දින වල වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ වෙනත් සෞඛ්‍ය වෘත්තිකයින්ට ද, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිසා සමස්ථ ප්‍රාදේශ්‍යී ලේකම් කාර්යාල සේවක නිලධාරීන්ටද, බස් රථ හුටපටයක් නිසා ගිනිගත්හේනේ දුෂ්කර ගම්මානයක බස් රථයේ කොන්දොස්තර වරයාට ද ආදී ලෙස රාජ්‍ය සේවයේ නිරත වන උන් වෙත සමාජ මාධයයේ අපහාස , අවලාද සහ තර්ජන එල්ල වී තිබුනි.

මේ ඒ ගැන මාධවගේ අදහසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ හෙද සංගම් මෙන්ම වෙනත් සෞඛ්‍ය වෘත්තීය සංගම් වෙත ජනතාවගේ අප්‍රසාදය එල්ල වනුයේ අද ඊයේක නොවේ. ඒසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) ක්‍රියා කලාපය මාධවගේද විවේචනයට ලක් වූයේ පළමුවෙන්ම සුව සැරියට සම්බන්ධ ඔවුන්ගේ හැසිරීම නිසාවෙනි.

සුව සැරියේ රැගෙන එන ලෙඩ්ඩු ගැන නොබලන කතාවේ සිට එයට බොහෝ සේ බාධා කොට අවර ගණයේ තර්ක ඉදිරිපත් කරමින් වෘත්තිීය ගරුත්වයට නොගැලපෙන සේ හැසිරුනු වෛද්‍ය වෘත්තිකයින් වල කැපුවේ අද බොහෝ ජීවිත බේරාගනිමින් කැපවීමෙන් ඉදිරියට යන සුව සැරිය වැඩසටහනට ය. මාධවගේ පළමු අප්‍රසාදය ඔවුන් වෙත යොමු වුනේ එතනිනි.

ඉන් පසු පාදෙණිය නැමති වෛද්‍යවරයා ප්‍රමුඛ වී කාබනික වගාව ගැන උපදෙස් දෙන්නට ගොස් (අනවශ්‍ය කටයුත්තකි) ඇති වූ කාබනික පොහොර සංසිද්ධිය සහ රාජපක්ෂ පාලනයට කඩේ ගිය අන්දම නිසා ද මාධවගේ විවේචන ඔවුන් වෙත යොමු විය. වර්තමානයේ ඔවුන්ගේ ඉල්ලීම පිලිබඳව කිසිත් අදහසක් දැරීමට මාධව උත්සහ නොකරන නමුත් වෛද්‍ය වරුන් තමන්ට ඇති අමුතු වෘත්තීය ගරුත්වයක් ගැන කියා පාමින් සිදු කරන වර්ජනය යුක්ති සහගත දැයි සිතා බැලිය යුතුය!

ඊළගට තමන්ගේම සගයා වූ වෛද්‍ය ශාෆි ට විරුද්ධව රටක් නැගිටින විට ඒ වෙනුවෙන් හඩ නොනැඟූ සංගමය පිලිබඳව මාධවටද අදහසක් ඇත. ඒ හා සමානම අදහසක් මාධව සතුව ඇත්තේ පරිපාලන සේවා සංගමය පිලිබඳව ය. නිකරුනේ ස්ථාන මාරු කරන, අමාත්‍යාංශ සංචිතයට අහේතුකව දමන පුද්ගලයින් වෙනුවෙන් පෙනී නොසිටින අනීතික වැඩ වලට ශබ්ද නොනගන සංගමයක් ලෙස මාධව මෙම පරිපාලන සේවා සංගමය දකින්නේය. මේ වෛද්‍ය සංගමය ද තමන්ගේ සගයාගේ නිර්දෝශී බව වෙනුවෙන් පෙනී සිටියේ නැත.

වර්තමානයේ පැවැත්වීමට නියමිතව තිබූ වර්ජනය කල් දැමුනද ඔවුන් සිටින්නේ නිරපරාදේ අවි අමෝරාගෙන බව මාධවගේ අදහසයි. ඉතින් දුර දිග නොබලා කටයුතු කරන ඒවැනි සංගමයක් නිසා සමස්ථ වෛද්‍යවරුන්ට චෝදනා එල්ල වී ඇත්තේ සමාජයෙනි.

පසුගියදා කවුදෝ පුද්ගලයෙක් හම්බන්තොට ප්‍රා ලේ කාර්යාලයේ වීදුරු කුඩුකරමින් හැසිරීම සමාජ මාධ්‍යයයේ බෙදා හැරුනි. එහිදී සමස්ථ ජනතාව කමෙන්ටු මගින් ඔහුව උත්කර්ශයට නගා තිබුනි. ඒත් ඒ අසරණයා දැන් සියල්ල වන්දි ගෙවිය යුත්තේ පොදු දේපල පනතට අනුව ය. ලංකාවේ තිබෙන ප්‍රභළ පනතක් වන පොදු දේපල පනත ලේසි නැත. කෙසේ වෙතත් කුමන අඩපාඩු තිබුනද, අවම වැටුප් සහ පහසුකම් යටතේ විවිධ රාජ්‍ය ආයතන රැසක් මහජනතාව වෙනුවෙන් සිය සේවාවන් ලබා දෙනු ලැබේ. ඇතැම් නිලධාරීන් පරිගණක ලෙස භාවිතා කරන්නේ තමන්ගේ දරුවාගේ උසස් අධ්‍යාපනයට මිලදී ගත් පරිගණක බව මාධව හොඳින් දන්නේය. ඒ සා වූ කැපකිරීමක් සිදු කරන නිලධාරීන් බහුතරයක් තුල වැරදි කරන කම්මැලි වූ හොර තක්කඩිකං කරන එක් අයෙක් දෙදෙනෙක් සිටීම සාමාන්‍ය කාරණාවක් ය.

හැබැයි ඒකට සමස්ථයට හෙන ඉල්ලීම හෝ රාජ්‍ය සේවයට පරිභව කිරීම යුක්ති සහගත නොවේ. මේ හම්බන්තොට වීදුරු බින්ද තැනැත්තා උගත් පුද්ගලයෙකු වූයේ නම් ඔහුට ඉහල අධීකාරියට පැමිණිලි කිරීම හෝ වෙනත් සාධාරණ ලෙස කටයුතු කිරීම මිස මෙවැනි තක්කඩිකම් සිදු කිරීමට සිතුවිලි පහල නොවිය යුතුය. අවාසනාවට මේ රටේ උත්කර්ශයට නැං වෙන්නේ චණ්ඩිකම් මිස සාධාරණව ක්‍රියා කිරීම නොවේ.

ශ්‍රී ලාංකික සමාජය තුල යුක්තිය ඉටු වීමේ ක්‍රියාවලියේ ප්‍රමාදය මෙයට හේතුව මිස අන් කුමක්ද?

පසුගියදා බස් කොන්දොස්තරවරයාගේ සිදුවීම අවසානය නොවේ. ඒ මහතා මාධවද පුද්ගලිකව හදුනන අයෙකි. ඔහුගේ හරි වැරැද්ද මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීම අරමුණ නොවුනද, එම වීඩියෝව සංස්කරණය කොට පල කරන ලද්දක් බව පැහැදිලිය. එයින් සිදු වූයේ අනර්ථයක්ද අර්ථයක්ද නොව නිසි පැමිණිල්ලකින් තොරව, විනය පරීක්ෂණයකින් තොරව වැඩ තහනම් කොට ඇති බව ආරංචි වී ඇත.

ඒ අනුව සමාජ මාධ්‍යයේ පල කරමින් වීරකම් කරන කාඩ්බෝඩ් වීරයොන්ට කිව යුත්තේ නිසි මාර්ගයේ දැන්වත් ගමන් කරමින් තමන්ට යුක්තිය ඉල්ලා ගැනීමේ මාර්ගයන්ට ප්‍රවේශ විය යුතු බවය.

මක් නිසාද යත් රාජ්‍ය සේවකයා යනු සර්ව සාධාරණ පුද්ගලයෙක් නොව ඔබ වැනිම, වරදක් සිදු විය හැකි සාමාන්‍ය මනුස්සයෙක් නිසාය. ඒ් නිසා රාජ්‍ය සේවයේදී ඔබ අසාධාරණයට ලක් වූයේ නම්, නොසැලකීමට ලක් වූ යේ නම්, ඔබගේ කාර්යය ඉටු කිරීමට ප්‍රමාද වීම, සාධාරණ හේතු නොමැතිව කාර්යය ඉටු නොකිරීම, අල්ලස් ඉල්ලීම හෝ අසාධාරණ ලෙස සැලකීමට ඔබ යායුතු ආයතන පිලිබඳව දැනුවත් වී කටයුතු කිරීම ඉතාම හොඳය.

වක්‍රාකාරයෙන් එය රටේම ඉදිරි ගමනට හිතකරය. මොකද විසඳුම ඇත්තේ රාජ්‍ය සේවය සහ රාජ්‍ය සේවකයාගේ තත්වයන් දෙස සාධාරණ ධනාත්මක විවේචනයකින් ඉදිරිගමනක් යෑම තුල පමණක් නිසාමය.

 

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form