පොඩි කාලෙ ගමට ඉර එලිය වැටුන ගමන්ම අපි කරේ නිල් කැටේට වතුර ගලන ඇල දොළ පීරලා මාලු අල්ලාගෙන ජෑම් බෝතල් වල දාගෙන නටන එක උදේ වරුවෙ නම්. දවල්ට කාලා අහවර කරලා ඊලගට දුවන්නෙ පන්දු කෙලියට. ගොයම කපපු කුඹුර නම් ඒ කාලෙට නියම පිට්ටනියක්. වැස්ස කාලෙට නං ඔය දෙකම නැති නිසා ගේ අස්සට වෙලා යාලු කාණ්ඩෙ එක්ක කයිය ගහනවා. පුංචි පොත් කියවනවා. අපේ ගෙදර පොත් තිබුන නිසා වැස්ස කාලේ ගෙවුනෙ පාලුවෙන් තොරව.
තරුණ කාලෙ එලෙඹද්දි මේක වෙනස් උනා. අවුව වැස්ස නෑ කාණ්ඩෙට වැටිලා ගමේ සැරි සරණ එක තමා කලේ. ක්‍රිකට් ගහන්න, ඒල්ලේ ගහන්න ගොයම් කැපූ කුඹුර තාමත් තිබුනා ගම මැද්දට වෙන්නට. පන්සල් වත්තෙ කොල පාට නිල්පාට ලන්ද කැපිලා ගෙවල් හැදෙන්න කලින් අපිට එක අද්භූත කැලෑ කුට්ටියක්. දං සහ මාදං පිරුණු ලන්ද සුපුරුදු තිප්පොලක් උනා. ජම්බු කාලෙට ජම්බුත් ඇති පදං. සුදු අත්තාගේ දිනපතාම මදින කිතුල තිබුනෙත් මේ කැලෑ කුට්ටියේ. උන්දැ ඒකෙන් වැටිල මැරුණෙත් ඒ කැලේ ඇතුලෙදිමයි. අපිට මතකයි ඒ සිද්ධීයත්. කැලේ ගස් වැද්දෝ වගේ සැරි සරද්දි ඉඳ හිට කවුරුන් හෝ අටවපු ඌරු මදු පවා අපිට හමුවෙන්නේ මේ කාලයේ තමා.වැඩිහිටියෙක් වෙලා රස්සාවක් හොයා ගත්තු මම දිනපතාම ගමෙන් පිටවෙන්නෙ මහ උදේ පාන්දර. අඳුර වැටිල තියෙද්දි ගමෙන් පිට වෙන මං අඳුර වැටිලා තියෙද්දිමයි ගමට එන්නෙ. කාර්යය බහුල රාජකාරීයේ තරම තමා. කාලය ගෙවුනා. දැන් කැලෑ කුට්ටිය නැහැ. ගෙවල් හැදිලා. කුඹුර තිබුනට සෙල්ලම් කරන්න ළමයි නැහැ. උන් ජංගම දූරකථනයට කොටු වෙලා. අපි විතරක් සෙල්ලම් කරන්න බැරි තරමට අවිවේකී නාකි උන් වෙලා.
පොඩි කාලේ ගම ළග ඉස්කෝලෙට යන කාලේ තමයි මම මතක විදියට ඉස්සෙල්ලම දැක්කෙ ගෝනියකුත් කර තියාගෙන විජේ මාමා වැඩට යන හැටි. මනුස්සයා කොහේ යනවද කියලා නිනව්වක් මට ඒ කාලේ තිබුනෙ නැහැ. මල්ලෙ මොනවද තියෙන්නෙ කියල මට තේරුනෙත් නැහැ. උදේට ඒ මනුස්සයා කහට බැඳුනු දත් පෙනනලා පුංචි මහත්තයා කියලා හිනාවෙද්දි මම අප්පිරියාවෙන් අහක බලාගෙන යන්න ගියා. ඒ මගේ පොඩි කාලේ මතකයන්.
මට වයස පහලොවක් වගේ වෙද්දි මම දැනගත්තා උන්දැ ඒ යන්නෙ එදිනෙදා කුලියට කියලා. සරොම් කඩමාල්ලක් ඇඳගෙන විජේ මාමා යන්නෙ කුලියට. දර පලන්න. ගෝනිය අස්සෙ තියෙන්නෙ උන්දැගෙ පොරවයි පිහියයි තුවායයි. යන තැනින් දෙන දෙයක් කාලා කීයක් හරි හොයාගන්න තමයි විජේ මාමා යන්නෙ කියලා මට ඒ වෙද්දි හොඳට තේරුනා. උන්දැ ඒකෙන් පවුලක් නඩත්තු කලා. බිරිඳයි දරුවයි.
පස්සෙ කාලෙක මම රස්සාවකට යන්න බයිසිකලයක් ගත්තම මම වැඩට යන එන පාරෙදි උදේට විජේ මාමාව දැක්කෙ ටිකක් වයසට ගිහින් බව. කුලියට යන විජේ මාමාගෙ ගෝනියවත්, මූනෙ කහට හිනාවවත් ලොකු වෙනසක් වෙලා තිබුනෙ නැහැ. වෙනසකට තිබුනෙ විජේ මාමාගෙ කොන්ද ටිකක් කුදු වෙලා, ගෝනියේ අණ්ඩ තිබුනා. දත් ගොඩක් හැලිලා තිබුනා. කොණ්ඩෙ එක දෙක තැනින් තැන තිබුන උන්දැගෙ පරණ හිස්කබල වහගෙන තට්ටෙ පෑදිලා තිබුනා.
අසරණ විජේ මාමා කවදාවකවත් සතුටක් කියලා දෙයක් දැකලා නැහැ. පුංචි පැල් කොටේක ජීවත් උන උන්ගෙ සතුට සීමා සහිතයි. උන් නොදැකපු ලොකු ලෝකයක් තිබුනා. ඒවා නොදන්න විජේ මාමලා තව ලංකාවෙ කොච්චර ඇත්ද කියලා මට හිතෙන්න ගත්තෙ ඒ වෙද්දි මගේ තිබුන සමාජ අනුකම්පාව සහ දේශපාලන මතවාද එක්ක. කොහොම උනත් මඟදි හම්බුනාම පුතේ කියලා හිනා පාන කහට දත් ඇති හිතේ කහට නැති විජේ මාමාට මාත් දැන් හිනා වෙලා යන්න මාත් පුරුදු වෙලා.
කාලය ගෙවුනා. විජේ මාමාත් වැඩට ගියා. විජේ මාමාව පහු කරගෙන මමත් වැඩට ගියා.
විජේ මාමාට උන්නෙ නූගත් පුතෙක්. නූගත් කියන්නෙ ඉස්කෝලෙ නොගිහින් කට්ටි පැන්න නිසා නෙමෙයි. ඌ මහ නසරානියෙක්. උගේ නම ප්‍රසන්න උනාට ඌට ගමේ උන් කිව්වෙ ජෝතිපාල කියලා. ජෝති මං එක්ක එහෙම ලොකු හිතවත් කමක් ඇති කෙනෙක් නෙමෙයි. ගමේ මරණෙකදි නං අනිවාර්යයෙන්ම හම්බෙන එකෙක්. කොහොම වෙතත් ගමේ ගෑනු කෙනෙක්ගෙ ගෙට රිංගලා අන්තිමට රිංගලා කරපුවා පොලියත් එක්ක තැන්පත් උනාම ජෝතිට සිද්ධ උනා ඒ ගෑනිවයි නූපන් ළමයයි බාර ගන්න. අන්තිමට ජෝති හේමාගේ ගෙදර බින්න බැස්සා.
දර පලලා සතෙන් සතේ එකතු කරලා පොඩි පැලක් අටවාගෙන උන්නු විජේ මාමාගේ පුංචි ගෙදරින් ලොකු ගෙදරකට සැපත් වෙන්න ලැබුනු එකම ජෝතිගෙ පිනක් නෙව. අන්තිමට ජෝති ගෙදරින් ගිහින් හේමමාලාගේ ගෙදරම පදිංචි උනා. කාලෙකින් ඇඹේණියත් මිය පරලොව ගිහාම විජේ මාමා විතරක් තනි උනා. දන්න විදියට විජේ මාමාගේ නෑනාගෙ ගෙදර තිබුනෙ එහායින් නිසා විජේ මාමාට බලන්න කියන්න නෑනාගේ දරුවො උන්නා.
කාලයත් එක්ක මමත් විවාපත් උනා. ඒ බව දැනගත්තු විජේ මාමා දවසක් මඟතොටදි හමුවෙලා හරි සතුටින් මට ආශිර්වාද කලා. ඒ වෙලේ මං ඇහුව උන්දැගෙන් කොහෙද යන්නෙ කියලා.
“හේමලගෙ ගෙදර යනවා පුතේ සල්ලි කීයක්වත් ඉල්ලාගන්න දැන් මට බැරි කාලෙ නෙව” කියලා කිව්වහම මටත් පපුව හෝස් ගාලා පත්තු උනා. එතකොට තමා කල්පනා උනේ මේ මනුස්සයා දැන් වයසයි නෙව. කෝම වැඩ කරන්නද කියලා. කකුලෙ තුවාල වගේකුත් මට පෙනුනා. දින කීපෙකින් නාලා නැති බව මගේ නාසය මට කිව්වා. ඒවා නං මට ප්‍රශ්නයක් උනේ නැහැ. උන්දැට කීයක්වත් දෙන්න මං ගාවත් සරිලන මුදලත් අතේ තිබුනෙ නැහැ. මාමා ඔය කියන හේමලගෙ ගෙදර කිව්වෙ ජෝති බැඳල බින්න බැහැපු හේමාගේ ගෙදර කියල මට මතක් උනා. දුක් විඳින්නම උපන් ලංකාවේ “වියපත් පිරිස” කියලා ආයෙම මගේ කියමනත් ඒ එක්කම මතක් උනා. කොහොම හරි මාස කීපයක්ම ඒ විදියට යන එන විජේ මාමාව දකින්නත්, කතා කරන්නත් මට අවස්ථාව ඉඳ හිටම ලැබුනා. ඒත් අවුරුද්දකින් විතර කාලෙකින් මට ඔහුව හමු නොවුනේ මගේ රැකියාව එක්ක කාර්යයබහුල වීම නිසා.
ඔහොම උන්නු දවසක මහ වැස්සෙම මම ගෙදර ආවේ හවස හයට විතර. එදා වැස්ස හරිම සැරයි. පෑවිල්ල දරුණුවට තිබුන කාලෙ එක සැරේම වැස්ස නිසා සතුටකුත් දැනුනා. අකුණු ගහන හැන්දෑව හරිම අඳුරුයි. එක සැරේම හාත්පස එලිය කරගෙන අකුණු එලි වදිනවා. ඉන් පස්සෙ ටිකකින් මහ ගෙරවිල්ල. ඒ අස්සෙ ධාරාණිපාත වැස්ස එක ඔසෙට. මහ වැසි මැද්දෙම අකුණු එලි අතර ඈතින් කොන්ක්‍රීට් පාර නැගනෙන එන ජායාවක් මම දැක්කා. මං හෙමීට බයිසිකලයේ වේගය අඩු කලා.
බලද්දි විජේ මාමා සුපුරුදු විදියට, හැබැයි අවේලාවේ....?
මාමා කොහෙද මේ මහ වැස්සෙ? කුඩයක්වත් නැතුව? මම ඇහැව්වෙ අඳුර මැදින් තෙමීගෙන ආව විජෙ මාමාගෙන්.
උන්දැ හරි සංතෝෂෙන් හිනා උනා. ටික වෙලාවක් හිනා වුනා. ඉන් පස්සෙ සුපුරුදු වෙවුලන ස්වරයෙන් කතා කලා.
මං ගෙදරින් එලියට බැස්සෙ හයට පහක් තියලා! එතකොට වැස්සෙ නැහැ පුතේ.
පැරැන්නො තාමත් වෙලාව කියන්නෙ ඒ විදියට. හයට පහක්! ඒ කියන්නෙ පහයි පනස් පහයි වෙලාව.
මට නොයා බැරි ගමනක් යන්න වෙලා පුතේ. ඒ බව හේමලගෙ දිහැවෙ ගිහින් කියල හිටියොත් නෙ හොඳ. මගේ සීනු ඔරලෝසුවත් බිම වැටිලා කැඩුනා නෙව. ඒක කියන්නත් ඔනි. වැස්සෙ නොතෙමී ගෙදර පලයං! මං යනවා! උඹට බුදු සරණයි පුතේ”
විජේ මාමා එක හුස්මට සේරම කියාගෙනම වැස්සෙම නොනැවතී හේමාගේ ගෙවල් දිහාවට පියවර තිබ්බා.
කවදාවත් නැතිව අවේලාවේ මාමාව දැක්ක එක මම ගණන් ගත්තෙ නැහැ. තුවාල පිරුණු කකුලෙන් කොර ඇද ඇද උන්දැ යන දිහාවෙ ශෝකයෙන් බලන් ඉඳපු මම ආපහු ගෙදර ආවා. මට ඇත්තටම හරි ශෝකයක් දැනුනා ඒ වෙලේ ඉඳන්. මහ වැස්සෙම ගෙදර ආපු මම අධික වෙහෙස නිසා නින්දට වැටුනා. නිදාගන්න කලින් මම ෆෝන් එකේ උදෑසන එලාම් එක තියන්න ඔනි නිසා වෙලාව බැලුවා.
එතකොට වෙලාව 2025 පෙබරවාරි 11 සවස 7.00 යි කියලා මට මතකයි.
෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴
මේ ලෝකයේ ගොඩක් දෙනා දන්නෙ නැහැ සමහරුන්ට හමු වෙන්නෙ ඇත්තටම කවුද කියලා. සමහර වෙලාවට ඔබ ඉදිරියට එන කෙනා කවදාවත්ම මේ ලෝකෙ නොඉඳපු කෙනෙක් උනොත් කොහොමද? සමහර විට වෙස් වලා ගත්තු කෙනෙක් වෙන්නත් පුලුවන්. ගැහැණු කෙනෙක් විදියට ඇඳපු පිරිමි කෙනෙක් වෙන්නත් පුලුවන්. බුර්කාවක් ඇන්දොත් කවුද කියලා හොයන්නත් බැහැ. සමහරු ඉන්නවා ආයේ කවදාවත් හමුවෙන්නෙත් නැහැ. සමහර මිනිස්සු මීට කලින් හමු වෙලා නැති උනත් එක සැරේට අපේ ජීවිත වලට ඇවිත් ආයේ නොඒන්නම අයින් වෙලාම යනවා. සමහර මිනිස්සු ජීවිත කාලයක් අපි එක්ක හිටියත් අවසානයේ මිය ගිහින් අපි අතරින් වෙන් වෙලාම යනවා.
එදා මාධවට විජේ උන්නැහේව හම්බවෙන්න දවස් දෙකකට කලියෙන් විජේ මාමාගෙ විස්තර ටික දැනගත්තොත් තමා මේ කතාන්දරය සම්පූර්ණ වෙන්නෙ. ඒ නිසා පරිස්සමින් මේ කතාව කියවන්න. මොකද මේ ජීවිතයේදී ඔබ ඉස්සරහට එන්නෙ කවුද කියලා ඔබ ඇත්තටම දන්නේ නැති වෙන්න පුලුවන් නිසා.
2025 පෙබරවාරි 09 දිනයේ හැන්දෑවේ කටයුතු සිදු උනේ මෙහෙමයි. ඒ හවස විජේ මාමා උන්නෙ හේමලාගේ ගෙදර ඉස්සරහ කෑල්ලෙ ලණු ඇඳේ හාන්සි වෙලා. උන්දෑ අමාරුවෙන් නැමිලා කකුල් දෙක අත ගගා උන්නා. කකුල් දෙකේම තුවාල. දැන් දැන් විජේ මාමා වැඩට නොයන නිසා, උන්දෑ වයසක කෙනෙක් නිසාම දැන් දැන් ජෝතිගෙන් යැපෙන්න සිදු වෙලා. කාලයක් කොන්ද කෙලින් තියාගෙන ඇඟ පත වෙහෙසපු විජේ මාමා අද අසරණය වෙලා ඉන්නෙ විශ්‍රාමයක් නැතිකම නිසාමයි.
එක අවාසනාවට වඩා ක්‍රමයේ වැරැද්දක්.
කොහොම වෙතත් බීගෙන ආපු ජෝති එදා හවස ගෙදර හේමා එක්ක ජල්ලිය ඇල්ලුවේ සුපුරුදු පරිදිම. ඒත් එදා ජෝතිගෙ පුතා ඉස්සර වුනා. අම්මට අත උස්සද්දි කොයි කොල්ලද නිකං ඉන්නෙ කියලා ඌ තාත්තට අත ඉස්සුවා. ඒත් ජෝති තාම තරුණයි. ඌ කොල්ලව බෙල්ලෙන් ඇදලා පයින් ගැහැව්වම විසිවෙලා ගිහින් වැටුනෙ මිදුලට. ඒ දැකපු විජේ මාමා හඩ දීගෙන සාලෙට එද්දි ජෝති හේමාව බිම දාලා බෙල්ල පාගාගෙන ඉන්නවා දැක්කා. කෑ ගහගෙන ගිය විජේ මාමා ජෝතියව තල්ලු කරන්න හැදුවත් පණ මදි නෙව උන්දැට. ජෝති ශක්තිමත්. ඔහු අත උස්සලා තල්ලු කරපු පාරට විජේ මාමාත් ඇදගෙන බිම වැටුනේ ජෝතිගේ පරණ රේඩියෝ එකත් පෙරලාගෙන.
රේඩියෝව කියන්නෙ ජෝතිගෙ ආසම දේ. හැන්දෑවට ඇවිත් හේමමාලාට ගුටි දුන්නට මොකද වෙරි මතෙන්ම, ජෝති ආසයි හෙමීන් හෙමින් ඇහෙන මිල්ටන් පෙරේරගෙ කැසට්ටුව අහන්න. එක අහන්න තිබුන එකම රේඩියෝව බිම වැටිලා දෙපලු උනාම ජෝතිට යක්ෂයා ආවේශ උනා. මිදුලට බැහැපු ජෝති තාත්තා පොඩි කාලේ තමන්ට තැලුව වගේම කෝට්ටක් කඩාගෙන ඇවිත් අර තුවාල කකුල් තියෙන විජේ මාමාගෙ කකුල් වලින් ලේ හලනකම්ම කෝටු මස් වෙන්න ගැහුවා. අනේ ඒ වෙලාවේ විජේ මාමා පෙරලි පෙරලි වැඳ වැටෙමින් කෑ ගැහුවේ මාව බේරගනින් කියලා විතරයි. කෝට්ට කැඩෙන්න සෑහෙන වෙලා ගියා. පපුව අල්ල ගත්තු විජේ මාමා කලාන්තෙ වගේ ඇවිල්ල බිම වැතිරුනා.
ජෝති වෙරි මතේම කාමරේට ගිහින් නිදා ගත්තා.
පහුවදා උදේ වෙද්දි විජේ මාමා ගෙදරින් ගිහින්. උන්දෑ තනිවම උන්නු පැල් කොටේට ගිහින්. මේ ජර මර කවුදෝ 119 ට කතා කරලා කියපු නිසා පොලීසියෙනුත් ඇවිල්ල මේ අරෝව ගැන කටෝත්තර අර ගන්න. පොලීසිය විජේ මාමාගෙ පැල් කොටේටත් ඇවිත් කට උත්තර ගත්තා. පුතාගෙ කෙරුවාවල් ටිකත් පොලීසියට කිව්ව විජේ මාමා ආයේ හේමලාගේ ගෙදර නොයන බව පොලීසියට තරයේ කිව්වම පොලීසියත් නිහඩ උනා. අන්තිමට විජේ මාමටත්, හේමමාලාටත් ජෝතිටත් පොලීසියට එන්න කියාලා පොලීස් නිලධරයෝ යන්න ගියා. ඒ දේවල් සිද්ද උනේ 2025 පෙබරවාරි 10 වැනිදා.
පහුවදා, ඒ කියන්නෙ 2025 පෙබරවාරි 11 උදේම පොලීසියට ගිහින් ගැටුම සමථයට පත් උනාට මොකද විජේ මාමා ආයේ හේමලගේ ගෙදර ගියේ නැහැ. හිත් අමනාපෙන් උන්නු උන්දැ ආයෙම තමන්ගෙ පැලට ගියා. දවල්ට කෑම හේමා උයලා ගෙනැල්ල දෙනකම්ම මහ පාරේ ගහක් යටට වෙලා ඇන තියාන උන්නා. හේමාගේ පුතා ඇවිල්ල බත් පාර්සලය දුන්නම අමාරුවෙන් නැගිටලා තමන්ගෙ පැලට යන්න පිටත් උනා. දවල්ට බත් ඇබින්දක් කාපු මාමා ඉතුරු බිතුරු පිලිකන්නෙ එලලා තිබුනා මොකෙක්ට හරි කන්න කියලා. මාමා හැමදාම එහෙමයි.
එදා හවස තද පෑවිල්ලක් තිබුනා. තට්ට තනියම ගෙදර උන්නු විජේ මාමට ඉස්සෙල්ලම දැනුනෙ ඉවසන්න බැරි දාඩියක් සමඟ රස්නයක්. උන්දැ ඇඳෙන් නැගිටලා ඉඳගන්න උත්සහ කරාට ඇඟට පණ නෑ වගේ දැනුනා. කකුල් වලට කිසි දෙයක් දැනෙන්නෑ වගේ දෙයකුත් උන්දැට දැනුනා. ඇස් දෙක ඇරගෙන ඉන්න බැරි තරමට දැවිල්ලක් දැනුනා ඊළගට. ඉන් පස්සෙ බඩ දාගෙන ඔක්කාරෙට ආවා. පපුව පැත්තක් ගිනි ගන්නවා වගේ දැනුන නිසා මාමා තවත් වෙර දාලා නැගිටින්න හදද්දි නැගිටගන්න බැහැ මහන්සියි. ඊලගට දැනුනා වම් අත කැක්කුමක් එක්ක පණ නැතුව යන හැටි. ඉන්පස්සෙ හුස්ම ගන්න වෙනම මහන්සියක් වෙන්න ඔනි කියලා තේරුනාම උන්දැ ආයෙම බැලුවෙ නැගිටලා ඇඳ විට්ටමට හාන්සි වෙන්න. ඒත් පණ නැති අතෙන් වාරුව ගන්න බැරිව උන්දැ ඇඳ ලග තිබුන පොඩි බංකු කෑල්ලත් පෙරලගෙන බිමටම වැටුනා. ලිස්සලා ගිය පාරට හිස වැදුනා ඇඳ කකුලක.
ඇඳ ගාව තිබිලා පෙරලුන බංකුවෙ තිබුන පුංචි වයින් ඔරලෝසුව බිමට වැටිලා මාමාගෙ ඇඟට යටවෙලා බිඳිලා ගියා.
ඒ වෙද්දි වෙලාව හවස පහයි පනස් පහයි. හරියටම හවස පහයි පනස් පහයි. වෙලාව තවදුරටත් කැරකුනේ නැහැ.ලෝකය නතර නොවී භ්‍රමණය වෙද්දී විජේ මාමගේ වෙලාව නතර උනා. ජීවිතේ දුකම විතරක් විඳපු සතුට කියන දේ කවදාවත් අත් නොදැකපු ගමේ ඉඳලා ගමේම නාකි උන විජේ මාමාගෙ ඇස් වලට උඩින් ඝන අන්ධකාරය උදා වුනා..
කම්පා
උනු අහස, සිය අහස් වියන කලු කරගෙන වලාකුළු ඉරාගෙන ගොරවාගෙන වැසි වස්සන්න පටන් ගත්තා.
෴ නිමි ෴