රිවර්ස්ටන් විලාපයේ කතාන්දරය


අද විකුම් ගමේ යනවා

ඔව් කාලෙකින්.

කොළඹින් දුම්රියේ අසුනක් වෙන්කරවාගෙන විකුම් ගමට යනව. ඔහු එනතුරු ගමේ විකුම්ගෙ අම්ම, අප්පච්චි, නංගී බලන් ඉන්නවා. රස්සාවකට කොළඹ ආව විකුම් අවුරුද්දකුත් දින ගාණක‌ට පස්සෙ අද ගෙදර යනවා.

විකුම් හැදුනෙ මාතලේ පැත්තෙන් යන්න පුලුවන් රිවර්ස්ටන් පැත්තට වෙන්න දුෂ්කර ගමක. ගම කෙලවරේ සමර ගාපු පොඩි ගෙදරක ඔහුත් ඔහුගෙ අම්මත්, ගොවිතැන රක්ශාවක් විදියට කරපු තාත්තත් පුංචි නංගීත් ජීවත් උනා. ගමේ ඉස්කෝලෙක්. දැන් වගේ නෙමෙයි ඒ කාලේ හරි වින්ටේජ් යුගයක්. ඒ කියන්නෙ අර දුඹුරු පාට ආලෝකය, මඳ හිරු එලිය, පරණ් ලැටිස් ගෙවල්, ජංගම දුරකථන නැති ලෝකයක්. කොලපාට දුඹුරුපාට පරිසරය. නිල්පාට නකල්ස්, කවුරුත් නොදන්න පිටවල පතන... හැමදේම.....

ගංගා ඇල දොල වල නාලා, මාලු පැටව් එක්කම පීනලා, දැන් කවුරුත් මිලදී ගන්න මාලු තෙරපි නොමිලේම විඳගත්තු පරම්පරාවෙන් හොඳම එකෙක් තමා විකුම් කියන්නෙ. උදේ මීදුම මැද්දෙ ඉස්කෝලෙ යන්න, අමාරුවෙන් උගන්නපු ගුරුවරුන්ගෙ මහන්සිය  නිසා යන්තමින් සාමාන්‍ය  පෙල විභාගය සමත් වුන කාණ්ඩෙ එකෙක් වෙන්න   විකුම්ට පුලුවන්  උනා.

ගමේ පොලව එක්ක හැප්පෙන්න බැරි නිසාම, ඒක කම්මැලි කමක් නම් නෙමෙයි. ඒක මිනිහෙක් ජීවිතේ දිනන්න තියන ආසාව නිසා ඇති හැඟීමක් වෙන්න පුලුවන්. අවිස්සාවේල්ල පැත්තේ කලාපේ ග්ලවුස් හදන සමාගමක අත් උදව්කමට රස්සාවක් හොයාගෙන විකුම් ගමෙන් එලියට ආව.

දුර ඈත කොලපාට තෘණ සැලෙන භූමියේ සිසිලස අමතක කරලා ඉන්න එක ඔහුට ලේසි පහසු දෙයක් නොවුනත්, ඉක්මණින්ම කොලඹ පරිසරේ උණුහුමට හුරු උනා. කොල්ලෙක් උනාම මේ අඹ ගෙඩිය ඇතුලෙ ඕනෙම දේකට හැඩ ගැහෙන්න ඕනි.

විකුම්ගෙ වාසනාවට වෙන්නැති, අවංක කමට වෙන්නැති ඔහුට හම්බවෙනව අපූරු අවස්ථාවක්..ඒ තමා හදිසියේම මාලදිවයිනට යවපු කණ්ඩායමක අත් උදව් කරුවෙක් විදියට යන්න ලැබෙන එක.

විදේස ගමනට අවශ්‍ය හැමදේම හදාගන්න සමාගමේ පරණ යාලුවෝ උදව් කලා. විදේශ ගමන් බලපත්‍රය, වීසා අවසරය, හැමදේම සමාගමෙන්. රස්සාවට ආවත් හරි එක පාරක්වත් ගෙදර යන්න නොවුන විකුම්ට හිටි හැටියෙම ලංකාවෙනුත් යන්න උනා. දුරකතන ඇමතුමක්වත් ගන්න ජංගම දුරකතන නොතිබුන ඒ කාලේ ගෙදරට ලියුමක් දාන එක විතරයි විකුම්ට කරන්න පුලුවන්. එක්දාස් නමසිය අනූ ගණන් කියන්නෙ දැන් වගේ රිවර්ස්ටන් ගැන මිනිස්සු දන්න දිහාවක් නෙමෙයි. එහෙව් ගමකින් ලජ්ජාශීලී කොල්ලෙක් විදියට ගමෙන් කොලඹට ආව විකුම් දැන් හොඳ පෞර්ශත්වයක් ඇති මිනිහෙක් වෙලා.

ඉතින් මාස නමයකට ඔහුට රටින් යන්න උන විකුම් අද ගමට යන්නෙ එහෙමයි.

කොළඹින් මාතලේ යන දුම්රියට නැඟලා ගමරට පෙදෙස බලා යන්න යද්දි හවස් වෙලා. කොහොම වෙතත් අවසාන බස් රථය දුම්රිය පැමිණෙනකම් ඉන්න බව දන්න නිසා විකුම්ට කලබලයක් තිබුනෙ නැහැ. කොහොම උනත් වැසිබර කාලගුණයක් තිබුන නිසා උඩරට දුම්රිය මාර්ගයට බලන පැත්තෙදි ගස් දෙකක් කඩා වැටිලා තිබුන නිසා මඳ ප්‍රමාදයක් ඇති වෙලා තිබුනත් බස් රථය පිටත් වෙලා එතකොටත්. පැය භාගයක් පමණ බලන් ඉඳපු බස් රථය පිටත් වෙලා විනාඩි පහක් දහයක් වගේ ඇති කියලා විකුම්ට කිව්වෙ බස් නැවතුමේ ඉඳපු මුරකරු උන්නැහේ.

හනික පාරට ගිහින් යන එන වාහන වලට අත දැම්මොත් ඒ එකක ගිහින් බස් රථය අල්ලාගන්න හැකි බව විකුම්ගෙ ඔලුවට සිතුවිල්ලක් ආවේ නිකම්ම. කාලෙකින් ගෙදර යන්න තිබුන හදිස්සිය විකුම්ට උත්තේජනයක් වෙලා තිබුනා. පයින් යන්න පුලුවන් දුරක් නම් ඔහු දැනටමත් ගමන පටන් අරන්.

පාරේ යන එන වාහන කීපයකට අත දැම්මට එකක්වත් මහ රෑ නතර කලේ නැහැ. විකුම් වගේම ඒ අයත් ගෙදර යන සිතුවිල්ලෙන් නෙව. කොහොම වෙතත් ටිකක් පරණ ටුවින් සී ඩී 125 බයික්කයක් පැදගෙන ආව තරුණයෙක් විකුම්ව පහු කරගෙන අඩියක් පමණ ඉදිරියට ගිහින් නවත්තලා විකුම්ට නලාව නාද කලා.

විකුම් ඉස්සරහට දුවගෙන ගිහින් ඔහුගෙන් ඇහුවා.  ඉලුක්කුඹුර පැත්තට යන බස් එක අල්ලාගන්න පුලුවන් වෙයිද?

විනාඩි දහයක් ඇති පිටත් වෙලා....

විකුම් එහෙම කිව්වම ඔහු කිව්වෙ යමු කියලා විතරයි. අමතර හිස් වැසුම විකුම්ට දුන්නු ඔහු විකුම් යතුරුපැදියෙ හිඳගන්නා තුරු මඳක් කල් මැරුවා. යතුරු පැදියේ පිටුපස්සෙ ආසනේ හරිබරි ගැහුනු විකුම්ට ඔහු කිව්වෙ එක දෙයයි.

මල්ලි මගේ උරහිසට අත තියාගන්න.....

සීතල සුලං කපාගෙන සද්දෙට හඩ දීගෙන ජපන් ටුවින් යතුරු පැදිය මහා මාර්ගයේ වේගයෙන් ඉදිරියට ඇදුනා. කීප වතාවක් මිතුරො එක්ක කොළඹ නගරයේ එහෙ මෙහෙ ගියත් මේ වගේ වේගයෙන් ඉදිරියට ඇදෙන යතුරු පැදියක මේ වගේ වේගයෙන් නොදන්නා කෙනෙක් එක්ක යාමේ අවදානම පරදා විකුම්ගේ හිතේ තිබුනේ ගෙදර යන කොට අම්මගේ අප්පච්චිගේ නංගීගේ හිනා මූනු පහන් වෙන හැටි දකින ආසාව විතරයි.

වේගයෙන් ඉදිරියට යන යතුරු පැදිය විනාඩි විස්සක් පමණ මහ පාරේ ගිහින් අතුරු පාරට හරවලා වංගු කීපයක් යද්දි බස් රථය ඈතින් පහන් දල්වාගෙන ගමනේ යෙදෙන හැටි. වලවල් මගහරිමින් සීරුවට ඒත් වේගයෙන් ගියපු බයික් රථය බස් රථයට ලං කරලා හෝන් කීපයක් නාද කරලා ඒහෙම බයසත්  ඉස්සර කරගෙන වංගු දෙකක් විතර ඉස්සරහට ගිහින් නතර කලා.

යතුරු පැදියෙන් බට විකුම් යතුරුපැදිකරු‌ට, බොහොම ස්තූතියි අයියා කියලා ස්තූති කරා. ඊළගට ආයෙමත් ඇහුවා. අයියගෙ නම?

මම මාධව......

එහෙම කියලා පිළිතුරු දීලා මඳ සිනහවක් පාපු යතුරුපැදි කරු ආපහු හරවාගත් යතුරු පැදියෙන්ම කළුවර කපාගෙන ආපහු නගරය පැත්තට ඇදුනා. විකුම් කෘතඥව ඔහු දිහා බලාගෙන ඉඳලා හෙමින් හෙමින් ආව බස් රථයට අත දාලා එයට ගොඩ උනා.

ආන්න බස් එකට ගොඩ උනු විකුම් ඊළග දවසේ හමු උනේ මහ පාර මැද සිහියක් නැතුව වැටිලා ඉද්දි!

----------------------------------------------------------------------------------------------------

මට බස් එකට ගොඩ වෙලා ඉඳගන්න උනේ ටිකක් වෙලා ගිහින්. ගමේ මිනිස්සු පිරිලා. ඒත් ගමට අපි ලං වෙද්දි බස් එකේ ඉඩ ඇති උනා.  ඈත පේන තෘණ පඳුරු සැලෙද්දී, ඈත නරි හූ කියනවා ඇහෙද්දි, හුලං කපොල්ලෙ හුලං හඩ ඇහෙද්දි සෙනග එකා දෙන්න‌ බැහැලා ගිහින් බස් එකේ ඉතුරු උනේ අපි හතර දෙනයි......

ඒ අඳුර කපාගෙන ආලෝකයෙන් බසය එලවන රියදුරු මහත්තයයි, පැති අසුනෙ නිදි කිරා වැටෙන කොන්දොස්තර උන්නැහෙයි, මමයි, තව ගෑනු ළමයෙකුයි විතරයි.

දෙපාරක් තුන්පාරක් හැරිලා බලන්න තරම් ගැමි සුන්දරත්වයක් තිබුනු ඒ ගෑනු දරුවව මම මී‌ට කලින් ගමේ දැකලා තිබුනෙ නැහැ. කාගෙ හරි බිරිඳක්, ඥාති කෙනෙක් වෙන්නැති. දුරක ඉඳන් ආව කෙනෙක් සමහර විට.

මං බස් එකේ ඉඳගෙන උන්නෙ පිටිපස්සෙ දොරට ඉස්සරහින් තියන ආසනයෙ. මේ ගෑනු ළමයා උන්නෙ අනික් පැත්තෙ පිටිපස්සෙම මුල්ලෙ. මං ඇය දිහා බලල හිනා උනාහම ඇය හෙමීට දසන් පෑව හරියට මට පාලුයි කියන්න වගේ.

ඒක මට ආරාධනාවක් උනා. මම ගිහින් ඇයත් මාත් අතර අඩියක් වගේ ඉඩ තියලා ඉඳගෙන හිනා උනා. ඇයගේ මුහුණ මං හරියට දැක්කෙ ඒ වෙලේ. ඇත්තටම ඇය හරිම සුන්දර යුවතියක්. නීල පාට ඇස් පරණ බස් ඒකේ ඇතුලෙ දැල්වෙන ආලෝකයටත්  පැහැදිලිව පෙනුනා. මං කවදාවත් ඒ වගේ ඇස් දෙකක් දැකලා නැහැ.

ඇය ඇඳල උන්නෙ පන්සලකට යන්න වගේ කෑලි දෙකෙක ඇඳුමක්. සුදු අත් කොට උඩු ඇඳුමකුත්, දනහිසට මඳක් පහලට වැටෙන සුදු සායකුත්, අලුපාට සෙරෙප්පු දෙකකුත් ඇඳලා උන්නු ඇය කොන්ඩය තනි කරලට ගොතලා තිබුනා.

ඇය දිහාවට හැරුණු මං ආයෙම හිනා වෙලා මාව අඳුන්වලා දෙමින් කතාව ආරම්භ කලා.

මං විකුම්.

අද මට බස් එක මඟහැරුනා. අමාරුවෙන් අල්ල ගත්තෙ! නංගි මෙහෙ කෙනෙක් නෙමෙයි නේද?

බස් රථයේ තිබුනු තනිකම පාලුව සහ කවුරුත් නොදන්නා පැත්තකදි ඇතිවන ආගන්තුක බව නිසා වෙන්නැති ඇය ඉක්මණින්ම දොඩමළු උනා.

නැහැ අයියෙ.

කවුරුත් නැති බසයේ ගෝෂාව අපි දෙන්නට බාධාවක් උනේ නැහැ. ඈත සානුව සිපගෙන එන කෙහෙ රැල්ලක් ඇවිදිල්ලා විටින් විට ඇගේ කෙහෙ රැල්ලක් අවුල් කරලා දැම්ම. ඇය හෙමීට ඇගේ හීනී ඇඟිලි වලින් පටලාගත්තා. තවත් වෙලාවක කන පිටිපස්සෙන් රඳවලා දැම්මා.

ඒවා බලන් ඉද්දි මට ඇය ලග දොඩමළු වෙන්න තව ආසා උනා විතරයි. කවදාවත් ගෑනු ලමයෙක් එක්ක මෙහෙම තනිවෙලා කතා කරලා නැති මට හැබැයි එදා අපහසුවක් තිබුනෙ නැහැ. ඉතින් අපි දොඩමළු උනා.

අපි කතා කලේ රිවස්ටන් නැමති සානුවේ සුන්දර බව. අපි කතා කලා අහස ගැන. දවල්ට තියන නිල් පාට අහසෙ සුදු වළාකුළු රටා ගැන. කාලයකට පිපෙන මල් ගැන. ඒ මල් වල වහන සමණල්ලු ගැන. එයා මෙහෙ කෙනෙක් නොවන හින්දා වැඩිපුරම ඒ ගැන කියලා දෙන්න උනේ මට. මම දන්න හැමදේම ගිරවෙක් වගේ කියෙව්වා. සේරම අහගෙන ඉඳපු ඇය මෙහෙම කිව්වා.

සමණල්ලු කියන්නෙ ලස්සන සත්තු. උන් දන්නවා මලට නොරිදා ජීවත් වෙන්න. ඒත් බඹරු වැහුවම මල් වලට රිදෙනවා. ඒම කියලා ඇය ජනේලෙන් එලිය බැලුවා. මට ඇය කියපු මේ වාක්‍යය හිතට දැනුනා.

නංගි මොනා හරි ප්‍රශ්නයක් ද? මං ටිකක් වෙලා ඉඳලා මෙහෙම ඇහුවේ ඇගේ ඉරියව් වෙනස් උණ නිසා.

 

ඒකට උත්තර නොදුන්නත් ඊළගට කතා බව ප්‍රචණ්ඩ උනා වගේ දැනුනා. ඇය කතා කලේ ආවේගයෙන්.

බෙල්ල ගස්සලා වගේ මං දිහා බලපු ඇය මගෙන් ඇහුවා මෙහෙම!

කවදාවත් නොදැකපු කෙනෙක්ට උනත් අහන් ඉන්න පුලුවන් කතාන්දර තියනවා නෙව. මං අයියට කතාවක් කියන්නද?

 

රශ්මි මම! මගේ නම රශ්මිකා. යාලුවො මට කියන්නෙ රශ්මි කියලා.

මම කතාවක් කියන්න කැමතියි අයියට......

 

එකෝමත් එක රටක ඈත ගමක උන්නු පුංචි ගෑනු දරුවෙක් ටික කාලෙකින් ලොකු මහත් වෙලා හැඩකාරියක් උනා. දුප්පත් ගෑනු දරුවට ගෙදරට බරක් වෙන්න බැරි නිසා එයා ඇඟලුම් හලක රස්සාවක් කරන්න යනවා. දවසක් ඇය දකිනවා බොහොම කඩවසම් කුමාරයෙක්.

ලස්සන මාලිගාවක් වගේ වාහනයකින් ඇවිදිල්ලා මං ගාව ඉඳපු අපේ මැනේජර් මහත්තයාට මොනාදෝ කියලා මං දිහාත් බලලා හිනා වෙලා යන ඒ කුමාරයා එතනින් ගියේ ඒ ගෑනු දරුවගෙ හිතත් අරන්

එදා ඉඳන් මාස කීපයක් යනකම් එයා නාවට, හදිසියේම මහ පාරෙදි ගෑනු දරුවා ගාව ඒ මාලිගාවක් වගේ වාහනේ නවත්තලා බැහැපු එයා ළගටම ඇවිල්ලා කතා කරා.

ඉන් පස්සේ කීප දවසක්ම ඒ විදියට මහ මඟදි කුමාරයව හමුවෙලා ආදරණීය කතාවකට ඒ දෙන්නා අඩිතාලම දැම්මා. කුමාරයාගේ මුවින් නිකුත් උන හැම වචනයක්ම හීන මාලිගාවේ තට්ටු එකින් එක ගොඩ නැගුවා. කලාපේ ලොකු සමාගමක අයිතිකාරයගේ පුතා අරුණ සිරිවර්ධන කියලා ඔහුව අඳුන්වලා දුන්නා. අනේ ඒ ප්‍රේම කතාන්දරයේ උච්චතතම කූට ප්‍රාප්තිය දවසක් මහ වැස්සක අකුණු මැද පාලු පාරක ඒ වාහනයේදීම ඇති උනා. මහ වැසි වැහැලා ගලාගෙන ගිහින් ගංගාවට එක්කහු වෙලා කුණාටුව නිමා උනා. ඒ වෙලාවේ මාළිගා වාහනේ පිටිපස්සෙ ආසනයේ තැවරුනු පුංචි රතු පැල්ලම් ටිකත් පරෙස්සමින් පිහදාන ගමන් ඒ කුමාරයා ගෑනු දරුවාගේ නලලත ආදරයෙන් සිප ගත්තා.

එයින් කීප පාරක්ම ඒ පෙම් හමුවෙන් පස්සේ ආයෙමත් අර කුමාරයා අතුරුදන් උනා. ඒ වෙද්දි ගෑනු දරුවාට මහන්සි දැනෙන්න අරන්. කුමාරයාගේ උරුමය තැන්පත් වෙලා තියෙන පුංචි ශරීරයත් ඔසවාගන ඇය ඔහු ගැන හැමතැනම හෙව්වා.

අනේ පළවැනි ආරංචිය ඇය කලාපෙ සමාගම අයිතිකාර සිරිවර්ධනගෙ පුතා අරුණ නෙමෙයි. සිරිවර්ධනගේ පුතා අරුණගේ රියදුරු කමල්. කමල් කියන්නෙ කලාපෙ වැඩකරපු තව සේවකයෙක් විතරයි. මොකෙක් හරි දරුවට තාත්තෙක් ඔනි කියලා ඇය ඔහුව හැමතැනම හෙව්වා.

එතකොට තමා ආරංචි උනේ ඒ නරුම මිනිහා රස්සාවෙන් අයින් වෙලා ලංගම රස්සාවකට ආවා කියලා. ‌ෙගවල් නුවර පැත්තෙ කියලාත් ආරංචි උනා. ගෑනු දරුවා ඔහුව හොයාගෙන නුවර ඩිපෝවට ගියා. නුවර ඩිපෝවෙන් කිව්වා ඔහු මාතලේ ඩිපෝවෙ වැඩ කරන්නෙ කියලා. ගෑනු දරුවා එයාව හොයාගෙන මේ යන ගමන්.

ඒම කියලා රශ්මි මහ කුරිරු විදියට හිනා උනා. විකුම් ! ඇය මගේ නම හරියටම කිව්වා. ඔයා දැන් නැගිටලා ගිහින් බස් එකෙන් බහින්න. ඔයාට ගෙදර යන්න තරම් මේ බස් එක තව වැඩි දුර යන්නැහැ. ඒම කියලා ඇය මගේ අතින් අල්ලාගෙන නැගිට්ටා.

ඒ අත සීතලම සීතලයි. ඒ සීතල මගේ ඇඟ පුරා දිව යද්දී මමත් මෝහනය වෙලා වගේ නැගිට්ටා මතකයි. කොන්දොස්තර උන්නැහේ අසුනක හොඳටම නිදි. ඇය පාවෙලා වගේ මට ඉදිරියෙන් ගිහින් රියදුරු අසුනට පිටිපස්සෙන් හිට ගත්තා. රියදුරුට ඉහල කණ්නාඩියෙන් හිටගෙන ඉන්නා මගියෝ දෙන්නා දිහා බලපු රියදුරු උන්නැහේ බ්රේක් පාරක් ගැහැව්වා. මට මතක මං විසි වෙලා ඉස්සරහ දොරේ වැදිලා පාරට වැටෙනවා විතරයි.

--------------------------------------------------------------------------

 

රිවර්ස්ටන් පාරේ උදේ මීදුම මැද වැටිලා උන්නේ තරුණයෙක්. ගමන් මල්ල ඔහුගේ පිටේ තිබුනා. නලලෙන් ලේ ගලලා සීතලට ඒ ලේ එතනම ගල් වෙලා තිබුනා. ඔහු කෙඳිරිගාන නමුත් සිහියක් නැහැ. පාරට එක්රැස් වෙලා ඉඳපු කට්ටිය ඔහුව රෝහල් ගත කලා.

බස් රථයක් පාරෙන් ඉවතට විසි වෙලා තිබුනා. කොන්දොස්තර උන්නැහේ, කොන්දොස්තර කියලා අදුනගෙන තිබුනෙ ප්‍රදේශවාසියෙක්, ඔහු පපුව අල්ලාගෙන බසයේ මැද වැටිලා හිටියා. ඇස් මහා බයකින් වගේ ඇරිලා තිබුනා. පස්සෙ මරණ පරීක්ෂණයෙන් කිව්වෙ පපුව පැලිලා කියලා. සොභාවික මරණයක්!

හැමෝම ඊළගට හෙව්වෙ බස් රියේ රියදුරු තැන!

ඔහු පේන්න හිටියෙ නැහැ. බස් එකෙන් ඔහු දොර ඇරගෙන බැහැල ගිය බවක් කවුරුත් දන්නෙ නැහැ. එහෙම සලකුණක් බසයේ නැහැ කියලා පොලීසියෙන් කිව්වා. හැමෝම සානුව පුරා කෑ ගහල කතා කරත් රියදුරු තැන ප්‍රතිචාරයක් නැහැ. අනතුර දැකපු වෙන කෙනෙක් ඔහුව රෝහල් ගත කරාද, ඔහු ඩිපෝවට ගියාද, ගෙදරට වත් ගියාද කියලා බලන්න හැම තැනටම පණිවුඩ යැව්වත් ඒ හැම දෙයක්ම ගඟට කැපූ ඉනි වගේ උනෙ ඔහු ගැන ආරංචියක් නැති අතුරුදහන් වූවෙක් ලෙස සලකුණු වෙමින්. කැලේ ගැන දන්න ගම් වැසි කීපදෙනෙක් සහ වනජීවී නිලධාරීන් සමඟ යෙදුනු සංචාර වලදි වත් රියදුරුගේ චායාවක්වත් හමුවෙලා නැහැ.

නමුත් ලේ පාරක් බසයේ රියදුරු අසුනේ සිට ඉදිරිපස දොරන් එලියටත් ඉන් පස්සෙ ඒ ලේ පාර නිකන් කවුරු හරි පින්සලකින් පාට ඉරක් අදිනවා වගේ බසයේ පිටුපස ඩිකියටත් යා කරමින් ඇඳල තිබුනා. ඒ රුධිරය නම් රියදුරුගේ බව පසුව කෙරුණු පරීක්ෂණ වලදි අනාවරණය වෙලා තිබුන.

කොහොම හරි පොලීසියේ කෙනෙක් ඒ ලේ පාර අනුව ගිහින් ඩිකිය ඇරියම ඩිකිය මුල්ලට වෙන්න තිබුනෙ කලු පාට ඉටි බෑගයක්. කවුරුත් කම්පනයට පත් කරමින් ඒ බෑගයෙන් මතු උනේ සුන්දර කාන්තාවකගේ මල සිරුරක්. සුන්දරයි කිව්වට ඇයගේ ඇස් විවෘත වෙලා. කම්පනයෙන්ම. අත පය දරදඩු වෙලා. දුඟද හමන මල සිරුරක්! ඒ කවුද? සානුවේ මීදුම මැද මහා අභිරහසක්!

‍ඒ අහිංසක ගෑනු දරුව  ඇඳල උන්නෙ පන්සලකට යන්න වගේ කෑලි දෙකෙක ඇඳුමක්. සුදු අත් කොට උඩු ඇඳුමකුත්, දනහිසට මඳක් පහලට වැටෙන සුදු සායකුත්, අලුපාට සෙරෙප්පු දෙකකුත් ඇඳලා උන්නු ඇය කොන්ඩය තනි කරලට ගොතලා තිබුනා.

ඇගේ දෙකකුල් මැදින් කලු පාට දිය දහරාවක් ගලාගෙන ඇවිත් කකුල් දෙකේම සහ සායේ තැන් තැන් වල ගෑවිලා වියලී ගොස් තිබුනා.

මේ අනතුර සිදු උනේ වර්ෂ එකදාස් නමසිය අනූ ගනන් වල දෙසැම්බර් 23 වැනි දාක මහ රෑ........

---------------------------------------------------------

මම ආයෙම කොළඹ වැඩට ආවා. ම‌ෙග්  අප්පච්චීගේ අසනීපය නිසාම ගමේ දේවල් සේරම විකුණපු අපි කොළඹින් ගෙයක් කුලියට අරන් පදිංචි උනා. නංගිත් මෙහෙ පුද්ගලික ආයතනයක වැඩකට යන්න ඉඩ හදා ගත්තා. අර අනතුරින් පස්සෙ මගේ ඒ අත්දැකීම මං පොලීසියට කිව්වම පොලීසිය ඒක සටහන් කරගෙන මට යන්න ඇරියා. පස්සෙ ආරංචි උනා ඒ රශ්මි කියන ගෑනු ලමයා රියදුරුව හොයාගෙන ආවම කොහොම හරි විදියකින් රියදුරු උන්නැහේ කොන්දොස්තර එක්ක ඒ ළමයව බෙල්ල මිරිකලා මරලා. මරන්න කලින් පයින් පාරක් ඇගේ දරු ගැබටත් එල්ල කරලා කියලා ආරංචි උනා. ඒම කරපු ඒකට කොන්දොස්තරට නං දඩුවම් ලැබෙන්න ඇති. මං හිතන්නෙ සමහර විට ඌ මැරෙන්න ඇත්තෙ ඇගේ අවතාරය දැකලා පපුව පැලිලා වෙන්නැති.

හැබැයි රියදුරු උන්නැහේට වෙච්ච දෙයක් නැහැ. පොලීසියෙන් හෙවිල්ල අතෑරලා දැම්මට මට හිතෙන්නෙ නැහැ අර රශ්මිගේ අවතාරය ඌට ගැලවිලා යන්න දීල ඇති කියලා. දැන් ඒවා සිද්ධ වෙලා කාලයක් නෙව. මට දැන් ගමෙන් ආරංචියක්වත් නැහැ...

-----------------------------

රිවර්ස්ටන් සානුවේ එක මාසෙක එක දවසක මහා ආවේගයෙන් කෑ ගහන පුරුෂ ආත්මයක් ගැන දැන් දැන් ගම්මු කතා වෙනවා. සමහරු කියනවා ඒ සතෙක්ගේ උඩුබුරුලෑම කියලා. සමහරු කියනවා වල් බල්ලෙක් වෙන්නැති කියලා.

සමහරු කියනවා අතරමං උන මිනිහෙක්ගෙ මල අවතාරයක් කියලා. සමහර ළමයි එ සද්දෙට උණ ගැනිලා අසනීප උන අවස්ථා තිබුනා. සමහර හිත හයිය පිරිමි උනත් දැන් මහ රෑක දොට්ට පිලට යන්නෙ නැහැ. සමහර හෝටල් වල උනත් රෑ දහය වෙද්දි කාටවත් අමුත්තොන්ට එලියට යන්න දෙන්නැ. මොකද ඒ මහ කාළකණ්නි හඩ ඇහුනොත් අනතුරක් අත ළග වෙන්න පුලුවන් නිසා.

දැන් උදා වෙලා තියෙන්නෙ 2025 වසර. ඒත් ගිය අවුරුද්දෙ, ඒ කියන්නෙ සතී කීපයකට පෙරත්, දෙදහස් විසිහතරෙ දෙසැම්බර් 23 වැනි දාත් මහ රෑ කවුදෝ මිනිහෙක් පිටවල පතනේ මහා වේදනාවෙන් විලාප ගහනවා ඇහුනු අය ඉන්නවා.....


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form