ආදරයේ පුංචි අංකුර

 


අපි ආදරයේ පුංචි අංකුර උදුරා දමමින් සිටින්නෙමු.

එයද ආදරයේ කොටසකි......

සදාතනික ප්‍රේමයක පැටලෙන්න විදියක් නැතුව උනත් මම ඇය දිහා බලන් හිටියම මට දැනුනේ ඒක හරිම වේදනාවක්. ළගට ගිහිල්ලා ඉඳගෙන ඒ ඇස් දිහා බලාගෙන මම ඔයාට ආදරෙයි කියන්න බැරි නම්, අඩුම තරමේ ආදරය කියන දේ හිතේ ගුලි කරගෙන ඉන්නත් බැරිනම් කරන්න තියෙන්නෙ එකම එක දෙයයි.

ඒ තමයි දළු දාන ආදරයක පුංචි පුංචි අංකුර නටුවෙන්ම කරකවලා කඩලා දාන එක.

අහර ඉසව්වේ රෝස මලක් පිපිලා තියෙද්දි, කොච්චර උවමනා උනත් සුවඳ බලන්න අවශ්‍ය උනත් ඇයි මං ඒම නොකරන්නෙ? මල් පොකුරම නෙලා ගන්න අවසර නැති ලෝකයක විඳගන්න වෙන අපූරු වේදනාවක මිහිර පුංඡයක් කොච්චරවත් වද දෙද්දි මට පුළුවන් ඒ ඇස් මඟාරින්න විතරයි.

හුම්..........

මං ඒක කරන්නම ඉටාගත්තා. ඒ තමයි හැඟීමක තැන්පත් කරලා හුළගට පා කරපු ප්‍රේමයක හැඟීම....

හැන්දෑකරේ මං හෙමින් හෙමින් මාවත දිගේ පියවර මැන්නා. කල්පනාවෙන් තොරව වගේ මම හිතේ කුහුලෙන් පියවර තිබ්බ. මට ඔනි උනේ තනි වෙන්න. ඉර බැහැලා යන ඈත ආකසෙ දිහා මම බලාගෙන හිටියා. මහවැලි ගඟ තාමත් පිරිලා වැසි දියෙන් පෝෂණය වෙලා. දුර ඈතට ගලාගෙන ගලාගෙන ගිහින් කොහේදි හරි කවදා හරි මහ මුහුද එක්ක එකතු උනාට අපේ මේ ප්‍රේමණීය කතාවේ හිමි වීමක් නැහැ නේද කියලා හිතෙද්දි මොකක්දෝ අමුතු දෙයක් දැනුනා. දිග හුස්මක් ගත්තු මම ආපහු ඉදිරියට ඇදුනා.

සිතුවිලි ගොනු අතර ඇති මතක සටහන් කවියක් වගේ දිගහැරෙද්දි පාලුව මාව වෙලා ගත්තා. කතා කරන්න හෝ කවුරු හරි ඉන්නවානම් කොච්චර එකක්ද කියලා හිතුවත් මං ළග කවුරුත්ම නැහැ. පාලමෙන් මහ පාරට ආව මට එක සැරේට ඇහුනේ “ආපසු යන්නට පාර කියනවද?” සිංදුව!

ඇත්තටම ඒ වෙලේ මට තේරුනා

ආපසු යන විදිය කියලා දෙන්න එයාටවත් බෑ. මට ආපහු යන පාරක් හොයා ගන්නත් බෑ. මේක මහ අමුතු දෙයක්. ඇත්තටම ප්‍රේමය ගුලි කරලා අතට අරන් ඈතට වීසි කරලා දාන්න පුලුවන් නම්? මං ඇත්තටම ඒම කරයිද?

හවසක වරුවක බැස යන හිරු එලියේ නැහැවෙමින් ඇස් දිහා බලාගෙන ඉන්න, කතා බතා  නැතුව......

ඉඳ හිට අපේ අතැඟිලි පටලවගන්න උවමනා උනාම ඒ ඇස් දිහා නොබලම අතැඟිලි පැටලිලා අපිට අපි නොදැනීම හිතේ සැනසීමක් වගේ පුංචි හැඟීමක් දැනුනම තියන සනීප ගතිය විඳින්න

නිහඩවම

වෙන් වෙලා යන්න කලින් කම්මුලට පුංචි හාදුවක් තිළිණ කරන්න.......................

සමහර විට ඒ මුකුත්ම නැතිව තනි වෙලා ඔහේ ලාදුරු ලෙඩ්ඩු දෙන්නෙක් වගේ කාලේ කාලා දාලා වෙන් වෙලා ගියාම

මතක හරි ඉතුරු වේවි මං ගාව අපි දෙන්නා මේම කාලයක් ගෙව්වා කියලා.........

ඔය සේරම හිතෙද්දි මං බස් එකකට නැඟලා ජනේලයක් අයිනේ ඉඳගෙනත් ඉවරයි. කොහාට යනවද නොකියා වෙනදා වගේම මුදල් දික් කලාම කොන්දොස්තර මහතා හිනා වෙලා ටිකට්ටුව දුන්නම මම ඒක උඩ සාක්කුවට රුවාගෙන ජනේලෙන් ඈත දුරක දැහැන්ගත වෙලා මනෝලෝකෙ තනි උනා. බස් රථය මාවත් අරන් සුළං කපාගෙන ඈතට ඈතට පියමැන්නා...

හුළගට මගේ ඇස් පියවෙද්දි මම සිහින ලෝකයක තනි උනා.

අපි ඇවිදගෙන ගිහින් පුංචි මල් පඳුරක් ගාව නතර උනා. ලෝකාන්තයේ කෙලවර ඒ මල් පඳුරේ මල් කැකුළු අපි වෙනුවෙන්ම බලාගෙන සුළගය සැලි සැලී උන්නා.  ඒ ලස්සන මල් පඳුරේ මල් හරියටම 13ක් තිබුනා. අපි දෙන්නාම එක එක කුසුම බැගින් නෙලාගෙන ද්වේශයෙන් තොරව බිමට දාලා කකුලෙන් පාගලා පොඩි කරලා දැම්මා. මුලින්ම මල් දෙකක් ඉන් පස්සේ අනික් මල් දෙකක් විදියට මල් දොලහක්ම එක්කෙනක්ට මල් හයක් ම තිබුනා පොඩි කරන්න. එකොලහ සහ දොලහ මල් දෙක පොඩි වෙද්දි අවට මල් සුවඳින් පිරිලා.

අපි තේරුම් ගන්නෝනි අපි ඒ පොඩි කරන්නෙ අපි ආස කරන ප්‍රේමයක මං කිනිති කියලා.

අන්තිමට එකම එක මලක් ඉතුරු උනා.

අපි අපි දෙන්නාගෙම ඇස් දිහාවෙ බැලුවා. එයා ඒ ඇස් වලින් ඍජුව මගේ ඇස් ඇතුලටම කිඳා බැහැලා ඇහුව

කවුද මාධව මේක පොඩි කරන්නෙ?

මං ගාව උත්තරයක් තිබුනෙ නැහැ....

ඒ මල විතරයි පොඩි කරලා දාන්න තියෙන්නෙ....

එතකොට ආදරයත් ශුන්‍ය වෙලා යන්න යාවි.......

 

ඒත්.......................

මට එහෙම කරන්න හිත දුන්නෙ නැහැ.... මං ඒ බැල්මෙන් මිදිලා පුංචි මල් කැකුළ දිහා බැලුවා. ඇය හරිම ලස්සනයි....... මං ඒ මල් කැකුල නෙලාගෙන ඇයගේ කෙහෙ රැල්ලෙ පටලවලා හෙමින් ඇයගේ සිනිදු රෝස කම්බුලක් සිපගත්තා.

මට කරන්න පුලුවන් එච්චරයි.

අපි ආදරයේ පුංචි අංකුර උදුරා දමමින් සිටින්නෙමු.

එයද ආදරයේ කොටසකි......

සදාතනික ප්‍රේමයක පැටලෙන්න විදියක් නැතුව උනත් මම ඇය දිහා බලන් හිටියම මට දැනුනේ ඒක හරිම වේදනාවක්. ළගට ගිහිල්ලා ඉඳගෙන ඒ ඇස් දිහා බලාගෙන මම ඔයාට ආදරෙයි කියන්න බැරි නම්, අඩුම තරමේ ආදරය කියන දේ හිතේ ගුලි කරගෙන ඉන්නත් බැරිනම් කරන්න තියෙන්නෙ එකම එක දෙයයි

ඒ තමයි දළු දාන ආදරයක පුංචි පුංචි අංකුර නටුවෙන්ම කරකවලා කඩලා දාන එක.

ඉතින් මං ඇය දිහා බලාගෙනම අඩියක් පස්සට තිබුනා. තවදුරටත් එහි පොලවක් තිබුනෙ නැහැ. ආකාසය ඉරාගෙන මං හෙලට ඇද වැටෙද්දි මාව සිහිනයෙන් අවදි උනා.........

හාත්පස අඳුරු වෙලා රැය උදා වෙලා. නොකී ප්‍රේමයක සිතුවිලිත් වෙලාවකට මේ වගේ කියලා හිතමින් මං ආයෙමත් ඇස් පියාගෙන නිහඩ උනා. ඒ පාර තවත් නම් හීන පෙනුනෙ නැහැ. තදින් වහගත්තු ඇසි පියන් යට කළුවර  විතරක් පැතිරිලා ඉතිරිලා තිබුනා.

“කළුවර”

බලං ගියාහම අන්තිමට මට උරුම එච්චරයි..............

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form