සිතුවිලි, චරිතය සහ රෝස මලක්

 


මේ කතාවෙ පූරක විදියට මට රඟපාන්න තියෙන්නෙ බොහොම කෙටි උප ප්‍රධාන චරිතයක්. ඇත්තටම ප්‍රධාන චරිතය දැන් ඉන්නෙ වේදිකාවෙ. මම ඉන්නෙ ඒ වේදිකාව පහල. කාලයක් මමත් එයා එක්ක වේදිකාවේ නරඹන්නන්ව පිනෙව්වා. ඒත් දැන් මම නරඹන්නෙක් විතරයි.ඒත් "චරිතය" ගීත ගායනයකින් සභාව පිනවනවා හැකි සෑම විටකම.

ඉතින් හැම සිදුවීමකටම බැඳුනු අතීත කතාවක් තියෙන්න පුලුවන් නෙව. මේ අතීත කතාව සිනමාවකවත්, වේදිකාවකවත් නෙමෙයි රඟ දැක්වුනේ. මේක ඇත්තටම සිද්ධ උනේ මේ මහ පොලවෙ.
මේ කියන දවස, එදා සීතල දෙසැම්බරයේ දවසක්. මේ කියන අද දවසේ තියෙන්නෙ කාර්‍යාලයේ දක්ශතා එලි දැක්වීම. ඒ කියන්නෙ ටැලන්ට් ශෝ එක.එහිදී විවිධ නිලධාරීන් විවිධ අංග ඉදිරිපත් කලා. ගායන නර්තන, නාට්‍ය, වාදනයන් හුඟක්. ඒ හැම වෙලාවෙම හුඟක් අංග වලට හරිම කැමැත්තෙන් ඉදිරිපත් උන හැමෝම අතරේ කැපී පෙනෙන හරිම දක්ෂ ගෑල්ලමේක් උන්නා.

එයාගෙ නම සිතුවිලි.

සිතුවිලි අමන්දා!

ඇත්තටම එයා එදා හැමෝගෙම අමන්දානන්දනීය සිතුවිලි වලට පාත්‍ර උනා. හරිම දක්ෂ දරුවෙක්. හුඟක් අය එහෙම කිව්ව. සුපර් ස්ටාර් තරු එක රැයකින් රටේම ජනප්‍රිය  උනා වගේ සිතුවිලිටත් පුලුවන් උනා ටැලන්ට් ශෝ එකෙන් පස්සෙ කාර්‍යාලයේ හුඟක් දක්ශතම හැමෝගෙම අවධානය යොමු උන කෙනෙක් බවට පත් වෙන්න. එයා ලස්සනයි. හැඩකාර ලාලිත්‍යක් තිබුන යුවතියක්. විවාහකයි. ඒත් කාර්‍යාලයේ සමහරුන්ගෙ බැල්ම අඩුවක් උනේ නෑ. මට ඒක අදාල නොවුනේ මගේම වූ "දූරදර්ශී" ප්‍රතිපත්තීන් මම රකින නිසා. ඉතින් හොඳට හෝ නරකට කාර්‍යාලයේ හැමෝම ආදරය කරපු සුපර් ස්ටාර් උනේ එයා.

එදා දක්ශතා එලි දැක්වීම, නැතිනම් ටැලන්ට් ශෝ එකේදි මේ මං කියන "චරිතය" එක්ක ගායනා කරපු "තිසර විලේ පියුම නෙලූ" ගීතය ප්‍රේක්ශක අපිව වෙනමම ලෝකයකට එක්කාගෙන ගියා.පෙර පුහුණුවීම් කරපු හැම වෙලේම අපි ඒ ගායනය, රංගනය කලින් දැක්කා උනත් ඒ වේදිකාවේ තිබුනු විදුලි ආලෝක රටාවන්, පසුතලය, ශබ්ද කළමණාකරණය එතන සැබෑ චිත්‍රයක් මවලා පෙන්නුවා. එතන තිබ්බා දෙන්නෙක්ගෙ ගැලපෙන රසායනය. යුග ගීයක් ගායනා කරන එක සමහර වෙලාවට නිකන් ගායනාවකට වඩා ඉස්සරහට යන්නෙ අන්න ඒ ගැලපීම නිසා. සමහරු කතාවට කියන්නෙ දෙන්නෙක් අතර කෙමිස්ට්‍රිය කියලා. අන්න ඒක එතන තිවුන. ඒත් ඒ දෙන්නා දිහා බලපුවම නිකන් හරියට "මගේ පුංචි රෝස මලේ" කතාන්දරය වගේමයි කියලාත් සමහරුන්ට හිතෙන්න ඇති.  වයස් පරතරය එහෙම උනත් ඒ හඬවල් එකට බද්ධ වෙන්න ඒක කිසිදු බාධාවක් උනේ නැහැ.

මං දැන් ඇස් පියාගෙන හිතද්දිත් ඒ වෙලේ ප්‍රේක්ශකාගාරයේ තිබුනු නැවුම් ප්‍රේමණීය වාතාශ්‍රය ආඝ්‍රාණය කරන්න මට පුලුවන්. ඒක තමයි මේ කතාවෙ හැරවුම් ලක්ශය කියලා මට හිතෙන්නෙ ඒ යුවල මුලු ප්‍රේක්ශකාගාරයම හා හූවක් නැතිව සංගීත සංග්‍රහයට නතු කරගත්තු ආකාරයට.

ඒකට අමතරව අපි කරපු වේදිකා නාට්‍යයේ ප්‍රධාන නිලිය ලෙස එයා ඉදිර්‍රිපත් කරපු රංගනය හැමෝගෙම හිත් පැහැරගත්තා. විශ්ව විද්‍යාල සිසුවියක් ලෙස ඉඳලා විවාහ වෙන්න යන තරුණියක් වෙනකම් කතාව. ඒ කතාවෙ මාත් ඇක්ට් කලා විප්ලව වාදී ශිෂ්‍ය සංගම් නායකයා විදියට. රැවුල කොණ්ඩෙ දිගට වවපු සැබෑ දේශපාලන අදහස් වලටම අනුකූල උනු මට ගැලපෙනම චරිතය ඒක. ඊට වඩා හොඳ චරිතයක් මට කරන්නත් බැහැ.

කොහොම නමුත් සිද්ධ උනේ ඒක. කාර්‍යාලයේ ඔහේ ඉඳපු නවක පත්වීමක් උන ඒ ගෑල්ලමයා එක දවසකින්, එක හැන්දෑවකින් පස්සෙ හැමෝම කතා උන ගැහැණු ළමයෙක් බවට පත් උනා.

මේ දස්කම් මැද අපේ ඒ දක්ශතා නරඹමින් රස ව්ඳිමින් හැම අඟයකටම අත්පොලොසන් දෙන තවමත් අපිට ආගන්තුකයෙක් උනු පුංචි රෝස මල් කැකුලක් වේදිකාව පහල ඉන්නවාත් විටින් විට මගේ දෑස් වලට හසු උනා. මං ඒ ගැන ලොකු දෙයක් එදා හිතුවෙ නෑ.

ඉන් පස්සෙ ජීවිතය ප්‍රබෝධමත් ලෙස ගලන් ගියා. වැඩ වලටම හිර වුනු, කොවිඩ් වල අසහනකාරී තත්වයෙන් ඉඳපු අපේ කම්මැලිකමේ හැව ගැලවිලා ගියේ  ටැලන්‍ට් ශෝ එකෙන්. අපේ හැකියාවන් නිසා කාර්‍යාලයේ අය තව තවත් හිතවත් උනා. ඒ අස්සේ මේ කියන "චරිතය", මම සහ ඇය, ඇය යනුවෙන් මං මේ කියන්නෙ "සිතුවිලි" , අපි සේරමලා ලඟින් වැඩ කලා. තොරතුරු තාක්ශණය පැත්තෙන් කාර්‍යාලයේ නවමු වැඩ කොටසක් කරද්දි ඇයගේ දායකත්වය නොඅඩුව ලැබුනා. "චරිතය" තමා නායකත්වය දුන්නෙ. ඒක හරි අපූරු දෙයක්. ඒ වගේම අපි හැමෝගෙම දේවල් වලදි කණ්ඩායමක් විදියට අපි හැමෝම එකිනෙකාට උදව් කරගත්තා. කොවිඩ් තෙවැනි රැල්ල කාලේ ටිකක් දුරස් උනත් මාර්ගගත ක්‍රම වලින් අපි සම්බන්ධතා පවත්වාගත්තා. හැබැයි මම ( ප්‍රතිපත්තියක් විදියට අදත් කරන දේ) වෘත්තීය මට්ටමෙන් එහාට අනවශ්‍ය ඇමතුමක්වත් දීල නැහැ.

ඉතින් කොච්චර හොඳට ගෙවුනත් හොඳ කාලේ පවතින්නෑ හැමදාම. ටික ටික අපිත් නොදන්න ප්‍රශ්න එකේක විදියට එද්දි සිතුවිලි අපෙන් ඈත් උනා. අපේ කණ්ඩායමේ කණ්ඩායම් ගුණය නැති උනා.  ඔහොම ඉද්දි මමත් වික්ශිප්ත උනා එයා මාව මුහුණු පොතෙන් අවහිර කලාම. ඉන් ටික දාකින් පස්සෙ  "චරිතය" හම්බවුන වෙලාවෙ මට කිව්ව එයාවත් මුහුණු පොතෙන් ඉවත් කරල බව. කොහොම උනත් වෘත්තීය මට්ටමෙන් ඇය සමඟ කටයුතු කරපු විදියට, අනවශ්‍ය විදියට වචනයක්වත් නොකියපු මම ටිකක් කලබල උනේ මේ සිදු වෙන දේවල් නිසා.

අන්තිමට අපිවත් නොහිතපු දවසක  ආරංචි උනේ එයා බෙහෙත් පෙති තොගයක් බීලා රෝහල් ගත උන බව. ඒ ගැන මගේ හිටපු ආයතන ප්‍රධානියා කිව්ව විදියට පෙති බීලා මැරෙන්න හදපු එකට මාත් වග කියන්න ඕනි කියලා ඇඟවුන අදහසක් තිබුනත්, මම ඒ පල් හෑලි නොසලකා හැරියෙ මම ඇත්තටම ඒ ළමයා දිහා විවෘතව බලලා ආශ්‍රය කරපු නිසා. ආයතන ප්‍රධානියා උනත් හැමවිටම නිවැරදි නැහැ.

කාටත් කලින් මමයි දන්නෙ මම ගැන. "චරිතය" එක්ක සිතුවිලිගෙ තිවුන ආශ්‍රයත් ඒ වෙද්දි සම්පූර්ණයෙන්ම අත් හැරලා තිවුනෙ. ඒක මොන වගේ සම්බන්ධයක්ද කියන්න මට කවදාවත් වැදගත් උනේ නැහෑ. ඒත් අන්තිමට කවුරු මොනා කිව්වත්, විවිධ කතා කිව්වත් මම ඇයව බලන්න රෝහලට ගියා. මොකද මට තිබුනා නිවැරදි හෘද සාක්ශියක්. මම කිසිම දෙයක්, වචනයකින් වත් අවැඩක් නොකල බවට සහතිකයක්. මං යද්දි ඇය ඇදේ හාන්සි වෙලා හිටියෙ. මං ලඟට ආවම ඇය අර සුපුරුදු සුන්දර මන්දහාසය පෑවා. අපහසුවෙන් උන්නත්....

ඒ වෙලේ සත්තයි මට මහ දුකක් දැනුනා. මේ මොකක්ද මේ වෙන්නෙ කියන දේ නිසා.

අපි අතරේ එවේලේ සිදු උන සංවාදයන් මෙහි පල කරන්න මට උවමනා නැහෑ. ටිකකින් එතනට ආව ඇගේ සැමියාත් මා සමඟ ආගිය තොරතුරු කතා කරන්න ගත්තා.

මං එයාගෙන් ඇහුවෙ නෑ. ඇයි මෙහෙම කලේ කියලා. මට එහෙම අහන්න උවමනාවක් තිබුනෙ නැහැ. අදටත් එහෙම කලේ ඇයි කියලා අහන්න මට ඕනි නැහැ.

දින කීපයකින් එයාගෙ සැමියා කතා කරලා කිව්වා එයාව ගෙදර එක්කන් ආව බව. මමත් "චරිතයත්" ගියා එයාව බලන්න. පොඩි පොඩි සුකුඩ බුකුඩ ටිකකුයි දවල්ට කන්න ටිකකුයි අරන්. ඒ අතර මේ අවුල් වියවුල් වල  අභ්‍යන්තර කතා මොනවත් මම දන්නෙ නැති උනත් කාර්‍යාලයේ සමහර කතා පැතිරිලා තිබුනා "චරිතය" සහ "සිතුවිලි" අතර යමක් තිබුනු බව. සමහර කතා "චරිතය" විසින් යමක් සඳහා බලපෑම් කල බව.

මම දකින විදියට ඒවා හිතලු. එහෙම නැතත් දෙන්නෙක් අතර දේවල් තිබුනා හෝ නැතුවා මට ඒ ගැන හොයන්න උවමනාවක් තිබුනෙ නැහැ. එහෙම දෙයක් වෙන්න අවස්ථාවක් තිබුනා වෙන්න පුලුවන්. මිනිස්සු අතර එහෙම දේවල් නොවෙන්න බැරිද?   හැබැයි මිනිහෙක් තව කෙනෙක්ට උදව් කල පලියට එහෙම සම්බන්ධතා ඇති වෙනවායැයි කීමම මේ සමාජයේ ලොකු රික්තයක් තියන බව පෙන්නුම් කරන අප්‍රසන්න සාධකයක්.

කොහොම උනත් "චීත්ත" පොරවාගත්තු උන්ගේ කට කතා වලට තටු ලැබිල තිබුනා. මමත් නොදන්න දේවල් හුඟක් සිදුවෙලා තිබුනු අතර එක දවසක් ඇය ඇවිල්ල මට කිව්ව "මාධව මම මෙහෙන් ට්‍රාන්සර් වෙලා යනව" කියලා.

මට තවදුරටත් කිසි දුකක් දැනුනෙ නැහැ.ඉක්මණින්ම ඒ දේ වෙයි කියන දේ මට දැනිල තිබුනා. එකට බත් එක කාපු අය තනිවම බත් එක කද්දි, එකට සුභ උදෑසනක් කිව්ව  අය උදේට නොදැක්කා සේ ඉද්දි, නිවාඩු බව දැනුම් නොදී කාර්‍යාලයට නෑවිත් ඉද්දි, ඕක වෙයි කියන තැන නෙමෙයි ඕක වෙන්නෙ කවද්ද කියලයි මම දින ගැන්නෙ කිව්වොත් නිවැරදියි.

ඉතින් එයා යන්න ගියා. කොලඹ අමාත්‍යාංශයකට මාරු වෙලා කාලයක් වැඩ කරපු එයාට ශිෂ්‍යත්වයක් ලැබුනා. දැන් එයා විදේශ රටක උසස් අධ්‍යාපනය හදාරනවා. එදා අර බිව්ව පෙති වලින් හානියක් නොවීම ගැන මම දැන් හුඟක් සතුටු වෙන්නේ අද එයා ඉන්න තැන දැකලා. ටික දවසකින් එයා ආයෙම ලංකාවට ඇවිත් ලොකු තනතුරක වැඩ භාරගනීවි කියන බලාපොරොත්තුවක් ම'හිතේ තියනව. මොකද ඇය දක්ශ නිසා.

කතාවේ අනික් කෙනාට මොකද උනෙ? එයා ලියපු විභාගයක් සමත්වීමෙන් පසු රාජකාරියේ උසස් වීමක් එක්ක "චරිතය" දිගටම කාර්‍යාලයේ රැඳී ඉන්නවා. අපි දෙදෙනා, ඒ කියන්නෙ මමත්, "චරිතයත්" කොච්චර සැරයක් සම්මුඛ උනත්, ඔහුගේ රථයේ කොච්චර එහෙ මෙහෙ ගියත්, අපි දෙන්නම කොටස්කරුවෝ උන කාර්‍යාලයේ "සිතුවිලි" ගේ පරිච්ඡේදය ගැන කිසිදාක සිදු නොවුනු, නොපැවතුනු දෙයක් සේ සලකා කතාබස් කලේ නැහැ. හරියට ඒක නිහඬ සම්මුතියක් වගේ. තහනම් මාතෘකාවක් වගේ.....

මනරම්ව වැයෙන ගැයෙන සංගීත, ගීත රාවයන් මැද්දෙන් මන් බොහොම ඉක්මණින් වර්තමානයට ආවා. ඔහු  "කවුළු පියන් හැර දා" තියමින් කාට හෝ ආරාධනාවක් කරනවා. දැන් මම ඒ අවස්ථාව රස විඳිමින් නරඹන්නෙක් විතරයි. එදා වේදිකාවෙ රැඟුම් ගැයුම් කරපු මම අද නරඹන්නෙක් වෙලා.

අදත් සීතල  දෙසැම්බරය. මේ සියලු සිදුවීම් වලින් අවුරුද්දකට පස්සෙත් අවස්ථාවක් තිබුනත් මම වේදිකාවට නැග්ගෙ නැහැ. අර කෙල්ලගෙ ජවය, තුරුණු ලාලිත්‍ය අහිමි වේදිකාවකට නගින්න හිතක් දුන්නෙම නැහැ. මතක අතරේ එදා ඒ වික්‍රමබාහු පාසල් රංගශාලාවේ වේදිකාව මත ඇයගේ මුහුණින් පෙන්වූ ආකර්ශණීය හැඟීම් මැවී පෙනෙද්දී මට යලිත් ඒ පසුබිමේ ඔගන් වාදකයෙක් වෙන්න පොඩ්ඩක්වත් හිතුනෙ නෑ. විප්ලව නායකයෙක් හෝ මොකෙක්වත් වෙන්න හිතුනෙ නැහැ. ඇත්තටම ඇය නොමැති හිඩැස පුරවන්න ඉන් පස්සෙ ඒ වේදිකාවේදී කාටවත් බැරි උනා.

නමුත් පරිණත "චරිතය" ඒ සිදුවීම් දරාගෙන හරිම ලයාන්විතව, හැඟුම්බරව ගායනා කරනවා. සමහර විට ඒක ඔහුගේ නිර්දෝශී බව ඔප්පු කිරීමක් වෙන්න ඇති කියලා මම හිතනවා. හරියට මේ කතාව ලියලා මම මගේ නිවැරදි බව පෙන්වලා දෙනවා වගේ. වේදිකාවක් දකිද්දි පොඩි හරි තිගැස්මක් ඇති වෙන්න තිබුනා "චරිතය" ටත් ඔහු ඇත්තටම වරදක් කලා නම්. මම එහෙම හිතනවා. ඒ වගේම  කතාවට කිව්වා වගේම  වියපත් බඹරෙක් වෙන්න ඔහුට පුලුවන් කම නැත්තෙ නැහැ. ඒ පෞර්ශත්වය ඔහු ගාව තියනවා කියලත් මම දන්නවා.

මේ සේරම තුල අද එදාට වඩා හුඟක් වෙනස් දේවල් දෙකක් තිබුනා."චරිතය" අපිට දනවන හැඟීම, කටහඬ, සංගීතය හැම දේම එක වගේ තියනවා. හැබැයි යුග ගායනයක් කරන්න සිතුවිලි විතරක් මෙතන නෑ. සිතුවිලි රහිත ගායනාවක්? ඒක එක වෙනසක්. ඒත් මං විතරක් දැක්ක තව දෙයක් අද වෙනස් වෙලා තියනවා.

එදා සිතුවිලිත්, "චරිතය" ත්, මාත් ඇතුළුව කණ්ඩායමේ අය වෙනුවෙන් අත්පොලොසන් දුන්නු පුංචි නැවුම් ආගන්තුක රෝස මල් පොහොට්ටුවක් ගැන මං කිව්ව මතකද? එදා පොහොට්ටුව දැන් පරිණත වෙලා සුවඳ හමන රෝස මලක් වෙලා අපේ පුංචි වේදිකාව ඉස්සරහින් මුල් පුටුවක වාඩි වෙලා ඉන්නවා. තැන්පත් ලෙස..

දැන් ඇයට අපිව තවදුරටත් ආගන්තුක අයවලුන් නෙමෙයි.

ඉතින් ඒක තමා මං දැකපු අනික් වෙනස. "සිතුවිලි" වේගයෙන් ඉස්සරහට ඇවිල්ලා අපිව හැර දාලා ගියත් රෝස මලක් පෙති විහිදලා හැඩට කලාවට පිපෙන එක නම් නතර වෙලා නැහැ.

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form