දැවැන්ත බලයක් අතැතිව

 

වර්තමාන ආණ්ඩුව දැඩි බලයක් සහිතව දැන් බිහි වී ඇත. සැබැවින්ම සන්ධාන ගත නොවුනු තනි පක්ෂයකට අසීමත බලයක් ලැබී ඇත. එනයින් රට සුරපුරයක් කිරීමේ දැවැන්ත අභියෝගය මහජනතාව විසින් දෝතින්ම අනුරලාගේ හිස මත තබා ඇත. කෙසේ වෙතත් මේ අනුරලාට ලැබුනු පළමුවැනි සහ අවසාන අවස්ථාව වන්නේය.

මොකද බොහෝ ජනතාව යලි අවස්ථාවක් මේ කිසිවෙකුට නොදෙනු ඇත.

වසර ගණනාවක් මර්ධනයට යටත් කර තිබූ සංවිධානයක් සෙමින් සෙමින් නැඟිට, ඉන් පසු කෘතිමව චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ආසන ගණනාවකට පත්ව, ඉන් පසු 3% ට වැටී වර්තමානයේ 159ක ආසන සංඛ්‍යාවක් මුළු රටෙන්ම දිනාගෙන ප්‍රභල තත්වයකට පත් වීමේ රහස වෙන මුකුත් නොවේය.

අනෙක් උන්ගේ අසමත් කම ය. මක් නිසාද යත් බොහෝ ජන්ද අනුරලාට වැටුනේ හදවතින් නොව කරන්නට දෙයක් නැති නිසාය. ඒකට උදාහරණ වන්නේ ජන්දය නොදීපු කලකිරුණු පිරිසය. හැබැයි මේ ජන්දය දුන් බහුතරයක් ඇත්ත වශයෙන්ම පුද්ගලික ප්‍රතිලාභ තකා මෙම ජන්දය දීපු බව නොපෙනේය. ඔවුන් ඉල්ලන ප්‍රතිසංස්කරණයන් සැබැවින්ම ඉටු කල යුතු වන්නේ ඒ නිසාය.

මාධව ඉන් බලාපොරොත්තු වන්නේ මහජනයා ඉදිරියේ හැමෝම දුන් පො‌රොන්දුව වන “විධායක ජනාධිපති ධූරය” අහෝසි කිරීමේ පොරොන්දුවයි.

විධායක ජනාධිපති ධූරයේ විපාක අපි සියලූම දෙනා කඩින් කඩ නරක ලෙස අත්දැක ඇත. ලංකාවේ මිනිසෙක් මෙම බලය රස කර කර විඳිනවා මිස එය නිසි භාවිතාවක් සිදු කරන බව පෙනී යන්නේ නැත. කිසිම මනාපයක් නැති රනිල් පවා වල පය ගොඩ පය සිට මේ දත කන්නේ ඒ රහ අතාරින්න බැරි නිසාය.

ඒ නයින් අනුරලාට ඒ රසය නොදැනෙන්නට හේතුවක් නැත. සජිත් ආවා නම් මේ පොරාන්දුව තවත් කඩවුණු පොරාන්දුවක්ම වනු ඇත. ඒත් NPP හි භාවිතාව ගැන කියන්නට කල් වැඩි වුවද අනුර මේ කතාව නියාමාකාරයෙන් ඉටු කරනු ඇතැයි මාධව බලාපොරාත්තු වන්නේය.

ඒසේම ජනතා ජීවිත සැහැල්ලු කිරීමේ ව්‍යායාමය අතහැරිය නොහැක. ඒත් ප්‍රායෝගිකව වසර ගණනාවක් තිස්සේ ගිලෙමින් පවතින ජීවිත එකපාර ගොඩ දැමීම සිදු කල නොහැක. නමුත් කල හැකිය. ඒ සෙමෙන් සෙමෙන් ය. ඒ නිසා මාධවලාට ඉවසිය යුතුව ඇත.

කිසිදු සන්ධානයකින් තොරව මුළු රටෙන්ම ජන්ද ලබා පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් අතැතිව සිටින විධායක ජනාධිපතිවරයාව නතර කිරීමට ප්‍රභල විපක්ෂයක් නැති බැවින් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව ස්වයං විනයකින් කටයුතු කරනු ඇතැයි මාධවලා විශ්වාස කරන්නෙමු. කෙසේ වෙතත් හොරු ඇල්ලීමේ ප්‍රමුඛ සටන් පාඨය කඩිනමින්ම ඉටු කරගැනීමද සිදු කල යුතු බැවින් ආරම්භක කාර්යයන් ඉතා අපහසු වනු ඇත.

ලංකාවේ ඇති නීති ආයතන වල ඇති තත්වයන් මහජනතාව හොඳින් දන්නා නිසාම ඒවා ශුද්ධ පවිත්‍ර කොට පිලිසකර කොට නව නීති පනවා මෙම කටයුතු සිදු කිරීමට කඩිනමින් ක්‍රියා කිරීම ඊළග ආණ්ඩුවක් සඳහා වන ප්‍රභල අත්තිවාරමක් ලෙස සැලකිය හැකිය.

සියල්ල කෙසේ වෙනු ඇතිදැයි මාධව අවධානයෙන් ඉන්නේය. මාධව කිසි දිනෙක කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුනෙක් කඩේ නොගියද මෙවර NPP වෙත ඍජුවම පෙනී සිටියේ වෙන කිසිදු විකල්පයක් නොමැති නිසාය.

මේ ජන්දයෙන් ජනතාව උගන්වා ඇති පාඩම ගැන ද කිව යුතුය. 113ක් පමණක් වෙනුවෙන් පෙනී සිටි මාධව පවා විශ්මයට පත් කල කාරණාව වූයේ යාපනයෙන් පවා මේ ආණ්ඩුවට ලබා දී ඇති අපමණ විශ්වාස ය. ඒ අනුව සියලූම ජනතා කොටස් ඒකාවන්ව පැවති පාලනයන්ගේ අසමත් භාවය අනුමත කර ඇති අතර නව පාලනයක සහ නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය පෙන්වා දී ඇත. ඒවා තේරුම් ගෙන බලයෙන් මත් නොවී සාධාරණ සමාජයක් ගොඩ නඟමින් ඉදිරියට යන්නේ නම් NPP විසින් මේ රට සිංගප්පූරුවක් කිරීමේ පළමු අඩිතාලම සකසනු ඇත.

යලි ජන්දයකදී නිර්භයව බලය ඉල්ලීමට ද එය අවස්ථාවක් වනු ඇත.

අනුර ඇතුළු NPP විසින් කල යුත්තේ ආන්න ඒ දේමය. නැතිනම් යලිත් පැරණි ත්‍රාඩ සංස්කෘතියේ ජරා හැතිකරය යලිත් හිස ඔසවා අර සුළග මේ සුළඟ සමඟ මල කඳන් ඔසවාගෙන කරලියට පැමිණ මේ රටේ ඉතුරු සාරයද උරා බොනු ඇත.


Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form