සුදු සමනල්ලු.

 

මේ හැන්දෑව ගැන මට කියන්න තියෙන්නෙ හරිම පුංචි කෙටි කතාවක්. මං මගේ පාඩම් කාමරයේ ඉද්දි එක සැරේට දොර ඇරුනා. ඒ දොරෙන්, රෝද පුටුවක ඉඳගෙන උන්නු මනුස්සයෙකුත්, ඒ පුටුව තල්ලු කරන් ආපු මනුස්සයත් හෙමීට ඇවිත් මගේ මේසෙ ඉස්සරහ නතර උනා. ඔවුන්ව දැකපු මට කිසිත් කරගන්න දෙයක් තවත් නම් ඉතුරු නැහැ.

අර රෝද පුටුවේ ඉඳගෙන ඉඳපු මනුස්සයා ඉහල බලලා ඔහු අසල උන්නු අතවැසියට පුංචි ඉඟියක් කලා. ඒ  ඉඟියට අතවැසියා ඔහු ඇඳගෙන උන්නු කබා සාක්කුවෙන් කලුම කලුපාට, හැබැයි පුංචිම පුංචි මරණයේ සංකේතයක් බඳු තුවක්කුවක් අරගෙන මෙසේ උඩින් තිබුනා. එතනින් එහාට මට ඔවුන්ට කතාකරන්න අවශ්‍ය උනේ නැහැ. අපේ ඇස් එකට ගැටුනා. මං ඔවුන් දිහා බැලුවා. ඔවුනුත් මං දිහා සුපරික්ෂාවෙන් බලාගෙන උන්නා. අපි තිදෙනා සම්බන්ධ මාස කීපයකට වඩා පරණ නොවූ එක දවසක කතාන්දරය මගේ මතකයේ මොහොතකින් දිග හැරුනා. 

 

01 - 

දෙදහස් විසිතුනේ සැප්තැම්බර් මාසේ එක දවසක මං උන්නේ නකල්ස් කඳු මැද්දෑවේ. තත්පරේට වෙනස් වන කදු ගැටිති පිරුනු මූකලාන් පිරුණු සත්තු පිරුණු නකල්ස් කැලය ඇත්තටම රමණීය පාරාදීසයක් කියලා මට හිතුනේ තව පාරක් කඳු මුදුනේ ඉඳන් පහල බලන් ඉද්දි.

පාට පාට කුරු ගස් පිරුණු කන්දේ අඟල් දහයක් උස නැති ගස් අතර මං බිම වාඩිවෙලා අවට නිහඩවම බල බල උන්නා. අපේ කාණ්ඩෙ අනික් අය තම තමන්ගෙ ලෝක වල තනි වෙද්දි. සමහරු පොටෝ ගහනවා. සමහරු අපි අරන් ගිය බිස්කට් කන ගමන් විඩා අරිනවා.  අපි නම දෙනෙක්ගේ කණ්ඩායම විවිධ තැන් වලින් ආපු අයගෙන් සමන්විත වෙලා තිබුනු, දැන් එකම කණ්ඩායමක් විදියට එකතු වෙලා මුහුදු මට්ටමෙන් අඩි 2500කට ඉහල කන්ද නැගපු එක සාර්ථකව සමරණ ගමන්. මේ කණ්ඩායමේ උන්නා පරිසරවේදීන් තිදෙනෙක්, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරිනියන් දෙන්නෙක්, තොරතුරු තාක්ෂණවේදියෙක් සහ ලමයෙක් එක්ක උදව්කරුවන් දෙන්නෙක්. මේ හැමෝම දිහා ඔලුව කරකවලා බලපු මං ආයෙම ඈත බලාගෙන සිතුවිලි අතර තනි උනා. ඒ හැඟීම අපූර්ව එකක්. කොහොම උනත් නකල්ස් ආපු දින හතරක ගමනේ දෙවැනි දවස අද!

පැයක් විතර යද්දි සීතල වැහි වලාව අපිව හොයාගෙන එනකොට නම් අපි කඳු මුදුන සිරි නරඹලා අහවර කරලා පහලට එන්න පටන් අරන් ඉවරයි. අපි වැසි නොතකා ඒ සීතල වැසි දරාගෙන පහලට බැස්සේ තව ටිකකින් මේ අඩි පාරවල් වතුරෙන් යට වෙන බව අපේ “මූලික තැන” විසින් කිව්ව නිසාමයි. නකල්ස් කැලේ ඇස් පියාගෙන යන්න පුලුවන් තරමටම අත්දැකීම් බහුල කෙනෙක් දෙයක් කියද්දි, කිසි දෙයක් නොදන්න අපි එවැන්නෙකුගේ වචනයක් අහක දැමීම නිසා  අනතුරකට අත වැනීම මේ කැලේ මැදේදේදි මහා භයානකයි. ඒ නිසා අපි කවුරුත් නිහඩවම පරිස්සමින් පහලට බැහැලා හනි හනිකට වාඩියට ආවේ වැස්සත් අරගෙනමයි.

අපිට වැස්ස කියලා නැහැ කටුස්සෝ, සමණල්ලු මෙන්ම ගෙම්බෝ, සර්පයෝත් මේ කැලේදි හම්බුනා. අපි පරිස්සමින් උන්ව ජායාරූප කරගෙන, නරඹන ගමන් පහලටම ආවා. වැස්සේම වාඩියට ආව අපිට අතවැසි පිරිස විසින් උතුම් උණුසුම් ආහාර ටිකක් සූදානම් කරලා තිබුනා. හනික සීතල වතුරෙන් ඇඟ සොදාගෙන ආපු අපි කණ්ඩායම පාලු වාඩියේ උණුසුම් දර ලිප වටේට කැටි වෙලා ආගිය කතා කියවන්න පටන් ගත්තේ බත් ඇබින්ද ඇබින්ද කන ගමන් වෙන කරන්න දෙයක් අපිට හිතා ගන්න බැරි නිසාමයි.

රෑ බෝ උනාම, කැලේදි හනික කලුවර වෙනවා නෙව. එක වෙලාවකට හිතෙනවා කැලේදි අපිට ගෙවන්න තියන කාලය හරිම දීර්ඝ එකක් කියලා. ගෙදරදි මේ බලද්දි පැයක් විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් අපි සේරම එකිනෙකාට සුභ පතලා නිදාගන්න ගියේ හෙට දවස ගැන සැලසුම් කරගෙනමයි. ඒ අනුව අපේ න‌ඩේ උන්නු පොඩි දරුවත්, ශිරෝමි සහෝදරීත් මමත් චින්තනී නෝනාත් අපි සිවුදෙනා කැලේ මැද්දට හුඟක් දුර නොයා පුංචිවට ඇවිදිල්ලක් දාන්නත්, අනික් අයවලුන් තමන්ගේ වෘත්තීය රාජකාරී වලට පිටත් වෙන්නත් තීරණය උනා.

ඉතින් මං නිදා ගත්තා. වෙනදා වගේම හෙට දවස ගැන නොහිතා.හොඳට ගොරව ගොරව.....

02 -

අපි හතර දෙනා නැගිටිද්දිම අනික් අය පිටත් වෙලා තිබුනා. උදේ ආහාරය ලබා ගත්තු අපි වාඩියේ වැඩට උන්නු මනුස්සයාට කියලා රතු ඉටි කොල ටිකකුත් කපාගෙන ගමන ආරම්භ කලා. අඩුම කුඩුම ටිකක් කලු බෑගයට දමාගෙම මංම ඒක එල්ලා ගත්තා. රතු ඉටි පටි ගස් වල ගැට ගහමින්, කොල අතු කඩා දමමින් මාර්ගය පැහැදිලිව මතක තබා ගන්න හැකි ආකාරයට සලකුණු කරමින් ටිකෙන් ටික අපි කැලේ ඇතුලට ආවා. අපිට හමුඋනා නකල්ස් වල කැලේ මැද්දේ කැඩී බිඳී ගිය ගෙයක්. අපි එතනදි පාට වෙනස් කටුස්සෙක් පවා අල්ලා ගත්තා. ඌ කවුද කියලා තීරණය කලේ පොඩි දරුවා. ඔහුට සිය පියාගෙන් ලැබුනු අපූරු දායාදය ඒක. සත්තු ගැන අව‌බෝධය.

ඊළගට සුදු මල් දහස් ගාණක් පිපුණු සානුවක් වගේ තැනකින් අහරට ඇවිදන් ගියපු අපි ඉහල බැලුවම දැක්කේ මීදුමෙන් වැසී ගිය ඊයේ දිනයේදී වැස්සේම නැගපු නකල්ස් කඳු මුදුන. අපේ ඇතැම් අය මේ වෙලාවෙදිත්  කඳු මුදුනෙ වැඩ ඇති. ඒ දිහා මොහොතක් බලාන ඉඳපු අපි තවත් කැලේ ඇතුලට ගියා. ඒ කෙටි දුරකින් පසු අපේ ගමන කෙලවර කරන්න සිදු උනා. මොකද පාරක් නැති නිසා. කැලේ අතරමං උනා කියන හැඟීම විඳින්න තිබුනා අර ගැට ගැසූ රතු පටි නොතිබෙන්න. ඉතිං නිහඩවම අපි ආපහු ආවා පාර දිගේම. අතු පටි ඔස්සේ.‍වාඩියට යන්ට.

මොකද වැසි අඳුරත් ආයෙම එළඹෙමින් තිබුන නිසා ගියොත් හොඳයි කියන දේ අපේ හිත් වල තැන්පත් වෙලා තිබුනෙ ඊයෙත් තෙමුන නිසාමයි.

කැලේ ඇතුලෙන් ඇවිදන් එද්දි වාඩියට එන අතරමග අපිට හමුවෙන ලස්සන ඇල පාරේ කන්ද උඩහට ඉදිරියට යන්න මං තීරණය කරලා අනික් අයට කිව්වහම, විඩාපත් උන අනික් තිදෙනා මං ආපහු එනකම් ඉන්නම් කියලා මඟ නතර උනා. 

"හුඟක් දුර යන්න එපා"

එයාලගෙන් මට අවවාදයකුත් ලැබුනා.

මොහොතක් ඒ තුන්දෙනා දිහා බලපු මං හිනා වෙලා ඇල පාරට බැහැලා ඇවිදින්න පටන් ගත්තා.

හෙමින් සන්සුන්ව ගලන් එන වතුර පාර දිගේ මං ඉදිරියට ගියා. හැමදාම මං ආස උනේ වතුර පාරවල් දිගේ යන්න. වතුර ඇතුලෙ පුංචි ලෝකයේ ඉන්නා මාළු ගැන හිතන්න. මේ තරම් සීතල පරිසරයක මාළුවෝ නැති උනත් වෙන වෙන ජලජ ජීවීන් වතුරේ ඇති නෙව. ඉතින් මං මගේ ආශාව ඉෂ්ට කර ගන්න වතුර පාර දිගේ කිලෝමීටරයක් විතර ඉහලට ආවා. ඒහෙම යද්දී මම වතුර පාර දිගේ ඉස්සරහටම යද්දී, නොදැනීම මං ඇලෙන් ගොඩට වෙලා වන පෙතට ඇතුලු උනේ එහි ලස්සන දර්ශනයක් දැකලා.

ඒ තමයි සුදු සමණල්ලු රෑනක් සර්පිලාකාරව ඉහලට ඉහලට පියාඹන ආකාරය....

කවදාවත් ඒ තරම් සමණල්ලු ගොඩක් දැකලා නැති මං ඒ සුන්දරත්වයට වශී උනේ නිරායාසයෙන්ම. කලු තිත් වැටුනු සුදුම සුදු අත්ලක් තරම් විශාල සමණල්ලු සීයක් පමණ එක රෑනේ පියාසර කරනවා මං දැක්කේ එදාමයි. ඒක හරිම ලස්සන දර්ශණයක්‍‍. උන් ඉක්මණින්ම කැලය ඇතුලට ඇදුනා. දෙපාරක් නොහිතපු මං සාක්කුවෙන් රතු පටියක් ඇදලා අරන් එතන තිබුනු ගහක ගැටගහලා උන් පස්සෙන් වැටුනා. උන් කොහෙ යන උන්ද කියලා බලන්න මට හිතුනා. උන් මාව කොහාට හෝ පාරදීසයකට කැඳවාගෙන යනවා වගේ මට දැනුනා. සමණල්ලුන්ට දපනේ වැටුනු මට  ටික දුරක් යද්දි මගේ අතේ ඉටි කොල අවසන් බවවත් මතක් උනේ නැහැ. ඇතැම් විට උන් ඇවිල්ලා මගේ තොප්පියේ වැහුවා. සමහර වෙලාවකට කිසිවෙත් මතකයට ආවේ නැති නමුත් මං කරපු අමනෝඥ කටයුත්තේ බරපතල කම මට වැටහුනේ මං ඇවිල්ලා ඉන්නේ කඳු බෑවුමකට කියලා දැනෙද්දි.

‍ඩෙඩ් එන්ඩ් හෙවත් මරණීය අවසානයක්. එතනින් එයාට අධික බෑවුම සහිත හෙල....

මං පිටිපස්සෙන් පර තෙරක් නැති වන පෙත.

ඔව් මං අතරමං වෙලා.......

මගේ හිස බමන්නට උනා. සමණල්ලු ආපහු පහලට යනවා වෙනුවට කඳු බෑවුම දිගේම මා ළගින්ම ඉහලට පියෑඹුවා. ඒ දැකපු මට කරන්නට තිබුනේ ඒ අතට විරුද්ධව පහලට බහින්න විතරයි. එහෙම හිතපු මං ආපහු හැරුනා.

අන්න ඒ වෙලේ තමයි මම ඉස්සෙල්ලම දැක්කේ.......

සර්ගෙව්........... රුසියානුවාව.....


03 -

වර්තමානයට පිවිසුනු මං හෙමින් සර්ගෙව් දිහා බැලුවා. සර්ගෙව් අපහසුවෙන් හිනා උනා. උඹ මට කරපු දේ අමතක කරන්න පුලුවන්ද ? මිනිහා කැඩිච්ච ඉංග්‍රීසියෙන් මට කියද්දී උගේ වචන හොඳට දැනුනා. එදා කැලේදිත් ඌ මට කතා කලේ එහෙමයි.

මං හෙමීට රුසියානුවා දිහා පරීක්ෂාවෙන් බැලුවා. උගේ නලල මත දරුණු තුවාලයක කැලලත් තිබුනා.  මිට මෙලවුනු උගේ අත් දෙකම තිබුනේ රොද පුටුවේ ඇඳි දෙක උඩ. උන් ඇඳලා උන්නෙ ලොකු කලු කබා දෙකක්. උගේ මිට මොලෝපු දකුණු අත දැකපු මට මගේ නහය නිකම්ම අතගෑවුනා. මං නහය අතගානවා දැකපු සර්ගෙව් නරුම විදියට හිනා උනා.

සැඳෑ ආලෝකය ජනේලයෙන් මේසයට වැටිලා තිබුනා. උං අරන් ආපු ගිනිඅවිය තවමත් තෙල් පාටින් ඉර එලිය වැදිලා  දිලිසි දිලිසී මගේ මේස උඩ තිවුනා. මොහොතකින් හිනාව නවත්තුගත්තු සර්ගෙව් රෝද පුටුවේ ඉඳගෙනම ඉදිරියට නැමිලා මෙහෙම ඇහුව. හැබැයි කැලේදි තරම් සැරෙන් නෙමෙයි.........

ඔයි! කූර් ආර් යූ?

අමතක නොවෙන ඒ රුසියානු උච්චාරණය මාව අතීතයේ ආයෙම හිර කලා‍


04 - 

සමණල්ලු ටිකට පිටුපාලා මං ආපහු හැරිලා අඩි දහයක් කැලේ ඇතුලට එන්න හම්බුනේ නැහැ, මිනිස්සු දෙන්නෙක් මට ඉස්සරහ හිටියා. උන් දෙන්නා කන්ද උඩට යන ගමන් උන්නේ. උන් මාව පහු කරගෙන ගිහින් කන්දේ මට ඉහලින් අඩි දෙකක් විතර පරතරය තියාගෙන නතර උනා.

ඔයි! කූර් ආර් යූ?

ඌ එහෙම අහපුවම, අමුතු භාෂාවකින් අනිකා මොනාද කිව්වම, දැන් රෝද පුටුවේ කුලෑටි වෙලා ඉන්න, එදා දේහදාරී විදියට ඉඳපු මිනිහා ආයෙම මං දිහා බලාන මෙහෙම කිව්වා නෙව.

අයි ඈම් සර්ගෙව්! කූර් ආර් යූ?

අයි ඈම් නෝබොඩී... මං ඒහෙම කියලා ආපහු හැරුනා. මුං මේ කැලේ ඉන්නෙ හොඳකට නෙමෙයි කියන දේ මට තේරුනේ උන්ගේ බෑග් වටේට එල්ලලා තිබුන දේවල් දැකලා. උන් වෘත්තීය කඳු නගින්නෝ බව මට වැටහුනේ උන්ගෙ ඇඳුම දැක්කම. දෙන්නම කැලෑවෙ පාටට වර්ණ යෙදූ ඇඳුම් ඇඳලා උන්නා. බූට් සපත්තු ඝණකමයි. කලුයි. කූඩැල්ලොන්ගෙන් බේරෙන්න කූඩැලු ආවරණ දාලා. කකුල් වල කිණිසි දෙකක් අමුණාගෙන උන්නා. ඉණ පටියේ විවිධ අයිතම එල්ලිලා තිබුනා. හිස්වැසුම් පළඳලා උන්නු උන් දෙන්නාම විශාල ගමන් බෑග් පිටේ එල්ලන් උන්නා. සර්ගෙව්ගෙ අතේ තිබුනෙ සමණල් දැලක්.

ඒ බෑග් වල එල්ලලා තිබුනේ අමුතු හැ‌ඩේක වීදුරු බෝතල්. අනේ ඒ හැම වීදුරු බෝතලයක් ඇතුලෙම උන්නේ කාරයෝ වගේ හිරකරපු සුදු සමණල්ලු. මාව වශී කරපු ඒ සුදු සමණල්ලු.

එ වෙලේ මට දැනුනු හැඟීම මට තවමත් මතකයි. පිට දිගේ ගලාගෙන ගිහ බය හිතෙන ඒ හිරිය තාමත් මතකයි.  මගේ කොඳු ඇට පෙල දිගේ දිව්ව ඇඩ්‍රිනලින් හැම බිංදුවක්ම මට කිව්වෙ පැනලා දුවපන් කියලා. කොටියෙක් මූණට හම්බුනත් මෙච්චර බය වෙන්න කාරි නෑ කියලා මගේ හිත මට කිව්වා. විශ්වාසෙටම මුං සමණල් හොරු. උරග හොරු වෙන්නත් පුලුවන්. කෘමී සත්තුන් රට පටවන උන් ගැන මං අහලා තිබුනා. තනිවම උන්නු වෙලාවේ, අංක එකේ තක්කඩි දෙතුන් දෙනෙක් මගේ පැත්තටත් හිටියනම් කියන කතාවේ අගය මට ඒ වෙලාවෙ හොඳට දැනුනා. මට කල හැකි දේ මොකක්ද කියලා මං කල්පනා කරද්දි අරුන් දෙන්නා පියවරෙන් පියවර මං දිහාවට ආවා. සර්ගෙව්ගෙ ගෝලයා බිමට පාත් වෙලා කකුලේ පාමුල තිබුන දිලිසෙන කිණිස්ස ඇදලා ගද්දි මට කරන්න තිබුනෙ එකම එක දෙයයි.

මගේ පිටේ තිබුනු චීන්තනී නෝනගෙ කලු  බෑග් එක ගලෝලා ඌ දිහාවට දමලා ගහපු මං සර්ගෙව්ගෙ ඇඟට පැනලා බදා ගත්තා. මගේ බෑග් ප්‍රහාරය වැදුනු ගෝලයාත්, සර්ගෙව් මතට පැනපු මං නිසාත් අපි තුන්දෙනාම ආඩාතඩේ විසිවෙලා තැන් තැන් වල වැටුනා. ඇද වැටුනු රුසියානු දෙබෑයොන්ගේ බෑග් උන්ගේම ඇඟවල් වලට යට උනා. ඝන කැලය මැද බෝතල් බිඳෙන හඩ මට ඇහුනා. ඒ බිඳුනු බෝතල් අස්සේ සිරගත වෙලා ඉඳපු අහිංසක සුදු සමණල් පැටව් සිය ගාණක් ආන්න ඒ වෙලාවේ නිල් අහසට පියැඹූවා.

ඔවු! ඒ සුදු සමණල්ලු අහස පුරා අභීණිෂ්ක්‍රමණය කලා.

අපි තුන්දෙනාම පුදුමයෙන් වගේ ඉහල බලාගෙන ඉද්දී අර මාව මෙ‌තෙන්ට එක්කන් ආපු සුදු සමණල් රෑන ඇවිල්ලා සිරගතව නිදහස් වූ ඔවුන්ගේ සාමාජිකයින් රෑනම ආදරෙයන් පිලි අරගෙන නකල්ස් ඉහලට කඩිමුඩියේ පියෑඹුවා. උන්ව ආයෙ අල්ලන්න නම් ලේසි වෙන එකක් නැහැ.

මං අවසාන වතාවට ලස්සන දසුන විඳගත්තා. ඉන්පස්සෙ මං තේරුන් ගත්තා මෙතන මහ යුද්ධයක් ඇති වන බව. මං දැක්කෙ කඩිමුඩියෙ නැගිටපු සර්ගෙව් ගොරෝගෙන මාව පෙරලාගෙන යටත් කරගන්න හදන බව විතරයි. මං ඒ නසරාණියාව තරකරලා බදාගෙනම ප්‍රපාතය පැත්තට නැමුනා. කොල රොඩු අවුස්සාගෙන ලිස්සලා ආපු අපි දෙන්නව රූටලා පල්ලමට වැටෙද්දීත්,  සර්ගෙව්ගෙ බරට තිබුන බෑගය ගහක පැටලෙද්දිත්, නොනැවතී අපි නකල්ස් ප්‍රපාතයේ වේගයෙන් පහලට පහලට විසි උනා. රෝල් වෙවී, ගස් වල, ගල් වල වැදි වැදී, විසි වෙවී තැලී පොඩි වෙමින් පහලට ඇදගෙන වැටෙද්දී ටිකකින් මට රුසියානුවාව අතැහැරුනා. අපි දෙන්නා දෙපැත්තයකට විසි උනේ ගස් කීපයකම හෙන ගහන්නැහේ වේගෙන් ඇවිත්  වැදුනට පස්සේ. ඒක හරිම වේදනාත්මකයි.

මං උන්ව බේරගත්තට මොකෝ, මාව බේරගන්න මං පස්සෙන් සුදු සමණල්ලු ආවේ නැහැ. හැබැයි කැලෑ ඇඳුම ඇදගත්තු සර්ගෙව්ගෙ මැර සුවච කීකරු ගෝලයා තමන්ගෙ සුවාමියාව බේරාගන්න කන්ද බහින්න හදන හැටි නම් මට යාන්තමින් මතකයි.

බල්ඩී හෙල්! ‍‍ ඔ මයි ගෝර්ඩ්............

පල්ලමට නැමුනු ගහක එල්ලිලා ඌ කෑගහනවා මට ඇහුනා.....

පල්ලමට වැටෙද්දි මට මතක් උනේ ජාන හොරු ගැන. මුං ඒම දෙන්නෙක්ද කියලා හිතෙද්දිම එක සැරේම අපි දෙන්නම ගස් දෙබලක රැඳුනා. අත පය හීරිලා සුදු හම මතු වෙලා තිබුනා. මගේ සපත්තුවක් ගැලවිලා ගිහිං. කමිසෙ පැත්තක් ඉරිලා තිබුනා. සර්ගෙව්ත් ඌ හිර උන ගහෙන් පැනලා ඇවිල්ලා මං රැඳිලා ඉඳපු ඒ ගහේ එල්ලුනා. ඌ දිහා බලපු මං දැක්කෙ සර්ගව්ටත් පොඩි පොඩි තුවාල. ඒක අතකින් ගහ අල්ලගත්තු ඌ,  උගේ නිදහස් අතින් මට පළවෙනි පාර දුන්නේ මගේ නාස් කාටිලේජය කැඩිලම යන්න. මට තරු විසි උනා. ඒ පහරින් අදටත් මගේ නහය ඇදයි.

ඒ දුෂ්ට බල්ලා ගහපු පාර හරි සැරයි. එහෙම දේකට සූදානම් නැතිව උන්නු මට පහර වලකාගන්න බැරි උනා. පහර වැදුනු සැනින්ම මගේ  සමබර බව නැති වෙලා ආයෙම ගහ අතහැරිලා බිමට වැටුනා. බිමට වැටුනු මං  නැගිටින්න හදද්දි පරිස්සමින් ගහෙන් බැහැලා එන සර්‌ගෙව් මට පෙනුනා. බිඳුනු මගේ නහය පුපුරු ගහනවා. නහයෙන් කලු ලේ වැක්කෙරිලා උඩුතාල තෙමාගෙන පහලට ඇද හැලුනා. මං කාරලා කෙල තලියක් ගැහුවම කෙල වෙනුවට ආවේ කලු ලේ ගොඩක්. මං අපහසුවෙන් කැස්සා. කැහැ කැහැ ඉද්දි හෙමින් හෙමින් මං ගාවට ආව සර්ගෙව් මාව උස්සලා ගත්තේ නිකං පූස් පැටියෙක් ඔසවනවා වගේ සැහැල්ලුවෙන්.

යූ නෝ? යූ ඩිස්රෝයිඩ් එවරිතින්! බ්ලඩී ඩෝග්!

මිනිහ මගේ නහයට ලං වෙලා කිව්වා. මං මොනාද විනාශ කලේ! මං උගෙන් ඇහුවෙ ගොත ගහන ගමන්. නහයේ වේදනාව කතා කරන්න බැරි තරම්ම මට දැනුනා.

වෙන වෙලාවක නම් අම්මපා මට මූව මරන්න පුලුවන්. ඒත් අඩපණ උනු මම අද අවලංගු වෙලා උගේ අතේ එල්ලිලා ඉන්නවා. මං දිහා ටිකක් වෙලා බලන් ඉඳපු සර්ගෙව් මාව අතෑරියා. මං අවලංගු කාසියක් වගේ රෝල් වෙලා අප්‍රාණිකව බිමටම වැටුනා. ඒ බෑවුමේ ඌ මට බිම වැතිරෙන්න පුංචි ඉඩක් දුන්නා. ඉන්පස්සෙ ආයෙම වටයක් කැරකිලා මොනාදෝ තමන්ටම කියාගත්තු අධමයා ඇවිල්ල මගේ බඩට ගහපු පා පහරින් මගේ බඩවැල් පුපුරලා යන්න ඇති. පා පහර ගහපු ඌ මහ හයියෙන් හූවක් තියලා මං ගාවින් බිම ඉඳ ගත්තා. ඌ ගහපු ඒ පාරටත් මගේ කටින් කෙල තලියක් වෙනුවට ලේ ගුලියක් දොට්ට පැන්නා. ගල් බූට් සපත්තුවට මගේ ප්ලිහාව පුපුරලා ඇති. මේ සා වූ වේදනාවක්. මං කෙඳිරිගාන්න ගත්තා. ඌ තව හූවක් තියද්දි මට තේරුනේ මූ මේ කතා කරන්නෙ උගේ අතවැසියාට කියන දේ විතරයි.

මේ වෙද්දි මම සිහිය නැති ඇති මට්ටමක වැටෙමින් උන්නා. ටිකකින් මූ පාත් වෙලා මං ගාවට නැමුනා. ඌ කියපුවගෙන් මං අහුල ගත්තු  සාරාංශය මෙච්චරයි. සුදු සමණල්ලුන්ගෙ වැඩිහිටියෝ හදන දළඹු කෝෂයේ ඇති යමක් උන්ගේ රටේදි බෙහෙතක වගේ දේකට ලොකු ඉල්ලුමක් තියන බව විතරයි.

මුහුණ පුරා වැක්කෙරෙන ලේ දහරාවන් මැදින් මං දිග හුස්මක් ගත්තා. මගේ නහයෙ ඇතුලෙන් දැන් ලේ කැටි ගැහිලා පුපුරු ගහනවා. මං දැනගත්තු දේ හරි! අමන ජාන හොරු. සල්ලි වලට විකිණෙන තක්කඩි. ඌ ආයෙ නැගිටලා පිඹ පිඹ වටයක් යද්දි මං වටපිට බැලුවා. කොලරොඩු අස්සෙන් මට අතට අහු උනේ තරමක් ලොකු කලු ගලක් විතරයි. මං කල්පනා කලා. මේ කැලේ ඇතුලේ මට මැරෙන්න උවමනා නැහැ. මුගේ ගෝලයා ආවොතින් මට මේකෙ වැලලිලාම යන්න සිද්ධ වේවි. සර්ගෙව් ආයෙම මං ළගට එද්දි මං ක්‍රියාත්මක උනා.

මගේ අතේ සැඟවිලා තිබුනු කලු ගල උගේ දණිස්සට පතිත උනේ අකුණු සැරයක් වගේ වේගෙන් වෙන්නැති! ඌ කෑ ගහගෙන බිමටම වැටුනා. කකුලෙ වේදනාවට ඌ බිමට නැමෙද්දි මං තව පාරක් දුන්නා උගේ මැණික් කටුවට. ඌ වේදනාවෙන් ඇඹරෙද්දි උගේ අනික් දනිස්සටත් ඒ  වගේම සැර පාරක් තෑගි කරගන්න තරම් මට පණ තිබුනා. ඉන්පස්සෙ ඌව පෙරල ගත්තු මම ඉස්සෙල්ලම පහර දුන්නු උගේ වම් දණිස් පොල්කටුවටම, ඒක කුඩු පට්ටම් වෙනකම්ම වියරුවෙන් ගහගෙන ගහගෙන ගියේ මොහොතක නැවතීම මගේ අවාසියට හිටින බව දැනගෙනමයි. මගෙන් වදින හැම පාරක් ගානෙ මහ හයියෙන් කෑ ගැහුවත්, එක මොහොතක ප්‍රමාදයෙන් සර්ගෙව්ගේ අතක් වේගයෙන් මා දිහාවට ආවෙ මට කිසි දෙයක් හිතාගන්න ඉඩක් නොදීම.

සර්ගෙව්ගෙ දනිස්ස බිඳුනට උගේ චිත්ත ධෛර්ය්‍ය බිඳිල නැහැ. ඌ හරකෙක් වගේ හයිය එකෙක්. ඌ මගේ බෙල්ල හිරකරගත්තේ ඇඟිලි වලින්! ඊළග මොහොතේ ඌ මාව බිම පෙරලාගෙන බෙල්ල මිරිකන්න ගත්තා. දෙයියෝම සාක්කි! අඩුවකටවත් ඒ තරම් හයියක් නැතිව ඇති. සිහිකල්පනාව යන්න එන්න වගේ මට හුස්ම හිරවෙද්දි මට නොදැනීම වගේ මගේ අතේ තිබුන ගල් ගෙඩිය උගේ නලල මත පතිත උනා.  ඒ පාර එච්චර සැරට නොවැදුනා උනත්, වේදනාවෙන් කෑ ගැහුව උනත්, මොකද ඌට ඒත් මගේ බෙල්ල නම් අතහැරුනෙ නැ. ඒ නිසාම අවසිහියෙන් උන්නු ඊළගට මගේ ඉල්ලකය උනේ උගේ අතේ වැලමිට.

අලවංගුවක් වගේ කෙලින්ම මගේ බෙල්ල හිර කරන් උන්නු උගේ වම් අතේ  වැලමිට උඩ ගල් ගෙඩිය පතිත වෙද්දි ඒ අතේ වැලමිට කැ‌ඩන ශබ්දයනම් මට අපූරුවට ඇහුනා. මං මරු විකල්ලෙන් වගේ ඒ ගහපු පාර නම් සැරට වැදුනා. ඒ පාර මට අවස්ථාව ආවේ ඌව ආපහු යට කරගන්න. මගේ ලේ සර්ගෙව්ගෙ මූනට වැටිලා ගලාගෙන යද්දි ඌ කෑ ගහද්දි මං තව පහරවල් කීපයක්ම වැලමිටටයි නලලටයි ඉල වලටයි තදින්ම ගැහැව්වෙ වෙන විසඳුමක් නැති නිසා. අවට කොල රොඩු විසිරිලා යද්දී ගස් අතර අපේ සටන පැවතුනා. ‌ෙහාඳ ශක්තිමත් මිනිහෙක් අඩපණ කරන එක විතරයි මගේ අරමුණ උනේ. ඔහුව මරණ එක නෙමෙයි.

ඉතින් අන්තිමේදී පාෂාණයකට මට්ටු වෙලා සර්ගෙව්වේ අත කැඩිලා අප්‍රාණික වෙලා වැටුනා හරියට දර ඉපල්ලක් වගේ “ක්‍රටස්..............”

බිඳුනු අතේ සහ ඉල ඇට වලට වැදුනු පහරවල් වල වේදනාව ඉවසාගන්න බැරිකමටම ලේ පෙරුනු සර්ගෙව් මාව තල්ලු කලා. උගේ තල්ලුවට මම විසිවෙලා ගිහින් වැටුනෙ උල් තිබුනු ගහක් උඩට. එයින් උලක් මගේ කලවයේ ඇමිණුනා. කකුලට උනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව වල්මත්ව අප්‍රාණිකව උන්නු මං නැගිටින්න හදද්දි වාරු නැතිව ගිහින් පැත්තට ඇදගෙන වැටුනා. ආන්න එතකොට කකුලේ ඇමිණිලා තිබුනු උල ගැලවෙනවා වෙනුවට උල මැදින් දෙකට කැබැල්ලක් කැඩිලා මගේ කකු‌ලේ මස් ඉරාගෙන ගිහින් කකුලේ ඇමිණිලාම තිබුනා.

ආ.........................................ව්........

මට කෑ ගැස්සුනා. බිඳුන නහයයි, තැලුනු පොඩි උන ශරීරයයි, ලී  උලක් ඇනුනු කලවයි මාව වේදනාවේ අන්තයටම ගෙනැල්ලා තිබුනා. මට නැගිටින්න බැහැ. මගේ කලිසමේ කලවා පෙදෙස උණු වතුර දැම්මා වගේ දැවිල්ලයි. දාඩියෙනුයි ‌ලේ වලිනුයි මාව පෙඟිලා හොඳටම. මුළු ඇඟම වෙවුලනවා වේදනාවන් වැඩි කමටම. තත්පර කීපයක් එහෙම්ම මුනින්තලා වෙලා ඉඳපු මං වැඩි වෙලා නොගෙන බඩගාගෙන කැලේ ඇතුලට ඇදුනා. මං අඩියෙන් අඩිය ඉදිරියට යද්දී සර්ගෙව් බෙරිහන් දෙන හඩ මට ඇහුනා. පොඩි පැල කිහිපයක් අතරේ මුවා වෙලා මං තව විනාඩි පහක් වගේ වැටිලා හිටියා විඩා නිවෙන්න. මිනිත්තු පහක් වගේ වේලාවකින් සර්ගෙව් කෑ ගැහිල්ල අඩු කරලා කෙඳිරිගාන්න ගද්දී මට ඔනි උනේ කොහොම හරි වාඩිය පැත්තට යන්න විතරයි.

මේ වෙලාවෙ මගේ ගැලවිල්ල තිබුනෙ එතන. ඒම හිතපු මං හනික වේදනාවන් අමතක කරලා දාලා බඩගාගෙනම ඉදිරියට ඇදුනා. වතුර වගේ ඇඟට යමක් වැටුනා දැනුනා. ඔලුව උස්සලා බලපු මං දැක්කෙ ආපහු වහින බව. ඇඟට වතුර වැටෙද්දි දැවිල්ලට මට ආයෙම දත්මිටි කැවුනා. කකුල දිහා බලන්න බයයි. කූඩැල්ලෝ ගිහින් අර උල ඇනුන තැන රොඳ බැඳලා ලේ උරනවා. උන්ව ගලවන්නවත් මට නතරවෙන්න උවමනාවක් තිබුනෙ නැහැ. ආයෙම මං බඩගාගෙන කැලේ ඇතුලට ගියා. මොහොතක ප්‍රමාදය මාව රුසියානු තක්කඩීන්ට අහු වෙන්න පුලුවන්. උන් තව  කීදෙනෙක් ඉන්නවද මං දන්නෙ නැහැ.

හිස හැරුණු අතේ බඩ ගාගෙන එද්දි මට පෙනුනේ කලින්දා අපි කන්දෙ පහලට බැහැපු අඩි පාරේ කොටසක් වගේ තැනක්. මං ඇස් පිය ගහලා මතක් කලා. එතන අපි විහිලු කතා කිය කිය විනාඩි ගාණක් විඩා නිව්වා. ඔව් මෙතනින් පහලට යන්න තියෙන්නෙ නේද වාඩියට....

මෙතන  ඊයේ කොච්චර ලස්සනද?

හදිස්සිය නිසාම වැඩිදුර නොහිතා මං එතනින් පහලට බහින්න යද්දී ආයෙම ලිස්සලා රූටාගෙන ඇදිලා ඇවිත් මහ නුඟ ගහක් වගේ තැනක හැප්පිලා නතර උනා. මට මතක් උනා. එතනින් කිලෝමීටර දෙකක් විතර ගිය තැන තමා ඇල හම්බවෙන්නේ. ඇල ගාව ඉඳන් තව කි මී දෙකක් වගේ වාඩියට......

තවදුරටත් බඩගාගෙන යන්න පාරක් නෙමෙයි තිබුනේ. ගස් වල එල්ලි එල්ලී, ගල් වල හැප්පි හැප්පී මං වැස්ස මැද්දෑවෙන්ම කෝම හරි ආවා. පපුව ඇතුලෙ වේදනාව! හතිය! ඒත් මට උවමනා උනා අපේ කට්ටියට මුං ගැන කියන්න. මට උවමනා උනා අපේ කට්ටියගෙ ආරක්ෂාව ගැන හිතන්න. ඒ දේවල් හිත හිතම කකුලත් ඇද ඇද මං ගොරව ගොරව හති දාමින් ඉස්සරහටම ගියා. කොහොම හරි ටික දුරක් ගිය තැන ඇලට කලින් හම්බුන එනසාල් යාය පේද්දි මට ගෙදර ආවා වගේ හැඟීමක් දැනෙන්නැති.

පැය ගාණක ඇවෑමෙන් මං ඇදි ඇදි සර්පයෙක් වගේ ඇවිල්ල ඇල පාර හොයාගෙන ආව. ඉස්සෙල්ලම මට පෙනුනෙ  ඇලට නැමීගෙන ඉන්න පොඩි ළමයා. මං කෑහැහුවා. මට පෙනුනේ ලාවට කාන්තාවන් දෙදෙනා මා දිහාවට දුවන් එනවා විතරයි. දෙන්නාම ඇවිල්ලා මං දිහාවට නැඹුරු වෙද්දී මට සිහිය නැති උනා. මට මතක ඒ දෙන්නා කෑ ගහපු හැටි විතරයි.

මාධව.......................................

සිහිය එද්දි මං උන්නෙ මහනුවර රෝහලේ. ආරංචි විදියට සතියක් මං සිහි නැතුව ඉඳලා තියනවා. සිහිය එනකම්ම මං වටේට තිබුනෙ සුදුපාට තිර රෙද්දක් සහ මැෂීන් ගොඩක් විතරයි කියලා පස්සෙ දවසක මාව බලන්න ආව චින්තනී නෝනා කිව්වා.

මට සිද්ධ උන දේ ගැන දැනගන්න නම් මට සනීප වෙන්න වෙනවා කියලා, මං අහපු ප්‍රශ්න වලට හිනා උන නර්ස් නෝනා සුදුපාටින් තිබුන තිරය හදාගෙන යන්න ගියා. මං ඇස් පියාගත්තා මට මතකයි. මට හොඳ වෙලා ගෙදර ආවහම පොලීසිය ඇවිත් මගෙන් ප්‍රකාශ ගත්තා. එයාලා ඒ ගැන හොයලා බලන බව මට තේරුනා. මට විශේෂයෙන් පරිස්සම් වෙන්න උවමනාවක් දැනුනෙ නැහැ. උන් මාව අඳුනන්නෙත් නැහැ. පොලීසියෙන් මට එහෙම අවදානමක් ගැන කිව්වෙත් නැ. ඇරත් මට දැන් උන්ගෙ හැඩ රුවවත් මතක නැහැ! උන්ට මතක ඇති කියලා හිතුනෙත් නැහැ.

කල්පනා ලෝකෙ ඉවරවී‌ගෙන එද්දි ආපහු සර්ගෙව්ගෙ හඩ මට ඇහුනා...

 05 - 

 ඔල්ඩ් ස්ටෝරිස් නෙවර් එන්ඩ්. බට් නොට් ටූ මච් ඔල්ඩ්....

වර්තමානයට මං ආපහු ආවේ ඒ හඩක් එක්ක. සර්ගෙව් කතා කලා. මං තව මොනවා කියන්නද? උං මා ගාවටම ඇවිල්ල නෙව.....

මං අහගෙන උන්නා. ඌ පැහැදිලිවම කිව්වෙ මෙන්න මේ දේවල්.... 

උඹ අපේ ලක්ෂ ගාණක සල්ලි නැති කලා. මට යන එන මං නැති කලා. මං නූගතෙක් නෙමෙයි. මං හැදුවෙ බෙහෙතක්.  ඒ ව්‍යාපෘතියෙන් කී දාහකට ජීවත දානය ලැබෙයිද උඹ දන්නෙ නැහැ. උඹ මහ නූගත් මිනිහෙක්. උඹ දන්නවද? උඹ මහ අකෘතඥ මිනිහෙක්. අන්තිමට මට උඹව හොයාගන්න සෑහෙන්න මහන්සි උනා.

“මේ මනුස්සයා” ඒ වචනෙත් එක්ක ඒ වෙලේ සර්ගෙව්ගෙන් පල වුනේ හරිම කෘතඥ වේදී පෙනුමක්...

මේ මනුස්සයා මං වෙනුවෙන් පුදුම දුකක් වින්දා. උඹ මගේ අත පය කුඩු කරලා නලලත්, ඉල කූඩුවත් බිඳලා දාලා සර්පයෙක් වගේ අතුරුදහන් උනා. පැය දෙකකටත් පස්සෙ මේ මනුස්සයා මාව හොයාගත්තෙ. යන්තම් පණ තියනවා කියලා දැනගෙන මොහු මාව කොහොම හරි කැලෙන් එලියට ගෙනැල්ලා තියනවා.

උඹව හොයාගෙන මිසක් මෙහෙන් නොයා යුතු බව මං කිව්වම ඔහු ඒකට ඒකඟ උනා. රුසියාවෙ අපි ළග වචන දෙකක් නැහැ. අද මං ආවේ උඹව මරන්නමයි.

සර්ගෙව් කිව්වහම මට තවදුරටත් කරගන්න දෙයක් තිබුනෙ නැහැ. මෙතන හැංගන්න කැලයක් නැහැ. මෙතන මූට කුඩු පට්ටම් වෙන්න තඩිබාන්න කලු ගලක් නැහැ. කිසිම පිළිසරණක් නැතිව අසරණ උන මං පුටුවට හේත්තු වෙලා ඇස් පියාගත්තා. තව ටිකකින් සියල්ල අහවර වෙයි. ඊට පස්සෙ මං සර්ගෙව් තුවක්කුවේ අගුල අරින සද්දෙ ඇහෙන්නේ නැති වෙන්න, මගේ දෑත් වලින් කන්දෙකත් වහගෙන පුටුවේ ගුලි උනා.

තදට පියවුනු මගේ ඇස් වලින් කඳුලු ගලාන යන බව මට මොහොතකට දැනුනා. ඒ කඳුලු අතරින් මට මැවිලා පෙනුනෙ නකල්ස් වලට ඉහල දීප්තිමත් නිල් අහසේ පියඹා ගිය මේ කිසිම දෙයක් නොදන්න නොතේරෙන ඒ ලස්සනම ලස්සන කලු තිත් වැටුනු සුදු සමණල්ලු රෑන ඉහලට ඉහලට පියාඹලා අතුරුදහන් උන හැටි විතරයි.

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අභිරහස හෙළිකරගන්න ඉවරවෙනකල් කියෙව්වා. හොරර් මූවි එකක් මතක් උනා.

    ReplyDelete
Previous Post Next Post

Contact Form