එක කුඩයක් යට.

 


අපි හැමෝම ඉන්නෙ එක අහසක් යට

එහෙම ලෝකයක ඇයි අපිට බැරි එක කුඩයක් යටට වෙලා ඉන්න? ඇයි බැරි?

හතර දිග් බාගේ පැතිරුනු කුරු ගස් උඩ වන මල් පියලි නටනවා. කුරු ගස් වල තියෙන පාට පාට පත්‍ර සැලෙනවා. ඈත කන්ද ඉඹගෙන  හාදු අරන් එන හුළං හෙමිහිට අපි පහු කරගෙන ඉස්සරහට හමනවා. දුර ඈත තව තවත් කඳු වැටි අපිට පේනවා. ඒ කඳු පන්ති මැද්දෙන් වලාකුලු සහ මීදුම හමාගෙන එනවා. ටිකකින් පුංචි පුංචි වැහි පොද එක එක වැටෙමින් ලස්සනට වර්ෂාව පටන් ගන්නවා. හරියට ඔපෙරාවක මුල හරිය වගේ. අපි තමයි ප්‍රවේශ පත්‍ර කිසිවක් අනවශ්‍ය වූ, පරිසරයේ වින්දනාත්මක වූ ඔපෙරාව බලන්නම කියලා එහි ගියපු ප්‍රේක්ශකයින්.


අපි කිව්වෙ මමයි, ඒ ගෑණු ළමයයි.

කඳු මුදුනට වෙලා අවට සිරි බල බල ඉඳපු අපිව  වටකරගෙන පුළුන් වලාකුලු වලින් වියන් තනපු අහස ප්‍රීතියෙන්  ඔල්වරසන් දෙද්දි මට පුලුවන් උනා ගමන් මල්ලේ පතුලෙම තිබුන මගේ පුංචි කුඩේ ඇදලා අරන් ඉහල ගන්න. තකතීරුකමට වෙන්නැති අපි දෙන්නම වැහි කබා අමතක කරලා ඇවිල්ලා හින්දා හරිම යසයි ඒ වැස්සෙ තෙමෙන්න උනු එක.

මං හනික කුඩේ යටට ගොනු උනත්, ඔයා මට අඩි කීපයක් එහායින් ඉඳන් සීතල වතුරෙන් තෙමීගෙන ඔහේ උනා. කුඩේ යටට එන්න හිතුවේවත් නැහැ.

ඉක්මණට එන්න මේ කුඩේ යටට. තෙමෙන්න එපා!
වැස්ස පරදා අපේ මනුස්ස නිහඬතාව බිඳපු මං ඉස්සෙල්ලම හඩ අවදි කලේ එහෙම..............

උත්තර නොදී ඔයා නිහඩවම වැස්සෙ තෙමෙනවා.  මං දන්නවා. මේක අහංකාරකමක් නෙමෙයි. බරපතල තත්වයේ ලූ දෙයක් නොවෙන්න පුලුවන්. සමහරුන්ගෙ ජීවිතේම මේ වගේ වෙන්න ඇති. මේ සීතලේ කිසි ගාණක් නැතුව තෙමෙන්න. සීතලම සීතල වැස්සකට. සිසිල් ජීවිතේකට ආදරේ කරන ඈයෝ!

එක්කෝ.... මට දැනෙන තරමටම මේ සීතල වැඩියි. එහෙම නැතිනම් මට නොදැනෙන තරමට හෝ ඇබින්දක් උණුසුම දැවටිලා ඇති.ඒ කොහොම උනත්, මේ වෙද්දිත් මගේ දත් ඇඳි එකට හැප්පෙන තරමට සීතලක් නම් දනවන්න පටන් අරන් ඉවරයි.

ඒ වෙද්දි කොහොමද ඔයා ඔහොම ගාණක් නැතුව ඉන්නෙ?

මං ඒ ඇස් දිහා බැලුව. දීප්තිමත් ඇස්. ඒවගෙ තිබුන දේ කියවන්න මට බය හිතුන. ඇත්තටම මට ඕනි උන දේ මොකක්ද දන්නවද කියලා හැබැයි මං මගෙන්ම අහගත්තා.

ඒ ඇස් වල මිතුරෙක් වෙන්න මට ඕනි උනා. මං ඒ ඇස් දැකපු ඉස්සල්ලම දවසෙත් එහෙම හිතුවා. හරි ආඩම්බරකාරියක්. මං එහෙම හිතපු දවස් තිවුන. එක දවසක පලවෙනි පාරට මං ඒ ඇස් දෙක දැක්ක ගමන්ම .  ඒත් ඒක එහෙම නෙමෙයි කියල දැනගන්න දිග කාලයක් ගත උනා. මොක උනත් සමහර දාට මං කියවගත්තා ඒ ඇස් වල තිබුනු අමුතු තනිකම. ඒ ඇස් බැබලෙන්න කාලයක් ගතවුන හැටි මට මතකයි. එහෙම කෙනෙක්ගෙ තනිකමට ඕනි  ඖෂධය වෙන මුකුත් නෙමෙයි. මිත්‍රත්වය.

සත්තයි එච්චරමයි ඕනි.

මං ආයෙම ඒ මුහුණ දිහා බැලුව.

දුඹුරු පාට ගල් සියඹලාවක් හෙමින් හපන එයාගෙ කොන්ඩෙ වැස්සට ඇලෙනවා. ගස් අස්සෙන් වැටෙන වතුර බිඳු වලින් වැහි දෙකයි. ඒ දිය බිඳු ඒ රෝස දෙකොපුල් දිගේ ගලාන මහ පොලවෙ අතුරුදහන් වෙනවා. මං ඊලඟට ඒ චූටි ඇඟිලි දිහා බැලුවා. සීතලට ඒවා සුදු මැලිවීගෙන එනවා මට පෙනුනා. වැස්සෙ වැහි බිඳුවල සාරයට එයාගෙ ඇඳුම් ඇඟටම ඇලීගෙන එනවත් මං දැක්කා. ඊලඟට මං තව දේවලුත් දකීවිද? තවත් මෙහෙම ඉන්න එක අවදානම්. මගේ හිත එහෙම කිව්වා.

මගේ සීමාවන් මං හොඳට දන්නව. ඒ නිසාම මට ඕනි උනේ නෑ ඒ අතින් අල්ලලා එයාව කුඩේ යටට ඇදලා ගන්නවත්, ඒ අතැඟිලි තුඩු වලට හෙමීට උණුසුම් හුස්ම පිඹලා ආපහු රෝස පාට කරන්නවත්. ඒ වැස්සෙ එක කුඩේ යට එයාගෙ ඇස් මගේ ඇස් වලට නතු කරගන්නවත්. එහෙම කරන්න ඉතාම උචිත මොහොතක් උනත් මට බෑ නෙව එහෙම කරන්න.

 හැබැයි සීමාව බිඳල, වැට කඩොලු වලට පයින් ගහලා මට ඒ දේවල් කරන්න පුලුවන් තරමේ හිතුවක්කාරකමත්, එතනින් පස්සේ ආයෙම කටුකම්බි වැටක් දාගෙන මගේ සීමාවේ කොටු වෙන්නත් මට හික්මීමක් තියනවා කියල මම දන්නවා. ඒත් මෙතනදි සමහර විට මිනිහෙක් මැරුණත් මට මගේ සීමාවේ ඉන්න වේවි බාගදා!

ඊලඟට  මඳ වැස්ස ටික ටික වැඩි කරද්දි මට තවත් නම් කට පියාගෙන ඉන්න අපහසු උනා. ඒ ඇත්ති සියුමැලි (මං එහෙම හිතනවා.) මනුස්ස දුවක් නිසාම මං ආයෙම කතා කලා. වැහි ආවරණයකුත් නැතුව එහෙම තෙමන එක මේ කැලේ මැද්දෙ හරිම අවදානම්.

"කරුණාකරලා ඔයා එන්න. කුඩේ යටට.."  

එහෙම කියපු මං කුඩෙන් තුන් කාලකටත් වැඩියෙන් එයාට ඉඩ හදලා දීලා පුංචි මුල්ලට උනා. කුඩ මිටෙන් උස්සලා අල්ලාගෙන හොඳට එයාට නොතෙමී ඉන්න ඉඩ හැදුවා. ඕන් එයා හොඳ ලමයා වගේ කුඩේ ඇතුලට ආවා.එයාගේ ඇඟේ නොගෑවෙන්න මන් තව ටිකක් පස්සට උනා.
හැබැයි කුඩේ අනික් පැත්තෙන්  බේරෙන වතුර බිංඳු මට කිසි සමාවක් නම් දුන්නෙ නැහැ. මගේ කැලෑ කමිසය සීතල වතුරෙන් පෙඟිලා ඇඟට ඇලෙන්න ගියේ බොහොම කෙටි වේලාවක් විතරයි. සීතල වතුර බිංදු එක එක් වැටෙන සීතල දරාගන්න අමාරුයි අයිස් බාල්දියක බැහැල ඉන්න එකට වඩා.

ඒව කමක් නෑ. ඒ ඇත්ති හෙමින් හෙමින් ඇවිල්ලා කුඩේ යට තැන්පත් උනා. වැස්සට පෙඟුනු හිසේ තිබ්බ තොප්පිය ගලවලා තෙත ඉහිරෙන්න පරෙස්සමින් වතුර ගසලා දැම්මා. ඉන් පස්සෙ දුඹුරු දිස්නෙ තියන කලු පාට කොණ්ඩෙ අතින් පිහදාමින් තෙත මාත්තු කලා.

හරිම අන්තරාදායකයි මිත්‍රවරුණි. හරිම අන්තරාදායකයි.බොහොම ලස්සන තරුණියක් මං ගාව ඉඳන් කොණ්ඩේ වතුර බි‍ංදු ගසනවා නම් ඒකම ඇති නෙව හිත වල්මත් වෙන්න. මං අහක බලාගත්තා. පාට පාට පත්‍ර හරිම ලස්සනයි. මං මටම බොරු කරගන්න පටන් ගත්තා. මට වෙන කරන්න දෙයක් ඉතුරු උනේම නැහැ. සීතල වතුර බිංඳු පරද්දවලා මගේ හිත උණුසුම් වෙනවා. එයාගෙ බෙල්ල පිටිපස්සෙ හීන් කෙස් රොදවල් හරි ලස්සනට මට ඒ වෙලේ පෙනුනා. ප්‍රේමයෙන් ආතුර උන කෙනෙක්‍ට සි‍ඹින්න කදිම කෙහෙ රැලි එව්ව. බොහොම පරෙස්සමට හෙමීහිට කල යුතු සියුම් රාජකාරී ඒව. හැමෝටම බැහැ නෙව. ඒ කේශ මූලයන්ගේ සුවඳ තමා සමහර විට කෙනෙක්ව ජීවත් කරවන්නෙ ඕන්!

ඒව පෙම්වතෙක්ගේ සිතුවිලි නෙව. මට තියනවා මගේම සීමාවන්. ඉතින් මන් නතර වෙන්න ඕනි ආන්න ඒ සීමාවන් අතර වූ "මිතුරා" යන සීමාවෙන්.

ඒත් ඒ වෙද්දි ඇත්තටම  මට ඇස් කොනෙන් බලාන ඉන්න ඕනි උනා. ඒ සොදුරු කේශ රටාවන් දිහා. මං හැමදාම දැකපු දෙයක් තමා කොන්ඩයේ ජීවයක් නොතිබෙන්න ගෑල්ලමයි හරිම නීරස ජීවී කොට්ඨාශයක් කියන දේ.


ඉතින් මොකද උනේ ඉතින් ඕන් ඊලඟට කොණ්ඩෙ උඩට කරලා අපූරු කොණ්ඩ ගැටයක් දාගත්තු ඒ ළමයා මුකුත් නෑ වගේ කුඩේ යට හරි බරි ගැහිලා ඔන්නෝහේ කියලා ගල් සියඹලාවක් අරන් කටේ දාගත්තා. ඇත්තට වෙන මොනා කරන්නද? මං පව් නිසා වෙන්නැති මටත් එකක් දුන්නා. අනේ මාත් ඒ සුදු අත්ලේ තිබුනු පිංවන්ත ගල් සියඹලාව අරන් කටේ දාගත්තා. පොත්ත පිටින්ම. විටින් විට මිනිත්තු කීපයක්ම කට ඇඹුල් වෙනකම්ම ගල් සියඹලා ගිල්ලට මොකද අපි දෙන්නා ගාවම බොන්න වතුර තිවුනෙ නෑ.

මගේ උරහිස් මල්ලේ තිබුනු වතුර බෝතලේ අතට අරන් අන්තිම වතුර උගුරෙන් බාගයක් බීපු එයා මට ඉතුරු බාගෙ දුන්නා. හරිම පරාර්ථකාමීයි. මං බොහොම ආසාවෙන් ඒ වතුර ඇබින්ද ගුඩුස් ගාලා බීල දැම්ම.

දැන් වතුර අහවරයි.

මහ කන්ද නැගගෙන එද්දි ඇබින්ද ඇබින්ද බීලා වතුර බෝතල් හිස්වෙලා තිබුනෙ. බොන්න ජලය අවශ්‍ය නම් ඔන්නොහේ ගස් වල කොල අතු දිගේ ගලා එන වතුර බොකුටු අල්ලෙන් පුරවාගෙන කටට හලාගත්තැකි නෙව.

 එහෙම හිතලා මං ක්‍රියාවෙන් ඔප්පු කරන්නැහේ, හෙමීට මගේ අල්ලට වතුර එකතු කරන්න පටන් ගත්තා.

එයා ඒක අනුගමනය කලා. එයාගෙ පුංචි බොකුටු අල්ලේ පිරුණු වතුර මවුලයක ප්‍රමාණයක් ඒ හීන් දෙතොලේ පහස වින්දා. අංශුමාත්‍රයක් වූ පිරිසිදු සීතල වැහි ජලය. ඒක නිකන් මහ සාගරයක් මැද ඉඳන් පොල්කටුවකින් වතුර බොනවා වගේ දෙයක් වෙන්නැති. අන්තිමට ඒක සෙල්ලමක් උනා. එයත් මමත් තරඟෙට වගේ පාට පාට කොල අග්ගිස්සෙන් වැටෙන පුංචි වැහි බිඳු වල පාරිභෝගිකයින් දෙන්නෙක් බවට පත් උනා.

වතුර ඇබින්ද ඇබින්ද බොමින් ගමන් ඊලඟට අපි දොඩමලු උනා. ඒ අතර සාක්කුවේ තිබුන රටකජු මුල ඇදගත්තු මං එයාගෙ අල්ලට හැලුවා රටකජු. ඉතිරි අඩ ආපහු පොකැට්ටුවේ ඔබාගත්තු මං ඒ පැත්තට හැරුන. එයා මට පිටු පාලා ඉස්සරහ බලාන ඉන්නව. මං එයාගෙ ආරක්ශක වගේ කුඩේ අල්ලාගෙන පිටිපස්සෙන් ඉන්නවා. එයා අතේ රටකජු තියාගෙන විටින් විට මට ඒ අත්ල පානවා. මං එයින් එක දෙක ඇහිඳාගෙන කුරුල්ලෙක් වගේ හෙමින් හපනවා.

මහ වැස්ස අපි වටේට හැලෙනවා..

මෙහෙම ගමනක් ආයේ ජීවිතේටම එන්න නම් මං හිතන්නෑ ලැබේවි කියලා මං හඬ අවදි කලා.

එයා ඒක අනුමත කලා. දවස් හතරකට කිලෝමීටර ලොකු ගණනාවක් ඇවිදින්න තියනවා. තාම දෙවැනි දවස. මේ වෙලාවෙත් අපි ඉන්න තැන හරිම ලස්සනම ලස්සන තැනක්.අමතක නොවෙන ආයේ කවදා හරි පය ගහන්න පුලුවන් වෙයිද කියලා සැක හිතෙන තරම් දුර තැනක්.

මං එහෙම කිව්වෙ ඇත්තටම ආසාවෙන්.  එහෙම කියද්දි එයා නිහඬව රටකජුවක් මුවේ රුවාගෙන මට අත්ල පෑවා. ඒවා රසවත් මිරිස් දැවටූ රටකජු. මටත් ඕනි නෙව. මං ඉතින් දෙකක් තුනක් අරන් එක සැරේ කටේ රුවා ගත්තා.  ආයෙම මං කියවන්න ගත්තා.

ඒත් මට තේරුනේ එයා මට සවන් නොදෙන විත්තිය ටික වේලාවකින්.

රටකජු හපන එයාගෙ ඇස් රැඳුනේ ඈත දුරක. කතාව නවත්තලා මං ඒ ඇස් දිහා බලාන උන්නා. මං කතාව නවත්තපු බව නොදැන එයා ඔහේ උන්නා. ඒ ඇස් වල කතාව තේරුන් ගන්න බැරි තැනක තියන දෙයක් බව මට හැඟුනා. කෙනෙක්ට කරන්න අමාරුම දේවල් වලින් එකක් තමා ඕන් ඔය දේ.

ගොලු වෙච්ච නෙතු සඟලක අභ්‍යන්තර අර්ථය සෙවීම.

මං තවදුරටත් නිහ‍ඬ උනා. නිහඬව කල්පනා කලා. මොන විදියක කෙනෙක්ද මේ? කවදාවත් සිංදුවක් කියනවා අහල නෑ මේ අවුරුදු ගාණටම. කවදාවත් නර්තන ලාලිත්‍යයක් දැකල නෑ. කවදාවත් කවියක් ලියලා තියනවා අහල දැකල නෑ. කවදාවත් ඒ ඇස් වල කඳුලු දැකලා නැහැ. දකින්න අවශ්‍යත් නැහැ. හිනාව උනත් අසීමිතව ඉතිරිලා යන්නෙ නැහැ.

මොන විඳියේ කාන්තාවක්ද අප්පා මෙයාහ්?

කල්පනා ලෝකේ මං සැරි සරද්දි ටික වේලාවකින් එය එක සැරේ මං දිහා බැලුවා. කවුරුත් සවන් නොදෙද්දි තනිවම කියවන්න මට පිස්සු නැහැ. මගෙ හැඟීම මූණෙන් පෙනුනද මම දන්නෙ නැහැ. හැබැයි එයාට තේරුම් යන්න ඇති.

මොකක්ද ඔයා කිව්වෙ?

මං ඒකට උත්තර දෙන්න හිතුවෙ නෑ. මගේ ඇස් නිරායාසයෙන්ම ඈත අහසට පා වෙලා ගිහිල්ල එහිම රැඳුනා. කුඩේ යට කතා බහ අවසන් උනා.

ටික වේලාවකින් වැහි පොද ටික ටික තුරුල් වෙද්දි එයා ආයෙම කුඩෙන් එලියට ගිහින් හිටගත්තා. ඒ පාර මගේ හිත නෝක්කඩුවක් කිව්ව. මේ මොන විකාරයක්ද..

ඒක මගේ කටින් එලියට ආවෙ මෙන්න මෙහෙම..

මේහ මහ විශාල අහසක්. අපි හැමෝම කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඉන්න ඕනි මේ අහස යට.
තේරුණාද?
අපි හැමෝම ඉන්නෙ එක අහසක් යට!
එහෙනම් ඇයි වැස්ස වෙලාවෙදි අපි දෙන්නට බැරි මේ කැලේ මැද නොතෙමී එක කුඩයක් යට ඉන්න?

මේ වැස්ස වෙලාවෙදිවත්...

බැරි ඇයි දන්නවද මාධව
කුඩයට වඩා අහස විශාල නිසා...........
සමහරු කුඩයක් යටටම වෙලා සීමාවක ඉන්න අකමැති නිසා.

විශාල අහසක් යට බැඳීම් වලට දුරක් තියනවා. බැඳෙන්න ඕනිම නෑ. සමහර වෙලාවට අනන්තයට තරම්ම දුර බැඳීම්. සමහර වෙලාවට අසීමාන්තික නිදහස. ඒවා කවුරුවත් දන්නෙවත් නෑ. එතකොට මේ පුංචි කුඩයක් යටදි වගේ සීමිත ඉඩක හැඟීම් හිරකරගෙන ළගින් ඉන්න අවශ්‍ය නැහැ.

ඒ කතාවේ හරය මට පැහැදිලියි. හරියට මේ දැන් පැහැදිලි උන නිල් අහස වගේම පැහැදිලියි. මේ පාට පාට කොල වල බෙදිල පේන වර්ණාවලිය වගේම පැහැදිලියි. අර ඈත පහල පේන දේදුන්නෙ පාට හත වගේම පැහැදිලියි.

ඒ අදහස් කලේ පැහැදිලිවම අසීමාන්තික වූ නිදහසක හැඟීම, සීමා රහිත අවකාශයක පියඹා යන හැඟීම්. කුඩයක් යටදි ලං වෙලා ඉන්නකොට හිර කරගෙන ඉන්න ඕනි දේවල් විසල් අහස යට ඇවිදිනකොට හිර කරගෙන ඉන්න ඕනි නැහැ නේද?

ඇත්තටම අපිට එක කුඩයක් යට කොටු වෙන්න ඕනිද?

ඒ කතා බස් වල අර්ථය හොයපු මං නිරුත්තර උනා. ඇය ආපහු හැරුනා. පියකරු මදහසකින් මුව සරසාගෙන ආපහු කන්ද පහලට පියවර මනින ඇය දිහා මං ආසාවෙන් බලාගෙන උන්නෙ අපූරු හැඟීමකින්. ඒ අතරතුර එක පාරක් හැරිලා ආපහු මං දිහා බලයිද මං බලාන හිටියා. මොකද මට ඕනි උනම දේ තමයි ඒ අපූරු ගෑණු ළමයගෙ මිත්‍රත්වය.

මං ඒක බලාපොරොත්තු උනා.

ඒත් එයා හැරුනෙ නැහැ. එතන තිබ්බෙ ඇගේම පාලනයකට නතු උන ඇගේම දැඩි බව. ස්ව්‍යං පාලනය. හික්මීම.  සමහර විට එයාට හැරෙන්න ඕනි උනත් ආත්ම දමනය කියන දේ නිසා පාලනය වෙන්න ඇති. එහෙම හිතමුකෝ.

මං තේරුං ගන්න ඕනි දේ තමා මට අවශ්‍ය උන මිතුරුකමට එහි ඉඩක් ඇත්තේම නැහැ කියන කාරණාව. ප්‍රේමයක්වත්, රාගයක්වත් නොවන, ස්පර්ශයෙන් තොරව, ඒත් එක ලඟ වාඩි වෙලා වරු ගණන් දොඩමලු වෙන්න, කඩල ගොට්ටක් කන ගමන් කයිවාරුවක නිරත වෙන්න, ඩිනර් ඩේට් එකකට ගිහින් බඩ පැලෙනකම් කන්න, එකම බෝතලේ වතුර කට ගහල බොන්න, දුක් කඳුලු බෙදාගන්න, කරදරේකදි හැකි විටෙක අත දෙන්න වගේ කාරණා වෙනුවෙන් සූදානම් වූ මිත්‍රත්වයක් සඳහා වූ මගේ අවංක අපේක්ශාව එතනින්ම කුඩු පට්ටම් කරලා දාන්න එයාට පුලුවන් උනා.

මගේ කාව්‍යාත්මක වචන වලට, හැඟුම්බර ලියවිලි වලට කවදාවත් කිසිම යුවතියක් හැඟුම්බර නොවී ඉඳල නැහැ. ඒ හැම කෙනෙක්ම අදටත් මගේ හොඳ යාලුවෝ. ඒත් මං අද අසමත් උනා.

මං මටම හිනා උනා.  මං තනියම හිනා උනා. මාව අසමත් වීමේ තෘප්තිය ඒක. ජීවිතේ පලවෙනි වතාවට මං පාඨකයෙක් නැතිව තනි වෙලා. ඒක මං මෙහෙම කියවාගන්න ආසයි.

සමහර මල් තියනවා. පිපෙන්නෙ තනිවම. එයාලට කවුරුත් ඕනි නෑ. කොටින්ම කිව්වොත් මල පූදින්න පිපෙන්න ගහක කඳක්, අත්තක්, කොලයක්වත් ඕනි නෑ.

මේත් එහෙම මලක් වෙන්නැති. එයා හැඟීම් රහිත රොබෝවෙක් නෙමෙයි. හැඟීම් සහිත වූ මහ සයුරේ පාවෙන හිම කන්දක් විදියට මට එයා දිහා බලන්න පුලුවන්. වැඩි හරිය තියෙන්නෙ වතුරෙන් යට. අපිට පේන්නෙ නෑ. තේරුං ගන්න බෑ.

පරාජිත මං ආයෙමත් අහස දිහා බලාගෙන හිනා උනා.

කුඩේ ආපහු මල්ලට ඔබාගෙන හිස ඔසවපු මං දැක්කේ මං විතරක් ක‍ඳු මුදුනේ තනි වෙලා බව. වලාකුළු වියනට ආයුබෝවන් කියලා කියපු මම ඊලඟ වැස්සට කලින් පහලට බහින්න පටන් ගත්තා. ඉතින් ඒ පරිච්චේදය එතනින් අහවර වෙන්න ඕනි කියන දේ මං හිතට කාවද්දා ගත්තා.

මගේ පිටිපස්සෙන් නකල්ස් කඳු බැබලුනා. බලන් ගියාම ඒ කඳු  අස්සෙ සැරිසරණ කුරුල්ලෙක් වගේ මේ ජීවිතේ සැරිසරණ මං කවුද?

මම යනු ජීවිතේ එක එක සංසිද්ධි වල තේරුම් හොයන පුංචිම පුංචි ඇඹලයෙක් විතරයි බලං ගියාහම........

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form