සජිත් සහ සන්නස්ගල


2024 - ඔක්තොම්බර් මාසයේ 25 වැනිදා සජිත් ප්‍රේමදාස සහ උපුල් ශාන්ත සන්නස්ගල අතර සංවාදය නැරඹූ මාධවගේ අදහස් මෙලෙස සඳහන් කල යුතු යැයි සිතේ. 

දෙවැනි මනාප ගැනීමෙන් පසුද පරාජිතයා වුනු සජිත් ප්‍රේමදාස ගැන පළමු පැහැදීම ඇති වූයේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කල පසුය. ඒ වෙන කිසිවක් නොව පරාජිත රනිල් වික්‍රමසිංහ හැමදාම මඟ හරිද්දී අනුර සමඟ විත් ජයග්‍රාහකයාට නිහතමානීව සුභ පතා යෑමෙන් මය.

සන්නා සමඟ කල වැඩසටහන ගැනද ඇත්තේ එවැනි පැහැදීමක් ය. සජිත් එහිදී ප්‍රකට කලේ ඔහුගේ පරිණත බව නොව ඉවසීම විය හැකිය. පියානෝව ඇතුළු සංගීත භාණ්ඩ වාදනයෙන් තැප්‍රොබේනය තුල මිනිසුන් පිනවූ සජිත් ඉතා අපුරු ලෙස සංවාදයට ප්‍රවිශ්ඨ වීම අගය කල යුතුය. සමාජ මාධ්‍යයෙන් තමාව පතුරු ගැසූ මිනිසා අභිමුඛව සම්මුඛ වීම සජිත්ගේ ගිණුමට ලකුණු කන්දරාවක් එකතු වීම නොවැලැක්විය හැකි කාරණාවක් බව මාධව සිතන්නේය.

මාධව දකින ලෙසට සජිත්ගේ ඇති ගැටළුව ඇත්තේ ඔහු රණසිංහ ප්‍රේමදාස නම් චරිතය තුලට කොටු වීම මිස වෙනත් අඩුපාඩුවක් නොවේ. ඔහුට දේශපාලනයේ අත්දැකීම් ඇත. එසේ වුවද ඔහුගේම දර්ශනයක් තිබුනේ නම් සජිත්ට ඇති ගමන මෙතරම් දිගු එකක් නොවන්නේය. ඒසේ වූවා නම් ඔහු මේ වෙද්දි ජනපති පුටුවේ සැප ගන්නේය.

මාධව දකින ලෙසට සජිත්ට හානි සිදු කරන්නේ ඔහුගේ හැසිරීමට වඩා ඔහුගේ වටපිටාවේ උන්නා අයවලුන්ය.  ජලනි සහ පවුලේ අය ඔහුට සිදු කරන හානිය වලකාගත හැක්කේ අනිවාර්යයෙන්ම ඔවුන්ට එහි ප්‍රවේශ මාර්ගය ඇහිරීමෙන් ය.  අනුරලා වැඩ කලේ පක්ෂය මහඟ මිසක් පවුලේ උන් සමඟ නොවේය. සජිත් ප්‍රේමදාසට මඟ පෑදෙන්න නම ඔහුගේ මඟ අහුරාගෙන සිටින බිරිඳ, මව - හේමා ප්‍රේමදාස සහ චෝදනා ඇති එකම සහෝදරිය එම මාර්ගයෙන් ඉවත් කල යුතුමය. ඔහුගේ පියා දැඩිව පිළීකුල් කලා යැයි කියන පවුල් දේශපාලනය නවතාලීම ඔහු තමාගෙන්ම ඔප්පු කල යුතුය.

එසේම ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ පිලිබඳව සැලකිලිමත් විය යුතුය. මන පිනවන අයුරින් ගැලරියට කතා කිරීම නොව සත්‍ය සහ ප්‍රායෝගිකව කල හැකි දේවල් ගැන විධිමත්ව ප්‍රකාශ සිදු කිරීම අතිශයින් වැදගත් ය. ඒසේ කිරීමෙන් ඔහුට ගොඩ වැඩිකරගත හැකිය.

අනුර ඇතුලු NPP කණ්ඩායම මේ රට හදයිද නැද්ද කියලා කියන්ට දැන් කල් වැඩිය. කෙසේ වෙතත් අනුර ඇතුලු NPP නඩය මේ රට හෑවොත් ඊළග අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නේ නැත. ඒ බව කැට තබා කිව්ව හැකිය. ඒ් ලැබෙන අවස්ථාව අනිවාර්යයෙන්ම සජිත්ට ස්වර්ණමය අවස්ථාවක් වනු ඇත. සන්නා කලේ මහ විශාල උදව්වක් බව කමෙන්ටු වලින්ම දැක ගත හැකිය. එනයින් සජිත්ට ඇතිවූ ප්‍රතිලාභය අති මහත්ය.

මහමැතිවරණයෙන් පසු ඊළග පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වීමේ අවස්ථාව වැඩි වශයෙන් ඇත්තේ සජිත් ප්‍රේමදාසට විය හැකිය. සජිත් වටේ ඉන්නා ඇතැම් පුද්ගලයින්ගේ තක්කඩිකම් සහ මජර දේශපාලනය නිසා සජිත්ට සිදු වන හානිය වලකාගැනීමට ඔහුට නිකම්ම ඉඳලා බැරි බැවින් ඒ පිලිබඳව සැලකිලිමත්වීම විධායක අගමැතිකමේ රස බැලීමට ඉක්මන් අවස්ථාවක් වනු ඇත. අනුරලා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව පැවසීම නිසා එසේ කීමට මාධව කැමතිය. "විධායක අගමැති". කෙසේ වුවත් සජිත් පරාජය නොවී පාර්ලිමේන්තු යනු ඇත. මිනිසුන්ට යමක් කල මිනිසෙක් ලෙස ඔහුව ගෙදර තැබීමට ජනතාව සූදානම් නැති බව මාධවට  විශ්වාසයක් ඇත.

දැන් මේ ලියන ලිපි වලින් මාධවගේ කතා වෙතින් සජිත්ට සුභ පතන්නෙ නැත. කිසිදු දේශපාලන නායකයෙක් වෙනුවෙන් මාධව සුභ පතන්නේ නැත. නමුත් ඔහුට අගමැති සිහිනය දුරක නොමැති බව මාධවට ප්‍රකාශ කල හැකිය. ඒ ඔහු රණසිංහ ප්‍රේමදාසගේ පුතා නිසා නොව ඔහු සජිත් ප්‍රේමදාස නම් වෙනමම පුද්ගලයෙක්  නිසාය.

රනිල් පසු පස ගිය එජාප පාක්ෂිකයින් සජිත්ට අකමැති නැත. දැනටමත් සජිත්ට සෑහෙන පාක්ෂිකයින් ප්‍රමාණයක් ඇත. පොහොට්ටුවට ජන්ද ලබා දුන් බහුතර පිරිස වර්තමානයේදී මාලිමා පාක්ෂිකයින් වුවද උන් කවුරුත් උපන්ගෙයි NPP සාමාජිකයින් නොව පාවෙන ජන්ද කුට්ටියක්ය. ආන්න ඒ කුට්ටිය ඩැහැ ගැනීමට නම් සජිත් ප්‍රේමදාස වෙනස් විය යුතු තැන් ගැන සිතා වෙනස් වීම ඔහුගේ වාසියටම කටයුතු කරනු ඇත.

ඉතින් මාධව මේ කෙටි ලිපිය අවසන් කරන්නේ සන්නාගේම ප්‍රකාශයකිනි.

"සජිත් ප්‍රේමදාස වගේ නායකයෙකුට නායකයෙකුට බලාපොරොත්තු තියාගන්න පුලුවන්! හැබැයි ඒ බලාපොරොත්තු එක්ක හරියට මේක ප්ලේ කලේ නැතිනම් අර පහාල ඉන්න 2% අය ඔවටේක් කරන්න පුලුවන්!"

සන්නාගේ මේ කතාව හරියටම හරිය. සජිත් අවංක උවමනාවක් ඇති නායකයෙන් බව ප්‍රකාශ වන්නේ නම් පොහොට්ටුවට යලි බලයක් ලැබීමේ අවකාශ ඇහිරී යනු ඇත. එනයින් ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර වාගේ බැටි කිරීම සජිත් සතුව පවත්වාගත යුතු වටිනාම ගුණාංගයක් වනු ඇත. 

මාධව විශ්වාස කරනුයේ මේ ආණ්ඩුවෙන් පසු බලය අනිවාර්යයෙන්ම යා යුතු දිශාව බොහෝ විට සජිත්ගේ දිශාව බවය. කොච්චර හොඳ හෝ නරකට මේ රට කලත් හැමදාම මාලිමාවට බලය ලබා දීම ද අඥාන ක්‍රියාවක් බවද මෙතන කිව යුතුය. එනම් බලය නිවැරදි අයුරින් නිවැරදි පුද්ගලයින් අතට හුවමාරු විය යුතු බවය. ඒසේ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදයේ අවම මූලධර්මවත් නොදන්නා, මානුශීය බවක්වත් නොගෑවුනු තුප්පහි දේශපාලනයක නිරත වූ රනිල් සහ පොහොට්ටුවොන්ගේ දේශපාලනය යලි නොනැගිටින සේ මිනී පෙට්ටියට දමා අවසන් ඇනය ගැහීම කල යුත්තේ සජිත්මය! ඒක කල හැක්කේ අනුරට නොව සජිත්ටමය. අනුරට කල හැක්කේ මිනී පෙට්ටිය නිර්මාණය කිරීම පමණක් ය.  කුණු වූ රනිල් සහ පොහොට්ටුවොන්ගේ දේශපාලනය නම් වූ ඔජස් ගලන මෘත ශරීරය වල දැමීම කල හැක්‌කේ සජිත් ටය.

1 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. රනිල්ට මහපොළොවට බහින්ට බෑ. සජිත්ට මහපොළොවෙ යතාර්ථය තේරෙන්නෙ නෑ. සජිත්ට තැන එන්නෙම අනිත් පක්ෂ, සංධාන මේ සමයේ දියාරැව තියෙන නිසා.

    ReplyDelete
Previous Post Next Post

Contact Form