සමණල්ලු තාම පියාඹනවා ඇති...

 


සමණල්ලු පියාඹන
එක දවසක උදේම
ගමේ ඉස්කෝලෙදි

මං කඩයිමක් පැනලා තිබ්බා

කන්නංගර පිළිමෙ ගාව
පාමුල මං වැඳ වැටුනා
ප්‍රථිපල ඇවිදින් තිබුනා

සතුටට මං ඇඩුවා හොඳටෝම

ගල් කුඩු කල අත් පොඩි වල
කරගැට වල දුක මැකුනා
කහට සිනා මතු කෙරුනා

මං හීනයක් මැවුවා එහෙම

පුංචි සිහින ලොව මැවුනා
පුංචි රටක පුංචි සිතක
කටු නෑ දැන් මල් පාරකි

මං හිතුවේ දැන් සුන්දරයි අනාගතය

මග තොට දී මා හැර මං
යන්න ගිහින් නොදන්වාම
කහට සිනා තනි කර දා

මට යන්න උනා බලාපොරොත්තු රහිත වෙලාවක

අඳුරු අහස යට වැළලී
ගියදා සිට මං නැතිවී
මං මතුපිට තෘණ පැලවී

මං දානයක්ම උනා භූමියට

මං නැති මේ හිමිදිරියෙත්
ගල් කඩන්න ගාටනවද
“සිරියාවතී“ මගේ අම්මෙ?

කන්න දෙන රස්සාව ඒකම විතරයි

හැන්දෑවට ගෙට ඇවිදින්
සුදු ඇඳගෙන මං ගිය හැටි
බලන් උන්නු උඹ කියපන්

සමණල්ලු තාම පියාඹනවාද අම්මෙ?

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form