ආදරණීය මායා!


ඒ දූවිලි පාරේ හරි මැදින් මගේ ලොරිය ඉස්සරහට ඇදුනේ දූවිලි වලාවක් අවුස්සමින්. ඈත තල් රුප්පාව පේන්න තියනවා. සමහර තල් අතු බිඳිලා තියනවා. අහස නිල්ම නිල් පාටයි. මගේ පුංචි ලොරියේ වීදුරුවෙන් මට අහස පේනවා. ඉස්සහර කණ්ණාඩියේ එල්ලලා තියන දේව රූපය ලොරියේ රෝද වලක වැටෙන ගානේ අනුරූපව දෙපැත්තට පැද්දෙනවා.
 
එු දූවිලි පිරුණු ගුරු පාරේ අපි කණ්ඩායමක් දුර ඈත ගමනක් යනවා. සමහර විට මං එදා නොහිතුවාට ඒ සේරම අනාගතයට යන ගමනක් වෙන්නැති.…
 
අද මට එහෙම හිතෙනවා.....


කාලයක් තිස්සේ බෝම්බ වැටිල සුන්නද්ධූලි වෙලා තිවුන ඒ භූමිය, වන්නි පත්තුවේ නිජ භූමිය අතහැරලා ඔවුන් ගමෙන් යන්න යද්දී මමත් ඒකට හවුල් උනේ මෙහෙමයි.

ඒ කතාව මෙහෙම පටන් ගම්මු. මම බුද්ධික. මම වැඩ කලේ කොන්තරාත්තු සමාගමක. මම බර වාහන රියදුරෙක්. මගේ කාර්යය උනේ වැඩපලට වැලි අදින එක. ඒකට මට රට පුරාම ඇවිදින්න ලැබුනා. මහියංගනය, මනම්පිටිය, දෙහිඅත්තකණ්ඩිය පොලොන්නරුව වගේ හැම පැත්තෙන්ම ගඟේ වැලිත්, ත්‍රිකුණාමලයේ මුහුද හාරලා ගන්න මුහුදු වැලිත් පටවාගෙන ගේන එක තමා රාජකාරිය. මම මට පැවරිලා තිබුනු ලොරියෙන් රට වටේම ඇවිදිමින් ඒවා ප්‍රවාහනය කලා. ඒක අපූරු රස්සාවක් උනේ හැල්මේ එක පිම්මට මඟ දෙපස නොනැවතී පසුවෙන ගස් කොලං මැදිං හුළං කපාගෙන අඩිරූලෙන් ඇන්දා වගේ කෙලින් තියෙන පාරවල් වල වේගයෙන් යන එකට මං ආස උන නිසා විතරයි. පොලොන්නරුව අනුරාධපුර පැත්තේ වැව් වල දිය පිසගෙන එන කාස්ටක හුලග වේගෙන් මගේ ඉසේ වැදිලා කෙහෙරැලි නංවද්දි මං දකුණු කකුල අඩියටම තද කොරලා පාගන්න පුරුදු වෙලා උන්නා.


මහ විසාල ගස් වල හැඩය වෙනස් වෙලා මාව උතුරට ලං වෙනවා මට දැනෙද්දි ගම රට මතක් වෙන ශෝකය පියවිලා ගිහින් මේ මගේම ගම කියලා හිතෙන තරම් වන්නියත් මට සමීප වෙනවා. මේ මගේ රට නොව. කොහේ උනාම මට මොකද? මං එහෙම හිතලා දිග හුස්මක් ගන්න හැමදාම පුරුදු වෙලා හිටිය.

------------------------------------------------------------------------
රාගම යන්න පුලුවන්ද? හයර් එකක් තියනවා.


ගෙදරක බඩු ටිකක් අදින්න තියෙන්නෙ. එක දවසක් වන්නියේ උන්නු සිංහල මිතුරෙකුගෙන් ආව යෝජනාව මං භාර ගත්තෙ ඇයි කියලා මම දන්නෙ නැහැ. මගේ ගම උස්වැටකෙයියාව. මන්නාරම් පාරෙන් ගෙදර යන මට රත්මලාන කියන්නෙ එච්චර දුරක් නෙමෙයි. ඉතින් මං හයර් එක භාර ගත්තා.


බාගවිට ඒක තමා වෙලාවකට මිනිස්සු කතා කරන දෛවය කතා හදන විදිය. අහඹු සිදුවීමක් කියලා හිතුවත් දෛවයේ සරදම් එහෙමද? ඒ සමහර කතා සුන්දරයි. සමහර කතා අසුන්දරයි. හැබැයි දෛවයට ඒවා අදාල වෙන්නැහැ. කර්මය කියවලා දෛවය කතාන්දර ලියනවා. ඒ කතා හැබැ වෙන දවසක් අපි ඇත්තටම දන්නෙ නැහැ.…


මගේ ගෙදර උන්නෙ මගේ තාත්තයි අයියයි විතරයි. අපේ අම්මා අන්තරා වෙලා දැන් ටික කාලයක්. තාත්තව බලාන අයියා ටවුමෙ බැංකුවේ රස්සාවක් කලා. ඒකෙනුයි මම යවන මුදලුයි එක්ක තාත්තලට අඟහිඟ නැතුව ඉන්න පුලුවන් කමක් තිබුනා. ඉතින් මේ වගේ අමතර ආදායමක් හොයාගෙන මගේ විනෝදකාමී ජීවිතයට ප්‍රතිපාදන හොයාගන්න මම පුරුදු වෙලා දැන් ටික කාලයක්..


මං හයර් එක භාර ගත්තු ඒ පුංචි පවුල සම්පූර්ණ වෙලා උන්නෙ හතර දෙනෙක්ගෙන්. තව අඟුරු වගේ කලු බලු නාම්බො දෙන්නෙක් උන්නා. උදේම වල ගොඩැලි වල වැටි වැටී තල් ගස් අතරින් යාන්තමින් ඉර මෝදු වීගෙන එන යාමේ මම ඒ ගෙදරට සේන්දු උනා. ඒ ගෙදර කිව්වෙ සෙල්වා රාජන්ගෙ ගෙදර.


පොඩිවට අත්තිවාරමක් දාලා බිත්ති උස්සලා උලු වහලා තිබුන චාම් ගෙදර මිදුලේ ලොකු සියඹලා ගහකුත් අනික් පැත්තේ ලොකු ආඩියා ලිඳකුත් පේන්න තිබුනා. මල් පැල වවලා තිබුනු මිදුල සුදු වැලි පිරිච්ච මිදුලක්. කඩුල්ල බිමට බාලා අයින් කරලා තිබුනේ මං එන බව කලින් දා දැනුම් දූන්න නිසා. ගෙයි ඉස්සරහ කැබැල්ලෙ බඩු ගොඩ ගහලා තිබුනා. ට්‍රන්ක පෙට්ටි, මහන මැසිමක්, යකඩ අල්මාරියක් සහ මෙට්ට දෙකක් තියනවා මම දැක්කෙ පැති කණ්ණාඩියෙන්...


මම පරිස්සමින් ගිහින් ගෙයි පැත්තට පස්ස දාලා ලොරිය හරවලා ගිහින් කතා කලා. ඉක්මණින් වැඩ කටයුතු සිද්ධ උනා. ගමේ මිනිස්සු ටිකක් ඇවිදින් තොර තෝංචියක් නැතිව දමිල භාෂාවෙන් දොඩෝමින් කඩිසරව බඩු පැටෙව්වා. පුංචි පහේ කොලු ගැටයෙක් රාජන් එක්ක පිටිපස්සෙන් නැගලා ලොරියෙ ඇතුලෙ පැදුර උඩ ඇල උනා. බලු නාම්බෝ දෙන්නත් පිටිපස්සටම දැම්මට පස්සෙ මම බිමට බාලා තිබුන පිටුපස ආවරණය උස්සලා අගුල දැම්මා.


ලොරියේ ඉස්සරහින් මැදි වියේ උන්නු රාජන්ගෙ නෝනා සෙල්විත් තව තරුණ පහේ ගැහැණු ලමයෙකුත් ඇවිල්ලා ඉඳ ගත්තා. මෙච්චර වෙලා එහෙ නො ඉඳපු ගැහැණු දරුවෙක් දැන් කොහෙන්දෝ කියන ප්‍රශ්නෙ ආවත් මම ඒවා නොහිතා ලොරිය පණ ගන්වලා ඉදිරියට ගත්තා.


ඕන්න අපි පිටත් උනා.


එහෙම කිව්ව මං වාහනය සැර කලා. ගොඩැලි පාරේ දෙපසට වැනි වැනී මගේ පුංචි ලොරිය දෙමළ පවුලකුත්, උන්ගේ බඩු භාණ්ඩත් අරන් අගනුවර පැත්තට පිටත් උනා. සියල්ලෝම නිහඩව ඉද්දී වාහනය විතරක් සැර දාගෙන ගමන පිටත් උනා. ඒ වෙද්දි උදේ 6.00 ට වෙලාවත් තිබුනෙ නැහැ. කවුරුත් කතා කලෙත් නැහැ.


ඒ දූවිලි පාරේ හරි මැදින් මගේ ලොරිය ඉස්සරහට ඇදුනේ දූවිලි වලාවක් අවුස්සමින්. ඈත තල් රුප්පාව පේන්න තියනවා. සමහර තල් අතු බිඳිලා තියනවා. අහස නිල්ම නිල් පාටයි. මගේ පුංචි ලොරියේ වීදුරුවෙන් මට අහස පේනවා. ඉස්සහර කණ්ණාඩියේ එල්ලලා තියන දේව රූපය පරණ ලොරියේ රෝද වලක වැටෙන ගානේ අනුරූපව දෙපැත්තට පැද්දෙනවා.


එු දූවිලි පිරුණු ගුරු පාරේ අපි කණ්ඩායමක් දුර ඈත ගමනක් යනවා.

-----------------------------------------------------------

තල් අතු අතර ඉර මෝදු වෙද්දි අපි එහේ ඉඳන් හුඟ දුර ඇවිල්ලා. කවුුරුත් කතා නැහැ. දෙමළ නොදන්න මං මටම හෙමින් මුමුණ මුමුණ ආවා. වාහනේ පසුපස්සෙ පටෝගත්තු බලු ජෝඩුව විටින් විට බුරන ගොරවන සද්දෙ යන්තමින් ඇහුනා.


ටික වේලාවකින් මන්නාරම් පාරට වාහනේ සේන්දු උනාම මට පහසුවක් දැනුනා. දැන් පාර මඳක් හොඳයි. දුර ඈත විදුලි කණු විසාල රැහැන් අරගෙන අනන්තයට එලූ රෙදි වැලක් වගේ ඒවා දරාගෙන ඉන්නවා. ඈත කෙලවරේ මිරිඟුව පේන්න තියනවා. උදේ අටට වගේ වෙලාව පේන්න තිබුනත් ගිනි ගහන අවුව වැටිලා පාර ගිනියම් වෙලා දිලිසෙනවා. ඉඳ හිට වාහනයක් අපි පහු කරන් යනවා. විකාර හඩ තියන බස් රථ නලාවක් ඉඳහිට අපිව වේගෙන් පහු කරගෙන කොළඹට යනවා. තවත් වාහන අපිට මූණට මූණ හම්බෙලා නලාව නාද කරලා යාපනයට යනවා. අපි බඩු බරින් මිරිකිලා හෙමින් හෙමින් කල් වේලා අරගෙන අගනුවර දිහාවට යනවා. අපි පස්සෙන් තල් ගස් වල තුරු හිස් අවු රස්මියට දිලිසෙන්න අරන් මේ වෙද්දි.


සෙල්විත් ඇගේ දියණිය වගේ පෙනුනු දරුවත් නින්දට වැටුනා. සේලයකින් මුහුණ වසාගෙන හිටි තරුණියගේ මුහුණු ආවරණය හුළගට එහෙ මෙහෙ වෙලා ඇගේ මූණනෙන් අඩක් පේන්න මට වැඩි වේලාවක් ගියේ නැහැ.
හත්දෙයියනේ ඒ වගේ සොඳුරු මුහුණක්. පුර හඳ තවම පේන්න තිබුනෙ නැහැ. පුන් පෝයට තව කල් ඇති මොකද අඬ සඳ වාගේ ඇගේ මුහුණෙ කොටසක් විතරයි පේන්න තිබ්බේ. එහෙම හිතලා මම ආයෙ මගේ අවධානය පාර වෙත යොමු කරත් මොහොතකට පෙනුනු පියවුනු ඇසි පිය මගේ හිතින් අමතක උනේ නැහැ. විටින් විට මං ඒ මුහුණ දැක ගන්න ආසාවෙන් ඒ දිහා බැලුවත් ඇයගේ මුහුණු ආවරණය මට බාධාවක් වෙලා තිබුනා.
.
කවදාවත් කෙල්ලෙක් ගැන කිසිම අදහසක් නොවුනු සෙල්ලක්කාර මං ඒ ශාන්ත දාන්ත වූ ඇසි පිල්ලමක් ඉදිරියේ චංචල උණා. පපුව ගැහෙන රාවය මට ඇහුනේ ලොකු දෝරංකාරයක් වගේ පපු කුහරය ඇතුලේදි. ඉතින් පොඩි ව්‍යාකූල බවක් දැනුන මං වාහනය හෙමින් පාර අයිනට කරලා නතර කලා. පැය තුනක් විතර එක දිගට ආව මට විවේකය අවශ්‍යයි. ශරීරය කෙසේ වෙතත් දැන් නම් හිතේ විවේකය නැති උනා වගේ මට දැනුනා.


වාහනයෙන් බැහැපු මම වතුර බෝතලය අතට අරන් බීගෙන බීගෙන ගියා. ලොරියේ ඉදිරිපස වීදුරුව දූවිලි වලින් නැහැවිලා. ඉතිරි වතුර ටික මම ලොරි බාගයේ වීදුරුවට වීසි කරද්දී ඒ වීදුරුවේ දූවිලි විසිරිලා සේදිලා පිරිසිදු උනා. එතකොටයි මං දැක්කේ පූර්ණ චන්ද්‍රයෙක් බ‍ඳු වූ එයාගෙ මූණත් තහඩුව සම්පූර්ණයෙන්...


අවදි උන එයා වීදුරුවෙන් ඇතුලේ ඉඳන් නිදි බර දැසින් මං දිහා බලන් උන්නා. සඳේ ආවාට තිබුනට මේ සඳේ ලපයක්වත් නැහැ.
පරිපූර්ණ සඳ කුමාරිකාවියක්..

------------------------------------------------------------

දවස ගෙවිලා ගෙවිලා ගිනියම් වූ දහවල උදා වෙද්දී මගේ හිත සීතල වෙලා ප්‍රීතියෙන් පිරිලා. ඒ ආනන්දය නිසාම මං ටිකක් වේගයෙන් දිගු තැනිතලාවේ වියලි ගස් කොලන් පහු කරමින් මගේ පුංචි ලොරි බාගය පැදගෙන ආවා. ආනවිලුන්දාව කුරුලු උයන, මන්නාරම් රේල් පාර ඈතින් පෙනුනා. මා ඉදිරියේ පාර කැඩපතක් සේ පැහැදිලියි. උදේට කැමක් ගන්න වත් නතර නොකර මං පුත්තලමට ආවේ දවල් කැමට සුදුසු තැනක් බලමින්. එයාලා අරන් ආව පුංචි මාරි බිස්කුට් කැබැලි මටත් ලැබුනා. මං ඒක ගත්තේ ස්තූති පූර්වක බැල්මක් අම්මටත් දූටත් දීලා. මට නොතේරෙන දෙමලෙන් අම්මා දූට එක එක සැරේට මොන මොනාදේ කිව්වත් ඇය පිළිතුරු දුන්නේ හිස හොලවලා විතරයි. හිටි ගමන් ඇය අම්මගෙ කතාවලට පුංචි හිනා මලක් දෙකක් පුබුදවන්නේ මගේ හිතත් පුබුදුවමින්.


ඇත්තටම ඇය කවුද?


එන්ඩ පෙයර්? උන්ගඩ මගල්ඩ පෙයර්?


මං දන්න දෙමලෙන් ඇහුවේ පුතාගෙත් දුවගෙත් නම් දෙක?


එන්ඩ මහල්ඩ පෙයර් ක්‍රිශ්ණා...


ක්‍රිෂ්ණා ඒ කියන්නෙ කොල්ලා.…


එතකොට කෙල්ල? මගේ හිත අහද්දිම ඒ අම්මාගේ කටින් ඒ නම කියවුනා.…


ඉදු "මායා".....


මායා! මං ප්‍රතිරාවයක් කලා. "මායා.…”


නල්ල පෙයර්....


මං එහෙම කිව්වම ඒ සෙල්වි අම්මා හිනා උනා. අම්ම අනුව යමින් මායාත් පුංචි සිනා මලක් ආයෙම පිබිදෙව්වා.…
ඉතින් කාලෙකට ඉස්සර බෙදා වෙන්කරපු ජාති දෙකක් වෙලා උන්නු අපි දෙජාතිය වචනෙන් වචනේ කිට්ටු වෙන්න පටන් ගත්තා.


දවල්ට කන වෙලාව වෙද්දි අපි දෙන්නම කැඩුන දෙමල සිංහල කතා කරනවා. සෙල්වි අම්මට තරමක් සිංහල තේරෙනවා. ඒ කයිය අස්සේ අපි පුත්තලම ටවුමේ තුං මං හන්දිය පහු කරලා පාර අයිනේ තියෙන නානාගේ පොඩි පොල් අතු බත් කඩේ වාහනය නතර කලා.


මුදලාලි එලවලු කැම.... අංජි


මං අතින් පහේ ඉලක්කම පෙන්නලා කිව්වහම ඒ තරුණියත් හිනා උනා. අම්මත් හිනා උණා. පුංචි කොල්ලයි තාත්තයි පුදුමෙන් මං දිහා බැලුවා. පල්ලි ගිහින් ආපු මුස්ලිම් තරුණයෙකුත් හිනා උනා. පුංචි වචනකෙට අපි හැමෝම හිනා උණා.


දෙමලින් පහක්.........................… අංජි!


හැමදාම බත් කන්න එන මාව දන්න අඳුනන"නානා",  මහත්තයට දෙමළත් පුලුවන් නේද දැන්?


කියලා උත්තර බලාපොරොත්තු නොවී නාකි දත් කුට්ටම මට පෙන්නලා බත් බෙදන්ට කුස්සියට ගියා.


මටත් මොහොතකට මං දෙමළ වගේ දැනුනා.. වෙනසක් නැහැ.... ඒත් අපි වගේමයි ආයෙම තත්පරෙන් මට හිතුනා…


අම්මා අප්පා තොර තෝංචියක් නැතුව කියව ගද්දි පුංචි කොලුවා මා එක්ක සිංහලෙන් කතා කලා......ඉස්කෝලෙ සිංහල උගන්වන නිසා පොඩි කොලුවට තරමක් සිංහල පුලුවන්.


නානත් මට කතාවෙන් මේ පවුලේ අය ගැන දන්න විස්තර ටික කිව්වෙ බිල ගෙවද්දි. අනේ ඒ හොඳ පවුල මටත් එක්කම බත් වලට සල්ලි ගෙව්වා. අපි සල්ලි ගෙවලා අපේ බත් පිඟන් අරන් බත් බෙදා ගන්ට ගියා. ඒ අස්සේ නානා මට කිට්ටු වෙලා මේ විස්තරේ කිව්වා...


බලපුවම නානා කියපු විදියට මායාගේ අම්මාත් අප්පාත් සේරම විකුණලා රාගම යන්නෙ ඒ පුංචි දරුවට ඉගෙන ගන්න ඉස්කෝලයක් හොයාගෙන.........


උපන් දා ඉඳලා කවදාවත් වචනයක් කතා නොකරපු මායාගේ අනාගතය හදන්න ඇයට සුදුසු පාසලක් රාගම පැත්තේ තියනවා කියලා ආරංචි වෙලාලු මේ යන්නෙ කියද්දි මට මතක් උනේ රාගම බිහිරි පාසල.…


ශ්‍රව්‍යාබාධිත දරුවන් උදෙසා වූ විශේෂ පාසල.........................


මං හෙමින් ඔලුව උස්සලා ඇය දිහා බැලුවා. එලවලු ඇබින්ද ඇබින්ද එක්කාසු කරලා සන්සුන්ව බත් ගුලි අන අන ඒවායින් ඇබින්ද ඇබින්ද අරන් මුව පුරවාගෙන ඈත බලාගෙන ඇය හෙමින් බත් විකනවා. අපේ කතා වලින් නොබිඳෙන සදාකල් නිහඩ නිශ්චල ලෝකයක සාමකාමීව දිවි ගෙවන ඇයට මේ කච කච ඝෝෂාවෙන් කිසි බාධාවක් නැහැ. ඇය හරිම සන්සුන්…


නිහඩ සුරංගනාවීට ඇහෙන කිසි ශබ්දයක් මේ ලෝකයේ නැහැ. ඇය සම්පූර්ණයෙන්ම බිහිරියි.....
ඇය ගැන හැමදේම අමතක කරපු මං තවත් මොහොතක් ඇය දිහා හිත පිරෙනකම්ම බලන් හිටියා. මට එහායින් ඉඳගෙන බෙරි කර කර බත් අනන ඇගේ සහෝදර කච කචයා කියපු සහ කියන දේවල් මට ඇහෙන්නේ නැතුව ගියා.


ඒ ඇත්ති ඇසි පිය හෙලන හැටි මං බලන් හිටියා. බත් ගුලි විකන පුංචි මුවේ පුංචි තොල් වල පාට මගේ සිත් ගත්තා. බත් අනන ඇඟිලි හරිම චූටියි. කදිම කම්බුල් දෙකක් තිබුනා උතුරු සුළගෙන් තුවාල නොවුනු. අවු රස්නෙට මඳක් රතු උන කම්මුල්. මායා නැමති සජීවි නිර්මාණයේ හුඟක්ම සිත් ගත් කොටස උනේ ලස්සන ඒ ඇස්. මං ඉස් ඉස්සෙල්ලම දැකපු වෙලාවෙත්, දැනුත් ඒ පුංචි ඇස් පොඩිති වල කියාගන්න බැරි දෙයක් ලියවිලා තිබුනා.


යුවතියකගේ ඇස් වල තිබෙන කියවගන්න බැරි දේවල් මොනවාද කියන හැඟීම තමා පිරිමින්ව පිස්සු වට්ටන්නෙ! 


ඉතින් ඉවත බලාන උන්නු ඇය එක් වරම මොනාදෝ තේරිලා වගේ මං දිහා බලද්දි අපේ ඇස් හනික එකිනෙක යා වුනා. ඒ හාම ඇගේ මුවේ අපූරු මන්දහාසයක් ඇතිවෙලා නැති උනා. ලැජ්ජාවෙන් ඇය බිම බලාගෙන බත් පිඟානේ පතුල හාරන්ට පටන් ගත්තා.


ආන්න ඒ අමරණීය තත්පරයේදී මගේ හිත ඇය ගැන ආදරයෙන් පිරුණා. ආදරය නැමැති වයින් පිරවූ කල්දේරමක්ම බිව්වා වගේ මගේ හිත මත් උණා. මායාට මං හරි ආදරෙයි.. මගේ හිත කෑ ගහල කියාපු කිසි දෙයක් අවට ලෝකයට ඇහුනේ නැහැ. තත්පර කිහිපයකින් දැහැන් බිඳුනු මං ආයෙම කච කච උන්නාන්සේලාගේ කතා බස් මැද තනි උනා.


ඒ නව යොවුන් හිරිමලීට මං හරි ආදරෙයි. මං මටම කියාගෙන බාගෙට ඉතුරු උනු බත් පිගාන මෙසේ උඩම අතැර දාලා අත සෝදන්න කරාමය දිහාවට පියමැන්නා….

---------------------------------------------------

හෙමින් හෙමින් අපි කොච්චිකඩේට ලං වෙද්දි ඉර බහිනවා. ඒ වෙද්දි ඇගේ අම්මාට සිංහලත්, මට දෙමළත් පුලුවන් කැඩිච්ච ගාණට. හිනා හඩවල් පැතිරුනා ලොරියේ ඉස්සරහ කැල්ලේ. ඇයත් නිහඩව සිනා පාමින් ගමන ආවා. විටින් විට ඇගේ ඇස් වල මම ගිලුනා. වාහනයේ ජනේලෙන් හමන සුලඟට අවුල් වෙන කොණ්ඩය පිලිවෙලක් කරගන්න ඇයගේ ව්‍යායාමයන් හරි ලස්සනයි. මායාගේ ඒ ඇස් දිහා බලන හැම වෙලේම මට ඇය ගැන පුදුම සෙනෙහසක් දැනුනා. ඇගේ ඇස මට වෙනම කතාන්දරයක් කියන්න වෙර දරන හැටිත් මට පෙනුනා.


කොච්චිකඩේ පාර දිගට මල හිරු බැසගෙන යන අඩ ආලෝකය පැතිරිලා. මීගමුව පහු කරපු අපි කටුනායක අධිවේගී පිවිසුම ලගට එද්දි මහ සද්දෙට ගුවන් යානයක් බිමට බානවා අපි දැක්කා. ඒ දිහා බලන් ඉඳපු අපි සීදුව පහුකරලා ඇවිත් කඳාන ත්‍රිපෝෂ සුවද හමන පැක්ටරිය ගාවින් ඇතුලට ඇවිත් අතුරු පාරකට වාහනේ හරවලා පේරලන්ද පාර ඔස්සේ රාගම බලා පිටත් උනා. ඔවුන්ගේ නව නිවාසය වෙතට....


ඉක්මණින් රාත්‍රිය එළඹුනා. ඉර බැහැගෙන ගිහින් හාත්පස අඳුරු උනා. අහස ලා කහ පාටයි. අපි ගමනාන්තයේ නතර උනා.


ඇගේ පියාත් සහෝදරයාත් එකතුවෙලා මගේ උදව්වෙන් බඩු ටික බාලා ඉවරයි. ගාස්තුව ගත්තු මම අපහසුවෙන් වගේ වාහනය පණ ගන්වාගෙන ආපහු ආවා. අඳුරේම උනත් මට ඒ සිරියාවන්ත පුංචි නිවසේ ඉස්සරහට වෙලා, සේලයෙන් හිස වහන් ඉඳපු මායා මා පිටත් වන දිහාවෙම බලන් ඉන්න හැටි අඳුරේම හොඳට පෙනුනා.
හෙට ඉඳන් ඇය ඇගේ අලුත් ගමන යාවි.


රාගමින් වත්තලට ඇවිල්ලා උස්වැටකෙයියාව පාරට වාහනේ හරවපු මම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට ඉහලින් වාහනය නැවැත්තුවා. පාරේ අයිනේ හිට ගත්තු මම දුර ඇත කලපුවේ රැලි ගහන මුහුඳ අඳුරේ දැක්කා. මට උස්වැටකෙයියාවට තිබුනු මිනිත්තු පහක දුර දැනුනේ කල්පාන්තයක් වගේ.... මට ඔනි උනා ආපහු ගිහින් මායාව තුරුලු කරන් අඩන්න. එයාගෙඇස් දිහා බලාන ආදරේ බව ඇඟවෙන්න තොල්.සොලවන්න. මගේ පපුවේ මොකක්දෝ දෙයක් හිර වෙලා වගේ දැනුනා. සර්ව බලධාරී මැවුම්කරුට හෙන ගහපන් කියලා ඇයට හඩක් වෙන්න මට උවමනා උනා........


ඇයගේ නිහඩ තනුවට ගීතයක් වෙන්න....................…


කල්පනා දැහැනෙන් මිදුනු මන් ලොරිය පණ ගන්වලා අන්ධකාරය මැකෙන්න ලොරියේ පහන් එලියෙන් මං ඉදිරියට ඇදුනා. වැල්ල පාර දිගට තියෙන සුරුවම් පිලිම සහ වැටකෙයියා පඳුරු පසුකරගෙන මම ගෙදර බලා පිටත් උනා. මගේ හිත මං ළග නැහැ. මායා ඒ රාත්‍රියේදීත් ඇගේ නිහඩ ලෝකයේ තනි උනා. තව ටික දොහක්, වසරක් දෙකක් වගේ බොහොම ටික කාලයක් ගත වන තුරු ඇයට මේ ඉන්නවා වගේම වචන නැතිව තනි වෙන්න වේවි.


ඉතින් ආදරණීය මායාවියේ තව ඇබින්දක් ඉන්න......


3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අවසානය තෙක් කුමක් වෙයිද කියන කුතුහළය රඳවාගෙන තිබීම හොඳයි. අවසානයත් ඒ වගේමයි. කලු පසුබිමේ අකුරු කියවන එක තමා අමාරු.

    ReplyDelete
Previous Post Next Post

Contact Form