සේපාලීකා සහ මම!

 

මට සේපාලිකාව හමු වීම අහම්බයක් නෙමෙයි. ඒක දෛවයේ සැලසුමක් වෙන්නැති.

 මගේ ජීවිතේ මම ගනුදෙනු කරන්නෙ මිනිස්සු එක්ක. දුක් විඳින මිනිස්සු එක්ක

සේපාලිකා කියන්නෙත් එහෙම මං ගාවට ආව තරුණ කාන්තාවක්. බොහොම ලාබාල කෙල්ලෙක්

මම රංගන. මම මනෝ උපදේශකයෙක්. එක එක මිනිස්සුන්ගෙ හිත පතුලෙ තියන දාහක් කතාන්දර මං ගාව දිගහැරිල තියනව. එක එක විදියෙ කතා. ඒ හැමෝටම මම උපදේශනය සපයනව. එයාලව සුවපත් කරනවා. ඒකයි මගේ රස්සාව!

මානසික සුවය විකිණීම!

අන්න එහෙම ඉද්දි, එක දවසක් මහ වැස්සකුත් අරන් ඇවිදින් සේපාලිකා මගේ ඉස්සරහ තිවුන පුටුවෙ ඉඳගත්තා. ඉස්සරහට වෙන්න තියන කිසි දෙයක් නොදැන මම වෙනද වගේම පුංචි මාලු පැටව් දෙන්නා පෙම් කෙලින වීදුරු මාලු ටැංකි බෝලය අතින් අරන් එයාට ඉස්සරහින් හිඳගෙන, ටැංකිය පරෙස්සමින් ස්තූලය මත තිබ්බ.



ස්තූලය මත වීදුරු බෝලයේ අභ්‍යන්තරයේ ලා නිල්පාට වතුරේ රන් මාලු පැටව් දෙන්නා එකිනෙකාගෙ හැප්පි හැප්පි ඔබ මොබ පීනනවා මං දැක්ක. මොහොතක් ඒ දිහා බලාන ඉඳපු මං පුටුවෙ හරි බරි ගැහුන.

ඉක්බිති, ඒ මලානික කලුවර වෙලා තිවුන ඇස් දෙක දිහා කෙලින්ම බැලුවා. ගැඹුරටම.....

-----------------------------------------------------------------------------------------

හැමෝම ජිවිතේ හොයන්නෙ සතුට. මං ගාවට උපදේශනයට එන අය හොයන්නෙ සතුට. හරියටම කිව්වොත් මානසික සතුටඒක කොයි විදියකින් හරි කමක් නෑ. සමහරු ඒක හොයාගන්නව. මානසික සතුට ලබන්න විවිධ ක්‍රම තියනව නෙව. හැම එකම ලස්සන නිත්‍යානුකූල අවංක නැහැ. කොහොම වෙතත් උපදේශන සේවාවන් සපයන කෙනෙක් විදියට මං හුඟක් කතා වලින් තේරුම් ගත්තු දේ හැමෝම අවසන හොයන්නෙ මානසික සුවය

පුංචි දරුවන්ගෙ ඉඳන් හැඩි දැඬි උත්තුංග පිරිමි පවා මොලොක් වෙලා හඬා වැලපෙන උපදේශන කුටියේ සැප පහසු ආසනය මත ඉන්න සේපාලිකා වික්‍රමසිංහ කියන්නෙත් ආන්න එහෙම මානසික සුවය හොයන කෙනෙක්. බිඳුනු ප්‍රේම සම්බන්ධයකින් පස්සෙ ගෙදරින් හොයල දුන්නු කසාදයක් කරගෙන ඉන්න ඇයට තියන ප්‍රශ්නෙ ඇගේ සැමියගෙ සහයෝගයක් නැති කම. වගකීමක් නැති කම. ලෙඩක් උනාම ඇය ගැන කිසිම සැලකිල්ලක් නැති කම...

මං ගාවට ආව ප්‍රශ්න හුඟකින් සහ මගේ විෂය නිසා මං දන්නවා, කසාද ගෑනියෙක්ට සිද්ධ වෙන නරකම් දේ ඒක. ගෑනියෙකුට නෙමෙයි පිරිමියෙක්ටත් "කෙයාරිං" කියන දේ හුඟක් ඕනි. කසාදයක පැටලුනත් නැතත් ඉතින් පොඩිවට හරි මේ කියන "සැලකිල්ල" නැති කම ප්‍රමාණවත් වෙනව කෙනෙක්ගෙ ජීවිතේ කෙරෙන ලොකු හානියකට. ජීවිතේ වල්මත් වෙන්න.  

ඉතින් එයා හුඟාක් හිතලම උපදේශනයට යොමු වෙලා තිබුනෙ දැන් එයාට එයාගෙ සැමියව පේන්න බැරි කම නිසා විතරමයි. හොඳට සල්ලි තියන සැමියෙක් කියන්නෙ හැමදේම කියලා සමාජය හිතුවට ඇත්ත ඒක නෙමෙයි කියන්න කතන්දර ගොඩක් මගේ දිනපොතේ කෙටියෙන් සටහන් කරගෙන තිබුන.

ඒ ගොඩට එකතු උන අලුත්ම කතාව තමා සේපාලිකාගෙ කතාව. ඉතින් මගේ දුඹුරු පාට දිනපොත අතට ගත්තු මම සේපාලිකා ගැනත් ලියන්න ගත්තා.

-----------------------------------------------------------------------------------------

හැමෝගෙම මනස හදන සෞඛ්‍ය සම්පන්න, සතුට පිරුණු ජීවිත ගැන හැමෝටම උපදෙස් දෙන මගේ පෞද්ගලික ජීවිතය හරිම සුන්දර රමණීය එකක් නෙමෙයි. ඇත්තටම ඒ කතාන්දර දන්නවනම් කිසි කෙනෙක් මා ගාවට උපදේශන සේවා ලබා ගන්න එන්නෙ නෑ. ඇත්තටම රංගන කියන මනෝ උපදේශකයා සාර්ථක වෘත්තිකයෙක් වගේම අභ්‍යන්තරව ටික ටික කැඩෙන බිඳෙන  අසාර්ථක විවාහයක එල්ලිලා ඉන්න කෙනෙක්.

මගේ බිරිඳ හොඳ උගත් වැදගත්  විදියට රස්සාව කරන ගුරුවරියක්. ඒත් ඇගේ විදිය මට අප්‍රසන්න වෙලා හුඟක් කල්. බැඳපු අලුතත්, ඊටත් ඉස්සරින් අපි පෙම් කරන කාලෙත් අපේ ප්‍රේමය සුන්දරව ආදරණීයව සහ රොමාන්තිකව ගලාගෙන ගියා. ඒත් බැඳල අවුරුද්දක් යද්දි ටික ටික ජීවිතය නපුරු උනා.

මගේ බිරිඳගෙ නම නිර්මලී.....

නිර්මලීට තිබුනෙ ආත්මාර්තකාමී අදහස් කියලා මට දැනුනෙ මුල් කාලේදි පටන්ම මම මගේ ආසාවට දෙයක් කරන්න පටන් ගන්නකොට ඒවා වලක්වන විදියට. ඒවට එක එක හේතු එයා ලඟ තිබ්බා. හැබැයි ඒ දේවල්ම එයා කරද්දි ඒක හරිම හොඳ කටයුත්තක් විදියට හඳුන්වන්නත් එයා ලඟ දාහක් හේතු තිබුනා.

මම හරිම කැමති නිහඬ බවට. ඒත් එයා ඉස්කෝලෙදි ලමයින්ට අණ කරනවා වගේ මටත් විධාන දෙන එක මහ හිසරදයක් උනා. මේව මහ වැරදි වගේ උලුප්පන එක වැරදී කියල කෙනෙක්ට කිව්ව හැකි. ඒත් ඒ වගේ ජිවිතේක ඉන්නම ඕනි හිසරදේක තරම දැනෙන්න. තමන් කැමති කෑමක් වත කන්න නැති තරමටම හිර වෙන ජීවිතයක් ඒක

එයා එයාගෙ යාලුවෝ ලොකු කරගෙන යාලුවොන්ගෙම දේවල් වලට කැප වෙද්දි, මටත් නොදැනීම අපිට අපි දුරස් උනා. එයාට ඒක වගේ වගක් උනේ නෑ. සල්ලිකාර මිනිහෙක් එක්ක යාලු වෙලා උන්නු ඒ මිනිහගෙ සල්ලි වලින් වත් පොසත්කම් කියපු එයාගෙ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ඉද්දි ඒ හැමෝම ඉස්සර ජීවිතේට නොහිතපු තරම් පහතට දාලා මං ගැන කතාවක් කියලා දුරකථනෙන් කතා බැන්න දාක මට එයාව අප්‍රසන්න උනා

හදිසියේ එක්තැන් උන මගේ තාත්තට සලකපු විදියෙන් මට එයාව පිලිකුල් උනා. ඒ හැමදේම එක්ක කසාදේ මුල ඉදන්ම මාව නොසලකා හරිද්දි මට නිර්මලී එක්ක ගෙවන ජීවිතේ තේරුම හොයාගන්න බැරි උනා. මම මගේ උපදේශනයෙ දේවල් එයාට කිව්ව. අපේ මේ ජිවිතේ කැඩෙන බිඳෙන අලු දූවිලි වෙනහැටි එයාට කිව්වට එයා මාව අවඥාවෙන් බැහැර කලා. එයාට උවමනා හැමවෙලේම ලඟට ඇවිත් එයාව සනසගන්න නිර්මලී මට අවශ්‍ය උන හැම වෙලාවකම මගේ අවශ්‍යතා මගාරින්න හේතු දාහක් කිව්වා

ඇත්තටම ඇය මාව භාවිතා කරනවා මිසක් ඇයට මගෙන් වෙන දෙයක් අවශ්‍ය නෑ කියන දේ මට වැටහෙද්දි අවුරුදු පහක් ගෙවිලා.

අන්තිමට ඇඳේදිත් අපි දෙන්නෙක් උනා. ඒත් අදටත් නිර්මලීට තේ එක දෙන්නෙ මම. අදටත් එයා අසනීප උනාම බලන්නෙ මම. මම හොඳ මිනිහෙක් කියනවා  නෙමෙයි. හැබැයි මම නිර්මලීට ආදරේ නිසා මේ හැමදේම ඉවසනවා කියන දේ නිර්මලී තේරුන් ගත්තෙ නෑ. මනෝ උපදේශක රංගන මහත්තයාගෙ අසාර්ථක විවාහයේ කතාව කෙටියෙන් ඒකයි

ඇත්තටම මං වරද්දා ගත්තා. විවාහයක ඉන්න නොදන්නා, හැම වෙලේම අඩුපාඩු කියමින් රණ්ඩු වෙන ගැහැණියකගේ සැමියා වෙලා මං හැමදේම වරද්ද ගෙන. මට එහෙම හිතෙන්න අරන් දැන් ටික කාලයක්.

-----------------------------------------------------------------------------------------

මට ඕනි මං ගැන බලන කෙනෙක්. මගේ දරුවගෙ වැඩ වලදි මට ශක්තියක් වෙන කෙනෙක්. මට සල්ලි නෙමෙයි ඕනි. වචනෙන් හරි මාව දිරි ගන්වන කෙනෙක්. ඒත් හැමදේම මට කරගන්න ඇරලා එයා කොලඹට වෙලා හිටියම හරිද?

සේපාලිකා කඳුලු අතරින් කියන කතා වලට ටික ටික මගේ හිත මොලොක් වෙන බව මට තේරුනා. දවසක් එයා උපදේශනේට ආව වෙලාවෙ මං එයාට මගේ අතින් හදපු කිරි තේ එක හදල දුන්නා. ඒක තොලගාපු ඇය පුදුමෙන් මං දිහා බැලුවා.

සර්ගෙ නෝනා හරිම වාසනාවන්තයි. එයා එහෙම කිව්වම මම අපහසුවෙන් හිනා උනා. සර් තේ හදනව. අපේ එක්කෙනා කාල පිඟාන හෝදන්නෑ..

එහෙම කිව්වම මට නිර්මලීගෙ සති ගණන් ජනෙල් පඩිය උඩ පල්වෙන කිරි කෝප්පෙ මැවිල පෙනුන. කිරි එක බීල ජනෙල් පඩිය උඩ කිරි බීපු කෝප්පෙ තියල, ආයෙම ෆෝන් එකේ කච කචේ පටන් ගන්න එක තමයි එයා කරන්නෙ. ඇත්තටම නිර්මලී කොයි වැඩේ කරන්න ගියත් අපිලිවෙලයි. කුස්සියේ මාලු දෙකක් හැදුවම දාහකට ඉව්ව වගේ හැඩි වෙලා. ඕව කියල මුල් කාලේ මට කෑ ගහපු හැටි මට තාම මතකයි

ඔයාට පුලුවන්නෙ උයන්න

එහෙම කියලා සේරම අතෑරලා කුස්සියෙන් යන්න ගිය නිර්මලී ආයෙ කුස්සියට එන්නෙ නෑ. විනාඩි කීපයක් යද්දි, බාගදා පැය භාගයක්, මම කුස්සිය අස් කරලා එලියට එනව. එයා හිකි හිකි ගාගෙන යාලුවෝ කණ්ඩායමත් එක්ක සල්ලාපයේ යෙදෙනවා. ඕවා දැන් දෛනික දේවල් බවට පත් වෙලා.

මනෝ ලෝකෙන් මිදුනු මම ආයෙම මගේ දිනපොත කියවන්න ගත්තා...

-----------------------------------------------------------------------------------------

සේපාලිකා

ඇත්තටම එයා මලක්.

පලවෙනි දවසේ කලුවර වෙලා අඳුරු වෙලා තිබුන ඇස් දැන් හරි ආලෝකමත් වෙලා. හිනාව! ඒ හිනාව ඖෂධයක් වගේ. මට නිර්මලීගෙ ආදරණීය හිනාව මතක ඇති කාලෙකින් දැක්කෙ නෑ කියලා හිතෙද්දි සේපාලිකාගෙ "මිනිහ" ගැන තරහකුත් ආවා!

සැසි පහක් හයක් යද්දි ටිකෙන් ටික ඇය ශක්තිමත් වෙන හැටි මම දෑහින්ම දැක්කා. මුලදි සැමියා ගැන දුක කියමින් පැයක් හමාරක් හඬා වැලපුන ඇය දැන් කතා කරන්නෙ එයාගෙ අනාගත බලාපොරොත්තු ගැන. දරුවව ගෙනියන්නෝනි කොතනටද? ඒව හරි ප්‍රබෝධයෙන් කතා කරන්න ඇය පෙළඹෙනවා. ඇය ටිකෙන් ටික හරි පාරට එන බව මම දින පොතේ සටහන් කර ගත්තා.

සේපාලිකාව පුබුදු වෙන්න පටන් අරන්!

මං උපාධියක් කරගන්නෝනි ඇයි? මං ස්වාධීන වෙන්නෝනි ඇයි? එයාම හිතලා එයාම කියවනවා. උපදේශන කාමරයේ ජනේලෙන් වැහි බිඳු එක එක දෙක දෙක වැදිලා වැතිරෙද්දි මං ඒ කතා වලට ඒ ප්‍රීතිමත් කච කරච්චලේට දපනෙ වැටිලා නිහඬව හූ මිටි තියනවා  


දෙයියෝ සාක්කි!

සේපාලිකා.................................

මං ඔයාට දපනෙ වැටෙනවද?

ඔය කඳුලු වියැකිලා සිනා මල් පිපෙන මනස්කාන්ත රවුම් මුහුණට.... 

"ජීවිතේට බලාපොරොත්තුවක් තියෙන්නෝනි,

ඒ බලාපොරොත්තුව වෙනුවෙන් කැපවීමක් කරන්නෝනි.


ඒක තියෙන්නෙ තමන්ගෙ අතේමයි."

එදා සැසිය අවසානයේ මං ඔන්න ඔහොම දෙයක් සේපාලිකාට කිව්වයි කියල මගේ දිනපොතේ තියනවා.


ඇයි මටත් බැයි ඒක එහෙම්ම භාවිතාවට ගන්න.

මට හිතෙනවා......

ඔව්. මං සමාජයට බයේ, සිංහ හම වගේ මගේ වටේට තියෙන්නා වූ මේ කෙහෙම්මල් තත්වයක් රැකගන්න ඕනි කමට, සේපාලිකාට තරම් නිර්භීතව හිතන්න බැරි වෙලා තියනව. මගේ වැදි බණ අහන හැමෝම සනීප වෙද්දි මම තනිවෙලා අඳුරු ජීවිතයක් ගෙවනවා...

මේ මොන කෙහෙම්මල් ජීවිතයක්ද?

මට ඕනි දැන් සමාජයේ පුකට පයින් දෙකක් ගහලා මේ අඳුරු ජීවිතෙන් ගැල වෙන්න නෙමෙයිද??

-----------------------------------------------------------------------------------------

මම උපාධියක් බාගෙට කරපු කෙනෙක්. ඇත්තටම කසාදයකට කැප වෙන්න මට උවමනාවක් තිවුනෙ නැහ. මට ඕනි උනේ මගේම කියලා දේවල් හිමි කරගන්න. රැකියාවක්, වාහනයක්, පොඩි ගෙයක්, පොත් ගොඩක්. නිදහස!

ඒත් විවාහයක් කියන දේ මං දැක්කෙ අපේ අම්මලා කරන විදිය. අසනීපයක් තිබුනත් එයාගෙ තේ එක එයාම හදාගන්නෝනි. තාත්තලා ටී වී එකේ රිමෝට් කරකෝ කරකෝ සැටියෙ සැපට ඉද්දි අම්මලා කුස්සියට දිරාපත් උන හැටි මං දැක්ක.

මට එහෙම කැපවෙන්න උවමනාවක් හැකියාවක් නොතිබුනත් කසාද බැඳල ආවම මම මගේ යුතුකම් අඩු නැතිව සිද්ධ කලා.

දරුව හම්බෙන්න ඉද්දි ක්ලිනික් පවා මං ගියේ තනියම. බස් එකේ. එයා මහන්සි උනේ අපිට සල්ලි හොයන්න තමා. ඒත් එයා මහන්සි උනේ නෑ අපේ පවුල ගොඩ නඟන්න..

පවුලක් කියන්නෙ සල්ලි නෙමෙයි. සල්ලි ඕනි වෙනව. මං නෑ කියන්නෙ නැහැ. ඒත්................

මානව සම්පත් සංවර්ධනය පැත්තෙන් උපාධිය බාගෙට අහවර කරපු සේපාලිකා ගැන එයාම විවරණය කරද්දි මං ඒ හැම එකක්ම මගේ දිනපොතේ ලියාගත්තා.

ඇත්තටම බලං ගියාහම සේපාලිකාට තියෙන්නෙ පොඩි ගැටලුවකුත් නෙමෙයි. තමන්ගෙ පෞද්ගලික ජීවිතේ හැමදේම අවලංගු වෙලා ගිය අපේක්ශා භංගත්වයේ ප්‍රශ්නයකුත් තියනවා.

ඔයාට උපාධිය කරන්න බැරි ඇයි ඉතින්?


මන් එහෙම ඇහුව මොහොතෙම මට මතක් උනේ අවුරුදු කීපෙකට උඩදි නිර්මලීගෙ උපාධිය කාලේ මං එයා වෙනුවෙන් කැප උන හැටි..

කෑම ටික ලඟට, තෙසිස් එක ලියද්දි ඒවට උදව් කරපු හැටි. යාලුවොන්ගෙ නෝට්ස් පවා ලියලා දීලා උදව් කරපු හැටි, ඉංග්‍රීසියෙන් තිවුන සටහන් පරිවර්තනය කරලා දීපු හැටි. ඒ හැමදේකටම එයාගෙන් මට ලැබුන දේ එයා මාව නොසලකා හැරල දාපු එක විතරයි.

මං පටන් ගත්තු කෙටිකාලීන පාඨමාලාව මට නතර කරගන්න උනේ " නිර්මලී මතුර මතුර කියවන්න උන ගෙදර වැඩ මට තනියම කරන්න බෑ" කියන වාක්‍යය නිසාමයි. පස්සෙ තේරුන විදියට ඒක ඇගේ ඉරිසියාව වෙන්නැති කියලත් හිතුනා. හැබැයි නිර්මලී එකක් ඉවර වෙද්දි අලුත් පාඨමාලාවක එල්ලුනා. එයාට මං ගැනවත් අපි 2ට පවුලක් ඕනි කියන දේ වත් ගාණක් තිවුනෙ නෑ. එකකට පස්සෙ එකක් කරපු පාඨමාලා වලින් එයාට උන වාසියකුත් නෑ. හැමදාම එක තැන පල් වෙන ගුරුවරියම විතරයි. බොරුවට එක එක සහතික  ගොඩගැහෙනවා සහ මුදල් වියදම විතරයි.  

නිර්මලී කරපු පාඨමාලාවන් ගැන මට එහෙම නොහිතුනාම නෙමෙයි.

එක පාර පාඨමාලා දෙක තුනක ලියාපදිංචි වෙලා තමන් හරි කාර්‍යයබහුල කෙනෙක් කියලා කියවන්න ඕනි කමක් නිර්මලීගෙ තිවුනා කියලත් මට දැන් හිතෙනවා. හැබැයි ඒ කියවිල්ල නතර උනේ සල්ලිත් අහිමි කරන් එක පාඨමාලාවක්වත් හරියට කරගන්න බැරි වීම නිසා. ඒත් ඒ නිරපරාදේ ගෙවුන කාලය සහ මුදල් ආපහු ගන්න බෑ කියලා ඇයට වගේ වගක් තිවුනෙ නැහැ. මහන්සි වෙලා ඒ ටික ආපහු සම්පූරණ කරගන්න අවශ්‍ය ශක්තියත් එයාට තිබුනෙ නෑ.


මේවා ගැන හිතද්දි මගේ ඔලුවත් පිස්සු වගේ වෙනවා. අන්තිමට ජීවිතේ තීරණයක් ගද්දි හොඳට හිතන්නෝනි. මං හැමෝටම කියන දේ මටම කියාගෙන නැහැ කියලා හිතෙන තැනට මන් පත්වෙනවා නිරායාසයෙන්ම...


ඔහොම ඉන්නකොට සේපාලිකාගෙ මාස තුනක සැසිය අහවර වෙලා ඇය යන්න ගියා. අවසන් වරට ඇයට සුභ පතලා ඇය පිටත් උනාට පස්සේ දොර වහලා මන් උපදේශන කාමරේට ආවා. ඇය හිඳගෙන උන්නු පුටුව මං හෙමින් අතගෑවා. ඒක උණුසුම්. සේපාලිකා මල් මෙච්චර උණුසුම්ද?


මං ආයෙම ගිහින් මගේ පුටුවෙ වාඩි උනා. බල්බයෙන් සහ පුළුල් කවුලු වලින් එන එලියෙන් ආලෝකමත් වෙලා තිවුනට මොකද දැන් මට කාමරේ ඒ ආලෝකය මැකිලා ගිහින් වගේ දැනුනා. එයා එක ක්ලයන්ට් කෙනෙක් විතරයි මං මටම කියාගෙන දිග හුස්මක් හෙලුවා!


මාලු ටැංකියේ එක මාලුවෙක් අසනීපෙන් උඩ පාවෙනවා මං දැක්කෙ ඒ වෙලේ. ඒ රන් මාලුවාට බේත් පෙත්තක් කඩලා දාන ගමන් මං ආයෙම ජීවිතේ තේරුමක් ගැන හිත විමසුවා. ඇත්තටම මගේ හිතේ මොකක්දෝ හිස්තැනක් ඇති උනා. සේපාලිකා ජීවිතේ දිනන්නම ඕනි කියන දේ මං මටම කියාගත්තා. මං ඇය ඉඳගෙන උන්නු ඇගේ උණුසුම මාත්‍රයක් රැඳුන, දැන් හිස් වෙලා තියන ඒ පුටුව දිහා බලලා ප්‍රාර්ථනා කරා.

-----------------------------------------------------------------------------------------

අවුරුදු කීපයක්ම ගත උනා. රටේ තත්වෙ එක එක විදියට වෙනස් උනා. සැරින් සැරේට මතක් වෙන පුංචි සේපාලිකා මලක් මගේ මතකයේ කෙලෝරක පිපිලා පර නොවී තිවුනා. ඇය ආයෙ දැක්කෙම නෑ.

එහෙම ඉද්දි දෙදහස් විසි හතරේ මැයි මාසෙ වෙසක් පෝය දවසේ මහනුවර නගරයේ තිබුන භක්ති ගීත බලන්න මම ගියේ කැමැත්තෙන් නෙමෙයි. එදා වෙසක් පෝ දා මං හිතුවෙ නිර්මලී මා එක්ක වෙසක් බලන්න යයි කියලා. ඒත් එයාලා යාලුවෝ කණ්ඩායම එයාලගෙ සුහද හමුවක් එදාට යොදාගෙන තිබුනා. මා එක්ක ගත කරන්න එයාට වෙලාවක් නැහැ නෙව. ඉතින් එයා උදේම පිටත් උනා. එයා එන්නෙ හෙට හවසට....

මං ගැන ඇබින්දක්වත් කැක්කුමක් නැතිකෙනෙක්ගෙන් මං වෙනුවෙන් කාලය වැය කරාවි කියන එකත් බලාපොරොත්තු උන එක වැරදියි නෙව. එයයිට යාලුවෝ කියන්නෙ හරිම වැදගත් ජීවිතේට. හැබැයි ඒ යාලුවොන්ගෙන් අගතියක් උන දාට මට ගෙදරදිත් ඇය ඉස්සරහ දුක අහන උපදේශකය වෙන්න වෙනව. අන්න ඒම අවස්ථාවකදි මට ඇගේ සැමියා වෙන්න වෙනව

දැන් ඒක පුරුද්දක් වෙලා. කලින් කලට යහලුවොන්ගෙන් නැති භංගස්ථාන වීම


ඉතින් හවස් වෙද්දි මම තනියම එලියට ගියේ ගෙදර ඉන්න තිවුන කම්මැලිකමට. වෙසක් සිරිය නුවර වෙලාගෙන. මම හෙමීට හෙමීට ඇවිදගෙන KCC පැත්තට ගියා. ඒ වෙලාවෙ මට හරිම ලස්සන කාන්තා හඬකින් භක්ති ගීත කියනව ඇහුන.. ඒ මනෝභාවී හඬට මං එහෙම් පිටින්ම ඇදිල ගියා. එහෙම ගිහින් මම නතර උනේ සහස් උයනෙ. වේදිකාව ලඟ!

මම පුදුම උනා. ඇත්තටම...

ඒ කවුරුත් නෙමෙයි සේපාලිකා!



එකෝමත් එක දවසක මං ලඟ ඉකි ගගහා අඬපු අසරණ කෙල්ල සේපාලිකා.

බිංදුවෙනුත් පහලට වැටිලා හිත බිඳිලා ඉඳපු අහිංසකාවී සේපාලිකා..

එතකොට ඒ තමයි මං නොදැන ඉඳපු සේපාලිකාගෙ දස්කම් වලින් එකක්. හැඟවුනු ගීතමය කටහඬ.

ඒක භාවනාවක් වගේ.

මගේ ඉදිරියේ ඉඳගෙන දුක්බරව කතාන්දරය කිය කිය වැලපුනු සේපාලිකා ඇත්තම එලිය වෙලා. ඇගේ චාම් සුන්දරත්වය මම අද හොඳට දකිනවා. සුදු සාරියකින් හැඩ වෙලා  වේදිකාවේ ගී කියන ඇය, මහ සෙනඟ මැද ඉන්න මාව නොදකින එක සාමාන්‍යයි. මං ඒ ඇස් වලට මාට්ටු වෙන්න උත්සහ දරමින් හිතුවා. ඒ ඇස් වලට මාව අහු උනේම නෑ.

මට ඕනි උනේ ඒ ඇස් වලින් පොඩි හරි ඉඟියක් ගන්න විතරයි. ඇගේ ජීවිතේ ගැන....

ඒත් ඒක එහෙම උනේ නැහැ. එකාතකට මං මගේ රාජකාරිය කරලා ඉවරයි නෙව


"මේ සසර දනව්වේ............ 

අපි අසරණ වෙලා වගේ.......

හිතට දැනෙනවා"



ගුණදාස කපුගේ මහත්මයා විසින් ගායනා කරන ගීතය අපූරුවට මේ වාරයේ ගායනා කරන්නෙ සේපාලිකා වික්‍රමසිංහ...

හරිම අලංකාරයි. .

ගීතය තාම ගැයෙනවා. මහ සෙනඟ මැද්දෙ මට හරිම තනිකමක් දැනුනා. මන් ආපහු එන්න හැරුනා.

එතකොටම, ගීතය අවසන නැඟුන අත්පොලොසන් හඬ මැද මට හිතුනෙ මං සාර්තක වෘත්තිකයෙක් කියන දේ. සේපාලිකා වෙනුවෙන් සභාවෙන් මහ සද්දෙන් නැඟුන අත්පොලොස හඬ සේපාලිකාට විතරක් නෙමෙයි එයාව සුවපත් කරපු මටත් අදාලයි නේද වගේ හැඟීමක් මට දැනුනා.

ඒ අත්පොලොසන් හඬ මට ශක්තියක්. ඔව්.... මම තීරණයක් ගන්න ඕනි..

සේපාලිකාගෙන් මම උගත් දේ ඒක...

බොහොම කෙටි වේලාවකින් ගෙදර ආපු මම ඒ හා සමානවම ඉක්මණකින් ගෙදරින් පිට උනා. මගේ දුඹුරු පාට දිනපොතයි, බැංකු කාඩ් පතයි, සුලු සුලු ඇඳුම් කෑලි ටිකකුත් බෑගයකට දමාගත්තු මම මගේ පරණ කාලෙකින් පැද්දෙ නැති මෝටර් බයිසිකලය පණ ගන්වාගෙන පාරට බැස්සා. අඳුර මාත් එක්ක ගමනට එකතු උනා. ඒත් මට විශ්වාසයි තව පැය කිහිපයකින් අඳුර පහවෙලා ගිහින් අරුණාලෝකය උදා වේවි.


අන්න, මගේ ජීවිතේ ආයෙම මට හම්බේවි.

මෙච්චර කාලයක් එකට ඉඳලත් මාව ගණන් නොගත්ත නිර්මලීගෙන් මම සමාව ඉල්ලන්න ඕනි නැහැ. ඒ නිසා මම ඇයට පුංචි කෙටි සටහනක් විතරක් කණ්නාඩි මේසයේ රඳවලා තියල එන්න ආවා....


ඇය ඒක දකීවි සමහර විට, බාගදා හෙට හවස, සමහර විට අනිද්දා... ඇය මං ගැන දක්වන සැලකිල්ල මම දන්නවනේ. සමහර විට දකින එකක්ම නැහැ....

ඇයට ඕනි නම් මාව හොයපුවාවේ දින කීපෙකින්.....

මඳ සුලගේ වාත්තු වෙන මට දැන් නිදහසේ සුවඳ දැනෙන්න ගන්නවා. හැඟීම් හිර උන විවාහයකින් පලා යෑම හරිම ආනන්දයක්. යතුරු පැදිය පැයට කි.මී තිහ නොයික්මන වේගයකින් අදුර කපාගෙන මාව රැගෙන මගේ නිදහස වෙත අරන් යනවා.


ඔව්. නිර්මලී උඹ බම්බු ගහගනින්‍


මගේ ජීවිතේ භාවිතා වෙන්නෝනි මට! අනික් අයගේ පහසුව වෙනුවෙන් නෙමෙයි. අනික් අයට මගේ ජීවිතේ ආලෝකයක් කරගන්න දෙන්න ඕනි නැහැ

මගේ කැපකිරීම් වලට අගයක් තියෙන්නෝනි. මමම මගේ ජීවිතේ ආලෝකයෙන් සතුට සොයාගෙන ජීවත් වෙන්නෝනි‍.


මම අද මගේ ජීවිතේ සැනසීම හොයාගෙන යනවා.

ඔව් මට මතකයි සේපාලිකා දිනුවා. ඇයගේ කතාව මට ඒ බව පැවසූවා! අද ඒක ඇය ඔප්පු කරලා තියනවා

ඒ වගේම මමත් දිනනවා. මගේ සැනසීම හොයාගෙන මාත් දිනනවා. මගේ වටිනාකම දැනෙන තැනක මං නතර වෙන්නෝනි.


මම කෑගැහුවා......

මහ සද්දෙට............


රංගන.............හ්!


හුලඟ මගේ හඬ ඈතට ඈතට අරන් යන්නැති..


උඹ විඳවලා ඉවරයි..

ඔව්. උඹේ ජීවිතය උඹ අද ඉඳන් විඳිවි......

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. 👌👌👌

    Gypsy කියන miniseries එකත් සුපිරි කතාවක් female psychologist කෙනෙක් ගැන.

    https://youtu.be/Bj_PNcx5vAc?feature=shared

    ReplyDelete
  2. මනස විවරණය වන චරිත විකාශනයට කැමතියි. සේපාලිනා නික්ම ගිය තැනින් නතර උනා නම් හොඳයි වගෙත් හිතෙනවා. කලු පසුබිමේ කුඩා අකුරු මගේ ඇහැට නම් වෙහෙසකාරී උනා.

    ReplyDelete
Previous Post Next Post

Contact Form