මරණයක්......

 

කිසිදු හීනයක

නුඹ නොඑන විට

ඇස් පියාගෙන

ඉන්නවා

නුඹ.......…

කවදාක හෝ

එනු බවට

සිතුවිලි මවමින්

තව තවත්

සැබැ නොවන හීන

දකින්නට

හිත ඇත්තේ

කුමක් නිසාද?


හිත අහනවා

මං හිතනවා.............…


මං එහෙම ලිව්වෙ හුඟ කාලෙකට කලින්. හැබැයි දැන් මොකක්වත් වෙන්නෙ නැති බවට ඉස්තේරුවෙන්ම ඉස්තීරයි. මොනවත්ම නොවෙන කාලයක් මේක…

මං එහෙම හිතාගෙන ඇඳේ ඇතිරිල්ල ඇතුලේ තව ගුලි උනා. සත්තයි. තනි යහන හරිම සීතලයි. සීතල වූ ජෝඩු ඇඳන් ඇති. ඒත් තනි යහන කියන්නෙ අයිස්ලන්තෙටත් වඩා සීතලක් ගේන තැනක්. මොකද ඒ සීතල දැනෙන්නෙ ගතට විතරක් නෙමෙයි. හිතටත් දැනෙනවා....…


හුවදා මට මරණයක් ආරංචි වෙනකොට මං හිටියෙ කාර්යාලයේ පුටුවේ පැද්දි පැද්දි. මං සාර්ථක මිනිහෙක් නෙමෙයි. මං ඇත්තටම නිකම්ම නිකං ලිපිකරුවෙක්. ඒකත් රජේ කන්තෝරුවක උනාම සනීපයි මිතුරනි. ඒ තරම් අපි වාසනාවන්තයි. ඇබින්දත් වේතනයකට නහින්න තරම්.…


ඒ මරණයේ පණිවුඩය මාව තිගැස්සුවේ නැහැ. මොකද මං දැනන් හිටියා වැඩි කල් යන්න කලින් නිලුපුලී යන්නම යන බව. උක්ත නිසදැස ඇය වෙනුවෙන් ලියුවෙ හීනෙන් වත් වරෙන් නිපූ කියලා හිතාන. නිලුපූලී ට මං කතා කලේ නිපූ කියලා. තරහ ගිහායම නිපුලි කියලා හරියට ඒ වචනේ නපුරි වගේ නෙව. ආදරේ වැඩි උනාම මං කිව්වෙ සුදු නිලූ කියලා. මේ හැම නමකින්ම මම ආමන්ත්‍රණය කලේ ඒ කාලේ උන්නු මගේ ආදරණීය පෙම්වතීට.

ඔහ් සමාවෙන්න. අතීතයේ පරිච්ඡේදයක මා එක්ක කල් ගෙව්ව ලස්සන නිලුපුලී. දැන් එයා මං ගාව නැහැ. ටිකකට කලින් ආරංචි උන හැටියට එයා දැන් මේ ලෝකෙත් නැහැ.

ආරංචිය ආවහම පපුවේ වේදනාවක් තියනවද කියලා මං විමසලා බැලුවා. එදා එයා සම්බන්දෙ නවත්තමු කිව්ව වෙලාවෙ නං පපුව ඇතුලෙ ගින්දර දැවිල්ලක් ඇතිවුනා. දැන් නම් ඇත්තටම වේදනාවක් නැහැ. කාලයකට ඉස්සරින් එයා යන්න ගිහාම මං හුඟක් වැලපුනා. සත්තයි මාව සනසපු යාලු මිත්‍රයා නොඉඳින්න මට පිස්සෙක් වෙලා ඉඳීවි. වාසනාවට මට එහෙම නොවෙන්න තරම් ශක්තිය අංශු මාත්‍රයක් හිතේ කොනක තිබිලා තියනවා. ඒ නිසා මං සුවපත් උනා. සුවපත් නොවන තුවාලෙ වහන් ඉන්න තරම් සුවපත් උනා. ඒ මදැයි හැමදාම විඳවනවට වඩා.…

අපි හමුවුන ඉක්මණින්ම වෙන් උනා කිව්වට කමක් නැහැ. රස්තියාදුකාර කොල්ලෙක්ට වංශවත් කෙල්ලෙක් හිමි කරගන්න බැහැ තමා. ඒත් අඩුම එයැයි මාව විශ්වාස නොකර හිටිය එක තමා දරාගන්න අමාරු උනේ. කොහොම උනත් මං දින්නා. ඇය මාව දාලා පොහොසත් කෙනෙක් බැන්දා. ජීවිතේ මට හිතන්නවත් අමාරු වාහන වල නැගලා එහෙ මෙහෙ ගියා. මට ඒවා මුකුත් තිබුනෙ නැහැ. පවුලෙන් මට ලැබුන දේකුත් නැහැ. මේ රටේ මං වගේ ලිපිකරුවෙකුට මෝටර් සයිකලයකින් එහාට දෙයක් උරුම වෙන්නෙත් නැහැ. ඒ කොහොම උනත් මං මට ආදරේ කරන්න ගත්තා. ඒකෙන් මං දිනුවා.

නිලුුපුලී උඹ ගියා තමයි.

මාව ඇඩෙව්වා තමයි.වේල් ගාණක් මාව නිරාහාරව තැබුවා තමයි. හැබැයි උඹේ ඒ බලු කම මාව සක්තිමත් කලා.

හුඟක්.................

ඒ නිසයි උඹ උගෙන් ගුටි කාලා පොලීසියේ ඉන්නවා දැක්කම මගේ හිතට පට්ටම සතුටක් දැනුනේ.

යාලුවගෙන් ඉල්ලාගත්තු ඇල්ටෝ කාර් එකේ පොලීසියට ආවේ දඩයක් කාපු මං රියදුරු බලපත්‍රය ආපහු ඉල්ලාගන්න. ඒ කටයුතු අහවර කරලා එලියට එද්දි මැලවුනු මුහුණින් මං දිහා බලන් ඉඳපු උඹ පුදුම උනා. උඹව නොදැක්කා වගේ රඟපාපු මං උඹට පේන්නම ගිහින් කාර් එකට නැග්ගා. ඒක අනුන්ගෙ කියලා උඹ දන්න එකක් යැ! ආයේ යමක් අමතක උනා වගේ ඒ පැත්තට ඇවිදන් එද්දි උඹ අසුනෙන් නැගිට්ටා. මං හිනා උනා. අපි ආයෙම හිනා උනා. එදා කෝච්චියේදි වගේම.

 

එක දවසක මං කෝච්චියේ ගෙදර එමින් උන්නෙ යාලුවෙක්ගෙ දිහා ගිහින්. මං ආවේතුන්වැනි පන්තියේ දොරක එල්ලිලා. ඒ දොරේ අනික් පැත්තෙ උන්නෙ සුද්දෙකුයි සුද්දියෙකුයි. ඇසිල්ලකින් පස්සෙ සුද්දා සුද්දිගෙ කට උලා කද්දි උඹ ලැජ්ජාවෙන් රතු වෙලා පා පුවරුවේ ඉඳපු මං දිහා බැලුවා මට මතකයි. උඩරට දුම්රියේ ඔවා සුලභයි. රතු උනු උඹ හනික බිම බලා ගත්තම මං සුද්දට බැන්නා.  

ඩූ නොට් කිසින් ඉන් පබ්ලික්. ලුක් ඇට් හ! ශී ෆෙල්ට් සම් අන්කම්ෆටබල් ෆීලින්ස් හියර් බිකෝස් ෆ් යූ....  

පර දේශක්කාරයට මං කෙල්ලව පෙන්නලාම වැකිය අවසන් කලා.

සට සට ගාලා කඩ්ඩෙන් දෙද්දි සුද්දට සුද්ද නිහඩව දොරෙන් එලිය බලා ගත්තා උගේ සුදු කෙල්ලත් වාරු කරන්. මොකක්දෝ පාඨමාලාවක් අහවර වෙලා ගෙදර යමින් උන්නු ඇය ඉස්සෙල්ලම මා එක්ක හිනා උනා. පිස්සු සුද්දෝ. ඒම කියලා මං ආයෙම ඇයට හිනා උනාම ඇය කතාවට වැටුනා. මාස ගාණකින් අපි හොඳ යාලුවෝ උනා.

යාලුකම ආදරයට හැරෙන්න මහ කාලයක් ගියේ නැහැ. සුද්දට බැනපු මං ඊට පස්සෙ දුම්රියේ පා පුවරුවේ එල්ලිලා එයාව සිප ගත්තේ සුද්දගෙ ඇබින්දක් හරි තිබුනු විනයවත් නැතුව. බලද්දි අපේ රටේ අපි අනුන්ට කොකම් පපා අපිම සදාචාරේ කඩනවා.

මට රස්සාවක් කරන්න උවමනාවක් තිබුනෙ නැහැ. හැබැයි මං රස්සාවක් හොයාගත්තා. ගෙදරින් උනත් මේ සම්බන්ධය ගැන දැනගෙන උන්නා. ඒ නිසා රස්සාවක් නැතුව කෙල්ලෙක් නඩත්තු කරන්න පුලුව්න්ද? බැරි නිසා අකමැත්තෙන් උනත් මං කම්පැණියක සුපවයිසර් කමකට ගියා. හැමදාම අපි ආවේ එකම දුම්රියේ. ගම්පොල කඩ සාප්පු ටයින් දුවන මහ බිංගේ පහු වෙද්දි ඇගේ කම්බුල් රතු වෙන්නම හාදු ලැබුනෙ ඇයට ඒ දුම්රියේදි. අදත් ඒ බිංගේ යටින් යද්දි මට ඒ තොල් වල ලුණු රස මතක් වෙනවා.

ඇය කතා කලා. පොලීසියේ ඇයි කියලා එයා මට අමුතුවෙන් කියන්න උනේ නැහැ. නිලුපුලී ගුටි කකා දුක් විඳින බව මට ආරංචි උනේ එයාගෙම යාලුවොන්ගෙන්.  

මට මොකද බං

මං උන්ට එහෙම කියලා හිනා උනා. කොහොමත් අනුන්ගෙන් ඉඳුල් උන කෙල්ලෙක් මට ආයෙම මගේ ළගට අරන් "සමාජයට ගොනෙක්" වෙන්න උවමනා උනේ නැහැ. හැබැයි එයාගේ විඳවීම මට මාර සතුටක් ගෙනාවෙ.

ඉස්සර මට කරපුවා ඒකිට ලැබිලා බං! මං යාලුවෝ එක්ක මාර ජොලියේ ඒම කියලා දැම්මා. ඒ කොහොම උනත් මං ඊට පස්සෙ නිලුපුලීගෙන් පස්සෙ අද වෙනකම් වෙන කෙල්ලෙක්ට හිත දීලත් නැහැ. මං ගලක් වගේ මිනිහෙක් වෙලා. කාර්යාලයේදී උනත් අලුත් පුහුණුකාරියොන්ට හොඳට අමතලා ඒ කාලේ   නිලුපුලී එක්ක පුරවගන්න බැරි උනු විසඳගන්න බැරි වුනු හිස්තැන් පුරවන්නත් මං උත්සහ ගත්තා.

කොහොම හරි එදා පොලීසියේදි නිලුපුලී දුරකථන අංකය ඉල්ලුවා. මං දුන්නා. ඇය මහ රැ දුරකථනයෙන් මට ඇමතුමක් දීලා ඇගේ කතාන්දරය කිව්වා. කතාන්දරය අවසන මං මහ හයියෙන් හිනා වෙලා දුරකථනය විසන්දි කලා. ඇය ආයේ කවදාකවත් මට කතා කලේ නැහැ. මං ගල් බිල්ලෙක් වගේ උන්නා. මට මොකද?

ගුටි කාලාම මැරිලා ගියදෙන් මෝඩි......!

බයිසිකලෙන් වැටුනු මගේ යාලුවව බලන්න මං ඉස්පිරිතාලෙට ගියේ ඔය සිදුවීමෙන් අවුරුදු දෙකකට පස්සෙ විතර. ඒ යද්දි මට අහම්බෙන් රෝද පුටුවක වාඩි වෙලා උන්නු නිලුපුලීව දැක්කා.

නිලුපුලීගේ කොණ්ඩය හරි ලස්සනයි. තට්ටු තට්ටු තිබුන කොණ්ඩේ සුළගට ලස්සනට දිලෙනවා. අපි දවසක් අම්බුලුවාවේ ගිහින් ඉද්දි මං ගත්තු පොටෝස් වල එයාගේ කොණ්ඩෙ හරි ලස්සනට පේනවා. ඒ කොන්ඩෙ තමා ඇයගේ ආලෝකය. ඒ කේශ කලාපයේ සුවඳ මට අදටත් අමතක නැහැ. මාව එයාට බැඳලා තිබුනේ ආන් ඒ සුවඳ

නිලුපුලීගේ කොණ්ඩ සුවඳ!

ඒ ලස්සන කොණ්ඩය ඇැබින්ද වෙන්න තිබුනා. එයා ගාව හිටගෙන උන්නෙ එයාගේ හස්බන් සුමල්! සුමල් ඇත්තටම නිලුපුලීට තඩි බැව කිව්වම මට ඌව දුෂ්ටයෙක් නෙමෙයි වීරයෙක් උනා. මලක් වගේ බලාගත්තු මගේ ඒ කාලේ කෙල්ලව තලල පොඩි කරල වේදනා දෙනවනම්  ඒ තරම්  විරයෙක් තව ඉන්න බැහැ..

හැබැයි මෙතන ඒ වීරයගෙත්, දවසක් මට නිකමා, ගොඩයා කියලා බැනපු නිලුපුලීගෙත් රස්නෙ හුලං බැහැල තිබුනා. අසරණව ඇය මං දිහා බැලුවා. සුමල් ප්‍රශ්නයක් අහන්නා වගේ ඇය දිහා බලලා මගේ ඇස් දිහා බැලුවා. ඇය හෙමින් හිස වැනුවා. මං ඒ දිහාට යනකොට සුමල් මගේ අතින් අල්ලලා ආයාසෙන් මට හිනා උනා. කොච්චර සල්ලි තිබුනත් මිනිහගෙ දැන් තියන අසරණ කම මට හොඳට පෙනුනා.ලෙඩ උනාම හිනා වෙන්න සතුටු වෙන්න නරකයි. ඒත් දැන් මට තදින්ම ආදරේ කරන මගේ හිත පත්ලෙන් ආවේ ශෝක පණිවුඩයක් නම් නෙමෙයි.

නිලුපුලී වාට්ටුවට දාල ආපහු ආපු සුමල් මා එක්ක එකතු උනා. ඊට පස්සෙ අපි දෙන්නා දොඩමලු උනා රෝහල් කැන්ටිමේදි.…

දුම් දාන කහට දෙකක් ඉස්සරහ තියාගෙන අපි මේසයක වාඩි උනා. නිලුපුලීට වැඩි කාලයක් නැහැ. එයාගේ බඩවැලක පිලිකාවක්. කඳුලු මත්තෙන්ම සුමල් කියාගෙන ගියා. මිනිහ හුඟක් පසුතැවිල්ලෙන් කණගාටුවෙන් කතා කලේ. සාමාන්‍ය දින චරියාවේ විදියටම රණ්ඩු වෙවී ඉද්දි එකසැරේටම බිම ඇද වැටුනු නිලුපුලීව ඉක්මණින් රෝහල් ගත කලා කියලා සුමල් කිව්වා. සේරමට වඩා දෙන්නම කලබල උනේ ඇයගේ වෛද්‍ය වාර්තා නරක් වීම නිසා.

අන්තිමට විකිරණ ප්‍රතිකාර වලින් සේරම කොණ්ඩෙ ගිය හැටි කියද්දි සුමල්ගෙ ඇස් වලින් කඳුලු කඩා හැලුනා. මට ආයෙමත් අම්බුලුවාව හුළගේ සැලෙන නිලුපුලීගේ ලස්සන කේශ කලාපය මොහොතකට මැවිලා පෙනිලා නැතිවෙලා ගිහින් රෝද පුටුවේ උන්නු නටඹුන් උන නිලුපුලීව මතකෙට ආවා.

සත්තයි අර සුමල් මොනා කිව්වත් මට කිසි දුකක් හිතුනෙ නැහැ. කහට කෝප්ප දෙකට සල්ලි ගෙවපු මං අහංකාර විදියට හැරිලා එන්න ආවා.

එයින් මාසෙකට එක හමාරකට පස්සෙ තමයි මට ආරංචිය ආවේ.

මං ටවුමට ගියා. ඉලව් ගෙදර යන්න මට උවමනාවක් දැනුනෙ නැහැ. මට අයිති නැති කෙනෙක්ගෙ මල මිනියක මොනා බලන්නද? කැරකෝප්පුවට යන්න එන අවමංගල පෙරහර පිටත් වෙලා හුඟක් වෙලා වෙන්නැති. මං දැක්කා පෙරහර ඇතින් එනවා. මං හෙමින් හෙමින් බස් නැවතුම පැත්තට ඇවිදගෙන එද්දි ඉස්සෙල්ලම ආවේ නිසාන් බ්ලූ බර්ඩ් වර්ගයේ අලුත්ම කාර් එකක්. ඒක සුමල්ගෙ කියලා මං හොඳින්ම දන්නවා. මං ඒ දෙන්නා ජෝඩු දාලා යනවා දැකලා තියනවා. අද සුමල් නෙමෙයි වාහනේ අරන් ආවේ. සුමල් අද උන්නෙ ඉස්සරහ මගී ආසනේ. වෙනදා ඒ අසුනෙ යන්නෙ නිලුපුලී. අද මේ හැන්දැවේ මිනිහගේ ඇස් රතුවෙලා තිබුනා. වීදුරුවට ඔලුව තියාගෙන මිනිහා සැරින් සැරේ බෙල්ල හරවලා පිටිපස්සෙන් එන මිනී කාර් එක දිහා බැලුවා. ඌ ඇත්තටම දුකින් ඉන්නෙ! බාගදා දැන් ඌ මැරෙන්න තරම් දුකින් ඇත්තෙ. මං ඒ දිහා බලනකොට මගේ හිත මට කිව්වෙ එහෙම....

මොනා උනත් ඌ නිලුපුලීට ආදරේ කරන්න ඇති....

ඒකට පස්සෙන් ද්විත්ව ආලෝක සංඥා දල්වාගෙන හෙමින් හෙමින් ආව කලු පාට මිනී කාර් එකක්. මං සුදු පිච්ච වැල් වලින් සරසලා තිබුන මිනී කාර් එක දිහා බැලුවා. ඒකෙ ඇතුලෙ තිබුනු දුඹුරු පාට අලුතෙන් පොලිෂ් කරපු, මල් වඩමක් පියන මත්තෙ අතුරලා තිවුන මිනී පෙට්ටිය ඇතුලෙ නිදාගෙන ඉන්නෙ නිලුපුලී නේද කියලා හිතෙද්දි මට ඇත්තටම දුකක් දැනුනෙ නැහැ. මට ඒ අකාලේ මැරණ ජීවිතය ගැන මොකුත් හිතුනෙ නැහැ සත්තමයි. මං ඒ දිහා ඔහේ බලාන හිටියා. අවමංගල පෙරහර ඔහේ නිහඩවම ඇදිලා ගිහින් කැරකෝප්පුව පැත්තට හැරුනා.

අපේ ගමට යන බස් එක ඇත ඇවිත් නැවැත්තුවාම මං හිමින් ගිහින් ඒකේ පිටිපස්සෙම ඉඳගත්තා. බස් එක ගොරෝසු සද්දෙන් පණ ගන්වලා ඇදුනේ කැරකෝප්පුව පාරේ. එක වරම මං දැක්කෙ ආදාහානාගාරේ චිමිනිය. එතනින් අලුපාට දුම් වලාවන් මතුවෙමින් තිබුනා.

ඒක දැකපු මොහොතෙදිම අකුණක් ගැහුවම පොල් ගහක කරටිය කඩන් වැටෙන්නැහේ මගේ හිතත් එකසැරේටම මොකක්දෝ වෙලා ගියා. මට එදා ලියුව කවිය මතක් උනා. හීනෙන් කෙසේ වෙතත් හැබැහින්වත් ආයේ නිලුපුලීව දැකලා වෛර කරන්න බැරි බව මතක් වෙද්දිම මගේ පපුව හෝස් ගාලා පත්තු වෙන්න ගත්තා. පපුවෙ පුංචි දැවිල්ලක් ඇති වෙලා නැති වෙලා ගියා. සුළගේ පාවෙන නිලුපුලීව මැවි මැවී පෙනුනා. ඒ හිනාව ඇයගේ ඇස් පනාපිට වගේ පෙනුනෙ. උගුරේ මොකක්දෝ කද දෙයක් ඇනුනා වගේ කෙල වේලිලා ගිහින් උගුර වේලුනා. ඇත්තටම මාව මේ දක්වාම ජීවත් කෙරෙව්වෙ නිලුපුලී කෙරේ තිබුන වෛරය මිසක් වෙන මුකුත් නොවන බව මට ක්ෂණිකයෙන් වැටහුනා.

මං ගෙදර ආවේ කොහොමද කියලා මට මතක නැහැ. ඇඳන් උන්නු ඇඳුම් පිටින්ම නාන කාමරයට වැදුනු මං වතුර මල යට ගුලි උනා. එක කාලයකට කලිනුත් මේ විදියටම මං වතුර මට යටට වෙලා හිටියා කකුල් අත පය හිරි වැටෙනකම්.…

අවුරුදු ගාණක්, කාලයක් තිස්සෙ වෛරය නැමති චණ්ඩ හිරුගේ උණුහුමෙන් වියලි කාන්තාරයක් වෙලා තිබුනු මගේ කඳුලු උල්පත, අද හැන්දැවේ චිමිනිය දැකලා  සංසිදුනු වෛරය නිසාම ආපහු දලුලාපු ආදරය ඇබින්දක් නිසා වෙන්නැති ආපහු තෙතබරියම් වෙලා උතුරාගෙන කම්බුල් දිගේ ගලාන යද්දි වතුර මලෙන් වැටෙන සීතල දිය දහරා වලින් ඒ උණු කඳුලු බොහොම ඉක්මණට සීතල කෙරුනා.

හරියට ඉක්මණින් ගෙවිල අවසන් උනු නිලුපුලීගේ ජීවිතය වගේම..........

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මේ කතාව කල්පිතයක්ද,එහෙම නැත්නම් ඔයාගෙ සත්‍යම කතාවද?මේ කතාවෙ හැටියට නම් ඔයා මහම දරුනු හිතක් තියෙන පලි ගැනීමේ චේතනාවෙන්ම ඉන්න දුශ්ට මනුස්සයෙක්.නැත්නම් ඔයාට පිටු පෑව උනත් තමන් ආදරය කෙරුව කෙල්ලට ඒ තරම් කරදර සිදු වෙද්දි ඒගැන සතුටු වෙන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ආදරයක් වෛරත් අතර ඇත්තේ කෙස් ගසක වෙනසකි!

      Delete
  2. වෛරයත් ආදාහනය වෙලා දියවෙලා ගිහිල්ලා.

    ReplyDelete
    Replies
    1. හුම්! ඇත්තටම හිර කරන් ඉන්න දේවල් පුපරලා යනවා!!

      Delete
Previous Post Next Post

Contact Form