ආතා! - වෙසක් කතාව


ඒ මොහොත මාව අතීතයට අරන් යනවා. හැමදාම වගේ ඉටි පන්දමින් ආලෝකමත් වෙන වෙසක් කූඩුව සහ මගේ අතීතයේ ජීවිතය එකට බැඳිලා. ජීවිතය නම් වූ මහ කුණාටුව ඉදිරියේ අපේ ආත නොසැලෙන මිනිහෙක් නෙවෙයි කියලා මට දැනුනේ එදා දෛවයේ සුලඟ හැමුව නපුරුම නපුරු වෙසක් පෝය දා. 

අපේ පුංචි කාලේ වෙසක් හරි ලස්සනයි. ඒ කාලේ විදුලිය නැති ගම් වල වෙසක් ආලෝකමත් උනේ වෙනම ක්‍රම වලට. ඉටිපන්දම් එලිය ප්‍රධානයි.  තව සමහරු පහන් වලට පොල් තෙල් දාලා පහන් සිලු ආලෝකයෙන් වෙසක් රාත්‍රිය ආලෝකවත් කරන්න හඳ මාමාට උදව් කලා.

දැන් වගේ දන්සැල් නැති, ඔලු බක්කො නැති, ලොරි වල නැගල විකාර කරගෙන රට වටේ යාමක් නැති, කොටින්ම කිව්වොත්හරිම සෞම්‍යවන්ත ඇත්‍ත වෙසක් තිබුනෙ ඒ කාලෙ වෙන්නෝනි. විවෘත ආර්ථිකේ එක්ක දියුණු උනා කිව්ව මේ පුණ්‍ය භූමියේ වෙසක් සැමරුම් බොහොම ඉක්මනින් වාණිජකරණය උනා. පුංචි අපිත් ඒ රැල්ලට ආස කලා. බල්බ් වැල්, පාට පාට ලොකු බල්බ්, බකට්, ප්ලාස්ටික් වෙසක් කූඩු, චීනෙන් ගෙනාපු බෞද්ධ කොඩි....

කෞද ඒ වර්ණවත් බවට ආස නොවෙන්නෙ....

ඒත් එහෙම ආස නොවුනු එකම එක්කෙනෙක් අපේ ගෙදර හිටිය. ඒ තමයි අපේ අම්මව දරු කමට හදාගත්තු අම්මගේ අප්පච්චී නොහොත් අපේ ආත.

ආතගෙ නම සිල්වින්. සිල්වින් ඉස්කෝලෙ මහත්මයා කියල ගමේ හැමෝම බොහොම ගෞරවයක් ඇතිව හද පත්ලෙන්ම කිව්ව. උන්දැ කාලෙකට ඉස්සර අපේ අම්මව දරුකමට හදාගෙන තිබුන. කසාද බැඳල උන්නෙ නැති සිල්වින් ආතා අම්මව දරුකමට හදාගත්තෙ උන්දැගෙ ඉස්කෝලෙ දරුවොන්ට බෙදල බෙදල ඉතුරු උන ආදරේ, දරු සෙනෙහස බෙදන්න තව එක දරුවෙක් ඉන්නවානම් ඇති කියල වෙන්නැති.

කලිසම කමිසය ඇන්දට සුද්දෙක් වගේ ආටෝප නොතිබුනු මනුස්සයෙක් අපේ ආත.  ඒ සරල වෙසක් සැරසිලි වලට ආස කරපු මනුස්සකම පිරුණු අපේ ආතා නොසැලෙන මිනිහෙක් කියල ගමේ හැමෝම කිව්ව ඒ කාලෙ. භීෂණ කාලෙ ජවිපෙ තර්ජන මැද්දෙ ඉස්කෝලෙ උගන්නපු, ඉස්කෝලෙ දේශපාලනේ කරන්න ආව යූ ඇන් පී  මන්ත්‍රීට දෙකක් කියෝල එලෝගත්තු, ශ්‍රී ලංකා එකේ සිරිමාවෝට ගෞරවයෙන් කතා කරපු, එයාගෙ දුවට පර බැල්ලි කියලා බැනපු කාටවත් බය නැති අපේ ආතා, මරණයකදි මගුලකදි නොවරදවා වගකීම් කරට ගත්ත සිල්වින් ඉස්කෝලෙ මහත්මයා නොසැලෙන මිනිහෙක්.

කාලෙකට පස්සෙ අපේ තාත්ත රට ගියා. ඉතාලියට. ඒ වෙද්දි අපි විදුලිය අරන්. තාත්ත ගිහින් ටික කාලෙකින් ගෙදර රූප පෙට්ටියක් හෙවත් ටී වී එකකුත් අපිට තිබ්බ. ඒ කාලේ වෙසක් වලට රට ඉඳපු අපේ තාත්ත එවන සල්ලි වලින් වෙසක් බල්බ්, කූඩු ගෙනැල්ල මම යාලුවෝ එක්ක ගේ වටේට සරසද්දි සීයා හැමදාම එයාගෙ උණ බට අටපට්ටම් කූඩුව බැඳලා අතට අරන් ලස්සනට සුදු පාටින් අලවලා මිදුලේ කෙලවර දොඩම් ගහේ එල්ලලා ඉටි පන්දමක් අලවනවා.

හු‍ලගට හෙමින් පැද්දෙන කූඩුව හරිම ලස්සනට නැලවෙනවා.

ඒ කූඩුවේ අලංකාර බවට වශී උන මං කොච්චර උත්සාහ කරල කූඩු හැදුවත්, බල්බ් එල්ලුවත් සීයගෙ කූඩුවේ ලස්සන චාම් නිවුනු ගති ලක්ශණ මගේ වෙසක් කූඩුවෙන් මතු උනේ නැහැ.

ඒ කාලෙ ගමට තිබුනෙ ගුරු පාරක්. අවුරුදු ගාණකින් ඉතාලියේ ඉඳන් ආපු මං මහ ගේයි ඉඩමයි විකුණන්න යද්දි ඒ පාරවල් ලොකුවට හැදිලා කාපට් අතුරාලා මහ ගේ පැත්තටම. විකුණන්නත් ලෝබ හිතුනට මොනා කරන්නද දැන් කාත් කවුරුත් නැති එකේ මම ඒවට මොනා කරන්නද? කාලයත් එක්ක දේවල් ඇති වෙලා නැති වෙලා වෙනස් වෙලා..

ඒ කාලේ හැම වෙසක් පොසොන් පෝයටම සීයා ගමේ ලමයි එක්කාසු කරගෙන ගුරු පාර දිගේ ඉස්කෝලෙටම පහන් වැටක් හැදුවා. ඒ කරලා මොකක් හෝ නාට්‍යයක් පෙන්නුව. භක්ති ගීත කිව්ව. මාත් ඒවට ඉඳපු හැටි මට දැන් ජායාමාත්‍රයක් මතකයේ ඇඳෙනවා. විදුහල්පති හාමුදුරුවෝ උනත් සීයට පුදුම විදියට ගෞරවයක් දුන්නෙ සීයගෙ මේ පුණ්‍යකටයුතු නිසා වෙන්න ඇති.

කොලඹින් හුඟක් ඈත ඉඳපු අපිට මේව මහ ලොකු කටයුතු උනා. ඒත් කවදාවත් ගමේ මිනිස්සුන්ගෙන් මේවට සල්ලි කඩා වඩා ගන්න සීයා ඉඩක් තිබ්බෙ නැහැ. හැකි පමණ සුවාභාවික දේවල් වලින් තමා හුඟක් දේවල් කලේ. වියදම් තිබ්බොත් ඒවා සීයත් ගමේ සල්ලිකාර ඇත්ට්තොත් වියදම් කලා.

මට හොඳටම මතක වේලුන පොල් අත්තකින් හදපු විසාල අටපට්ටම් කූඩුව ලස්සනට කහ පාටින් ආලෝකමත් උන හැටි ඉස්කෝලෙ ඉස්සරහම. ඒව අපේ සීයගෙ විස්කම්.

ඔහු නොසැලෙන මිනිහෙක් කියලා මං කිව්ව මතකයිද? ඒත් එක වෙසක් පෝයක සේරම වෙනස් උනා. ඒ වෙද්දි සීයා හුඟක් වයසට ගිහින් තිබුනෙ නැහැ. ඒත් කලින්ම විශ්‍රාම අරන් ගොවිතැනට බැහැලා විවේක සුවයෙන් ඉඳපු උන්දැ මගේ අම්මට, ඒ කියන්නෙ ඔහුගෙ දුවට ප්‍රාණ සම ආදරයෙන් ඉඳල තියනවා  කියල මම දැනගත්තෙ එදා.

එදා මහ වැස්ස. සුලඟ විසින් ඒ මේ අත කරකවන විශාල කොස් ගහක් අපේ ගෙදරට කඩාගෙන වැටුනෙ අපි නිදි අතරෙ. මහ සද්දෙට ඇහැරුණු මට ඒ මහ කලබලේ ලාවට මතකයි. එදා කඩාගෙන වැටුනු ගේ ඉස්සරහා ඉඳගෙන මගේ ආතා මහ සද්දෙට විලාප තිබ්බා. ඒ විලාපයෙන් නිරූපණය උනේ උත්තුංග දේහදාරී මනුස්සයෙක්  කුරුමිට්ටෙක් බවට පරිවර්තනය වෙන හැටි කියලා මට හිතෙනවා. තැලුණු පොඩි උනු ගෙදර දොරින් අම්ම දැන් දැන් එයි කියලා බලන් උන්නු මට කවදාවත් ආයෙ අම්මාව දකින්න උනේ නෑ. දොඩම් ගහේ එල්ලපු සියගෙ ලස්සන කූඩුව වැස්සට පෙඟිලා රැලි ගැලවිලා බිම වැටිලා තිබුනා මං දැක්කා. පෙඟිලා තිබුන කූඩුව ගෙදරට ආ ගිය මහ සෙනඟට පෑගිලා කුඩු පට්ටම් වෙලා ගියා.

තාත්තා රට ඉඳන් ඇවිල්ල කතා නැතුව මාව බඳාගෙන හිටියා මට මතකයි. සීයා කතාම කලේ නැහැ. අම්ම නැති වෙලා අවුරුද්දක් ගත වුනා ඉක්මනින්. තාත්තා මාව ඒ රටට අරන් යන්න සැලසුම් හදද්දි සීයා ගොලුවෙක් වගේ නිහ‍ඬව උන්නා.

හරියටම ගෙදරට ගහක් කඩා වැටිලා අම්ම අන්තරා වෙලා අවුරුද්දකින් අපි අම්මගෙ අවුරුද්දේ දානේ කලා. ඒකට ආව ලස්සන ප්‍රියමනාප සාදු කෙනෙක් කිව්ව කතාවක් මට හොඳට දැනුනා.

ජීවිතය කියන්නෙ දුක පිරුණු කුණු මල්ලක්. මල්ලෙ කට බැඳල තියනකම් හොඳයි. ඒත් කාලෙන් කාලෙට මල්ලෙ හිල් හැදෙනවා. ඒ හිල් වලින් දුක නැමැති කුණු කන්දරාව එලියට ගලනවා. ජීවිතය කියන මල්ලි දුක් නැමැති කුණු ඉවත් කලා නම් මල්ල බරත් නෑ. ජීවිතේ දුකත් නෑ.

ඒකට පවතින එකම මාර්ගය නිවන විතරයි!

ඒ කතාව ඇහුවම මට හැඟෙනවා. වෙසක් පෝය නපුරු නෑ. ජීවිතේ සිදුවීම් තමයි නපුරු. ඒ සිදුවීම් වලින් මිදිල සත්‍ය හොයාගෙන යන මාර්ගය බුදු හාමුදුරුවෝ අපිට කියල දුන්න. අපි ඇත්තටම ඒ මාර්ගයේ යන්නෙ කොහොමද කියලා අපි තමා තීරණය කල යුතු.

මට ඉතාලියට යන්න සේරම ලෑස්ති වෙමින් තිබුනෙ ඒ වෙද්දි. එදා අම්ම වෙනුවෙන් දුන්නු දවල් දානෙ අහවර වෙලා වෙසක් පෝය දවසෙ ආතා උදේ ඉඳන් එයාගෙ ලස්සන කූඩුව හැදුව.එදා රෑ ඒක වෙනද වගේම ඉටි පන්දමකින් ආලෝකමත් වෙලා බැබලෙද්දි, ආතා නිහඬවම  එයාගෙ කාමරේට ගිහින් ඇලවුනා.  හැම අවුරුද්දක් පාසාම සීයා නොකඩවා හදපු ඒ අටපට්ටම කවදාවත් නැතිව එදා ගිනි අරන් ඇවිලුනා. එහා ගෙදර නිමල් මාමාත් අපේ තාත්තාත් සීයාව උස්සල වාහනේ දාගෙන රෝහලට ගෙනියනවා මට මතකයි.

ආතා ආයෙ ආවෙ පෙට්ටියක. අම්මා ආව වගේම. අම්මගෙ පෙට්ටිය වහල තිබ්බට සීයා නොහොත් සිල්වින් ඉස්කෝලෙ මහත්මයා නම් බොහොම ශාන්තව ඒ පෙට්ටියේ පලු දෙක මැද නිදාගෙන උන්නා.

එදා නම් මට කඳුලු නවත්වාගන්න අමාරු උනා.

බොහොම ඉක්මනින් අපි මෙහෙන් යන්න ගියා.අම්මත් ආතත් නොමැති ඒ පාලු ගෙදර දැනුනු මූසල කාළකන්නි පාලුව  ඉතාලියේ හිම වැහි අතර දිවි ගෙවන මට අදටත් දැනෙනවා.

ඉතාලියේ අපිටත් දැන් වෙසක් තියනවා. ලංකාවෙ හුඟ දෙනෙක් වෙසක් සමරණවා. පන්සල් යනවා. ලංකාවෙ වගේමයි. නාපෝලි, මිලාන් හැමතැනම වෙසක් උතුරලා ශ්‍රී ලාංකිකයෝ හරි සතුටින් මුහු වෙනවා.

ඒ කලබලකාරී වෙසක් සැමරුම් මැද මමත් එහෙ අපි ඉන්න පුංචි ගෙදරදි, මගේ මහ ගෙදරදි වගේම වෙසක් කූඩුවක් හදනවා.

එකම එක අටපට්ටමක්!

සුදුම සුදු පාටින් ඒක අලවලා රැලි දාල අහවර කරලා මගේ ගේ උඩ තට්ටුවේ වැරැන්ඩාවෙ එල්ලනවා.

ඒකට මම බල්බ සවි කරන්නෙ නැහැ.

පුංචි ඉටිපන්දමක් අරගෙන ඒක දල්වලා අලවනවා.

ඒ ඉටිපන්දම දැල්විලා ඉවර වෙනකම් මම ඒ කූඩුව දිහා බලාගෙන භාවනා කරන්නාක් මෙන් බලාන ඉන්නවා. ආතගෙ කූඩුවේ තිබුන ශාන්ත බව මට දැන් දැනෙනව. ඒ දැනෙන්නෙ ඔහුගෙ නිවුනු, තැන්පත් බව. උගත් බව, නිර්මාණශීලී බව. සේරමත් එක්ක බැඳුනු ආතගේ මනුස්සකම!

අටපට්ටමේ පැති වලින් මට ගමේදි ගෙවුනු ජීවිතය මතක් වෙනවා. අම්මාත්, ආතාත්, ඒ කාලේ වෙසක් ලස්සනත් මැවෙනවා. මඳ සුලඟෙ දැවටෙමින් පැද්දෙන අටපට්ටම දිහා මං බලාන ඉන්නවා. මගේ බිරිඳ, ආදරණිය නැටලි ඇවිදින් මං ගාවින් දුම් දාන කෝපි එකක් තියනකම්ම මම ඒ මතකයේ සමවැදිලා ඉන්නවා.

ජීවිතය කියන්නෙ මතක ගොඩක්. ඒත් ඒ මතකවත් අපිට අයිති නැහැ. ඒ හැමදේම දාල අපි දවසක යන්න ඕනි දසුන්! නැතලි එහෙම කියල මගේ  හිස අතගාල ආපහු මට තනිවෙන්න ඉඩ දීලා ගේ ඇතුලට ගියා......

- - - -  - - - - - - - - - - - - - - - - - - - - - - -  - - - - - -

දෙදහස් විසි තුන වසරේ වෙසක් කතාවට මෙතනින් යන්න පුලුවන්

කඩතොලු....

4 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. දහමේ හරය කැටිකර ගත් කතාවක්. වෙසක් එකට කියවූ හෝ නැරඹූ එකම කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා! ස්තූතියි!

      Delete
  2. වෙසක් එකටම ගැලපෙන කතාව.ඒකත් හරියටම හිත නිවෙන කතාවක් වගෙයි.ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත් මහත්මයා!

      Delete
Previous Post Next Post

Contact Form