ඔහු ඒ අටපට්ටම ලස්සනට හැදුවා. ශ්වේත වර්ණිත, රැලි නෑවෙන කදිම කූඩුවක්.
ඒක එල්ලුවා ගෙදර බැල්කනියේ..
මඳ සුලඟින් රැලි නැලවෙනවා..
ගෙදර බිරිඳත් දරුවනුත් ඒක මොහොතක් රස වින්දා
එකම එක මොහොතක්,
විදුලි බල්බය නිවී දැල්වී යලිදු නිවී ආලෝකය ලබා දුන්නා.
සුන්දරයි. ඇත්තටම සුදු රැලි ගවුමක් හැඳි දිව්යාගනාවක් වගෙ...
කූඩුව දෙසට අත දිගු කල ඔහු
එක පාරටම වෙසක් කූඩුවේ කොටසක් රැලි වෙලා යන සේ ඉරලා දැම්මා..
දැන් සැකිල්ල පේනවා..
මේ වියරු ක්රියාව දුටු ඔහුහේ සුරතල් දරුවෝ දෙන්නා තුශ්ණිම්භූත වෙලා ඇස් වල කඳුලු පුරෝගත්තා...
ආදරණීය බිරිඳ පමණක් නිහඬව මඳ සිනා පාමින් ඒ දිහා බලාන ඉන්නවා. විවාපත් වූ පසු සැමරූ පලවෙනි අවස්ථාවේ සිට මේ වන තුරු වසර හතරක්, එක දිගට සිදු වන මේ චාරිත්රය ඈ දන්නවා. ඈ හමුවන්නටත් පෙර සිට ඔහු මේ චාරිත්රය ඉටු කරන බව ඇය ඔහුගෙන් අසා තිබෙනවා.
ලස්සනම අටපට්ටමක කඩතොලුවක් හැදීම....
අලංකාර ශ්වේත වර්ණ වෙසක් කූඩුවේ කඩතොලු උන කොටසේ සව් කොල කැබැල්ල එල්ලිලා තියනවා. සුලඟට පැද්දි පැද්දී....
ඇදුමක් ඉරලා දැම්මම එල්ලෙන්නැහේ...
ඒ හිස් වූ සැකිල්ල පෙනෙනා ඉරුණු කොටස දෙස ඔහුගේ හිස් එහෙත් ශාන්ත වූ බැල්ම එල්ලවෙලා..
අතීතය ස්මරණය වෙන මතක එක්ක ඒ කඩතොලු උන වෙසක් කූඩුව ඔහුගේ ජීවිත ආරම්භක කාලය ගැන ඉඟියක් දෙනවා..
වෙසක් සඳ පායාගෙන එනවා. ඒ හඳත් ඔහුට පේන්නෙ බහුතරයක් ට පේනවට වඩා වෙනස් විදියට.
කඩතොලු උන සඳ!
මිත්රවරුණි,
ජීවිතේ එහෙමයි. ජීවිතේ තේරුම් ගැනීම ඊටත් එහා එහෙමයි.
මේ කතාන්දරය කියන්න කලින් මාධව එහෙම සටහන් කරනවා.
ඉතින්......
එකෝමත් එක කාලෙක ගමක උන්නා ඔහු. අම්මයි, අප්පච්චියි, තමන්ගේ එකම නංගීයි එක්ක. දුප්පත් ගමක් නොවුන හෝමාගම කියන්නෙ දැන් ටවුමක්. නගරයක්. ඒ කාලේ ගම. ජේ ආර් ගේ 122 පාරට පින් සිද්ද වෙන්න දැන් ඒක ටවුමක්.
ඒ කාලේ අමුම අමු ගම්මානය. කොලම පාට....
ආන්න ඒ කාලේ ඉදන් තිවුන සීතාවක වලව් මැදුරු මැද්දෑවෙ ඔහුගේ පියා අනවසරයෙන් අටෝගත්ත පැල්කොටේ තිවුන. ආන්න ඒකෙ ඔහුගේ අප්පච්චි හැමදාම රෑට, රබර් යායේ කෙලෝර වාඩියෙන් නිශ්පාදනය උනු රහ මෙර තොල ගාලා ඇවිල්ලා ගෙදර ඈයොන්ට ගුටි බැට දුන්නා.
අඳෝනා වලින් ඒ ගෙදර හැමදාම හවස පිරෙනවා.
ඒ පීඩනයට හැමදාම සිරිතක් වගේ ඔහුගේ අම්මට, ඔහුට සහ පුංචී නැගනියට මුහුණ දෙන්න සිදු උනා.
සිරිතක් විදියට,
ඒ තක්කඩි තාත්ත අම්මට තඩි බානකොට හම තැලෙන සද්දෙ අරන් හෝමාගම පාර දෙපස රබර් කැලේ සිලිසිලියත් ඒ වගේම නැලවුනා.
....................................................................................................................
ඉගෙන ගන්න විශේෂ දක්ශයෙක් නොවුන ඔහු පාසලේ පියවරෙන් පියවර ඉස්සරහට යද්දි රදල ගුරුවරුන්ගෙන් හිංසා පීඩන එල්ල උනා. සමහර වෙලාවට ඔහු නොදන්නා කුල මලයක් හින්දා. ඒත් ඔහුට ආදරේ කරන ගුරුවරුද උන්නා. මොන විදියේ තත්වයන් උඩ උනත් ඔහු අධ්යාපනය අතෑරියේ නැත්තේ එකම එක කාරණාවක් නිසා.
දවසක්දා පාසලේදි සිහි මූර්ජා වී ඇද වැටුන නංගීව ඔඩොක්කුවේ තියාන කෑම කැව්ව සුමනාවතී ඉස්කෝලේ හාමිනේ ඔහුට කිව්ව එක කතාවක්.
කන්න දෙයක් නැති කොට හිස් බඩ ඉස්කෝලේ යෑම සාමාන්ය දෙයක්. බේබදු පියාණෝ ගෙදෙට්ට වඩා වාඩියට වියදං කලා නෙව.
එදා හෙමින් හෙමින් බත් ඇබින්ද ඇබින්ද නෙලුම් අලත්, කැකුලු හාලේ බතුත්, පුංචි හාල්මැස්සෝ බැදුමත් එකට අනලා කවන ගමන්, සුමනාවතී ඉස්කෝලේ අම්මා අනුරාධපුරයේ අලි පන්නන කැලෑවේ දුක් විඳලා ඉගනගත්තු කතාව. ගොවිතැන් කරපු අම්මලා විඳපු දුක. ඒ දුක දැකලා ඔවුන්ව දුකින් මුදවගන්න අකුරු සාස්තරේ ඉගෙනගෙන ඉස්කෝලේ හාමිනේ කෙනෙක් උන හැටි සේරම කිව්ව.
ඒ කතාව අහලා ඔහුට ඈ ගැන අම්මා කෙනෙක්ට තරම්ම ආදරේ හිතුනා..
"මගෙ පුතේ, අකුරු තමා උඹට පාර කියන්නේ..."
ආන්න ඒ වාක්යය කදිමෙට ඔහුගෙ හිතේ ඇඳුනා.
ගමේ ගඩා ගෙඩි හොයාන යාලුවොත් එක්ක දඟ කරපු, කෙලිලොල් ජීවිතේට පුංචි පුංචි විරාම තිව්ව ඔහු තමන්ගේ සහෝදරිය එක්කලා අකුරු සාස්තරේට පෙම් බැන්දෙ එහෙම. කැලෑ පැන්නෙ කන්න දේවල් හොයන්න වගේම හිතේ සතුටත් ඕනි හින්දා.. ඔහොම ඔහොම ඉස්කෝලේ දක්ශම සිසුවා නොවුනත්, ඔහු සාමාන්ය තත්වයෙන් ඉස්කෝලෙ කටයුතු ඉටු කරගෙන ගියා. ඔහු පස්සෙන්ම ඔහුගේ ලස්සන පුංචි සහෝදරීත් ඇවිදන් ආවා.
ඒ කොච්චර උනත් හැමදාම සිරිත් පරිදි හැන්දෑවට රහමෙර පානයේ ප්රතිපල තිවුනා.
ඉර බැස ගිහින් අදුර උදා වී ආයෙම ඉරු නැගෙමින් කාලය ගෙවුනා. අඟහිඟකම් අසරණකම් විතරයි වෙනස් නොවුනේ..
ඒත් මේ පාසල් සිසුවාත්, නැගණියත් ජීවිතේ දිනන අදිටනින් අකුරු ලිව්වා..
..................................................................................................................
වෙසක් පෝයක් එලඹුණා. එදා හැන්දෑවේ වත්තේ වැඩට යන අම්මා රැගෙන ආ සව් කොල වලින් අලංකාර අටපට්ටම් කූඩුවක් නිර්මාණය උනේ ඔහු සහ සහෝදරීගේ දෑත්වලින්.
උදේම දෙන්නම එකතු වෙලා වත්ත පහලින් කපාන ආව බට කෑල්ල සුද්ද කරලා කූරු හදාගත්තා. ඉන්පස්සෙ ගෙයි තිබුන පරණ රෙදි කෑලි ටිකකින් නූල් වෙනුවට කූඩු බඳින්න ලණු හදාගෙන හරි බරි ගැහුනා සාල කෑල්ලෙ. නුල් ගන්න කාසි නෑ නෙව.
සාලයේ කෑල්ලක් කිව්වට මොකද ඒක ටකරං මඩුවෙ එලිපත්ත. ඉස්සර පොල් අතු වහල තිවුන ගෙදෙට්ට ආධාර ටකරං වගයක් ලැබිල වහලෙ හෙවිලි උනා. එතකන් තිබ්නෙ දිරපු පොල් අතු. බිත්ති නං තාම වරිච්චි තමා.
රබර් වත්තේ වැඩට ගිය අම්මා සව් කොලත් අරන් එද්දි කෙල්ලයි කොල්ලයි කූඩුව බැඳලා අහවරයි.
සුදුම සුදු කොල විතරක් අඩුවට ගන්න හැකි නොවැ. ඉතින් වෙන පාට නැතුව ඒ අම්මා සුදු සව් කඩදහි විතරක් අරන් ඇවිල්ලා තිවුනා. රෑට කන්ඩ දර පාන් ගෙඩියකුත් එක්ක. හුගක් වෙලාවට ඒ ගෙදර ආහාරය උනේ ඒක.
වෙසක් පුන් පෝයදා ඒ ලස්සන හවසත් අප්පච්චිට රහමෙර උවමනා වෙලා තිවුනා.
හවස මහ වැසි වැටුනා. පුන්චි ගෙදර එලිපත්තේ වෙසක් කූඩුව ඇලවෙමින් තිවුනා. පාන්පිටි ඇබින්දකින් හදාගත්තු පාප්ප පොඩ්ඩක් චූටි ඇඟිල්ලට අරගෙන හෙමින් හෙමින් අයියා නගෝ සව් කොල වලින් කූඩුව ලස්සන කලා. පුංචි කොලුවාගේ හිතේ තිවුන අධිශ්ටානය වෙනස් දෙයක්. පාට පාට කූඩුවක් අලවලා සහෝදරීගේ ඇස් බබලන හැටි බලන්න ඕනෑකම ඔහුට දැනුනා. පොඩි කාලේ ඉදන්ම දැක්කේ සුදු අටපට්ටම් විතරයි.
වැහි වැටිලා අවට පෙඟුනද, දවසම වේලෙමින් උන් පියාට තොල කට තෙමාගන්න වතුර මදි උනා. රහමෙර ගන්න සල්ලි නැති තැන ගෙදර තිවුන වලං පිඟන් බිඳී යද්දී, ඔහුගේ සහෝදරිය බියපත්ව අම්මාගේ ඇඟේ එල්ලුනා.. පියාගේ පා පහරින් විසිවී ගිය අම්මාට පිටුපසින් උන් දැරිය ඇද වැටෙද්දී පුංචි ඇගේ සුරතේ තිවූ පුංචි කතුර විසි වී ඇවිත් බිම තිවූ වෙසක් කූඩුවේ වැදුනා.
සරස් හඬින් එය ඉරී ගියා..
ඇද වැටුනු අම්මාට යටවූ දැරියගේ ගෙල බිඳෙන හඬ යටපත් කරගන්න ඒ හඬට හැකි උනා.
...................................................................................................................
බිම වැටුනු අම්මාට ආයේම හොද සිහියක් ලැබුනේ නෑ. විකල් වූ සිහිය ඇයව අංගොඩ අරං ගියා. අපරාධයකට හිරේ විලංඟුවේ වැටුනු අප්පච්චිගේ ජීවිතය සිර ගෙට කොටු උනා. ඔහු ආයේ කවදාවත් ඔවුන්ව දැක්කෙ නෑ. මේ කලබල මැද තනිවුන ඔහුව අවිවාහක සුමනාවතී ඉස්කෝලේ අම්මා කෙනෙක් වගේ රැක බලාගත්තා. ඉගැන්නුවා..
අඩියෙන් අඩිය ඉදිරියට ගිය ඔහු ජීවිතේ කඩයිම් පසු කරන් ස්ථාවර වී ගියත් එදා කඩතොලු වූ වෙසක් කූඩුව අමතක උනේ නෑ.
එදා පටන් ඔහුට හැමදේම පේන්නෙ කඬතොලු වෙලා.
එක්තරා දෛවයේ දිනයක ඔහුට හමු වූ සුන්දර යුවතියක් ඉදිරියේ කඳුලු සලමින් සිය හදවත විවෘත කරනා තෙක් ඔහු නිහඬ වෘත්තාව රැක්කා. සිය කඩතොලුව පෙනෙන දෑසේ ඇගේ රුව පමණක් පරිපූර්ණත්ව ඔහුට පෙනුනා.
දරු දෙදෙනෙක්ගේ මව් පිය යුවලක් වූ පසු ද ඔවුනොවුන්ගේ ආදරය එසේමයි. ඇය සහ දරුවන් හැරෙන්නට සියලු දේ කඩතොලු වෙලා තවමත් පේනවා. සංවේදී හදවතේ තුවාලය කිසි දිනෙක සුව උන නෑ. ඔහුගෙ මව සහ පියා ගැන කිසිත් නොදන්නා ඔවුන් ඔවුන්ගේම ලෝකයේ කිරුළු පැලඳූවා..
ඒ හැමදාම ඔහු සාදන්නා වූ ලස්සන සුන්දර සුදුම සුදු අටපට්ටම, ජීවිතයේ අනිත්ය සිහිකරවන්නා වූ අටපට්ටමේ එක පැත්තක් ඉරා දැමීම ඇබ්බැහියක් වෙලා.
ඒ කඩතොලුව තුලින් ඔහුට සිය සොයුරිය මැවී පේනවා. බැඳීමක දුක දැනෙනවා. කුඩාකල ජීවිතය දෙස උපේක්ශාවෙන් බැලීමට පුහුණු වෙනවා.
ඉතින් මිත්රවරුණි
ඕන්න ඕකයි ඔහුගේ කතාන්දරය.
කඩතොලු උන හදවතක සුව නොවෙන තුවාලය හැමදාම පවතීවි. අටපට්ටමේ නිරූපනය වෙන අනිත්යය වගේම.
හැමෝගෙම ජීවිත වල මොකක් හෝ කඩතොලුවක් තියනවා. හැබැයි ඒ සේරටම ඉදිරියෙන් කර්මය තියනව.
මාධව මේ කතාවේ අවසානයේ එහෙම ලියනවා.
ගෘහස්ත හිංසනය ගැන මේ සතිය තුළ කියවූ දෙවෙනි බ්ලොග් සටහන මේ. සමාජයේ අවධානය මේ ගැන වඩාත් යොමුවිය යුතුය.
ReplyDelete💔..........
ReplyDeleteහරිම සංවේදී කතාවක්, සත්‍ය සිදුවීමක්ද?
ReplyDeleteනිර්මාණයක් පමණයි සහෝදරයා - මීට මාධව
Delete