එහෙන් මෙහෙන් ජන්ද කතා ඇහෙන්නේය. රට නැගිටන බවක් පෙනී ගියද තිරය පිටුපස කතාන්දරය ඇත්තේ ණය නොගෙවීම නිසා දැනට මෙහෙම ඉන්නා බවය. ණය අනුමත වීම හොඳ පැත්තට කතා කරනවා වාගේම නරක පැත්තද දැකිය යුතු වන්නේ නූපනුන් පවා ණයකාරයින් වීම නිසාය.
මේ පුණ්‍ය භූමියේ උපන්නේ පිනටද පවටද? මාධව හිතන්නේය.....
ඒ අවු අස්සේ, ජන්ද කතා ගොඩ ගැහීම අස්සේ, කථානායක විශ්වාසභංගය බංග වී ගියේ වැඩි ජන්ද බර ගාණකින්ය. ඒ කෙසේ වෙතත් මහජනතාවගේ විශ්වාසය නං ඇත්තේ කෙතැනද යන්න අවබෝධය ලබා ගත හැක්කේ කථානායක මුහුණුපොතේ කොමෙන්ටු අතර සැරිසැරීමෙන් යැයි කීමට මාධව පැකිලෙන්නේ නැත.
අරගලය නිසා මුලු ගැහී වෙවුලමින් උන්නු එව්වෝ දැන් ඉන්නේ මහමැතිවරණයද ජනාධිපතිවරණයද කියමින් වාදයක පැටලිලාය. මහජනතාව නම් ඉන්නේ තමන්ගේ අවුල් වියවුල් වූ ජීවිතය කෙසේ ගැටගසාගන්නේය යන උහතෝකෝටික ප්‍රශ්න කන්දරාවේ ගිලී ගිලිලාය.
ඒ අස්සේ පාස්කු බෝම්බය ආයෙම ඇදලා ගත්තේ නිකං කාලා කට පියාගෙන ඉන්න බැරි හිටපු ජනපතිතුමාය. උන්නැහේගේ කාලයේ බුද්ධි අංශ ලබා දුන් ලියුම් අතේ තියාගෙන "පුපුරනකං" ඉඳපු උන්, දැන් ඒ අමන කටයුත්ත සිදු කලේ "කවුද" කියලා දන්නවා යැයි කීම මාර විහිලුවක් ය.
"ගහනවා කියලා දන්නවා මෙහෙම ගහයි කියලා හිතුවෙ නැහැ" කියපු නිලධාරීන් ඉඳපු එකල රජයක ප්‍රධානියා, "තාත්තා යන්න එපා" කිව්ව නිසා පල්ලි නොගිය ඇමතිවරු උන්නු එකල තිබූ රජයක ප්‍රධානියා දැන් සියල්ල දන්නා බව කීම අනේ මංදා ය......
මේ රටේ මිනිස්සු හැමදාම ක්ෂණික ආතල් වලට කැමතිය. පරණ ලොක්කා මං දන්නවා කී සැනින් "ඒ ගැන සොයා බලන්න" යැයි පොලිස්පතිට අණ ලැබී ඇති බවද වාර්තා විය. ඒ හෙවිලි ගැන දැන් මහජනතාව දන්නවාය. ඒත් මේ පොඩි සැප ටිකද ගොඩ යාමට ප්‍රමාණවත් වනු ඇත.
මාධව නං දැන් ඉත්තේරුවෙන්ම දන්නේ මේ සමාජයේ ආතල් නොකඩා තමන්ගේ මල්ල පුරෝගන්න කලාව ලංකාවේ දේශපාලනික සංස්කෘතිය හොඳින් කියවා ඇති බවය. එසේ හෙයින් මෙම පාස්කු කතාව සතියකින් යට යනු ඇත. අන්තිමට හිටපු ලොකු උන්නැහේට ඒක අමතකත් වෙනු ඇත. පරීක්ෂණ යට යනු ඇත. මහ බොරු කියන උන්ගේ තවත් බොරුවක් ලෙස මේක සමාජගත වනු ඇත. නිකම්ම මිනිස්සුන්ට අමතක වී යනු ඇත.
"අහිංසක" යනු මෝඩ කමට කියනා තවත් නමකි. එනයින් ලංකාවේ අහිංසක මිනිස්සු මේ උන්දලාව ආයෙමත් පාර්ලිමේන්තු යවනු ඇත. උන් හම්බ කරං කන විට අපේ උන්ට කැඳත් නැති රටක් ආයෙමත් ඇති වන්නේද නැද්ද කියලා සහතික කල හැක්කේ කාටද?
නීතිය සාධාරණව නොලැබෙන රටක අහිංසකයාවම තැලෙන රටක පීඩිතයා විසින්ම පීඩිතයාව තලන රටක නිලධාරීවාදය විසින් වින කටින රටක යුක්තිය ඉටු වන්නේ කෙසේද යන ප්‍රභල ප්‍රශ්නය නිතරම මාධවගේ හිතේ නැගෙන්නේය..
බලවතාගේ බලයට යට වී උන්ගේ ඉඳුල් කන්ට සිදුවී ඉන්නා පුරවැසියන් බෝම්බයට හසු වී තුවාල කුණු වී ඔජස් ගලන විටද, වසර ගණනාවක් ගතවූ පසුද යුක්තියද නොලැබී තවත් එක එකාගේ තනතුරු තන්හාවට, ජන්ද බලයේ ලෝභකම නිසාම "කටගැස්මකට" ලක් වන්නට සිදු වීම කෙතරම් අසාධාරණද?
හෙතෙම ප්‍රසිද්ධියේ කී පරිදි "අපරාධකරුවන්" පිලිබඳව කරුණු දැන ඉන්නේ නම් ඒ පිලිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර හෝ අදාල තොරතුරු අප රටේ දක්ෂ පොලීසියට ලබා දී වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනැවිත් සිදු වූ මහා අපරාධයට ගොදුරු වූ වින්දිතයින්, මලවුන්, තුවාල ලද්දවුන්, වැන්දඹුවන් ඇතුලු පිරිසට සාධාරණයක් ඉටු කල යුතු නොවන්නේද?
කොහොම උනත් මාධව මේ කෙටි ලිපිය ලියා අදහස් කරන්නේ සාධාරණය කියන දේ කවදාවත් මේ පාස්කු වින්දිතයින්ට හිමි නොවනා බව ය.
රටේ පවුල් දෙසිය විසිපහක් හා ඒ පවුල්වල ආශ්‍රිත පවුල් ඇරෙන්නට අනික් හැමෝම අසාධාරණයට ලක්වූවන් ය. ඒ අයටත් ඔය සංසිද්ධියම තමා ය.
ReplyDeleteකණගාටුදායකයි සහෝදරයා
Delete