බැටරිය බැස්සාම වෙන හදිය..........

 

පරිගණකයේ මවු පුවරුව මත කුඩා බැටරියක් ස්ථානපනය කර ඇත්තේ කැසිල්ලට නොවේය. ඒක ඉතා වැදගත් කාරණා රැසක බල සැපයුම ලෙස ස්ථාපනය කර ඇත. ඉතා නවීන පරිගණක වල පවා මේ පහසුකම තවමත් පවත්වාගෙන යන්නේ එහි වැදගත්කම නිසාමය

මාධව අද කියන්නේ පරිගණකයේ  CMOS බැටරිය ගැන තතු බිඳක් ය.

what is CMOS ?

CMOS යනු කෙටි කරන ලද Complementary Metal-Oxide-Semiconductor දිගු යෙදුමයි. 

මෙම CMOS චිපය පරිගණකයේ මවු පුවරුවේ ස්ථාපනය කර ඇති අතර එයට අඛණ්ඩ බල සැපයුමක් අවශ්‍ය වේ. වෝල්ට් 3 ක පමණ විදුලියක් අවශ්‍ය වන මෙම චිපයට පරිගණකයේ ප්‍රධාන බලය සැපයීම නොමැති විටද විදුලිය අවශ්‍ය වන බැවින්  ඉහතින් සඳහන් කල CMOS බැටරිය භාවිතා කොට එම චිපයට විදුලිය ලබා දේ.

CMOS Full Form - javatpoint
CMOS බැටරියක රූපය 

මෙම CMOS බැටරියේ වෝල්ටීයතාවය වෝල්ට් 3කි. CMOS චිපය මගින් පරිගණකයේ වේලාව දිනය, දෘඩාංග සැකසුම්, දෘඩ තැටි හා වෙනත් ධාවක තොරතුරු ආදිය ගබඩා කොට තබා ගනී. පරිගණකය SHUTDOWN කල ද මෙම CMOS බැටරියේ බලයෙන් පරිගණකයේ මෙම CMOS චිපය තුල ඉහත කී කාරණා ගබඩා කොට පවතී.

මෙම බැටරිය ආරෝපණය වන බැටරියක් නොවේ. පරිගණකයට විදුලිය ලබා දුන්නද මෙම බැටරිය ආරෝපණය නොවේ. කාලයත් සමඟ සාමාන්‍ය ඔරලෝසු බැටරියක් සේම මෙයද බලය අඩුවී මිය යනු ලබයි (Dead Battery). 

එවිට පරිගණක තුල විවිද දෝශ මතු වේ. නව බැටරියක් යෙදීම තුලින් මෙම තත්වය නිසා පරිගණකය තුල ඇති වන දෝශ ගණනාවක් නිරාකරණය කර ගැනීම කල හැකිය.

එසේ බැටරිය මිය යමින් පවතින හෝ මියගොස් ඇති බව හඟවන ලකුණු පරිගණකයේ විවිධ ආකාරයට දැකගත හැකිය. ඒවායින් ප්‍රධානම වූ කරුණු කීපයක් පහතින් සඳහන් කර ඇත.

බැටරිය මිය යමින් පවතින හෝ මියගොස් ඇති බව හඟවන ලකුණු

  • පරිගණකයේ දිනය වේලාව නිතරම වෙනස් වීම.
  • පරිගණකය පණ ගැන්වීමේදී CMOS Error, F1 තෙරපීමෙන් ඉදිරියට යන්න ආදී පණිවුඩ කලු තිරයක දිස් වීම.
  • පරිගණකය පණ ගැන්වීමේදී අඛණ්ඩ බීප් හඩක් පැමිණීම (එය සැම පරිගණකයකම සිදු නොවේ.)
  • ධාවක අනුපිලිවෙල අවුල්වීම නිසා පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වීමට කල් ගත වීම හෝ ප්‍රවේශ නොවීම.
  • අන්තර්ජාලයට පිවිසීමට නොහැකි වීම.
  • පරිගණකය ඉබේ පණ ගැන්වීම හෝ Restart වීම
  • ඇතැම් පරිගණක මෙම බැටරිය බැස ඇති විට power ON නොවීම

බොහෝ විට ඔබේ පරිගණකයට සම්බන්ධ කර ඇති මුද්‍රණ යන්ත්‍ර හා පරිගණකය අතර ඇති සම්බන්ධය ද මෙම බැටරියේ දුර්වලතා නිසා බිඳ වැටේ. ඒ නිසා මුද්‍රණ කටයුතු අඩාල වීම ද මෙහි ලක්ෂණයකි.

ඇතැම් විට බාහිරින් සම්බන්ධ වෙනත් උපාංග - Bluetooth ඇඩැප්ටර, Scanner උපකරණ ආදියද නිසි පරිදි ක්‍රියා නොකිරීමද මෙම CMOS බැටරිය මිය ගොස් ඇති බවට ලකුණු ලෙස සැලකේ.

දෝශය නිරාකරණය කර ගැනීමේ පිලිවෙල - 

  • පළමුව ඔබ විසින් මෙම CMOS බැටරියක් මිලදී ගත යුතු වන්නේය. වර්තමානයේ එක් බැටරියක් රු 150 ක් පමණ වනු ඇත. 

  • පණ ගැන්වී ඇති පරිගණකය නිවා දැමිම සිදු කරන්න

  • පරිගණකයේ ප්‍රධාන බලසැපයුම විසන්දි කරන්න (Power Connection). මොනිටරය ඇතුලු බාහිරින් සම්බන්ධව ඇති සියලූම උපාංග විසන්දි කරන්න.

  • පරිගණකයේ පද්ධති ඒකකවේ ආවරණය හෝ පැති වැස්ම (Side ඉවත් කර මවු පුවරුවේ අදාල CMOS බැටරිය ඇති තැන සොයා ගන්න.

  • ඉන් පසු ඇඟිලි ආධාරයෙන් හෝ ටුවිසරයක් ආධාරයෙන් ප්‍රවේසමින් මව් පුවරුවට සම්බන්ධ බැටරිය ගලවා ඉවත් කරන්න. ඇතැම් මවු පුවරු වල මෙම බැටරිය පාස්සා ඇති බැවින් එවිට පලපුරුදු තාක්ෂණවේදියෙකුගේ සහය ඔබට අවැසි වනු ඇත.

  • එසේ ගැලවූ බැටරිය multi meter ආධාරයෙක් පරීක්ෂා කර බලන්න. (Multi meter හි පාඨාංකය 3.0V ලෙස පෙන්වයි නම් බැටරිය දෝශ රහිත බව සැලකිල්ලට ගන්න)

  • බැටරියේ පාඨාංකය 3.0 ට වඩා අඩුවෙන් පෙන්වන්නේ නම් නව බැටරියක් යෙදිය යුතු බව පැහැදිලි වේ.

  • මිලදී ගත් නව බැටරිය ද  multi meter ආධාරයෙක් පරීක්ෂා කර බලන්න. එහි පාඨාංක 3.0 V ලෙස පෙන්වනු ඇත.

  • නව බැටරිය + හා - අග්‍ර වලට අනුව නිසි පැත්තට සවි කරගන්න. එය බැටරි සොකට්ටුවට නිසි පරිදි සවි වී ඇත් නම් දැන් පරිගණක වැස්ම සවි කර බාහිර උපාංග පෙර තිබූ පරිදි සකසා බල සැපයුම සම්බන්ධ කරන්න

  • පරිගණකය පණ ගන්වන්න.

  • පළමු වරට නව බැටරිය භාවිතා වන නිසා BIOS වෙතට පිවිස මූලික සැකසුම් යලි සිදු කරන්න.ඒ පිලිබඳව දැනුමක් නොමැත්තේ නම් තාක්ෂණවේදී සහය ලබා ගන්න. නිසි පරිදි  CMOS සැකසුම් සිදු කර ඇති විට පරිගණකය දෝශ රහිතව ක්‍රියාත්මක වනු ඇත. 

CMOS ගැන ලිපිය මෙතනින් අවසන්ය. ඉදිරියේදී CMOS සැකසුම් සිදු කිරීම ගැන කතාවක් කියන්නට බලාපොරාත්තු වන්නේය.

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. බැටරිය ගැන දැනගෙන හිටියත් එය නොසලකා හැරීමෙන් වන හාකි ගැන දැනගෙන හිටියේ නෑ. වටිනා ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔව්! මාධව උනත් සැහෙන දේවල් දැනගත්තෙ තමන්ටම බඩු පත්තූ උන දවසක.. බැටරිය නිකං එන කැබැල්ලක් පමණක්ම නොවන බව

      Delete
Previous Post Next Post

Contact Form