හරිත වර්ණ

 

නවාතැන් කාමරයේ අඳුරේ  හරිත වර්ණිත ජිල් බෝල දෙකක් බබලමින් පොලවට ඉහලින් කස්තුරි දිහාටම එල්ල වෙලා තිබුනා. තප්පර ගාණකට සැරයක් හෙමින් ඒ ජිල් බෝල අඳුරු වෙලා ගිහින් ආයෙම ආලෝකමත් උනා. කොලම කොල පාට විීදුරු ජිල් බෝල. පණ ගැහෙන ජිල් බෝල. ඒ මේ අත පාවෙන අඟල් භායගක්වත් නැතිව පරතරය ඇතිව එකට පාවෙන්නාක් සේ පේන ජිල් බෝල යුගලයක්. ටිකකින් එහෙට මෙහෙට පනින, එකේක දේවල් පෙරලෙන සද්ද එක්ක ඒ ජිල් බෝල දෙක කාමරය ඇතුලේ අඳුරේ ඔබ මොබ සැරි සරනු කස්තුරිට පෙනුනා. ටික වේලාවකින් ආයෙහෙම ඒ කොල පාට ජිල්බෝල දෙක එක එල්ලේම කස්තුරි දිහාවටම එල්ල වෙලා නතර උනා.කොල පාට වීදුරු වගේ දිලිසෙන පොලවට සමාන්තරව මිනිත්තු කීපයක් ඔහු දිහාවට එල්ල වෙලා තිබුනු  ජිල් බෝල යුගලය සෙමින් සෙමින් ඇල වෙලා පොලවට ලම්භකව දිලිසෙමින් තිබිලා මද වේලාවකින් නිවී ගිහින් මුලු කාමරයම අඳුරු උනා. කස්තුරි විතරක් අවදියෙන් දෑස් දල්වා මේ හොල්මන කොයි ගියා දැයි හිතාගන්නට නොහැකිව බලාන ඉන්නවා.

--------------------------------------------------------------------------------------------

කස්තුරි අලෙවි විධායකයෙක්.  රට වටේම යන්න වෙන ඔහුට සමහර දාට රෑ වෙද්දිවත් ගෙදර එන්න බැරි නිසා විවිධ තැන් වල නතර වෙනවා. එදා කස්තුරිට යන්න උනේ ඌව පලාතේ කෙලෝරකට. බදුල්ලෙන් හැරිල දුෂ්කර පැත්තකට යන්න තිබුනෙ. හරිම අලංකාර පැත්තක්. දුෂ්කරබවට හරියන්න අපූරු අලංකාර පරිසරයක් නං පිහිටලා තිබුනා. අවට පරිසරයනේ මන්මත් වෙනා උන්නු කස්තුරි අලෙවි විධායකවරයාට රාජකාරියට එහා ගිය විනෝද ගමනක් කියලත් වෙලාවකට හිතුනා.

එදා රෑට නතර වෙන්න කියලා සූදානම් උන තැන යාලුවෙක් හොයලා දුන්නේ. එතනට පිවිසුනු ඔහුට කවදාවත් නැතිව නතර වෙන්න තිබුනු තැන කස්තුරිට ඇල්ලුවේ නෑ.

යාලු මිත්‍රයාගේ “කෑම එක්ක අඩු ගානට ඉන්න පංකාදු පහයි. අයිතිකරුත් හොඳයි“  කියලා රෙකමදාරු කොරල තිබුනු “ රණබාහු ගෙස්ට් “ එකේ මිදුලෙ ඉන්න කස්තුරිට පෙනුනෙ පරණ ගරා වැටුන වලව් පන්නයේ ගෙයක් මිසක් ඔහු බලාපොරාත්තු උන ජාතියේ ලස්සන මල් වවපු වත්තක් තියන නවීන පන්නයට වැඩ දාපු ගෙස්ට් හවුස් එකක් නොහොත් ලැඟුම් හලක් නම් නෙමෙයි. අඳුරුයි. ගුප්තයි. පරණ ගෙයක්. වායු සමීකරණයක්වත් නැතිව ඇති නේ කියලා හිතුන දැක්ක ගමන්ම. ඒත් යාලුවා කිව්වෙ නම් අපූරු නවාතැනක් කියලා.

කෝම වෙතත් එක රැයයිනේ කියලා හිතුනු කස්තුරි ගෙදරට ගිහින් සීනුව නාද කලාම වයසක පහේ මනුස්සයෙක් හෙමින් හෙමින් ඇවිල්ල ඇහුවා. 

ඇයි? 

කිසිම ගරුසරුවක් නැතුව අහපු ඒ අකුරු දෙකේ වචනය ඇහුනු ටයි එකකුත් පැලඳ පිලිවෙලට උන්නු අලෙවි විධායකයා කස්තුරිට ආපහු හැරෙන්න හිතුනා. ඒත් වෙහෙසයි. කෑමත් එක්කම බොහොම අඩු ගාණකට මෙතන නතර වෙන්න පුලුවන් නිසා මුදල් වල වටිනාමක දන්න කස්තුරිට මෙතනින් හැරෙන්නත් ලෝභ හිතුනා. මේ අමාරු කාලේ හැම රුපියලම වටිනවා.

අද රෑට නතර වෙන්න!

කස්තුරිගෙ උත්තරය උනේ ඒක.

ආන්න එතකොට අර හීන්දෑරි මනුස්සයට හීන් හිනාවක් ආවා. 

මහත්තයා වෙන්නැති අර යකඩ බඩු කඩේ මුදලාලි මහත්තැන් කිව්ව කොළඹ මහත්තයා ඒම කියලා උත්තරයක් බලාපොරාත්තු නොවීම “එන්න මහත්තයා“ කියමින් වයසක ඇත්තෝ ගේ ඇතුලට ගියා. හැඳුනුම්පත් ඉල්ලීම්, ඇඩ්වාන්ස් මොකුත් නෑ කෙලින්ම පොඩි පහේ කාමරයකට මඟ පෙන්නලා වයසක ඇත්තෝ අඳුරු ගේ ඇතුලෙ වාෂ්ප උනා වගේ අතුරුදන් වෙලා.

කාමරේ ඇතුලට එබුන කස්තුරි දැක්කෙ තමන් දැකපු ලස්සනම නිසංසලම කාමරය මේකයි කියලා හිතුනා. ටයිල් කරපු කාමරයේ දොර කෙලින්ම ඉස්සර තියෙන්නෙ පැරණි ජනේලයක්. ඒ උඩින් වායු සමීකරණ යන්ත්‍රයක් පවා තිබුනා. බලාපොරොත්තු නොවුනු විදියට. අපූරු පැරණි තාලේ ඇඳක් කාමරේ මැද. සුදු ඇඳ ඇතිරිලි එලලා. ඇඳේ වියන සහ මදුරු දැලත් සුදු පාටයි. ඇඳ පාමුල පොඩි පාපිස්සක් තිබුනා. කාමරයේ තිබුන දොර යාබද නාන කාමරයට වෙන්නැති. මේසයක් සහ රෙදි රාක්කයක් තිබුනා. ජනේල වහලා තිබුනට වීදුරුවෙන් අවට පෙනුනා. විදුලි බල්බය නැතත් සිවිලිමේ තියන වීදුරු කැබැල්ලෙන් ආලෝකය පෙරී ආවා. ඒ ආලෝකය ඇඳ මතත් කාමරයේ දොර පැත්තටත් විසිරිලා තිබුනා. පුංචි පතොක් ගහක් මේසය මත තිබුනේ නිසංසල බව වැඩි කරන්නටමයි කියලා කස්තුරිය හිතුනම කලින් දැනුන අප්‍රසන්න බව පහවෙමින් තිබුනා. නිවුනු සිතින් යුතුව කාමරයට ගිහින් බෑගය මේසය මත තියලා ආපහු දොර දෙසට හැරෙද්දි ඔහු තිගැස්සුනා.

බන්දේසියක තේ පෝච්චියක්, කෝප්පයක් සහ බිස්කට් ඇබින්දක් තියාන දත් නැති කටකින් හිනාවෙලා ඉන්න වයසක ගෑනු කෙනෙක් ඔහු ළගම හිටගෙන උන්නා. ඇගේ හිසට සහ මුහුණේ පැත්තකට අර වීදුරු කෑල්ලෙන් පෙරී ආ ආලෝකය වැටිලා අද්භූත විදියට ඈව පෙනුනා. හරිම අද්භූත විදියට!

---------------------------------------------------------------------

පෝච්චියෙන් කෝප්පයට දමා ගත් තේ කෝප්පය මුවග ගැටෙන්නටත් පෙරම නාසයට දැනුනු සුවඳින් කිරි ඇබින්ද හරිම රසවත් බව ඔහුට දැනුනා. කෝප්පය තොල ගෑ ඔහු එය ආපසු මේසය මත තියලා ඇඳේ ඉඳ ගත්තා.  හයියෙන් වැසි වැටෙනවා ඔහුට ඇහුනා. ඔහු මඳකට නෙත් පියාගෙන සැහැල්ලු උනා. 

කැඩපත ඉදිරියේ සිටගන්න
සියලු වස්ත්‍ර උනා දමා නිරුවත් වෙන්න
දැන් හිතන්න
මේ නිරුවත් පපුව ඇතුලේ ගැහෙන හෘදයට දැනෙන
සිතුවිලි ගැන.

ගෑනු කඩහඩකින් කාමරයේ උන් කස්තුරිට එහෙම කිව්වම ඔහු නැගිටලා ගිහින් ඒක කලා නෙව. තේ පෝච්චියෙන්  පිටවෙන් දුම් ටික ගිහින් වාෂ්ප වගේ කණ්ණාඩියේ බැඳිලා තිබුනා සුදු පාටින්. අතින් කණ්ණාඩිය පිහදාපු ඔහු අතින් ටයි ගැටේ බුරුල් කලා. එකින් එක ඇඳුම් ගැලවී බිමට වැටුනා. පාලු නිවසේ කණ්ණාඩියක් ඉදිරිපිට ඔහු අමු නිරුවතින්.

ආදරය කරනවා කියලා තමුසෙ හැම තිස්සෙම පාරම් බෑවට තමුසෙට ඕනි මගේ ශරීරෙ ඉස්ම බොන්න මිසක් මං ගැන කෙහෙම්මලක ආදරයක් තවුසෙ ගාව නෑ කස්තුරියෝ. 

ආයෙම කොහෙන්දෝ ඇහෙනවා. කවුරුත් නැතත් ඇහෙන්නෙ බෙල්ල පිටිපස්සෙන්.

තමුසෙ ගාව තියෙන්නෙ සල්ලාලකම. පෙරේතකම.
ඈ එහෙම කියලා කස්තුරිට හිනා වෙනවා. කැත විදියට.


උඹේ පෙරේත කම සංසිදෙන්න නම් ගෑනු දාහක් ගෙනාවත් මදි. ගිය සතියෙත් උඹ ඔෆීස් එකේදි අර මල්කාන්තිගෙ පස්ස දිහා කන්ඩ වගේ බලන් ඉන්නවා මම දැක්ක. කටත් ඇරගෙන.

ඒ ඇත්ති එහෙම අපහාස කරද්දිත් කස්තුරි නිනව් නැතුව කණ්නාඩියෙන් පේන තමන්ගෙ නිරුවත් පපුමේ රෝම අතගාමින් කණ්ණාඩිය දිහා බලාන කල්පනා කරනවා.

මොන මගුලක් කියනවද මේ ගෑනි. කවුද කොහෙන්ද ඇහෙන්නෙ මේ කටහඩ?
කෙහෙම්මල් පෙරේතකමක් ගැන කතා කරන්නෙ. මට ඇති ගෑනු පෙරේත කමක් නෑ.

කස්තුරි හිතනවා.

එකපාරටම කස්තුරි ගේ ජායාව කණ්ණාඩියෙන් මැවිලා ගිහින් මුහුණ ගෝණි කැබැල්ලකින් වහගත්තු ගෑනු කෙනෙක් මතුවෙනවා. ඈ කණ්ණාඩියෙන් එලියට පනිද්දි කස්තුරිව විසි වෙලා ගිහින් ඇඳට වැටෙනවා. ඒ සිරි යහනේ පතබෑවිලා ඉන්න ඔහු ලඟට ඈ පාවෙලා ඇවිල්ලා මහ හඬින් හිනා වෙනව. ඒ හිනාව බිත්ති වල  වැදිල දෝංකාර දෙනව. ඉන් පස්සෙ කස්තුරිව ඇඳේ පෙරලගත්තු ඈ ඔහුගේ හුස්ම හිර වෙනකම්ම පපුව මැද්දෑවට ඔහුගේ විඩාපත් මූනත් තහඩුව හිරකරගන්නව.

ඔහුට මතක ඒ මොහොත ගැන එච්චරමයි. ආයෙම දඟලලා කරලා  නැගිටින්න හැදුවට හෙලවෙන්න විදියක් නෑ.

කස්තුරිගේ ඇඳුම් වෙනස් වෙලා. සුදු ඇඳුම් ඇදලා. ඔහු ඈව පෙරලාගෙන නැගිටින්න හැදුවට ඔහුට  හෙලවෙන්නවත් බෑ. ඒ අතරේ ඇය නැගිටලා ගිහින් කස්තුරි බීලා ඉතුරු කරපු කිරි ටික තියන කෝප්පය අතට අරන් වෛරය පිරි දෑසින් කුඩු වෙන්නම පොලේ ගැහුවා. මහ හඩ නගමින් කෝප්පය බිඳිලා ගියා.
--------------------------------------------------------------------

කෝප්පය මහ හඩින් බිඳෙනකොටම ඔහු අවදි උනා. පාලු ගෙදර අදුරේ ඇඳ මත ඇඳ ආ ඇඳුම් පිටින්ම ඔහුට මද නින්දක් ගොහින් තිබුනා. තේ පෝච්චිය පෙරලිලා. අඳුර වැටිලා කාමරයම අඳුරුයි. කොල පාට බෝල දෙකක් ඔහු දිහා බලං ඉඳලා කාමරේ දොර දිහාවෙන් අතුරුදහන් උනා වගේ ලාවට දැක්කා. හොඳට ඇස් පිහදාලා බලද්දි තේ කෝප්පයේ කෑලි හැමතැනම බිම. ශබ්දයට දුවං ආපු වයසක ඇත්තෝ හීන් හිනාව පෑවා.

ආ කමක් නෑ මහත්තයෝ! ඔහු ඒම කියලා ගිහිං කුණු ඇහිඳින තැටිය ගෙනැල්ලා කුණු ටික එක්කාසු කරලා පිලිවෙලට කාමරයේ බිම ආයෙම මොප් කලා. “රෑ කෑම 8.00 ට මහත්තය“ කියාගෙනම සැනින් අතුරුදන් උනා. සිහිනයෙන් වූවත් කෝප්පය බිඳුනු හැටි හිතාගන්න නොහැකි විවාහක දරු දෙන්නෙක් ඉන්නා කස්තුරිට තමන්ගේ බිරිඳත්, කාර්යාලයේ තමන්ටත් වඩා වැඩිමාලු, ඒත් තරුණ ජවයෙ තවමත් පිළිඹිබු වෙන ලස්සන මල්කාන්තිවත් මැඩම්වත් මතක් උනා. බිරිඳට වඩා ගිණි කිකිළියක් නේනං. ඒත් මේ සිහිනෙන් ආව මූණ ගෝණි කෑල්ලක ඔබා ගත්තු ගෑනි තමන්ගෙ ගෑනිමද කියලා ඔහුට කොච්චර හිතුවත් මතක් කර ගන්න බැරි උනා.

දරු දෙන්නා ලැබුනායින් පස්සෙ ඇත්තටම ඔවුන්ගේ පවුල් ජීවිතේ අවුල් උනාද කියලත් හිතුනා. රට වටේ යන තමන් කවදාවත් තමන්ගෙ නෝනාව එක්කන් නොගිය බවත් ඈ දරුවන්ටම කොටු වෙලා නේද කියලත් ඔහුට හිතුනා. ඇගේ සුන්දර ලාලිත්‍ය රස විඳින්නවත් ඇයට සතුට දෙන්නවත් කස්තුරිට කාලයක් නොතිබුනු බව කල්පනා උනා.කොච්චර සල්ලි හෙව්වත් කාලෙකින් ඇයට තෑග්ගක්වත් දෙන්න නොහැකි වූ හැටි. හම ගැහුණු ඒප්‍රණයක් ඇඳන් ඇය කුස්සියේ නහින හැටි ඔහුට මතක් උනා.

ඇඳෙන් බැස්ස ඔහු සිහිනයත් නිර්මලාවත් මොහොතකට අමතක කරලා නාන කාමරයට වැදුනා. නා කියාගෙන එද්දි රෑ කෑම ගන්න වේලාව ලං වෙලා.

..........................................................................

මහ වැසි මැද විසන්දි වී තිබුනු විදුලි බලය මුළු ගෙදරම අඳුරු කරලා. තැන් තැන් වල ඇලවුනු ඉටිපන්දම් වල එලියෙන් ආලෝමත් වූ පරණ තාලේ කෑම මේසයක ඉහල පස ගෘහ මූලිකයා අසුන් අරන් උන්නා. මේසයේ වම් පස අර දත් නැති ඒත් හිනාවෙන්ම මුව පිරුණු වියපත් ඇත්ති. ඇයට මුහුණලා  දකුණු පසින් උන්නේ කස්තුරි. ඉතා සරල ඒත් රසවත් බව පේන කෑම වේල කස්තුරිට හොඳට අල්ලලා ගියා. නිහඩව ගෙවුනු කෑම මේසයෙන් ඔහු නැගිට්ටේ තෘප්තිමත් හැඟුමෙන්. විශේෂයෙන් වැව් කරවල බැදුම පුදුම රසක්. ඔහු ඇත්තටම ඒ බව ඇයට ප්‍රකාශ කලා.

හෙට උදෑසනම කොළඹ යා යුතු නිසා ඉක්මණින් නින්දට යන්නට සිතුනත් මේ ගෙදර පරිසරය ඔහුට අමුතුවට දැනුනා. විදුලිය නැති ගෙදර හරිම පාලුයි. වියපත් දෙන්නෙක් උන්නට කිසිම සද්දයක් නෑ. පිරිත් හඩක්වත් නෑ. ඇඳට ඇවිල්ලා පොරෝනය හදාගෙන හරි බරි ගැහිලා හෙමින් හෙමින් නින්දට ලං වෙද්දී ඔහුට ඒක එකසැරේට පෙනුනා. 

දෙයියනේ පාවෙල ජිල් බෝල දෙකක්!

නවාතැන් කාමරයේ අඳුරේ  හරිත වර්ණිත ජිල් බෝල දෙකක් බබලමින් පොලවට ඉහලින් කස්තුරි දිහාටම එල්ල වෙලා තිබුනා. තප්පර ගාණකට සැරයක් හෙමින් ඒ ජිල් බෝල අඳුරු වෙලා ගිහින් ආයෙම ආලෝකමත් උනා. කොලම කොල පාට විීදුරු ජිල් බෝල. පණ ගැහෙන ජිල් බෝල. ඒ මේ අත පාවෙන අඟල් භායගක්වත් නැතිව පරතරය ඇතිව එකට පාවෙන්නාක් සේ පේන ජිල් බෝල යුගලයක්. ටිකකින් එහෙට මෙහෙට පනින, එකේක දේවල් පෙරලෙන සද්ද එක්ක ඒ ජිල් බෝල දෙක කාමරය ඇතුලේ අඳුරේ ඔබ මොබ සැරි සරනු කස්තුරිට පෙනුනා. ටික වේලාවකින් ආයෙහෙම ඒ කොල පාට ජිල්බෝල දෙක එක එල්ලේම කස්තුරි දිහාවටම එල්ල වෙලා නතර උනා.කොල පාට වීදුරු වගේ දිලිසෙන පොලවට සමාන්තරව මිනිත්තු කීපයක් ඔහු දිහාවට එල්ල වෙලා තිබුනු  ජිල් බෝල යුගලය සෙමින් සෙමින් ඇල වෙලා පොලවට ලම්භකව දිලිසෙමින් තිබිලා මද වේලාවකින් නිවී ගිහින් මුලු කාමරයම අඳුරු උනා. කස්තුරි විතරක් අවදියෙන් දෑස් දල්වා මේ හොල්මන කොයි ගියා දැයි හිතාගන්නට නොහැකිව බලාන ඉන්නවා.

නොසිතූ ලෙස දුටු මේ දසුනින් කලබල වූ ඔහු ඇදේ ඉඳ ගත්තා. ඒ පාර කාමරයම නිහඩයි. කිසිම සද්දයක් නෑ. ටික වේලාවක් එසේ බලා උන් කස්තුරි තමංගේ ජංගම දුරකථන අතට ගත්තේ විදුලි ආලෝකය දල්වා ගන්නට. අවාසනාවට ඒක පණ ගිහිං. බැටැරිය බැහැලා ගිහිං. අගුලු නොදපපු දොර මලකඩ හඩ නගමින් දෙපසට පැද්දෙන්නේ හුලඟ දැඩි නිසා. අද්භූත දේවල් සිද්ධ වෙන්නෙ කියලා නොහිතුනාම නෙමෙයි. ගෙදරට ආව වෙලේ ඉඳන්ම අමුතු දේවල්.

කලිං කිරි ටික සේරම කවුදෝ බීල කෝප්පෙ පොලේ ගහලා....

දැන් මහ රෑ කොල පාට එලි.....

ටිකක් වෙලා බලන් උන්නු ඔහුට ආයේ කිසිවක් පෙනුනේ නෑ. ඉතිං වෙහෙසින් උන්නු කස්තුරි මේ සියල්ල අමතක කරල ඇඳට වැටුනා. ගැඹුරු නින්ද ඔහු සොයා ආවේ තත්පරයක්වත් නොගිහින්.

වැසි හඩ ලාවට ඇහෙන කාමරයේ මහ රෑ සිය දෙපා ළගින් අපූරු උණුසුමක් දැනුනා. ඔහු හෙමීට හිස ඔසවලා බැලුවා. ආන්න  එතකොටම අර කිව්ව කොලපාට ජිල්බෝල දෙකත් ඔහුගේ දෙපා මුල පාවෙනවා. අඳුරේ නලියන කොල පාට ඇස්.

එක්වරම වැස්ස තුරුල් වී ආකහේ පිරිසිදු වෙලා සඳ එලියක් මතු වෙලා සිවිලිමේ වීදුරුවෙන් ආලෝකය ගලා විත් කස්තුරිගේ දෙපා මුල ඒ ජිල් බෝල මත්තේ පතිත උනා.

---------------------------------------------------------------------------------------------

රෑ වෙලා එලියේ ඈත පාර බලාගෙන ඉන්න මහත පෙනුමැති ගැහැණියට පිටුපසින් බිඳෙන් බිඳ බිත්ති ඉස්සෙන තවමත් ඉදිවෙමින් පවතින ගෙදර කුස්සියේ දුම් කවුලුවෙන් දුම් දමන බව පෙනෙන්නට තිබුනා. වැස්සට හාපු කුඹුරක් වාගේ වෙලා තිවුන මඩ පාර කලතමින් සෙමෙන් සෙමෙන් පැමිණි පුංචි ඇල්ටෝ රථය නිවසේ සම්පූර්ණයෙන් ඉදි නොවුනු පෝටිකෝවේ නතර උනා. වාහනේ සද්දෙට පුංචි දරුවන් දෙදෙනෙක් සෙමෙන් සෙමෙන් ඇවිදින් ඒ කාන්තාව දෙපසින් සිට ගත්තා. වාහනයෙන් බැස්ස මැදි වයසට ලං වෙමින් උන්නු පුද්ගලයා රියදුරුට ප්‍රතිවිරුද්ධ පැත්තේ දොරටුව විවෘත කර පුංචි කාඩ්බෝඩ් පෙට්ටියක් දෑතින්ම අරන් ඇවිල්ලා ඈට දුන්නා.

සතුටු සිනාවකිනුත්, විස්මයෙනුත් ඇගේ මුහුණේ හැඟුම් ඇලලී යද්දී පෙට්ටියෙන් ඉවතට ඔලුව දැමූ කොල පාට ලොකු දීප්තිමත් ඇස් ඇති පුංචි කාලවර්ණ බළල් පැටියා පරිසරයේ නිහඩ බව බිඳිමින් ඇයට කතා කලා.

ඥාව්!


10 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. Replies
    1. ස්තූතියි කුමුදු සහෝදරී! දිගටම මාධවගේ කතා එක්ක ඉන්න

      Delete
  2. Replies
    1. ස්තූතී සහෝදරයා! හැමදාම මෙහි එනවට!

      Delete
  3. Replies
    1. ස්තූතියි ඇනෝනිමස් සහෝදරයා!!

      Delete
  4. අද්භූත බවත් මනසත් අතර දෝලනය වෙන ගතිය නිසා කතාවට ආලෝකයක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතී ඒ කොමෙන්ටුවට මිත්‍රයා

      Delete
Previous Post Next Post

Contact Form