ඒකත් ප්‍රේමයක්




මම මඟුල් පෝරුව මත්තෙ හිටගෙන ඉන්නවා. අවුරුදු දහයක ප්‍රේමය උනු මගේ කඩවසම් සල්ලිකාර පෙම්වතා මට දකූණු පැත්තෙන් ආඩම්බරයෙන් ඉන්නවා. ඔව්. අද මගේ කසාදය කෙරෙන දවස. හැම කෙල්ලෙක්ම හීන දකින විදියෙ උත්කර්ෂවත් මඟුලක්.

මම හංසිනී.
අද මගේ ලස්සනම ලස්සන විවාහ මංගල්‍යය...........

මම දිනේශ් අයිය එක්ක යාලු උනේ අවුරුදු දහයකට කලින්. ඒ අපි පාසල් කාලෙදිමයි. එයා හරි දක්ශයි ඉගෙනගන්න. හුගක් සල්ලි තියන පවුලක එකම ලමයා. ව්‍යාපාර කීපයක්ම තිවුන. ඉන්ධන හල තමා ලොකුම ව්‍යාපාරය. ඒත් හරිම නිරහංකාර හොඳ කොල්ලෙක්. අලුතෙන් විදුහල්පති පත්වීමක් අරන් ඉස්කෝලෙට ආව අම්ම නිසා මෙහෙ ඉස්කෝලෙට ආව මං හා හා පුරා කියලා එයාව දැක්කෙ අන්තර් පාසල් ක්‍රිකට් මැච් එකේදි. ඉස්කෝලේ නම ඉස්සරහට ජයග්‍රාහක ලේබලය අලවන්න ක්‍රීඩා කරපු ඒ තරඟයේ වීරයාව අමතක නොවන විදියට මගේ හිතේ ඇඳුනා. එතකොට එයා ඒ ලෙවල්  මැත්ස් පන්තියේ. 

දිනේශ් අයියා කඩවසම් කොල්ලෙක්.කොහොම උනත් අපි ඉස්සෙල්ලම කතා කලේ ඉස්කෝලෙදි නම් නෙමෙයි. අපේ ආත්තම්ම වෙනුවෙන් වාර්ශිකව පවත්වන වැඩිහිටියන් සඳහා වූ දානමය පිංකම තිබ්බෙ අසපුව වැඩිහිටි නිවාසයේ. අපි එහෙ ගිහින් ඉද්දි එක පාරට පිටිපස්සෙන් හඬක් ඇහුන.

ඔයා අපේ ඉස්කෝලෙ ස්වර්ණා මැඩම්ගෙ දුව නේද නංගී?

මට වචන නැති උනා. මං හිතින් ආකර්ශනය උන කොල්ලා මෙන්න බොලේ මෙතන. මං කාගෙ කවුද කියලත් දන්නවා. මගේ නොයිඳුල් හිත දඟකාර සිතුවිලිවලින් පිරිලා ගියා. බිම බලාගෙන උන්නු මං එයාගෙ ප්‍රශ්න වලට සබකෝලෙන් දුන්න උත්තර ගොන්නකින් පස්සෙ දිනේශ් අයියා මාත් එක්ක දොඩමලු වෙන්න ගත්තෙ පරණ යාලුවෙක් වගේ. ඔහොම ඇරඹුන හිතවත්කම ඉස්කෝලෙ මං සාමාන්‍ය පෙල අවසන් වෙද්දි මාවත් පෙම්වතියක් කරලා ඉවරයි. ඒ වෙද්දි මගේ යාලුවො හැමෝටම පෙම්වතුන් උන්නා. දැන් ඉන්නවා මටත් කෙනෙක් ඇත්තටම මං එයාට ආදරේ කලා. විදුහල්පති අම්මගෙ නමේ මඩ නොගෑවෙන්න මං පරෙස්සමින් ආදරේ කලා. උසස් පෙලට මුහුණ දුන්නු දිනේශ් අයියා, ගණිත අංශයෙන් හොඳට ලකුණු අරන් පේරාදෙණිය සරසවියට තේරෙද්දි අපි එකිනෙකාව නොදැක ඉන්න බැරි තරම් ආදරේ වෙලා ඉවරයි. 

ඔව්.. ඒ මගේ දිනේශ්. මං හැමදාම එහෙම හිතුවා.

ඉස්කෝලෙන් පස්සෙ කැම්පස් යන්න ලකුණු මදි උන, පීඨෙට යන්න අකමැති උනු කලා පන්තියේ මම ටෙක්  එකට ගියේ කම්මැලිකමටමයි. දිනේශ් කැම්පස් එකේ ඉගෙනගන්න අතරේ මං ටෙක් එකට යන්න හිතුවෙ පරිගණක පංතියකින් කම්මැලි කම වහගන්න. සල්ලි තිවුන පවුලකට එකතු වෙන්න සේරම සූදානම් කරලා අහවරයි ඒ වෙද්දිත්. දැන් අවුරුදු පහක් නෙව. අපේ විදුහල්පති අම්මායි, බැංකු නිලධාරී තාත්තයි කිසි අකමැත්තක් නෑ කියලා වචනෙ දුන්නෙ දිනේශ් ඇවිල්ල ගෙදරින් අහපු දවසෙමයි. වෘත්තීය පුහුණුව පවුලේ ව්‍යාපාරික කටයුතු වලටත් අවශ්‍ය වෙයිනේ කියලා හිතාන මං ටෙක් එකට ගියා. දිනේශුත් මට අනුබල දුන්නා මිසක් මාව නැවැත්තුවේ නෑ. 

දිනේශ්ගෙයි මගෙයි දෙන්නගෙම අදහස තව අවුරුදු කිපෙකින් කසාද බැඳල පිටරටකට ගිහින් තව ස්ථාවරය හදාගෙන ලංකාවෙ ව්‍යාපාරය දියුණු කරගන්න. අපේ පවුල් දෙකේම ආශිර්වාදය අපිට ලැබුන හින්දා ඒ හැටි ගැටලු නෑ.

අපි දෙන්නා මේ ටිකේ දුරක උන්නත් හැමදාම දුරකථනෙන් කතා කලා. එයා මං ගැන හොයල බැලුවා. නිවාඩු ආවම අපි ඇවිද්දා. කැම්පස් එකේ කෙල්ලො ගැන කිව්ව. එයාට ආදරේ වෙලා පස්සෙන් එන කෙල්ලො ගැන කියද්දි මට තරහත් එක්ක. මන් එක දවසක් ඇඬුවා එ පපුවට තුරුලු වෙලා. ඔයගෙ සල්ලි වලට ඕකුන් ඔය එන්නෙ. මන් ඒම කිව්වම එයා හිනා උනා. මොනවා උනත් ඒ ආදරේ මට ඇති තරම්.

එයාලට කොච්චර වාහන තිබ්බත් වැහි නැතිනම් අපි බයික්කයේ නැගල හිතුමතේ පියාඹා ගියා. හොරෙන් පුංචි හාදු හුවමාරු කරගත්තා. මං ආසම දිනේශ්ගෙ නලල ඉඹින්න. එයාගෙ කොණ්ඩෙ සුවඳ එතකොට මට දැනෙනවා. එයා මාව පරෙස්සමින් බලාගත්තා. අතින් අල්ලගත්තම ඔහේ ඉන්නව. මං කියවද්දි අහන් ඉන්නව. කවදාවත් රණ්ඩු නම් වෙන්නෙම නෑ. ආදරේ උපරිමයි. මං හරි ආසාවෙන් ඒ ජීවිතේ ගෙව්වා.

ඒ තමයි මං ආදරේ කරන දිනේශ්ගෙ ආදරේ. මං හරිම වාසනාවන්ත කෙල්ලෙක්. මං කොච්චරවත් එහෙම හිතනවා.

...........................................................................................................
තමුසෙගෙ පස්ස දැක්කම කන්න හිතෙනව ඕයි. 

කවුදෝ කණට කරලා මට කිව්වම මාව හිරිවැටුන. ගල් ගැහුනු මම අනූගෙ අතින් අල්ලගත්තා. අනූ කියන්නෙ ටෙක් එකේ මට ඉඳපු යාලුවා. ඒ වල් කතාව කිව්ව අවලමා කවුද කියලා බලන්න ආපහු හැරුනු මං ඉස්සෙල්ලම එයාව දැක්කා.

කැරලි ගැහුන අවුල් උන කොන්ඩෙ, අපිලිවෙලට තියන රැවුල. රතු ඇස් දෙක මාව බය කලා. උඩ බොත්තම ගැලවිලා තිබුනා. බෙල්ලටම වලහෙක්ගෙ වගේ ලෝම පිරිලා. මවිල් පිරුණු හැඩි දැඩි දෑත්.  ජරා උන මජං ගෑවුන කාර්මික ඇඳුමෙන් හමපු දාඩිය ගඳ අප්පිරියාවට දැනුනා. ඒ ඇස් වල තිවුන වල් හැඟීම ගැන මට කියන්න තේරෙන්නෙ නෑ. මං එහෙමයි ඉස්සෙල්ලම දැක්කෙ එයාව.

එයා ඉශාර.

ඉශාර ටෙක් එකේ වෑල්ඩිං ඉගෙනගන්න අයගෙ කාණ්ඩෙ. එදායින් පස්සෙ එයා කීප දවසක් මං දිහා බලන් ඉන්නව මම දැක්ක. වලත්ත ඇස්. නපුරු ඇස්. මගේ දිනේශ්ගෙ ඇස් ඔහොම නෑ. සම්පූර්ණයෙන් රැවුල බාලා, පිලිවෙලට කොණ්ඩෙ පීරලා ඉන්න දිනේශ් ඇත්තටම ප්‍රසන්නයි. මූ මහ වල් බාවෙක්.

මට ඌව, ඒ කියන්නෙ ඉශාරව දකින ගානෙ ඒ වචනෙ මතක් උනා. වල් බාවා.

එදායින් පස්සෙ අපි ආයේ සම්මුඛ උනේ නෑ. දවස් කීපෙකින් වෑල්ඩිංවරු සීමාවාසී පුහුණුවලට විවිධ ආයතන වලට ගියායින් මං ආයෙ ඒ වල් බාවව දැක්කෙ නෑ.  කැත ඌරෙක් ඌ. දාඩිය ගඳ විතරයි ඌට තියෙන්නෙ.

මං දවසක් ටවුමෙ ලොකු සාප්පු සංකීර්ණයේ හැන්දෑවක ඇවිදින්න ගියේ දිනේශ් එක්ක. අපි නොසෑහෙන්න ඇඳුම් ගත්තා. එයාටයි මටයි. අපි හිම කිරම ගත්තා. ඒව හරි රහයි. එම් කේ සී මෝල් එකේ හිම කිරම කකා හිනා වෙවී ඇවිදින අපිට එක සැරේට ඇහුනෙ පියානෝ වාදනයක්. 

අපි ඒ දිහාට ඇවිදං ගියා. වෙනදටත් ඒකෙ සති අන්ත වලට විවිධ අය බෑන්ඩ් ඇවිල්ලා එහෙම සින්දු කියනවා. මට මතකයි දවසක් එහෙම සින්දුවකට දිනේශ් මා එක්ක නටද්දි වටේම අය අපි දෙන්නට චියර් කරලා අත්පුඩි ගැහුවා. එදා මං ලැජ්ජාවෙන් රතු වෙල. අම්මෝ අපි හිනා උන තරම් ඒක මතක් කරල පස්සේ.

මේ කියන වෙලාවෙ පියානෝ හඬ ඇහෙද්දි අපි හිටියෙ ව්ද්‍යුත් වීදුරු සෝපානයේ. ලොකු පියානෝව දිහාට බෙල්ල නමාගෙන කඩිසරව සහ මියුරු ලෙසින් ඒක වාදනය කරන කෙනාගෙ කැරලි කොණ්ඩෙ මට වීදුරුව අස්සෙන් පෙනුනා. මං කැලඹුනු සිතින් දිනේශ්ගෙ අත මිරිකද්දි සෝපානය හෙමීට පහලට ඇවිල්ලා දොරටු විවර උනා.

විවර උනු දොරටුවට පියවර කීපයක් එහායින් තිවුනු විශාල පියානෝවේ විවෘත කරපු පියන ඇතුලෙන් මට පෙනුනෙ එදා දැක්ක වලත්ත ඇස් දෙක නම් නෙමෙයි. පුදුම විදියට නිවුනු ඇස් දෙකක් හැඟීම්බර. මහ සෙනඟ මැද්දෙ ඒ ඇස් මාව එක්වරම හඳුනාගෙන පුදුමයත් එකතු වුනු හිනාවක් පෑවා. හෙමීට හිස නමලා මට සංඥා කලා. ඔව්. ඒ වල්බාවා තමයි ඒ. වෑල්ඩිං ඉශාර! ඌට තාම මාව මතකයි!

වෑල්ඩිං කරන රළු ඇඟිලි වල සැඟුවුනු ඔපෙරාත්මක මායාව පියානෝවේ යතුරු මත්තේ චලනය වෙද්දී, එයින් නික්මිලා පාවී එන්නා වූ ස්වරයන් මගේ සවනතේ වැකෙද්දී, පියානෝ නාදය සිත්කලු ලෙස එම් කේ සී සාප්පු සංකීර්ණයේ නිම්නාද උනා. එදා මට මොනාදෝ අමුත්තක් දැනුනා.

මගේ හිත කැලඹුනා. මං එදා ගෙදර ගිහින් ඉස්සෙල්ලම ගියේ කණ්ණාඩිය ලඟට. දිනේශ් කවදාවත් නොකියපු රාගී බවක් ඇත්තටම මං ලඟ තියනවාය කියලා මට කිව්වෙ කොහේවත් යන රස්තියාදු කාරයෙක්. ඒක හරි. මට තියනවා හැඩ ඇඟක්. කණ්නාඩිය ඉදිරියේ ඉන්න මං මටම කියාගත්තා. පලවෙනි වතාවට මං මටම ආදරේ කරන්න පටන් ගත්තා. මං ලස්සන විතරක් නෙමෙයි සරාගී කෙල්ලෙක්. ඇඳන් උන්නු ගවුමෙන් මගේ ඇඟේ හැඩය කැපිල පෙනුනා. මං එසැනින් මගේ ඇඳුම් සෙරම ඉවත් කරලා ආයෙම කණ්නාඩියෙන් මං දිහා බැලුවම මටම පුදුම හිතුනා.

මං මිනිත්තු ගණනාවක් මගේ ප්‍රතිබිම්බය දිහා පෙරේතියක් වගේ බලාන ඉන්න ඇති. ඇඟේ හැම නාරි රේඛාවක් දිගේම, හැම රෝම කූපයක් දිගේම මම මගේ ඇස් අරන් ගිහින් මාවම වින්දනය කරගත්තේ කාවදාවත් නොදැනුන අමුතු හැඟීම් ගොන්නක් එක්කම.

දෙයියනේ...

එක කලේ අර වල් බාවා...........

මට එදා රෑ නින්ද ගියෙ නෑ. මං ඇඳේ පෙරලී පෙරලී ඉන්නැති එලි වෙනකම්.

කාලය හරි ඉක්මණින් ගෙවුනා.රටේ තත්වය හුඟ නරක් උනා. එදා අපි උන්නෙ රාජගිරියේ. පොලීසිය කඳුලු ගෑස් ගහද්දි අපි එකා පිට එකා වැටී දුවන්න ගත්තා. සල්ලි තියන මගේම වෙන්න නියමිත මහත්මයා ඒ වෙද්දි රටින් පිට වෙන්න සැලසුම් හදද්දි රටේ ජීවිතේ ගෙවන මං මිනිස්සු එක්ක පාරට බැස්සෙ අම්ම අප්පච්චි සහ මල්ලිලා ගමේදි විඳින දුක් දැකලා. එදා වේල කන්න නැති මගේ බෝඩිමේ යාලුවෝ අසල්වැසියෝ එක්ක මාත් පාරට බැස්සා. ඒ අපෙ තරුණ ජවය නේ. ඒ නිසයි එදත් අපි රෑ පන්දම් පාලිය නටන්න පාරට ආවේ. මං ඒ වෙද්දි රාජගිරියෙ බෝඩිමක නවාතැන් අරන් උන්නෙ අවසන් වසරෙ පාඨමාලාව කොලඹ ඉඳන් කරපු හිංදා.

එදා රෑ කඳුලු ගෑස් වදිද්දි මං ආත බූත හිතාගන්න බැරුව වැටෙන්න යද්දි මගේ හුස්ම හිර උනා. ඇස් දෙක දැවිල්ල ඇල්ලුවා. අවට නොපෙනි යනකොටම කවුදෝ මාව අල්ලගෙන දුම මැද්දෙන්ම පැත්තකට ඇදගෙන දිව්වා. මගේ පුංචි දෙකකුල් වලට හැකි වීරිය අරන් යමපල්ලෙක්, ස්ත්‍රී දූශකයෙක් හෝ මොකෙක් හෝ වේවා කවුරු උනත් ගැලවිජ්ජාවට මමත් ඌ එක්කම දිව්ව. කැහැ කැහ, දැවෙන ඇස් පිහ දාන ගමන්, පපුව කඩාගෙන හතිලාගෙන කවදාවත් නැති තරම් දුර කකුල් වලට පිං දීගෙන මං ඒ නන්නාදුනන මිනිහගෙ අත අල්ලාගෙන දිව්ව. ඒ එක මොහොතක්වත් ඒ අත මාව අතෑරියෙ නෑ.

කලබල නැති හරියක් හොයාන ආපු අපි දෙන්නම මැරිලා වැටුනා වගේ බිම ඉදගෙන හති දැම්මා. මං ඇඳන් උන්නු ඩෙනිම් කලිසම පෙඟිලා. උඩට ජැකට්ටුව දාන් ඉඳපු එක හොඳට ගියා. එයා කොහෙන්දෝ මට වතුර බෝතලයක් ගෙනැල්ලා දුන්නා ඇස් හෝද ගන්න. ඇස් දෙකේ දැවිල්ලයි උගුරේ වේදනාවයි ටිකකින් පහ වෙලා ගියා. දෙයියනේ ඊට පස්සෙයි මට මතක් උනේ මේ කවුද මේ මට උදව් කරන්නේ කියල. මං ඔලුව හරෝලා ඒ දිහා බැලුවා.

දැවුනු ඇස් දෙකක් තිබුනත් පොඩි කැස්සකුත් එක්ක සිනා මුනු මුහුණෙන් ඉශාර මං දිහා එක එල්ලේම බලාන උන්නා. මම ජීවිතේ පලවෙනි වතාවට ඔහුට අවංකව සුහද සිනාවක් පෑවා. එදා අර වලත්තයා ගැන දැනුනු ක්‍රෝධය ඇසුරු සැනින් අතුරුදහන් වෙලා ගියා.

ස්තූතියී. මං ඉශාරට කිව්ව. දැන් අපි මොකද කරන්නේ? මං ඇහුවා. වචනයක් නොකී ඉශාර ඉස්සර උනා. විචිකිච්චාවෙන් උන් පෙඟුන නාවර පෙරාගත්තු මමත් ඕන්නොහේ ඔනෑ දෙයක් කියලා ඉශාර පස්සෙන් වැටුනා.

කෝම හරි අපි 177 පාරේ කෙලෝර වෙනකම් ඇවිදලා ගාලු පාරේ බස් එකක් අරන් කොටුවට යන්න තීරණය කලා. අතීතයේ දවසක වලත්ත කතා කිව්ව වල් ඇස් දෙකක් තිවුන එකෙක් මෙහෙම නිවුනෙ කෝමද කියලා මට දැනගන්නම ඕනි උනා. ඒත් මං කතා කරන්න පසුබට උනා. මං කෙලින්ම අනිම් පැත්තෙ අසුනෙ ඉඳගත්තු ඉශාර කවුලුවෙන් එලිය බලාගත්තා. මම කීප විටක්ම ඔහු දිහා බැලුවත් ඔහු ඒ ඉරියව්වෙන්ම උන්නා. ගාලු පාරෙ විදුලි කණු වල ආලෝකය වේගයෙන් පසුකරමින් අපි ගිය බසය ඉදිරියට යද්දී ඈත දුරින් ගාලු මුවදොර හෝටල් සංකීර්ණය පෙනෙන්නට තිවුනා. මං එක සැරේටම ගාලු මුවදොර දි නැගිටලා මට එහා අසුනෙ උන්නු ඉශාර දිහා බලලා බෙල් කරලා බස් එකෙන් බැස්සා. ඒ දවස් වල ගෝල් ෆේස් එකේ අරගලේ අට්ටාල තිවුනෙ නෑ. ඔහු එයිද නැද්ද නොහිතා බස් එකෙන් බැහැල අඩියට මං දෙකට වැල්ල දිහාවට යද්දි ඔහුත් දුවගෙන මා දිහාට ඇවිල්ලා ජීවිතේ පලවෙනි පාරට මගෙ අතින් මට දැනෙන්නම අල්ලලා නවත්ත ගත්තා. මට ටිකක් රිදුනත් එක්ක. ඒකයි මං දැනෙන්නම කියන වචනෙ එතනට දැම්මේ.

පිස්සුද? ඔහු ඇහුව? ටිකක් සැරෙන් වගේ. දිනේශ්ගෙන්වත් කවදාවත් බැනුමක් අහපු නැති මට ඒක අමුතුවට දැනුන. 

මං ඒ ඇස් දිහා බැලුව. කවදාවත් නොදැනුන හැඟීමක්, නිදහසක් මට දැනෙන්න අරන් තිබුනා ඒ වෙද්දි. 

මට ටිකක් ඇවිදින්න ඕනි. 

එහෙම කියලා මං ඔහුගෙ අතේ ඇඟිලි පටලවගත්තා. මං දන්නෑ ඇයි කියලා හැබැයි මං එහෙම කලා. හැන්දෑවෙ හෙමින් රළ නගන වෙරළ දිහාවට අපි හෙමින් හෙමින් පියමැන්නා. අපි හුඟක් කතා කලේ නෑ. ඔහුත් මගේ අත අල්ලාගෙනම උන්නා. පරෙස්සමින් නොරිදෙන්න. එදා වලත්ත කතාවක් කියපු ඒ කොල්ලා අද බැල්මකින්වත් මං දිහා එහෙම නොබලන බව මට ඉත්තේරුවෙන්ම විශ්වාසයක් දැනුනා.

මේක හරි අපූරු හැන්දෑවක් වෙලා. රාත්‍රී අහස දීප්තිමත්ව තරු රටා මවනවා. ඉඳ හිට අහසේ වලාකුළු මතු වෙලා තාරුකා යට යනවා. ඒ වලාකුළු වියන යට අපි කතා නොකරම ඉඳගෙන උන්නා. කතා කරන්න වචන දන්නෑ වගේ අපි උන්නා. ඔහුත් නිහඬවම කලේ මගෙ ඇස් වලට ගිලුණ එක විතරයි. ඕම වැල්ලට වෙලා ඉඳපු අපි ආයෙම නැඟිටලා ගිහින් රැල්ල පෑගුවා. සීතල රැලි මගේ නිරුවත් දෙපා තෙමන මොහොතේ මගේ පාවහන් ඔහුගේ අතැගිලි අතරේ රැඳිල තිවුනා. වතුරෙ සීතල දැනෙද්දී මං හැමවෙලේම පටලන් උන්නු ඒ අතැඟිලි තවත් තද කරගත්තා. රැල්ල පාගද්දී මට හරිම සැහැල්ලුවක් දැනුනා. මේ තමයි එක්කෝ ජීවිතේ අපි හොයන නිදහස.

රැල්ල පාගපු අපි ආපහු යන්න කියලා හැරෙද්දි එයා එයාගෙ පුංචි පොකැට්ටුව ඇදලා අරන් බලලා එහායින් තිවුන නානගෙ හෝටලෙන් චීස් දැම්ම කොත්තු ටිකක් ගත්තා. අපි ඈත ක්ෂිතිජය දිහාව බලාන තණකොල ගොල්ලෙ වාඩි වෙලා කතාවකින් තොරව ඒක ගිල දැම්මා. 

ඇත්තටම තලු මරන හඬ විතරයි එතන තිවුනෙ. මගේ හිත ඇතුලෙ අභ්‍යන්තරයේ නං සංවාදයක් ඇති වෙමින් තියෙන බව මට ඒ වෙද්දිත් දැනිල තිබ්බෙ. එයා විටින් විට මගේ ඇස් දිහාවෙ බලලා මඳ සිනහ පෑව. මෙච්චර වෙලා උන්නු මට කතා කරන්න මාතෘකාවක් හොයාගන්න බැරි හැටි...

ඕනෑ තරම් රස කොත්තු ලොකු ලොකු හෝටල් වලින් කාලා තිබුනත්, මං අදටත් ආස ඒ නානගෙ කොත්තුවට. කොයි තරන් ලස්සන හැන්දෑවල් ගෙව්වත්, මං ආස එදා ඒ කඳුලු ගෑස් කාල ඇස් දෑව හැන්දෑවට.

නිහඬ වෘත්තාව බිඳපු ඔහු "දැං යං" කියලා පාරේ ආව මීටර තුන් සක රියකින් මාව ගෙනැල්ල රාජගිරියේ බෝඩිම් නිවස ලඟින් දාල යද්දි උදේ වෙන්නම ලං වෙලා. තුන් සක රියේදිත් අපි එකිනෙකාගෙ මුහුණ වල් දිහා විටින් විට බැලුවත් එකදු වදනක්වත් කතා කලේ නෑ. 

ස්තූතිය ඔයාට කියලා ඉක්මණින් බැහැල ආව මට එයාගෙ දුරකථන අංකයක්වත් ඉල්ලගන්න බැරි උනානෙ කියලා මතක් උනේ බෝඩිමේ දොර අරිද්දි. මං හවස පාරට ගියේත් ෆෝන් එක අමතක වෙලා කියලා මතක් උනෙත් මේසෙ උඩ තියන ෆෝන් එක දැකල. ඒකෙ දිනේශ්ගෙන් මිස් කෝල් දහ තුනක් තිවුන. අපේ ගෙදරිනුත් කෝල් පහ හයක් තිබුනා. හැමෝම කලබල වෙන්නැති මං අතුරුදහන් විම ගැන. සේරටම කලින් ඉශාරගෙ අංකෙ ඉල්ලගන්න කියලා ආපහු ෆෝන් එකත් උස්සං මං පාරට ඇවිල්ල බලද්දි එයා යන්න ගිහින්. එදායින් පස්සෙ මං ඉශාරව දැක්කෙ නෑ. කාටත් නොදැනීම කාලය ගෙවිලා හරි ඉක්මණට මගේ මංගල උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. හරිම ඉක්මණට ඒ කටයුතු ඉෂ්ඨ සිද්ධ උනා.

ප්‍රී ශූට්ස් වලට දිනේශුයි මමයි ගියේත් ගෝල් ෆේස්. දිනේශ් වෙඩිං එකේ වැඩ ඉවෙන්ට් ප්ලෑනින් සමාගමකට දීල තිවුනෙ. එයාල ප්‍රී ශූට් ලොකේශන් වලින් එකක් විදියට ගෝල් ෆේස් තෝරලා දීල තිවුන. ඉතින් ෆ්‍රී ශූට් දා හැන්දෑවෙ එයාගෙ මාලිගාවක් වගේ ලොකු පැජරෝ එකේ දොර ඇරල ගෝල් ෆේස් බිමට පය තියවෙද්දි පපුවෙ ඇතුලෙන් හීන් රිදුමක් ඇයි මන්දා දැනුනා. සුදු පාට ඇඳුමකින් සැරසිලා උන්නු මං ලස්සනයි කියලා හැමෝම කිව්වා. එදා හැන්දෑවෙදී අපි දෙන්නව එකේක් විදියට ජායාරූපයට නැඟුනා. මං පොඩ්ඩක්වත් ක්ශිතිජය දිහාවෙ බැලුවෙ නෑ. ඒ වෙද්දි නානගෙ කඩෙත් වැහිලා ගිහින්. ඒත් එක හැන්දෑවක දැනුනු අමුතු හැඟීම මට මෙවෙලේ දැනුනෙ නෑ මොකෝ මන්දා.

මට ඔනෑ උනේ එතනින් ඉක්මණින් එන්න. ඒ එනකම්ම පපුවේ හීන් දැවිල්ල දිගටම තිවුනා.

ඉක්බිති මාස කීපයකින් මංගල යෝගය උදා උනා. ලංකාවෙ ලොකුම ලොකු හෝටලේක උත්සව ශාලාව මාත් දිනේශුත් වෙනුවෙන් සූදානම් කෙරුණා. ශාලාවේ මේස මත්තේ පණ සහිත නැවුම් මල්. සංගීත වාද්‍ය වෘන්දය හෙමින් සත්සර රාවය නංවනවා. බුෆෙට් එකට ලස්සනට සරසලා සූදානම් සියල්ල. දිනේශ් විශේෂයෙන් ඇනවුම් කරපු උසස් තත්වයෙ ශැම්පේන් එක තවත් මේසයක් මත සූදානම්. මේස මත්තෙ විදුරු. ඉටි පහන් පාවෙන බැලුම්බෝල ඇතුලු නේක නේක සැරසිලි. අඬ අඳුරු ආලෝකය මැද්දෙ වෛවර්ණ ඥාතීන්. ඒ හැමදේම මැද උඩරට විදියට ඇඳල මාල හත දාලා එහෙම මනමාලියක් වෙලා රුවට හැඩට ලැජ්ජාවෙන් බිම බලාගෙන අම්ම අප්පචීට මැදි වෙලා මං උත්සව ශාලාවට එද්දි මංගල පෝරුවට එහායින් නිලමේ ඇඳුමෙන් සැරසුනු පිලිවෙලට, කඩවසම් ව ඉන්නා දිනේශ් ආදරෙන් මා දිහා බලාන හිටියා. තව මිනිත්තුවකට පස්සෙ අපි පෝරුව මතදි විවාහයට ඇතුල් වේවි.

ඉතින්,
මම මඟුල් පෝරුව මත්තෙ හිටගෙන ඉන්නවා. අවුරුදු දහයක ප්‍රේමය උනු මගේ කඩවසම් සල්ලිකාර පෙම්වතා මට දකූණු පැත්තෙන් ආඩම්බරයෙන් ඉන්නවා. ඔව්. අද මගේ කසාදය කෙරෙන දවස. හැම කෙල්ලෙක්ම හීන දකින විදියෙ උත්කර්ෂවත් මඟුලක්.

ඒත් මගෙ හිත මොකක්දෝ දෙයක් කියනවා. මාව හැඟීම් දැනීම් තියන ගෑණියෙක් කියලා වචන කීපයෙකින් වෙනස් විදියට මට දනවපු, වලත්ත කෙනෙක් අස්සෙත් සුන්දර මනුස්සයෙක් ඉන්නවාය කියලා පෙන්නපු, කරදරේක වැටුනම තමන් ගැනවත් නොහිතා අවදානමක් අරන් මාව පරෙස්සමට බලා කියාගෙන නවාතැනට ගිහින් දාපු, මහ රෑක මාව මලක් වගේ පරෙස්සම් කරපු, නම ඇරෙන්නට වෙනත් කිසිම තොරතුරක් ගැන නොදන්නා වූ කෙනෙක් වෙනුවෙන් මොනාදෝ දෙයක් හිතේ පතුලේ කෙලෝරක කැකෑරෙනවා.

රන් හුයෙන් අපේ අතැඟිලි බැඳිලා රණ් කෙන්ඩියකින් අතපැන් වැක්කිරීමට සූදානම් වෙන මේ සුභ මොහොතේ මං තවමත් මොනාදෝ හිතනවා.

........................................................................................

දැන් මමත් දිනේශුත් බැඳලා අවුරුදු ගාණක්. අපි බැඳපු ගමන්ම එංගලන්තයේ පදිංචියට ආවා. දිනේශ් හරි සංතෝශෙන් මාත් එක්ක ජීවත් උනා. මෙහෙ ඉංජිනේරුවෙක් විදියට එයාට ලැබුණු පවුම් ගණනක වැටුප නිසා ඇත්තටම අපි සතුටින් උන්නා. පහසුවෙන් උන්නා. මන් විනෝදෙට වගා කලා. මල් හැදුවා පොත් කියෙව්වා. කෑම ඉව්වා. ශොපිං ගියා. චිත්‍රපටි බැලුවා. රැකියාව එක්ක හුඟක් හුඟක් හුඟාක් කාර්‍යය බහුල උනත් දිනේශ් හැකි හැමවෙලේම මාව රෑ කෑමකට, පික්නික් එකකට ගෙනිච්චා. අඩුම මාස දෙකකට වතාවක්වත් අපිට ඒම අවස්ථාවක් ලැබුනා.

එක දවසක මට ලංකාවෙන් අම්මලා එවපු පාර්සලයක් ලැබුනා. ඒ පොත් පාර්සලයේ පරණ පොත් ටිකකුත් තිවුනා.ඒ අතරෙ තිවුන අපි උසස් පෙල පන්තියේදී කියවපු "මනමේ" පොත අතට අරන් මං හෙමීට හෙමීට ඒ පොතේ පිටු පෙරලුවා. මනමේ කුමාරිය කඩුව රැගෙන වනේ වැද්දාට ලබා දෙන කොටසට මං අකුරු, වචන දිගේ ඇස් හෙමීහිට අරන් ගියා. එතකොටත් අර පුංචි පපුවේ ඇම්ම ඇබින්දක් වෙලා දැවිලා දැනුනා.

කවුරු කෝම කිව්වත් මනමේ කුමාරියට මට වඩා ඉක්මන් සහ ඍජු තීරණයක් ගන්න හැකියාවක් තිවුන නේදෝ කියලා වැඩට ගිහින් දවස් තුනකුත් වරුවකුත් පස්සේ වාහනයෙන් බැහැලා ගෙට ඇතුලු වෙන දිනේශ් දිහාවෙ කවුලුවෙන් බලාන ඉන්න මට මොහොතකට හිතුනා.

8 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. වෙනස් විදියක කතාවක්, අපි හැමෝටම මේ වගේ කාටවත් කියන්න බැරි කතාවක් ඇති
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. හැමෝටම තියනවා තේරුම් ගන්න බැරි තරමේ ප්‍රේමණීය කතාවක අංශු මාත්‍රයක් මහත්මයා

      Delete
  2. මේ කතාව දැක්කම ලියන්න හිතුන, ලිවේ නැති දෙයක් මේ. ගැනු ළමයි මගේ ඇඟට ගොඩ වෙයිද කියලත් හිතුනා. මම කියනදේ හැමෝටම පොදු නෑ, තොප්පිය ෆිට් අය දාගන්න.

    අපේ පාසල් කාලේ දැකපු දෙයක් තමයි, ලස්සන ගැනු ළමයි යාලු උනේ මේ කියන වල් බාවන් එක්ක. වලියට බර, කුණුහරුප කියනා, කලාස් කට් කරන, බස් හෝල්ට් බජාර් එකේ දවසෙම ඉන්න උන් එක්ක. හැබයි අපි දන්න වල බවන් නම් කවදාවත් හැදුනේ නෑ, සමහරු මැර වැඩ කරා, අඩු වයසෙන් මැරුම් කැව, පෝසත් උණා, හැදුනේ නෑ, හැබයි ලස්සන ගැණු ළමයි හැමදාම ලගින් හිටියා.

    ඉගෙන ගන්න මහන්සි උන ගැනු පිරිමි ළමයි සාමාන්‍ය පෙනුම (මේ අපි වගේ) සාමාන්‍ය පෙනුම ගැනු ළමයිට මේ වල් බවන් පෙන්න බෑ. අපි ඒ කාලේ කිව්වා ලස්සන සහ මොලේ එකට පිහිටන්නේ නෑ කියල, සහ ඩාවින් ගේ පරිණාමවාදය සහ සම්බන්දයක් ඇති කියලා, මනමේ සහ වෙනත් ජාතක කතා කියල හිත හදා ගත්තා. ඉතුරු උන ගැණු ළමයි එක්ක අපි යාලු උනා, ලස්සනට වඩා මොලේ වටිනවා කියලා පසුව වැටහුනා (ඇඹුල් මිදී නම් නොවේ). සමහර ලස්සන ගැනු ළමයි කව්රුත් එක්ක යාලු උනේ නෑ, යෝජනා වලින් ඉගෙන ගත්ත කොල්ලෙක් බැන්ද (ඩාවින් ගේ පරිණාමවාදයේ හොඳම එක) ළමයි ලස්සන දොස්තර ඉන්ජිනෙරුවන් උනේ ඒහෙමයි (ඩාවින්ට අනුව)
    මම ව්ජෙබාහු

    ReplyDelete
    Replies
    1. ඇත්ත! අපේ කාලේ ඉඳන් වර්තමානයෙත් ඒමයි! හුඟක් ගෑල්ලලමයි නටලා නටලා කුඩ්ඩොත් එක්ක පීචං වෙලා වල් වෙලා අන්තිමට පෝසත් කොල්ලෙක්ගෙ ඇඟේ එල්ලෙනවා. විශේෂයෙන් රූමත් කෙල්ලො!

      නමුත් මධ්‍යම පාන්තික ඉගෙන ගන්නා වූ සමහර ළමයි ඇත්තටම ප්‍රේමයෙන් බැඳිලා රස්සාවකට ගිහින් ස්ථාවරයක් නිර්මාණය කරගෙන ජීවිතේ ගොඩ ගියා.

      පරිණාමවාදයද? වෙනත් කාරණාවක්ද කියලා දන්නෑ තවමත් වෙන්නෙ ඒකමයි

      Delete
  3. එක් අන්තයක් කරා නොගොසින් මානසික ගැටුම නිරූපනය කිරීම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා. ඔබ ඒ තේරුම් ගැනීම ගැන ස්තූතියි. මට අවශ්‍ය උනෙත් ඒ මනෝභාවය පෙන්නන්න.

      Delete
  4. දාපු කමෙන්ට් එක කොහෙද ගියේ?

    ReplyDelete
    Replies
    1. මං ගාවට ආවේ! බයි ප්‍රහාර නිසා කමෙන්ටු පරීක්ෂා කරමින් තමා පල කරන්නෙ!

      Delete
Previous Post Next Post

Contact Form