ගන්දබ්බ!


රට මැද කඳුකරය මත එකෝමත් එක ගම්මානයක අහස නීල වර්ණයෙන් පිරිලා. ඒ අහස යට ඒ ගමේ එක තැනක අක්කර ගණනාවක් වූ වත්තක් මැද්දෑවෙන් අතීතයක එක්තරා සමයක තේජස විහිදෙව්ව ආරච්චිලා වලව්ව පිහිටලා තියනව. වලව්ව දැන් ගරා වැටිල. ජනෙල් වීදුරු හොරු ගලවන් ගිහින්. පරණ සෙටියක් විතරක් තාම  සාලෙ මැද වවුල් වසුරු වලින් නෑවිලා තියනවා. ඉස්සරහ දොරේ එක පියනක් විතරයි ඉතුරු. ඒකත් සරණේරුවකින් එල්ලිලා හිටල තියෙනව. වලව්වෙ තැන් තැන් වල කාලේ අරක්කු බෝතල් වැටිල. කාලෙකට ඉහතදි කාගෙත් ගෞරවය, ආදරය දිනාන තිවුනු වලව්වක තේජස මහ ආරච්චි උත්තමයට මහ හදිය උන දා ඉදන්ම දියාරු වෙලා ගිහින්.
 
ඒ පෞරාණික වලව්වෙ මිදුලෙ තිවුනෙ විසාල කොස් ගහක් සහ පොල් ගස් දෙකක්. පැරණි තාලෙ ගල් වටේට තියලා හදපු පොකුණෙ විවිධාකාර ඕලු නෙළුන් මානෙල් පීදිල එදා ඒ අහල පහලත් එක්කලා හරි සුවඳයි. ඒ මල් හෙවනෙ ඇබිත්තන් මාලු පැටව් රෑන් රෑන්. එතනින් ඉස්සහට ගල් ඇතිරූ අඩි පාරේ ඉස්සරහට ඇවිදන් යද්දි අගනා තේ කෑල්ලක් එහෙම තිවුන. රට අඹ සහ ගිරා අඹ ගස් දෙක තිබුනෙ වත්ත මායිමේ. ඇයි අනෝදා, රඹුටන්, ඇටඹ සහ මායිමේ දෙනියෙ තිවුන උක්ගස් පඳුරු ටික. ඒ හැමදේම කියාපෑවෙ වලව්වෙ සරුසාර බව.

වලව්වෙන් අනික් පැත්තට වෙන්නම වලව්ව වටේට මේ තේ කෑල්ල විසිරිලා තිවුන. දලු කඩන්නම හත් අට දෙනෙක් උවමනයි. ඉස්සර ඉහල පැට්ටරිවත්තෙ කල්‍යාණි අම්මා එයාගෙ දළු කාණ්ඩෙත් එක්කාසු කරන් මාසෙට දෙපාරක් ආරච්චි වලව්ව වන්දනා කලේ ඒ දවස් දෙකට සැලකුම් හොඳ හින්දමයි.

පරණ සවිම්ත් ක්‍රොමේකට ගල් වලින් බිත්ති බැඳල ඒ බිත්ති වල සමර උලාල ඊට උඩින් සුදු හුණු ගාල, මුලු වහලෙටම සිංහල උලු හෙවිලි කරල තියන වලව්වට ඉහලින් උදෑසන හිරු එලිය වැටෙද්දි බලන් ඉන්න ඇහැකි තේජස. ඒ තමා ශ්‍රී නායක වලව්වේ ගාම්භීර බව!

හරිම ගාම්භීරයි. හරිම තේජාන්විතයි.

කාලයත් එක්ක සේරම වියැකිලා ගිහින්. එකම පුතා රටින් ගියේ ඒ තෙජස අරන් වෙන්නැති. ඔහු ආයෙ ආවෙ නෑ. ඔහුට උන දෙයක් අදටත් කිසිවෙක් දන්නෑ. වලව්ව ඉස්සරහ ගල් පොකුණත් යට කොරගෙන දැන් වල් වැවිල. කැලෑ වැදිල ගරා වැටුනු, හොරු පැනපු වලව්ව වන සත්‍තුන්ගෙ, සරුපයොන්ගෙ රජ දහනක් වෙලා ඉවරයි. තවදුරටත් එහි මනුසතුන්ට ඉඩක් නැහැ!

එහි ආලෝකය නිවිලා ගිහින් අඳුර රජ වෙලා දැන් කාලයක් ගෙවිලා ගිහින්.

ඒත්......
අමු කරූවල මහ රෑ මැදියමේ
එකම එක අමාවක පෝයක
යක්කුත් එලි නොබසින අඳුරු වෙලාවට
එකම එක ගන්ධබ්බ ආත්මයකට
තවත් ගන්ධබ්බ ආත්මයක්
මේ පාලු වලව්වෙ
සෙත් පතනවා...................

මුලු ගම්මානයම නිහඬව නිදින රෑ  මැදියම් කණිසමේ....................


ඉස්සෙල්ලම සිද්දිය දැක්කෙ කරුණාදාස දාවිත් මාම. පාලු වලව්ව එහෙම්ම තියෙද්දි ගමට එන්න පාර කැපුනෙ වලව්වෙ පිටිපස්ස මායිමෙන්. පාරේ ඉදන් බලපුවම ජනෙල් බිඳී ගිහිල්ල තියන පාලු වලව්වෙ මුලු ඇතුලම පැහැදිලිව බලාගන්න දවල්ට ඇහැකි. පිටිපස්සෙන් තියෙන්නෙ කෑම කාමරේ ජනේලය. එතනින් බලපුවම දෙපැත්තෙන් තියන කාමර තුනේ දොරවල්, ප්‍රධාන දොර සහ වලව්වෙ කුස්සියට යන ටික පේනව. ජනේලෙන් ඇතුලට පැන්නොත් ඇවිදන් යන්න පුලුවන් ගෙට ඇතුල් වෙන පලු දෙකේ දොර දිහාවට.

දැන් සරණේරුවකින් එල්ලිලා තියන එක දොර පලුවක් තියන ප්‍රධාන දොරටුව දිහාවට යද්දි කෑම කාමරේ ඉදන් වමට පලවෙනි දොර වලව් කුස්සිය. දකුණු දොර ඇරෙන්නෙ රට ගියපු සුනිමල් ශ්‍රීනායක පොඩි මහත්තයගෙ කාමරේට.

ඉන් පස්සෙ ආයෙ වම් පැත්තෙ ආරච්චිල යුවලගෙ මහ නිදන කාමරේ. තව ඉස්සරහට යද්දි පොඩි මැණිකෙගෙ, එනම් නදීශා පොඩි මැණිකෙගෙ කාමරේ. සාලෙ ඉන්න කෙනෙක්ට එ කාමරේ ඇතුල හොඳට පේනව. ඒත් එක්කම සාලෙ සහ සාලෙ වම් පැත්තෙන් අමුත්තන්නට තිබ්බ ලොකු කාමරේ. මුලු වලව්වම උලු වහල නිසා අදටත් ඇතුල නම් තවමත් සිසිලයි.

ඉනේ බාගෙ බෝතලයකුත්, අතේ ගෙරි මස් පාර්සලේකුත් තියාගෙන දාවිත් මාම මහ රෑ වලව්වට පැන්නෙ හොඳ සිහියෙන් නෙමෙයි. ඒත් ඔහු අතේ තිවුන විදුලි පන්දමෙන් එලිය දල්වාගෙන වැනි වැනී ඉස්සරහට ගොහින් තවමත් ඉතුරු වෙලා තියන පරණ සැටි කෑල්ලෙ තිවුන ජරාව පිහදාල තමන්ගෙ මිතුරා එනකම් සෙටියෙ වාඩි උනා. ගේ ඇතුලට එක සැරේට ආව මීදුමත් එක්ක තමන් දැක්ක දේ අදහාගන්න බැරිව දාවිත් මාමා නැගිට්ටුනේ ඉබේම. 

දාවිත් මාමගෙ මිතුරා පියසේන බාසුන්නැහේත්, ගමේ පොල් කඩන පොඩි අමරෙත් එනකොට බඩෙන් ලේ ගලන තුවාලෙකුත් එක්ක බිම වැටිල උන්නෙ දාවිත් මාමා. ඉනේ ගහන් උන්නු බාගෙ බෝතලේ බිඳිල, බෝතල කට්ට මහ බඩවැලටම ඇනිල තිවුන නිසා උන්දැ ගොඩ ආවෙ හුඟ කාලෙකට පස්සෙ. ඒ ආවත් සිහියක් පතක් නම් ආයම හරි හමන් විදියකට තිබ්බෙ නෑ. 

පිස්සුවෙන් වගේ කියෙව්වෙ එක දෙයයි.

"අර සාදු පොඩි මැණිකෙට බණ කියනව දෙයියනේ........." 

එතකොට ලොකු මැණිකෙ නැති වෙලා අවුරුද්දක් ගෙවුනා විතරයි යන්තම්. 

..............................................................................................................

අලුත් පත්වීමක් අරන් ඉස්කෝලෙට ආව තරුණ ඉංග්‍රීසි ගුරුවරයගෙ නම අරුණ කුමාර. තැන් තැන් වල කුලී වැඩ කරපු අම්මා තාත්තගෙ දෑහෙ හයියට අගයක් එකතු කරපු තරුණ ගුරු මහත්තයාට ආරච්චිලාගේ ගෙදර අමුත්තොන්ගෙ කාමරේ නවාතැන් හම්බුනේ විදුහල්පතිතුමාගෙ ඉල්ලීම නිසා. ඒ කාලෙ ඉංග්‍රීසි ගුරුවරයෙක් ගමට ආව එකම මදැයි. කුමාර ගුරුතුමා එද්දි නදීශා පොඩි මැණිකෙ උසස්පෙල කරන දැරිවියක්. රූමත් හැඩකාර මතුපිටින් තැන්පත්කමට ඉන්න නදීශා පොඩි මැණිකෙගෙ හිතත් අකුණු ගහන වයසක නෙව තිවුනෙ. තරුණ හදවත් යා වෙන්න වැඩි කල් ගියේ නෑ. හැමෝගෙන්ම වහන් වෙලා කාමර දෙකක් ඇතුලෙ අඩි දහයක දුරින් ඉන්න යුවලක් ප්‍රේමයෙන් ආතුර වෙලා උන්නෙ බොහෝ කල් ගිහිල්ල හෙම නෙමෙයි ඕං. 

නදීශා මැණිකෙ ගෙඩෙට්ට අඳින්නෙම මල් ගවුම්. ඒ මදිවට දෙමලියක් වගේ පොට්ටු තියන්න ඈ හරි ආසයි. රන්වන් පාටින් තලෙලුවට ඉන්න ඈ හරි සුන්දරයි පොට්ටුව තියලා ඒ ගවුම් ඇන්දම. කුමාරි ලොකු මැණිකෙගෙ පරණ පාරම්පරික අතින් කරකෝන මැසිමෙන් ඇඟට තියල වගේ හැඩ හදල, රැළි අල්ලල මහපු මල් ගවුම් විස්සක් විතර ඈත තිවුන. වලව්වෙ මිදුලම හොඳට පේන අමුත්තොන්ගෙ කාමරේ ජනේලෙ ගාව පොත් මේසෙ ඉදන් පොත් කියවන ඉංග්‍රිසි ගුරුවරයට නෙත් කලු දසුන් පේන්නෙ හවසට තමා. නදීශයි, ගමේ ලමිස්සියො දෙතුන් දෙනෙකුයි එක්කහු වෙලා බට්ටා පනිද්දි ඔහු ජනේලෙන් ඒ දිහා බලන් ඉන්නව.

නදීශා පොඩි මැණිකෙ ඉස්සරහට නැමිල පතුර විසි කරනවා. ඒක ඈත කොටුවට වැටෙනවා. තනි කකුලෙන් ඈ ඉදිරියට පනිනවා. එකයි! දෙකයි! තුනයි! ඉන් පස්සෙ කකුල් දෙකෙන් කොටු දෙකක කකුල් තියාගන්න පනිනව. ඒ හැම සැරේම ඇගේ සුදු රෝස දනිස් පෙනී නොපෙනී යනව. එව හරි ඉක්මණින් ඉස්කෝලෙ මහත්තයගෙ හිතේ රූ ගත වෙනව. කකුල් ඈත් කරන් කොටු දෙකේ කකුල් තියන් ඉන්න පොඩි මැණිකෙ සැනිකව අනික් පැත්තට හැරෙද්දි ඒ ඇස් දකිනව ඉස්කෝලෙ මහත්මයගෙ නෙත් වල බැල්ම තියෙන්නෙ තමන්ගෙ සැලෙන මල් ගවුම් වාරියට යටින් බව. පනින පිම්මක් ගානෙ උඩ බිම සැලෙන නොඉඳුල් පපුව දිහා බව. උවමනාවෙන්ම ගවුම තව උඩ යන විදියට නදීශ මැණිකෙත් කටයුතු කලේ අකමැත්තක් නොමැති බව පෙන්නන්නමයි. ඉස්කෝලේ හැමදේකටම ප්‍රමුඛත්වය දෙන සට පට ගාල ඉංග්‍රිසියෙන් දොඩන, ඉංග්‍රීසි සහිත්‍ය තරඟ, ගීත තරඟ වගේ අලුත් අලුත් වැඩ කරන යොවුන් ඉංග්‍රීසි ගුරුතුමාව හිමි කරගන්න හීන දැක්කෙ නදීශා විතරයි නෙමෙයි. 

ඉතින් වැඩි කල් නොගිහින් ගින්දරත් පුළුනුත් ටික ටික ලං වෙමින් තිබුනෙ කාටවත්ම ඇස නොගැටීම.

..........................................................................................................

දඩයමේ යන ජයරත්නගෙ දරුණු මන්ද කඩාගෙන වලව්ව දිහාවෙ වහං උන වල් ඌරගෙ ලේ පාර දිගේ ගිහින් ජයරත්නයා නතර උනේ පාලු වලව්වෙ දොර ගාව. කවදාවත් එහෙම මන්දක් කඩාගෙන ගිහින් නෑ කිසිම සතෙක්. මේක හොඳ නාම්බෙක්. ජයරත්න මූව අත නාරින්නම හිතුවෙ ඒ ශක්තිමත් බවට අභියෝග කරන්න ආසාවෙන්.

ඒ වෙද්දි මැදියම් හෝරාව පහු වෙලා. ජයරත්න යකාටවත් බය යකෙක් නෙමෙයි. වල් ඌරෝ එලාගන්න මහ රෑ ගොහින් කැලේ රැකගෙන ඉන්න සමතා. දඬයම් කලාට ඌ ආස නෑ මත් වතුරට. දඩ මස් කන්න නම් හරිම ආසයි. ඊටත් ඌ ආසයි දඩයමක් විඳවන දිහා බලාන ඉන්න. සමහර දාට මන්ද ගාව ඉදන් ජයියා වියරුවෙන් හිනා වෙන සද්දෙට පපුව පැලිල හාවෝ, මුවෝ මැරෙන්නෙ මන්දට බෙල්ල හිරවෙන්න කලියෙන් කියලා පම්පොරිය ගහන්නෙ හොඳ සිහියෙන් ඉන්න ජයියාමයි. ආරච්චිලා ඉන්න කාලේ වලව්වට කදිම ඌරු මස් සැපයුවේ මේ ජයරත්න තමා.

ලේ පාර දිගට දිගට ගේ ඇතුලට ගිහින් නිසා තුවක්කුවෙන් දොර තල්ලු කරන් ඇතුලට යද්දි ජයරත්නට තමන් දුටු දෙයින් ඇස් අදහාගන්න බැරි උනා. කෑ ගැහෙන්න ගියත් හිතට දහිරිය අරන් තමන් දකින දේ මායාවක්ද ඇත්තක්ද බලන්න අඩියෙන් අඩිය ඉස්සරහට යද්දි කොහෙදෝ ඉදන් පිටිපස්සෙන් ආපු වෙඩි කෑ කෝප වූ වල් ඌරා ජයරත්නගේ දෙකලවා මැද්දටම පහර දුන්නා.  ඒ පහරට ඔහුව ඉදිරියට විසිවී යද්දී සිය කරේ තිවුන කොටන තුවක්කුව ගැස්සී වෙඩිල්ල පත්තු උනේ තමන්ගෙම වම් කකුලෙ ඇඟිලි දිහාවට. ජයියා බෙරිහන් දීගෙන බිම වැටුනට සිහි නැති උනේ නෑ. 

ලේ පෙරාන දෙකලවා වල ගැලවුනු අමු මස් එල්ලාගෙන, වෙඩි උන්ඩෙ වැදුන මසින් එල්ලිලා තියන කකුලෙ ඇඟිලි ගැලවෙයිද නොසිතා අඟලෙන් අඟල වලව්වෙ පිටිපස්සෙ ජනේලෙන් පැනල ලේ වගුරවමින් ඇදි ඇදී පාරට ඇවිල්ල සිහි නැති වෙලා වැටිල උන්නු ජයියව ගමේ උන්ට හම්බුනේ පහුවදා උදේ. ඒ පැය කීපෙට දෙකලවත්, ඇඟිලිත් කුණු වෙලා පණුවොත් ගහල ඕසෙටම. මිනිහව උස්සල මැස්සට දාද්දිත් සිලි සිලි ගාල පණුවො වැටුනලු. එදා ඉදපු සේදිරි මාම කියල තිවුනෙ ගම පුරාම.

ලොකු මැණිකෙ නැති වෙලා අවුරුදු දෙකකුත් දවසක් ගෙවුන රාත්‍රියේ ඉස්පිරිතාලෙදි සිහිය ආව ජයරත්න කිව්වෙත් එක කතාවයි.

"අර සාදු පොඩි මැණිකෙට බණ කියනව දෙයියනේ........." 

මහ ඉස්පිරිතාලෙ ලොකු දොස්තරගෙ අණ පරිදි කුණු වෙලා ස්නායු සංවේදක මැරිල ගියපු දෙකකුල් කලවාවලටත් ඉහලින්ම ඉවත් කරාපු ජයරත්නට ජීවත් වෙන්න වරමක් ලැබුනට ආයේ කවදාවත් දඩයමේ යන්න නම් උනේ නෑ.

.............................................................................................................

සුනිමල් හාමු රට ගියේ අහම්බයෙන්. තමන් අධ්‍යාපනය හදාරපු උසස් අධ්‍යාපන ආයතනයෙන් ලද ශිෂ්‍යත්වයක් නිසා එංගලන්තයේ උසස් අධ්‍යාපනය නිමා කරන්න අවස්ථාවක් ලැබුනම ආරච්චි මහත්තයා නම් හුග සතුටු උනා. නංගි නම් අයියගෙ සතුට නේ. ඉස්කෝලේ මහත්තයා ඔහුට සුභපැතුවා. මැණිකෙ විතරයි දුක් උනේ මව් සෙනෙහස නිසා. ඒත් ඔහු නික්ම යන දවස උදා උනා. ඔහුව ඇරලන්න පිටත් උනේ ආරච්චි මහත්මයා සහ මැණිකේ විතරයි. ඉස්කෝලෙ මහත්මයා ගමේ ගිහින් උන්නෙ. පොඩි මැණිකෙගෙ තනියට වැඩට එන බිසෝ අත්තම්ම ඇවිල්ල උන්නා. 

පොඩි මැණිකෙට සතුට අරන් හවස හයට විතර එක සැරේම ඉස්කෝලෙ මහත්තයා ආවා. එදා රෑ බිසෝ දෙන්නටම කෑම ඉව්වා. පොඩි මැණිකේ කලින් නිදාගන්න ගියාහම බිසෝ පොඩි මැණිකෙගෙ කාමරේ දොර ඉස්සරහින් පැදුරක් දාගෙන නින්දට ගියා. ඇගේ ආරසාවට. 

මහ රෑ මැදියමේ නදීශා මැණිකේගේ කාමරයේ ජනේලයක් ඇරුනා. අනංගයා පියඹා ආවා. කවුලුවෙන් හැමූ සීත සුළඟට වඩා චූටි මැණිකෙගෙ හිරිගඬු පිපුණෙ ඉස් ඉස්සෙල්ලාම ලැබුණු දෙතොල් හාදුව නිසා. එනයින් සියලු සීමා බැමි බිඳුනා. සීතලත් අදුරත්, දෙන්නාට දැනුනු දෙදෙනාගේ උණුසුම් පුසුඹත් ඒ බැමි බිඳින්න හුගක් උදව් උනා. ගුවන්තොටුපොලේ ඉදලා උදෑසනම ආව ආරච්චි හාමු නෝනා, නදීශගෙ කාමරය ඇතුලටම එද්දිත් නව යුවල ඒ ලස්සන සිරියහනේ එකිනෙකාට වෙලීලා තුරුලේ උණුහුමේ තවමත් නිදි.

....................................................................................................

"අර සාදු පොඩි මැණිකෙට බණ කියනව දෙයියනේ........." 

ඒම කියලා ඊලඟට සිහි මූර්ජා වෙන්න අවස්ථාව උදා උනේ ඇන්ජිලා නැන්දට. ගම්මානේ ඉදන් කිලෝ මිටර සීයකටත් ඈත එපිට උන්නු සිය මිනිපිරීගෙ කොටහලුවට ගිහින් වැඩ සේරම අහවර කොරලා ගමට එන රාත්‍රී අන්තිම බස් එකේ තමා ඇන්ජි නැන්ද ආවෙ. සුවාමි පුරුෂයා හදිසියේ අන්තරා උනාට පස්සෙ අඩු වයසින්ම බන්දලා දුන්න එකම දූ පොඩිත්ත උස් මහත් කරන්න ඈ කලේ රෙදි මහන එක. ඇයට අපූරුවට සාරි හැට්ට මහන්න පුලුවන්. 

ඒ දූට උපන් දූ වැඩිවියට පැමිණිලා මහ විසාල කොටහලුවක් ගන්නෝනෑ කියපු බෑනගෙ ගැම්මටම තුන් දොහක් පුරා ඩෙඟා නටල, මල තොවිලයක් කරා වගේ අමාරුවෙන් උන්නු නැන්ද පහුවද ගෙදර එන්න නොයිද එදා රෑම එන්නෝනි කියල බලෙන්ම එන්න පිටත් උනා.

ටවුමෙන් බහිද්දි දොලහට කාලයි. පාර දිගේ ඇවිදන් වලව්ව ලඟට එනකම්ම ඈට නිච්චියක් උනේ නෑ කොහෙන්දෝ පිරිතක් යමක් ඇහෙන්න ගත්තු වග!

ඈ අතේ තිවුන ඉටිපන්දම නොනිවෙන විදියට අල්ලලා බලද්දි එක සැරේට ඉටි පන්දම නිවුනා. සිතල පැතිරුනා. මීදුම මැද තමන් ඉබාගාතේ පිරිත් හඩ දිගේ ඇවිල්ලා ඉන්නෙ වලව්වෙ මිදුලෙ බව ඈට වැටහෙද්දි ඈ ඒ දර්සනේ අපූරුවට දෑහින්ම දැක්කා.

දෙයියනේ 
දෙයි හාමුදුරුවනේ 

"අර සාදු පොඩි මැණිකෙට බණ කියනව දෙයියනේ........." 

ඒ වෙද්දි ලොකු මැණිකෙ නැති වෙලා අවුරුදු තුනයි. නදීශා හාමු අන්තරා වෙලා අවුරුදු හතරක්.

...............................................................................................................

නිදියහනේ සෝලිය දැකපු මහ මැණිකෙ සිහි මූර්ජා නොවී වත්තම් උනා. යුවල අවදි වෙද්දි ලොකු හාමුත් කාමරෙ. එදාම ඉස්කෝලේ මහත්තයව පිටමං කෙරුනා. නදීශා මැණිකෙගේ ආයාචනාත්මක වචන ඉවත ලූ ශ්‍රී නායක හාමු, දුර ඈත තම ආරච්චි මිත්‍ර පුත්‍රයෙකුට ඈව කඩිනමින් තීන්දු කලා.

ඇන්ජි නැන්දට ඇගේ මඟුල් ගවුම වලව්වෙදිම මහන්න ඕඩරේ දුන්න. කැවිලි පෙවිලි වලින් වලව් වත්තම සුවඳවත් උනා. ඒ අවු අස්සෙ එක දවසක හදිසියේම ඉස්කෝලේ මහත්තයා ඇගේ අත පතාන දුප්පත් දෙමාපියන් එක්කලාම වලව්වට ආවත් ඔවුන්ව එලෙව්වෙ ගමේ වලිදාසලා දෙන්න උනු වලව්වෙ මඟුලෙ වැඩ වලට ඇවිල්ල උදව් කරමින් උන්නු කරුණාදාසත්, දඩයම් ජයරත්නත් එකතු වෙලා. ගුරුතුමාගෙ වයසක අම්මව වත්තෙන් එලියට ඇදල දැම්ම විදියට ඇයගෙ ඔලුව කොහෙදෝ වැදිල ලේ ගලනවා. වත්ත මායිමේ ඉදන් ඈ විලාප දෙද්දි මැරයො දෙන්න පිය පුතු දෙන්නට නොසෑහෙන්න තඩි බාලා වත්තෙන් එලියටම ඇදල දැම්මා.

පහුවදා කිසිත් නොවුනා සේ මඟුල් ගෙදර සිරිය පැතිරිලා උදා හිරු එබිකම් කරද්දී අපූරුවට සූජානම් කොරල තිබ්බ මගුල් සාරියෙන් ගෙල පටලෝගෙන නදීශා බේබි එයැයිගෙ කාමරේ බාල්කේ එල්ලිලා පැද්දි පැද්දි නිසලව උන්නා.

මල ගෙදර විලාප මැද ආරච්චිලාගේ පපුව ඇදුම් කෑවා. මල හිරු ඈති අඩවන් වෙන හෝරාවෙ තමන්ගෙ එකම පොඩි දූ යට කරල වහල දාපු අධම මිනී වල උඩ තිවුනු සුදු මල් වඩමත් පෙරලාගෙන  කපා හෙලුව කෙහෙල් කඳක් වගේ ආරච්චි මහත්තයාව බිමටම ඇදගෙන වැටුනා. මල් වඩමෙ ඇන දෙකක්ම බෙල්ලෙ ඇනිල තිවුනත් ඊට කලියෙන් ඔහුගෙ පපුව පැලිල බව වෛද්‍ය වාර්තා තහවුරු කොරල වරු තුනක් ගෙවුනු තැන නදීශා මැණිකෙට එහායින් ඇගේ පියතුමාත් මිහිදන් උනා.

නෝන හාමුත් බිසෝත් වලව්වෙ තනි උනා. ඒත් වලව්ව නිසලව තිබ්බෙ නෑ. හත්දොහෙන් පසු එකදාක රෑ වලව්වෙ බත් මුට්ටිය සාලෙ මැද වැටිල බිඳිල තිබ්බ. කවදාවත් එදායින් පස්සෙ වලව්වෙ බත් උයන්න බැරි උනා. අහල ගෙදරකින් උයවාගෙන කන්න නෝනා හාමුටත්, බිසෝටත් සිද්ධ උනා. වහල දාල තිවුන නදීශ බේබිගෙ කාමරෙන් එකේක සද්ද ඇහෙන්න ගත්තා. රැට කොච්චර කලත් පිරිත් දැම්මත් වලව්වෙ මූසල ගතිය නැති උනේ නෑ.

සෙරම විපත්ති දරාගෙන ගැහැණු කම නිසාම වලව්වෙ උන්නු නෝනා හාමු දිරාපත් උනා. එකම පුතාට ලියූ කිසි ලිපියකට උත්තරයක්වත් ආවෙ නෑ. එකම බලාපොරොත්තුවත් මැලවීගෙන අවුරුද්දක් ගෙවුනු තැන මහ රෑක අපූරු සිදුවීමක් සිද්ධ උනා.

මහ වැසි වැටෙන අන්ධකාරය මැද හිස මුඩු කරගත් පුරුෂයෙක් හෙමින් හෙමින් වලව්වට ඇදුන. වලව්වෙ ප්‍රධාන දොරටුව ඇරිල තිවුනෙ. ලොකු මැණිකේත් බිසෝත් මහ කාමරේ මුල්ලෙ අඩ නින්දෙ උන්න. සද්ද බද්ධ වලට ඔවුන් දැන් හුරු වෙලා ඒත් බියෙන් නිදි. යන්න තැනක් නැති කමට ඉන්නවා.

මහ රෑ පැමිණි චරිතය හෙමින් හෙමින් පාවහන් රහිත තෙත් දෙපයින් නදීශා හාමුගේ කාමරයේ දොර විවෘත කර ඇතුල් වී පරෙස්සමින් වට පිට බලා පසෙක තිබුනු පුටුව ගෙන හිඳගන්නවා. උරපතේ එල්ලී ඇති බෑගයෙන් වටාපතක් ගෙන හෙතෙම සිහින් හඬින් ඒත් ත්‍රීව ලෙස ධාරණය වෙන සුලු හඬකින් බණ පදයක් පටන් ගන්නවා. ඒ හඬ කන වැටෙන නෝනා හාමුත්, බිසෝත් හෙමින් හෙමින් පැමිණ නදීශාගෙ කාමරේට එබෙනවා.

ඉස්කෝලෙ මහත්තයාගෙ මූණට සමාන මූණක් තියෙන හාමුදුරුවෝ නමක් කාමරේ අසුන් ගෙන ඉන්නවා. සුදු ඔසරියෙන් සැරසුනු නදීශා හාමු එකත්පස්ව ඔහු ඉදිරියේ වැඳගෙන ඉන්නවා. ඔහු ගාථාවන් එකින් එක මුමුණද්දී ඇයගේ මුහුණ ආලෝකමත් වෙනවා. ඒත් සියල්ල අත් හැරදා යා යුතු බව පවසද්දී ඇගේ මුහුණ අඳුරු වෙනවා. ඒ ලස්සන දැස් වලින් ගිනි විදිනවා. වෛරය වෑහෙනව. ගන්ධබ්බ ආත්මයක් වෙලා ඉන්න නදීශාට යලි උප්පත්තිය තව දුරයි.

ඒ සිද්දිය දැකපු බිසෝ අම්මා විලාප දීගෙන විකල් වූ සිහියෙන් යුතුව වලව්වෙන් එපිටට දුවද්දී නෝනා හාමු කම්පනයට පත්ව ලය පැලී එතනම මිය යන්නේ වලව්වේ තවත් ජීවිතයක් නැති බවට පසක් කරමින්.

උදෑසන ගම්මු එක් රැස් වෙද්දී ලොකු නෝනා හාමු නදීශා හාමුගේ සිරි යහන මත සීතල වෙලා. අර සාදුගේ ජායාවක්වත් නෑ. වලව්වේ විනාශය සංකේතවත් කරමින් ගම්මුන් එක්කහු වෙලා ලොකු නෝනා හාමුගේ අවසන් කටයුත්ත සිදුකරල අහවර කලා.

අවසන් කටයුතු අවසන් කොට අවසන් වරට නදීශා හාමුගේ කාමරයට පිවිසුනු ගමේ තරුණයින් දෙන්නෙක්ට මේසය උඩ තිවුන පත්තර කැබැල්ලක් හමු උනා.

මහණ දම් පුරමින් උන් ඉංග්‍රීසි ගුරුවරයා හදිසියේ පන්ති කාමරය තුල අපවත් වෙලා.

ඒ පත්තර කැබැල්ලේ එහෙම සඳහන් වෙලා තිවුනා. 

කලකට ඉහතදී සිදු වූ නොදන්නා අනතුරක් හේතුවෙන් අතිශය දුබල තත්වයකට පත් ව සිටි තරුණ ඉංග්‍රීසි ගුරු අරුණ කුමාර මහතා අරංගවිල සුමණජෝති ලෙස පසුව මහණ දිවියට ඇතුල් වූ අතර දිගටම සිය ඉගැන්වීම් සිදු කල දක්ශ ගුරුවරයෙක් විය. ඊයේ දිනයේ පන්ති කාමරයේ ඉගැන්විම් කරමින් ඉන්න අතරතුර ඇදවැටීමෙන් පසු උන්වහන්සේ අපවත් වී ඇත.

අසම්පූර්ණ ආදරයක අංකුර අකාලයේ දෙතැනකට වෙන්වෙලා එකිනෙකාව නොදැකම මියැදිල ගිහිල්ලා කාලයක් ගත වෙලා. තනතුරු තානාන්තර ඉහේ ගහං ඉන්නා සමාජයක කොයි තරම් නිර්මල වුවද ප්‍රේමයට ඉඩක් නැතිම තරම් නෙව. කෙතරම් වූ ගන්ධබ්බ ආත්මයන් ප්‍රමාණයක් මෙලෙස සැරි සරනු ඇතිදැයි හිතාගන්නටවත් බෑ. අත් හැර ගැනීමට නොහැකි අසම්පූර්ණ හීන සම්පූර්ණ වන තෙක් ඔවුන් මේ අවකාශයේ සැරි සරන්නන් වෙලා.

ගන්ධබ්බ ආත්මයක් වූ නදීශා හාමු වෙනුවෙන්ම ගන්ධබ්බ ආත්මයක් වූ ඉස්කෝලේ මහත්තයා හෙවත් සුමණජෝති හාමුදුරුවෝ හැම වර්ෂ පූර්ණයකදීම මහ රෑ වලව්වට වඩිනවා. සුපුරුදු පරිදි මීදුම වලව්ව වටේට කැරකෙද්දී වත්ත පහල දෙණියේ නිදා ඉන්නා නදීශා හාමු වලෙන් නැගිටලා ඇවිත් වලව්වේ ඉදිරිපස දොරෙන් සාමකාමීව ඇවිල්ල ඇගේ නිදන කාමරයට ඇතුල් වෙනවා. එ වෙද්දිත් බණ කියන්න සූදානමින් සුමණජෝති හාමුදුරුවෝ සූදානම්.

සෙරටම කලියෙන් චිත්‍රපටියක් වගේ හැමදේම දෑස් හතරක් ඉදිරියේ කෙටි වේලාවක් මැවි පේනව. බට්ට පැනපු හැටි. කෙටි සටහන් හුවමාරු කරගත්තු හැටි. ඉඟි පාපු හැටි. පලමු සහ එකම වින්දනාත්මක සුරතාන්තමය එක්වීමද මැවී පේනවා. ඉක්බිති තිරය දෙකට බෙදී ඇයට ඔහුගේ කතාවත්, ඔහුට ඇයගේ කතාවත් වෙන වෙනම කියැවෙනව. ශෝකයෙන් බරැති දෙනෙත් එකට ගැටෙද්දී ඔහු වටාපත දෝතින් ගෙන ඇයගේ හිසට පවන් සලා අසුන් ගද්දී ඇය ඔහු ඉදිරියේ එකත්පස්ව හිඳ නලලේ දෑත තබා වැඳගන්නවා.

පාලු වලව්වේ අඳුර තුල "පන්සිල් ගැනීම සඳහා නමස්කාරය කියන්න" හඬ ත්‍රීව ලෙස පැතිරෙද්දී අවට ගහ කොල පවා නොසෙල්වී රාත්‍රිය ගුප්ත ලෙස නිශ්චල වෙනවා.

අවුරුදු ගාණක් ගත වෙලත් තවමත් ඒ දවසට, ඒ පාලු වලව්වෙන් පිරිත් සඥ්ඤායනාව යසට ඇහෙනවා....................

6 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. හොල්මන් කථාවක්...බුදු අම්මෝ.....

    ඇත්තටම හොල්මන් තියෙනවද? -

    Mayya

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා! මම දැකලත් නෑ! ඒත් කතා ලියනවා

      Delete
  2. අවසානය තෙක් කුතුහලය රඳවාගන්න සමත්වෙලා තියනවා. පොඩි කාලේ මෙහෙම කතා කියවලා ඉන්න තැනින් නැගිටින්න බයේ හිටිය හැටි මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ කමෙන්ටුවට

      Delete
  3. මේ වගේ දේවල් අනන්තවත් වෙනවා
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විජේබාහු සහෝදරයා

      Delete
Previous Post Next Post

Contact Form