නිසල්


නිසල් අතුරුදහන් වෙලා. ජාත්‍යන්තර පාසලේ කතාව ඒක. කා එක්කවත් වැඩිය කතා බහට නොගිය පන්තියේ එකම එක යාලුවෙක් එක්ක විතරක් කතා කරගෙන ඉදපු ඒ පන්තියේ දීප්තිමත්ව ඉගෙනගත්තු ගණිත අංශයේ ඉදපු ශිෂ්‍යයෝ විසි දෙනාගෙන් කෙනෙක් හිටි හැටියේ අතුරුදහන් වෙලා.

අවසාන විභාගය තව මාස හයකින් පටන් ගන්නව. ඒ අව් අස්සෙ නිසල් අතුරුදහන් වෙලා! 

නිසල් කෝ?

පොඩි හුණ්ඩුවක්  වගේ තිවුන ගෙදරක ඉඳන් ගිය පොලීස් පරීක්ශකතුමාට ඇත්තම මාලිගාවක් හැබැයින් දකින්න තිවුන. ඔහුට අසුන් පනවපු රාජ ආසනයෙ ඔහුව ගිලා බැස්ස. විල්ලුද වගේ සනීපයි. ටිකකින් හඬපු දෙනෙත් ඇති කාන්තාවක් සහ මඳක් කෙස් පැහුනු සාමාන්‍ය උසක් ඇති ධනවත් බව මුහුණෙන් පේන පුරුෂයෙක් ඇවිල්ල ඔහු ඉදිරියේ හිද ගත්ත.

තවම නිසි ආරංචියක් ලැබිල නෑ ප්‍රනාන්දු මහත්මය!

පරීක්ශකවරයා එහෙම කියලා නිසල් ගැන තවත් තොරතුරු අපේක්ෂාවෙන් අසුනට හෙත්තු උනා.

අපිටත් හිතාගන්න බෑ. පවුලෙ බාලම දරුව! අපේ දුවල දෙන්නම වෛද්‍යවරුන් වෙන්න ඉගෙනගන්නව. එයාල ඉන්නෙ එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවෙ. අනික් කෙනා පේරාදෙණිය කැම්පස් එකේ. මන් ඒ දුවල දෙන්නටත් පණිවුඩ යැව්ව. මගේ සමාගම් වල ශාඛා රට වටේම. ඒවග වැඩ කරන මගේ කළමණාකරුවො ඇතුළු කණ්ඩාවම් වලටත් විශේෂ අවධානයෙන් ඉන්න කියලා යැව්ව.

කප්පම් ඉල්ලලාවත් ඇමතුමක් නම් ආවෙ නෑ. කිසිම දෙයක් නෑ. 
 
බිත්තියේ නිසල් සහ අම්ම අප්පච්චී ඉන්න පොටෝවට පරීක්ෂකවරයාගේ දෑස් යොමු වෙද්දි, කතා බස් අස්සෙන් ප්‍රනාන්දු මිය ආයෙම ඉකි බිදින්න ගත්තා.
 
ඇත්තටම නිසල් කොහෙද? 


පුබුදුගේ කතාව

ඔව්, නිසල් මගේ ඉස්කෝලෙ යාලුවා. ඌ ඉගෙනගන්න දක්ශයෙක්. ඒටත් එහා ඌ හරි නිහඬ එක්කෙනෙක්. මොකාක් හරි වේදනාවකින් ඉන්න බව හැම වෙලේම මට තෙරුනා.

ඒත් ඊයෙ ඉස්කෝලෙ ඇවිල්ලවත් කිසිම දෙයක් කිව්වෙ නෑ. හවස වෙනද වගේම අර සංගීත පන්තිය තියෙන්නෙ ටවුමෙ. ඒ පැත්තෙ ගිහින් එන්නම් කියල යන්ඩ ගියා. මොකද මිනිහ හරි ආසයි වයලීන් ගහන්න. සංගීතය සහ ගණිතය එකක් කියලයි හැම වෙලේම නිසල් මා එක්ක කිව්වෙ.

පුබුදු මේ විස්තර කිව්වෙ පරීක්ශකතුමා ඔහුගෙන් විස්තර අහපුවම.

වෙනත් විශේෂ තොරතුරු මොනවද? පරීක්ශකවරයා පුබුදුගෙ මූණට එබුනෙ ඇත්ත කියනවද කියලා බලන්න.
 
සංගීත භාණ්ඩයත් අතට ගත්තම ඔහුට ඒක ඉක්මණින් වයන්න හැකි වෙනවා. උදාහරණ ලෙස මැණ්ඩලීන් එකයි ගිටාර් එකයි කියන්නෙ භාණ්ඩ දෙකක්. හැබැයි ගිටාර් එකේ ස්වර පිහිටීම සහ මැණ්ඩලීනයේ පිහිටීම සම්පූර්ණයෙන් වෙනස්. ඒක මට කියලා දුන්නේ නිසල්. ඊළගට ඔහු සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි. සංඛ්‍යාතය, ආතතිය වගේ දේවල් සහ සංගීතය අතර සමානකං ගණිතයෙන් කියලා දුන්නම ඒක තේරුන් ගියා කජු කනව වගේ ලේසියෙන්.
 
ඇත්තටම සංගීතයයි ගණිතයයි එකක් සර්! ඒක ඔහුගෙ සොයා ගැනීමක්ද මංදා?
 
මේ නොවැදගත් කතාන්දර අස්සෙ පරීක්ෂක තුමා නොඉවසිලිමත් නොවී අහන් උන්නෙ වෙලාවකට පිටවෙන අකුරක් උනත් වැදගත් නිසා. 
 
තවත් විස්තර නැතිද? තරුණ ලමයෙක් නෙ. ගෑල්ලමයෙක් එහෙම ඉන්න ඇති නේද?

ඒත් පුබුදු බිම බලන් උන්න.
 
ඒ ගැන විස්තර කියල මහ ලොකු දෙයක් නෑ. මේක කිව්වට කමක් නෑ නේද සර් මේ වෙලාවෙ. එයා ආදරය කරන ගැහැණු ලමයෙක් ඉන්නව. ඒ ගෑනු ළමය මේ අතුරුදන් වීම ගැන දන්නවද කියන්න මම දන්නෙ නෑ.

පුබුදුගේ වචන වලින් අඳුරේ දිලෙන පුංචි රිදී රේඛාවක් පරීක්ෂකවරයාට පෙනුන.

එයාගෙ නම? 
 
සිතුමාලිකා , අපේ අල්ලපු ඉස්කෝලෙ, ඒ කියන්නෙ බාලිකාවේ දොලහ වසරෙ සංගීතය කරන ලමයෙක්.......



සිතුමාලිකාගේ කතාව

නිසල්ට ආදරේ කරන්න අමුතු හේතුවක් ඕනැ උනේ නෑ. සොභාවයෙන්ම එයා ආදරණීයයි. එයා මාව හෙමෙන් අල්ලන්න පුරුදු වෙලා හිටිය. හරියට වයලිනයක තතක් හඬවනව වගේ මගේ හිතට ඒක දැනුනා. එ වගේම එයාගෙ අමුතු නිහඬ බව!

ඉස්සෙල්ලම මං එයාව දැක්කෙ අපේ ඉස්කෝලෙ ගාවදි. නිකන් හරියට බෙල්ලෙ කැක්කුමෙන් ඉන්නව වගේ ඉන්නෙ. බෙල්ල නමාගෙන. ඒත් එයා හරි හැන්ඩ්සම් ලමයෙක්. ඒ කෝම දේවල් උනත් මං එයාට කැමති කමක් ඇති උනේ සංගීතයට එයාගෙ ඇති ඇල්ම නිසා. එයා හොරෙන් හොරෙන් ඇවිත් අපේ පන්තිය ළගට වෙලා බලන් ඉන්නවා. ඒකේ සර් දන්නවා මෙයා සංගීතයට ආස උනාට ඉන්නෙ ගණිත පන්තියේ කියලා.

ඔහොම දවසක් ඉන්නැද්දි ඒ ගුරුතුමා එකපාරටම ගිහින් නිසල්ව ඇදන් ඇවිත් පන්තියේ ඉස්සරහ ඉන්දවලා අතට ගිටාර් එකක් දීලා මේක ගහපං ඔච්චර ආසනං කියලා කිව්වම එයා ඒක පැත්තකින් තියලා වයලීනයක් අරන් පන්තියේ පැත්තකට ගිහින් ඉඳ ගත්තා. පන්තිය කෙරීගෙන යනවා දැන්. ඒම ඉද්දි විනාඩි කීපයයි ගියේ පුදුම ලස්සන වයලීන් වාදනයක් ඇහෙනවා පිටුපස්සෙ දිහාවෙන්. බෙල්ලට තියා ගත්තු වයලීනයෙන් එයා හරිම ලස්සන තනුවක් වයන්න ගත්තා. ඒ තනුව අහන් ඉදපු අපි වශී උනා. ටික වේලාවක් කඳුලු පිරුණු ඇස් ඇතිව උන්නු පන්ති කාමරයේ ගුරුතුමා කලන්තෙ හැදිල වේදිකාවෙම බිම ඇදගෙන වැටුනා. ඒ කලබලේ අස්සෙ නිසල් පන්තියෙන් පැනලා දිව්වා. වයලීනය මේසයක් උඩ තියලා හති දාගෙන පිටට දිව්වා.

එදා තමයි මං අන්තිමට නිසල්ව දැක්කෙ. මං පන්ති ඉවර වෙලා යද්දි වෙනදා වගේ කතා කරන්න බලද්දි එයා ගිහින්. ගෙදර යන්නැති කියලා මං හිතුවෙ!

නව යොවුන් වියේ, එහෙත් ලජ්ජාශීලී නොවන සිතුමාලිකා දීප්තිමත් ශිෂ්‍යයාවක් කියලා පරීක්ශකතුමාට හැඟුනෙ ඇයගෙ චතුර බව හින්ද. නිසල් අතුරුදහන් වෙලා කිව්වම ඇය පුදුම වෙලා ගිරවියක් වගේ මේ විස්තර කිව්වෙ ලොකු සහයෝගයක් ලබා දෙමින්.

ඕ දෙන්න ගත්තු පොටෝ එහෙම නැද්ද? පරීක්ශකතුමා එහෙම අහද්දි ඇය මඳක් රතු උනත් ජංගම දුරකතනයෙන් ඇය ජායාරූපයක් අරන් පෙන්නුවා.

මේ අපි දෙන්න ඉංග්‍රීසි පන්ති ගිය දවසක. අපි හමුවුනේ එහෙදි ඉස්සෙල්ලම.
 
ඇය පෙන්නපු පින්තූරෙ දැක්ක සැනින්ම පරීක්ෂකවරයාට අවධාරණය උනේ එක කාරණාවක්. 
ගෙදර පොටෝවෙත් මේ කාරණාව දැක්ක නිසා ඔහුගෙ හිතේ එහෙම්ම ධාරණය උනා.


සංගීත ගුරුතුමාගේ කතාව

කොල්ලට පන්තියේ ඉන්න උවමනාව තියනවා. ආරංචි විදියට මැත්ස් ක්ලාස් එකේ හොඳට ලකුණු තිවුන. ඒත් ගණිත අංශයේ දක්ශයෙක් වෙන්න ඕනි උනේ නෑ. මිනිහට ඕනි උනේ වයලීනයක්. ඒත් සංගිතය හදාරන්න උවමනාවක් තිවුනෙත් නෑ කියලයි ආරංචි.

මිනිහට වයලීනයක් ඕනෑ උනේ ඒකෙන් වයන්න විතරයි  මිහිරි තනු වයන්න විතරයි. ගුරුතුමා කතාව පටන් ගත්තෙ පරීක්ෂක තුමා තමන් ආව කාරණාව කිව්වම. 
 
ගෙදර බලපෑම වෙන්නැති මිනිහා ගණිතය කරන්න පෙළඹුනේ. හැබැයි ඒක අකමැත්තෙන් නෙමෙයි කලෙත්. හරි පහසුවෙන් ඔහු ගණිත කර්ම භාවිතයෙන් ගැටළු විසඳුවා කියල පන්තියේ ළමයින්ගෙන් සහ ඒ පන්ති වල ගුරුවරුන්ගෙන් අහපුවම කිව්වා!
 
ඔච්චර විස්තර හෙව්වෙ ඇයි? මොකක්ද සිද්දිය? ඇයි තමුන් එදා පන්තියේ කලන්තෙ දැම්මෙ? 
 
පරීක්ෂකතුමා ඒම අහද්දි නං ගුරුතුමාට කෙල හිඳුන. ඒත් ඔහු කොහෙන් කතාව පටන් ගන්නවද කියලා හිතල මේම උත්තරයක් දීල නිහඩ උනා.

මට කලන්තෙ දැම්ම සිදුවීමයි මේකයි කිසිම සම්බන්ධයක් තියෙන්න විදියක් නං නෑ. උදේට කාලා නොඉඳ සහ රාත්‍රිය පුරා මං ඇහැරිලා උන්නු නිසා ප්‍රශ්න පත්තර වගයක් බලන්න, ඒ වෙහෙසට වෙන්න ඇති. මේ ක්ශේත්‍රය හරි අවිවේකයි නෙව!
 
ඒ කොල්ලා වාදනය කරපු ඒ තනුව හරි මිහිරියි. පන්තියේම සහ මේ මං උගන්වන අවුරුදු ගාණකටම වයලීනයක් ඒ වගේ වයන්න පුලුවන් එකම කෙනෙක් විතරයි හමු වෙලා තියෙන්නෙ මීට ඉස්සෙල්ලා. කෝම වෙතත් ඒ වාගේ ලස්සන තනුවක් වයන මැත්ස් කරන කොල්ල ගැන මට උනන්දුවක් ඇති උන නිසා හොයල බැලුව.

කෝම හරි මට සිහිය එද්දි කොල්ලා පැනල ගිහින් පන්තියෙන්. මං විස්තර හෙව්වෙ එදා. හැබැයි ඌ එදා පන්තිියෙන් පැනලා ගියාට මෙහෙම අතුරුදන් වෙයි කියලා නං හීනෙකින් වත් හිතුවෙ නෑ පරීක්ෂක තුමා.

මගේ මේකට සම්බන්ධයක් නෑ. කොටින්ම මං එදා ගිටාරයක් දීලා විනෝදට වගේ කිව්ව මිසක් ඇත්තටම තරවටුවක් කලා නෙමෙයි.

කතාවේ මොකක්දෝ අඩුවක් දැනුන නමුත් පරීක්ෂකවරයා එතනින් නැගිටලා ආවා. 
 

සොහොන් කොත අසල

සොහොන් කොත දෙපැත්තෙ එකිනෙකාට පිටුපාලා වාඩි වෙලා උන්නු යුවලගේ හඬ නිහඬයි. එතන රෝස මල් පොකුරක් අතින් ගත් යුවතියක් ඉන්නවා. නිනව් නැතිව ඇයට පිටුපාලා වාඩි වෙලා උන්නු මාධවත් හිඳගෙන ඇගේ ළගින්. මඳ සුලඟ, සන්ද්‍යාව, සිසිලස සහ මීදුම මැද්දෑවේ.

හැටන් නගරයේ සීතල මීදුම පිරුණු කඳු අතරින් ඉදිරියට ගිහින් දික්ඔය නගරය හෙවත් කුඩා කඩ මණ්ඩිය පහු කරලා නෝර්වුඩ් පැත්තට ඇදෙද්දි හම්බෙනවා කිතුණුවන්ගේ පල්ලියක්. හරියටම දික් ඔය රෝහල පහු වෙලා ඊලඟ් වංගුවේදි.  අපූරු අලංකාර කලු ගලින් නිමවූ කිතුනුවන්ගේ පල්ලියක්. මේ පල්ලිය තියෙන්නෙ හරි අපූරු තැනක. කඳු ගැටේක ඉස්මත්තෙ. ඊට පහලින් සහ ඈතට ඈතට තියෙන්නෙ නිල්වන් වූ දිය පිරුණු කාසල්‍-රි ජලාශය. සුන්දරම ස්ථානයක්.

පුදුම අපූරු පහේ ලස්සනක් මෙතන තියෙන්නෙ. එතන පල්ලියට ඇතුල් වෙන්න පලු දෙකේ විශාල ගේට්ටුවක් තියනව. ඒ ගේට්ටුවෙන් ඇතුලු උනාම පල්ලියේ ප්‍රධාන දෙරටුව තෙක් යන්න අඩි පාර. අඩි හයක් පමණ. ආන්න ඒ අඩි පාර දෙපැත්තෙ ඉන්නවා පරණ සුද්දගෙ කාලේ යුධ විරුවො, ඉන්ජිනේරු වරු, ප්‍රාදේශීය පාලක වරු, එකී නොකී මිනිස්සු.

ඇත්තටම ඒ පාර දෙපැත්තෙ තියෙන්නේ සොහොන් කොත්. ඒවා තුල ඒවාට උරුමකම් කියන හිමිකාරයෝ සැතපිලා ඉන්නවා මේ පල්ලියේ වත්තේ. බොහොම අලංකාට තිරුවානා වැනි පාශාණ ඔබ්බවල හදපු සොහොන් කොත් එතන තියනවා. යන ඕනෑම කෙනෙක්ට තහංචියෙන් තොරව බැලුවැ හැකි. නම් ගම් සහ කාල සීමාවන් පවා කොටලා තියනවා.

සුද්ද ගෙ රටට වෙලා ඉන්න බැරුව මේ පාපයේ භූමියට ඇවිල්ල මියගිය ඇත්තෝ...

උදේ සවස රෑ කියල නෑ මේ සොහොන් කොත් සිපගෙන මීදුම් වලාව පැතිරෙන්නෙ කාසල්-රි ජලාශයේ තෙත ජල වාශ්ප කැටි කරගෙන. මීදුම මැද්දෙන් පල්ලියේ ජායාවත්, සැමට ඉහලින් පල්ලියේ මුදුන් ලීයට සම්බන්ධ උනු කුරුසයත් පෙනෙන්නෙ හරි ගුප්ත විදියට.

ආන්න එහෙම ගුප්ත විදියට මේ කුරුසය පෙනුන, මීදුමින් පිරුණු හවසක මාධව මේ පල්ලියට ඇතුලු උනා.

මීදුම සිසිල මැද Midi dress ආකාරයේ ගවුමකින් සැරසුණු යුවතියක් මල් පොකුරක් අරන් පල්ලියට ඇතුල් වෙනව කවුරුත් දැක්කෙ නෑ. හැබැයි කුරුසය නලලතේ දරාගත් පල්ලිය වටේට අධික මීදුමක් හැමුවා.

රෝස මල් වල සුවඳ අපූරුයි. මඳ සුලඟට ඇගේ කෙහෙ රැලි නැලවෙනවා. ඈ නිහඬව ඉදිරියට ඇදෙනවා. ගේට්ටු පලු වලින් ඉවත සිටින අයෙකුට ඈව නොපෙනෙන තරම් මීදුම රළු වෙද්දී පල්ලියේ ඉදිරිපසින් මාවතේ යනෙන රථ වාහන ආලෝක පහන් දල්වාගන්නේද මීදුම අධික නිසා.

ඇය ඉස්සරහට ඉස්සරහට අඩි පාර දිගේ ගිහින් අඩි පාරේ අඩක් දුර ගිහින් වමට හැරිලා තියන උස සොහොන් කොත ලග හිඳගන්නවා. ඒ සොහොන් කොත විශේෂ එකක්. ඒක අඩි දෙකක් පමණ උස කුරුසයක් තියනවා. ඒ කුරුසය සවි වෙලා තියෙන්නෙ පියනට. එනම් මෘත ශරීරය බහාලන වල වසන වලේ පියනට. ඒ පියන මත කැටයමක් අඩංගුයි. ඒකෙ කුරුසෙ මැද්දෑවේ තියනවා නම ගම සහිත විස්තරයක්, පියනේ ලස්සන මල්වැලක් සහ ඒ මල් වැලේ පිපුණ පෙති හතක මලක් චාම්ව කොටලා තියනවා.

හත් පෙති රෝස මලක්. පෙති ගැඹුරට කොටපු රෝස මලක්..

ඈ අතේ රඳවාගෙන උන්නු රෝස පොකුරෙන් එක මලක පෙත්තක් අරගෙන සොහොන් කොතේ ඒ මල් කැටයමේ පලවෙනි පෙත්ත උඩින් තියනවා. එතකොටම හුලං දහරාවක් ඇවිල්ල (එතන නිතරම සුලඟ නෙව) ඒ මල් පෙත්ත අරගෙන කාසල්-රි ජලාශය දෙසට පාවීගෙන ගිහින් අතුරුදහන් වෙනවා. ඒ දකින යුවතියගේ නෙතින් කඳුළු පනිනවා. ඉකිගසමින් ඈ ඉතුරු රෝස පෙති සී සී කඩ යනසේ අර කුරුසය මත ගසනවා. එවිටම වැහි පොද හමනවා. සීතල හිරිකඩ ඈව තෙමනවා.මිඩි ගවුම ඇගේ ඇඟට ඇලිලා. කොන්ඩය තෙමිලා ඈ සීතලෙන් වෙවුලනවා.

වැස්ස වෙලාවේ මේ කියන පල්ලියට යන්න මාධවට හිතුනේ ඇයි කියලා කවුරුත් දන්නෑ නෙව. ඉතින් මාධව මැද පාර දිගේ ඇවිදන් ගියා. ඉස්සරහට. වැස්සෙම.එක පාරටම පල්ලිය වටේට තියන උස ගස් ඇඹරෙන්න පටන් ගත්තා. වැස්ස දැඩි වෙන්න ගත්තා. එතකොටම තමයි මාධව ඈව දැක්කෙ...

සොහොන් කොතක් ලඟ හිටගෙන ඉන්න යුවතිය.
රෝස මල් විසුරුණු සොහොන් කොත ලඟ ඉන්න යුවතිය.
ගවුමකින් හැඩ වුනු නෙත් අඩවන් වූ වැසි දියෙන් පෙඟෙන තරුණිය.

කවුද මේ? මහ වැස්සෙ...? මාධව කල්පනා කලේ එපමණයි

හඩමින් උන්නු ඇය පසෙකින් තිබුන කවරය හැරලා සුදු පාට වයලීනයක් අරන් මාධව ළඟට පා වෙලා එනවා. මාධවත් නන්නාඳුනන ඈ ගාව දපනෙ වැටෙනවා. ඇය මාධවගේ කන් පෙත්තකට හුස්ම වැදෙන තරම් ලං වෙලා හෙමින් මුමුණනවා.

ඇස් පියාගන්න.
ගැනුලමයා කිව්වම මාධව ඇහුව ඒ මොකදටද කියල

ගෑනු ලමය කියන්නෙම ඇස් පියාගන්න කියල....

ඉතින් මාධව ඇස් පියාගත්තා...

එතකොටම සුලඟ කැරකෙන්න ගත්තා මාධව වටේට.
සීතල දැඩිව දැනුනා. ඇස් අරින්න හැදුවට මාධවට ඇස් ඇරගන්න බැරි උනා.

එන්නත් කට්ටක් උගුරු දණ්ඩ ඇතුලෙ දැවටෙනව වගේ දැනෙද්දි මාධව වෙර අරගෙන කෑ ගහන්න හදද්දි ගෑනු ලමයගෙ හඬ ඇහුන.

ඇස් අරින්න දැන්...

පල්ලිය ගාව උන්නු මාධව දැන් ඉන්නේ කාසල්-රි ජලාශයේ වේල්ල උඩ. කොහොම ගියාද එතනට ආවද මාධවට නිනව්වක් නෑ. ජලාශයේ වතුර උඩින් මීදුම් සලුවක් එලල වගේ මීදුම ගලලා.. හතර වටේටම මීදුම. ලඟ ඉන්නා දෙන්නෙක්ට හැරෙන්න අඩි පහක් දුර නොපෙනෙන තරම් මීදුම. මාධව ඇගේ අතින් අල්ලගත්තා..
ඒ අත් සීතලයි. ඉඳලා හිටලා ලයිට් දල්වාගෙන වේල්ල හරහා යන තුන් සක රථයක්, මෝටර් රථයක් හෝ මෝටර් බයිසිකලයක් ඇරෙන්න වෙන කිසි බාධාවක් මේ යුවලට තිබුනෙ නෑ..

ඇයගේ සුන්දර මන්දස්මින්තයට වශී උනා වගේ ඉඳපු මාධව හුහාක් වෙලා නිහඬව තිබුණු අවට නිහඬ බව බිඳිමින් කතාව ඇරඹුවා..

මේ,
ඔයාගෙ හිනාව සමාජ සේවයක් ගෑනු ලමයා,

ඒ හිනාවට මිනිස්සු නිවෙනව!
ආදරේ වෙනව!
ප්‍රශ්න අමතක කරනව!

ඉතින්!
ඒ හිනාව ඇතුලෙ තියන හැබෑ කතාව මට දැන්වත් කියනවද?

මාධවට කියනවද....?
පොඩ්ඩක්වත් කියන්න බෑද?
එහෙනම් ලියලා දෙනවද?
පටිගත කරලා වට්සැප් දාන්නත් බැරිද?

හිතේ හැමදාම රහසක් විදියට තියාන ඉස්සරහටත් හිනාවෙනවද?
වයසට ගිහිල්ලමත් ඔය වගේම ලස්සනට හිනාවෙනවද?
හිනා වෙනව නේද?

උත්තරයක් නොදුන්නු ඇය වේල්ල දිගේ ඇවිදන් ගිහින් පාර අයිනේ තියන තණකොල ගොල්ලේ හිඳගත්තා. වයලීනය අතින් ගත්තු ඈ එය ගෙල මත තබාගෙන වාදනය කරන්න ගත්තා. 

ඒ වාගේ ලස්සනට වාදනය කරන්න ඇහැකි කෙනෙක් මාධවට හමුවෙලා තිබුනෙ නෑ. ඔහු ඒ සුන්දර වාදනය හිත පුරාම විඳගත්තා. ඇගේ අවට ඒ මියුරු සංගීත ස්වර අනුසාරයට කණාමැදිරි රෑනක් ඇවිදින් අපූරුවට නර්තනයක් ඉදිරිපත් කලා. 

ඇය ඇත්තටම සුන්දරයි. ඒ සුන්දරත්වයට මාධව වශී උනා. එතෙක් දෑස් වසාගෙන වාදනය කරමින් උන්නු ඇය වාදනය නවතා මාධව දෙස බැලුවා. මාධව අහපු ප්‍රශ්නයට ඇගෙන් උත්තරය ආවා!

"වයසට යන්න තරම් කාලයක් මම ජීවත් වෙන්නෙ නෑ..."

එහෙම කියලා ආයෙමත් හිනාවුනු ගෑනු ලමයා වයලීනය තණකොල ගොල්ලේ තිවුන ගල් කැටයක් උඩ එහෙම්ම තියලා වේල්ල මැදට දුවගෙන ගිහින් පතුලක් නොපෙනෙන සුදුම සුදු මිහිදුමෙන් වැසුනු පහල ජලාශයට පැන්නා!

මාධව කවදාවත් ගෑනු ළමයෙක් ඒ වගේ සුන්දර විදියට හිනාවෙලා ඉන්නවා දැකල නෑ.
ඇගේ හිනාව ඉක්මණටම දිය පතුලට ගිලුනා....

නොසෙල්වී සිටින  මාධවගේ  වටේට "කම්පනය" නම් සිතුවිල්ල එතුනා. හාත්පස අඳුරු උනා. මීදුම හනික අවට පරිසරය වෙලා ගත්තා. දහඩිය පෙරාගෙන අවදි උන යහනේ මාධව හිදගත්තා.

ඈ කවුද? සිහිනයක් පෙනිලා අවදි උනාම ඉතිරිය දැනගන්න නම් ආයෙම නිදාගන්න ඕනිමයි. මාධව දෑස් පියාගත්තා.
 
ඒත් හීනය ආයෙම කවමදාකවත් පෙනුනෙ නෑ.
 
එදා උදෑසන මාධවලාගේ වට්සැප් සමූහටයත් අතුරුදහන් වූ දරුවෙක් ගැන සෙවිල්ලෙන් ඉන්න කියලා පණිඩුඩයක් ලැබුනා.

පරීක්ශකවරයාගේ සොයාගැනීම
 
අන්තිමට කොල්ලව හම්බවෙයි කියල හිතන එක තැනක් තියනව. 
සීයගෙ ගෙදර. දික්ඔය කාසල්රි වල  කඳුකරේ කැලෑවෙ...
 
සියලූම කරුණු එක්රැස් කරගෙන යද්දි පරීක්ෂකවරයාට තේරුනේ එච්චරයි.

හැමතැනින්ම ආවේ ගැලපෙන ආරංචි!

නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැඟුන පොඩි ළමයෙක්, අවිස්සාවේල්ලෙන් බැහැලා තිවුනා. ඊට පස්සෙ ආයෙම හැටන් වලට යන බස් එකකට නැගලා තිබුනා.
ඉන් පස්සෙ හැටන් වලින් මස්කෙලිය බලා යන බස් එකක නැගපු ඒ දරුවා දික්ඔය පල්ලියක් ගාව බැහැලා තිබුනා. හැමෝම කිව්ව විස්තර සහ ජායාරූප සමානයි.
 
අන්තිමට සියලූම ආරංචි එතනින් අවසන් උනා. සෙවීම තියෙන්නේ කාසල්රි වල!

පොලීස් පරීක්ෂකවරයා ගමන පිටත් උනා.  නිසල්ව හැමෝටම හොඳින් මතක තිබුනෙ බෙල්ල නමාගෙන ඉන්න ඉරියව්ව නිසා. එදා ගෙදරදිත්, සිතුමාලිකාගේ සෙල්ෆි රූපයෙත් පරීක්ෂකවරයා ඒක හොඳින් සනිටුහන් කරගෙන අදාල ස්ථාන වලට ඒක විශේෂ ලක්ෂණයක් ලෙස දැනුම් දුන්නා.
 
ඒක සැබැවින්ම සාර්ථකව වැඩ කලා
 
මීදුම කපාගෙන කිතුල්ගලින් ඉහලට ඇදෙන නිසල්ගේ පවුලේ මන්දිරයක් වගේ සැප වාහනයේ ඉදිරිපස රියදුරුත්, පරීක්ෂක වරයාත් උන්නා. අධික කටයුතු නිසා ඔහුගේ පියාට ඒ ගමන ඒමට හැකියාව ලැබුනේ නැහැ. එසේම ඔහුගේ මවගේ තත්වය අසීරු වී තිබුනා. ඈ අගනුවර ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්න නියම උනු නිසා ඇයට ද ඒ ගමන යන්න විදියක් තිබුනෙ නෑ. 
 
 
මාධව
 
මාධව වැඩ කලේ නිසල්ගෙ අප්පච්චිගේ, ප්‍රනාන්දු මහත්මයාගේ සමාගමේ අලෙවි විධායකවරයෙක් විදියට. ඒක පහසු රස්සාවක් නං නෙමෙයි. ඒත් සාමාන්‍යෙයන් හොඳ වේතනයක් ඒ සමාගමේ වැඩ කරන අයට ලැබුනා. ඉලක්ක සපුරාලීම වෙනත් වෙනත් දීමනා පඩියට එල්ලාගන්න හැකියාව උදා කරා.
 
ඒ නිසාම මාධව හැකි පමණ සිය කටයුතු ක්ෂේත්‍රයේදී ඉටු කරන්නෙ පරිසරයේ සුන්දර බව විඳින්නත් එක්කමයි. හැටන් සීතල කඳුකරයේ වෙලඳසැල් පීරමින් මාධව සිය කටයුතු සිදු කරන්න උත්සුක වෙන තවත් දවසක තමයි ඔවුන්ගෙ වට්සැප් සමූහයට මේ පණිවුඩය ආවේ.

"සමාගමේ අයිතිකරුගේ බාල පුත් නිසල් ප්‍රනාන්දු තරුණයා  ආගිය අතක් නැති අතර කරුණාකර ඔහු පිලිබඳව විමසිිලිමත් වන්න"
 
ඒ වැකිය අමුණා තිබ්බෙ නිසල්ගෙ පොටෝවකට. නිසලුත්, ඔහුගේ මවත්, පියාත් දික්ඔය පල්ලියට පිටුපාලා ලස්සන ජායාරූපයක් අරන් තිබුනා. ආන්න ඒක තමා සමූහයට දාලා තිවුනෙ. මාධව ඒ දිහා බලාන කල්පනා කරදිදි තමා ඔහු පෙරදා දුටු සිහිනයත් ආපහු මතක් උනේ. දික්ඔය පුංචි පැරණි නගරයේ කටයුතු සිදු කරමින් උන්නු මාධව ඒ කටයුතු නිමා කොට වෙළඳ සහයකයාව ආපසු පිටත් කර ඔහු සතුව ඇති සමාගමෙන් ලබා දී තිබුනු පුංචි මෝටර් රථයෙන් පල්ලිය වෙතට ඇදුනා. 

එතන මඳ වේලාවක් කල් ගත කෙරූ ඔහුට කාසල්රී ජලාශය අසලට යාම සිත් වුනේ නිකම්ම. පණගන්වාගත් මෝටර් රථයේ නැගී ඔහු ඒ දෙසට ගමන් කලා. හැටන් - ඔස්බෝන් තාර දැමූ පුංචි මාවත දිගේ. කදිම සුන්දරයත්වයකින් යුතු මේ ප්‍රදේශයට මාධව හැමදාම කැමතියි. ජලාශය මීදුමෙන් වැසී තිබෙනු දුටු මාධව ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමෙන් ඉදිරියට ඇදුනා. එක්වරම වේගයෙන් පැමිණි කලු බෙන්ස් රථයක් මාධව පසු කරන් වේල්ලට ඇතුල් උනා. මීදුම ඇතුලට ගිලුනා. මාධව ද ඒ පසු පස හෙමෙන් ගොස් වේල්ලේ අනික් පැත්තේ ඉඩක නතර කරලා ආයෙම වේල්ල උඩට ඇවිදන් ආවා.
 
 
 
සීයාගේ කතාව

නිසල් මෙහෙට ආවෙ නෑ. මට කවුරුත් ඒම පණිවුඩයක් දැනුම් දුන්නෙත් නෑ. සීයා උත්තර බඳිද්දි පරීක්ෂක වරයා නිරුත්තර උනා. ධනවත් ව්‍යාපාරිකයෙක් වුන නිසල්ගෙ පියාගෙ අප්පච්චී උන නිසල්ගෙ  සීයා සරල දුප්පත් මනුස්සයෙක්. තමන්ගෙ පුතා දියුණුව කරා යන ගමන ගැනවත්, ඔවුන් ගෙවන ජීවිතය ගැනවත් ඔහුට ලොකු දැනුමක් නෑ. ඔහු පුංචි වගාවක් කරගෙන කාසල්රි වත්තෙ කෙලෝර ජීවත් උන පුංචි මනුස්සයෙක්. 
 
අහම්බෙන් විශ්ව විද්‍යාලයේදී හම්බුන සුදු ජාතිකයෙක් එක්ක හිතවත් උනු නිසල්ගේ පියා ඔහු ඉන්න රටට ගිහින් ඇවිත් සුදු ජාතිකයා එක්ක ව්‍යාපාර කරන්න පටන් අරන් ධනවත් උන හැටි ගැන කියන්න තරම් මේ වයසක මනුස්සයට අකුරු සාස්තරේ බෑ. හැබැයි නිසල්ගේ පියා ඔහුට ගරු කලා. ඒ නිසාමයි කාලෙකට සැරයක් උනත් ඇවිල්ලා මේ තනියම ජීවත් වෙන මනුස්සයා බලලා යන්න එන්නෙ. මුල අමතක නැති පුතෙක්.
 
ඒ විස්තර නොවලහා කියන්නට වියපත් රංබණ්ඩා ට හැකි උනා. ප්‍රනාන්දු කියන්නෙ පස්සෙ නිසල්ගෙ පියා විසින් වෙනස් කරගත්තු නමක් බව තේරුණේ පරීක්ෂකවරයට මේ වයසක ඇත්තාගේ කතාන්දර නිසා.

අපේක්ෂා සුන් වුන පරීක්ෂකවරයා ආපහු හැරුනා. වියපත් පුද්ගලයා ගැන සැක කරන්නට දෙයක් එහි තිබුනෙ නෑ.

නිසල් කෝ?
 
පරීක්ෂකවරයා ආපසු ඇරඹුමටම ඇවිත්. නිසල් නෑ. පරීක්ෂණය අසාර්ථකයි. විදුලි පුවතක්වත් නොඑවා මෙහි පැමිණීම ගැන ඔහු තමාටම දොස් කියාගෙන ආපහු හැරුනා. වාහනේ නැගල කොළඹ බලා යද්දි කාසල්රි ජලාශයේ වේල්ල කෙලවරේ උන්නු මඩේ අත ඔබාන උන්නු එකෙක් දැක්කෙ ආන් ඒ වෙලාව. වාහනය නතර කරවපු පරීක්ෂකවරයා වාහනයෙන් බැහැලා නිහඩව ඉදිරියට ගියා.


වයලීනය

පෙරදා සිහිනයෙන් දුටු තණගොල්ල මතට එද්දි මීදුම මඳක් පහ වෙලා. ඒ යුවතිය වයලීනය බිම තැබුව තැන මාධවට සිහි උනා. එතන ඇත්තටම පුංචි හතරැස් ගලක් තිබුනා. එතන හිට ගත්තු මාධවට ඒ තණ ගොල්ල මඳක් මඩවගුරු ස්වරූපයට හුරු බව දැනුනා. ඉබේම යමක් සිතට දැනුන නිසා මාධව එතන මඩ ගොඩට අත දැම්මා. කිසිත් නොසිතාම අතට අහුවුනු දෙය එලියට ඇදලා ගත්තා.

ඒ අර වයලීනය! ගවුමෙන් සැරසුනු යුවතිය වැයූ වයලීනය. ඒ කන්කලු ස්වර නද නැංවූ වයලීනය.

තුෂ්ණිම්භූත වූ මාධව දිරාපත් වූ වයලීනය අතහැර පිටුපසට පනිද්දී ඔහුගේ ගෙල වටා දඩු අඩුවක් සේ අතක් පටලැවුනා. සිහිය නැති වෙන්න වගේ හිස බමද්දී මාධවට අතීතයේ දවසක සිදු වූ සියල්ල සිහියට ආවා! 


රතු මල් පිපුණ සානුව!

අලෙවි විධායකවරයා උන්නේ සමාගමේ ප්‍රධානියා එක්කම වාහනේ ඉස්සරහ.  බීමත් ව උන් සමාගමේ විධායකවරයා ප්‍රනාන්දු වල් පල් දොඩවමින් වාහනය පදවමින් උන්නා. මහ රෑ නොවුනත් සන්ධ්‍යාව මීදුම සහිතයි. කාසල්රි ජලාශය අවට කොහොමත් සැමවිටම මීදුමෙන් අධිකයි. සවස හත පසුවී එන විට දෙදෙනා උන්නේ කාසල්රි ජලාශයේ වේල්ල පසුකරමින්. 

ඉතා මියුරු වයලීන වාදනයක් මීදුම මැද්දෙන් ඇසුනා. ඒ මියුරු නාදයට දෙදෙනාම වශී උනා. අධික මීදුම හමුවේ වීදුරු පහත් කරගෙන පැමිණි සමාගම් හිමිකරුගේ නිල රථය තුලට ඉතා ආසන්නයෙන් මේ වාදනය ඇසුනා.

බීමත් හිමිකරු කිව්වා! ශාහ්! අපූරුයි අයිසෙ! මාර වාදනයක් නෙව!

ඒ වැකිය අවසන් වනවාත් සමඟම මීදුම මැදින් පැමිණි පා පැදියක් මෝටර් රථයේ මූණටම ගැටෙන්නට ගොස් කුණුහරුප ජාලාවක් පවසමින් ඔවුන්ව පසු කරමින් යන්ට ගියා. වාහන දෙක එකිනෙක නොගැටුනද බීමතා විසින් පැදවූ මෝටර් රිය පාලනයෙන් ගිලිහී ගොස් මීදුම තුල තිබූ යමක ගැටී බැම්මේ ද ගෑවී නොගෑවී නතර උනේ බැම්ම අයිනේම. යකඩ කැබැලි හඩ නගමින් ගැටෙද්දී මාධවට සිහි නැති උනේ ආසන පටි රහිතව උන්නු ඔහු ඉදිරියට ඇදිලා ගිහින් ගිහින් වාහනයේ ඩෑෂ් බෝඩයේ තදින් ගැටීම නිසා. 

රතු මල් පිපුණ සානුව රාත්‍රියට හරිම අලංකාරයි. හද එලිය වැටිලා බබලනවා. කාසල්රි ජලාශයේ  අතිරික්ත ජලය පිට කරන ගංගාව දෙපස මේ සානුව හැදිලා තියෙන්නෙ වතුර අඩු කාලයට ඉවුර දෙපස ගොඩ වන නිසා. ආයේ වතුර අතිරික්තය ගලා යනකම්ම මේ මල් හඳ එලියට දිලෙනවා. සුලග හමද්දී ඒවා පොපි මල් වාගේ සුලගට ලතාවට නැලවෙනවා. කදිමයි. සිත් නලවන සුන්දරබව. කොල පාට තණගොල්ල උඩ පිපුණු මල් ලක්ෂ ගණනක ලතාව.....

ආන්න ඒ හඳ එලිය යට මල් පිපුණ සානුවේ, සමාගම් හිමිකරු ප්‍රනාන්දු හෙමීට නිහඩව ගමන් කරනවා. ඔහුගේ කරේ තිබුනා පරණ බයිසිකලයක්. හඳ එලියට ඇඹරුන බයිසිකලයේ ඉදිරිය යසට පේනවා. වැනි වැනී ඉදිරියට ගිය ඔහු සානුවේ මල් පැල අතරට මේ බයිසිකලය වීසි කරනවා මාධව දකිනවා. ආයෙමත් මාධවට සිහි විසංඥ වෙද්දී  හිමිකරු ඇවිත් වාහනයට පැමිණ ආපසු හරවාගෙන හඳ එලියේම දික්ඔය නගරය දෙසට ඇදෙනවා.

ඒ ඇදෙද්දී වාහනය එක් තැනක නවත්තවන හිමිකරු යමක් ගෙන ගෙන ජලාශයේ වේල්ලට පිවිසෙන ස්ථානයේ මඩ පිරි වලක් දෙසට විසි කරනවා මාධවට යන්තමින් පේනවා. එහි ඇමිණී ඇති රැහැන් සමූහයක් එල්ලී පැටලී ඇති අයුරු මාධව අඩ නින්දේ දැක්කා වුවද ඒ පිලිබඳව විමසීමට නොහැකිව ඔහු ආයෙමත් කෙදිරි ගාමින් දෑස් පියා ගත්තා.

ආපහු සිහිය එද්දී මාධව ඉන්නෙ දික්ඔය පල්ලිය ගාව. හිමිකරුවා පල්ලිය අසල නවත්තපු වාහනයට පිටුපාමින් සිගරැට්ටුවක් බොමින් උන්නා. අපහසුවෙන් වැනි වැනී වාහනයෙන් බිමට බට මාධව සමාගම් හිමිකරුට අපහසුවෙන් හිනාවක් පෑවා.

හරි වැඩක් නෙ උනේ නේද. උඹ මොකුත් දැක්කෙ නෑනේ. තුවාල වේදනාවක් නෑ නේද. කමක් නෑ. වාහනේ ලොකු අවුලක් පාඩුවක් නෑ. තවුසෙව මේම්ම ගෙදරින් දාගෙන මං කොළඹ යනවා. හදිසි වැඩක් යෙදුනා.

ඒම කියලා එකපාරටම යමක් සිහි උනා වගේ වාහනයේ පිටුපස දොර ඇරපු හිමිකරුවා මාධවට ලස්සනම ලස්සන ඒත් පොඩි වුනු පෙති හැලුනු රෝස මල් පොකුරක් දෙනවා. දීල මේම කියනවා.

                    ගිහින් මේක තමුසෙ කැමති තැනකින් තියලා එනවා අර සොහොනෙ.

මාධව කිසිත් නොකියා ඉස්සරහට ඉස්සරහට අඩි පාර දිගේ ගිහින් අඩි පාරේ අඩක් දුර ගිහින් වමට හැරිලා තියන උස සොහොන් කොත ලග හිඳගන්නවා. ඒ සොහොන් කොත විශේෂ එකක්. ඒක අඩි දෙකක් පමණ උස කුරුසයක් තියනවා. ඒ කුරුසය සවි වෙලා තියෙන්නෙ පියනට. එනම් මෘත ශරීරය බහාලන වල වසන වලේ පියනට. ඒ පියන මත කැටයමක් අඩංගුයි. ඒකෙ කුරුසෙ මැද්දෑවේ තියනවා නම ගම සහිත විස්තරයක්, පියනේ ලස්සන මල්වැලක් සහ ඒ මල් වැලේ පිපුණ පෙති හතක මලක් චාම්ව කොටලා තියනවා.

හත් පෙති රෝස මලක්. පෙති ගැඹුරට කොටපු රෝස මලක්..

මාධව ආන්න ඒ සොහොනේ කුරුසය පාමුල රෝස මල් පොකුර තියලා ආපසු ආවා!

එදා රෑ හඳ පායලා තියෙද්දීම ආකාශය මල් පිපුණු සානුවටත්, කාසල්රි ජලාශය අවටත්, පල්ලියටත් වැසි වැටෙන්න ගත්තා. ඒ වැස්සේම ඔවුන් දෙදෙනා අඳුර තුලට පිවිස නොපෙනී ගියා.

එයින් අවුරුදු පහකට පසු නිසල් කිසිවෙකුට නොකියා අතුරුදන් උනා.


අතීතයෙන් එන කතාන්දර

නිසල් ගැන ආරංචියක් නොමැතිව සියල්ල එහෙම්මම පැවතුනා. පරීක්ෂකවරයා මාධවගේ ගෙලෙන් අල්ලාගත්තේ අහඹු ලෙස දුටු තක්කඩියෙක් ආරක්ෂක කලාපයක් වූ වේල්ල මත කුමක් කරන්නේද කියා සැකයට මිස නිසල් සම්බන්ධව දෙයක් නිසා නෙමෙයි.

නමුත් ගෙලට හසු කරගත් මොහොතේ ඔහු සිහිවිකාරයෙන් පැවසූ වදන් පරීක්ෂකවරයාගේ පරීක්ෂණ නව මානයකට යොමු කලා. ඒ රතු මල් සානුව දෙසට. පොලීසිය ගෙන්වාගත් පරීක්ෂකවරයා මාධවව ඔවුන්ට භාර කොට ඔහුගේ සාක්ෂි විමසීම පසෙකලා හනික රතුමල් සානුව දෙසට පියමැන්නා. ජලාශයේ වතුර හැර දමා නැති බැවින් මෙහි මල් පිපිලා හරිම ලස්සනයි. දෙපසට මඳ සුලගේ ගීතවත්ව වැනෙන පැද්දෙන රටාව අස්සේ පරීක්ෂකවරයා ප්‍රමුඛ පිරිස ප්‍රවේශමින් ගස් පීරමින් ඉදිරියට ගියා.

ඔවුන්ට පළමුව හමු උනේ ඉදිරිපස ඇඹරී ගිය බයිසිකලයක්. ඒ බයිසිකලය පොලීසියේ පරණ නිලධාරියෙක් විසින් හඳුනාගත්තා. කතාන්දර දිගහැරුනා. ඒවා එකිනෙකට ගැලපුනා. එක්තරා දවසක මිහිදුම ගලා ආ පාලු සන්ධ්‍යාවක සිදු වූ කතාන්දරය, මාධවගේ මතක එක්ක පරීක්ෂකවරයා ඉදිරියේ දිගහැරීම අවසානයේ ව්‍යාපාරික හිමිකරුවා තරුණ දියණියක් අතුරුදහන් කිරීම සහ නීතියෙන් සැඟවී සිටීම ආදී චෝදනා පිට අත්අඩංගුවට ගැනීම දක්වාම දුරදිග ගියා.

විවිධ බලපෑම් හමුවේ වුවත් පරීක්ෂකවරයා ඒ කටයුතු මනාව ඉටු කරමින් සාක්ෂි එක්කාසු කරමින් එම සන්ධ්‍යාවේ සිදු වූ සිදුවීම් විශ්ලේෂණය කලා. එහෙත් නිසල්ගේ අභිරහස විසඳුනේ නෑ. ඒ මදිවාට අවුරුදු පහකට කලියෙන් නිසල්ගේ පියාගේ වාහනයේ ගැටුනු තරුණියකුත් අතුරුදන් වෙලා.

පරීක්ෂකවරයා ආපසු ආරම්භයටම ඇවිල්ලා. අලුත් කාරණාවකුත් එක්කම!

 

උණුසුම් ස්නානයක්

නිසල්ව හොයන පරීක්ෂණය  ලත් තැනම ලොප් උනා කියන්නට බැහැ. අතීතයේ වැළලී ගිය අභිරහසක කතාන්දරය අල්ලාගත්තාට මේ රටේ මේ පරීක්ෂකවරයාට ගලා ආවේ ප්‍රශංසා නං අවම වශයෙන්. ඔහුට වැඩියෙන්ම ලැබුනෙ බලවතුන්ගෙ තර්ජන. නිසල්ව සොයා ගැනීම පැත්තක තියලා පරීක්ෂක වරයා නිවාඩුවක් අරං නිහඩ උනේ ආන්න ඒ නිසාමයි.

සීතල හැන්දෑවක ඔහුගේ පුංචි කුටියේ උණු වතුර මල යට තනි උන පරීක්ෂක වරයා ස්නානය අතරතුරේ කල්පනා කරන්නට උනේ මේ සිදුවීම් වල සිද්ධි දාමය. කොහේවත් අසම්පූර්ණ නැති කතාවක පුංචිම පුංචි අඩුවක් පරීක්ෂකවරයාට ආන්න ඒ වෙලාවෙ දැනුනා. 

ඔහු ස්නානය නිම කොට සඳළු තලයට වෙලා උනුසුම් කහට කෝප්පයක් තොල ගාන ගමන් කල්පනා කලේ ඇත්තටම මේ සිදුර ඇත්තේ කොතනද කියලා. අභිරහසේ විසඳුම ඇත්තේ අත ලඟ.

ඉර බැස යන හැන්දෑවේ දුම් දමන කහට කෝප්පය වටා එතුනු දුම් වළලු නැතිවෙමින් එය සීතල වෙද්දී පරීක්ෂකවරයාට අසුනේම නින්ද ගිහින් තිබුනා. උදෑසනම අවදී වූ පරීක්ෂක තුමා හොඳින් ඇඳ පැළඳගෙන අභිරහසේ මුලම හමු වූ චරිතයක් සොයා ආයෙම ගමන් ආරම්භ කලා.


සංගීත ගුරුතුමාගේ දෙවැනි කතාන්දරය

ඒ තනුව මගේ. ඒ තනුව වාදනය කලේ මං ඇය වෙනුවෙන් විතරයි. 

ඔහු කතාව ආරම්භ කරද්දීත් ඇස් වල කඳුළු පිරිලා. හැමදාම ඇය මං ගාවට ආවා. ඇයගේ ගීත ගැයීමේ හැකියාව ගැන මං පුදුම උනා. අපූරුයි. ඇයට ඒක උපතින්ම ආත්ම ගාණක ඉඳන් පිහිටං ආවා වගේ කටහඩක්. මේ රටේ උන්මාදයක් ඇති කරවන්න තිබුන කටහඩක්.

ඒක නැති උනා මහත්මයා. ඔහු ඒම කියලා බිම බලා ගත්තා.

මොකක්ද ඇත්තටම උනේ? පරීක්ෂකවරයා ආසනයෙන් ඉදිරියට නැඟිටලා කෙලින් ඔහුගේ ඇස් දෙස බැලුවා. මේ එලියට එන්නේ සත්‍යය බව පරීක්ෂකවරයාට දැන් පැහැදිලියි. ඔහු වයලීනයේ පොටෝව පෙන්නුවා.

මේක ඇගේ පුංචි වයලීනය! ඔහුගේ දෑස් කඳුලින් පෙඟුනා. 

එදා රෑ මීදුම පායලා. කාසල්රි ජලාශයේ හැන්දෑ යාමය කෝමත් අඳුරුයි. වේල්ල සම්පූර්ණයෙන් ම මීදුමෙන් වැහිලා යන වෙලාවලුත් තියනවා. මේ වේලාව හැන්දෑවක්. අපි දෙන්නා හමු උනේ අන්තිම පාරට එදා හවස. ඒක උනේ මෙහෙමයි.

ඇය මගෙන් සංගීතය ඉගෙන ගන්න එනවා. මං ඒ වෙද්දි විශ්ව විද්‍යාලේ අවසන් වසරේ. ඉන්දියාවේ යන්න තේරිලා ඉඳපු මං ඒ යන්න කලින් ගමේ ආව අන්තිම දවස. මට ඉන්දියාවේ යන්න තිබුනෙ තව දවස් දෙකයි. කොළඹ යන්න කලින් දා මං ඇයව හමුවෙන්න වේල්ල ලඟට ගියා.

ඇය ආවා. අපි දෙන්නා බයිසිකල් පැදගෙන වෙල්ල දිගේ හෙමින් ඉස්සරහට පැදං ගියා. එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා ආවේ. ඊට පස්සේ වේල්ල මැද්දෙ අපි දෙන්නා නැවතුනා. ඇය මං දුන්නු තනුව පුරුදු වෙලා ඉවරයි කියලා කිව්වම මං කිව්වා ඒක වාදනය කරන්න කියලා. ඒ වෙලාවේ ඇය ඇයගේ වයලීනය අරන් මට ඒකේ බෑග් එක දුන්නා.ඉන් පස්සෙ ඇය ඒක ඇත්තටම අපූරුවට වාදනය කලා. 

අර තියෙන්නෙ මහත්තයා එදා ඇය දුන්නු වයලීන කවරය

ඒම කියලා ගුරුතුමා බිත්තියේ එල්ලලා තිවුනු  වයලීන බෑගය පෙන්නුවා. ටිකක් වෙලා අතීතයේ ගිලිල උන්නු ගුරතුමා ආයෙම කතාව පටන් ගත්තා.

වාදනය අවසන් කරල ඉක්මණින්, අපි දෙන්නා ආපහු ඉදිරියට ගියා. එදා මීදුම හොඳටම! ඒ විදියට යද්දි ලොකු කාර් එකක් ඇවිත් මාව හැප්පෙන්න ගියා. මං කෑ ගහමින් පැත්තට හරවාගෙන ඉස්සරහටම යද්දි  ඇය ඇගේ බයිසිකලයත් එක්කම වාහනයේ ගැටුනා. ඇය වේල්ල උඩින් විසිවෙලා ගිහින් බැම්මෙ වදිනවා මං යන්තමින් දැක්කා. මගේ බයිසිකලයත් එක්ක මං වාහනේ පසු කරලා ගිහින් එහායින් වැටුනට මට ලොකු ආපදාවක් උනේ නෑ. ඇයගේ කෑ ගැහීම අඩු වෙලා ගියා එක්කම මගෙ ඔලුවට ආවේ මගේ අනාගතය. ඉන්දියා සිහිනය. සංගීතය එක්ක ඉස්සරහට යන්ට තියන ආශාව.

මං කෙලින් කර ගත්තු බයිසිකලය පැදගෙනම ආපහු මීදුමේ අතුරුදහන් වෙලා පාරට වෙලා හැංගිලා උන්නා. ටික වේලාවකින්, පැයකින් විතර මං ආපහු එද්දි කවුරුත් නෑ. 

අඩුම ඇණ කෑල්ලක්වත් නෑ. ඇය මාව හමුවන්න ආව බව කවුරුත් දන්නැති නිසා මං නිහඩවම ගෙදර ගිහින් පහුවදාම කොළඹ ගියා. ඉන්දියාවෙන් ආවට පස්සෙ මං ගමේ ගියේ නෑ. ඒත් මං විඳෙව්වා. පුදුමාකාර විඳවිල්ලක් මහත්මයා.

එකම එක දවසක් නිසල් කියන මේ කොල්ලා ඒ තනුව වාදනය කරද්දි මේ අපරාධය මතක් වෙලා මං කලන්තෙ දාලා පන්තියේ ඇදන් වැටුනා. ඒ තනුවේ ස්වර මං දීලා තිබුනෙ ඇයට විතරමයි. ඇය එය නිසල්ට දුන්න වෙන්න නං බෑ. ඒ තනු මාලාව ඔහු අතට කෝම ගියාද කියල මං දන්නෑ මහත්මයා. ඒ තනුව අහද්දි මාව පිස්සු වැටුනා. කිසි දෙයක් හිතාගන්න නොහැකි වූ මාව පාලනයෙත් ගිලිහිලා කලන්තෙ දාලා තිබුනා. දැන් තවත් මේවා හංගන එක ඵලක් නැහැ. මං දන්නවා මං අපරාධයක් වසන් කරලා ඉන්න අපරාධකාරයෙන්. ඒත් මගේ අනාගතය වෙනුවෙන් මං ඇයව බිල්ලට දුන්නා කියන පශ්චාත්තාපය මාව පිස්සෙක් කරලා. මං දැන් සැනසීමක් නෑ.

මේක ඇත්තම ඇත්ත මහත්මයා. හැම අකුරක් නෑරම ඇත්ත. එදා ඒ වාහනයේ හැප්පුන හැප්පිල්ලට ඇය ඉන්නවා ඇත්තෙ ජලාශය පත්ලෙ. ඒම කියලා සංගීත ගුරුවරයා විලාප දිදී කඳුලු සලන්නට උනා.

ඉන් දින කිහිපයකට පසු ප්‍රධාන ධාරාවේ පුවත්පතක පුවතක් මෙසේ පලවුනා.

“අතුරුදන් වූ ජාත්‍යන්තර පාසලේ දරුවාගේ ඇඳුම් කැබැලි සහ ඔරලෝසුවක් කාසල්රි වේල්ලේ පතුලෙන් හමුවේ..“


මල් පිපුන සානුවේ වයලීන් වාදනය කරන්නී.....

කාත් කවුරුත් නොයන මහ රෑ මැදියමේ මල් පිපෙන සානුවට කිරිම කිරි පාටින් ලොකුවට හඳ පායලා ඒ හඳ එලිය තැනිතලාවේ ඉස්මත්තේ අපූරුවට වැටිලා තියනවා. හැම අවුරුද්දකම එකම එක දවසකදී ඒ හඳ එලියේ කණාමැදිරියෝ ඒ සානුව ආක්‍රමණය කරමින්  එලිය විහිදුවනවා. හරියට වේදිකාවක් ආලෝකමත් කරන්නා වාගේ. ආන්න ඒ එකම එක දවසේ හෙමීට ඈත සානුවේ නොපෙනෙන දිහාවක ඉඳන් තරුණ නව යොවුන් ළමයෙකුත්, මඳක් වැඩිහිටි තරුණියකුත් අත් අල්ලාගෙන තණගොල්ල දිගේ ඇවිදගෙන මල් පිපෙන සානුවේ මැද්දෑවට වන්න තියෙන පාසි බැඳුන ගල් තලාව මතට ඇවිල්ලා ඉඳ ගන්නවා. මුහුණට මුහුණලා ඔවුන් ඉඳගත්තාම පුංචි දරුවා ඇයට ලස්සන වයලීනයක් දෝතින් තිළිණ කරනවා. ඇය පුදුමයෙන් බලා ඉඳලා ඔහුගේ නලල ආදරයෙන් සිප අරන් දෑතින්ම ඒ වයලීනය අරගන්නවා. ඊළගට එක්තරා දවසක ඇයට ලැබුනු ඒ සුන්දර තනුව ඇය ලස්සනට වාදනය කරනවා.

නිදිබරව පෙති හකුලාගෙන උන් මල් පෙති හඳ එලියේ ඇහැරෙනවා. රැහැයියෝ නිහඩ වෙනවා. මල් පෙති පිබිදෙමින් ඒවා වයලීන් තනුවේ නාදයේ තාලයට සුලගේ නැලවෙනවා. ඒ මල් පෙති මැද කණාමැදිරි රෑන් ලස්සනට රටාවට පියාඹනවා. මොහොතක් පරිසරයම කුල්මත්ව පවතිනවා. හරියටම රාත්‍රී මැදියම පසුවී විනාඩි දහතුනකට පස්සේ ඒ තරුණිය සිය දෑස් හෙමින් විදහා බලා අර තරුණයාගෙන් මෙහෙම අහනවා.

එක්තරා සීතල මීදුම පිරුණු රාත්‍රියක මගේ පවුලේ අයට මාව නැති උනා. මං මේ ආකාශයේ මේ නිම්නයේ හුඟක් තනි උනා. ඒ තනිකම මකාගන්න මං ඔයාව ඔයාගේ ගෙදර අයගෙන් ඈත් කරලා මං ළගටම අරන් ආවා. 

ඔයා ඒකට මා එක්ක තරහද "නිසල්"?

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form