රබර්
මණ්ඩියක තට්ට තනියම ඉද්දි හරිම නිහඬ බවක් දැනෙන්නෙ. මීදුම් වලාව රබර්
මණ්ඩියේ ඉහල ආකාසේ ඉදන් පාත් වෙලා සන්ද්‍යාව සුන්දර කලා. මෙලෝ මල යකෙක් මේ
ගම්මානේ අද නෑ. ගම ඉස්මත්තේ තියන ලස්සන පොඩි දෙවාලේ පූජාවට ගමම එකතු වෙන්නෙ
හරිම උද්‍යෝගයක් ඇතුව. ආන්න එහෙම පූජාව තියන දවසක මාධව ඇදුනා පාලු රබර්
වත්ත මැද්දට. නිහඬ බව මැද්දෑවෙන් මාධවගෙ තනියට එකම එක්කෙනෙක් මාධවගේ ගාව
උන්නා..
පාපොච්චාරණයක් වගේ මාධව මේ කියන කථාව අහන්ඩ හැමෝම අකමැති නෑ කියලා මාධව දන්නව.
ඉතින්.. ඔන්න රබර් මණ්ඩියේ සිදුවීමේ කතාව.
මාධව
එක්තරා කාලෙක රාජකාරී කරා නෙව සීට්ටු කඩේක. ඒක හරි අපූරු රස්සාවක්. මාධවට ඒ
කාලේ ඒ කඩෙන් දුන්නු රාජකාරිය තමා විදුලිය සිඳුනද බල නොසිදෙන බල්බය
විකිණීම. ඒ බල්බය ඒ කාලේ හරියට අලෙවි උනා. ඒ කාලේ ඒ බල්බ විකුණන්න මාධව
හරියට මහන්සි උනා. මොකද ආදායම් මාර්ග ඇහිරිලා උන්නු ඒ කාලේ හැමදේම කරගන්න
පොඩි හරි සල්ලි කොල ටිකක් උවමනා නිසා.
රබර් කැලේ ගමටත් ආන්න එහෙම වැඩට ගිය දවසක මාධවට ඈ හමු උනා. අපූරු දවසක.
ඉර
නැගල මද්දහනෙ හරිම උණුසුම්. මාධවගේ හිස් ආවරණයේ ඇතුලෙන් දහඩිය වෑහෙනව.
මොටර් බයිසිකලය රබර් මණ්ඩියේ පාර අයිනේ නතර කලේ සිසිලක් හොයාගෙන. හිස්
වැසුම ගලවලා පැති කණ්නාඩිය මත රැඳෙව්ව ඒ මොහොතේ මාධව ඈව දැක්ක.
රබර් මන්ඩියේ පිපුණු වන මල එයා..
බිම
ඉඳගෙන දර කෝටු එකතු කරලා හදාගත්තු රබර් දර මිටිය බඳින පොඩි ලමයෙක්. ඈ හරිම
සුන්දරයි. තණකොල ගොල්ලේ වාඩි ගෙන එයා හරි ලස්සනට එක උඩ එක ලී කෑලි තබල දර
මිටිය ගොඩ නගනවා.
ඉස්සෙල්ලම ඇද කුද නැති කෝටු එක්කසු කරනවා.
උස මැන මැන එක උසට පිහියෙන් කපනවා.
කැපෙන අඩු වැඩිය කෑලි සියල්ල ගෝනියට එක්කාසු වෙනවා වෙනමම..
ඉතිරි දර කෝටු එකතු කොරලා අපූරුවට දර මිටිය බඳිනවා. වතුර බට මිටියක් වගේ. අපූරුවට..
ඒ
කටයුත්ත සිදු කරන එයැයිගෙ සංයමය දැක්කම මාධවට හිතුන මේ ඇත්ති එක්ක එක්කාසු
උනොත් ජීවිතෙත් මේ වගේ ගොඩ නඟන්න ඇහැකියි කියල. දර මිටිය ඉහිරී නොයනසේ ගොඩ
නගන්න ඈට පුලුවන්නම් මේ තරම් පිලිවෙලකට.
ඒ තමා ඇගේ ජීවිතය ගොඩ නැගීමේ හැකියාව. එහෙම හිතපු මාධව ඈ දිහා ගෞරවයෙන් බලාන උන්න.
දර
මිටිය හෙමෙන් ඔසවා ගත්තු ඈ නැගිටලා දර මිටිය හිසේ තබාගෙන රබර් කැලේ ඉහලට
ඇදුනා. ඒ පටු පාරේ ඈ මාධව ලඟින් යද්දි බිම බලාන යන්න ගියා. කැලේ ඇතුලටම.
මාධව ඔහුගේ ව්‍යාපාර සඳහා රබර් කැලෙන් පිටතට පැමිණ වෙනත් ගම්මානයක් කරා
ඇදුනා.
.............................. .............................. .............................. .........................
එක්තරා උදෑසනක රබර් මණ්ඩියේ පතිත හිරු රැස් අනන්තයට විහිදිලා තිබුනා. ගුරු පාරත් ඒ මැද්දෑවෙන් අනන්තයට ඇදී යනවා..
පාර
දෙපස අලංකාර මල් පිපිලා. මල් සුවඳ ගැල්වූ මද නල සෙමින් ඇවිල්ල මාධවගෙ
කම්බුල් වල වැදෙනවා. රබර් කැලේ බිම සරුසාරෙට රෝස මල් යායට පිපිලා. ඒ රෝස
සුවද හමන කැලෑව මැද ගුරු පාරේ ඈ ඉන්නවා..
අත්
නැති ලා රෝස පැහැති දනහිස් පෙනෙන නොපෙනෙන කොට ගවුම සෙව්වන්දි ව හැඩ කරනවා.
කොන්ඩය කඩා ගෙල පසෙකින් දමාගෙන ඉන්න අපූරු කෙලිලොල් යුවතිය එයා....
ඇගේ ඇත දරා සිටින රෝස මල් පොකුර ඈ මාධව වෙතට දිගු කරනවා.
මාධවට මද හස පාමින්..
එක්
වරම ඈ රෝස මල් පොකුර අහසට වීසි කරනවා... සුන්දර සිනහව නගමින් නර්තනානුකූලව
ඈ වටයක් කැරකී මදහස පානවා. ඒ භ්‍රමණය වීමෙන් එයාගේ රෝස පාට දනහිස් මතුවෙලා
තත්පරේකින් ආයෙම ගවුම් පොඩිත්තට වැහෙනවා.
රෝස
පෙති සුලඟේ විසිරී යනවා.. ඉන් එකක් දෙකක් විත් මාධව අසල බිම වැටෙනවා. රෝස
සුවඳ මාධවට දැනෙනවා. ඒ සුවඳට වැඩි සුගන්ධයක් ඇගේ කේශ කලාපයේ සුවඳ
බව මාධව දන්නවා..
ඉතින් මුසපත් වූ මාධව දිව ගිහින් ඇගේ අතින් අල්ලාගන්නා විට ඈ මාධවගේ අත ඉවත ලා කෙලිලොල් පියවරෙන් දිව යනවා...
රබර් කැලේ තුලට....
මාධව
ඈ ලුහුබැඳ යනවා. ඇයව ඉක්මණින්ම අල්ලාගෙන තුරුලට ගන්නවා.. ඇය තදින් පපුවට
තුරුල් වෙනවා. ඇගේ පුන්චි පපුව හතියෙන් ඉහල පහල යනවා මාධවට දැනෙනවා. ඒ
මොහොත හරීම ආනන්දනීයයි..
ඈ
ලඟ රෝස මල් සුවඳ හමනවා. මාධවට දැනෙනවා. එයාගේ කෙස් කලඹ සිනිදුයි. සුවඳයි.
සුලඟට විත් මාධවගේ මුහුණේ දැවටෙනවා.පුංචි ලාබාල කෙල්ලක පපුවේ තුරුල් වී
හිඳීම ආශ්වාදය ගෙන දෙන්නක්. හැඟීම් මිහිරි කොට දනවන මොහොතක්. අපූර්වත්වය
කැටි උන පරිච්ඡේදයකක්!
ඇයව සියුම් ලෙස සිපගැනීමේ බලවත් උවමනාවක් මාධවට දැනෙද්දී මාධව ඇගේ නිකටෙන් අල්ලාගෙන ඒ සුරඟන මුහුණ ඔහුගේ නෙත් වලට හසු කරගන්නවා.
දෙතොල් මුනගැසීමට ආසන්න වනවා.. සුසුම් ගැටෙනවා...
ඇස් පියවෙනවා..
වැසි වැටෙන මොහොත ඇරඹෙනවා. සීතල වැස්සේ ඇගේ තෙත් දෙතොල් ගැහෙනවා. සීතලට....
මාධවත්
ඇයත් වැස්සට තෙතබරියම් වෙලා. ඇඟට ඇලුනු ඇගේ ගවුම් පොඩිත්ත ඈගෙන් පෙර නොවූ
සුරූපී රාගික බවක් එකතු කරනවා. අවට පරිසරය වැසි පොදින් පෙඟී යනවා.
ඒ දෙතොල් තෙත් කරන්නටත් උචිතම අවස්ථාව මේක. මාධව සිතනවා.....
මට ආදරෙයිද? මාධව ඇගේ නෙත් වල හැඟිම විමසනවා.
මහ ගිගුරුමක් එක්ක මාධව රබර් වත්තේ තනිවෙලා! ඈ අතුරුදන් වෙලා.
අවදි වූ තනි යහනේ හිඳගත් මාධව කල්පනා කරනවා, එය සිහිනයක්ද සැබෑවක්ද කියා. මාධවගේ කාමරයම රෝස සුවඳයි. එයා ඇවිත් ගිහින්වත්ද?
මාධවගේ ඇඳ ගාව බිමින් රෝස පෙත්තක් වැටී තිබුනා.
ආදරණීය සුරංගනාවී, නුඹව හිමි කරගනිමී... මාධව යහනේ යලි කොට්ටයේ හිස ඔබා ගනිමින් සපථ කරගත්තා.
.............................. .............................. .............................. ..........................
අතීතයේ
එක දවසකදී මාධවගේ පෙම්වතී මාධවට අපුරු කතාවක් කිව්ව. ඒ තමයි ඔයා හොයන හැම
සතේම මට වියදම් කරන්න උවමනා නැ. ඒත් මට මගේ අවශ්‍යතා ඉටු කරලා දෙන්න තරම්
හම්බ කොරන්න කියන කාරණාව.
මාධව
ඒක ගැන හිතුවම මාධවට තමන්ට දෙයක් කරගන්න බැරි තරම්ම මේ පෙම්වතීට වියදම්
වැඩියි. නියපොත්තට හිටන් වියදම් කරන්න උනාම මාධවට අතේ ඉතුරු වෙන සොච්චම
මාසේ ගැටගහගන්නත් මදි. හරිම කාබාසිනියාකාර කෙල්ලෙක්. ලස්සන තිබුනට වැඩක් නෑ
නෙව.
මේ ගමේ කෙල්ල දැක්කම මාධවට පෙම්වතියව මතක් උනා.
පෙම්වතීගේ
නොසන්ඩාල වියදම් වලින් සියයට අංශුවක්වත් මේ ගමේ ඇත්තිට වියදම් නෑ නෙව. ඈ
චාම්. මාධව සැනින් තීරණයක් ගත්තා. මෑ සමඟ යාලු වෙන්න උවමනයි..දිවිය ඈ
සමගින් ගෙවන්නට උවමනයි.
පාලු රබර් කැලයේ සිලි සිලි සුළඟ මාධවගේ සිතුවිල්ල අනුමත කලා.
මාධවගේ හිතේ මේ රබර් මණ්ඩියේ පිපුණු මල් කැකුලේ රුව රැඳුනා. හැබැයි එදා මාධව රබර් මණ්ඩියේ විවේක ගන්නා මොහොතේ දේදුන්න පෑයූවේ නෑ. හවස් වෙලා නෙව.සන්ධ්‍යා අඳුර නම් පැතිරෙමින් තිබුන. නිවෙස බලා යන්න වේලාව නම් හරි. ඉතින් මාධව ආපහු පිටත් උනා.
.............................. .............................. .............................. .........................
කොට
මල් ගවුමක් ඇද කොන්ඩ කරලක් ගොතලා මාධවව හම්බෙන්න එයා එනව. ඇගේ ගමනෙ
වෙනදා නැති ලාලිත්‍යවත් බවක් ගැබ් වෙලා.නැලවීගෙන පැමිණෙන ඈ මාධවගේ බයික්කයේ
නැගලා මාධවත් එක්ක අනන්තයට යන පාර දිගේ වේගෙන් යනවා.. ඈ තදින් මාධවගේ පිටට
බද්ධ වෙලා. ඈත ඈට පැදගෙන යද්දි බයික්කෙ අන්තරාවට ලක් වෙලා දෙන්නම බිම දිගේ
පෙරලෙනවා. පෙරලිලා දෙන්නම පොපි මල් වගේ රතූම රතු මල් පිරුණ වත්තකට
වැටෙනවා. ඉහල නිල්ම නිල් පාට සෞම්‍යවන්ත ආකාසේ . ඒ අහස යට මල් ගොමුවේ පෙරලිලා වැටුනු
ඈ බිම ඉදගෙන අඬන්නට පටන් ගන්නවා. ඈගේ දනිස්ස ගාව අල්පෙනෙත්තක් තරම් වූ ලේ
බින්දුවක් එන්න පොඩීම පොඩි තුවාලයක් හැදිලා.
මාධව
නැගිටලා ඈ ගාවට එනව. ඇවිල්ල පහත්වෙලා දනිස්ස ඉඹින මාධවට පේනවා ඒ ඉඹිල්ලෙන්
ඇගේ තුවාලෙ සනීප වෙලා බවත්, ඈ ඇගේ යටිතොල සපාගෙන මාධවට ආනන්දයට ඇරයුම් කරන
බවත්. අපූරු මායාකාරී බැල්මකින් මාධව දිහා බලපු ඈ මාධවගේ කොන්ඩෙන් අල්ලලා
ඇදලා ලඟට අරන් හුස්ම හිරවෙනකම්ම ඇගේ පපු තුරේ මැද්දේ මාධවගේ හිස හිර
කරහන්නවා.
මුලදී ආනන්දජනක
ලෙස ඇගේ හංස තුඩු වල දැවටෙන මාධවට දැනෙනවා ඈ මාධවගේ හුස්ම හිර කරන තරම්
තදින් ඈගේ පපුව මාධවගේ මුනුනට තෙරපන බව. මාධවට හෙලවෙන්න බැරි තරම් එයාගෙ
අත් වල ශක්තිය මාධවව තව තෙරපනවා.ආන්න දැන් ආනන්දනීය
හැඟීම් දුරු වෙලා ගිහින්! හුස්ම අහිමි වෙන්න යන මාධව දිවි ගලවාගන්නට පොර බදනවා.. ඈ තව තව මාධව ව
තෙරපාගන්නවා ඇගේ පියවුරු වලට. හුස්ම යන්න ඔන්න මෙන්න තියෙද්දී මාධව දහඩිය
පෙරාගෙන අවදි වෙනවා.
මේවා මහ යක්ශ හීන. මාධව නිදිවර්ජිතව ඒ ගැන හිතනවා.
යකාගෙ හීන!
.............................. .............................. .............................. .........................
දුවට තාම දහ අටයි මහත්තයෝ!
මාධවට
පිලිතුරු දුන්නෙ ඇගේ ආත්තම්ම. කාත් කවුරුත් නැතිව අධ්‍යාපනය මග කඩාකප්පල්
කරගත්තු පුන්චි මලක් ඇගේ ගෙවත්තෙන් නෙලාගන්න ඇගේ හිමිකාරි වන ආත්තම්මා
හම්බෙන්න මාධව ගිය ගමන සිද්ද වුනේ මේන්න මෙහෙම..
ඊලඟ දවසෙ ඈ රබර් මණ්ඩියේ ඇවිදන් එද්දි මාධව ඈව තනිකර ගත්තා.
ඇය මාධව ගේ ප්‍රශ්න සියල්ලටම දුන්නෙ එකම එක පිලිතුරයි.
අත්තම්මාගෙන් ඇවිල්ල අහන්න.
ඊට එහා වචනයක් මාධවට ඇගෙන් ගන්න ඉඩ ලැබුනෙ නෑ.
නම, වයස කිසි දෙයක් නොකිව්ව ඈ බිම බලාගෙන උන්නා..
මහ වැස්සක් ඇද හැලෙන්නට උනේ ඒ අස්සේ. රබර් මණ්ඩියේ ගස් අඹරවා දමන සුලඟ එක්ක ඇද හැලෙන වැසි අපූරු නෑ. බොහොම සීතලයි.
ඇගේ සුදුමැලි මුහුණ එක වරක් මාධව දෙස බලා "යන්නම් මහත්මයා" යැයි කීවා. ඒ මූනේ හැඟීම් කිසිත් මාධවට දැනුනෙ නෑ..
මහ
වැස්සෙ තෙමෙමින් උන් මාධවගේ නලල් තලය දිගේ වැසි දිය දහරා ගලන් ගියා. ඇගේ
නිවෙසට ගිහින් ආච්චම්මාගෙන් අහන්නම උවමනා බව මාධවගේ සිත කීවා.
මහ වැස්ස හෙන හඬ නගමින් ඇද හැලුනා..
ඈ යන්න ගිහින්.
මාධව බයිසිකලයේ නැගී වැස්සේම නගරයට පිටත් උනා.
තවත් වෙහෙසකර දවසක නිමාව එසේ සටහන් උනා..
.............................. .............................. .............................. .........................
ඊලඟ
දවසේ මාධව ඇගේ ගෙදෙට්ට ගොඩ උනේ ගම්වාසීන් කීපදෙනෙක්ගෙම්ම පාර අහගෙන. අපූරු
දෙනියක පිහිටලා තිබුණු ඇගේ නිවස ගමෙන් තව ඈතට වෙන්න තිබ්බෙ. ගම මැද්දට
ඇදෙන රබර් කැලේ ගුරු පාර ගම කෙලෝරෙ තියන දේවාලේ ගාවින් ඉවර වෙනවා. ඉන්
පස්සෙ අඩි පාර.
ඒ මැද්දෙ මහ අදුරුයි. වටේටම රූස්ස ගස්. ඒ මැද්දෙන් කි.මී එකක් පමණ ගියාම ගරා වැටුන ගෙයකුයි තව ලැටිස් ගහපු පරණ තාලේ ගේකුයි තිවුනා. ලස්සනට
තිබුනු මිදුල, මල් වැවුණ පාත්ති කීපය මැද්දෙන් ඒ ලැටිස් ගේ හරිම අපූරුවට
දිස් උනා. ගේ වටේටම පලතුරු සහ කොස් ගස් කීපයක් මෙන්ම පොල් ගහක්ද තිබුනා.
ඒ ගෙදරට මාධව දැම්ම නම ලැටිස් ගෙදර. හරි ලස්සනට කිරි පාටින් ගහපු ලැටිස් වලින් වට උන ගෙයක්.
මිදුලේ වම් කෙලවරේ තැඹිලි ගහක් තිබුනා..
මාධවට මතක් උනේ මාර්ටිං වික්‍රමසිංහ මහත්මයාගෙ ගෙදර.
එක
කොලයක් නැති පිලිවෙලට අතුගාලා තිබුන මිදුල මැදම අව්වෙ දාලා තිබුනෙ පන්
පැදුරු ටිකක්. ඒ පැදුරු වල ගම්මිරිස් සහ කෝපි වේලෙන්න දාල තිබුන. ඒ
ගම්මිරිස් සහ කෝපි ඇට දිහා බලපුවම කියාගන්න බැරි තරමේ අපූර්වතම රටාවක් මාධව
දැක්කා..
ඒ ගැන කියනවනම් මෙහෙම..
දේදුන්නේ
වර්ණ හත වගේ කෝපි සහ ගම්මිරිස් වියලී ඇති ප්‍රමාණය අනුව වර්ණ පේනව නෙව.
කෝපි නම් අමු කෝපි, ඉදුනු කෝපි රතු, ඊට පස්සෙ මඳක් වේලුණු ලා දුඹුරු පාටක්.
ඉන් පස්සෙ තව දුඹුරු පාට වැඩි... ආදී ලෙසට..
හරිම පිලිවෙලක් තිබුනෙ. ඇයිද මන්දා ඒ තරම්ම පිලිවෙලක්.. මාධවට හිතාගන්න බෑ..
ඒව අතින් තුනී කරමින් උන්නෙ මාධවගෙ සුරකුමාරිය.
ඊට එහායින් උන්නේ ආත්තම්මා කෙනෙක්. මැහැල්ලක් කියන වචනය ඇයට ගැලපෙන්නෙ නෑ හැබෑට.
ඈ හොඳට ඇඳ පැලදගෙන උන්නු ආත්තම්මා කෙනෙක්.
මාධව ඈත ඉදන්ම ඔවුන්ව දුටුවා සේම ඔවුනුත් මාධව ව දුටුවා.
අත්තම්මා ඇවිදිල්ල මාධවට ගෙට කතා කරනවා වෙනුවට මිදුලෙම අසුනක් ගෙන්නගෙන සාකච්ඡාවට මුල පිරුව.
මහත්තයාද මගේ කෙල්ලට පාරෙදි කතා කලා කිව්වෙ...
ආත්තම්මගේ ඎජු සොභාවයට මාධව කැමතියි.
ඔව් අත්තම්ම. මම තමයි. මාධව උත්තර දුන්න.
අත්තම්ම විතරයිද ඉන්නෙ මේ ගෙදර?
මාධව ඇහැව්වම අත්තම්මා නිහඬ උනා. හරිම ගුප්ත නිහඬ බව තුල මාධවට ඇහුනේ ලේනෙක් ටිං ටිං ගාන හඬක්. මඳ වේලාවක් අරගෙන අත්තම්මා නිහඬ බව බිඳිනකොට ලේනා නිහඬ උනා.
අත්තම්මා කතාන්දරයක් කියන්නට උනා. ඒක ලමයෙකුට නින්ද යන්න කියන කතාවක් නෙමෙයි. ඒක කෙනෙක්ගෙ ජීවිතයේ ඇබින්දක් විතර බිහිසුණු බව ගෑවුනු ගැන කතාවක්.......
.............................. .............................. .............................. ...........................
"සෙව්වන්දි"
ඒකයි එයාගෙ නම.
අත්තම්මා මේ කතාන්දරය කියද්දි ඈ පැදුරෙන් නික්මිලා ගෙට ගියා. ආත්තම්මාත් මාධවත් මිදුලේ හිරු රැස් මැද තනි උනා. ආත්තම්මා ඈ ගෙටයන හැටි බලන් ඉදලා ආයෙම ඇගේ කතාව පටන් ගත්තා...
මේ
කෙල්ල පොඩි කාලෙම ඒකිගෙ අප්පච්චි මැරුනෙ අලිමංකඩදි. කෑලි වලට කුඩු වුන
මිනිය සීල් කරල ගෙනාව දවස වෙද්දි මේකිට අවුරුදු තුනයි මාස දෙකයි. මේකිගෙ
අම්ම බල කරල බල කරල කිව්ව මිනී පෙට්ටිය අරින්න මිනිහව බලන්නම ඕනි
කියලා..මහොම මහ ජෝගියක් නටලා පෙට්ටිය ඇරියම පෙට්ටිය ඇතුලෙ මිනියෙ කෑලි
පොලිතීන් වල ඔතලා තිවුනා.
බලන්න මූනක් නෑ. විනාස උන තුවාල වුන හිසක් තිබුනා, අත් දෙක වෙන වෙනම ඔතලා තිවුනා. තව ඇගයි කකුලකුයි තිබුනා.
ඒ
දැක්ක ගමන් මේකිගෙ අම්මාගේ කඳුලු වියලිලා ගියා. ඒකි ඇවිදගෙන පෙට්ටිය ලඟට
ගිහින් මේව මෙහෙම නෙමෙයි තියෙන්න ඕනි
කියලා, මිනී පෙට්ටියේ තිබුන අත් දෙක අතට අරන් අර කුඩු පට්ටම් උන ඔලුගෙඩිය දෙපැත්තේ තිබ්බා..
හරියටම හිසේ රුජාවට කෙනෙක් ඔලුව අල්ලන් ඉන්නවා වගේ මිනියෙන් පෙනුනෙ ඒ වෙලාවේ...
අත්තම්ම ඒම කියලා අභිනයෙන් පෙන්නුවා එයාගෙ දෑතින් හිස බදාන..
මේන් මේ වගේමයි මහත්තයෝ.....
ඒ කතාව අහද්දි ඒ සිදුවීම මාධවට මැවිල පෙනුන. කොඳු නාරටිය දිගේ හීන් හිරියක් එක්ක දාඩියක් දැම්මා.
කෑලි වලට කැඩිල තියන තමන්ගෙ මැරුණ මිනිහගෙ මිනිය අතින් අල්ලන්න තරම් ඒ ගෑනිගෙ සුවාමි භක්තිය. මාධව හූ මිටි තිබ්බෙ නෑ.දිග සුසුමක් පිට කොරලා නිහඬව අහගෙන උන්නා. අතු කොල පමණක් මද සුලඟේ නැටුවා. තවත් කතාව අහන්න ඕනිද කියලා කල්පනා කරද්දිම අත්තම්මාගේ හඬ ඈතින් වගේ ඇහුනා. මාධව හැරිලා බලද්දි අත්තම්මා අර ඈත තැඹිලි ගහ ගාව.
මෙතන යට ඉන්නවා ඇගේ අම්ම.
ඒ විදියට මිනියේ අත්දෙක ඉහට තියල ආපහු අපි දිහාට හැරුනෙ පණ තියන ගෑනියෙක් නෙමෙයි. ඇස් උඩ ගිය පපුව පැලුණු මල කඳක්.
මේකිගෙ අම්මත් තාත්ත එක්කම එකම වලක පොලවට යට කලා..මේ ගහේ තැබිලි වල දෙමාපිය සෙනෙහස තියනවා මහත්තයෝ..
මේ ගහ යට මහ උන් දෙන්නම එකට නිදි.
මහත්තයාට කියන්න, කෙල්ල හරිම ආසයි මේ ගහේ තැබිලි වලට.
ඒම
කියද්දි සෙව්වන්දි මාධව දිහාවට ආවා. එයා අරන් ආවෙව් සීතල ලොඳ පිරුණු
තැඹිලි වතුර එකක්. මල මිනී වැලලුණ තැනක හැදුනු තැබිලි ගහේ වතුර බොන්න මාධවට
අමුතු බයක් අප්‍රසන්න බවක් පිලිකුලක් දැනුනා.
ඒ නිසා අතට දුන්නු තැඹිලි වතුර වීදුරුව අතේ තියාගන ඉන්න ගමන් මාධව හූ මිටි තිබ්බා..
ඉතින්.....................
එදා
ඉදන් මේකිට උගන්ව ගන්න මම මහන්සි උනා මහත්මයා. සල්ලි නං අඩුවක් උනේ නෑ
පෙන්සොන් එක ලැබෙනවා මදි නොකියන්න. ඒත් මලක් උනාම බඹරුන්ගෙන් පරිස්සං
කොරන්න එපැයි. මේකි ඉස්කෝලේ ගියා. හැමදේම හරි පිලිවෙලට කලා. උසස් විභාගෙ
ගත්තට පස්සෙ ආයෙ මොනවත් කරන්න කැමති උනේ නෑ. දැන් රස්සාවක් කරන්න ඕනේ කියලා
අයදුම් කර කර ඉන්නවා..
අම්ම අප්ප නැති මේකිව මේ වාගේ කැලේක තනි කරන්න මම බයයි මහත්තයෝ
අත්‍තම්ම තැඹිලි ගහට වාරු දීලා එහෙම කියද්දි මාධවට ඒ අත්තම්මා ගැන ගෞරවය කියන හැඟීම ජනිත උනා..
.............................. .............................. .............................. ........................
දින
සති මාස ගණන් ගෙවිලා අවුරුදු කීපයකට පස්සෙ මාධව සෙව්වන්දිව කැන්දගෙන
එයාලගෙම ගේකට ගියා. ඔය ගෙවුන වසර කීපයටම මාධව කලේ ඈ බලන්න ගෙදරට ගිය එකම
පම්ණයි.
ඈ නිහඬව මාධවව පිලිගන්නවා. මාධවත් එක්ක වචන කීපයක් දොඩමලු වෙනවා. කෑම බීම ටික උයල දීල යහමින් සලකනවා. ඒ නිහඬ බව භාවනාවක් වගේ. අවශ්‍යම උනොත් කතා කරන ඈ හැමදාම මාධව එක්ක මිදුලට වෙලා ඉඳගෙන රබර් කැලේ දිහා බලාන ඉන්නවා. මාධව ඔහේ කියවන ඒවා ඈ නිහඩව අහගෙන ඉන්නවා.
අත්තම්මව දාල එන්න අකමැති උනෙත් නැති ගමේ කෙල්ලෙක් වගේ හැදිල ඉදපු සුන්දර සෙව්වන්දි මාධව එක්ක බොහොම කැමැත්තෙන් ආවා.කුඩා ලැටිස් ගෙදර හරිම පිලිවෙලට තියාගෙන ඉන්න සෙව්වන්දි ට මාධ්වගේ ගෙදරට ශ්‍රියා කාන්තාවක් වෙන්න කල් යන එකක් නෑ..
මාධව හිතුවා..
ඉතිං දෙන්නා එකට ජීවිතය ඇරඹුවා.
.............................. .............................. .............................. ........................
මංගල රැය වෙනසක් උනේ නෑ. සෙව්වන්දි වෙනදා වගේම නිහඬව උන්නා..මාධවගේත් ඇයගේත් මංගල රෑ සුලු ආලිංගනයකින් පසු අවසන් උනා. එදායින්
පසු හැමදාම එහෙමයි. නිදියහන සෙව්වන්දිගේ දවසේ රාජකාරීයක් උනා. එපමණයි.
නිදියහනේ සුන්දර බව නොදන්න ඈ නිද්‍රාශීලී අයුරින් උන්නා. මාධවට මෙය කම්මැලි කටයුත්තක් වන්නට වැඩි කල් ගියේ නෑ..
දෙදෙනා නිහඬවම නින්දට යන රාත්‍රීන් එලඹුනා. සිරි යහනක් වනු ඇතැයි සිතූ නිදි යහන මියගිය කුටියක ඇති මලගිය යහනක් බවට වැඩිකල් නොගොස් පත් උනා.
.............................. .............................. .............................. ........................
මංගල කටයුතු වලින් පසුව මාධවලා පලමු වරට එහි ගියේ හවසක. මාධවගේ මිතුරෙකුගේ
මෝටර් රථයේ නැඟිලා. වැස්ස
ආරම්භ උනා. ඒත් එක්කම මාධවලා ගමන පිටත් උනා. මංගල දවසේ මාධවගෙන් ලැබුනු
ගවුමක් ඇඳලා ඈ ලස්සනට උන්නා. මාධව අරන් දුන්න සිල්ක් රෙද්දෙන් මැසූ නිල් පාට
පසුබිමේ ශ්වේත වර්ණ මල් වැටුනු ගවුමක්.
කොන්ඩය කඩලා දාලා ඈ තවත් සුන්දරයි.
මාධවලා හෙමෙන් හෙමෙන් රබර් මණ්ඩියේ ගුරු පාරේ ඉදිරියට ඇදෙන්නේ පරෙස්සමින්. මාධව කොහොමත් කඩි මුඩි රියදුරෙක් නොවෙයි. වාහනයේ වීදුරු පිස්නා ක්‍රියාත්මක කල මාධව අඩ ආලෝකය දෙන පහන් ක්‍රියාත්මක කලා. මීදුම නිසා ගමන මන්දගාමී උනා. රබර් ගස් මණ්ඩිය අදුරු පැහැ වෙමින් තිබුනේ වැහි අඳුරත් සන්ධ්‍යාවත් නිසා.
සෙව්වන්දි
අවට පරිසරය දිහා බලමින් නිහඬව උන්නා. ඇඟේ නිහඬ බව විටෙක මාධවට කරදරයක්.
විටෙක ඖශධයක් වාගේ. කුතුහලයක් තිබුනෙ මාධවට ඈ මෙහෙම නිහඬව ඉන්න එක ගැන. ලැටිස්
ගෙදර අවට පරිසරය හරි අලංකාර ලෙස පැවතියා. අඳුර වැටෙන්නට පැය කීපයකට
පෙරාතුව වැසි වැටුන නිසාවෙන් පරිසරය තෙත බරිතයි. නිවස අවට මංගල උත්සවයේ
නටඹුන් තවමත් තියනවා. අඩ වශයෙන් පෑයූ මීදුමකුත් ගලා ගිහින් අපූරු ගුප්ත ලස්සනක්!
ගේ වටේට රෑ මල් පිපිලා. සුදුපාටින් මල් පිපිලා තිබුනා. වටේම මල් සුදු පාටයි. සුදු පාට වද ගහක් පවා තිබුනා.
සමන්පිච්ච සුවඳ තෙත වාතයේ ගැවසෙන නිසා අපූරු සුවඳක් අවට ගැවසුනා.
ඒ තෙත සන්ද්‍යාවේ ලැටිස් ගෑ පැරණි නිවස දෙසට ඇදෙන නව යුවලක් සන්ධ්‍යාවේ ගම්මුන්ට පෙනුනා.
නිවස
දෙසට ඇදෙන ඒ නව යුවල දෙස මදහස පාමින් උන්නේ වයසක ආත්තම්මා කෙනෙක්. ගෙපිලේ
ඈදිගෙන උන් ඈ හොඳින් මනාව වැදගත් ලෙස හැඳ පැලඳ උන්නා...
ඒ පසුබිමේ සූර්‍යා අඳුරේ ගිලුනා.....
ඒ වියපත් අත්තම්මා
මාධවට පෙන්නුවාට වඩා දරඳඩු කාන්තාවක් උනා. සිරිත් පරිදි කුල සිරිතට නිවසට
පැමිණීම ප්‍රමාද වීම සම්බන්ධව ඇය ආඩපාලී කියා සිටියා. සෙව්වන්දීත්
අත්තම්මාත් අතර තිබෙන සත්‍ය සම්බන්ධතාවය මාධවට පේන්නට වැඩි වේලා ගත උනේ නෑ.
ආඩපාලි කියූ අත්තම්මා කෙරෙහි සෙව්වන්දී දැක්වූ ප්‍රතිචාරයට මාධව වික්ශිප්ත උනා. වසරකුත් කාලයක් ඈව ආස්‍රේ කරාට මොකද ඇගෙන් මෙහෙම රෞද්‍ර බවක් දැක්කේ පලවෙනි පාරට.
"නාකි ගෑනි. මැරිලවත් යන්නෑ. ඉන්න කාලේ ඉන්න දුන්නෙත් නෑ බැඳල ගියාමත් කියවනවා"
වාදය
දිගැස්සි දිගැස්සී යන්න උනාම මාධව ඒ ඝෝශාවට අප්‍රිය කලා. සන්සුන් කමට
කැමති මාධව කලකිරීමෙන් සෙව්වන්දි දිහා බැලුවම ඈ මාධවට කිසිත් නොකියා නැගිට
ගියා. එදා
රෑ මාධව සෙව්වන්දී සහ අත්තම්මාගේ සම්බන්ධය හොඳින් තේරුන් ගත්තා. ආයෙම මහ වැසි
වැසෙන්නට උනා. විදුලි බලය සිදී ගියා. අත්තම්මාගේ සුරතින් පිසුණු රසවත්
රාත්‍රී කෑම වේල ලාම්පුවේ ආලෝකය මැද කඩිනමින් අහාරයට ගත් මාධව ඉක්මණින්
නින්දට යෑම අවශ්‍ය බව පවසා වතුර වීදුරුවකුත් රැගෙන කාමරයට වැදුනා.
කාමරයට
වැදුන මාධව කල්පනාවට වැටුනා. පිටින් පෙනෙන සුන්දරත්වය ඇතුලේ ඇති ගුප්තකම
කුමක්ද? තමන් ගත්තා වූ තීරණය ගැන සමාලෝචනයක් කරන්නට වේදැයි මාධවට සිතුනා.
එදා රාත්‍රිය පුරා මහ රෑ වන තෙක් අත්තම්මාත් සෙව්වන්දීත් අතර වාදය පැතිර
ගියා. ඇතැම් වචන හරි රළුයි. ගොරෝසුයි.
මධ්‍යම රාත්‍රීයේදී ගුප්ත බව, නිහඩ බව ඒ පාලු වත්ත මැද තිබුනු ලැටිස් නිවසේ පුරාම හරි ඉක්මණට පැතිරුනා.
ලැටිස් ගෙදර බැටරියෙන් ක්‍රියාත්මක වන අත්තම්මාගේ ගුවන් විදුලියේ ඇහෙන නාලිකාවක
"අත්තම්මා නිවන් ගිහින් අපිට හුගක් ඈතයි.............." ගීතය නම් වාදනය වෙනවා ලාවට ඇහුනා.
එක වරම අකුණු හඬ පැතිරුනා. විවෘත වී තිබුණු ජනේලයෙන් පැමිණි සුලඟට මාධවගේ කාමරයේ තිබුණු කුප්පි ලාම්පුව නිවී ගියා. ජනේලය වසා දමන්න ජනේලය ලඟට යද්දි අදුරේ පහත් යමක්, ජායාවක් ලෙස නොපැහැදිලිව වත්ත දෙසට ඇදී යනු මාධව දුටුවා. ඌරෙක් වෙන්නැති.එවිටම සෙව්වන්දී කාමරයට ආවා. මාධව ජනෙල් පියන් වසා යහනට ගොඩ වූවා.
මන් එන්නම් ඔයා නිදියන්න. එහෙම කිව්ව සෙව්වන්දී ආපහු යන්න ගියා. කාමරය තුල මාධව තනි උනා. තව
තව අකුණු සැර සහ වැසි මධ්‍යයේ මාධව සෙව්වන්දි එන තෙක් බලා ඉද්දීම නොදැනීම නින්දට
ගියා. අත්තම්මගේත් සෙව්වන්දීගේත් වාදය ආයෙමත් කුස්සිය පැත්තෙන් ඇසෙද්දී වැහි බිඳු
නදට මාධවගේ නෙත් පියවෙලා.
හීනිවට දර ගේ පැත්තෙන් තඩ් තඩ් තඩ් ශබ්දයක් කන වැකෙද්දී මාධව සිහින අතර අතරමං වෙලා ගිහිං.
පහුවදාට ඉර පෑව්වා. මාධවව අවදි කරපු සෙව්වන්දී ඔහුට සූදානම් වන ලෙස පවසා ඇයත් සූදානම් උනා. ඒ හිමිදිරි උදෑසනම මාධවලා ආපහු එන්න පිටත් වෙද්දී අත්තම්මා නිවසේ උන්නේ නෑ..
ඒ ගෑනි කොහේදෝ ගිහිං!
සෙව්වන්දිගෙ කෙටි සහ ඍජු උත්තරයට මාධව ආයෙම ප්‍රශ්න අසන්නට සිතුවිලි ඇති උනේ නෑ. එදායින් පසු අත්තම්මා සමඟ සෙව්වන්දීගේ සම්බන්ධය නතර වී ඇති සෙයක් මාධවට දැනුනා. කාලය ඔහොම්ම ගතවුනා..
.............................. .............................. .............................. ........................
නිදිබර රාත්‍රීන්, වෙහෙසකර රාත්‍රීන් සහ නිදහස් රාත්‍රීන් එමට තිබුනා. කෙසේ උදා වූ රාත්‍රියක් වුවත් එහි ආනන්දය, ප්‍රේමය සහ රාගය නං තිබුනේ නෑ. කොච්චර උවමනා උනත් මාධවට එය ලැබුනෙ නෑ. හැමදාම මිය ගිය යහන මත ඔවූහු නින්දට ගියා. දෙපසට හැරී.
කාලය ගෙවී ගියා. මාධව වෙනත් ආයතනයක රැකියාවට ගියා. ඉපයීම් ඉහලට නැගුනත් කෙතරම් හොඳින් සෙව්වන්දීව සතුටු කරන්නට උත්සහ කලත් ඈ වටා වූ ගුප්ත සුවරූපය එසේම තිබුන. රාත්‍රී
ආහාරය පිටතින් ගත්තා වුනත්, විනෝද ගමනක් පිටත් උනා උනත්, මාධව විශේෂ කෑමක්
හදලා දුන්නා උනත්, තෑගි ගෙනැවිත් දුන්නා උනත් ඈ සතුටු ඌ බව පෙනුනේ නෑ. කාලය ගත වෙද්දී මාධවට ඇගේ ගුප්ත හැසිරීම් අවබෝධ උනා. දකින්නට පෙනෙන්නට උනා. ඒවාට හුරු උනා.
ගුප්ත තරුණියක් සමඟ ජීවිතය ගෙවන්නට මාධව උත්සහ ගනිමින් උන්නා. වෙන කල හැකි දෙයක් නෑ.
එක්තරා
රාත්‍රියක දෙදෙනාම නින්දට ගියා. මාධවට හදිසියේ ඇහැරුනේ මිදුලෙන් හඬක්
ඇසිලා. මාධව ඇඳේ ඉදගෙනම ඉස්සී ජනේලයෙන් එබී බැලුවා. කොන්ඩය කඩාගත් යුවතියක්
සඳ එලියේ පින්න යට මිදුල අතුගානවා. ඉඳලකින්.
ඇගේ මුහුණ පෙනෙන්නට නෑ. හැමදාම උදෑසන වැඩට යන්නට මිදුලට බහින මාධවට තිබුනු බලවත් අභිරහසක් අද විසදුනා. මිදුල
අලංකාරයට අතුගාන්නේ කවුද යන්න මාධවට ලොකු පැනයක් උනා. මොකද යත් කුස්සියේ
වැඩ නිම කිරීමට ප්‍රථම හෝ පසුව මේ සා වූ පිලිවෙලකට අතු ගාන්න තරම් පොඩි
මිදුලක් නෙමෙයි මාධවලාගේ නිවෙසේ තිබුනේ..
මාධව සෙව්වන්දීව ඇහරවන්න බලද්දී දුටුවේ ඈ ඇඳේ නොමැති බව. කම්පිත වූ මාධව යලි ජනේලය දෙස බලද්දී මේන් ඈ ජනේලය ලගම ඉඳලත් තියාගෙන මාධව දෙස බලාගෙන. එක්වරම ගැස්සුන මාධව ඇදෙන් බිමට වැටුනා. සීතලේ වෙවුලමින් උන් මාධව ලඟට ඈ මද වේලාවකින් ඇවිද විත් බීමට වතුර වීදුරුවක් තබා කිසිත් නොවුනා සේ යහනට වී නිදන්නට උනා. ඒ වන විට මහ රෑ දෙක හමාරයි.
නිතිපතා මිදුල පවිත්‍ර වී තිබීමේ රහස මෙසේ එලි උනා..
මාධව යලි නින්දට වූවේ නෑ. සැනසීමෙන් නිදන සෙව්වන්දිය දෙස බලා හිඳිමින් රැය පහන් කරන්නට උනා.
ඈ කවුද?
පහුවදා මාධව සෙව්වන්දීව ප්‍රශ්න කරන්නට උනා. “ඊයේ රෑ මොකද එහෙම කලේ.. ඇයි උදේ දවල්ට බැරි ඕක කරන්න.....“
මාධව ඇගෙන් ටිකක් තදින් ඇහුවම ඇය කිසි කතාවක් නොමැතිව මාධවට රවා කාමරයට වැදුනා. දොර තදින් වසා අගුලු දමාගත්තා.
සංවාදය තවදුරටත් පවතින්නේ නැති බව මාධවට වැටහුනා. විසඳුමක් කොයිද..?.
.............................. .............................. .............................. .........................
හැමදාම
මැදියමේ හැදෙන මූත්‍රා බර මාධවට අමුතුවෙන් දැනෙන දෙයක් නෙමෙයි. ඒ වෙලාවට
ගිහින් මූත්‍රා කරලා ඇවිත් නිදාගැනීමත් අමුතු දෙයක් නෙමෙයි. හැබැයි
අඳුරේම මහ රෑ එලිවෙන ජාමයට අල්මාරියක රෙදි පිලිවෙල කරනවා නම්,
කැබිනෙට්ටුවේ බඩු පිලිවෙලට අසුරන්න හිතෙනවානම්, අවුල් වූ වැඩ මේසය, කුස්සිය
සුද්ද කරනවා නම්?
ඒක ලෙඩක්.
මාධව දැන් දැන් මේ සංසිද්දිය අත් විදිනවා. හැමදාම රෑ නොනිදන සෙව්වන්දි හැමදාම කුමක් හෝ අස් පස් කිරීම පුරුද්දක් කරගෙන. මිදුල පිලිවෙලට අතුගෑමේ සංසිද්දිය දුටු දා ඉදන්ම දැන් මාධවට මේවා සාමාන්‍යකරණය වෙලා..
ඇයට හැමදේම පිලිවෙලට උවමනයි. හැමදේම.
පිහියා
තබන තැන පිහිය තැබීමේදී ඇද කුද නොවී තැබිය හැකි විය යුතුයි. එසේත් නොමැති
නම් ඇයගේ රැවුමට භාජනය වන්නට මාධවට සිදු වනවා. එසේත් නැති නම් අදාල භාණ්ඩය
හෝ උපකරණය බිම ගසා විනාශ කිරීමට ඈ විසින් පෙලඹෙනවා. ඉන්පසු
නිවසේ අනික් කාමරයට ගොස් ඈ එලියට එන්නේ පැය 24කටත් එහා ගෙවී ගිය පසු. ඒ
වෙද්දී මාධව නිවෙස අස් කොට ඈ විසින් විනාශ කර උපකරණය හෝ ද්‍රව්‍ය ඉවතලා
අවසන් කරනවා.
මාධවගේ ඇඳුම්
අල්මාරියේ රෙදිපිලිවෙලට ඇසිරීම ද පිලිවෙලට විය යුතුයි. පොත් රාක්කයේ පොත්
නිසි පිලිවෙලට උස අනුව තැබිය යුතුයි. මාධවට ඇගේ මේ පිලිවෙල නිසා මතක් වන්නේ
එදා දර මිටිය බැන්ද අපූරුව.
ඇයි මේ ඇද කුද නැති පිලිවෙල, ඇයිද මේ අපිලිවෙල සම්බන්ධව ආවේගය...
ඇය රෝගියෙක්..
මාධවට සිතුනා..
ඇගේ
නිවසේ පිලිවෙල, මිදුලේ පිලිවෙල, අර ගම්මිරිස් පැදුරේ පිලිවෙල, ඇගේ නිදන
කාමරයේ පිලිවෙල, ඇගේ නිවසේ දරගෙයි දර අතුරා ඇති පිලිවෙල, වෙන එකක් තියා ඇගේ
ලැටිස් ගෙදර මල් පාත්තියේ මල් පැල සිටුවා ඇති ආකාරයේ පිලිවෙල?
හැමදේකම අසාමාන්‍ය පිලිවෙලක් අපේක්ශා කරන ඇගේ ජීවිතේම පිලිවෙලක් නැති අවුල් ජාලාවක් කොරලා දාලා. පෙර දාක පොතක දුටු ඒ ලිපිය මාධවට මතක් උනා. මාධවට සියල්ල තේරුනා.. ඈ රෝගියෙක්. මානසික ලෙඩෙක්. එනම් මානසිකව ඇද වැටුනු රෝගී කාන්තාවක්.
මාධව ඒ සම්බන්ධව සොයා බැලිමට අවශ්‍ය බව සපථ කරගත්තා.
ඇගේ අසාමාන්‍ය පුරුදු අතරේ මාධව සාමාන්‍යකරණය වී ජීවිතය ගෙවන්නට උනා.
කාලය ගෙවුනා.
.............................. .............................. .............................. ........................
මාධව රාජකාරී අහවර වී නිවෙසට ආවේ මහන්සියෙන්. ඒ එද්දී සෙව්වන්දී විසින් මාධවගේ ඇඳුම් අල්මාරිය පිලිවෙලට අස් කරලා තිබුනා.
සේදීමට නියමිත රෙදි සියල්ල ගොඩ ගසා තිබුනා.
මුලු නිවෙසම පිලිවෙල කර තිබුනා.
මාධව
යහනේ හිඳ පාවහන් ගලවන්න උනා. සේදීමට නියමිත ඇඳුම් කන්දරාව අසල දුරකථන සිම්
පතක් බිම වැටී තිබෙනු මාධව දුටුවා. එය අතට ගත් මාධව විමසිලිමත් උනා.
සෙව්වන්දී යහනේ නිදි. ඒ සිම් පත කාගේද?
තමාට සිම් පත් දෙකක් ඇති බවත්, සෙව්වන්දීට ඇත්තේත් එක සිම් පතක් පමණක් බවත් මාධවට විශ්වාසයි.
එසේනම් මෙය කාගේද?
සිම්
පත අතට ගත් මාධව හෙමෙන් හෙමෙන් තමාගේ කාර්‍යාල කාමරය වෙත ඇදුනා. කාමරයට
වැදුනු මාධව තමාගේ අතිරේක දුරකතනය රැගෙන එයට අදාල සිම් පත ඇතුලු කොට
දුරකතනය විදුලියට සම්බන්ධ කොට පණ ගැන්වූවා.
කාමරයේ
දොරට පිටුපා උන් මාධව නැගිට එලියට ගොස් තමා හැඳ සිටි ඇඳුම් ගලවා ස්නානය
කිරීම මැනවියි සිතා අසුනෙන් නැගිටීමේදී මේන් නිහඬවම සෙව්වන්දි මාධව ඉදිරියේ
සිටගෙන.
මාධව තැති ගැන්වී ආපසු පුටුව මතට කඩා වැටුනා. සෙව්වන්දි ගේ දෙනෙත් වල හැඟීම කුමක්දැයි මාධවට වැටහුනේ නෑ.
ඇගේ මලානික දෙතොල් වලින් මාධවට අණ ලැබුනා..
අනික් සපත්තුව දෙන්න. ආයේ ආවම දෙකම ගලවලා හරියට රාක්කයෙන් තියලා එන්න.
එහෙම කියද්දී මාධවට දකින්න ලැබුනේ එක් සපත්තුවක් පමණක් පැලඳගෙන අනික ගලවා දමා ඇති බව.
සිම් පත දැක කලබල වූ මාධවට සපත්තු ගැලවීම අමතක වෙලා ගිහින්. ආයාසයෙන් හිනා උන මාධව සපත්තුව ගලවා ඇයට දුන්නා. නිහඬව සපත්තුව දෝතින් ගත් ඈ යන්න ගියා.
සෙව්ව්න්දී කාමරයට ගිය බව තහවුරු කරගත් මාධව දුරකතනය පණ ගැන්වූවා. සංඥා ලැබෙද්දී එක පිට එක කෙටි පණිවුඩ දුරකථනය වෙත ගලා ආවා. එම පණිවුඩ හැම එකකම පාහේ එකම පණිවුඩයක් දිස් වී තිබුනා.
"Madhawa putha" is trying to connect you.
අත්තම්මා වෙතට මාධව ලබා ගත් ඇමතුම් වලට ප්‍රතිචාරයක් නොවීමේ රහස එලි උනා. ඇමතුම්
සියයකට වඩා අත්තම්මාට ලබාගත් මාධවට කිසි දාක ඈව සම්බන්ධ කරගැනීමට නොහැකි
උනා. මාධව ඒ පිලිබදව බිරින්දෑගෙන් විමසා සිට්න විට ඈගේ ප්‍රතිචාර රළු ඒවා
උනා. සෙව්වන්දිව බලන්න ගිය දවසක ඇයට මාධවගේ අංකය Madhawa Putha ලෙස තැන්පත් කරලා දුන්නේ මාධවමයි.
"ඒ ගෑනි මැරිල ඇති. ඔච්චර අමාරු නම් ගිහින් බලන එකයි ඇත්තේ...."
රාජකාරී මැද මාධවට එහි යාමට නොහැකි උනා..
අත්තම්මාගේ මෙම සිම් පත සෙව්වන්දී වෙතට ආවේ කුමකටද?
ඇය එය ගෙන ආවා නම් ඒ කිමද?
අත්තම්මා ගැන මේ හැටි වෛරයක් ඇයි?
සෙව්වන්දීට ඇත්තටම අවශ්‍ය වී ඇති දෙය කුමක්ද?
මාධව සිතන්නට උනා. ප්‍රශ්න ජාලාවකින් මාධවගේ සිතුවිලි වෙලුනා..
අත්තම්මා කෝ? මාධවගේ අත්තම්මා ගැන අවසාන ගැටලුවත් පැන නැගුනා.
අත්තම්මා ඇත්තටම කෝ?
ඇයගේ දුරකතන සිම් කාඩ් පත මාධවගේ නිදන කාමරයෙන් මතු වූ අභිරහස කුමක්ද?
මාධවගේ සිතුව්ලි සී සී කඩ විසිර ගියා..
.............................. .............................. .............................. ..........................
අභිරහස
විසඳීමට නම් මාධව ලැටිස් ගෙදරට යා යුතුයි. මාධව සෙව්වන්දීට ආදරයෙන් කතා
කලා. ඈව නම්මා ගැනීම කල යුතු නිසාවෙන්ම මාධව සිය නොරිස්සුම සඟවා අවධානයෙන්
සහ ආදරයෙන් කල් ගෙව්වා.
මැණික, අපි ගමේ ගිහින් එම්මු. හවසට එනකොට සූදානමින් ඉන්න.
සෙව්වන්දි කැමත්ත ප්‍රකාශ කලා.
යමු ඉතින්.
ඇයගේ පිලිතුර මාධව අපේක්ශාවෙන් උන්නු එකක්.
එසේ කී මාධව රාජකාරියට පිටත් වූයේ වේලාසන පැමිණ රබර් මණ්ඩියේ ලැටිස් ගෙදර යාමේ අපේක්ශාවෙන්.මධ්‍යාහ්නයෙහි නිවසට පැමිණි මාධව කෙලින්ම නිදන කාමරය වෙතට ඇදුනා.මාධව එක පාරටම දැක්කේ සෙව්වන්දිගේ රොස ඇඟිලි පාවෙනවා. නිදන කාමරයේ ඇද ඉහල පංකාවේ ඇඳ ඇතිරිල්ලකින් ඉහලින් එල්ලී උන්නේ සෙව්වන්දි. ගෙල වැල ලාගෙන. ඇඳ ඇතිරිල්ල ඇගේ ගෙල වටා එතිලා තිබුනා.
මාධව
හනික ක්‍රියාත්මක වී ඇය දෙසට පැන ඈව ඔසවා ගත්තා. කෑ ගසමින් ඇයට කතා කලා.
ඇය එවිට දෑස් හැර මාධව දෙස බැලුවා. ඇය මියගොස් නෑ. එක්තරා දිනෙක රබර්
කැලයේදී දර මිටියට ඈ පෑ තෘප්තිමත් සිනහව මාධව වෙත පෑවා. මියගොස් ඇතැයි මාධව සිතූවද ඈගේ සිනහව සහ මරණ බය නොමැති වියරුව රැඳි දෑස් දුටු මාධව ක්ශණික කම්පනයකින් සිහිසන් නොමැතිව ඇද වැටුනා..
මාධවට
සිහිය ලැබෙද්දී ඈ එසේම පංකාවේ එල්ලී ඉන්නවා. ඈගේ ඇඟිලි දරදඬු වෙලා. කකුලේ
ඇඟිලි ඇඹරී තිබුනා. ඇඳ මත තෙත්වී තිබුනා. ඒ මූත්‍රා බව මාධවගේ නැහැයට
සංවේදී උනා ඇය මිය ගිහින්. විනාඩි කීපයකට පෙර ගෙලෙන් එල්ලී සිටිමින් මාධවට
සිනහ පෑ ඇය වේදනාවෙන් දෙතොල් සපාගෙන නිහඬ වෙලා. සපාගත් දෙතොල් මත දත් වලට
තුවාල වී ලේ ගලාවිත් කැටි ගැසී තිබුනා. ඇගේ මරණය සිදු වී අවසන්. එය කෙසේ
වූවාදැයි මාධවට නිච්චියක් නෑ. මාධවගේ අත් දිග කමිසයේ කොටසක් ඉරී ගොස් ඈගේ
ඇඳුමේ කටුවක ඇමිණී තිබුනා..
මාධව දන්නේ එක දෙයක් විතරයි.
මේ මරණයට තමා වග කිව යුතු බව පමණමයි.
ඇය
සිය දිවි හානි කරගත්තාදැයි කියන්නට මාධව පියවි සිහියෙන් නොසිටි බැවින්
මාධව තීරණය කලේ මාධව සිහි විකලෙන් ඇද වැටීමේදී ඇයගේ ඇඳුමේ පැටලී පහලට බර
යෙදීම නිසා ඇය මියෙන්නට ඇති බව. මරණය
කෙසේ සිදු වේ දැයි කිසිදාක කිසිවෙකුට කිව නොහැකි වූවත් මෙම මරණයට මාධව වග
කිව යුතු බව ජූරි සභාවකට තීරණයක් ගැනීමට ඇති තරම් සාක්ශි ඇති බව බිම හිඳගෙන
කල්පනා කරන මාධවට වැටහුනා.
සෙව්වන්දී මිලින වෙලා ගිහින්. ඉක්මණ් විසඳුමක් මෙයට අවශ්‍යයි. තමාගේ ජීවිතය ගලවාගැනීමට ක්ශණික ව්සදුම් අවශ්‍යයි.
මාධව කල්පනා කලා.
.............................. .............................. .............................. .........................
රබර්
මණ්ඩියක තට්ට තනියම ඉද්දි හරිම නිහඬ බවක් දැනෙන්නෙ. මීදුම් වලාව රබර්
මණ්ඩියේ ඉහල.ආකාසේ ඉදන් පාත් වෙලා සන්ද්‍යාව සුන්දර කලා. මෙලෝ මල යකෙක් මේ
ගම්මානේ අද නෑ. ගම ඉස්මත්තේ තියන ලස්සන පොඩි දෙවාලේ පූජාවට ගමම එකතු වෙන්නෙ
හරිම උද්‍යෝගයක් ඇතුව. ආන්න එහෙම පූජාව තියන දවසෙ මාධව ඇදුනා පාලු රබර්
වත්ත මැද්දට. නිහඬ බව මැද්දෑවෙන් මාධවගෙ තනියට එකම එක්කෙනෙක් මාධවගේ ගාව
උන්නා.
මාධව
හරහට දෝතින් වඩාගත් ඒ සුන්දර මදහස සහිත මල සිරුර අවට පරිසරය මඳක් ගුප්ත
කලා පමණයි. සන්ධ්‍යා මීදුම රබර් මණ්ඩියේ පැතිරෙන වේලේ අත දරාගත් මමීකෘත
වූවාක් සේ සුදු ඇඳ ඇතිරිල්ලේ එතුනු තරුණිය මාධවගේ කර මතින් උපන් නිවෙස වෙත
ඇදුනා..
පැය ගාණකට කලින්
මැරුණ තමන්ගෙ ආදරණීය පෙම්වතියව, එක්තරා දවසකදි ඉස් ඉස්සෙල්ලම හම්බ උන මේ
රබර් මණ්ඩියේම වල දාල ඒ අතීතයටම සමුදෙන්න මාධව තීරණය කලේ මේ දවස හරි අමාරුකාර දවසක් නිසා. ලැටිස් ගහපු
ගේ ලඟට කැලේ මැද්දෙන් මල සිරුර උස්සාගෙන එද්දි මහ රෑ වෙලා. මාධවට ඒක හරිම
අපහසු කටයුත්තක් උනේ ගමේ මිනිස්සු දේවාලෙට ගිහින් ඉන්න නිසාම ගම මග ඇරලා
එන්න ඕනි උන නිසා. නැත්තන් මහ පාරේ වාහනය එනවා දුටුවොත් ප්‍රශ්න ලෝකයක්.
හෙමෙන් හෙමෙන් ලැටිස් ගෙදර තැඹිලි ගහ ලඟට ලං උන මාධව ඈව සෙමෙන් බිම තිබ්බා.ඉන් පස්සෙ මිනිය තැඹිලි ගහට හේත්තු කොරලා මාධවත් තැඹිලි ගහට පිට දීලා හේත්තු උනා. විඩාබර මාධව විඩා නිවාගනු වස් හෙමින් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තා.
ඒ සැනින්ම මාධවට ඇහුනා ඈ කතා කරනවා.
මාව වේදනාවක් නොදී මැරුවට පින් ඔයාට...
මාධව
ගැස්සිලා ඇහැරුනා. ඇහැරිලා බලද්දි මිනිය ගහ ගාව නෑ. මිනිය ලැටිස්
ගෙදර දොරකඩ ඉදගෙන ඉන්නවා. මාධව ඈව ඔතන් ආව විදියටම නූල් පොටක්වත් අයින්
නොකර එතීගෙන. මමියක් වාගේ....
හීන් දාඩිය දාපු මාධව නැගිට්ටා.මීදුම හාත්පස පැතිරිලා. මීදුම මැද්දෙ රෙදි කෑල්ලෙන් පෙරිලා සෙව්වන්දිගෙ ඇස් මාධවට පේනවා.
උඹ හරිම අපූරු මනුස්සයෙක්.
සෙව්වන්දි එහෙම කියලා මහ හයියෙන් හිනා උනා...
වියරු විදියට. හරිම වියරු විදියට.
එක
වරම සී සීකඩ වී ඉරී විසිරුණු ඇද ඇතිරිල්ල මැද්දෙන් සෙව්වන්දි ඉදිරියට ආවා.
ඇගේ රූමත් බව තුල තිබුනු වියරුව මාධව දැක්කා.. ඈ තව තවත් මාධව දෙසට ඇදෙන්න
උනා. පියවරෙන් පියවර මාධව දෙසට. මාධවගේ දෙපා ගල් වී තිබුනා. ඉවත දුවන්නට යොදන
වෙර වීරිය නිශ්ඵල බව මාධවට දැනුනා. මීදුමේ සීතල වැඩි උනා.. වැසි වැටෙන්නට උනා.මීදුම පහව යද්දී අඳුර වැඩිවූවා. ඒ සීතලෙන් මාධවගේ දෙපා අඩපණ උනා..
අමුතු බලයකින් එසවූවාක් මෙන් ඔහු එක වරම ඉහලට එසවී බිමට පතබෑවුනා
.............................. .............................. .............................. .......................
දහඩිය පෙරාගෙන සිහිනෙන් අවදි වූ මාධව හාත්පස බලද්දී පෙර සේම මිනිය තිබුනේ තමන් ඉන්නා තැනට එහායින්. ගහට හේත්තු වී.
තමන්
සුලු නින්දකට වූ බවත් තවමත් තමා සමාජයට අන්තරාදායක ලෙස නිරාවරණය වී ඇති
බවත් මාධව තේරුන් ගත්තා. හනිකට මල සිරුර කරට ගත් මාධව නිවසේ පිලිකන්නෙන්
නිවස තුලට වැදී සිය කටයුත්ත ඇරඹුවා..
ඇයව අගෞරවනීය ලෙස නිවස තුලම මිහිදන් කරන්නට.
ඔහු මේ සමාජයෙන් වසන් වන්නට. ඈව වසන් කරන්නට.
කලින්
හිතන් උන්නේ ඈවත් ඇගේ දෙමාපියන් ලඟින්ම මිහිදන් කරලා නිදහස් වන්නට. හැබැයි
ඒක කල නොහැකි වන්නේ කිසිවෙක් දුටුවහොත් සියල්ල වැනසෙන නිසා.ඒ නිසාම මාධව තීරණයකට එලඹුනා.
ඇගේ
ලැටිස් නිවස තුල කාමර දෙකක් තිවුනා. හැම කාමරයකම බිම තිබුනේ සිමෙන්ති.
නමුත් ඇගේ නිවෙස පසෙක වන්නට නිවස තුලින්ම ඇතුල් වන්නට හැකි සේ තනා තිබුනේ
දර ගෙය.
ඈව මිහිදන් කරන්නට සුදුසුම ඇගේ දර ගෙය.
එහි
බිම පස් පුරවා සකස් කර තිබුන නිසා මිනී වල කපන්නට ඉතා උචිතයි. නිවෙස තුල
මිනීමැරුමක් වසන් කරන්නට ඉතා සුදුසි පරිසරයක් සැකසී තිබුනා. අන්දකාරය, වැස්ස, විදුලිය සිඳී තිබීම සහ ගම්මානයම දේවාලයට ගොස් හිඳීම.
නිවසේ දොරට තබන අලවංගුව සහ දරගෙය ඇතුලේ තියන කුඩා උදැල්ල ගත් මාධව සෙව්වන්දිට නිදන්නට සුදුසු පරිදි මිනී වලක් හාරන්නට උනා.
හෙමෙන්.. අඳුරේම..
ඔහුට එහායින් සුදු වතින් වැසුනු යුවතිය නිසොල්මන්ව උන්නා.
පාලුව රජ උනා. මීට පෙරදාක රෑ වගේම බිම කණින හඬ පමණක් මූසල විදියට අවට පැතිරුනා.
තඩ් තඩ් තඩ්...............
.............................. .............................. .............................. ........................
සෙව්වන්දීව
පොලවට යට කරලා වලලා දාලා සියල්ල අහවර කරලා නිහඬව කාමරයට ආව මාධව මේ කතාව
ලිව්වා. ජීවිතේ එක පරිච්ඡේදයක් අහවරයි. අත්තම්මාට උන දේ දන්නේ කවුද? ඒ
පිලිබඳව හොයන්නට බලාපොරොත්තු අටවාගෙන ඉදපු මාධවට සිය බිරිදත් අහිමි වෙලා. පොලීසියට
කවදා හෝ අවශ්‍ය වන්නා වූ අපරාධකාරී පුද්ගලයෙක් මාධව උඹ, මේ සිද්ද කර ඇති
බිහිසුණු අපරාධය නිසාම මාධවට සැනසීම හොයා ඉක්මණටම යන්න වෙනවා.
ඒ සැනසීම සොයා යන්නට කල් ගත යුතු නෑ.. ඊට පෙරාතුව මේ කතාන්දරය ලියවුනා.
ඒකට, කතාව ලියන්න නම් වැඩි කාලයක් ගියේ නෑ..
මාධව කතාව අකුරු කරලා අවසන්.
සෙව්වන්දීගේත්, මාධවගේත් ආදරණීය කතාව!
.............................. .............................. .............................. ...........................
ලැටිස්
ගෙදර අවට පරිසරය හරි අලංකාර ලෙස පැවතියා. අඳුර වැටෙන්නට පැය කීපයකට
පෙරාතුව වැසි වැටුන නිසාවෙන් පරිසරය තෙත බරිතයි. නිවස අවට මංගල උත්සවයේ
නටඹුන් තවමත් තියනවා.
ගේ වටේට රෑ මල් පිපිලා. සුදුපාටින් මල් පිපිලා තිබුනා.
සමන්පිච්ච සුවඳ තෙත වාතයේ ගැවසෙන නිසා අපූරු සුවඳක් අවට ගැවසුනා..
ඒ තෙත සන්ද්‍යාවේ ලැටිස් ගෑ පැරණි නිවස දෙසට ඇදෙන නව යුවලක් සන්ධ්‍යාවේ ගම්මුන්ට පෙනුනා.
නිවස
දෙසට ඇදෙන ඒ නව යුවල දෙස මදහස පාමින් උන්නේ වයසක ආත්තම්මා කෙනෙක්. ගෙපිලේ
ඈදිගෙන උන් ඈ හොඳින් මනාව වැදගත් ලෙස හැඳ පැලඳ උන්නා...
ඒ පසුබිමේ සූර්‍යා අඳුරේ ගිලුනා.....
එදා රෑ මැදියමේදී...........
ලැටිස් ගෙදර බැටරියෙන් ක්‍රියාත්මක වන අත්තම්මාගේ ගුවන් විදුලියේ ඇහෙන නාලිකාවක
"අත්තම්මා නිවන් ගිහින් අපිට හුගක් ඈතයි.............."
ගීතය මියුරු ලෙස වාදනය උනා.
ගීතය
එක්ක පාලුව රජ උනා. මහ වැසි හන්දා ගම්මානයම සුව නින්දේ පසු උනා. ගන අන්ධකාරය මැද්දෑවෙන්
ලැටිස් ගෙදර දර ගේ ඇතුලේ බිම කණින හඬක් පමණක් මූසල විදියට අවට පැතිරුනා.
තඩ් තඩ් තඩ්...............
මාධව, ඔබ කිසියම් හෝ කරුණකින් මානසිකව පීඩා විඳින්නෙක්ද? නොමිලේ උපදෙස් සඳහා... අමතන්න 1333
ReplyDeleteඅපි හැමෝම ලෙඩ්ඩු මහත්මයා
Delete++++++++++
ReplyDelete++++++++++
Delete