කලු!

කලු පාට කියන්නෙ කොච්චර අපූරු පාටක්ද? අපක්ෂපාතී පාටක්. සමහර විටක  කෙනෙක් කැමති නැති එහෙත් මාධව නං හුඟක් කැමතිම පාටක්. සුන්දර පාටක්. ඒත් කලු පාට හමක් තියෙන කෙනෙක්ව සුදු තලෙලු කෙනෙක් එක්ක සසඳලා කලු කෙනා කැතයි කියන කොට ඒම කියන කෙනාගෙ හිතේ තියෙන අඳුරු කලු පාට කියන්නෙ අසුන්දර පාටක්. ඒ කලුපාට කෙල්ලක් නිසා නෙමෙයි. ඒ්ම සංසන්දනය කරන කෙනාගෙ හිතේ අඳුරුපාට කලු පාටට වඩා කලු නිසා.

පාටක් කැත හෝ ලස්සන වෙන්නෙ බලන කෙනාගෙ හැඟීම මත මිස පාටේ කෙහෙම්මලක් නිසා නෙමයි. මේ පාටවල් ලස්සන නිසානෙ ලෝකය ලස්සන වෙන්නෙ. නැතිනං තියෙන්න තිබ්බනේ කලු සුදු ලෝකයක්.

පරණ රූපවාහිනී පෙට්ටිය වගේ. 

ඉතිං මාධව හිතන විදියට කලු පාට කැත වෙන්නෙ බලන කෙනාගෙ හිත අනුව මිස කලු ඇත්තටම කැත නිසා නෙමෙයි. කලු කෙල්ලෙක් දිහා පරිස්සමින් බැලුවොත් හැබෑ අපූරු ලාලිත්‍යවත් බවත් පේන බව මාධව කියන්නෙ බොරුවට නෙමෙයි. ඔය කියන විදියට කලු පාට කැත කෙල්ලොන්ට ඒ කැතට හරියන්න අපූරු ලාලිත්‍යවත් බවක් ලැබිලා තියෙන්නෙ උපතින්මයි.

ඉතින් ආන්න කාලෙකට කලියෙන් මාධවට හම්බුනා කලුම කලු කෙල්ලෙක්. පුංචි කොට හුරතල් පෙනුමැති උපැස් යුවලක් දාපු කටකාර කලු කෙල්ලෙක්.

එකෝමත් එක දවසක මාධව ලංකාවේ දුෂ්කරම ගමක සේවයට යන්න උනේ  මාධවට ඇති වගකීමක් නිසා නං නෙමෙයි. කෝම උනත් ආයතන ප්‍රධානියාගේ වචනයට බෑ කියන්න බැරි කමට මාධව ගමන පිටත් උනා. කොටු වැටුන කමිසයක් අත් නමලා ඇඳපු මාධව ඩෙනිමක් ඇඳගත්තෙ රාජකාරියට වගේම ගමනටත් පහසු නිසා. දුඹුරු පාට සපත්තු දෙකකින් සැරසුනු ඔහු උදේම ගමනට පිටත් උනා. ඇත්තටම නිවාඩු දවසේ ගෙදර ඉන්න පුලුවන්කම තිබුනත් ඔන්නොහේ පිටත් උනා. විශේෂ රාජකාරියක් නොවුනත් මාධව පිටත් උනා. දුෂ්කර ගමන. පහුවදා ගියත් ගැටලුවක් නෑ. ඒත් එදාටම යන්න හිතුන නිසා මාධව පිටත් උනා. සමහර විට ඈව මුණගැහෙන්න දෛවය විසින් තීරණය කරලා තිබුන නිසා වෙන්නැති.

ගමේ බස් එකෙන් ගම්පොලට ආව මාධව බස් නැති දුස්කර පාරක පයින් ඇදෙනවා. ආන්න ඒම ඇදි ඇදී යද්දි තුන් සක රියක් ඇවිදිල්ලා හිටං මාධව ගාව හිටෙව්වා. අලුත් සමෘද්ධි මහත්තයා වෙන්නැති?

එහි රියදුරු ඇහැව්වා. 

අස්වැසුම කටයුතු වලට ගමට ගියාහම හුඟක් අය හිතුවෙ මාධව අලුත් සමෘද්ධි නිලධාරියා කියලා. ඒකත් මරු. 

තමන් වෙනත් අයෙක් බවත් සමෘද්ධි නිලධාරියා පෙර කෙනාම බවත්, මාධව ආවේ තොරතුරු එක්කාසු කරන්න බවත් කියද්දි ඔහුගේ මූණත් තහඩුව කලු වෙලා ගියා. සමහර විට යෝගාට කියලා කරගන්න බැරි උන ආධාරේ වැඩි කරගන්න හිතාන ඉන්නැති.

ඉතින් කලු උනු මූණ සුදු කරන්න කියලා හිතාන මාධව ඔහුගෙන් ඇහුවෙ මේ මොනාද බඩු මෙච්චර කියලා.

බලද්දි ඒ ඔහුගෙ කඩේට බඩු. ඔහු වත්තේ කඩයක් කරන පුද්ගලයෙක්. 

කඩේට බඩු මාත්තයා. වෙන රස්සාවක් කරන්න තරම් මගේ මේ අත පණ නෑ අංස බාගේ හැදුනනේ අවුරුදු දෙකකට කලින් 

ඒම කිව්වම මාධවගෙ දෙකොන පත්තු උනා. අතක් පණ නැති පුද්ගලයෙක් තුන්සක රිය පදවනවා. බලද්දි හරි.

මිනිහා වාහනේ ඇක්සලේටර් කරද්දි අනික් අතින් අල්ලලා දකුණු අත කරකෝලා ගාණට හදලා අප්‍රාණික අත උස්සලා තියනවා. ඉන්පස්සේ ගියර් කඩ කඩ මේ අබලං පාරේ උඩ විසි වෙවී යනවා. තුන්සක රියට ලයිසොන් නැති මාධව කෝමත් අකමැති මේ වාහනය හොඳට අතපය හතර තියන එවුනුත් බල්ටි විසිල් මැද පෙරලාගෙන හොම්බෙන් යද්දි මේම පොරක් විසින් ධාවනය කරන එකක යද්දි මරණ බය නොදැනෙනවා කීම බොරුවක්. 

ඔයින් මෙයින් දොරෙන් දැන් පනිමි වගේ එල්ලිලා උන්නු මාධවව ආලමරම් ගහ ලගින් දාගෙන ඔහු බුලත් කෙප පාරකුත් ගහල බිමට හෙම හිනාවෙලා යන්න ගියා. මාධව ආලමරම් නුග ගහ ළග තනි වුනා. වටේ පිටේ කවුරුත් නෑ. වාහනයක් නැති නිසා ඉස්සරහට යන්න සූදානම් වෙලා පියවර තැබුවා. කාස්ටකේම!

ආන්න ඒම යන්න යද්දි  පාරේ වාහන නැති කම නිසාම යාගන්න බැරි වුන ඈ ඉන්නවා මෙන්න ලස්සන ගවුමකුත් ඇඳන්. ලස්සන පුංචි කලු කෙල්ලක්. ඇත්තටම දෙමළියක්! ඈ කලුයි. ගවුමකින් සැරසිලා උන්නු ඈ කලුයි. හුරතල් පෙනුම ඇගේ.

මාධව එයාගෙන් ඉස්සෙල්ලම ඇහැව්වා. 

                                                    ඔයාට සිංහල තේරෙනවද?

ඇස් ලොකු කරන් උපැස් යුවල අස්සෙන් මාධව දිහා එබිලා බලපු බලපු මේ කොට පුංචි කෙල්ල හිනාවෙලා "මං සිංහල" කියල කියපි. මාධවට "ඒ බී සී" දාල වැඩ නවත්තපු මැටල් පාර පලාගෙන යන්න හිතුනා. හනික සමාව භාජනය කරපු මාධව සහ ඇයගෙ හිතවත්කම පටන් ගත්තෙ එතනින්. ඉතින් කතා බස් පිට බස් නැති පාරේ දෙන්නා ඇබින්ද ඇබින්ද ඇවිදන් ගිහින් කඳුමුදුනේ සිසිල විඳගෙන අපූරු හැන්දෑවක් ගෙවලා ආපහු ආව කතා අනවශ්‍යයයි. ප්‍රධාන කතාව ඒක නෙමෙයි නෙව.

ඉතින් මේ කියන ඇත්තිට හිටියා පුරුෂයෙක්. පෙම්වතෙක්. සුදු හැන්ඩි කොල්ලා. මාධවට ඉරිසියාවක් නොතිබුනාම නෙවෙයි ඒ කොල්ල ගැන. ඒ වගේ ලස්සන කෙල්ලෙක් හිමි වෙන කෙනෙක් වාසනාවම තමා. අනික උගත් කෙල්ලෙක් නොවැ. මෝඩියක් නෙමෙයි මාධව හිතාගෙන උන්නු විදියට. දැන් ඒ ඇත්ති ගැන ඇත්ත දන්න නිසා මොනා හිතුවත් එදා නං හිතුනෙ උගත් උත්සහවන්ත එකියක් කියලා. ගොරකා උනත් ඇඹුල්ද බලන්න කන්නම එපැයි.

මොනා උනත් හරි අපූරු යුවල. මාධවට ඉන් පස්සෙ එයාල දෙන්නව කීප පාරක්ම හමුවුනා. මාධව හැමදාම උන් දෙන්නට හමු උනාහම සුභ පැතුවා.

කෝම උනත් මේ කියන කලුපාට ඇත්තිට අකමැති උන සුදු පාට කොල්ලාගේ සුදුපාට අම්මිලා අප්පලා කෙල්ලව අතාරින්න වෙන විදියට වැඩ සිද්ධ කලා. කතාව  පටන් ගන්නෙ දැන් තමයි.

මාධවට "දුක" අහන්න ලැබුන නිසා කතාව අකුරක් නෑර මෙහි ලියන්න හිතුනා. පහල විදියට.

.....................................................................................................................................

පොසොන් මාසේ එකමත් එක දවසක වැසිබර හැන්දෑවක බැති ගී ප්‍රසංගය ඇරඹිලා තිබුනෙ මාධවලගේ කාර්යාලයේ මිදුලෙ. ඒක ජායාරූපගත කරමින් ඉන්න මාධවට ඇගෙන් දුරකථන ඇමතුමක් ලැබුනෙ නොසිතූ විදියට.

එයාලගෙ අම්ම අකමැතී අයියෙ..
අගක් මුලක් නොතේරෙන කතාව පටන් ගත්තෙ ආන් එහෙම.

මොකක්.. පැහැදිලිව කියන්නකෝ
මාධව එහෙම කිව්වම ඈ විස්තර කියවගෙන ගියේ කිරිල්ලියක් වගේ....

ඔහු ඇයව එක්කාගෙන ඔහුගෙ දෙමාපියන්ට මුණගස්වන්න ගිහින්. සුදු පුත්‍ර රත්නයට නොගැලපෙන මේ කාලවර්ණ කෙල්ලව අතෑරලා මෙ සම්බන්ධය නවත්තන්න අණ ලැබිලා තියෙන්නෙ ඒ සුදු පුතාගෙ අප්පච්චිගෙන්.

පැයකින් තීරණයක් අරන් එන්න කියලා දෙන්නට පොඩි තර්ජනයක් එහෙම කොරලා හිටන් ඒ පියා පිටත් වෙලා තියෙන්නෙ. අවුරුදු කීපයක පෙමක් ව්නාඩි කීපයක් ඇතුලත විසඳෙන්නෝනි.

හේතුව කලු කෙල්ලෙක් වීම.

යසයි වැඩිහිටියො. නූගත් අඥානයිනුත් නාකි වෙලා කෙස් පැහෙන බව දැනගන්නෝනි කියන්නෙ ඕ වෙලාවට.

එදා පටන් මාධවගෙ දුරකතනයට ආපු දුක හිතෙන පණිවුඩ කන්දරාව එමටයි. මාධවත් හැකි හැම විටකම ඇගේ හිත හැදුව. වෙන මක්ක කරන්නද? පව් තරුණ පොඩි උන්.

වහ ටිකක්වත් බිව්වොත් හෙම.  ඛෙදවාචක එව. එමටයි.

කොල්ලෙක් උනාම කෙලින් තීරණයක් ගන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සිදුවීම උන දවසෙම මාධවට කතාකරපු ඒ සුදු පුතාටත් මාධව විස්තරය කියලා අවවාදයක් දුන්න. කෙලින් ඉන්න.

ඔයා වැඩිහියෙක්. ඒ නිසා හෙමින් ඉවසීමෙන් ගමන යන්න.

අනාගතේ එකට ජීවත් වෙන්න නම් පාට වැදගත් නෑ. වෙන දේවල් හුගක් අත්‍යවශ්‍යයි. උගත් කෙල්ලෙක් නිසා ඒ ගැන එහෙමත් සලකා බලන්න කියල මාධව ඒ කොල්ලට කිව්ව.

කාලය ගෙවෙනවා. ඇය ඔහුගේ ගෙදර අයව කැමති කරගන්න කලු හම සුදු කරගන්න අවශ්‍ය ක්‍රම ගැන හිතමින් සහ එහෙම නොවුනොත් වෙන් වෙන එක ගැන හිතමින් දුක් වෙනව. ඔහු ගෙදර බලපෑම් මැඩගනිමින් ඒ අයව තුලනය කරගනිමින් ඇයව හිමිකරගැනීම සහ අත්හැරීම අතර දෝලනය වෙනව.

බාහිර බලපෑම් නිසා ප්‍රශ්න නොතිබුණු යුවලක් දැන් දහ අතේ අසරණ වෙලා!

මාධව දුක අහන ගමන් ලාංකික සමාජයේ ප්‍රේමයේ දුක් දොම්නස් ගැන හිතනව. තමන්ටත් තමන්ගෙ ඇඹේණියටත් එකල පෙම් කරන කාලේ සිද්ධ උනු වද හිංසා මතක් වෙනව. මේරැ වගේ එකේක මිණුම් දඩු නිසා අසරණ වෙන යුවලවක් කොච්චර මේ රටේ ඇද්ද? එක්කෝ පාට, කුලය, ආගම, උගත් මට්ටම, නැතිනං රැකියාව! පුදුම සමාජයක්. පෙම් කරන යුවලට නැති පුරස්න සියල්ලම තියෙන්නෙ වටේ පිටේ උන්ට. අම්ම අප්පා උනත් ඒම කරන්න අදාල නෑ. ඒ මිනිස්සු ජීවිතේ ගෙවල ඉවරයි නෙව. දැන් ආයෙම ඇඟිලි ගහන්නෙ කිමද?

ඔන්න කුඩ්ඩෙක්, අපරාධකාරයෙක් නම් කමතුක් නෑ. සල්ලි තියේනම් දුවව පිම්පියෙක්ට හරි දෙන්න බලන් ඉන්න අම්මලා අප්පලා මාධව ඔනෑ තරං දැකලා තියනවා. මේක ඒම එකකුත් නෙමෙයි නෙව මිත්‍රවරුණි.පාට!

හේතුව ඈ කලුපාට දුඹුරියක් වීම නෙව... හරි අසාධාරණයි.....

නීතිය සහ ලිංගික අධ්‍යාපනය කිසි විටෙක නිසි පරිදි ලබා නොදෙන ආගම නලල උඩ තියාගෙන ඉන්න රටේ, අපචාරයක්, අපවාදයක් නොවී පොදු ප්‍රවාහනයේ යන්න නොහැකි රටේ, තමන්ට කැමති කෙනෙක් එක්ක නිදහසේ පවුල් කන්න බැරි රටේ, කිසිම පෙම් යුවලකට නිදහසේ පෙම් කරන්න බැරි මේ දරුණු සංස්කෘතික සමාජය ගැන මාධව කල්පනාකරන වෙලාවෙ ගෙදර ටීවි එකේ ප්‍රවෘත්තියක් ඇහෙනව.

"හෝමාගම පිට්ටනි රූම්ස් වැටලූ පොලීසිය  අශෝබන ලෙස හැසිරුනු පිරිස් අල්ලා දෙමාපියන්ට භාර දේ"

පිට්ටනි රූම්ස්වලට නොයන ලෙසට සමාජයක තරුණ ප්‍රජාව හැඩ නොගස්වන කෙහෙම්මල් සමාජය උන් වැරදි කරන්න පෙළඹුනාම පට්ට ගහනවා හරි වීරකමකින්! පොරවෙන් කපන්න කලින් නියපොත්තෙන් කඩන්න පුලුවන් කම තිබුන දේවල් මේ හුඟක් දේවල්. අනික හැඟීම් නීතියෙන් නවත්තන්න බෑ. ඒකට ආකල්ප හදන්න නෙව උවමනා. මේ සේරම කල්පනා වෙද්දි මාධවගේ හිත කැළඹිලා මහ මුහුද වගේ. 

මේ රටෙන් යන එකම හොඳයි. එහෙම හිතපු මාධව ඇස් පියාගෙන ලොකු හුස්මක් අරන් පිටකොරලා හිත සන්සුං කරන් ආපහු පරිගණක තිරයේ දිස් වෙන කේත කන්දරාව ඇතුලේ ගිලුණා.

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. අජිත් ඩී කීර්ති - ලන්ඩනයOctober 2, 2023 at 2:36 PM

    මහත්තයා කළු ජාතිකයෙක්ද?

    කළු ජාතිකයෙක්ගේ වේදනාව.

    ReplyDelete
    Replies
    1. නැත මහත්මයා! මේක ඇත්ත කතාවක කොටසක්!! කලු වීම ලංකාවේ උන් බලන්නෙම අමුතු විදියට! බෙදෙන්න මොකක්වත්ම නැත්තං පාට හරි බලාපොරාත්තුවෙන් ඉන්නවා නෙව මෙහෙ අය!

      Delete
Previous Post Next Post

Contact Form