ආසන සංවිධායක



කුසල්ටත් ජනිත්ටත් ආසන සංවිධායක කමක් ලැබිලලු. ගමේ හැමෝම කතා වෙන්නෙ ඉරිසියාවෙන්. නෝන්ජලේට ගමේ පාර හදන්න ගෙනැල්ල දැන් ගුරු පාර ඉස්මත්තෙ හිටෝපු සමරු මුල් ගල ගාව අතෑරල දාපු බෝක්කුව උඩ ඉදගෙන බීඩි බිබී උන් දෙන්නෙක්ට ආසන සංවිධායක කම ලැබුනම ගම්මු ඊරිසියා නොකර ඉදීවිද!

ඊටත් මේ උතුම් රටේ උතුම්ම උතුම්ම උතුම් කුරහන් සාටකයකින් වෙලුන පක්ෂෙං. කුසල්ගෙත් ජනිත්ගෙත් පවුල් වල උන්ට නං රට රාජ්ජෙ ලැබුන වගෙ. ඇයි අප්ප කී සැරයක් නම් රට බේරගැනීමේ මෙහෙයුම් කරපු දේශ හිතයිශී පක්ශයක්ද?දැන් ටයි කෝට් කාරයෙක්ගෙ දෙපරැන්දෙ රිංගන් උන්නට...

ඉතින් කුසල් සහ ජනිත් දැන් ආඩම්බරයක් ඇතිව ගමේ ඇවිද්ද. උන් දෙන්නා බේරෙ වැවේ වික්‍රමයට සහභාගි නොවුනෙ කුසල්ගෙ අයියගෙ මොලේට දුර දිග පෙනුන නිසා මිස උණ නැතුව නෙමෙයි. කොලඹ රටේ අරගල කරපු පරගල පඩංගුවොන්ගෙ ඇට කීපයක් කඩල මිස එන්නෑ කියල දිවුරපු කුසල්ටත් ජනිත්ටත් කුසල්ගෙ ලොකු අයියා මාර දේසනයක් දුන්න.

මල්ලිලා, හෙට යන උන් ගියාවෙ. මේ වෙලාව රටම කුජීත වෙලා ඉන්නෙ. අපේ ඔෆිස් එකේ උනත් පක්සෙං රස්සා ගත්තු උන්ටත් දැන් පක්සෙ පේන්න බැ. තාම පක්සෙට පක්සව කතා කරනවා කියලා උන් මා එක්කත්  වලිබරයි දැන්. බෙහෙත් නෑ. පෙට්‍රොල් ටික නෑ. ගෑස් නෑ. පෝලිං හැමතැනම. මහ කරදර කාලයක්නෙ මල්ලිලා.

ඉස්සරහට තවත් අමාරු වෙනව මිස ලේසි නෑ මල්ලිල. අපිම උන්ව උස්සලා උඩින් තිබ්බ අපේ කුරහන් මහත්තුරු තමා. අපිට ඇරිය එක කමක් නෑ. රට බේරගත්තු ඒ උත්තමයින්ට අපි ජාති ජාතිත් ණයයි මල්ලිලා. අපි මේම හරි කාල ඇඳල ඉන්නෙත් ඒ මහත්තැන් නිසාමනෙ. ඒත් ඒ උත්තමයින් වෙනුවෙන් අපි කීප දෙනෙක් හෝ පණ රැකගෙන ඉන්නෝනි ඉදිරි වැඩ වෙනුවෙන්. හෙට උඹල දෙන්න මෙහෙට වෙලා ඉඳපං, කොළඹ යන්නෙපා. හෙට මහ අවුලක් වේවි.

තොපි ඉදපියව් මෙහෙට වෙලා..

රජේ කන්තෝරුවක වැඩ කරන, ඔෆීස් එකේ සිද්ධ වෙන කතා නිසා යම් කිසි දෙයක් සිද්ද වෙන්න ඉඩ තියෙන බව පොඩිවට හෝ දැනිල නෙව කුසල්ගෙ අයිය එහෙම කිව්වෙ. ඒ දේසනෙන් පොඩි උන් දෙන්නගෙත් ඇස් ඇරිලා ඉවරයි. අරක්කු බෝතලේට බත් පැකට් එකට අම්ම අප්පවත් විකුණන පාවෙන වැනෙන පීචං පාක්ශිකයො අතරේ උඹල එහෙම නෙමෙයි, උඹල දිවි හිමියෙන් පක්ශෙ වෙනුවෙන්, ඒ උත්තමයයි පවුලේ උත්මයිනුයි මත්තෙ නැහෙන්ඩ සූදානම් සහ බුද්ධිමත්ව වැඩ කරන එවුන් කියල පෙන්නන්න මේක තමා අවස්තාව.

අන්තිමට උන්ට අයියගෙ වචන ටිකේ වටිනාකම දැනුනෙ ගමෙන් ගිය අයගෙන් හුගක් අය ඉස්පිරිතාලෙට ඇතුල් කරලා බව ආරංචි උනාම. වෙල ඉහල පාරේ ගෙදර කුසුමා නැන්දගෙ යට සාය විතරයි ලු ඇඟේම තිබිල තියෙන්නෙ.

උදේ ටී වී එකට ආවේගයෙන් කෑ ගහපු කුසුම අක්කගෙ සැර ස්වරය බෝක්කුව උඩ පරණ බීඩියක් උරමින් උන්නු කුසල්ටත් ජනිත්ටත් මතක් උනා.

"ඒ මගේ අප්පච්චිහ්. අපේ සිංහල බෞද්ධ රටේම අප්පච්චිහ්! ඒ උත්තමයට අතක් තියන්න මේ කුසුමා එක පරගලයෙක්ටවත් ඉඩ දෙන්නෑ."

බලන්නෝනි ඒ වචන වල ගැම්ම. එහෙව් කුසුම නැන්දව අන්ඩ්‍ර්ස්කර්ට් එක පිටින් බේරෙ වැවට බස්සපු එක නම් පව් ඉතින්! ජනිත් ඒම කිව්වම කුසල් හිස වනලා ඒක අනුමත කලා.

කුසුම අක්කලට කොලඹ ගාලු මුවදොර පෙන්නන්න එක්කන් යන්නයි කියලා පිරිස සංවිධානය කොරපු නිශාන්ත අයියව ලංකට් එක පිටින් ලයිට් කණුවක බැඳලා තිවුනෙ එහා ගමේ හන්දියේදි. කලබල අස්සෙ කුසුම අක්කලා, සුමනා නැන්දලා, පීරිස් මාමලා කොලඹ කොටුවෙද්දි කොහොම හරි කොලඹින් පැනගත්තු නිශාන්ත අයියා ගම කිට්ටුවටම එද්දි එහා ගමේ කොල්ලො ටිකකට අහුවෙලා තිවුන. අන්තිමට උන්දැගෙ ලංකට් එක විතරයි ඉතුරූනේ. ඒ ගමේ කොල්ලො ඌට විහිලු කොරල තිබ්බෙ රට බේරගන්න කලින් බිජ්ජ බේරගන්න හිල් නැති ලංකට් එකක් ඇඳපන් නිශාන්තයෝ කියලා. ඉස්සර නායකයෙක් වගේ පෞර්ෂයකින් ජීවත් උන නිශාන්ත අයිය දැන් නං ගමේ ඇවිදින්නෙත් බිම බලාන. ඉස්සර රැස් නෑ.

විශ්වවිද්‍යාලයේ යෑම කෙසේ වෙතත් සාමාන්‍ය පෙල බොහොම අඩුවෙන් යන්තම් ගොඩ දාගත්තු කුසල්ගෙ අයිය කුමාරට රටේ නමගිය ආයතනයක කලමණාකාර සහකාර තනතුරක් අරං දීපු දේශපාලනේ තමා කවදා හරි කුසල්ටත් ජනිත්ටත් බීඩි වෙනුවට සිකරට් එකක් බොන්න පුලුවන් විදියට කීයක් හරි අතට එන්න රස්සාවක් හොයල දෙන්නෙ. එහෙම කරගන්න නම් ඉගෙනගන්න කාලෙ කන එක අපරාදේ නෙව. තක්කඩ්කමයි කඩේ යෑමයි තමා අවශ්‍ය.

ඉතින් පක්ශෙ  මන්ත්‍රිගෙ ලේකම් ඇවිල්ල පුහුණුවක් තියනවා. ආසන සංවිධායක වරුන්ට. උඹලත් එන්නෝනි කියල ලියුම් දුන්නම තමා ගමේ අනෙක් පක්ශ වල ඈයොන්ට හීල්ලුනෙ. ඊරිසියාකාර හැත්ත.

"ආසන සංවිධායක වරුන් පත් කිරීමට පෙර ඔවුන් සඳහා පුහුණුවක් ඇති බැවින් කුසල් සිරිවර්ධන වන ඔබ එයට අනිවාර්යයෙන්ම සහභාගිවන්න"

එහි නමත් එක්කම තිබ්බම තව මොන කතාද?

කුසල්ගෙ නාකි ආච්චි එහෙම කිව්වෙ ලොඹු කට පෙන්නලා. ටයි කෝට් ඇන්ද ඩී ඇස්ගෙන් මිදිලා ටයි කෝට් වලට උඩිං කිරි සුදු නැශනල් එක ඇන්ද බණ්ඩාරනායක එක්ක ගිය පංච මහා බලවේගෙ අයගෙ එකියක්නෙ මේ පුරාණ ආත්තම්ම.

සිංහල විතරයි මේ රටේ පුලුවන් කියලා ගමටම තිවුන ආරච්චි වලව්වේ ලී වෑර්ලොස් එකෙන් ඇහෙද්දි ඒ සතුටට වලව්වෙ මිදුලෙ උඩ පැන පැන නැටුවලු උන්දැ. පර දෙමළුන්ට හොඳ වැඩේ කිය කිය. ඒව ඒ කාලෙනෙ. දැන් උන්දැ කුරහන් සාටකේ කියන දෙයක් තමා. පරගලේ විදේස බලවෙග එලවන්න කොලොම්තොට ගාටන්නත් එන්න ගියේ. වයසට වඩා චිත්ත ධෛර්යය ලොකුයි උන්දැගෙ.

ඉතින් කුසල්ගෙ අම්ම  සතියක පුහුණුවක් සඳහා අලුත් දිවිගමනක් යන්න යන මේ දෙන්නට කෑම එකක් එහෙම බැඳලා දීලා ගමන් මලු හැදුවට මොකද ජනිත්ලෑ අයිය ජනිත්ව එව්වෙ නෑ. රට ඉදන් ආව ජනිත්ලෑ අයිය ජනකාන්තයා දැන් වෙනස් වෙලා. ඉස්සර පාටියේ හැම වැඩේටම ආව එකා දැන් පස්සෙටයි දේශපාලනේටයි පලු පැලෙන්න බනිනව. ගමට ලැබෙන්න තිබ්බේව හොරාකාපු හොර හැත්ත කියලා.

අනේ ජනකාන්තය රට ගියා තමයි. ඌට ඉංග්‍රීසි ටිකක් පුලුවන් උන තමයි. අමාරුවෙන් උසස්පෙල කරන් ටෙක්නිකල් ඉස්කෝලෙ ගිහොන් වාහන කරුමාන්තෙ කොලා තමයි. ඒත් ඌ දන්නවද මේ ඉහල මන්ත්‍රී මහත්තැන්ට වඩා. රට කොරවන  ඒ මහත්තැන් කොරන සේවාව ඔය රූප පෙට්ටියෙත් නිතර දෙවේලේ පෙන්නන්නෙ. කොච්චර පාරවල් හැදෙනවද.?

ඌ දන්න්වද මේව...

කුසල්ගෙ තාත්තගෙ අඩහැරේ එලියට ආවෙ එහෙම. බිත්තියේ උන්නු පලවැනි ජනාධිපතිනියගෙ පෝස්ටරේ ඉරල දාපු කුසල්ගෙ තාත්ත "සිරිවර්ධන මුදියන්සේලාගේ කරුණාපාල". කරුණාපාල උන්නැහේ හනි හනික කුරහන් මහත්තයා ගෙ ලොකු පොටෝවක් ඒ කාලෙ ගෙනැල්ල බිත්තියේ ඇලෙව්වෙ ආඩම්බර හැඟීමෙන්. එතුම මේ රට කරවනව. බංඩගෙ දුව වගේ අවලං ගෑනියෙක් නෙමෙයි නියම පිරිමියෙක් තමා මෙතුම. බලාපන් තේජස! ඒම කොරල ඇට පෑදුන සරීර කූඩුව වත්තං කොරගෙන ගොහින් හෙමීට පෝස්ටරේ ඉම්බ.

බාල අරක්කු වල මතින් කොරපු ඒ ඉඹිල්ලට මැටි බිත්ති දෙදරවල ගියා. පස් කැට ගොම පොලවට වැටුනා. තාම මැටි ගෙදරනේ. පක්සෙන් රස්සාව දුන්නු ගමන් දා ගත්තු ණය පාස් උන හැටියෙම කුමාර බවුන්ඩේශන් එක දැම්මට මොකද එච්චරයි කරගන්න පුලුවන් උනේ. සිමෙන්ති එහෙම දැන් ගිනි ගණන් නෙව. කරුණාපාල උන්නැහේ ගෙදර වැඩ ගැන අහන උන්ට ආඩම්බරෙන් කිව්වා. ඒක අහද්දි හිතෙන්නෙ පක්සෙන් ඇවිල්ලා ණය ගෙවනවා වගේ කතාවක්.

දෙවැටේ ගෙදර ජනකාන්තයා බනින්නෙ මුන් අපිව රවටලා කියලා! ජනකාන්ත ගිය රටේ වාහන ගන්න එක මෙහෙ හාල් ගෝනියක් ගන්නවට වඩා ලේසිලු. ගමේ ඉස්පිරිතාලෙ බේත් ටිකක් නෑ උණට. ලෙඩ්ඩු කී දෙනෙක් නම් මැරෙනවද ලෑන්ඩ් මාස්ටරේ උඩම. ටවුමෙ ඉස්පිරිතාලට ගෙනියද්දි. එහෙ හැම බේතම කාඩ් එකකටලු. රක්ශණ කාඩ් එක කියන්නෙ. ඔන තරම් දොස්තරලා ඉන්නවලු. දේශපාලනේ උසිගන්වලා ස්ට්‍රයික් නෑලු! කඩේ යන දොස්තරලා නෑලු!  පඩි හොඳයිලු හැම රස්සාවකම. අතු ගාන කෙනාටත් වාහනයක් ගන්න තරම් පඩි ලැබෙනවලු. ළමයින්ට ලඟම ස්කෝලෙත් හොඳටම පහසුකම් තියනවලු. මෙහෙ ළමයින්ට සපත්තුවත් නෑ ඉස්කෝලෙට. හරිහමන් ගුරුවරයෙක්වත් නෑ සමහර විශයන් වලට.  එහෙ කන්තෝරුවක උනත් හැමදේම ඉක්මන්ලු. හරි හමන් සම්පතක් නැති සිංගප්පූරුවේ මේ තරම් දියුණුව කෝමද හොරකම නැති  නිසා නේද කියල තර්ක කරන්නෙ ජනකාන්ත පිට අය එක්ක නෙමෙයි. තමන්ගෙම පවුලෙ එවුන් එක්කමයි. ඉස්සෙල්ලම ඩුබායි සමාගමක වැඩට ගිය ජනකාන්ත අයියගෙ වැඩ හොඳ නිසා ආධුනික සුපර්වයිසර් කෙනෙක් කරලා සිංගප්පූරුවේ මව් සමාගමට අරන් තිබ්බෙ ඒ රටවල් වල දක්ශයාට තැන දෙන නිසා. රට ඉදන් ආව පලවෙනි දවසෙ ගෙට ඇතුලු වෙනකොටම පේන්න තියන සීවලී හාංදුරුවොන්ගෙ පොටෝවෙත් කාලක් වැහෙන්න එල්ලිලා උන්නු පක්ෂෙ නායකයගෙ පොටෝව ඉරල දාල කරපු ගෝරණාඩුව ජනිත්ටත් අමතක නෑ.

ඒ නිසා අයියගෙ කීම අහල ඌ නතර වෙද්දි කුසල් ආඩම්බර ලීලාවෙන් ගමේ උදේම යන එකම තනි දොරේ ලංගමේ කිටි කිටියේ හිරවෙලා අනාගතේ හොයන් ගියා. මන්ත්‍රීතුමා වාහනයක් ටවුමෙන් සූදානම් කරන බව කිව්ව නිසා ගමන පහසුවෙන බවයි කිව්වෙ කුසල් ගෙදර අයටත්.

පුහුණුව සතියක් තිවුනා. ඒත් සතියෙන් ගමට එන්න ඉදපු කුසල් ගමට ආවෙ නෑ. දුරකථන සේවා තිබුනෙ ගමේ කෙලෝරට විතරයි. ඉතින් එතන්ට ගිහින් අමාරුවෙන් ජාලය සම්බන්ධ කරගත්තු කුමාර අයිය දුරකතන ඇමතුම් කීපයක් ගත්තත් ප්‍රතිචාර නෑ. කලබල උනු කුමාරයිය පහුවදා උදේම ජනකාන්තයාව අඩගහගෙන කොලඹ යන්න පිටත් උනා. ජනකාන්ත අඩගහං ගියේ ජනකාන්ත අයිය රට ඉදන් ඇවිත් ලක්ශ දොලහක් දීලා බ්‍රෑන්ඩ් නිව් ත්‍රී වීලර් එකක් අරන් තිවුන හින්දා. අනික ගෙයක් දොරක් හදාගෙන පිලිවෙලක් වෙන්න ඕනි නිසා සල්ලි ටික වාහනේකට යට කරන්න ඕනි උනේ නෑ ඔහුට.

ලක්ශ දොලහකට පහලවකට ගන්න හොඳ කාර් දැන් මේ රටේ නෑ. තියන පොඩි කාර් ගමේ අබලන් පාරවල් වලටත් හොඳ නෑ. ඒ මදිවට ඒවගෙ ගණන්. ලීසිං වාරිකත් දාලා ඊළග සැරේ රට යනකං ජීවිතේ ගෙනියන්න අමාරු බව ජනකාන්ත තේරුං ගත්ත. ලක්ශ හයකට වගේ ඒ රටින් හොඳම තත්වයේ වාහනයක් ගන්න පුලුවන් බව දන්න ජනකාන්ත අයියා මෙහෙන් ත්‍රී වීලර් එකක් ගත්තෙ ලොකු කැමැත්තෙන් නෙමෙයි. මොනා උනත් දුකම විඳපු තමන්ගෙ අම්මලට අවසන් කාලෙ හරි සතුටින් ඉන්න ක්‍රමයක් තියෙන්න ඕනි නිසා.නැතුව ඒ ගානට ත්‍රී වීලරයක් කියන්නෙ සල්ලි නාස්තිය බව නොතේරෙන බබෙක් නෙමෙයි ජනකාන්ත අයිය.

ඉතින් දෙන්නම පැය ගාණක් ධාවනය කරමින් කොලඹ ආව.  හයි වේ හැදුවට ඒව ත්‍රී වීලර් වලට බෑනෙ. අප්පෝ කෑම වල ගණන්! එහෙම කිව්වට බඩගින්නෙ ඉන්න බෑනේ කියලා ජනකාන්ත අයියම කුමාර අයියටත් එක්ක දවල්ට සල්ලි ගෙවලා කෑම ගත්තෙ, රජේ සේවෙ රැස් දැන් බැහැල බව දන්න නිසා. හම්බන්තොට ටත් එහා කාස්ටක ගමක ඉදන්.කොලඹ එන්න රු 1000ක තෙල් ඇති නේද අහපු වෙලේම ජනකාන්ත තේරුන් ගත්තා මේ යන්නෙ උගේ ගමනක් උනාට වියදම් කල යුතු තමන් බව.

මොනා උනත් ගමේ කමට ගරු කරපු ජනකාන්ත අයියා අහක නොබල ගමන ආවෙ ඒකයි.

ඉතින් හවස් වෙද්දි කෝම හරි කොලඹට ආව දෙන්නා කොළඹ පක්ස කාර්‍යාලයට ගිහින් බැලුවම එතනින් මුලදි කිව්ව ඒම කෙනෙක් ආවෙ නෑ කියලා. ආයෙ ටිකක් වෙලා කල්පනා කරල කුමාර අයිය ගිහින් ආරක්ශකයට කිව්ව ගමේ මන්ත්‍රී රුවන් කුමාරගෙ නම! කිව්වම තමා ඇත්ත කතාව කිව්වෙ කාර්‍යාලෙ එවුන්.

උන් කිව්වෙ පොඩි ප්‍රශ්නයක් වෙලා කුසල්ව කොල්ලුපිටියේ  පොලීසියට ගෙනිහින් කියලා.ඒක අහල කලබල උනු දෙන්නම එයාලගෙන්ම පාර අහගෙන කොල්ලුපිටියේ පොලීසියට ගිහින් බලපුවම නිල් උන මූණකින් යුතුව කුසල් ඉන්නවා හිර කූඩුව ලඟ බංකුවකට වෙලා. ගෙදරින් ගෙනාව ගමන් මල්ල කුසල්ගෙ දෙපාමුල බිම!

මොකද උනේ මල්ලි කිව්වට ඌ කතා නෑ. බිම බලාගෙන ඉන්නවා! බැරිම තැන ජනකාන්ත අයිය පොලීසියේ ඕ අයි සී මහත්තැන් හම්බෙන්න ගියා. කුමාර අයිය එක්කම.

තමුන් කවුද මේ කුසල් නැමැත්තගෙ? ස්ථානාධිපතිතුමා අහද්දි කුමාර ගොලුවෙලා උන්න. ගමේ සද්ද කොලබදි නැ උගේ. ඉතින් ජනකාන්ත අයියා කතා කරන්න ගත්ත.

සර්
මේකයි විස්තරය
මේ ඉන්නෙ කුමාර! අර කුසල් කියන්නෙ එයාගෙ මල්ලි! මම ඒ ගමේ කෙනෙක්..

කුසල්ට අහවල් පක්සෙ ආසන සංවිධායක කමක් දීල ඒකෙ පුහුණුවට එන්න..... ආදී ලෙස පැහැදිලිව විස්තරේ කියන්න ජනකාන්ත අයියට විනාඩි කිහිපයකින් පුලුවන් උනා.

ස්ථානාධිපතිතුමා හයියෙන් හිනා උනා. මල්ලි දන්නවද වෙලා තියන දේ....?? ඔහු ඇහුවම ජනකාන්තත් කුමාරත් ඔලුව දෙපැත්තටම වැනුවා.

ස්ථානාධිපතිතුමා කතාව පටන් ගත්තා.

ආසන සංවිධායක කියල ගමේ මංත්‍රී මුංව බොරු කියලා කොලඹ ගෙනාවෙ ඇත්තටම ආසන සංවිධායක වගේ වැඩකට තමයි.

මේ ටිකේම අහවල් කුරහන් පක්ශෙ පක්ශ රැස්වීම් තියනවා. වැටුන වැටිල්ලට නැගිටින්නෙපැයි. අරගලේට ගැහුවට පස්සෙ ඕකට සල්ලි ගෙවලවත් ගන්න මෙහෙ සේවකයො නෑ. කවුරුත් බස් දෙන්නෙත් නෑ. කොලඹ එවුන් නයි වෛරෙන් ඉන්නෙ. මොකද මේ ප්‍රශ්න වැඩියෙන්ම දැනුනෙ ගමට වඩා කොළඹට!

ඉතින් මෙහෙන් මිනිස්සු හොයාගන්න බෑනෙ.

ඒ නිසා මහ උන්ගෙ උපදෙස් පිට, තවුසෙලගෙ මන්ත්‍රී වගේම තව ඈත දුප්පත්කමින් මිරිකෙන ගම්වල මන්ත්‍රීල තමන්ගෙ බත් බැලයො ටිකක් අරඔන් ඇවිල්ල තියනවා එක එක කාරණා කියලා.

සමහරු කොරියා යවනවා කියලා,
සමහරු තෙල් සමාගමේ රස්සා වලට කියලා.
සමහරු පක්ශෙ තනතුරු දෙනවා කියලා
උඹලෑ ගමේ මන්ත්‍රී මූව ගෙනැල්ල තියෙන්නෙ ආසන සංවිධායක කරන්න කියල.

බලද්දි උඹලෑ ගමේ මන්ත්‍රී හරි අවංකයිනෙ.

රැස්වීම් වලට එන පිරිසට අසුන් පනවන්න හෙවත් රැස්වීම් ශාලාවෙ ආසන සංවිධානය කරන්න තමා මුන්ව ගෙන්නල තියෙන්නෙ. ඒ කියන්නෙ ලොරියෙන් ගේන පුටු බාල පෝලිමට හදල හෝල් එක පිලියෙල කරන එක තමා ආසන සංවිධායක තනතුරේ රාජකාරිය නමේ හැටියටම.

ස්ථානාධිපතිතුමා එහෙම කිව්වම ජනකාන්ත කුමාර දිහා බැලුව. කුමාර ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

ස්ථානාධිපතිතුමා දිගටම කියෝගෙන යනවා. ඉතින් කුසල් ඇතුලු විවිධ දේවල් බලාපොරොත්තුවක් ඇතිව පක්ශ කාර්‍යාලයට ආව එවුන්ගෙන් මරෝ මරො වැඩගද්දි කිප දෙනෙක් දවස් දෙක තුනකින් දමල ගහල යන්න ගිහින්. ඉතිරි උනු මුන්ට වැඩ දෙක වෙලා.

අන්තිම දවසෙ හිටපු අගමැති ජනාධිපති එන දවසෙ විසේස කාර්‍ය බලකා ආරක්සාව එහෙම දාල ඉද්දි මුන් වැඩ කරපුවට ගමේ මන්ත්‍රිලගෙන් සල්ලි ඉල්ලලා.

අඩුම නැහුනට වටිනාකමක් එපැයි. ඒම පඩි සල්ලි ඉල්ලලා කලබල කරද්දි ආරක්සක අංශ එයාලගෙ රාජකාරිය පැහැර හැරල නෑ.

එදා ගමට යවන්න කියල මෙහෙට ගෙනැත් දානකොට මේ ආසන සංවිධායක මහත්තයට පාං කියාගන්න බෑ. කෙලින් ඉන්න බෑ. ඇහුවත් කිසි දෙයක් කිව්වෙ නෑ. හරියට කෑවෙත් නෑ. ඉතින් කොහේ යවන්නද කියලා කොයි වෙලේ හරි කතා කරනකම් කියලා ඔතන ඉන්දෝල තිබ්බ.

කුසල් ඉදං ඉදපු බංකුව දිහාට අත දික් කරලා පෙන්නලා සිය කතාව නිමා කරපු ස්ථානාධිපතිතුමා, කුමාර අයියට කුසල්ව අරන් යන්න අවසර දුන්නා.


ඉතින් කුසල්ව තුන් සක රියේ නංවාගත්තු අයියලා දෙන්නා ගමන පටන් ගත්තා. ත්‍රී වීලරයේ උන්නු කුසල් ඒ සන්ධ්‍යාවේ හොඳට දැක්කා ගමෙත් මෙහෙත් වෙනස.කොලඹ උන්නු දවස් හතටම වඩා පාඩමක් අද ඔහු ඉගෙන ගත්‍තා.

ලක්ශ පනහක් අලාභ උනු ගාලු මුවදොර තණකොල ආයෙම වැවෙන්න පටන් අරන්. හවස ඉර එලියෙන් එවා නැහැවෙනව. සාමකාමී වුනු ගාලු මුවදොර හිම කිරම විකුණන රථය වටේ පුංචි ලමයි. මිනිස්සු එකා දෙන්න වෙරලට ඇදෙනව. උස ගොඩනැඟිලි වේගෙන් පහු වෙනව. සැප පහසු පාරවල්. හැම ජාතියෙම මිනිස්සු බෙදිමක් නැතුව එකට. ගමේනම් කියන්නෙ ටවුමෙ නානගෙ කොත්තුවට වඳ වෙනව කියල. දෙමල රට බෙදන කොටිය කියල.

ජනකාන්ත අයිය නිතරම කියන කතාව හරි. කොළඹට කිරි ගමට කැකිරි වුනේ ගමේ පාලනය අතට අරන් ඉන්න එවුන් හොරා කන නිසා වෙන්නැති. පොටෝ වලින් දැක්ක සිංගප්පූරුව සහ කොළඹ කුසල් මේ දව්ස් ටිකට දැක්ක ඇබින්දෙ ලොකු වෙනසක් නෑ.

ඒත් ගමේ හරියට බත් ටිකක් කන්නෙ කී දෙනාද? රැස්වීමෙ කොච්චර බත් වීසි කලාද? මෙහෙ අලිය ගහනවද? හැමෝම යන්නෙ විල්ලුද වගේ වාහන වල. ලැන්ඩ් මාස්ටරෙයි ගල් සීට් තියන ගමේ බස් එකයි තමා වාහනේ කියල හිතන් මැරිල ගිය ජීවිත කොච්චරක් නං ගමේ පස් උනාද?


එදා හවස ගමට යන්න අතේ සල්ලි නැති කමට රු 1000ක් ඉල්ලපු කුසල් වගේම තරුණයින් පස් හය දෙනෙක්ට පක්ශ කාර්‍යාලයේ බිම් මහලෙ පාලු කාමරේ බිම දාගෙන බූට් සපත්තුවෙන් තලද්දි ඒ වේදනාවන් ආයෙම දැනුනු කුසල්ගෙ නෙත් තදින් පියවුනා. හදිස්සියට කෑම ටිකක් එහෙම් මෙහෙම් කාල ඉදපු කුසල්ට කලිසමේම මල පහ වෙලා බව එවෙලෙ දැනුනෙ නැත්තෙ බූට් පාරවල් වල සැරකමට.  ඒ තමන්ට තලපු උන් අතරෙ හිනා වෙවී උන්නු උස කලු කොල්ලත් තමන්ගෙ වයසෙම ඇති කියලා දැන් කුසල්ට මතක් වෙනවා.

ඒ වේදනාවල් නං ආයෙ ඕනි නෑ. කුසල් හිතාගත්තා.  එක එකාගෙන් ගුටි කකා බාල්දු වෙන්න!

මං මේ බලු තුප්පහි දේශපාලනේට කඩේ නොයන ඍජු මිනිහෙක් වෙනවා!

කුසල්ගේ ඔලුවේ ඒක සනිටුහන් උනේ ගලේ කෙටුව වගේ.

ඉතින්, පාර අයිනේ තිවුන පුංචි දිස්පැන්සරියකින් කුසල්ට අවශ්‍ය බෙහෙත් එහෙම අරන් දුන්නා. කවුරුත් වචනයක් වත් කතා කලේ නෑ. ඒ නිහඩ බව එහෙම්ම පවතින්න ඉඩ දීලා ඉර බහින හැන්දෑවේ සහෝදයින් තුන්දෙනා ගාලු පාර ඔස්සේ දුර ඈත ගම්මානය බලා දිගු ගමනක් ඇරඹුවා...

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form