වැස්ස යට හෙවනක හවසක.......

අවුරුදු ගාණකට පස්සේ මැදි වයසේ යුවලක් පැරණි මෝටර් බයිසිකලයක් පැදන් ඒ පාරෙ එතනින් යන්න යද්දි වැස්සක් වැස්සා එක සැරේටම. වැස්සක වලාවක් වත් නොතිබුනු වෙලාවක වැහැපු වැස්ස! ඉතින් දෙපාරක් නොහිතා දෙන්නම ඒ පුංචි කුටියට ඇතුල් වෙලා ආදරයෙන් අත් අල්ලාගෙන එකිනෙකාට හිනා උනා. ඒ දෙන්නාගේ ඇස් වල අතීත කතාන්දරයක් හරි ලස්සනට ලියවිලා තිබුනා.

සමාජයට බම්බු ගහගන්න කියලා තීරණයක් ගත්තු කතාන්දරය.

 වසර 30කට පෙර 1983 වසරේ දවසක!

ඔහුත් ඇයත් මහ වැස්සෙන් බේරෙන්න ගොඩ උනු හෙවණ. දුරකතර පැත්තක පුංචි බස් නැවතුමක හිල් වුන තහඩු ඇමිණූ වහලය යට. අකුණු හඩින් දෙදරුම් කන අවට පරිසරය හාත්පස අඳුරු වෙද්දි ඔවුනොවුන් එකිනෙකාගේ මුහුණ බලාගෙන කල්පනා කලා!

වෙන් වෙන්නම උවමනයිද?

ඇත්තටම වෙන් වෙන්නම උවමනයිද?

ඈ ඇහැව්වා!

ඔහු කිව්වා!

  " ඔව්. "අපි දෙන්නා හරි විනෝදකාමී ඇති. ලෝකයට ලස්සන වෙන්න ඇති. ඒත්....                         

 " ඇයි ඒත්? "

ඈ ඇහැව්වම ඔහු මේම කිව්වා

"ලෝකයට ලස්සන උනාට කාලයත් එක්ක අපිට බැරි ඇයි මේ කතාව ලස්සනට තියාගන්න. රණ්ඩු වීම්, බල කිරීම් විතරද? සැනසීමෙන් ආදරේ කරන්න ආයේම කාලයක් එන්නැද්ද? "

"හැමදාම අනික් මිනිස්සුන්ව සනස සනස උන්නම හරිද? අපිට අපි දෙන්නාවත් නැතිද? "

ඈ නිහඩව ඉන්නවා. ඔහු කරපු කැපකිරීම්, ඈ කරපු කැපකිරීම් දෙන්නටම මැවිලා පේනවා. ඒත් එකම පාරක ඇවිදං ආව දෙන්නා ආයෙම වෙනස් පාරවල් වල යන්න තීරණය කරලා ඉවරයි. ඇගේ හෝ ඔහුගේ උවමනාවටම නොවුනත් එකිනෙකාගේ පාර්ශවකරුවන් වෙනුවෙන් වෙන් වෙලා යන්න.

කුලය මලය හොයන වැඩිහිටි උන්ගේ අඳෝනා වලින් මිදෙන්න! සංස්කෘතික කෙහෙම්මල් වල බැම්මෙන් මිදෙන්නෙ නැති නාකි පරාණ වල කයි කතන්දර නවතා දාන්න! ජාති ආගම් වල පැටලිලා ඉන්න වියපත් උන්දලාට නිවන් යන්න නංමේ යුවල වෙන් වෙන්නම උවමනයි!

පුදුම රටක් පුදුම ලෝකයක්! තරුණ ජීවිත එක්ක සෙල්ලං කරන රටක්! අසූ තුනේ කලබල තාම පහ වෙලා නෑ. පුදුම රටක්! ලේ ඉල්ලන ප්‍රේමය ප්‍රතික්ෂේක කරන රටක්!

ආයෙමත් අකුණක් ගැහැව්වා. දෙන්නටම දෙන්න ගැන ලොකු දුකක් තිබුනට කාගෙවත් ඇහේ කඳුලක් නෑ. ඔන්නොහේ මහ උන්ගෙ උවමනාවන් සපුරමු! දෙන්නගෙම කලකිරුණු හිත් වල තිබුනෙ ඒක විතරයි.

ඊළගට වැස්ස පෑව්වා. එකම එක පාරක් ඇයගේ මුහුණ දිහා බලන් උන්නු ඔහු හිස් බැල්මෙන් යුතුව ඇයට හිනා වෙලා යතුරු පැදියට නැගලා යන්නම යන්න ගියා. තනි උනු ඇය විනාඩි කීපයක් හුස්ම අල්ලන් උන්නා, ඉක්බිති හෙමින් හෙමින් බස් නැවතුමේ අසුනේ හිඳ ගත්තා.

හෙමින් හෙමින් හුස්ම මුදාහරිනකොට ඇගේ කඳුලු බිඳු වැල නොකැඩී ගලා එන්න පටන් ගත්තා. ගෙදරින් සිද්ධ උනු අඩත්තේට්ටම්, ඇයගේ නිවසේ සිදු වුනු කලබලකාරී තත්වයන් ඇයට මතක් උනා. ඇයට ඉකි  ගගහා ඇඩෙන්න වෙලාවක් ගත උනේ නෑ. ආයෙම වැස්ස නැතත් බස් නැවතුම පෙඟෙන්න තරම් කඳුලු ගලන්න ඇති. කුමක් කරන්නද?

මේ රටේ බෙදුනු සමාජය! 

ඔහු ඇයට ආදරය කල හැටිය මතක් උනාම තවත් ඈට හිතට දුක වැඩියි. ඒත් වැඩිහිටි උන්ගේ සිත් සනසන්න තරුණ උන් සින් වනසාගන්නම උන එන මේ රටේ හැටියක්

ඇය යන්න නැඟිට්ටා කඳුලු පිසදාගත්තා. ගිහින් ගෙදරඅයට පණිවුඩය කියන්නට!

"අපි තවත් එකට නෑ"

ඇය බස් නැවතුමෙන් එලියට පය තැබුවා.

එවිටම දුර ඉඳන් ආපු යතුරු පැදිය නතර කරපු තරුණයා හිනාවෙලා ඇහැව්වා.

ධනූ බාලසිංහම්! කෞශල්‍ය වික්‍රමසිංහ වන මාත් එක්ක පැනලා යංද?

ඉර පෑව්වා! සන්ධ්‍යාව අපූරුවට දම්පාට කලතද්දී ඈ මල් මල් හිනාවකින් මුව සරසාගෙන යතුරුපැදියට ගොඩ උනා.

තරුණයාගේ ආදරණීය හිනාව ඇය පැති කණ්ණාඩියෙන් දැක්කා. ඒ සිනහවට සැමදා ආදරය කරන ඇය ඔහුගේ බඳ වටේ දෑත් යවා පිටට උණුසුම්ව තුරුලු වෙද්දී ආයෙමත් ඔවුන් වෙනුවෙන්ම මල් වැසි වසිද්දී ධනූත්, කෞශල්‍ය ත් දුර ඈත ඔවුන්ගේම ලෝකය කරා වේගයෙන් ඇදුනා.

සමාජයට "බම්බුගහගන්න" කියලා ඔවුන් ඔවුන්ගේම දිවියක් ආරම්භ කරන්නට කොහේදෝ ගියා. ඈට ආරස්සා සහිතව අවලාද රහිතව ප්‍රේමයෙන් යුක්තව ඉන්න පුලුවන් සමාජයක් හොයාන දෙන්නා හැල්මේ පියෑඹුවා! දඩු මොණරය මතින්!

බම්බු ගහන සමාජයට තවත් බම්බු ගගහ ඉන්න කියාගෙනම...................!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form