ඒත් එකම එක බිත්තරයක් නොසෙල්වී නොපිරී ඔන්න ඔහේ තිබුනා. මහ උන්ගේ බලාපොරාත්තුව ඒ බිත්තරයත් අද බිඳී තව පුංචි කුරුල්ලෙක් පවුලට එක්කාසු වෙයි කියලා. ඒත් සියල්ලෝම කූඩුව හැර යන කාලය එළඹුනත්, අනික් පැටවුන් එකිනෙකා තටු ගසා පියඹා කූඩුව හැර ගියත් මේ පුංචි බිත්තරය එහෙම්මම තිබුනා.
කුරුළු අම්මා සහ කුරුළු තාත්තා මේ බිත්තරයට ඔනෑවට වඩා ආදරය කල නිසාදෝ උන් කූඩුවේ තනි වෙලා මේ පාලු බිත්තරයට තනි රැක්කා. අනික් හැම කුරුළු පැටියෙක්ම සිය පාඩම් ප්‍රගුණ කොට සාර්ථකව පියාඹා මහ වනය වෙත ඇදී ගියා. ඒ අතර මහ වැසි වැස්සා. සැර අව්ව පෑව්වා. සුළංං හැමුවා. ඒත් මහන්සි නොබලා මහ උන් දෙන්නා මේ ඉතිරි බිත්තරය රැක්කා.
කවදාක හෝ මෙය බිඳී පැටවෙක් ඒවි කියා සිතමින්...
අපූරු සෞම්‍යවන්ත එකම එක දවසක මේ බිත්තරයේ යන්තම් කඩතොලුවක් ඇවිල්ලා තියනු දුටු කුරුළු මෑණියෝ බිත්තරයේ කටු එකින් එක හොට අගින් අල්ලලා පරිස්සමින් අයින් කරද්දී නොවැඩුන තරම් පුංචි කුරුලු පැටවෙක් මේ බිත්තරය ඇතුලේ ගුලි වෙලා මේංහ් කියාන මහ ජෝඩුව දිහා බලාන ඉන්නවා.
දීප්තිමත් දෑස් වලින්.
බලාපොරාත්තුව අත් නොහැරපු මව් කුරුළු ජෝඩුවට හරිම සතුටුයි. මහ වැසි, තද අව්ව, සුලි සුලං ආදී පරිසර වෙනස් කම් සියල්ල දරාගෙන උන්නු මේ යුවලට හරිම සතුටුයි. ඉතින් ඊළගට ආයෙමත් කෑම යුද්ධය පටන් ගත්තා. ඒත් පරක්කු වෙලා ඉපදුනුමේ පක්ෂි පෝතකයාට වැඩියෙන් කෑම ලැබුනු නිසා ඉක්මණින් ලොකු වෙන්න පුලුවන් උනා.
පෝෂණය හොඳ නිසා අනික් උන්ට වැඩියෙන් ඉක්මණින් මේ කුරුලු පැංචා ඔහුගේ පාඩම් ඉගෙන ගත්තා. ඔහු ශක්තිමත් උනා. වේගයෙන් පියාඹා යන්න හරි දක්ෂයා. තටු ශක්තිමක්ව වැඩුනා. නියපොතු පවා හොඳින් තිබුනා. ඒ පවුලේ අන් අයට වඩා හොඳින් ගොඳුරු ඩැහැගන්න හැකි අන්දමටම.
කුරුළු මව් පිය යුවලට සතුට ගෙන එමින් මේ පැටියා කූඩුවෙන් නික්ම යන දවස උදා උනා. පරිස්සමින් පියවර එලියට තිබ්බ මේ අන්තිම කුරුලු පැටියා කූඩුවෙන් එලියට ආඩම්බර ලෙස පියා සලමින් නික්මිලා යන්න ගියා.
මහ යුවල ආයෙමත් තනි උනා.
බිඳුනු බිත්තරයේ කටු පමණක් කූඩුවේ ඉතුරු වෙලා තිබුනා. හෙමින් හෙමින් ඒ දිහාට ඇදුනු මව් පිය යුවල එකිනෙකාගේ තටු වෙලා ගනිමින් කූඩුවේ තුරුලු උනා. උන් ලග අතීතයේ මතක තිබුනා. කවදා හෝ උන්ගේ දරුවනුත් ඒ විදියටම කූඩුවක තනි වේවි. එවුන්ගේ දරුවොත් පැටව් හදලා මහ කරලා ඒ පැටව් ලෝකෙට දීලා කූඩුවක තනිවේවි. හැමෝගෙම ජීවිතේ නොනවතින ගගක් වගේ ගලාගෙන යාවි. මේ චක්‍රය කවදා නතර වේද කිව නොහැකියි.
කූඩුව පසුබිමේ බහින හිරුගේ ආලෝකය විඳිමින් කුරුළු යුවල ඒම කල්පනා කලා.
මේක චක්‍රයක්. ඒ චක්‍රය බිඳින්න පහසු නෑ. ඔවුන්ට වැටහී ගියා.
ඒ කුරුලු කූඩුව පිහිටි මහ විශාල කර්තකොලොම්බන් අඹ ගස සිටුවා තිබුනු අක්කර ගණනාවක ඉඩම අයිතිකාර මහත්තැන් සහ ඔහුගේ වියපත් බිරිඳ බැස යන හිරු දෙස බලා ඒ සා වූම සිතුවිල්ලක නිමග්නව නිහඩව වලව්වේ මිදුලේ උන් බංකුවට වී එකිනෙකාගේ දෑත් අල්ලාගෙන හිඳගෙන උන්නා.