රොකට්ටුවක කතාන්දරය

ඔන්න මිත්‍රවරුණි එකමත් එක රටක උන්නලු පුංචි කුමාරයෙක්. ඒ රට කරපු රජතුමාගේ පුංචි පුත් කුමාරවරු අතුරින් බාලයා. හරි දස්සයා. පුංචි සංදියේ ඉඳන්ම අරින්ට දස්සයා. රොකට්ටු. ඉතින් වයසින් වැඩුනත් සිඟිති ආතල් වලින් නං අඩුවක් තිබිලා නෑ නෙව.

ඔන් ඔහොම ලොකු උන බාල කුමරු දවසක් රටම උන්මාදයෙන් පිනවපු ලොකු කටයුත්තකට අත තිබ්බා.

මේං මිත්‍රවරුණි ඒ කතාව.
// විසේසයෙන් කියන්ටෝනි මේ කතාව මේ සිරි ලංකාවේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කූඹියෙකුටවත් අදාල නං නැති කතාවක්. මේක එකෝමත් එක රටේ කතාවක්! //

කාලයේ තාලය ගෙවෙද්දි මේ කියන රජතුමාගෙ පුංචි පුත් කුමරු නොහොත් බාල කුමරුට හිතුනලු සල්ලි කීයක් හරි හොයා ගන්න කියලා. අයියලා කරපු වැඩ ටිකත් පොර සමාලෝචනය කරලා බැලුවම ඒවා ඒ හැටි පොපිට් තියන කටයුතු නෙමෙයි.

ටිකක් කියෝලා හිටියනං පහලින් ලියපු ඒ කටයුතු ටිකත්, ලොකු අයියලගෙ කෙරුවාවල්!

යෝදයෙක් වගේ අත් ගොබ පිරුණු කඩි ඇටයක් තරන් මොලයක් නං නැති ලොකු අයියා නීති විභාගේ තනියම කාමරයක් ඇතුලෙ ඉඳන් ලිව්වට මොකද කොපි කරන්න එහෙම හම්බෙලා නෑ, අනේ සෝක් එකට ඉහලින්ම සමත් වෙලා නෙව. කවදා කාපු ටකරංද කියලා නීති විභාගෙ ඉහලින්ම ගොඩ ගියාට මොකද පොඩ්ඩා කවදාවත් දැකලා නෑ මේ ලොක්කා පාඩං පොතක් අතිං අල්ලනවා ආයුබෝවංඩ! හැබැයි මේ රටේ සාමාන්‍ය පුරවැසියට නීති විද්‍යාලයේ ප්‍රවේශය සමත් වෙන්නවත් බැරි තරම් මේ විභාග අමාරුයි ආයුබෝවන්ඩ!

කෝම වෙතත් ලොකු කුමාරයා දැක්කොත් ඇත්තං මොකක් හරි අලුගුත්තේරු සමාජ සේවාවක් තමා! කෝම හරි පවුලේ නම්බුව තිබ්බ නෙව. විභාගේ ලියලා. ඉතිං එයා සමත්! ඒත් නඩු කතා නොකර කෝමද අප්පා සල්ලි හොයන්නෙ. අතීතයේ උන්න සේ නිකං නඩු කියන අද්වකාත්වරු වගේ නෙව හරි තේජස ලොකු කොල්ලගෙ. ඉතිං අනේ ඌ නඩු කතා නොකරන නිසා හරි හිඟන්න වගේ ජීවත් වෙන්නෙ. ගෑනු, දරුවො ගැන හිතල වත් නඩු කතා කරල කීයක් හරි හොයාගෙන දියුණු උනා නං කාටද ආඩම්බර! නඩු බලව බලව ඉඳලා ම හරියන්නෑ! නඩු කතා කරන්නෝනි උසාවියට ගොහිං!

බලපුවම ලොක්ක අසමත්.

 

ඉතිං පොඩිකුමරු ආයෙම හැරුණ නෙව දෙවැනි උන්දැ දිහාට. ආන්න තරුණයා. සද්දන්ත කොල්ලා. ආයේ නෑ බෝලෙ අතේ තියාන තණකොල ගොඩේ දිව්වැහැකි ඔසෙට. ඒ බලෙන්ම, සහ හැදියාව හැකියාව නිසාම හමුදාවෙ තනතුරු වලින් ඉහලටම ගියා හරි පහසුවෙන්. නිකං හිතල බලන්න මිත්‍රවරුණි කොච්චර අපූරු ද මේ දස්කං කියලා. මුලු රටටම ආඩම්බරයි. මේ රටේ වෙන උන් අවුරුදු ගණන් කාලේ කද්දි, උනන්දුවක් නැතුව තුවක්කු විතරක්ම බදාන ඉද්දි මේ දෙටු කුමරු කඩිසර කමින් රෑ දාවල් නැතුව සේවාවේ ඉහලටම ගියා.

බයි පාක්සිකයින්ගේ ළමයි යුද්දෙ අස්සෙ වෙඩි කාලා මැරිලා සොච්චං වන්දියක් ලැබිලා හූල්ලනවට මොකද මේ ළමයි යුද්දෙ අහවර උනාට පස්සෙ බැඳුන එක මොනා කරන්නද? නිසි වයස තිබුනනං මහ රාජ උත්තමයා මේ දෙවැනි පුත්‍ර රත්නයව යවන්නෙ පෙරමුණට කියලයි බයියෝ නං කියන්නෙ. ඒ තරං දස්සයෙක්. ඉතිං කිසි පුහුණුවක්, අධ්‍යාපනයක් කවුරුත් ලබා දෙන්නැතිව, අකුරක් කියලා දෙන්නෙ නැතිව උනත් සේවයේ ඉහලටම ගිය එක කොච්චර දෙයක්ද නෙව. තානාන්තර ඉහල ඒවා නෙව වටින්නේ! ගාම්භීර තානාන්තර! ඒත් වැටුප මදි නෙව. ඒ නිසා එතනත් පොපිට් නෑ. අනික කාටද පුලුවන් ඔම කට්ට කන්න.

කෝම හරි ඉතිම් සේරම ඔ ආකාරෙට බැලුවම කිසිදු පොපිට්ටුවක් නැති නිසා අග බිසව හෙවත් එකල රාජ කුමාරිය සහ අද වන විට මව් රැජිනගේ ව්‍යාපාර දෙසත් බැලුවම ලොකු පොපිට්ටුවක් නෑ. දෙකේ එව්වා පිරුණු හැඳුනුම්පත් අංකයක් දාගෙන සල්ලි එක්කාසු කරල සමාජ සේවා කරපුවා සමාජටෙම නේ, මොංටිසෝරිය උනත් ලොකුවට ලාභ නෑ නෙව. ලඟදි කිව්ව සිංදුවෙන් උනත් ලොකු සල්ලියක් ආවේ නෑ. අනික යම පාලන කාලේ "වික්‍රමසිංහ මාමි" නොඉන්න අම්මි හිරේ! පොඩ්ඩට ඒක හිතිලා ඇඟත් හිරි වැටුනා. මොනා උනත් අම්මි නේ! මීට පෙර දාක ඒම ඇඟ දාලා වගේ ගියේ සක්ලයිට් ඇඩ් එකක් දැක්ක වෙලේ!

අන්තිමට පොඩි කුමරු තීරනේ කලා. ගණිතඥයා නෙව හෙතෙම. ඉතින් දන්න ගණන් ටික දාලා බැලුවම රටේ මිනිස්සුන්ගෙන් මෙච්චර අය කරගෙන මේ විදියට යවනවා රොකට්ටුවක්.

ප්‍රතිලාභයම කොච්චරද? පොටෝස් ටිකටයි, පොටෝ එඩිටර්ටයි, අවුරුදු විස්සකට විතර සර්වර් ඩොමේන්ස් වලටයි, වෙබ් ඩිසයිනර්ටයි සල්ලි ගෙව්වම ශුද්ධ ලාභ! රොකට්ටු යැව්ව කිව්වම හරි නුවණැති උගත් බුද්දිමත් අපූරු බයි පරම්පරාව තමන්ලව උඩටම උස්සලා තියාවි. අපේ රජුගෙ පුතු අභ්‍යවකාශය දිනුවා. දිග් විජය කලා.

"තාත්තා රට දිනුවා පුතා අභ්‍යවකාශයම දිනුවා"

 

කෝමද ස්ලෝගන් එක!

අනික හිච්චි එකා දැන් යවන්නෙ පොඩි කාලේ වගේ කඩදාසි රොකට්ටු නෙමෙයි නේ. මේවා රියල් රොකට්! සල්ලි දානවා විතරයි. රොකට්ටුව අතුරුදන්! සල්ලි ඉන්වෙස්ට් කලා කිව්වම හරි!

දිස් ඊස් බිස්නස්! පොපිට් විතවුට් ඉන්වෙස්ට් ඇන්ඩ් ලොස්ට්!

ඉතිං මිත්‍රවරුණී

මේ ව්‍යාපෘතිය රජ්ජුරුවෝ එකපාරටම අනුමත කලේ නෑ. නාකි පෙරේත ඇම්බැට්ටයොන්ට අදහස දාලා බැලුවම, උන් ඉතින් නමගිය මොලකාරයෝ නෙව,  එකෙන්ම තම තමන්ට කුට්ටි ලැබේ නං කියලා හිතාගෙන සහ රජ්ජුරුවොන්ට තියන බය පස්සපාතීත්වයට යටත්ව අනුමත කලා. බලන්න කොයි තරම් රටට රටේ නම්බුවට ආදරේද? පුදුම ආදරයක්.

ඉතින් අනේ කාලය ගෙවිලා ගෙවිලා ඒ උතුම් දවස උදා උනා.

ඈත සශ්‍රීක ගම්මාන වල මිනිස්සු අහස දිහා බලාන ඉන්නවා අහස්කූරක් වගේ එකක් අහසේ දැන් පේයි  දැන් පේයි කියලා. අනේ උන්දලා ඒම බලාන ඉද්දි හිච්චි එකා ගිහිං වෙන රටක තිවුන රොකට්ටුවක ස්ටිකරයක් අලවලා රටේ අභිමානය උස්සලා තිබ්බ. බලන්න මිත්‍රවරුණි ඒ නුවණ! හරි ලේසි පාසු එකක්නේ මේ රොකට් යවන එක.

කෝ ඉතිං ඔවා මේ රටේ මෝඩ එව්වොන්ට තේරෙන එකක්යැ. මිලියන ගාණක් යට උනා නෙව මේ ස්ටිකරේට! කමක් නෑ මිත්‍රවරුණි! අභිමානය වැදගත්.

ඉතිං ඒ එකමත් එක රටට ඔන්නොහොම අපූරු රොකට්ටුවක් ලැබුනා. අදටත් ඒක ආකාසේ පාවෙවි මේ රටේ උන්ට කොකා පෙන්නනවා. ඒ මිනිස්සු අදටත් කන්න නැතුව අන්ඩ වෙයා එකවත් හරියට නැතුව, බේත් නැතුව, සල්ලි නැතුව ජීවිතේ නිර්භයව ගෙවන්න අවකාශයක්  නැතුව ලෝකෙට ණය වෙලා හූල්ල හූල්ල ඉන්න ගමනුත් පිය රජුගේ අභිමානය ගැන, පොඩි කුමරු යැව්ව රොකට්ටුව ගැන කතා කරනවා. බලන්න කන්න නැතත් තමන්ගෙ දරුවට අනාගතයක් නැතත් තියන රාජපස්ස කම!

රටට, රජුට  පස්සපාතී වීම තමා මිත්‍රවරුණි ඇත්තටම වෙන්නෝනි. ඒම රටක මහ උන්ට එතකොට තමා හරියන්නෙ. පොඩි උන්ගෙ කරුමෙට මොකක් කරන්නද? ඔය කහ රෙදි පොරෝ ගත්ත සමහර අයගෙ කතා එහෙමනේ. උඹල කරුමක්කාරයෝ නේ. ඒකට මහ උන් පලියැ. උඹලට අත පය හතර තියේ නං හම්බ කොරන් කාපියව්. ඇත්තනේ ඒ උත්තමයෝ වදාරන්නෙ ඉතිං. බුදුහාමුදුරුවොන්ගෙ බණ නං නෙමෙයි ඒවා! කෝම වෙතත් පොඩි උන් මැරීගෙන රටට දායාද කරාම ඇති. ඒවයින් පුංචි ඇබින්දන් කොටහර ආපහු රටට ලැබෙනවනේ. අනික්වා ඉතිං රදල කස්ටියගෙ පරිහරණෙට තමා.  ඒවා රාජ නියමයන්. කඩ කොරන්ට හොද නෑ නෙව!

 

ඉතිං අවසානෙට කියන්නෙ රෙන්ඩ කක්කුස්සි නැති ඉන්දියාවෙන් අඩු වියදමින් තටමලා තටමලා රොකට්ටු යැව්වට මොකද මේ උතුම් රටේ තමා හොදට ලෝභ නැතුව වියදම් කරලා සාර්ථකව අභශවකාශයේ දුරම තැනට රොකට්ටුව යැව්වෙ.

තාම නාසා එකවත් ඒ තරම් දුරට ඒ වගේ තැනකට රොකට් යවලා නෑ.

ඉතින් එකමත් එක රටක පුංචි කුමාරයා කරපු ඒ දස්කම කවදාවත් අමතක නොකර ඔවුන්ට ආදරෙන් සුභ පතමු.

සුභ දවසක්!

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form