තප්පදෝරු රැජින...




එයා හරි තප්පදෝරු කෙල්ලෙක්. තප්පදෝරු කියන්නෙ මහත එකේ හොඳම එක. ඉතින් හැමෝම එයාට කිව්වෙ තප්පදෝරු මැණිකේ කියලා.

තප්පදෝරු මැණිකේ ගෙ පොතේ නම නිසංසලා. එයාට ගෙදෙට්ට කිව්වෙ මැණිකේ කියලා. වයසක ඈයොන්ට එයා සුදු මැණිකෙ. මහත උනාට මොකෝ ඈ සුදුයි. ලොකූ ලස්සනක් නොතිබ්බත් හුරතල් කම්බුල් දෙකක් එක්ක විපරම්ශීලී ඇස් දෙකක් තිවුන. ඇගේ පස්ස මහ විසාල එකක්. ඒ නිසා වලත්ත එවුන්ට ඇසට අඳුනක්. එවුන් ඈට පටබැන්දෙ වෙන නමක්.


ඉස්කෝලෙ යාලුවොන්ට එයා නිසංසලා..නිකම්ම නිකම් නිසංසලා. ගමේ ඉස්කෝලෙට ගියපු නිසංසලා අවුරුදු දහයක් වෙනකම් ඉඳලා ඉංග්‍රීසියෙන් උගන්වන ටවුමෙ ඉස්කෝලෙට දාගන්න එයාගෙ අම්මලට පුලුවන් උනා.

නිසංසලාගෙ අප්පො (එයා තාත්තට කිව්වෙ එහෙමනෙ, අප්පො කියලා ) එයා පොඩිකාලෙම විදේසගත වෙලා උන්නෙ. අවුරුදු පහකට පාරක් වගේ මෙරටයතට එන ඒ මහතාගෙ දුව හොඳ රජ සැප මැද්දෑවෙ උස මහත් උනේ එම මැතිණියගේ  ආරස්සාව ඇතුව. අනේ ඉතින් ඈ හොදට කීකරුයි. 


සල්ලි බාගෙ තියන පවුලක එකම දූ උනාම බලන්නෙපැයි ඉතින්. සේරම සැප ඒ ලමයට නෙව. බලන් ඉද්දි දු පොඩිත්ත විසාල උනා. වයසින් වගේම සරීරෙනුත්. ඉතින් ඕම කාලය ගෙවෙද්දි ගෑල්ලමයා ඇත්තටම හිතුවට වඩා මහත් උනා. හැමෝම ඉස්සෙල්ලම බෝල ලස්සන කෙලි පොඩී කියල හුරතල් කරපු නිසංසලා වැඩිවිය පැමිණිලා ලොකු කෙල්ලෙක් වෙද්දි හුරතල් කිව්ව කටවල් වලින්ම ආඩපාලි හරි අපූරුවට ගලාන ආවා. කෝමත් ගෑනුම තමා තව ගෑනියෙක්ගෙ ඇද හොයන්නෙ.


ඒත් වියපත් ඈයොන්ටයි අම්මටයි අප්පොටයි ඈ තාම සුදු මැණිකේ.


කාලය ගෙවුනා. හැම නෑයෙක්ම ඇද කරද්දි ඈ හොඳින් ඉගෙනගෙන පංති එකින් එක ඉහලට ගියා. ඇත් තව තව මහ උනා. පංති ලමයි උනත් ඇයව කොං කලාද මංදා. ඒ අසාමාන්‍ය මහත ඇත්තටම ගුරුවරුන්ගේ පවා උපහාසයට ලක් නොවුනා නෙමෙයි.


අලුත් යොවුන් කෙල්ලොන්ගෙ ලස්සන සරාගී හැඩයන් පාසලේ මතු වෙද්දි ඒ හැඩතල වලට තරුණ ආකර්ශනය නොඅඩුව හිමි වෙද්දි කිසි හැඩයක් නැති සුදු බෝලයක් වගේ නිසංසලා මහත් උනා විතරයි. මහත නිසාම යොවුන් වියේ ඇය හිත කරදරයක් කරගත්තත් ඒක පිටට ආවෙ කාලෙකට පස්සෙ.


ඒ ඇගේ නෑදෑ කෙනෙක් කීව කතාවක් නිසා..


"සුදු මැණිකෙව බඳින්න කෙනෙක් හොයන එක තමා යුද්ධෙ...."


ඒ වෙද්දි ඇගේ අප්පොත් ලංකාවට ඇවිල්ල.


අන්තිමට ඒ කතාව බරපතල ලෙස ගිහින් එතන ඉදපු කට හැකර නැන්දගෙ පුතා නිසංසලාට "තප්පදෝරු මැණික" කියලා නමක් දැම්ම..

"මෙයාට සුදු මැණිකෙ නෙමෙයි නම දාන්නෝනි තප්පදෝරු මැණිකෙ" කියලා!


අනේ හැමෝම හිනා වෙද්දි, අප්පොයි අම්මයි මූනෙන් මූන බලාගද්දි, නිසංසලා කාමරේට දුවන් ගිහින් දොර වහගත්තා. අන්තිමට විහිලුවක් විදියට විහිලුවක් නොවන නමකින් නෑදෑයෝ අතරේ ඇයව ලියාපදිංචි වෙද්දි ඇගේ උගත්කමට හැමෝම ඊරිසියාවෙන් මේ වැඩේ කල බව ඇයත්, අම්මාත් අප්පොත් තේරුන් ගත්තා.


ඒත් නිසංසලාට වද දුන්නු මානසික ප්‍රශ්න උග්‍ර වෙමින් තිවුන.
......................................................................

මාධවට එයාව හම්බුනේ අහම්බෙන්. මහ විසාල පරුවතේ ඇවිල්ලා බස් එකේ ඌරෙක් වගේ පෙරලලා ඉන්න වගේ අසුන්ගෙන උන්න. බැරල් එහෙකට ඉස්කෝලේ ගවුමක් අන්දලා වගේ. කැතම කැත වලහවගේ ඉන්න මාධවට උනත් එහෙම හිතුන. එයා මාධවට රවලා බැලුවෙ මාධව ඌරෙක් දිහා පෙරේතකමේ බලන් ඉන්නැහේ බලන් ඉදපු බව දැනුන නිසා. ඒ මාධව නිසංසලාව දැක්ක පලවෙනි පාර. තඩි උනත් රෝස කම්බුල් සහ මූන පියකරු නිසා ඒ රුපෙ හිතේ සටහන් උනා.


කාලය ගෙවිල දින සති පහු වෙද්දි මාධවට ලංකාවෙ ලොකුම දුරකථන සමාගමක සේවය කරන්න ලැබුන. මාධව එහි උදේ හවස යනව එනව. සීතල පැත්ත නිසා ආසාවෙන් වැඩට ගියා.
එක දවසක් ඉහල මාලයට නගින මාධවට ආයෙම මේ විසාල කෙල්ලව මුණ ගැසුනා!


යන්තමින් හිනාව පෑවට මාධවට පිලිතුරු සිනහවක් නොපෑව ඒ කෙල්ල ඉක්මණින් පඩිපෙල බැහැගෙන යන්න ගියා.ඊට කලින් පඩිපෙලේ පහල ඉදන් ඉහල නැග්ග මාධව ඉස්සෙල්ලම දැක්කෙ එයාගෙ විසාල රෝස පාට දනිස් දෙක. බෝල කෙල්ල ගවුමට උනත් එහෙම පොඩි හැඩයක් තිවුන. ඒත් බඩ නිසා මහත පේනවා. චබී කියන්න බෑ. මේක බැරල්!


ඔහොම ටික දවසක් යද්දි කාර්‍යාලයේ සේවය කරන නිලධාරීතුමියක් මාධව ලඟට අරන් ආව ලැප්ටොප් පරිගණකයක අයිතිකාරි ඕන් බලද්දි මෙයා නෙව. ඒ මහත රෝසපාට කෙල්ල මේ නිලධාරීතුමියගෙ පාරිභෝගිකාවක්!


ඉතින් මාධවට සතුටුයි. ඈ සමඟ මිතුරු වීම මාධවට අපූරු දෙයක්. සාර්ථකව විසඳූ ගැටලුවෙන් පස්සෙ ඈ මාධව දිහා බැලුවෙ මිතුරු බැල්මකින්. ඉක්බිති ඕං දුරකතන අංක හුවමාරුවෙන් පස්සේ එස් එම් එස් කලාවෙ ඉඳන් වස්ට්සැප් දක්වා දෙන්නගෙ යාලුකම දිග්ගැස්සෙද්දි එයා ගැන හුඟ දේවල් මාධව දැනගෙන පිලිතුරු හොයල දීලත් ඉවරයි.


මහත ප්‍රශ්නෙ සහ නෑදෑයොන්ගෙ ප්‍රශ්න වලට එයාගෙ දුක අහන්නත්, එයාව මානසික වෛද්‍යවරයෙක් ලඟට යොමු කරන්නත්, එතනින් උපදේශනය වෙත එක්කන් යන්නත් මාධව එයා වෙනුවෙන් කටයුතු කලේ මිතුදම නිසාමයි. කොච්චර මිතුරිය උනත් ඈ එක්ක ප්‍රේමයක් ඇති කරගන්න මාධව උත්සහ නොකලේ ඇයගේ විදිය හාත්පසින්ම වෙනස් යැයි යාලුවෙලා වසරකින් විතර ආශ්‍රයෙන් පස්සෙ. අනික ඈ ඒ වෙද්දි උගත් විශ්ව විද්‍යාල සිසුවියක්.


මහත ප්‍රශ්නෙ විසඳන්න එයාගෙ කම්මැලිකම සහ තවත් ප්‍රශ්න එක්ක මාධවට නං පුලුවන් කමක් තිවුනෙ නෑ. ඒත් එයා මානසිකව ශක්තිමත් කරන්න පිටස්තර කෙනෙක් විදියට මාධවගෙන් ලොකු සහයක් ඈට ලැබුන. කාලය ගෙවිල යද්ද් ඕනෑම මිත්‍රත්වයක් වියැකිලා යනව වගේම මිතුදම් ඈත් උනා.


මාධව රටේ කෙලෝරෙ පොල් පර්‍යේශණාගාරයේ තනි වෙද්දි ඈ රටේ වෙන දිහාක විශ්ව විද්‍යාලයක ශාස්ත්‍රපති උපාධිය උදෙසා කැපවුනා කියලා විතරයි අන්තිමට මාධව දැනන් උන්නෙ...

..............................................................................................

මාධවගේ උපකාර එක්ක නිසංසලා ඇත්තටම දියුණුව ලැබුව. පරිගණක ක්ශේත්‍රයේ මාධවට වඩා කෙනෙක් නිසංසලාට හිටියෙ නෑ. යාලුවෙක් විදියට කොච්චර හොඳ උනත් ඒ සම්බන්ධය දුර ගෙනියන්න ඇයට හිතුනද මන්දා. ඒත් ඇය මාධවගේ ආස්‍රයෙන් සතුටක් ලැබුවා. කවදාවත් පිරිමි යාලුවෙක්.නොයිඳපු එයා ඇත්තටම හිත සතුටින් වචනයක් කතා කරපු එකම කොල්ල මාධව වෙන්නැති.


විශ්ව විද්‍යාලයේ උන්නත් නිසංසලා නොදන්න දේවල් මාධව කියල දුන්නෙ විශේෂයෙන් ගණිතමය සහ පරිගණකයේ කටයුතු. ටිකෙන් ටික එයා ගාව සිත විදාරණය වෙද්දි නිසංසලා තමන්ගෙ අතිශයින්ම පුද්ගලික සිත් වේදනා පවා මාධවට කිව්වා.


අන්තිමට ඒකෙන් උනේ හොඳක් මිස නරකක් නෙමෙයි. නිසංසලා ව මනෝ උපදේශකයකු ගාවට යොමු කලේ මාධව. ඒකෙන් එයාට උන සෙත සුලුපටු දෙයක් උනේ නෑ.ඕම ඉද්දි යාලුකම් හිත් තුල තනිවෙලා දෙන්නා හුග දුරස් වෙලා ගියා. ඉස්සර නිතරම කතා කරපු, කෙටි පණිවුඩ යවපු දෙන්නා ටික ටික දුරස් උනා. නිසංසලා ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් ආයෙම විශ්ව විද්‍යාලයේ තනි උනා. 


ඒ අස්සෙ ගෙවල්වල පරිසරේ වෙනසක් උනේ නෑ. මාධවත් එක්ක යාලු උනත් ඒක ප්‍රේමයක් වෙන බව හෝ වෙන කිසි දෙයක් වෙනව නොපෙනුනු මහ ජෝඩුව නිසංසලාට මඟුල් තුලා හොයන්න පටන් ගත්තා.


ඇයටම කියලා වාහනයක් පවා ගෙදරින් අරන් දීල තිබ්බ. ඉඩ කඩම් සේරම එයාටම නෙව. අපූරු වත්තකුත් එක්ක ගේ පොඩ්ඩකුත්. රස්සාවක් කියලා ඇය කලේ අන්තර්ජාලය සම්බන්ධ රැකියාවක්. වැටුපත් ඉලක්කම් හයක අගයක හොඳ එකක්. ගිණුම් කරණය ආශ්‍රිතව. ඒ සල්ලි උනත් ලොකු වියදමක් නොකලෙ ඈ චාම් නිසා. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණාවකට ඇරෙන්න ඇයට නිවෙසින් බැහැර වෙන්න හේතුවක් තිබුනෙත් නෑ. ශාස්ත්‍රපති උපාධිය සඳහා පන්ති වලට විතරයි එයා වාහනේ පැදං තනියම සති අන්තෙ යන්න ගියේ.


ඉතින් ඇයට ආව කිසිම යෝජනාවකින් ආපිට කැමැත්ත නං ආවෙ නෑ. හැමෝම ඇවිල්ල නිසංසලාලගේ දිහායින් හොඳට කාල ගියා. මූනිච්චාවට එන නෑදෑයෝ අන්තිමට හිනා වෙලා යන්න ගියා. මහ ජෝඩුවයි ගෙදරට බරක් වේගන එන අධිබර නිසංසලායි අවුරුදු ගාණක් චාරිත්‍රයක් වගේ මේ කටයුතු කරලා කරලාම හෙම්බත් උනා. 


මගුල් තුලා ගේනව. අප්පො එන්න කියනවා.ආරාධනාව ලද ඒ අඥාත පුරුස පාර්සවේ එනවා. නිසංසලාත් ලස්සනට ඔසරිය ඇඳලා පැද්දි පැද්දි ඉස්සරහට යනවා. මනමාලයා හෙප්පුවෙන් බුලත් අරන් පුදුමෙන් ඈ දිහා බලල ආපහු ඉඳගන්නවා. තේ පැන් සංග්‍රහය නැගලා යනවා. ටිකකින් දවල් කෑමත් සූජානම්. පිරිස හොඳට සප්පායම් වෙලා "දැනුම් දෙන්නම්" කියලා ආචාර සමාචාර වලින් පස්සෙ පිටත් වෙනවා. අප්පොයි අම්මයි හති වැටිලා ඉදගන්නවා.සමච්චලයට හිනා වෙන නෑයෝ රහස් කොඳුර කොඳුර යන්න යනවා. මුල්දී විවිධාකාර වූ මිනිස්සු හමුවේ පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉඳපු නිසංසලා දැන් නම් කිසිම බලාපොරොත්තු රහිතව කාමරේ සුපුරුදු රාජකාරී වලට කොටුවෙනව. අන්තිමට පහුවදාට උත්තර ලැබෙනවා "පුතා අකමැතියි". ආයෙම කපුවා  වෙනේකක් අරන් එනව.


ඕ ටික මදුරුවා ගේ ජීවන චක්කරේ වගෙ සිද්ද වෙද්දි අප්පොගේ කොන්ඩෙ සුදු උනා. අම්මගෙ කොන්ද කුදු උනා. නිසංසලා තව ඇබින්දක් මහ වෙලා සුදු රෝස වෙලා උගත් කාන්තාවක් උනා.නෑදෑයෝ සහ ගම්වාසීන් සමච්චල් කිරීම විතරයි නොවෙනස්ව දිගටම සිද්ධ උනේ ඉතින්....
..................................................................................................................
 

කාලෙකින් නිසංසලා ගෙන් වට්සැප් මැසේජයක් ඇව්ත්...

අධික රාජකාරී එක්ක ඈව හුඟක් දුරස් උනා කියලා මාධවට දැනුන. මැසේජය නිවිහැනහිල්ලේ බලන්න කියලා ඉදගෙන බලද්දි ඒකෙ තිවුනෙ එකම එක පණිවිඩයක්


"කොහෙන් හරි මේ ජාතියේ බයික්කයක් එක්ක මහනුවරට එන්න. අනේ එන්න..මගේ අන්තිම ඉල්ලීම"


මැසේජයටම බයික්කේ ෆොටෝවක් අමුණලා තිබුනා. හොයහන්කෝ මේකක්.. 


"අන්තිම ඉල්ලීම්" නම් මෙයාගෙ හැමදාම! ඒත් හැම එකම අන්තිම එක උනේ නෑ.. එකකට පස්සෙ ටික දවසකින්,මාසෙකින් හෝ අවුරුද්දක් හෝ ගිය තැන ආයෙම අන්තිම ඉල්ලීමක් එනව. ඒ තමා යාලුකම දෙන්නගේ.


හැබැයි ඔය වගේ අමුතු මැසේජ් ඇවිල්ල නැ කවදාවත්. ඉදපු ගමන් එකේක ඒව අහල පණිවුඩ එවනව. අරව මේව ඉල්ලල පණිවුඩ දානව. මාධව ඒව හම්බුනොත් තැපැල් කරනව. කරන්න පුලුවන් දෙයක් නම් කරලා දෙනවා. විසඳන්න පුලුවන් ගැටලුවක් නං විසඳනවා. බැරිනං බෑ කියලා කියලා පාඩුවේ ඉන්නවා. ඒ වෙලාවට නං දවසක් දෙකක් සමහර විට මාසයක් කතා නෑ ආපහු. ඒවා සාමන්‍යයයි. එහෙව් එකේ මේක නම් අමුතුම අමුතුයි. බයික්කයක් හොයන්න කිව් එක!


ඉතින් දෙපාරක් නොහිතා නිවාඩුවකුත් තදින්ම ඕනෑ වෙලා ඉදපු මාධව මේ ජාතියේ බයික්කයක් හොයාන නිසංසලාට එන බව දැනුම් දීල පණිවුඩයක් තිබ්බ.හොයාගත්තු බයික්කෙ යාලුවෙක්ගේ. ඒ ෆොටෝවෙ වගේම නොවුනත් තනි කලු එකක්. සද්දෙ අපූරුයි. ජපන් සද්දෙ. හොඳ දිලිසෙන බයික්කේ.


ඉස්ටේසම ගාව මාධව ඉද්දි ඈ ඈතින් එනව. ඉස්සර වගේම. පර්වතේ වගේ. තද දම්පාට ගවුමක් ඇඳලා. හැබැයි ඒකත් අපූරු ලාලිත්‍යවත් බවක් තියනවා එයාගෙ. කොණ්ඩ මෝස්තරය නං  හරි අපූරුයි. මාධව එහෙම හිතද්දි ඈ ඇගේ නොවෙනස් හිනාව පාගෙන හුලඟ වගේ මාධව දිහාට ඇවිත් " අපි යං" කියමින් බයික්කෙට නැග්ගෙ පුරුදු කාරියක් වගේ.........


මාධව බයික්කෙ පණ ගැන්නුවා. දෙන්න මහනුවර වටේ හිතේ හැටියට රවුම් ගැහුව. උඩවත්ත කැලේ ඇතුලෙත් බයික්කෙන් ඇවිදලා ආයෙම නුවරට ඇවිත් වැව වටේ රවුමක් ගහලා බයික්කෙ අයිනෙ නවත්තලා මාලුන්ට පොරි දැම්ම. උන් ඒව බුජු බුජු ගාල කන හැටි බලන් හිටිය. ඊට පස්සෙ දෙන්න බෝගම්බර අලුත් පාක් එකට ආව. එතන පාක් එකේ ගහක් යට ඉදන් දෙසීය පනහෙ නුඩ්ල්ස් කප් එකක් අරන් බෙදාන කෑව. ඒ අතරේ ආගිය කතා බස් එකේක ඒව. හිනාවන් පිරුණ කතා. දෙන්නම කාලෙකට පස්සෙ නෙව.


ඊට පස්සෙ ආයෙ බයික්කෙ නැඟලා හන්තානෙ කන්දෙ ඉහලට ගියා. සඳුද නිසා කුරුළු උයන වහල. ඒ නිසා දිගටම ගලහා වෙනකම් අබලන් පාරේ ඔහේ බයිසිකලේ පැදන් ගියා. කෙල්ල හුගක් බර වැඩි උනත් ජපන් වාහනේට ගාණක්වත් නෑ. එයා නිහඬව මාධවගේ උරහිසේ අතක් තබාගෙන දිලිසෙන ඇස් වලින් ඒ අවට පරිසරයේ සුන්දරත්වය, ඒ මොහොත රස වින්දා. බයිසිකලේ හරි නම්‍යශීලීව පදින මාධවත් පරිසරය විඳිමින් මේ වෙන්නේ මොකක්ද කියලා කල්පනා කරද්දි නොදැනීම රවුම ගහල ඇවිල්ලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මැදින් දැන් එනවා. වැහි බිඳු එකින් එක වැටෙන අහස යට ජපන් බයික්කෙ සද්දෙන් ඉදිරියට ඇදෙනවා.


"මං හිටගන්නද චිත්‍රපටියක වගේ"


එයා එක සැරේටම ඇහැව්ව..... 


"පතබෑවෙයි ඕයි" කියලා මාධව හිනා වෙලා වේගෙ අඩු වෙන්න කියල අඩු ගියරයකට බයිසිකලේ ගේද්දි ඈට මාධවගේ රුකුල තේරිලා ඉතින් ඔං හෙමින් මාධවගේ උරහිසට බර දීලා හිටගත්තා.


ඊලඟට හුලඟට කෑ ගැහුවා! 


"මං නිදහස් කිරිල්ලියක්....................." 


පැති කණ්නාඩියෙන් මාධව ඈ දිහා බැලුව. මල් වැස්සේ වැහි බිඳු ඒ රෝස කම්බුල්, රෝස දෙතොල්, දුඹුරු දෑස් සිඹිනවා අතොරක් නැතුව.ඈ පුදුම සතුටකින් මේ නිදහස විඳිනවා!


චිත්‍රපටියක් වගේම තමා...


මාධවටත් ඇගේ සතුට දැනුනා! හෙමින් හෙමින් වැහි පොද තදින් වැටෙද්දි මාධව බයික්කේ හෙමීන් අයින් කරලා නවත්තලා ගලහා හන්දියේ බස් නැවතුමේ හෙවනට උනේ එයාගෙ අතින් ඇදගෙන.........


"ඉතින්.. ඇයි මේ...?"

අන්තිමේදි මාධව ඇහුව. ඒ ඇස් බැබලෙනව. පුංචි කාරණාවක් ඇස් වල ගැබ් වෙලා තිවුනා කියලත් මාධවට දැනුනා!


එයා මාධවගේ අතින් අල්ලගත්තා.. "ඇයි ඔයා නොබැඳ ඉන්නෙ...."


ඔහුගෙ ප්‍රශ්නයට එයාගෙන් ප්‍රශ්නයක්!


"හිතුනෙ නෑ" ටිකක් වෙලා හිතල මතල මාධව කිව්ව.  "අනික මං "ගේ - GAY"  " ඒක කිව්වෙ රහසින් කණට කරල. 


ඒම කිව්වම එයා හයියෙන් හිනා උනා. රතු උන කම්බුල් එක්ක. ඇත්තටම මාධව සමලිංගිකයෙක් නෙමෙයි. වරින් වර  කෙල්ලො කීප දෙනෙක් එක්කම තිවුන සම්බන්ධතා බිදීම නිසා ඔහු නිදහස් ජීවිතේ ප්‍රිය කරන කෙනෙක් වෙලා.


"එහෙනම් යං මා එක්ක. එහෙ ඒව පුලුවන්!"


"කොහෙද?"  මාධව පුදුමෙන් ඇහුවා! 


"ප්‍රාන්ස්! " 


ඒම කියලා එයා බිම බලාගත්තා!


කිසිදා නොහිතපු පිලිතුරක් ලද මාධවගේ වචන ගොලු උනා. මාධව හෙමීට නැවතුමේ අසුන්ගද්දි ඇය මාධව අසලින්ම වාඩි වෙලා අතින් අල්ලාගත්තා.


මං ප්‍රාන්ස් යනවා. මේ රටේ ඉන්නකම් මට ජීවිතේ ගෙවන්න වෙන්නෙ අවලාද අපහාස මැද. අනික් අයට ගරු කරන රටකට මං යනව.  


මට එහෙ රස්සාවක් හම්බුනා. මං කලින් වැඩ කරපු තැන කෙනෙක් මාර්ගයෙන්. එයාල මාව ස්පොන්ස් කරනවා.


මාධව නිහඬව අහං ඉන්නව..ඔහුගේ උගුරේ හැඟුම් ගුලි ගුලි ඇවිල්ලා හිරවෙනවා. ඒව වචන කරන්න ඔහුට තේරෙන්නෑ. ඒ හැඟීම් හරි වෙනස්. හරිම වෙනස්.  


එයා තවමත් කියෝනව. 


"පෙනුම මෙහෙම වෙන්නෝනි කියල සම්මතයක් හදන් ඉන්න මේ වගේ රටක මට තවත් වද විදගෙන ජීවත් වෙන්නෝනි නෑ මාධව...."


"අනික් අයට ගරු කරන, එයාලගෙ අඩුපාඩු තියනවා කියල අවලාද නොකියන අපහාස නොකරන සමච්චල් කරන්නැති සමාජය මේ රටේ කවදාවත් හැදෙන්නෑ මාධව...."


"උගත්කමට, හැකියාවට තැන දෙන, සමානාත්මතා අගයන, වෙනස් අවශ්‍යතා සහ වෙනස් හැකියා ඇති අයට ගරු කරන, උදව් කරන සමාජය මෙහෙ නෑ මාධව...."


"හැමදේටම ආගම ඉස්සරහට දාගෙන ඉන්න, ඒත් අනෙකාට ඊරිසියා කරන කුහක ගති පිරුණ සමාජයක් මෙහෙ තියෙන්නෙ මාධව...."


"ඕවට මට උත්තර නෑ ඩාලිං......"


මාධව කිව්වෙ එයා නිහඬ උනාම.


"ඔයා යන්න. ඔයාව ආදරණීය ලෙස පිලිගන්න සමාජයක්, ලෝකයක් තියනවා කියල මං එදා ඉදන්ම කිව්ව. ඉතින්.. සුභ ගමන්. මට ඇත්තටම හරිම සතුටුයි...."


වැඩිපුර කතා කරන්න අකමැති, මේ වෙලේ දැඬිව හැඟුම්බර වෙලා ඉන්නෙ ඇයි කියලා නොදන්න නොතේරෙන, පපුවේ බර ගතියෙන් ඉන්න, ඇස් කෙවෙනි අග තෙමුණ මාධව ඒ වචන ටික හෙමින් මුමුණලා ගිහින් වැස්සෙම බයික්කෙට නැගලා අපහසුවෙන් හිනා වෙලා ඈ දිහා බැලුවා.


"එන්න නඟින්න. වැස්ස ඇත්තටම ඔයාටම වහින එකක්."


එයා දුවන් ගිහින් බයික්කෙට නැග්ගා. තෙතබරියමේම දෙන්නා ආපහු මහනුවරට ඇදුනා...

...............................................................................................................

නිසංසලා තීරණයක් ගත්තෙ හුඟක් හිතලා! ඒ තීරණයට අම්මා අප්පෝ අකමැති උනේ නැත්තේ කැමැති නොවී නොහැකි කමට. කසාදෙට එහා ලෝකයක් ඇති නෙව එයාලගෙ කෙලීට..


ඒත් හැමෝටම කියලා යන්න එමු නේද? අම්මල ඇහුවම නිසංසලා හිනා උනා. ඒ සෞම්‍ය හිනාව අම්මලට දැන් පුරුදුයි. සාර්ථකව නිමා කරපු මනෝ චිකිත්සාව ඈව වෙනස්, නිර්භීත, නොසැලෙන සුලු, සෞම්‍ය එකියක් කරලා.

"කියනවනම් ඉන්නෙ එක්කෙනයි. අභිරහස් යාලුවා විතරයි!"

ඇගේ අම්මලා මාධවව හැඳින්නුවේ එහෙම.. නිසංසලා එහෙම කිව්වම අම්ම  සහ අප්පෝ මූණට මූණ බලාගෙන හිනා පෑව.


ඇත්තටම ඒ කොල්ලට අපි ණයයි තමා. උඹව ඔය කාමරෙන් එලියට අරන් අර සමච්චල් කාරයෝ ටික ඉස්සරහ කෙලින් ඉන්න තැනට වැඩ කෙරුවට...


ගිහින් කියල එක්කන් වරෙන් අපිටත් බලන්න කියලා අම්මලා කියද්දි ඈ වට්සැප් පණිවුඩය යවලත් ඉවරයි.

...................................................................................................................
 

ඉතින් දෙවෙනි පන්තියේ අසුනක ඇය ඉඳගෙන උන්නා. ඒ අසල ජනේලයෙන් එබීගෙන මාධව නිසංසලා ලඟ කතා නොකර බලාන උන්නා. තව මිනිත්තුවෙන් දුම් රිය මහනුරින් කොලඹ බලා ඇදෙනවා.

එක පාරට දුම් රියෙන් නැගිටපු නිසංසලා එලියට බැහැලා ඇවිත් මාධවගේ පපුවට හිස තියාන ඇස් පියාගන්නවා. නිරුත්තර මාධව ඈව "සෙනෙහසින්" තුරුල් කරගන්නව.. කිසි දිනක නොදැනුනු හැඟීම් වලින් දෙන්නාම පිරීයද්දී, දුම්‍ රිය පිටත් වීමේ නලාව හඬවනව. තුරුලෙන් ඇයව මුදවා දුම්රියට නංවන්න කියලා මාධව ඈව හෙමින් නිදහස් කරනවා. ඉස්සුනු ඇය මාධවගේ වම කම්බුලට සියුම් හාදුවක් තිලිණ කරනවා. ඉක්බිති එකිනෙක ගැටුනු දෑස් මගහරිමින් ඇය යලි ගොඩවී ඇයගේ අසුනේ අසුන් ගද්දී දුම් රිය ඉදිරියට ඇදී නොපෙනී යනවා.
වේදනාකාරී සමුගැනීම නිසාවෙන් බොඳවූ දෑසින් උන් මාධව යලි ඇවිත් බයික්කයට ගොඩ වෙද්දී කෙටි පණිවුඩයක් එන නාදය ඇසී දුරකතනය අතට අරං බලනව.
 

"මාව පණ තියන ආදරේ දැනෙන කෙල්ලෙක් කලාට ස්තූතියි ඔයාට"
 

එහි තිවුනෙ එච්චරයි.


උගුරේ සිරවුනු දේ ගිලගත් ඔහු දිගු හුස්මක් අරන් දුරබනුව නිවා සාක්කුවේ දමාගත්තා.මලාණික ලෙස පණගැන්වුනු බයික්කය බහින හිරු එලියෙන් නැහැවුනු ඔරලෝසු කණුව දිහාවට ඇදුනා. 

ඉතින් මිත්‍රවරුණි,

තප්පදෝරු මැණිකේ හෙවත් නිසංසලා සීතල ප්‍රංශ රටට යන්නම යාවි. මාධව ආයෙමත් අක්කර 300ක් මැද පොල් වත්තේ විද්‍යාගාරයේ තනි වේවි. එහෙත් සැම හදවත් වල රාවයන් එකට නිම්නාද වේවි. අගෝස්තුවේ මහනුවර පීදෙන මල් පාරට වැටේවි. තුරු පත් සෙමෙන් නැලවේවි. මැලවුන වියලි පත්‍ර සුලඟේ ගසාගෙන යාවි. තව තවත් නව පත්‍රයන් දළුලාවි. අහසේ වලාකුලු දිස්වේවි. විටෙක ඒ වලාකුළු හඬමින් වැසි වස්සාවි. දුර ඈත හන්තාන කොලපාටින් හැමදාම බැබලේවි. රොබරෝසියා පිපී රෝස වසන්තය එලඹී නිමා වේවි. මහනුවර වීඳි මත පියසටහන්  ඇඳී මැකී යාවි. කවදත් එක සේ වැව් දියේ මසුන් පිහිනාවි.වැව් දිය මත දිය රළ නැගේවි. දළඳා මාලිගාව තේජසින් බැබලේවි. අවසානයේ කවදා කෙදිනක හෝ එළඹේවි.

සියල්ලම නැතිවී යාවි!

ඒත්.............

කිසිදා එක් නොවුනු හදවත් වල මතකයන් මහනුවරදී නම් මිය නොයා පණ ගැහෙනු ස්ථීරය.

5 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. එක හුස්මට කියවන්නත් කියෙව්වට පසුව හුඟක් හිතන්නත් හිතෙන විදියට ලියවිලා තියනවා

    ReplyDelete
  2. කතාව ලස්සනයි, වැඩි මහත කොහෙත් ප්‍රශ්නයක් (බදින්නම/ලංකාවේ විතරක් නොවේ) පුදුමයි මමත් ලුනුවිල ඔය පොල් වත්තේ වැඩ කරානේ.
    මම ව්ජෙබාහු

    ReplyDelete
  3. හරිම ලස්සනයි. දිගටම ලියන්න

    ReplyDelete
  4. හරිම ලස්සනයි. දිගටම ලියන්න

    ReplyDelete
Previous Post Next Post

Contact Form