පරිගණක මරණයෙන් ගලවා ගැනීම

 

පරිගණක මරණීය තත්වයට පත් වීමට නම් එක්කෝ දෘඩාංග හානි විය යුතුය. එසේත් නැතිනම් මෘදුකාංග දෝශ ඇතිවිය හැකිය. එක්කෝ මේ දෙකම විය යුතුය. එසේත් නැතිනම් හෙන වැදිය යුතුය. නැතිනම් භෞතිකව හානියක් විය යුතුය. 

ඒ නැතිව නං පරිගණක මැරෙන්නේ අලෙවිකරුවන්ගේ තකතීරුකම් නිසාය. මේ කියනට යන්නේ ඒ ගැන කතාන්දරයක්ය. පරිගණක පිලිබඳව කතාවක් ය.

අලෙවිකරුවාගේ ඉලක්ක සපුරාගැනීම සඳහා සහ විකුණුම් සමාගම් වල ලාභය උදෙසා පරිගණක විකුණාගැනීම පමණක් සිදු කරන සමයේ බොහෝ අය මිලදී ගන්නා පරිගණක වල මේ වන විට Windows 11 හෝ Windows 10 පිහිටුවා ඇති බව මාධවට නිරීක්ෂණය වී ඇත.

ආන්න ඒක හරියට මරණීය අස්වයාට ගැලුම් ගණනාවක වයින් පීප්පයක් අදින්ට දැම්මා වාගේ කතාවක්ය. ආන්න ඒ පරිගණක ටිකෙන් ටික මිය යන්නේ මෙහෙයුම් පද්ධතිය දරා ගැනීමට හැකියාව නැති දෘඩාංග වලට දරන්ට බැරි බර පැටවීම නිසාය. 

බොහෝ පරිගණක අලෙවි කරන ආයතන වලින් කරනුයේ මෙසේ පරිශීලකයාට නොගැලපෙන පරිගණක වලට දැරිය නොහැකි නොගැලපෙන මෙහෙයුම් පද්ධති පිහිටුවා පරිශීලකයාව ඇන්දීමය. එහිදී සැබැවින්ම ප්‍රදර්ශනාගාරයේදී කිසිදු මෘදුකාංගයක් ස්ථාපනය නොකොට ඇති පරිගණකය පැකින් කඩා පෙන්වන විට බබා වගේය. වෙනස නොදැනෙන්නේය. ගෙදර වඩම්මාගෙන විත් අවශ්‍ය මෘදුකාංග එක දෙක ස්ථාපනය කිරීමේදී හොම්බෙන් යන්නේය. අන්තිමට වැඩක් ගත නොහැකි පරිගණකය නතර වන්නේ කාමරේ දොර මුල්ලේය.

ලංකාවේ හුඟ තැන්වල වී ඇත්තේ ඒම ඒවාය. අන්තිමට ගිය නුවන පෑදී බඩු අලුත්වැඩියාවට මාධවගේ අතට ලැබෙද්දී ඇතුලේ නැත්තේ මැණික් විතරක්ය. ඒ තරම්ම ජරාව ඇත්තේය. 

ඒවා අතුරු කතාන්දරයන්ය.

හරියට මේ කතාව ගැන කිව්වොත් මේමය. හදවත් ඓරා්ගී ලෙඩෙක්ට බර අදින්න දීමෙන් ඔහු මරණයට පත් කරවීම හොඳම උදාහරණ කතාවය. ඉතින් මේ කතාව ලියන්ට මාධව සිතුවේ ඔහුට කාර්යාලය පාර්ශවයෙන් ලද පරිගණකය මෙවැනි මරණීය අස්වයෙක් තත්වයට පත් වීම නිසාය.

Windows 11 පිහිටුවා ඇති නවතම සෙලරන් ප්‍රොසෙසරයක් ඇති 4 GB අහඹු මතකය (රැම්) සහ දෘඩ තැටිය  1000GB ඇති පරිගණකයට දරා ගැනීම කෙසේ වෙතත් නැඟිට පණ ගසා ඒමට අධික මිනිත්තු ගණනක් වැය වීම මාධවට දරා ගත නොහැකි කාරණාවක් විය.

ඔහුට අයිති හැම පරිගණකයක්ම පිලිස්සී ඇති, ඒවා අලුත්වැඩියාවට කාසි නැති මේ අභාග්‍ය සම්පන්න සමයේ ඔහුට හිමි සම්පත මේ පුංචි උකුල් පරිගණකය පමණක් බැවින් ඇයව මරණයෙන් මුදවා ගැනීමට මාධවට දැඩිව අවශ්‍ය විය.

තාක්ෂණික කාරණා මෙසේය.

මෘදුකාංග ක්‍රියා කිරීමේදී අධික බර දරන්ට බැරි වීම නිසා පරිගණකයේ මොලය වෙහෙසී රත් වීම (Processor Over Heating) සිදු විය හැකිය. එසේම දත්ත හුවමාරුව අඩාල විය හැකිය. එසේම සිසිලන පද්ධතිය ක්‍රියාකාරී වීම අධික නිසා සහ එයට අදාල උපාංග ගෙවී යාම නිසා සිසිලන පද්ධතියේ ආයු කාලය අඩු වීම සිදුවේ. සිසිලන පද්ධතිය බිඳ වැටීම සමස්ථ පරිගණකයම අබල දුබල කර මරා දමනු ඇත. එබැවින් එවැනි අපහසුතා මධ්‍යයේ පරිගණකය ක්‍රියා කිරීම නිසා  ඇතිවන්නේ මරණීය තත්වයට පත් වූ සහ පත් වෙන පරිගණකයකි. එය නතර වන්නේ නොසිතූ මොහොතක පරිගණක මව් පුවරුව හෝ මව් පුවරුවේ චිපයක් පිලිස්සීමෙන් විය හැකිය.

එබැවින් සෑම විටම පරිගණකයේ දෘඩාංග වලට දැරිය, ඔවුනොවුන් අතර සහයෝගයෙන් ක්‍රියා කල හැකි මෙහෙයුම් පද්ධතියක් සහ මෘදුකාංග ස්ථාපනය කල යුතුමය. එය ඉතා වැදගත් ය.

කතාවට මාධව කියන්නේ Core i 3 ප්‍රොසෙසරයක් ඇති 4 GB අහඹු මතකය (රැම්) සහ දෘඩ තැටිය  1000GB ඇති පරිගණකයට Windows 11 හෝ Windows 10 පිහිටුවා එම පරිගණකයේ තිරය දෙස බලා සිටීම පමණක් සිදු කරන්නේනම් මැනැවි යන්නය. මක් නිසාද යත් Windows 11 හෝ Windows 10 ස්ථාපනය කිරීමෙන් පසු මෘදුකාංග හරිහමන් වේගයකින් ක්‍රියා කිරීමට නම් අඩුම 8GB අහඹු මතකයක් සමඟ SATA 128 GB (Solid State Drive) දෘඩ තැටියක් වත් අවශ්‍ය බවට මාධවගේ අත්දැකීම් ඇති නිසාය. 

මේ ගැටලුව ගැන කල්පනා කරද්දී මාධවගේ පිහිටට "උබන්ටු Ubuntu" එන්නේ ඒමය.

උබන්ටු ගැන - - - - - -- 

උබන්ටු ගැන මාධව මීට පෙර ද කියා ඇත්තේය. උබන්ටු  - Ubuntu යනු "Humanity  - මනුස්සකම" යන්නට තේරුම ඇති අප්‍රිකානු භාෂාවක වචනයකි. උබන්ටු යනු ලිනක්ස් කර්නලය පාදක කොට ගෙන සකස් කර ඇති අපූරු මෙහෙයුම් පද්ධතියකි. පෙනුම ඇපල් මෙහෙයුම් පද්ධතිය මෙන් සුන්දරය. අතිශයින්ම වේගවත්ය. අතීතයේදී මෙන් නොව ජංගම දුරකථන වල ඇති ඇන්ඩ්‍රොයිඩ් මෙන්ම පහසුවෙන් භාවිතා කල හැකිය. 

අන්තර්ජාලය නොමැති අතීතයේ මෙන් නොව අන්තර්ජාලය සුලභ වර්තමානයේදී අපූරුවට කිසිදු ගැටලුවකින් තොරව මේ උබන්ටු භාවිතා කල හැකිය.

 වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ගිලී උන් අයෙකුට පවා පහසුවෙන් මාරු විය හැකි මෙම මෙහෙයුම් පද්ධතිය පරිශීලකයාට අපූරු මෙන්ම සුවදායී අත්දැකීම් ලබා දෙන්නේ එහි ඇති නම්‍යශීලී ගතිය නිසාමය. 

උබන්ටු සහ ඇපල් වල ඇති අතුරුමුහුණත (Interface) පෙනුමට සමාන පෙනුමක් ඇතිව අලංකාරව අතුරුමුහුණත නිර්මාණය කිරීමට Windows ට Windows 11වෙනතෙක්ම ඉන්නට විය. නමුත් උබන්ටු එය කලේ හුඟ කාලයකට කලිනි. එසේම පරිගණක වෛරසද වාණිජ මට්ටමෙන් අලෙවි වන Windowsවෙත ලියා ඇති නිසාම උබන්ටු වලදී වෛරස වල බලපෑම ද අවමය. නමුත් අන්තර්ජාලය සමඟ ගැටීම නිසා රන්මැණිකා හෙවත් රැන්සම්වෙයා (Ransomeware) වල බලපෑම ඇති නමුදු Pendrives වැනි උපාංග අතරේ පැතිර යන වෛරස වල බලපෑම අවම තත්වයක ඇති බැවින් එයද ආරක්ෂා සහිත කරුණකි.

වඩාත් වැදගත් වන්නේ දෘඩාංග සමඟ ඉතා සහයෝගයෙන් ක්‍රියා කිරීමයි. ඉතාම කලාතුරකින් හැරෙන්නට ඔනෑම දෘඩාංගයක් එවාට අදාල ධාවක මෘදුකාංග (Driver software) වලින් තොරව භාවිතා කිරීමට උබන්ටු සහය වේ. 

එසේම පරිගණකයේ දෘඩාංග සැලකිල්ලට ගැනීමේදී ubuntu නවතම සංස්කරණය  සහ windows 11 අතර සසැඳීම පහත දක්වා ඇත

මේ අනුව පැහැදිලි වන්නේ ඉතා අපූරුවට පරිගණකයක් මත සැහැල්ලුවෙන් භාවිතා කල හැක්කේ උබන්ටු බවටය. ඉදිරියේදී සියල්ල මිලදී ගැනීමට සිදු වන යුගයකදී අනිවාර්යයෙන්ම ලංකාවේ රාජ්‍ය ආයතන වලට දැඩි ඩොලර් ප්‍රමාණයක් ලංකාවේ ඉතුරු කර ගැනීමට නම් ලිනක්ස් පාදක කර ගනිමින් (හන්තාන ලිනක්ස් වැනි) මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කර ගැනීම හෝ උබන්ටු වෙත යොමු වීම සිදු කර ගත යුතුමය.

මාධව විසින් උබන්ටු පිහිටවූ පරිගණකයේ විස්තර උබන්ටු වලදී පෙන්වන්නේ පහත රූපයේ පරිදි ය. එහි උබන්ටු සංස්කරණය ද පෙන්වා ඇත


අවසානයේදී මාධව කියන්නට කැමැති කරුණ වනුයේ සැමට මනුස්සකම හෙවත් උබන්ටු භාවිතා කරන්න. එය ඔබට නැවුම් අත්දැකීමක් ලබා දෙනු ඇත. උබන්ටු වලට පිවිසීමෙන් ජනේලයෙන් එලියේ ලෝකය ඔබට විවර වනු ඇත.

 මීට පෙර මාධව විසින් ලියූ ලිනක්ස් සම්බන්ධ ලිපි මෙතන අමුණා ඇත

කුබුන්ටු ගැන (2010 දී ලියූ ලිපිය)

වැඩි යමක් දැනුමට - 

01 -  උබන්ටු වලදී ඔබට Libre Office පැකේජය නොමිලේ ලැබෙන අතර එමඟින් ලිපි සැකසීම, පැතුරුම්පත් සැකසීම, ප්‍රසන්ටේෂන් සැකසීම ආදිය සිදු කර ගත හැකිය. එය අමුතුවෙන් උගත යුතු නැත

02 - සිංහල යුනිකෝඩ හෙවත් ඉස්කෝල පොත වර්තමානය වන විට ඉතා හොඳින් ක්‍රියා කරයි. අවශ්‍ය අයට හෙලකුරු පවා භාවිතා කල හැකිය.

03 - VLC player,  Mozilla Firefox  වැනි  හුරුපුරුදු මෘදුකාංග ද උබන්ටු සමඟ නොමිලේ හිමිවේ.

04 - Free Updates ලැබෙනු ඇති අතර කිසිම විටම මුදල් ගෙවා මිලදී ගැනීමට අවශ්‍ය නොවේ. ක්‍රැක් කිරීම් නැත.

05 - Visual Studio Code වැනි පරිගණක වැඩසටහන් ලියන්නා වූ මෘදුකාංග පවා දැන් උබන්ටු සමග අපූරුවට සහය දක්වන නිසා වැඩසටහන් ලියන්නන්ගේ අපේක්ෂාව වන වේගවත් පරිගණකයක කාර්යක්ෂමතාව තවත් ඉහල දැමීමට උබන්ටු භාවිතා කල හැකිය.

උබන්ටු වලට අදාලව ජායාරූප සහ Libre Office පැකේජය පිලිබඳව පින්තූර මෙහි පහතින් දක්වා ඇත

 GitHub - mikeroyal/Perfect-Ubuntu-Guide: Ubuntu Guide. Learn about getting  your Ubuntu Desktop/Server ready for development. Including Ubuntu  Security, Graphics (AMD/NVIDIA/Intel ARC), and Software Apps.

 

This official Ubuntu Spin might just be the perfect intro to Linux | ZDNET

'

 

 

 

LibreOffice 7.4 released with MS Office compatibility improvements 

 

 LibreOffice Download - libreofficehelp.com

ස්තූතියිය. උබන්ටු වලට ආදරෙන් පිලිගන්නවාය. මේ ලිපිය ලිව්වේම කාර්යාලයීය පරිගණකය මරණයෙන් ගලවා ගැනීමේ සතුට බෙදා ගන්ටමය. 

සුභ රාත්‍රියක් ය.

 

3 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. වර්ඩ් ෆයිල් එකක් උබුන්ටු පීසී එකකින් ඕපන් කරලා එඩිට් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. ඔව් හැකියාව ඇත. නවතම Liber ඔෆීස් සංස්කරණය නවතම මයික්‍රොසොෆ්ට් ගොනු සමග ඉතා හොඳින් සහය දක්වන බව සතුටින් ප්‍රකාශ කරමි. තවද විවෘත මෘදුකාංග නිසා Liber ඔෆීස් සංස්කරණය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන බවද කිව යුතුයි

      Delete
Previous Post Next Post

Contact Form